විනිසුරු ගිහාන් පිලපිටිය පිළිබඳ විමර්ශන වාර්තා අධ්‍යයනය කරන්න කමිටුවක්

(23.01.2020 – 22:00 +0530 – sinhala.adaderana.lk)

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (23) උපදෙස් දුන්නේය.

ඒ විනිසුරුවරයා, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි.

මේ අතර එම විමර්ශනයේ උදෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරු සහ මහේස්ත්‍රාත්වරු සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට අදාළව නීතිපතිවරයා අද (23) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් මාලාවක් ලබාදී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද සාක්ෂි නිර්මාණයට විමර්ශනයේ පළමු සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළි වී ඇතැයි නීතිපතිවරයා උපදෙස් දුන් බවයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113(අ) සහ 190 වගන්ති යටතේ වැරදි සිදුකර ඇති බව තමාගේ මතය වන බව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මාලාවේ සඳහන්ය.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ විනිසුරු ගිහාන් පිලපිටිය යන අය නව නීතී කෘත්‍යයක සැකකරුවන් ලෙස නම් කර විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබේ.

ඉන් පසු ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් මාලාවේදැක්වෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කොට්ඨාසය අද (23) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.

“ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපටවලට අදාළව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 299/2020 දරන නඩුවේ දෙවන සැකකරු වශයෙන් ගිහාන් අරුණ බණ්ඩාර පිලපිටය මහතා නම් කිරීමටත් එම මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමටත් අදාළව ගරු නීතිපතිතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත 2020.01.23 වන දින උපදෙස් ලබාදී තිබේ.

මෙම උපදෙස් ක්‍රියාත්මක කිරීමට අදාළව එම විමර්ශනයේ උදෘත පිටපත් අධ්‍යයන කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂිත කමිටුවක් පත් කර ඇත.”

මේ අතර රන්ජන් රාමනායක සමග දුරකතන සංවාදවල නිරත වී ඇති විනිසුරුවරුන් වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන අයගේ සියලුම දුරකතන අංකයන් ලබාගෙන රන්ජන් රාමනායක සමග පැවති සියලු සංවාදවල තාක්ෂණික සාක්ෂි අධිකරණ නියෝග මත අදාළ දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාගන්නා ලෙසද නීතිපතිවරයා වහාම උපදෙස් ලබාදුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය පැවසුවේය.

https://www.youtube.com/watch?v=-MthF0p-tJE#t=6

+++++++++++++++++++++

රන්ජන් හඬපටය තවමත් සභාගත කර නැති බව කථානායක කියයි

(24.01.2020 – 11:26 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, මෙතෙක් දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරි මහතා තහවුරු කර තිබේ.

අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායකවරයා මේ බව සඳහන් කළේය.

ආන්දෝලනාත්මක දුරකථන සංවාද පැවැත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අඟහරුවාදා දිනයේදී එම හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට පැවසූවද, පෙරේදා දිනය වන තෙක් ඒවා සභාගත කර තිබුණේ නෑ.

එවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේ රන්ජන් රාමනායක මහතා පැවැත් වූ දුරකථ සංවාද පහලොස් දහසක් අඩංගු සීඩී තැටි කිහිපයක් පාර්ලිමේනුවට ලබාදුන් බවයි.

+++++++++++++++++++++

රංජන් සහ හිරුණිකා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ ගැන විවිධ අදහස්

(23.01.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.

+++++++++++++++++++++

හිටපු අගමැති කුමන්ත්‍රණයක් සඳහා මන්ත්‍රී රංජන් භාවිත කරන බවට සිංහලේ සංවිධානයෙන් චෝදනා

(23.01.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අර්බුදයකට යැවීමේ කුමන්ත්‍රණය සඳහා රංජන් රාමනායක මන්ත්‍රීවරයාව භාවිත කරමින් සිටින බවට ‘සිංහලේ සංවිධානය’ චෝදනා කරනවා.

පෙර කරන ලද පැමිණිල්ලක් සදහා ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී එම සංවිධානයේ මහලේකම් ප්‍රදීප් සංජීව මහතා මෙම අදහස් පලකළා.

මේ අතර අද පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද රංජන් රාමනායක හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලවුණා.

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬ සාම්පල ලබාගැනීම යළි දැනුම් දෙනතුරු නවතී

(23.01.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හඬ සාම්පල ලබාගැනීම සඳහා නැවත දැනුම්දෙන තුරු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නොකරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා වෙත නියෝග කර තිබෙනවා.

මන්ත්‍රීවරයා අධිකරණ නියෝගයකට අනුව අද දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මැගසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද දිනයේ (23) මන්ත්‍රීවරයා රස පරීක්ෂක වෙත ඉදිරිපත් නොකරන ලෙසත්, ඒ සඳහා දිනයක් ඉදිරියේදී ලබාදෙන බවත් අධිකරණය දැනුම් දී ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23) ප්‍රකාශ කළා.

ඒ, කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් තමන් හඬ පට සභාගත කරන බව සඳහන් කළා.

එදින පාර්ලිමේන්තු කටයුතු අවසාන වනතුරුත් කිසිදු හඬපටයක් ඔහු පාර්ලිමේන්තුවට භාරදී තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඊයේ (22) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අදාළ හඬ පට භාරදෙන්නේ දැයි විමසුවා.

නමුත් ඊයේ (22) පස්වරු හය වනවිටත් කිසිදු හඬ පටයක් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට භාර දී තිබුණේ නැහැ.

+++++++++++++++++++++

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදී, ප්‍රකාශ සිදුකරන ලෙස, හිරු සභාපති රේනෝ සිල්වාගෙන්, රන්ජන්ට සහ හිරුණිකාට අභියෝගයක් – තම කීර්ති නාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග

(23.01.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් කුඩු ව්‍යාපාරයේ යෙදෙන බවට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාටත්, හිරු මාධ්‍ය ජාලයටත්, පසුගියදා පදනම් විරහිත, අසත්‍ය, අභූත චෝදනා රැසක් එල්ල කළා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා

ජනතාවට සේවය කරන බව පවසමින් ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙකලා, ඉතා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ එම ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

රේනෝ සිල්වා මහතා ඔවුන්ට අභියෝග කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී කාඩ්බෝඩ් වීරයින් සේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී, හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසයි.

එසේ වුවහොත් එම මොහොතේදීම අධිකරණය ඉදිරියේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉතා ඕනෑකමින්, සූදානම්ව සිටින බව ද, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අවධාරණය කළා.

කිසිදු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව, තම කීර්ති නාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනයක වන්දි ඉල්ලා මේ වනවිටත් එන්තරවාසි යවා ඇති බව රේනෝ සිල්වා මහතා සඳහන් කළා.

කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මෙම සාවද්‍ය ප්‍රකාශ සිදුකරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම්, පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත්, එලෙස ප්‍රකාශයන් නිකුත් කළ සැණින් තම කීර්ති නාමයට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත්, රේනෝ සිල්වා මහතා මෙම මන්ත්‍රීවරුන්ට අභියෝග කරනවා.

+++++++++++++++++++++

විනිසුරු පිලපිටියට වරෙන්තු ගැනීම ගැන නිර්දේශ සොයා පංච පුද්ගල පොලිස් කමිටුවක්

(24.01.2020 – 19:15 +0530 – sinhala.adaderana.lk)

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට අදාළව, එම විමර්ශනයේ උධෘත අධ්‍යයන කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගත්තේය.

ඒ අතර නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබුණේ එම විමර්ශනයේ දෙවන සැකකරු ලෙස විනිසුරු ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසයි.

අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද සාක්ෂි නිර්මාණය කිරීම සඳහා මෙම විමර්ශනයේ පළමු සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළි වී ඇති බවද නීතිපති උපදෙස්වල සඳහන්.

මෙවන් පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අදාළව එම විමර්ශනයේ උධෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇත.

ඒ අනුව විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන එම කමිටුවේ නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

මේ අතර නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව අද (24) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නීනීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් විරෝධතාවයක් සංවිධාන කර තිබුණි

+++++++++++++++++++++

නීතිඥවරුන්ගෙන්, නීතිපතිට දින දෙකක්

(24.01.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායක වැනි පුද්ගලයින් නිසා හානි සිදුවූ අධිකරණ පද්ධතිය රැකගැනීමේ වගකීම රජය සතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, කතානායක කරූ ජයසූරිය අද සභාවට දැනුම් දුන්නේ තමන් සතු හඬපට සභාගත කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා පැවසුවද මෙතෙක් කිසිදු හඬ පටයක් ඔහු පාර්ලිමේන්තුවට ලබාදී නොමැති බවයි.

රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සභාවට දැනුම් දුන්නා.

මේ අතර, වරෙන්තුවක් ලබාගෙන විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

මේ අතර, නීතිපතිවරයා, විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට ලබාදුන් උපදෙසට විරෝධය පළ කරමින් කොළඹ නීති සංගමයද අද (24) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කියා සිටියේ නීතිපතිවරයාගේ එම තීරණය ඉවත් කර ගැනීමට දින දෙකක කාලයක් ලබා දෙන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *