නීතිපති දප්පුල ගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට දැනුම් දීමක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නීතිපති දප්පුල ගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට දැනුම් දීමක්

• ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක්

• බැදුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදයට දින නියම වෙයි (විඩියෝ)

• කොරෝනා ආවා කියලා චීනේ එක්ක තියෙන සම්බන්ධතා නවතින් නෑ – අමරවීර (විඩියෝ)

• කොරෝනා වෛරසය ගැන පරීක්ෂාවට රෝහල් 12 ක් නම් කරයි (විඩියෝ)

• වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා චක්‍රලේඛයක්

• චීනයේ සිට ලංකාවට පැමිණි සිසුන් දියතලාවේ හමුදා කඳවුරක් වෙත (විඩියෝ)

• දියතලාවට රැගෙනඑන කොරෝනා සැකකරුවන් ගැන බදුල්ලේ වෛද්‍යවරු කියන කථාව

• වෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟයක්. මිලත් ඉහළට. චීනෙන් අමුද්‍රව්‍ය ගෙන්වන නිසා මෙරට නිෂ්පාදනයටත් බාධා

• කොරෝනා කඩිනමින් තුරන් නොවනු ඇති බව විශේෂඥයින්ගෙන් අනාවැකි

• කොරෝනා ආසාදිත චීන කත සුව අතට හැරෙන ලකුණු – තවත් චීන ජාතිකයෙකු අදත් IDH රෝහලට ඇතුළත් කෙරේ

• චීන කත සැරිසැරූ තැන් ගැන තොරතුරු හෙළිවෙයි

• චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට

• ජනාධිපති තුනෙන් දෙකක බලයක් ගත්තේ නැත්නම් වැඩක් නෑ – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නීතිපති දප්පුල ගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට දැනුම් දීමක්

(28.01.2020 – 16:25 +0530 – sinhala.adaderana.lk)

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන අයට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙසට තමන්ට නියෝග කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට නීතිමය අයිතියක් නොමැති බව නීතිපතිවරයා විසින් එම කොමිසමට දන්වා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව ‘අද දෙරණ’ට දැණුම් දුන්නේය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන අයට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ඊයේ (27) නීතිපතිවරයා වෙත නියම කළේය.

නීතිපති දප්පුල

දේශපාලන බලපෑම් මත අධිකරණය ඉදිරියේ පවතින නඩුවක තමන් චූදිතයන්වී ඇති බවට වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී දසනායක යන මහත්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති කොමිසම පැවසුවේය.

කොමිසම විසින් පැමිණිලි විමර්ශනයට පෙර ඔවුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩු කටයුතු පවත්වාගෙන යාමෙන් පැමිණිලිකරුවන්ට අගතියක් සිදුවන බව කොමිසමේ අවධානයට ලක්ව තිබේ.

එබැවින් පැමිණිලිකරුවන් දේශපාලන බලපෑම් මත නඩු විභාගයක් සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින්නේ ද යන්න පිළිබඳ තීරණය කරන තෙක් එම නඩු විභාගය පවත්වාගෙන යාම සහ ඊට අදාල සාක්ෂි විභාග කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වලක්වාලමින් නීතිපතිවරයා වෙත නියෝගය නිකුත් කර ඇති බව කොමිසම සඳහන් කළේය ෴

+++++++++++++++++++++

ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක්

(28.01.2020 – 17:02 +0530 – lankadeepa.lk)

නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවකට අධිකරණයක් හමුවේ විභාග කෙරෙන නඩු කටයුත්තකට අදාළව නියෝග දීමේ හෝ වාරණය කිරීමේ නීතීමය බලයක් හෝ අයිතියක් නොමැති බවද නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව කළ දැනුම් දීමේදී අවධාරණය කොට ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව කළ දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු සපයමින් නීතීපතවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට මේ බව දැනුම් දී ඇත.

2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබදව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සදහා පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.

මෙම කොමිසමට පසුගිය 22 වැනිදා පළමු පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන් විසින් දේශපාලන බලපෑම් මත තමන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කොට ඇති බවට පැමිණිලි කොට ඇති බව දැනුම් දී තිබු අතර ඒ සම්බන්ධයෙන් 23 වැනිදාම විමර්ශනය කළ කොමිසම වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් නියෝගයක් නිකුත් කොට තිබිණි.

ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව පිළිතුරු සපයමින් නීතීපතිවරයා අධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ විමර්ශන වලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බව දැනුම් දී ඇත.

මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරනු ලැබ්වේ සියළුම නෛතික ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව තමන් වෙත පැවරී ඇති නීතීමය බලතල අනුව බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා තමන්ගේ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බවද පෙන්වා දී ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 04 සී හා 105 වැනි වගන්තීන් අනුව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුත්තක් වන පැමිණිල්ල මෙහෙයවීම නතර කිරීමට කොමිසමකට කිසිඳු නෛතික ප‍්‍රතිපාදනයක් නොමැති බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත ෴

***************************************

බැදුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදයට දින නියම වෙයි

(28.01.2020 – 17:35 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ලබන පෙබරවාරී 18 සහ 19 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

මෙම වාර්තාව විවාදයට ගන්නා ලෙස එම කාරක සභා රැස්වීමේදී විපක්ෂය කළ ඉල්ලීමට අනුව ආණ්ඩු පක්ෂය දින දෙකක් ඒ සදහා ලබා දීමට එකගත්වය පළ කර තිබේ.මෙම විවාදයට පෙර එම වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියත් එය දුෂ්කර කාර්යයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.

ඒඅනුව දැනට සී.ඩී තැටියක ලබා දී ඇති එම වාර්තාවේ පිටපත් ඡායා පිටපත් කර මන්ත්‍රීවරුන් වෙත ලබන පෙබරවාරි මුල් සතියේ ලබා දෙන ලෙසද මෙහිදී මන්ත්‍රීවරු ඉල්ලා තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සභානායක හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන්ද විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.ඒ. සුමන්තිරන් සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ද සහභාගී විය ෴

+++++++++++++++++++++++++++++++++++

28-01-2020

***************************************

කොරෝනා ආවා කියලා චීනේ එක්ක තියෙන සම්බන්ධතා නවතින් නෑ – අමරවීර

(28.01.2020 – 15:51 +0530 – sinhala.adaderana.lk)

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට යම් බාධාවක් එල්ල වුවද චීනයත් සමඟ පවතින සබඳතාවලට එය බාධාවක් නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සංචාරක ව්‍යාපාරයට බාධාවන් එල්ල වන බවයි.

කෙසේ වෙතත් එන ඕනෑම අභියෝගයක් බාර ගන්නා බවත් පැවසු අමාත්‍යවරයා, චීනයත් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන බවත් පැවසීය.

කොරෝනා වෛරසය පැමිණි පමණින් චීනය සමඟ ඇති සම්බන්ධය නවතින්නේ නැතැයි ද පැවසු අමාත්‍යවරයා, එයට අදාළ සෞඛ්‍ය විධි විධාන ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේය.

මෙම වෛරසය වැළැක්වීමට මුළු ලෝකයම අද වන විට එකතු වී ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් එය පාලනය කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

***************************************

කොරෝනා වෛරසය ගැන පරීක්ෂාවට රෝහල් 12 ක් නම් කරයි

(28.01.2020 – 13:30 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් ඇති වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් දොළහක් (12) සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසීය :

“දැනට භාවිතා කරන ලද අංගොඩ IDH රෝහලට අමතරව ඊයේ (27) සිට තවත් රෝහල් කිහිපයක් ඇතුළක් කරා.

කොරෝනා බවට සැකසහිත රෝගීන් පසුගිය දිනවලදී මුලතිවූ ප්‍රදේශයෙන්, මහනුවර ප්‍රදේශයෙන්, වාද්දූව ප්‍රදේශයෙන් රැගෙන ආ බවත් එය සතුටු දායක තත්ත්වයක් නොවන නිසාවෙන් උණ රෝහලට අමතරව උතුරු කොළඹ ශීක්ෂණ රෝහල, ගම්පහ රෝහල, මීගමුව රෝහල, මහනුවර ජාතික රෝහල, කාරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පාළාත් රෝහල, මඩකළපුව ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් රෝහල යන රෝහල් ප්‍රකාශයට පත්කරා.

මේ රෝහල් අදාළ ප්‍රදේශවල යම් සැක සහිත රෝගියෙක් සිටීනම් අදාළ රෝහල් සඳහා රැගෙන ඒමේ හැකියාව තිබෙනවා.”

කොරෝනා වෛරසය සම්බන්ධ තොරතුරු දැන ගැනීමට ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති අතර අදාල දුරකථව අංක පහතින් දැක්වෙයි :

• සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ පැය 24 පුරා විවෘත දුරකථන අංකය : 071 010 7107

• අපදා ඒකකයේ දුරකථන අංකය : 011 307 1073

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා චක්‍රලේඛයක්

(28.01.2020 – 11:58 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා විශේෂ උපදෙස් මාලාවක් සහිත තාක්ෂණික චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

‘නව කොරෝනා වෛරසය’ පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මෙහිදී ගුවන් තොටුපළට අනුයුක්ත කර ඇති විශේෂ වෛද්‍ය කණ්ඩායම, සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩලය මුඛ ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ ඇයනුම් කර ඇති බවයි.

ඊට අමතරව වෙමම වෛරසය පැතිර යාම අවම කිරීම වෙනුවෙන් පිටු 4 කින් සමන්විත විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

චීනයේ සිට ලංකාවට පැමිණි සිසුන් දියතලාවේ හමුදා කඳවුරක් වෙත

(28.01.2020 – 11:55 +0530 – sinhala.adaderana.lk)

චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලුම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇත.

එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය පවසා සිටියේ, චීනයේ සිට පැමිණෙන සංචාරකයින් විශාල ප්‍රමාණයක් හා ලංකාවේ රැකියා බලපත්‍ර ඇති බොහෝ පිරිසක් ඇති බවයි.

එබැවින් මෙම පිරිසගෙන් ලංකාවේ දරුවන් හෝ සංචාරකයින් හෝ රැකියා බලපත්‍ර හිමි ඕනෑම අයෙක් ඔවුන් ජීවත් වෙන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂණයට ලක් කරමින් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

විශේෂයෙන් වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි සිසුන් සති දෙකක් යන තුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

+++++++++++++++++++++++++++++++++++

28-01-2020

+++++++++++++++++++++++++++++++++++

දියතලාවට රැගෙනඑන කොරෝනා සැකකරුවන් ගැන බදුල්ලේ වෛද්‍යවරු කියන කථාව

(28.01.2020 – 23:43 +0530 – lankaleadnews.com)

චීනයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්වයකට පත්වුව හොත් එම රෝග පරීක්ෂා කිරීම සඳහා පහසුකම් මෙම ප‍්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමති බවත් එවැනි තත්වයක් මත නැවතත් එම රෝගියා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටළු රාශියකට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

දියතලාව යුද හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් වුවද එම ස්ථානයේ සිටින වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මෙවනි වසංගතයක් පැතිරීයාම නතර කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් එමෙන්ම මෙම යුද හමුදා කඳවුර අවට නිරෝගී ජනතාවක් වෙසෙන අතර මෙවනි වෛරසයක් ආසාධිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට රැගෙනවිත් තවත් ගැටළුවක් ඇති කිරීම වැළැක්වීමට බලධාරීන් නිසි තීන්දු තීරණ ගත යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

වෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟයක්. මිලත් ඉහළට. චීනෙන් අමුද්‍රව්‍ය ගෙන්වන නිසා මෙරට නිෂ්පාදනයටත් බාධා

(28.01.2020 – biz.adaderana.lk)

මේ වන විට කොරෝනා වෛරස් තත්ත්වය හේතු කොට ගෙන උද්ගතව ඇති අධී ඉල්ලුම් වාතාවරණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිය සඳහා ඇති මුඛ ආවරණවල හිඟයක් දක්නට ලැබෙන බවත්, ඇතැම් වෙළෙඳුන් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට පෙළඹී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අද (28) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිරාච්චි මහත්මියගෙන් විමසීමක් කළේය.

මාධ්‍යවේදියා : “රු. 87 කට තිබුණු මුඛවාඩම කූඨ වෙළෙඳුන් විසින් රු. 500 ත් ඉක්මවා මිලකට අලෙවි කරනවා. දැන් ජනතාවට මේවා ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඔබතුමිය මේ පිළිබඳව අවධානයක් යොමුකරලා තිබෙනවාද? හදිසි තත්ත්වයෙන් යටතේ අත්අඩංගුවට ගැනීම් කරන්න පුළුවන්ද? රජයට මේවා ජනතාවට නොමිලේ ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්ද?”

මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය :

“මහජනතාවට මිල දී ගැනීම සඳහා පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කිරීමට අද දවසේ මේවා නිෂ්පාදනය කරන ආයතන 3 ක් සමඟ සාකච්ඡා කළා. මේවා නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමත් බොහෝ දුරට චීනයෙන් කරන්නේ. ඒ නිසා නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීම පිළිබඳ අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. අපි දැනට නිෂ්පාදන ආයතන වෙත උපදෙස් දීලා තිබෙනවා පුළුවන් තරම් උපරිමයෙන් නිෂ්පාදනය කිරීම සඳහා. ඒ වගේම අමුද්‍රව්‍ය වෙනත් රටවලින් හෝ ලබා ගන්න කියලා උපදෙස් දීලා තිබෙනවා.”

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි : “ලංකාවේ මේ මුඛ වාඩම් නිෂ්පාදනය කරන ආයතන තිබෙනවා. අපි ඒ ආයතනවලට උපදෙස් දීලා තිබෙනවා පුළුවන් තරම් උපරිමයෙන් නිෂ්පාදනය කරන්න කියලා. සමහරු ඇවිල්ලා ඉදිරිපත් වෙනවා, ඔවුන්ට රටවල්වලින් මේවා ගෙන්වන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් ඉදිරිපත් කිරීමේ දී ගත යුතු යම් නීතිමය ක්‍රියාමාර්ග තිබෙනවා, ඒවායේ තත්ත්වය හා ඖෂධ නියාමන අධිකාරියේ මේ සම්බන්ධයෙන් ලියාපදිංචි විය යුතුයි, ඒවා කඩිනම් කරලා . සමහරු චීනෙන්ම මුඛවාඩම් ගෙන්වන්නත් අහනවා. මෙවැනි තත්ත්වයක දී ලෝකයේ හැම රටකම මේ වගේ හිඟ තත්ත්වයන් ඇති වෙනවා. මුළු ලෝකයම මේ වෙලාවේ මුඛවාඩම් ඇණවුම් කරමින් ඉන්නේ. අපි මේවා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්ශාලාවලට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඒවා ගේන්න බලාපොරොත්තු වෙන අයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ගෙන්වන්න අවසර දෙන්න පියවර ගන්නවා.”

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා කඩිනමින් තුරන් නොවනු ඇති බව විශේෂඥයින්ගෙන් අනාවැකි

(28.01.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.

කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන් මහතා පවසන පරිදි එය අවම වශයෙන් මාස කිහිපයක් හෝ ලොව පුරා සංසරණය වෙමින් පවතිනු ඇති.

එසේම වෛරසයේ අවදානම ඉදිරි සතියේ හෝ මාසයේදී අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි කොරෝනා වෛරසය පිළිබද මාර්ගගත පුවරුවක් පවත්වාගෙන යන නෝර්ත්ඊස්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙසෙන්ඩ්‍රෝ වෙස්පිගානි මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය මා-චුන්ග්-වූ මහතා ප්‍රකාශ කළේ කෙටි කළක් තුළ රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකිවනු ඇති බවයි.

මේ වනවිට චීනයේ මරණ 106 ක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 4500 කට අධිකයි. මහාචාර්ය වෙස්පිගානි මහතා පෙන්වා දෙන පරිදි චීනයේ පමණක් කොරෝනා වෛරස ආසාදිත සංඛ්‍යාව 25,000 ඉක්මවනු ඇති.

එහෙත්, හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සදහන් කළේ එම සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබිය හැකි බවයි.

මේ අතර කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බවද අද වාර්තා වුණා.

ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළේ.

එමෙන්ම කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වී ඇති චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිර වී සිටින සිය වැසියන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජපානය ඇතුළු රටවල් කළ ඉල්ලීම්වලට චීන බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ලක් රජය ද වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා ගුවන් යානයක් ගොඩබැස්සවීමට අවසර ඉල්ලා තිබෙනවා.

මේ අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයින් දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා නිරීක්ෂණය කිරීමට බීජිං සහ ෂැංහයි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව සඳහන්.

වූහාන් ඇතුළු හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ල මේ වන විට වසා දමා ඇති අතර, මිලියන 11 ක ජනගහනයකින් යුත් එම නගරයේ විදේශිකයන් විශාල පිරිසක් සිටින බව සඳහන්.

එය සාපේක්ෂව අඩු වී ඇත්තේ ලූනා නව වසරේ නිවාඩුවට පෙර ඔවුන් ඉන් පිටවීම හේතුවෙන්.

එසේම ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා දින 15 කින් ඉදි කෙරෙන ඇඳන් දහසකින් සමන්විත රෝහලේ පළමු වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.

කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන මවක් වුහාන් හි රෝහලකදී සාර්ථකව දරු උපතක් සිදුකළ බව ද චීන මාධ්‍ය වාර්තා කළා.

මේ අතර කොරෝනා වෛරසය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති අතර, එහි මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසන්නේ ඒ සඳහා චීනයට ඇති හැකියාව පිළිබඳ තමන්ට පූර්ණ විශ්වාසයක් තිබෙන බවයි.

වූහාන් නගරයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකාව ගුවන් යානයක් යැවූ අතර එය නික්මීම කල් දැමීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කසකස්ථානය ද එරටට ඇතුළු වන චීන ජාතිකයින්ට වීසා ලබාදීම සදහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

කසකස්ථානය විසින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස චීන ජාතිකයින්ට ගුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීම අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය මා -චුන්ග් -වූ මහතා ප්‍රකාශ කළේ කෙටි කළක් තුළ රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකිවනු ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත චීන කත සුව අතට හැරෙන ලකුණු – තවත් චීන ජාතිකයෙකු අදත් IDH රෝහලට ඇතුළත් කෙරේ

(28.01.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායාතනය පවසනවා.

එහි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ තවත් දින දෙකකින් පමණ ඇය රෝහලෙන් පිටත් කර යැවීමේ හැකියාවක් පවතින බවයි.

විශේෂ සංකූලතා නොමැතිවීම හේතුවෙන් ඇයගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් පවතින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය 19 වනදා මෙරට සංචාරයක් සඳහා කොරෝනා වෛරසය මුල්වරට වාර්තාවූ හුබෙයි ප්‍රාන්තයේ සිට දිවයිනට පැමිණ ඇති ඇය කටුනායක, සීගිරිය, මහනුවර, නුවරඑළිය, අහුන්ගල්ල යන ප්‍රදේශවල හෝටල්වල නවාතැන් ගෙන තිබූ බව වාර්තාවනවා.

ඒ අනුව ඇය සංචාරය කළ ප්‍රදේශවල පිහිටි හෝටල් පරීක්ෂාවට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික මෙම කාන්තාව තවත් පිරිසක් සමඟ දිවයිනට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, එම කාන්තාව මෙරටින් පිටව යන අවස්ථාවේදී ඇති වූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කෙරුණේ.

එහිදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු කර ගනු ලැබුවා.

මේ වන විට ඇය ජාතික බෝවන රෝග විද්‍යායාතනයේ නිරෝධායනය කර සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාවගේ තවත් සාම්පල කිහිපයක් විශේෂ පරීක්ෂාවක් සඳහා විදේශ රටකට යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මේ පිළිබදව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසට ජනතාවට සෞඛ්‍ය අංශ දැනුම් දීමක් සිදුකරනවා.

මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දහවල් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද දහවල් උණ සහ කැස්ස හේතුවෙන් මොහු රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරමින් බලපිටිය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට හෝටල් සේවිකාවක්ද අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

චීන කත සැරිසැරූ තැන් ගැන තොරතුරු හෙළිවෙයි

(28.01.2020 – 19:13 +0530 – lankadeepa.lk)

නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ප‍්‍රධාන පෙලේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බවට මේ වනවිට අණාවරණය කරගෙන ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය 19 වැනිදා චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට මෙරටට පැමිණ ඇති මෙම කාන්තාව ඇතුලූ පිරිස එදින කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇති අතර 20 වැනිදා සීගිරිය ප‍්‍රදේශයේ සංචාරයක නිරතවී එහි හෝටලයක නවාතැන්ගෙන ඇත.

21 වැනිදා නුවර ප‍්‍රදේශයේ සංචාරයක නිරතව ඇති එම පිරිස එදින එහි නවාතැන්ගෙන ඇති අතර 22 වැනිදා නුවරඑළිය ප‍්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන ඇති බවට වාර්තා වී ඇතැයිද එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම සංචාරකයන් පිරිස 23 හා 24 දෙදින ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයකර අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇති අතර එහිදී මෙම චීන ජාතික කාන්තාවට උණ රෝගය වැළඳීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.

සිය සංචාරය අවසන් කරමින් එම චීන ජාතික කාන්තාව ඇතුලූ සංචාරකයන් පිරිස නැවත චීනය බලායෑමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී බලපිටිය මූලික රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව ගුවන්තොටුපළ බලධාරීන් විසින් ඇය අයි.ඩී.එච් උණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය සමඟ සංචාරයේ යෙදුන අනෙක් පිරිස නැවැත චීනය බලාගොස් ඇති බවට වාර්තාවී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට රැඳී සිටි කාලය ඇතුළතදී එම කණ්ඩායම මෙරට පෞද්ගලික සංචාරක ආයතනයකින් සංචාරක මඟපෙන්වන්නන් ලෙස තරුණියන් දෙදෙනෙකුගේ සේවය ලබාගෙන ඇති බවට වාර්තාවී ඇති බවත් එම තරුණියන් දෙදෙනා හා ඔවුන් මෙරට රැඳී සිටිකාලය ඇතුළතදී ඇසුරුකළ පිරිස් සම්බන්ධයෙන්ද මේ වනවිට සොයාබලන බවද සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට

(28.01.2020 – 18:42 +0530 – lankadeepa.lk)

ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.

කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව ලැගුම් ගෙන සිටි අහුංගල්ල හෝටලයේ මෙම කාන්තාව සේවය කර ඇත.

මෙම කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට බලපිටිය රෝහල් කාර්යමණ්ඩලය සැකකරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.

***************************************

ජනාධිපති තුනෙන් දෙකක බලයක් ගත්තේ නැත්නම් වැඩක් නෑ – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(27.01.2020 – 23:21 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් නොලැබුණහොත් රටේ කිසිදු වෙනසක් සිදුකළ නොහැකි බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වොයිස් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙසේ පැවසීය :

“සටනක් කරලා නායකයෙක් පත් කළා. ඒ නායකයාත් එය පිළිගන්නවා. සිංහල බෞද්ධයෙක් බව කිව්වා. ස්වාමින්වහන්සේ මැතිවරණ ව්‍යාපාරය සිදුකළ බව ප්‍රකාශ කළා.

විනිසුරුවන් කිහිපදෙනෙක් දුෂිත බව කිව්වා. අධිකරණය ගැන විශ්වාසය බිඳ දැම්මා. ජාත්‍යන්තර අධිකරණයක් ගේන්න හදනවා. ඒ කුමන්ත්‍රණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ රට අවුල් වියවුල් කළා.

පොලිස්පති දැන් හිරගෙදර. මිනිස්සු තුන්සිය ගණනක් මැරුණා. මරපු අය හොයන්න බැහැ. පොලිස්පති ආරක්ෂක ලේකම් හිරේ ඉන්නවා.

රට අරාජික රාජ්‍යක් බවට පත්කළා. ජනාධිපති 2/3 ක බලයක් ගත්තේ නැත්නම් වැඩක් නැහැ. මෛත්‍රීපාල-රනිල් ගිය ගමන යන්න වෙන්නේ”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *