කථානායකගෙන් මහ බැංකු අධිපතිට දැනුම් දීමක්

(23.01.2020 – 22:42 +0530 – sinhala.adaderana.lk)

අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව මහබැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05 අසම්පූර්ණ බව කථානායක කරු ජයසූරිය මහතාගේ නියෝගය මත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වෙත ලිපියක් යවමින් අද (23) දන්වා සිටීන ලදී.

එබැවින් අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක ඇතුළත් සම්පූර්ණ විගණන වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස කථානායකවරයා උපදෙස් දුන් බව දසනායක මහතා මහබැංකු අධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයෙන් අනාවරණය වූ කරුණු මෙම වෝහාරික විගණන වාර්තා වලට ඇතුළත් වේ.

අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පුර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ සාමාජිකයෝ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූහ ෴

***************************************

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සියයට 50 ක් සම්පූර්ණ කරනවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(23.01.2020 – 23:11 +0530 – sinhala.adaderana.lk)

2020 ජනවාරි මාසයෙන් ඇරඹෙන පළමු පාසල් වාරය තුළ ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩුවලින් 50% ක් පිරවීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එමෙන් ම ඉතිරි පුරප්පාඩු සියල්ල දෙවැනි පාසල් වාරය තුළ සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි ජාතික පාසල් 278 ක වසර නවයක් තිස්සේ විදුහල්පති පුරප්පාඩු පවතින බව මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඉදිරි මාස පහක් වැනි කෙටි කාලයක් තුළ මෙම වසර නවයක ප්‍රමාදය නිසා මතු ව ඇති ගැටළුව නිරාකරණය කර මෙරට ජාතික පාසල් පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ජාතික පාසල්වල විදුහල්ති තනතුරට පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියෙකු හෝ එම සේවයේ II හෝ III ශ්‍රේණියේ නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියේ නිලධාරියෙකු වේ.

ජාතික පාසල් විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සම්මුඛ පරීක්ෂණය (ශ්‍රී ලංකා විදුහල්පති සේවය 1 ශ්‍රේණිය) 2019.12.23 දින සිට 2019.12.28 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර මෙම ශ්‍රේණියේ විදුහල්පතිවරුන් පත් කිරීමට අදාල ඉදිරි කටයුතු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කර ඇත.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11/111 ශ්‍රේණියේ නිලධාරියෙක් විදුහල්පති තනතුර දැරිය යුතු විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් සඳහා සම්මුඛ පරීක්ෂණ 2020.01.09 දින හා 2020.01.13 දෙදින පැවැත්වුනු අතර 1 ශ්‍රේණියේ නිලධාරියෙක් විදුහල්පති තනතුර දැරිය යුතු විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් සඳහා සම්මුඛ පරීක්ෂණය 2020.01.24 සහ 26 වන දිනයන් හි පැවැත්වීමට නියමිතය ෴

***************************************

සියලු දෙනාට සමානව සලකන්නැයි ජනපතිගෙන් පොලීසියට උපදෙස්

(23.01.2020 – 21:01 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි.

කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළයුත්තේ අදාළවගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය.

එකී කාර්ය ස්වාධීනව සහ කිසිදුබිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතු යැයි දවැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත.

“අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවේ. අත්අඩංගුවට ගනුලැබීම පුද්ගලකීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවකි. එබැවින්පොලීසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලවම ක්‍රියා කළයුතුය.” යනුවෙන් ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට නිසි‍‍‍ ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතුය.

දූරදර්ශීව රාජකාරී ඉටුකරන ලෙසත් අවශ්‍ය අවස්ථාවල නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරනලෙසත් ජනාධිපති ලේකම්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාටඋපදෙස් දී ඇත ෴

***************************************

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

(23.01.2020 – 20:36 +0530 – sinhala.adaderana.lk)

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල තවමත් රජයට පවරාගෙන නොමැති බවත් පසුගිය මාස 30 ක කාලය තුළ එම පෞද්ගලික රෝහලේ නඩත්තු සඳහා රජයේ මුදලින් රුපියල් බිලියන 7 ක් වැය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චොදනා කරයි.

එම රෝහල රජයට පවරාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාව වහා ප්‍රසිද්ධියට පත් කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා :

“නෙවිල් ප්‍රනාන්දු රෝහල පාඩුවට පවත්වාගෙන ගියේ. රජයට ගන්න කිව්වේ නැහැ. පවරාගත් බවට ඇමති රාජිත උත්සවයක් පැවැත්වූවා. ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළා. පෞද්ගලික පාර්ශ්වයකට අයිති බවට සාක්ෂි විභාගයේදී ඔප්පු වුණා. එම වාර්තාව ප්‍රසිද්ධ කරන්න. රජයට පවරාගත් බවට වූ කැබිනට් පත්‍රිකාවට අනුව 2017 අගොස්තු පළමුවනදා සිට රු.මිලියන 7500 ක් වැයකරලා. රෝහලේ මුළු ඇස්තමේන්තුව රු.බිලියන 3.55 යි.

කැබිනට් පත්‍රිකාවට අනුව. මාස 30 ට වියදම්කළ මුදල බිලියන 7.55 ක්. වටිනාකමට වැඩි ගණනක් නඩත්තුවට. වගකිව යුත්තන්ගෙන් මුදල අයකර ගත යුතුයි. නීති විරෝධිව රෝහලට රාජ්‍ය සේවයේ හෙද නිලධාරීන් අනුයුක්ත කරලා. වැටුප් ගෙව්වේ කාන්තා රෝහලෙන්. පෞද්ගලික රෝහලකට අනුයුක්ත කළේ කොහොමද? අදටත් මුදල් යොමුකරනවා එම පෞද්ගලික රෝහලට.”

***************************************

අසාද් සාලි අදත් (23) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට

(23.01.2020 – 20:10 +0530 – sinhala.adaderana.lk)

පාස්කු දින ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමේ ලිපියක් අප්‍රේල් මස 15 හෝ 16 දින ලැබුණු අවස්ථාවේදි එහි සඳහන් නම් පිළිබඳව තමා එවක පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාව දැනුවත් කළ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගත් බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ දෙවැනි දිනටත් ප්‍රකාශලබා දෙමින් ඔහු අද (23) මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අදත් (23) සාක්ෂි ලබා දුන්නේය.

මෙහිදි කොමිසම සාලි මහතාගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් 23 වැනිදා ‘වාද පිටිය’ වැඩසටහනේදී වනාතවිල්ලුවේ සැකකරුවන් අතරින් දෙදෙනෙකු අහිංසක පුද්ගලයින් බවට ඔහු ප්‍රකාශයක් කළේද යන්නයි.

සාලි මහතා එහිදි කියා සිටියේ එම ඉඩමට ආසන්නයේ වගා කරමින් සිටි පුද්ගලයෙක් හා ඔහුට කෑම ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිටි බවයි.

තමා ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට හා ආරක්ෂක ලේකම්වරයාට කථා කළේද යන්න කොමිසම විමසා සිටියේය.

රැස්විමකදි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඔවුන් නිදහස් කර ගැනිමට තමා කිසිඳු බලපෑමක් සිදු නොකළ බවත් හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා ලිඛිතව ලබා දුන් (?) බවත් සාලි මහතා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව කොමිසම සාලි මහතාගෙන් අන්තවාදයට මුල් වුයේ කවුරුන්ද යන්න විමසු අවස්ථාවේදි ඔහු කියා සිටියේ දේශපාලනඥයින් ඊට මුල් වූ බවයි.

දේශපාලනඥයින් කවුරුන්ද යන්න කොමිසම විමසු අවස්ථාවේදි සාලි මහතා නිහඬව සිටියි.

එමෙන්ම සහරාන් ඇතුළු කණ්ඩායමට ආයුධ නොතිබු බවත් ඔවුන් සතුව තිබුණේ පුපුරණ ද්‍රව්‍ය පමණක් බවද සාලි මහතා මෙහිදි පැවසුවේය.

එමෙන්ම අප්‍රේල් 15 හෝ 16 යන දිනයක ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමේ ලිපිය තමාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා තමාට පෙන්වු බවත් සාලි මහතා කොමිසමට අනාවරණ කළේය.

එම අවස්ථාවේදිම තමා පොලිස්පති පුජිත් ජයසුන්දර අමතා මෙම ලිපියේ සඳහන් නම් තමා මිට පෙර සඳහන් කළ නම් බවට පැවසුවත් ඔහු එය අසා සිටියා මිස වෙනත් පියවරක් නොගත් බවද ඒ මහතා පැවසුවේය.

2015 වසරේදි අල්කයිඩා සංවිධානයට මෙරටින් සම්පුර්ණ පවුල් දෙකක් රැගෙන ගිය බවට ආරංචි වූ අවස්ථාවේදි තමා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව ඒ පිළිබඳ දැනුවත් කළ බවයි සාලි මහතා වැඩිදුරටත් කියාසිටියේය.

එම අවස්ථාවේදි සාගල රත්නායක අමාත්‍යවරයා ඒ පිළිබඳ දැනුවත්ව සිටින අතර ඔහු සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තමාට පැවසීයැයි සාලි මහතා කියා සිටියේය.

අනතුරුව තමාට ජනමාධ්‍ය ඉවත් කර කොමිසමට ප්‍රකාශයක් සිදු කිරිමට අවසර ලබා දෙන ලෙස අසාද් සාලි මහතා කළ ඉල්ලීමට කොමිසම අවසර ලබා දුන්නේය.

+++++++++++++++++++++

ඇතැම් අවස්ථාවල දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරන බවත්, එසේ කිරීම වැරදි බවත් අසාද් සාලි ජනපති කොමිසම ඉදිරියේ පිළිගනී

(23.01.2020 – 21:13 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් අවස්ථාවලදී දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරන බවත්, එසේ කිරීම වැරදි බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබද සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ අද (23) පිළිගත්තා.

හිටපු ආණ්ඩුකාරවරයා ජනාධිපති කොමිසම ඉදිරියේ අද (23) සාක්ෂි ලබාදුන්නේ දෙවන දිනටයි.

ප්‍රශ්න විමසීම ආරම්භ කිරීමට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා අසාද් සාලි මහතාට අවවාද කරමින් කියා සිටියේ මීට පෙර ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේ රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මියට නොගැලපෙන වචනයෙන් ආමන්ත්‍රණය කළ ආකාරයට නොහැසිරෙන ලෙසයි.

එමෙන්ම රජයේ අධිනීතිඥවරියගෙන් පෙරලා ප්‍රශ්න කිරීමෙන් තෙරව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලෙස ද සභාපති විනිසුරුවරයා හිටපු ආණ්ඩුකාරවරයාට අවවාද කළා.

ඉන් අනතුරුව රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මිය අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කළේ, මීට පෙර කොමිසමට පැමිණි අවස්ථාවේ ලබාදුන් දුරකතන සංවාදයක් ඇතුලත් හඬපටය සම්බන්ධවයි.

එහි තිබුණේ අසාද් සාලි මහතා විසින් සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් නමැත්තාට මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව සිදුකළ දුරකතන සංවාදයක්.

අදාළ දුරකතන ඇමතුම ලබාගත්තේ තමාගේ දුරකතනයෙන්දැයි රජයේ අධිනීතිඥවරිය විමසුවා.

අසාද් සාලි මහතා පැවසුවේ තමන්ගේ දුරකතනයේ පටිගත කිරීමේ පහසුකම් නොමැති නිසා එම ඇමතුම ලබාගත්තේ ප්‍රවත්ති සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි වෙනත් පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයකින් බවයි.

රජයේ අධිනීතිඥවරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ අසාද් සාලි මහතා දිගින් දිගටම සඳහන් කළේ, දුරකථනයේ හිමිකරු කවුරුන්දැයි මතකයේ නොමැති අතර ඇතැම් විට ඔහු හඳුනන අයෙකු විය හැකි බවයි.

එම දුරකතන ඇමතුම ලබාගත්තේ එම්.ඒ.එච්. ෂහාබ්දීන් නමැති පුද්ගලයෙකුගෙන් බවට හෙලිව ඇති බැවින් ඔහු හඳුනන්නේදැයි කොමිසම අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කළා.

ඔහු පැවසුවේ එවැනි පුද්ගලයෙකු හඳුනන බවයි.

දුරකතන සංවාදය තැටිගත කළේල මාධ්‍ය සාකච්ඡාවට පෙරදැයි අධිනීතිඥවරිය ඇසූ ප්‍රශ්නයට ඔව් යනුවෙන් අසාද් සාලි මහතා පිළිතුරු දුන්නද යළිත් අධිනීතිඥවරිය එම ප්‍රශ්නයම ඇසූ අවස්ථාවේ ඔහු පැවසුවේ නැත යන්නයි.

මෙහිදී අසාද් සාලි මහතා ජනාධිපති කොමිසමට ලබා දුන් හඬපටය ප්‍රසිද්ධියේ ඇසීමට අවස්ථාව දුන්නා.

එහි තිබුණේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් පොලිසියට භාර දෙන බවට අසාද් සාලි මහතා මීට පෙර සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතාට පැවසූ බවට තොරතුරු වාර්තා වූ සිදුවීමට අදාළ වෙනත් හඩ පටයක්.

එහිදී අසාද් සාලි මහතා සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසන්නේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් පොලිසියට භාරදෙන බවට තමන් පැවසුවේ නැහැ නේද යන්නයි.

එමෙන්ම ඒ පිළිබඳ සොයාබලන්නම් යනුවෙන් පමණක් තමන් සඳහන් කළ බවද අසාද් සාලි මහතා සහකාර පොලිස් අධිකාරීවරයාට පවසනවා.

එහිදී සහකාර පොලිස් අධිකාරීවරයාගේ පිලිතුර පැහැදිළිව ශ්‍රවණය වූයේ නැහැ.

කෙසේ වෙතත් අදාළ හඬපටය සම්බන්ධයෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී අසාද්සාලි මහතා අවස්ථා කිහිපයකදීම ලබාදුන්නේ පරස්පර පිළිතුරුයි.

මේ අතර දුරකතන සංවාදයට අදාළව දුරකතන සමාගමෙන් ලබාගත් විශ්ලේෂන වාර්තාවට අනුව දුරකතන සංවාදය තත්පර 474 ක් ලෙස සටහන් වුවත් අසාද් සාලි මහතා කොමිසමට ලබාදුන් දුරකතන සංවාදයේ ඇත්තේ තත්පර 444 ක් පමණක් බවත් කොමිසම හමුවේ හෙලිවුණා.

ඒ අනුව ඉතිරි තත්පර 30 ක කොටසට සිදුවුණේ කුමක්දැයි කොමිසම අසාද් සාලි මහතාගෙන් විමසුවා.

එහිදී අසාද් සාලි මහතා දිගින් දිගටම පැවසුවේ තමන් එම හඬපටය කිසිඳු සංස්කරණය කිරීමකින් තොරව තැටිගත කළ බවයි.

දුරකතන සමාගම විසින් තත්ත්පර 474 ක් වූ දුරකතන සංවාදයද කොමිසම වෙත ලබා දී තිබූ අතර අදාළ දුරකතන සංවාද දෙකම රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර දින 14 ක් ඇතුලත වාර්තාවක් කැඳවීමට ජනාධිපති කොමිසම අවසර ලබා දුන්නා.

ඒ සමඟම අසාද් සාලි මහතාගේ කටහඬ පරීක්ෂණයක් සිදුකරන ලෙස ද කොමිසම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියොගයක් නිකුත් කළා.

පොලිස් විමර්ශනයකට දේශපාලනඥයෙකු ලෙස ඔබ මැදිහත් වීම නිවැරදිදැයි රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මිය විමසූ අතර අසාද් සාලි මහතාගේ පිළිතුර වූයේ නැත යන්නයි.

යලිත් පැහැදිළි පිළිතුරක් අපේක්ෂාවෙන් රජයේ අධිනීතිඥවරිය විමසුවේ දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරනවාද, එසේ කිරීම නිවැරදිද යන්නයි.

දේශපාලනඥයින් පොලිසියට බලපෑම් කරන බවත්, එසේ කිරීම වැරදි බවත් අසාද් සාලි මහතා එහිදී පිළිගත්තා.

තමන් සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කිරීම හරිදැයි විමසූ විට අසාද් සාලි මහතා පැවසුවේ ඔහුට පමණක් නොව සියලු ආරක්ෂක අංශ වෙත තමා කතාකර ඇති බවයි.

අනතුරුව ඔහු විනාඩි 30 ක පමණ කාලයක් ජනාධිපති කොමිසම ඉදිරියේ මාධ්‍යයට අනාවරණ නොවූ රහස්‍ය ප්‍රකාශයක්ද ලබා දුන්නා.

යළිත් වරක් අසාද් සාලි මහතාගෙන් ප්‍රසිද්ධියේ සාක්ෂි විමසීම ආරම්භ වූ අතර ඔහුගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බවට වාර්තා වූ දැනුම්දීමේ ලිපිය පිළිබඳවයි.

අදාළ ලිපිය තමාට ලැබුණේ කවදාදැයි රජයේ අධිනීතිඥවරිය ප්‍රශන කළා.

ඔහු පැවසුවේ එය තම පෞද්ගලික ආරක්ෂකයාට පසුගිය වසරේ අප්‍රේල් මස 15 හෝ 16 යන දිනවලදී ලැබී ඇති අතර අනතුරුව තමන්ට එය ලැබුණු බවයි.

තමන් ඒ පිළිබඳ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද දැනුම් දුන් බව අසාද් සාලි මහතා සඳහන් කළා.

එහිදී පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරය කෙබඳුදැයි කොමිසම විමසූ අතර අසාද් සාලි මහතා පැවසුවේ පොලිස්පතිවරයා හා.. හා.. යැයි පවසා දුරකතනය විසන්ධිකළ බවයි.

තමන් ජනාධිපතිවරයා සමඟ ඉතා ළඟින් ආශ්‍රය කරන බවට අවස්ථා කිහිපයකදීම පවසා ඇති බැවින් අදාළ ලිපිය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළේ නැත්දැයි කොමිසම යලි ප්‍රශ්න කළා.

ඔහු පැවසුවේ අදාළ ලිපිය සියලු ප්‍රභූවරුන්ට ලැබී තිබූ නිසා එලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බවයි.

“හිටපු ජනාධිපතිවරයා ඇතැම් දේ අපටත් වසන් කළා” යැයි ද අසාද් සාලි මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.

***************************************

හිටපු ජනපති මෛත්‍රී අත්අඩංගුවට ගත යුතු බව එජාපය කියයි

(23.01.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රධාන වගකිව යුතු පුද්ගලයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත් අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

***************************************

සුසන්ත පුංචිනිළමේගෙන් හෙළිදරව්වක්

(23.01.2020 – 19:31 +0530 – sinhala.adaderana.lk)

පැවති ආණ්ඩුවේ ඇතැම් බලවතුන් සාවද්‍ය ඔප්පු සාදමින් නැගෙනහිර පළාතේ ඉඩම් වංචනික ලෙස විවිධ පිරිස් වෙත විකුණා ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා අද (23) හෙළිදරව්වක් කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා :

“රජය සතු ඉඩම් වංචනික ලෙස විකුණුවා. නැගෙනහිර පළාතේ මුහුද අයිනේ ඉඩම් අක්කරයක් ලක්ෂ 300 ක් පමණ වනවා. ඉඩම් අක්කර 200, 300 විකුණලා. අද මිනිස්සු දුක් විඳිනවා. මෙගා පොලිස් කියලා අමාත්‍යාංශයක් තියෙනවා. එහි ඇමතිවරයා ආයෝජකයින්ගෙන් ලක්ෂ 5000, 10000 අරගෙන. ඒ හොර ලියකිවිලි අපි සතුයි. අධිකරණයේ සිදුවුණ දේවල් අනුව අපි බයයි අදාළ ලියකියවිලි භාරදෙන්න.”

මේ අතර විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (23) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී තෙල් මිල සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බවයි.

***************************************

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට

(23.01.2020 – 19:24 +0530 – sinhala.adaderana.lk)

කැබිනට් තීරණය ක්‍රියාවට නංවමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලෙන් ඉවත්ව බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත අද (23) සිය අමාත්‍යංශය රැගෙන යාමට කටයුතු කළේය.

එහෙත් තවමත් කැබිනට් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන් සියලු දෙනා පෞද්ගලික ගොඩනැගිල්ල තුළ රැඳීසිටියි.

ප්‍රවීන සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත ලබා ගැනීමේදී ඉකුත් රජය සමයේ අක්‍රමිකතා සිදුව ඇති බවට වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණ වුණි.

ඒ අනුව මසකට රුපියල් ලක්ෂ 241 ක කුලියක් ගෙවමින් අදාළ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ පසුගිය දෙසැම්බර් 18 වැනිදායි.

කැබිනට් තීරණයෙන් දින 36 ක් ගතවන විටත් එම තීරණය ක්‍රියාත්මක නොවුණු පසුබිමක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද ගොවිජන මන්දිරය වෙත පැමිණ සිය වැඩ ඇරඹුවේය.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු තවදුරටත් රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලේ සිදුවන අකාරය දක්නට ලැබුණි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය පුද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට පියවර ගත්තද අමාත්‍යංශයට අනුබද්ධ වෙනත් ආයතන කිහිපයක් එහි ස්ථාපිත කිරීමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වා දෙයි.

ඒ අතර විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ මස අවසන් වනවිට කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු කරන බවයි.

+++++++++++++++++++++

***************************************

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනා පදනම් විරහිතයි – කිරිපිටි ආනයනකරුවෝ

(23.01.2020 – 18:50 +0530 – sinhala.adaderana.lk)

නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හානිකර බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවෝ සිය දැඩි කනස්සල්ල පළකරයි.

ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර අනවශ්‍ය බියක් හා නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්වීම සඳහා වහාම සත්‍යය හා ප‍්‍රබන්ධ අතර වෙනස වටහාගත යුතු බව කිරිපිටි ආනයනකරුවෝ අවධාරණය කර සිටී.

කිරිපිටි මගින් පිළිකා ඇතුළුව තවත් රෝග ඇතිවන බවට පදනම් විරහිත ප‍්‍රචාරයන් සිදුකෙරෙමින් පවතින බවත්, මේ සඳහා කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙති.

කිරිපිටි නිසා පිළිකා ඇතිවන බවට පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි කිසිවක් මෙතෙක් ලොව කිසිදු සෞඛ්‍ය අධිකාරියක් ඉදිරිපත් කර නැත.

මීට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයද ඇතුළත් වන අතර, මෙම සංවිධානවල ඇතැම් වාර්තා මෙම අසත්‍ය ප‍්‍රචාර සඳහා වැරදි ලෙස යොදාගෙන ඇති බවද කිරිපිටි ආනයනකරුවෝ අවධාරණය කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනාවලට පදනම් වී ඇත්තේ ‘World Alliance for Breastfeeding Action’ (WABA, 2012) මගින් නිකුත් කරන ලද වාර්තාවක් විය හැකි බව ආනයනකරුවන්ගේ පෙන්වා දෙති.

මෙම වාර්තාව WABA වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක.

මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ විකල්ප භාවිතා කිරීම වෙනුවට මවුකිරි දීම මගින් ලෙඩරෝග සඳහා වැඩි ආරක්ෂාවක් ලැබීමට හැකි බවයි.

ඉහත සඳහන් සමාගම් කිසිවක් ශ‍්‍රී ලංකාවට මවුකිරි සඳහා වන ආදේශක ආනයනය නොකරන බවත්, WABA වාර්තාවේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බවත් එම සමාගම් පෙන්වා දෙයි. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි යනු මවුකිරි සඳහා කිසිසේත්ම ආදේශකයක් නොවේ.

ආනයනය කරනු ලබන කිරිපිටි නිෂ්පාදනයේදී විවිධ රසායන ද්‍රව්‍ය එක්කරන බවට වන චෝදනාද පාරිභෝගික සේවා අධිකාරියේ අන්තර්වාර වාර්තාව මගින් අසත්‍ය බවට සනාථ වී ඇති බව කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙති.

ජර්මනියේ ස්වාධීන රසායනාගාරයක් වන Eurofins මගින් සිදුකරන ලද පරීක්ෂණ මගින්, නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි වලට බාහිර ද්‍රව්‍ය මිශ‍්‍ර වී ඇති බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව එම අන්තර්වාර වාර්තාවේ දක්වා තිබේ.

ආනයනකරුවන් සඳහන් කළේ මෙම කාරණය නොසලකා හැර, විවිධ අදහස් තහවුරු කිරීම සඳහා මෙම වාර්තාව වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

තවද මේදය එක්කළ කිරිපිටි ශ‍්‍රී ලංකාවට ආනයනය කරන බවටද තවත් අසත්‍ය චෝදනාවක් නැගී ඇත.

නවසීලන්තයේ වෙබ් අඩවියක දක්වා තිබූ කරුණක් වරදවා අර්ථ දක්වා ගැනීම ඔස්සේ මෙම චෝදනාව නගා තිබේ.

මෙහිදී ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හෝ රේගුවෙන් කරුණු විමසීමට චෝදනා නගන්නන් උත්සාහ දරා නැති අතර, එසේ විමසුවේ නම් මෙම සමාගම් විසින් ශ‍්‍රී ලංකාවට මේදය එක්කළ කිරිපිටි ආනයනය කිරීම සිදුනොකරන බවට පහසුවෙන් තහවුරු කරගත හැකිව තිබිණි.

මේ ආකාරයට නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා එල්ල කිරීම තමන් ප‍්‍රතික්ෂේප කරන බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ඔවුන් අවධාරණය කරන්නේ තමන් කිරිපිටි ආනයනය කිරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ නීති හා රෙගුලාසි දැඩිව පිළිපදින බවයි.

එමෙන්ම කිරිපිටිවල පවතින කිසිදු ආකාරයක ගැටලුවක් සම්බන්ධයෙන් ආහාරපානවලට අදාළ කිසිදු නිසි බලධාරී ආයතනයක් මේ වනතෙක් ආනයනකරුවන් වෙත නිල වශයෙන් කරුණු දක්වා නැත.

එම නිසා, ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිකරමින් නැගෙන මෙම චෝදනා වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, එම චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් කිරිපිටි ආනයනකරුවෝ අවධාරණය කරති.

ආනයනික කිරිපිටි නිරන්තරයෙන් නියමිත නීති හා රෙගුලාසිවලට අනුකූල බව තහවුරු කිරීමට ශ‍්‍රී ලාංකේය බලධාරීන් විසින් අඛණ්ඩ පරීක්ෂණ සහ අධීක්ෂණ සිදු කරනු ලබයි.

ආනයනික කිරිපිටි රට තුලට ගෙන ඒමට අනුමැතිය ලැබීමට පෙර, එයට අදාලව ක‍්‍රියාත්මක වන දැඩි ආනයන නිෂ්කාශන පටිපාටි සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයයේ රසායනාගාර සහ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් සිදු කරන පරීක්ෂණ ක‍්‍රියාවලීන් ද මෙයට ඇතුළත් වේ ෴

***************************************

යාපනයේදී වෛද්‍ය සිසුවියක් ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්

(23.01.2020 – 17:26 +0530 – sinhala.adaderana.lk)

යාපනය ප්‍රදේශයේදී වෛද්‍ය සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

යාපනය වෛද්‍යපීඨයේ අවසන් වසරේ සිසුවියක් වන 29 හැවිරිදි අදාළ තරුණිය ඊයේ (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි.

සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු එම තරුණියගේ ස්වාමි පුරුෂයා වන අතර ඔහු යාපනය පරන්තන් ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරීයේ නිරතව සිටි හමුදා සාමාජිකයෙකු බව වාර්තා වෙයි.

බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දෙදෙනා අතර පැවති පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව සඳහන් ෴

***************************************

CRIB රිපෝට් සලකා බලා ණය ලබා දීම ප්‍රතික්ෂේප කරන්න එපා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

(23.01.2020 – 16:09 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කරයි.

ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සමග අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය :

“ඇතැම් බැංකු තමන් වෙත ණය ලබා ගැනීමට එන ගනුදෙනුකරුවාව හරවා යවන ක්‍රමවේදයක් බවට මේ CRIB Report එක එහෙමත් නැත්නම් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව පත් කරගෙන තියෙනවා.

ණය තොරතුරු කාර්යාංශයෙන් වෙන්නෙ කෙනෙකු දැනට ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ තොරතුරු ස්වාධීනව ප්‍රකාශයට පත් කිරීමයි.

එම ආයතන කිසිදු අවස්ථාවක පුද්ගලයකුට ණය ලබා නොදෙන්න කියල නිර්දේශ කරන්නෙ නෑ. ඒ වගේ ම තමයි මේ ණය තොරතුරු කාර්යාංශය කිසිවකු අසාදු ලේඛන ගත කරන්නෙ නෑ.

නමුත් ඇතැම් බැංකු මෙම වාර්තාව යොදා ගනිමින් ලබා දිය හැකි ණය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වගේ ම විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් දැනුම්වත් විය යුතුයි.

අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් ම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වගේ ම ඒ ඒ ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මේ අවස්ථාවට සහභාගී කරවා ගන්න අපේක්ෂා කරනවා.”

***************************************

අල්ලස් ගත් හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක සිරදඬුවමක්

(23.01.2020 – 15:23 +0530 – sinhala.adaderana.lk)

රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10 ක සිර දඬුවම් නියම කළේය.

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි නිසංසලා ස්වර්ණමාලි නමැත්තියකට මෙසේ දඬුවම් නියම වුණි.

ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කරන බව ද තීන්දුවේ සඳහන් කළේය.

එමෙන්ම විත්තිකරු විසින් රුපියල් ලක්ෂ දෙකක දණ්ඩනයන් ද ගෙවිය යුතු බවත් එම දණ්ඩන මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත එක් වසරක සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණි.

2016 වසරේ ජුනි මස 01 වනදා සහ එම වසරේ ජූලි මස 01 වනදා අතර කාලසීමාව තුළ නිකවැරටිය ප්‍රදේශයේ පාසලක සේවය කරන අභ්‍යාසලාභී ගුරුවරයෙකුගේ සේවය ස්ථිර කිරීම සඳහා විත්තිකාර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

පසුව එම මුදල අදාළ ගුරුවරයාගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විත්තිකාරියට එරෙහිව නඩු පැවරූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා හතරම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය ෴

***************************************

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා රිමාන්ඩ්

(23.01.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඊයේ (22) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ සිය නිවසේ රැදී සිටියදීයි.

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගත් බව කියන සිද්ධියට අදාළව සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය වසරේ ඔක්තෝම්බර් 25 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

***************************************

කුඩා දරුවෙකු යොදා සිදුකළ රන් ජාවාරමක් හෙලිවේ – කෝටි 05 ක රත්‍රං සමඟ දෙදෙනෙකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

(23.01.2020 – 09:23 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් රත්රන් කිලෝ 5 ග්‍රෑම් 500 ක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ ජාවාරමක් හසුකර ගැනීමට ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් වුණා.

මෙහිදී තරුණයින් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් භාරයට ගැණුනු අතර ඔවුන් දෙමටගොඩ, ග්‍රෑන්ඞ්පාස් සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන්ට විදේශ රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු අදාළ රත්රන් තොගය ලබා දී ඇති අතර ගුවන් තොටුපළ පිටවීමේ ශාලාවේ වැසිකිලියක් තුලදී අදාළ රත්රන් තොගය සැකකරුවන් දෙදෙනා විසින් කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවා අත තිබූ බෑගයකට දමා තිබෙනවා.

ඒ මෙම රත්රන් තොගය ගුවන්තොටුපළෙන් පිටකිරීමේ අරමුණින්.

කෙසේ වෙතත් අදාල ශාලාවේ රාජකාරියේ නිරත වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට මොවුන් සම්බන්ධයෙන් සැකසිතී සිදුකළ පරීක්ෂාවකදී මෙම සිද්ධිය අනාවරණය කර ගැණුනා.

සැකකරුවන් විදේශ රටක සිට පැමිණෙන පුද්ගලයෙකු පිළිගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර 03 ක් ලබාගෙන අදාළ පර්යන්තය වෙත ගොස් ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙලි වී ඇත්තේ.

කෙසේ වෙතත් සැකකරුවන්ට මෙම රත්රන් තොගය ලබාදුන් මගියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙලි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සීසීටීවි දර්ශණ උපයෝගි කර ගනිමින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ දරුවා අත්අඩංගුවට ගත් බව දැනගත් පසු ඔහුගේ මව ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට දරුවා සොයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණි බවයි.

***************************************

මාතර මහ රෝහලේදී ‘පිරිමියෙක්’ දරුවෙකු ප්‍රසූතකරයි

(23.01.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

පිරිමි පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි වී මාතර රෝහලට ඇතුලත් කළ අයෙකු දරුවෙකු ප්‍රසූත කළ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තාවනවා.

අදාළ පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තාවන්නේ.

ප්‍රථමයෙන් මොහු රෝහල්ගතකර ඇත්තේ උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි.

කෙසේ වෙතත් එහිදී ඔහු ඇතුලත් කර සිටි පිරිමි වාට්ටුවේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ උදරය පරීක්ෂා කිරීමේදී ඔහු ගැබ්ගෙන ඇතිබවත් ඔහු කාන්තාවක් බවත් හඳුනාගෙන තිබෙනවා.

පසුව වෛද්‍ය උපදෙස් මත කඩිනමින් මෙම පුද්ගලයා ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.

එහිදී කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම පුද්ගලයාට එම වාට්ටුවෙන් චීත්තයක් සහ බෙඩ් ජැකට්ටුවක් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරුව මෙම පුද්ගලයා විසින් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇතිබවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දරුවාට අවශ්‍ය මවුකිරි ලබාදීමට මෙම පුද්ගලයාට පියයුරු නොමැතිවීම හේතුවෙන් දරුවාට අවශ්‍ය පිටිකිරි ලබාදීම ආරම්භ කර තිබෙනවා.

පිරිමියෙකු ලෙස ශරීර ලක්ෂණ තිබූ මෙම පුද්ගලයා දීර්ඝ කලක් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිට තිබෙනවා.

මෙහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇතිවූ තත්වයක් හේතුවෙන් මෙලෙස පිරිමියෙකු ලෙස හැසිරී ඇති බවයි.

උපතින් එම පුද්ගලයා කාන්තාවක් බවත් අනතුරුව සැත්කමක් සිදුකර පියයුරු ඉවත්කර බවත් එහිදී වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

+++++++++++++++++++++

මාතරදී පිරිමියෙක් ලෙස රෝහල්ගතවූ පුද්ගලයාට ඉපදුන පිරිමි දරුවා එපා කියයි

(24.01.2020 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක ලෙස මාතර මහ රෝහලේදී පිරිමියෙකු ලෙස රෝහලට පැමිණි අයෙකුට දාව උපත ලද දරුවා පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ ත්‍රිරෝද රථ රියෙදුරෙකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා එම දරුවා භාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම දරුවා හදාවඩා ගැනීමට කැමති යුවලකට දරුවා භාරදීමට අවශ්‍ය පසුබිම සකස්කර දෙන ලෙසයි.

මේ අතර දරුවාට මවිකිරි ලබාදීමට එම පුද්ගලයාට පියයුරු නොමැතිවීමෙන් මේ වනවිට දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර මව්කිරි ලබාදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එසේම අදාළ පිරිමි රියදුරුගේ සුවදුක් බැලීමට අවසරලත් පිරිසකට පමණක් අවස්ථාව ලබාදීමටයි රෝහල් බලධාරීන් කටයුතු යොදා ඇත්තේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම කඩවසම් තරුණ පෙනුමක් ඇති පුද්ගලයාට රූමත් පෙම්වතියක් ද සිට ඇති බවයි.

මෙම පුද්ගලයා පිරිමි පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි වී පසුගියදා මාතර රෝහලට ඇතුලත් කකිරීමෙන් අනතුරුවයි මෙම දරු උපත සිදුකළේ.

අදාළ පුද්ගලයා මාතර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි වාර්තාවන්නේ.

ප්‍රථමයෙන් මොහු රෝහල්ගතකර ඇත්තේ උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි.

කෙසේ වෙතත් එහිදී ඔහු ඇතුලත් කර සිටි පිරිමි වාට්ටුවේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ උදරය පරීක්ෂා කිරීමේදී ඔහු ගැබ්ගෙන ඇතිබවත් ඔහු කාන්තාවක් බවත් හඳුනාගෙන තිබෙනවා.

පසුව වෛද්‍ය උපදෙස් මත කඩිනමින් මෙම පුද්ගලයා ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.

එහිදී කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම පුද්ගලයාට එම වාට්ටුවෙන් චීත්තයක් සහ බෙඩ් ජැකට්ටුවක් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරුව මෙම පුද්ගලයා විසින් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇතිබවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

පිරිමියෙකු ලෙස ශරීර ලක්ෂණ තිබූ මෙම පුද්ගලයා දීර්ඝ කලක් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිට තිබෙනවා.

මෙහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇතිවූ තත්වයක් හේතුවෙන් මෙලෙස පිරිමියෙකු ලෙස හැසිරී ඇති බවයි.

උපතින් එම පුද්ගලයා කාන්තාවක් බවත් අනතුරුව සැත්කමක් සිදුකර පියයුරු ඉවත්කර බවත් එහිදී වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙලෙස උපත ලද දරුවා සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තාකිරීමෙන් අනතුරුව දරුවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටයි නියමිතව ඇත්තේ.

මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

***************************************

ශානි අබේසේකර CIDයට පැය 6 ක ප්‍රකාශයක්

(23.01.2020 – 17:32 +0530 – sinhala.adaderana.lk)

ස්විස් තානාපති කාර්යාල දේශීය කාර්ය මණ්ඩල සාමාජිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, වැඩ තහනමට ලක්ව සිටින ශානි අබේසේකර මහතා අද (23) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ ගානියා බැනිස්ටර් පැහැරගත් බව කියන කාලසීමාවේ ක්‍රියාත්මක වූ වැදගත් දුරකතන සබඳතා ජාලයකට ශානි අබේසේකර මහතා සම්බන්ධ වී ඇති බවට විමර්ශකයින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති පසුබිමකයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය කාර්ය මණ්ඩල සාමාජිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගොස් හිංසනයට ලක්කළ බවට පැවසෙන සිද්ධියේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 21 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

එමගින් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගත් බව පැවසෙන කාලසීමාව තුළ ඇය සහ තවත් බාහිර පාර්ශ්ව කිහිපයක් අතර සිදුවූ වැදගත් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි.

ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්, ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කර්තෘ දරීශා බැස්ටියන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, ලේක්හවුස් සමාගමේ හිටපු සභාපති ක්‍රිශාන්ත කුරේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර අතර දුරකතන ඇමතුම් ජාලයක් ක්‍රියාත්මක වී ඇති බව නිරීක්ෂණය වන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ශානි අබේසේකර මහතාට කැඳවීමක් සිදුකර තිබූණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා එහි විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහා අද පෙරවරු 9.15 ට පමණ කොළඹ කොටුවේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට පැමිණියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි හිටපු අධ්‍යක්ෂවරයාගෙන් පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර ඔහු අද පස්වරු 3.15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දොරටුව නොවන වෙනත් දොරටුවකින් පිටව ගොස් තිබේ.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *