ඇලෝසියස් බැදුම්කර බෑණා සුජීව සේනසිංහට කෝල් 217 ක් අරන්.. දුරකතන වාර්තාව බැදුම්කර කොමිසමට..

(16.11.2017 – 15:03 +0530 – lankacnews.com)

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් පරීක්‍ෂණය සිදුවන අතරතුරදී හිටපු මහ බැංකු අධිපතිගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජික මන්ත‍්‍රීවරුනට ලබා ගත් දුරකතන ඇමතුම් සම්බන්ධ විස්තරයක් අද දිනයේ නීතිපතිවරයා විසින් බැදුම්කර කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී සුජීව සේනසිංහ මහතාට දුරකතන ඇමතුම් 217 ක්, හර්ෂණ රාජකරුණාට ඇමතුම් 20 ක්, දයාසිරි ජයසේකරට ඇමතුම් දෙකක් ලෙස අර්ජුන් ඇලෝසියස් විසින් ලබා ගෙන ඇති බව හෙලි දරවු වී ඇත.

අර්ජුන් ඇලෝසියස් ඉහත මන්ත‍්‍රීවරුන් ඇතුළුව කෝප් කමිටුවේ සාමාජික මන්ත‍්‍රීන් අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි යන මන්ත‍්‍රීවරුන් සමග දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති බවද හෙලිව තිබේ ෴

+++++++++++++++++++++++++++++

අර්ජුන් මහේන්ද්‍රන් සහ කසුන් පලිසේන අතර සිදු වූ දුරකතන සංවාද සහ කෙටි පණිවුඩ පිළිබඳ තොරතුරු හෙලිවේ
(16.11.2017 – 13:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අතර සිදුවූ දුරකතන සංවාද 07 ක් සහ කෙටි පණිවුඩ 07 ක් හමුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැදුම්කර කොමිසමට අද දැනුම් දුන්නා.

ඒවායේ ඇතැම් දත්ත ප්‍රශ්ණගත බැදුම්කර සිද්ධියට සම්බන්ධ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර අද පෙරවරුවේ බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ත ජයසිංහ මහතා කියා සිටියේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයේ තිබූ ඇතැම් දත්ත මකා දමා ඇති බවට හෙලිව ඇති බවයිි.

මෙහිදී අර්ජුන් ඇලෝසියස්ගේ සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ජංගම දුරකතන වල තිබූ දත්ත විශ්ලේෂණය කර සකස් කළ වාර්තාවක්ද ඔහු කොමිසම වෙත ඉදිරිපත් කළා ෴

+++++++++++++++++++++++++++++

බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට, අගමැතිට දැනුම් දෙයි
(16.11.2017 – 16:25 +0530 – hirunews.lk/sinhala)

බැදුම්කර පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අද එම කොමිසම දැනුව් දී තිබෙනවා.

ඒ අනුව, ලබන සදුදා පෙරවරු 10 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව සදහන් ෴

+++++++++++++++++++++++++++++

බැඳුම්කර වංචාකරුවන්ට අලුත් ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු
(16.11.2017 – mawbima.lk)

මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව එම දූෂණ හා වංචාවලට අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයාගේ නිර්දේශ මත අලුතෙන් පිහිටුවන ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු පැවැරෙනු ඇතැයි ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

දැනට පවතින ක්‍රමවේදය යටතේ මහාධිකරණයක නඩුවක් විභාග කර අවසන් කිරීමට වසර 10 ක්ද, අභියාචනාධිකරණයේ සහ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අභියාචනයක් අවසන් කිරීමට වසර 7 ක් වශයෙන් වසර 17 ක් ගතවන බවත් නඩු පැවැරීම ප්‍රමාදවීම හා නඩු විභාග ප්‍රමාදවීම වැළැක්වීමට රජය ගෙන යන නව වැඩපිළිවෙළ අනුව කෙටි කාලයක් තුළ නඩු කටයුතු නිම කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (15 දා) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *