චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

(25.01.2020 – 21:41 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 41 දෙනකු මියගොස් ඇති අතර වෛරසය පැතිර ගොස් රටවල් ගණන 11 ක්.

මේ වන විට ලෝකයේම අවධානයට යොමු වි ඇති මාරාන්තික කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන්.

නගරයේ කරදිය මත්ස්‍ය වෙළඳපොලක් ආශ්‍රිතව මෙම රෝගින් වාර්තා වි තිබු අතර එහි කුකුලන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන් ද අලෙවි කෙරෙන බව වාර්තා විය.

චීන සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.

එමෙන්ම සාමාන්‍ය වෛරසයක් බෝවන ආකාරයෙන්ම මිනිසාගෙන් මිනිසාට මෙම කොරෝනා වෛරසය බෝ වන බවට තහවුරු කර ගෙන තිබේ.

කොරෝනා වෛරස වැළඳුණු චීන ජාතිකයින් ඇඳ වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කොරෝනා හේතුවෙන් දැනට චීනයේ පමණක් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසයට ගොදුරු වි ඇති සංඛ්‍යාව 1200 කට අධිකයි.

මිය ගිය පිරිස අතර හුබෙයි ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරයෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වු චීනයේ හුබෙයි පළාතේ වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

මේ හේතුවෙන් වුහාන් නගරයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රි ලංකික සිසුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 30 දෙනෙකු පමණ දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ‘අද දෙරණ’ට වාර්තා විය.

ඔවුන් පවසන්නේ, නිරෝගීව පසුවන තමන්ට ආහාර ඇතුළු දෛනික අවශ්‍යතා සපුරාගැනීමේදී ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.

මේ අතර චීනයේ බිජිං නුවර වත්මන් තත්ත්වය ‘අද දෙරණ’ වෙනුවෙන් එහි සිටින චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශයේ වංහියුන් සුනිමලි තොරතුරු ගෙන අවේය.

චීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා කියා සිටියේ එරට සිටින කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවයි.

මේ අතර අමෙරිකාව, ප්‍රංශය , දකුණු කොරියාව , ජපානය , සිංගප්පුරුව , තායිලන්තය සහ ඔස්ට්‍රේලියාවෙන්ද කොරෝනා වෛරසය අසාදිත වු පුද්ගලයින් වාර්තා වි ඇත.

දකුණු ආසියානු රාජ්‍යයකින් පළමු කොරෝනා රෝගියා වාර්තා වන්නේ නේපාලයෙන්.

ඉන්දියාවේද කොරෝනා රෝගීන් සිටින බවට වාර්තා වුවත් මෙතෙක් එම තොරතුරු තහවුරු වී නැත.

මේ අතර අද දෙරණ කළ විමසීමකදි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙතෙකේ ශ්‍රි ලංකාව තුළින් කිසිඳු කොරෝනා වෛරසය ආසාධනය වුවෙකු වාර්තා වි නොමැති බවයි.

+++++++++++++++++++++

***************************************

අග හිඟ කම් කරන සරදම්

(25.01.2020 – 21:05 +0530 – hirunews.lk/sinhala)

දුප්පතකම බොහෝ දරුවන්ට පාසල් ජීවිතය මෙන්ම තම සොඳුරු ළමාවියද ජීවිතයෙන් දුරස් කරනවා.

එවන් සංවේදී කතාපුවතක් අපට පදියතලාව – මොරදෙණියාය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව – මොරදෙණියාය ගම්මානයේ ජීවත්වන මොවුන් දිළිඳුකමින් දැඩිලෙස පීඩාවිඳිනවා.

මෙම දරුවන්ගේ පියාද රෝගී තත්ත්වයකින් පෙළෙන අතර, ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන්නේ කුලී රැකියාවලින් ලැබෙන සොච්චම් මුදලක්.

13 වෙනි වියේ පසුවන මෙම පවුලේ එකම දියණිය වන නෙත්මි පුන්සරා මීමැස්මොර රෝගයෙන් පීඩා විඳින්නේ කලක සිටයි.

දිනකට එක් වේලක් පමණක් කුසට අහරක් ලබාගන්නා මෙම දැරිය නිවසේ බිත්තියේ ඇති මැටි වැඩි වශයෙන් ආහාරයට ගන්නා බවයි ඇගේ මව පවසන්නේ.

+++++++++++++++++++++

***************************************

ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි

(25.01.2020 – 16:16 +0530 – hirunews.lk/sinhala)

ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන ආයති ජාතික මධ්‍යස්ථානය රාගමදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (25) විවෘත කරනු ලැබුවා.

දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු කායික හෝ මානසික ආබාධයකින් පෙලෙන බව පර්යේෂණයන්ගෙන් අනාවරණ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කල් තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදීමෙන්, ඔවුන් වඩාත් ඵලදායි ලෙස සමාජ ගත කළ හැකියි.

මෙයට විසඳුමක් ලබාදීම සඳහා රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශය අතර එකඟතාවකින් ආයති ජාතික මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.

රුපියල් කෝටි 55 ක් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සතියේ සෑම දිනකම නොමිලේ සායන පැවැත්වෙන අතර කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම්ලත් වෘත්තීය විශේෂඥයන්ගේ සේවය ආයති ජාතික මධ්‍යස්ථානයට හිමිවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආයති ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව එහි සියලු අංශ නිරීක්ෂණය කර දරුවන්ගේ සුවදුක් විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

***************************************

පාන් පිටිවලට වස ගහන වෙළෙන්දෝ

(25.01.2020 – 22:26 +0530 – sinhala.adaderana.lk)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි තොග වෙළඳ සැළකට අයත් ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපතිවරයා අද (25) පියවරගත්තේය.

අප වාර්තාකරු පැවසුවේ, කෘමිනාශක යොදා ගුල්ලන් සහ පණුවන් විනාශ කර යළි ඇසුරුම් කර වෙළෙදපොළට නිකුත් කිරීම කලක පටන් සිදුව ඇති බව එහිදී අනාවරණ වූ බවයි.

ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 3 දෙනෙකු මෙහිදී හමුවූ අතර, තිරිඟු පිටි ඇසුරුම් 52 ක්ද දඹුල්ල නගර සභාව සිය භාරයට ගත්තේය.

කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (25) සතොස මූලස්ථාන ගොඩනැගිල්ල නිරීක්ෂණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, අනුරාධපුරයේ පවතින සියලුම වී ගබඩාවන් නිරීක්ෂණය කිරීමට වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතා ඊයේ (24) කටයුතු කළේය ෴

***************************************

ලලිත් ඇතුළත්මුදලි ඝාතනයේ ඔත්තුකරුට ලක්ෂ 50 ක් අහිමි වූයේ කෙසේ ද?

(25.01.2020 – 21:25 +0530 – sinhala.adaderana.lk)

ලොව ඕනෑම රටක අපරාධ පිළිබද තොරතුරු සොයාගැනීම සඳහා ජනතා සහාය ලබාගනියි.

එය ලංකාවේද නිරන්තරයෙන් ක්‍රියාත්මක වන අතර විශාල මුදල් ත්‍යාග ද ලබාදෙන්නේ ඔවුන් දිරිමත් කිරීම සඳහායි.

නමුත්, අප මේ ඔබට වාර්තා කරන්නේ, රුපියල් ලක්ෂ පනහක් දෙන බවට සාර්ථක ඔත්තුවක් දුන් පුද්ගලයෙකුට එය අහිමිවීමේ පුවතක්.

දිනය : 1993.04.23

වේලාව : ප.ව. 8.35

ස්ථානය : කිරුළපන නගර සභා ක්‍රීඩාංගණය

සිදුවීම : ලලිත් ඇතුළත්මුදලි ඝාතනය

සංරක්ෂිත දර්ශන සහ පුවත්පත් ඡායාරූප

වොයිස් – (රතිඤ්ඤා හඬත් එක්කම වෙඩි තිබ්බා. ලලිත් ඇතුළත්මුදලි මහත්තයාගේ ඇස්දෙක උඩගියා.)

මොහු ලලිත් ඇතුළත්මුදලි ඝාතනයේ පළමු ඇසින් දුටු සාක්ෂිය .

නෙරන්ජන් ශාන්තකුමාර විජේගුණවර්ධන මහතා පසුගියදා දෙරණ කාර්යාලට පැමිණියේය.

ඒ තමන්ට වූ අසාධාරණයක් ගැන කියන්න.

කෙසේ වෙතත්, ලලිත් ඇතුළත්මුදලි ඝාතනයේ චෝදනාව එල්ල වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට.

ඒ අනුව ඝාතනයෙන් පැය 48 ක් තුළ රඝුනාදන් නැමැති පුද්ගලයෙකු කිරුළපන මුගලන් පාරේ දී ඝාතනය විය.

නමුත්, ඇත්ත අනාවරණය වන්නට පටන් ගන්නේ, චන්ද්‍රිකා රජය විසින් ඇතුළත්මුදලි ඝානය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කොමිසම හරහායි.

ඒ අනුව කොමිසම ඉදිරියට ගිය නෙරන්ජන් මහතාට ලලිත් ඇතුළත්මුදලිට මහතාට වෙඩි තැබූ ඝාතකයා හඳුනාගැනීමට හැකි විය.

ලංකාවේ ප්‍රබලම දේශපාලනඥයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ ඝාතනයේ සත්‍ය සෙවීමට එවක පොලිසිය නිවැරදි තොරතුරු සපයන්නෙකුට රුපියල් ලක්ෂ 50 ක් දෙන බවට පුවත්වල දැන්වීම් පවා පළකර තිබුණි.

කෙසේවෙතත් ලලිත් ඝාතනයේ නිවැරදි තොරතුරු දුන් නෙරන්ජන් මහතාට අදාළ ත්‍යාග මුදල කිසිදු දිනක හිමිකරගැනීමට හැකිවූයේ නැත.

අපරාධකරුවන් සෙවීම සඳහා පොලිසිය ජනතාවගේ සහාය ගැනීමට විටින් විට ත්‍යාග මුදල් සපයනු ලබයි.

නමුත් එවැනි ත්‍යාග මුදල් ලබාදීම ප්‍රතික්ෂේපවීමෙන් සිදුවන්නේ, තොරතුරු සපයන්නන් අධෛර්යමත්වීම නොවේ ද?

තම ජීවිතය පවා පරදුවට තබමින් නෙරන්ජන් විජේගුණවර්ධන මහතා දුන් තොරතුරට සාධාරණයක් කිරීම බලධාරීන්ගේ වගකීමක්.

https://www.youtube.com/watch?v=BlRJqx0nAP8#t=6

***************************************

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම….

(26.01.2020 – Ajith Nivard Cabraal FB)

බැඳුම්කර මගඩිය “වසන් කිරීමේ” ප්‍රයත්නයේ තවත් වැදගත් අංශයක් වශයෙන් “වෝහාරික විගණනය” පෙන්වා දිය හැකිය.

• 2018 වසර තුලදී, “වෝහාරික විගණනයක්” පවත්වන්නේ යයි කියමින්, වසරක කාලයක් චූදිතයන් සහ හොරුන්ට නිදැල්ලේ සිටීමට අවකාශයක් ලැබුණා.

• බැඳුම්කර මගඩිය මුලින්ම ක්‍රියාත්මක කිරීමේ දී සේවය කල සහ ඉන්පසුව එම මගඩිය සෑම ආකාරයකින්ම වසන් කිරීමට සහය ලබා දුන් මුදල් මණ්ඩල සාමාජිකයින්ගෙන් බහුතරයකින් සමන්විත වූ මුදල් මණ්ඩලයේ “අධීක්ෂණය යටතේ” (under the authority of the Monetary Board) “2015 ට පෙර” කටයුතු පිළිබඳව “වෝහාරික විගණනයක්” යයි කියමින් තවත් ක්‍රියාවලියක් 2019 අප්‍රේල් මස ආරම්භ කළා.

• එසේ කරද්දී, ඊට පෙර, කරන ලද විගණකාධිපතිවරයාගේ විගණන, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු යනාදිය ඕනෑකමින් සැලකිල්ලට නොගෙන ඇති බව පෙනේ.

“වෝහාරික විගණනය” සඳහා විවිධ පෞද්ගලික සමාගම් වලට දැවැන්ත ගෙවීම් කළා..

• “වෝහාරික විගණනය” සඳහා රුපියල් මිලියන 275 ක් ගෙව්වා යයි මහ බැංකුව ඉතා උජාරුවෙන් නිවේදනයක් නිකුත් කරා. එහෙත්, කිසිදාක මහ බැංකුවේ සිදු නොවූ ආකාරයට මුදල් මණ්ඩලයේ සභිකයින් දෙදෙනෙකුටත් (ක්‍රිෂාන්ත පෙරේරා සහ නිහාල් ෆොන්සේකා) 2019 වසරේදී රුපියල් ලක්ෂ 16 ක දැවැන්ත මුදලක් එම විගණන “සම්බන්ධීකරණය” පිණිස ගෙවා ඇති බව සදහන් කළේ නැහැ.

• මෙම විගණනය නිලධාරී මට්ටමින් “සම්බන්ධීකරණය” කිරීම සඳහා මුදල් මණ්ඩලය පත්කළේ රනිල් වික්‍රමසිංහ සහ එ.ජා.ප. යට ඉතා සමීප නිලධාරියෙකු වන නෙලුමනී දවුලුගල මහත්මියයි.

• ඉහත සදහන් අය සහ එජාපයට සම්බන්ධ නායකයින් සමඟ පවත්වා ගෙන යන සම්බන්ධතා ඔවුන්ගේ දුරකතන ඇමතුම් පරීක්ෂා කිරීමෙන්ද වෙනත් ක්‍රමවේදයන් හරහා ද පරීක්ෂා කල යුතුයි.

ශ්‍රී ලංකාව විදේශ විනිසුරුවරු ශ්‍රී ලංකාවේ කටයුතු වලට අතපෑම ගැන විරුද්ධත්වයක් පළ කරන අතරම, විගනකාධිපතිගේ සෙිවය නොසලකමින් විදේශ සමාගම්, විගණනය සම්බන්ධයෙන් යොදවා ගැනීම අතිහය සැකසහිතය.

“වෝහාරික විගණන” කණ්ඩායම් වලට දැවැන්ත ගෙවීම් වලට අමතරව, වෙනත් පහසුකම් ද මහ බැංකුවේ මුදලින් ලබා දුන්නා..

• “පරිවර්තකයින්” සදහා රු. 200,000 ක් ගෙව්වා.

• සාමාන්‍ය සහ Note book පරිගණක, බාහිර Hard Disk, Scanning යන්ත්‍ර, කාර්යාල උපකරණ, ඡායා පිටපත් යන්ත්‍ර, කෝපි සෑදීමේ යන්ත්‍ර, ලියකියවිලි විනාශ කිරීමේ යන්ත්‍ර (Shedders), ලිපි ද්‍රව්‍ය, මුද්‍රණ යන්ත්‍ර යනාදිය සඳහා රුපියලි මිලියන 10 ක් පමණ මුදලක් වැය කලා.

• කාර්යාල පහසුකම්, දුරකතන පහසුකම්, අඩු මිලට ආහාරපාන, නවාතැන් පහසුකම්, මහ බැංකු සහයකයින්, මහ බැංකුවෙන් සපයන ලද ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා.

මාස 7 ක පමණ කාලයක් තුලදී මෙම පහසුකම් ඉන්දියාවෙන් පැමිණි විදේශීය සේවකයින් 30 දෙනෙකුට පමණ ලබා දී ඇති බවට කරුණු හෙලිවී තියෙනවා.

“වෝහාරික විගණනය” සඳහා රුපියල් මිලියන 275 ක් සහ තවත් රුපියල් මිලියන 25 ක පමණ විශාල සම්පත් තොගයක් වැය කිරීමෙන් විදේශ සේවකයන් 30 දෙනෙකු පමණ මාස 7 ක් පමණ සේවයේ යොදවා ඇති බව මෙයින් පෙනේ.

මුලු රජයේම ආයතන, අමාත්‍යාංශ, සංස්ථා, මණ්ඩල, පළාත් සභා, ප්‍රාදේශීය සභා යනාදී සියල්ලන්ම විගණනය සඳහා සේවකයින් 1,713 දෙනෙක් යොදවා ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව 2018 දී වැය කර ඇත්තේ රුපියල් මිලියන 1,464 ක් පමණි!

• ඉහත කී විගණන වලට අමතරව, එම මුදලින් 2018 වසරේදී විශේෂ විගණන 27 ක්ද සම්පූර්ණ කර ඇති අතර, ඒවායින් එකක් වී ඇත්තේ 2015 සහ 2016 වසරවලදී සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරීභාවය පිළිබඳවය.

• මෙපමණ කටයුතු රාශියක් විගණකාධිපති දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1,464 ක් වැය කරමින් කර ඇති අතර, 30 දෙනෙකුගේ මාස 7 ක් පමණ සේවය සදහා, රුපියල් මිලියන 300 ක පමණ මුදලක් මුදල් මණ්ඩලය වැය කිරීම ගැන ඇත්ත වශයෙන්ම තියුණු විග්‍රහයක් කල යුතුය!

මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම වෝහාරික විගණනය මුදල් මණ්ඩලයේ “අධීක්ෂණය යටතේ” (under the authority of the Monetary Board) ක්‍රියාත්මක කිරීම මහත් විහිළුවකි. පුදුම සහගතය. සියලුම ශිෂ්ට සම්පන්න සම්ප්‍රදායන්ට විරුද්ධය. කිසිසේත් පිළිගත නොහැක.

• “තමාගේම කාරණාවක යම් පුද්ගලයෙකු කිසිවිටෙක විනිශ්චයේ නොයෙදිය යුතුය” යන සිද්ධාන්තය උල්ලන්ඝනය කළා.

• “යුක්තිය ඉටු විය යුතු පමණක් නොව, ඉටු වනවා යයි පෙනිය යුතුය” යන සිද්ධාන්තය උල්ලන්ඝනය කළා.

• “වෝහාරික විගණනයන් සම්පූර්ණයෙන්ම ස්වාධීන ලෙස සිදුවිය යුතුය” යන සිද්ධාන්ත උල්ලන්ඝනය කළා.

• මෙයින් තහවුරු වන්නේ බැඳුම්කර වංචාවේ දූෂිතයන්ට සහ හොරුන්ට පැන යාමට තවත් මාර්ගයක් කපමින්, ඔවුන් කෙරෙහි ඇති අවධානය තවත් අතකට හරවමින්, විශාල මුදලක් ඒ සඳහා පෞද්ගලික ආයතනවලට ලබා දෙමින්, “වෝහාරික විගණනය” තම යටිකූට්ටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමට පසුගිය රජයේ දේශපාලඥයින් සහ බැඳුම්කර මගඩියට සම්බන්ධ නායකයින් යොදවා ඇති තවත් කූට ප්‍රයත්නයක් බවයි.

2019 වන විට මුදල් මණ්ඩලයේ සේවය කරන සියලුම සාමාජිකයින් බැඳුම්කර වංචාවට සෘජුවම හෝ වක්‍රාකාරව සම්බන්ධ හෝ එය වසන් කිරීමට උත්සාහ දරා ඇති පුද්ගලයන්ය.

ඒ නිසා, මෙම වෝහාරික විගණනය එවැනි අයගෙන් සමන්විත මුදල් මණ්ඩලයෙන් අධීක්ෂණය සහ මඟ පෙන්වීම ඔස්සේ ක්‍රියාත්මක කිරීම සියලුම නීතිමය සහ යහපාලන සිද්ධාන්ත වලට පටහැනි බව පැහැදිලිය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *