ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

(31.01.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ජාතික දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් අද (31) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව, ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහන ලිබර්ටි වටරවුම ඔස්සේ පිත්තල හන්දිය දක්වාත්, ලිප්ටන් වටරවුම ඔස්සේ වෝඩ් පෙදෙස, යූනියන් පෙදෙස සහ ඞීන්ස් පාරට ඇතුළු විය හැකියි.

හැව්ලොක් මාර්ගයේ පැමිණෙන රථ වාහන තුන්මුල්ල දෙසින් තර්ස්ටන් පාර, පිත්තල හන්දිය ඔස්සේ ධර්මපාල මාවතට ඇතුළු විය හැකියි.

එමෙන්ම යූනියන් පෙදෙස සහ ඩීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථ වාහන බොරැල්ල දෙසට ධාවනය වීම සඳහා වෝඩ් පෙදෙස භාවිත කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ.

බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථ වාහන බොරැල්ල කනත්ත වට රවුම දෙසින් පිටව යා හැකියි.

මෙම රථ වාහන සැලැස්ම අද (31) උදෑසන 8.30 සිට පස්වරු 1 දක්වාත්, පෙබරවාරි 1 වන දා උදෑසන 6 සිට දහවල් 12 දක්වාත්, පෙබරවාරි 2 වන දා පෙරවරු 6 සිට දහවල් 1 දක්වාත්, 3 වන දා පෙරවරු 8.30 සිට පස්වරු 1 දක්වාත් ක්‍රියාත්මක වනු ඇති.

නිදහස් සමරු උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 වන දා අලුයම 4 සිට දහවල් 1 දක්වා එය ක්‍රියාත්මකයි.

***************************************

තවත් වනජීවි නිලධාරියෙකු වන අලි මෙහෙයුමකදී මරුට

(31.01.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම – කුඩා ගල් විහාරය ප්‍රදේශයේ මෙහෙයුමක් අතරතුර වන අලියෙකුගේ පහරකෑමට ලක්ව වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.

පසුගිය 25 වැනිදා සිට එම ප්‍රදේශයේ වන අලි මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී නිර්වින්දනය කළ වන අලියෙකුට පත්තුවක් බැඳීමට ගිය අවස්ථාවේදී එක්වරම එම අලියා සිදුකළ පහරදීමෙන් මෙම නිලධාරීයා මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් අනතුරුව වනජීවි නිලධාරියාගේ සිරුර තඹුත්තේගම රෝහලට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද මාතලේ ප්‍රදේශයේදී වන අලි මෙහෙයුමක් අතරතුරදී වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වූවා ෴

***************************************

බණ්ඩාරගමින් සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 200 ඉක්මවයි

(30.01.2020 – 19:17 +0530 – lankadeepa.lk)

බණ්ඩාරගමදී පොලිසිය අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 192 කේ වටිනාකම රුපියල් කෝටි 200 කට අධික බව පොලිසිය පවසයි.

මෙම හොරොයින් ජාවාරමේ ප්‍රධාන සැකකාරිය ඇරැව්වල නිවසකින් නිල් දියමන්තිය සොරා ගත් මාතර මල්ලි නැමැත්තා ගේ බිරිඳ බවත් අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා ඇගේ සහෝදරයා හා සහෝදරයාගේ පෙම්වතිය බවත් පොලිසිය පැවසීය.

මෙම හෙරොයින් ඉරානේ සිට මුහුදු මගින් මිරිස්සට රැගෙනවිත් පසුව අධිවේගී මාර්ගය ඔස්සේ බණ්ඩාරගමට රැගෙනවිත් ඇති බව පොලිසිය කීය.

නිවසේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල 10 අති නවීන පිස්තෝල බවත් ඒවා ඇමැරිකාවේ , පාකිස්ථානයේ, ඔස්ට්‍රියාවේ සහ චීනයේ නිෂ්පාදිත පිස්තෝල බවත් මේවා ආරක්ෂක අංශ පරිහරණය කරන ඒවා බවත් පොලිසිය පවසයි.

+++++++++++++++++++++

***************************************

සැලසිනේ මූල්‍ය වංචාවේ විමර්ශන ගොනු ජනාධිපති කොමිසන් සභාවට

(30.01.2020 – 18:10 +0530 – lankadeepa.lk)

සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුභසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ විමර්ශන ගොනු ජනාධිපති කොමිසන් සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (30) සඳහන් කළේය.

ඉකුත් ජනවාරි මස 22 වැනිදා නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍ර අංක 2159/16 රජයේ නිලධාරීන්ට අර්ධ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරනු ලැබූ සහ දැනටමත් සිදුකරමින් පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාව වෙතින් මෙම විමර්ශනයට අදාළ උදෘත ගොනු ඉල්ලා ඇති බැවින් ඒවා ලබා දීමට අවසර දෙන ලෙස ද මුල්‍ය විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ප්‍රදිප් උදයකුමාර එදිරිසිංහ අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ලබාගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටද අධිකරණයෙන් නැවතත් නියෝගයක් නිකුත් විණී ෴

***************************************

මාතර බෝධිය අසල වයෝවෘද්ධි පියකු දමා ගිහින්

(30.01.2020 – gossiplankanews.com)

මාතර ඓතිහාසික බෝධි රාජයා අසල ඊයේ (29 දා) උදේ 10 ට පමණ වයස අවුරුදු 76 ක් වූ පස්දරු පියකු දමා ගොස් තිබේ. මෙම පස් දුරු පියා ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේ සිට ඔවුන්ගේ බාල පුතු විසින් රැන්ගෙනවිත් මෙම ස්ථානයේ දමා ගිය බව එම වයෝවෘද්ධ පුද්ගලයා පැවැසීය.

පසුව මෙම පුද්ගලයා අධික ලෙස වෙව්ළමින් එම ස්ථානයේ ඇද වැටුණු අතර රැස්ව සිටි පිරිස් එම තැනැත්තාට ආහාර සහ තේ පැන් ලබාදී සත්කාර කළහ. රැස්වව සිටි අය පසුව 1990 ගිලන් රථ සේවාවට ඇමතුමක් ලබා දුන් අතර එහෙත් ගිලන් රථයක් එම ස්ථානයට නොපැමිණීම නිසා මාතර පොලිසියේ ජීප් රථයකින් මාතර මහ රෝහලට රැගෙන යන ලදී.

මාතර නගර මධ්‍යයේ වෙව්ළමින් සිටි මෙම තැනැත්තා මාතර රෝහලට රැගෙන යැමට කිසිවකු ඉදිරිපත් වුයේ නැති අවස්ථාවේදී රැස්ව සිටි තරුණයන් පිරිසක් මෙම තැනැත්තා කර මතින් රැගෙන යාමට උත්සාහ කරන විට පොලිස් ජීප් රථය එහි නවතා එම තැනැත්තාව රැගෙන යෑමට කටයුතු කළේය.

මෙම තැනැත්තා පවසන ආකාරයට ඔහුට දරුවන් පස්දෙනකු සිටින අතර බාල පුතා විසින් මෙලෙස මඟමගෙ දමා ගොස් තිබේ. මෙම අය සත්තකයේ තිබූ රෙදි බෑගයේ වෛද්‍ය පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවක් තිබූ අතර එහි පී.එච්.අප්පුහාමි වයස අවුරුදු 76 ක් ලෙස සහ බෝගහගොඩ, අගුහ ලෙස සඳහන් කර තිබිණි. මාතර පොලීසිය වැඩිදුර පක්‍ෂණ සිදුකරයි.

– මාතර – උදය කුමාර රණවීර

***************************************

කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයට

(31.01.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම යළි බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාම විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ සිදුකෙරුණා.

එම ස්ථානයේ තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය රජය සමයේ රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවලින් චෝදනා එල්ල වුණා.

ඒ, අදාළ ගොඩනැගිල්ල සඳහා මාසිකව විශාල මුදලක් බදු වශයෙන් ගෙවීම හේතුවෙන්.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද සිය කාර්යාලය බත්තරමුල්ල – ගොවිජන මන්දිරය වෙත මීට පෙර රැගෙන එනු ලැබුවා ෴

***************************************

කොරෝනා වෛරසය, ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරයි – මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළට – ආසාදිතයින් 9000 ක්

(31.01.2020 – 06:02 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, චීනයෙන් පිටතට වෛරසය ආසාදනය වීම පැතිරීමත් සමඟයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් කියා සිටියේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට ලෝක ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම, වෛරසය දුර්වල සෞඛ්‍යාරක්ෂක පද්ධති පවතින රටවලට පැමිණීමෙන් සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි චීනයට අමතරව තවත් රටවල් 17 ක කොරෝනා වෛරස් ආසාදිතයන් 98 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් නගරයේ සිට පැමිණි අයයි.

එමෙන්ම, කොරෝනා වෛරස් ආසාදනයෙන් නියුමෝනියා තත්ත්වයක් ඇති වී මිය ගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 9000 ඉක්ම වනවා.

ඉන් බහුතරයක් වාර්තා වන්නේ චීනයෙන්.

මේ අතර, කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතික යුවලක් රැගත් නෞකාවක් මගීන් 6000 ක් සමඟ උතුරු රෝමයේ – සිවිතාවෙච්චියා හි රඳවාගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය ජනවාරි 25 වැනිදා ඉතාලියේ සැවෝනා වරායෙන් නැව්ගත වූ මෙම චීන ජාතික යුවලට උණ සහ ශ්වසන අපහසුතා යන රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳව තහවුරු කෙරෙන පරීක්ෂණ සිදුකෙරෙන තෙක් නෞකාවේ සිටින මගීන් 6000 ක පමණ පිරිස රඳවා තබා ගැනීමටයි නෞකා සමාගම තීරණය කර ඇත්තේ.

අදාළ නෞකාව උතුරු රෝමයට ළඟාවීමට පෙර ප්‍රංශයේ – මාසෙයි, ස්පාඤ්ඤයේ – බාසිලෝනා ඇතුළු රටවල් කිහිපයක මෙම සතියේදී සංචාරය කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් නවතම වාර්තා සඳහන් කළේ අදාළ 54 හැවිරිදි චීන කාන්තාවට වැළදී ඇත්තේ කොරෝනා වෛරසය නොව සාමාන්‍ය ප්‍රතිශ්‍යාව බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව නෞකාවේ සිටි 6000 ඉක්ම වූ පිරිසට ඉන් ගොඩබැසීමට ඉතාලි බලධාරීන් අවසර ලබාදී ඇති බව සඳහන් ෴

***************************************

‘හිරු CIA’ හෙළිකර ගත් පුත්තලමේ ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරම

(30.01.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට රියදුරන්ට, රියදුරු බලපත් නිකුත් කරනු ලබන්නේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්.

කෙසේ වෙතත්, ක්‍රමවේදයේ ගැටලු හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදවීම් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

මේ අතරතුර පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ වංචනික ලෙස රියදුරු බලපත්‍ර ලබාදෙන පුද්ගලයෙකු පිළිබ‍ඳ හිරු සී.අයි.ඒ. තොරතුරු හෙළි කර ගත්තා.

මොහු ප්‍රකාශ කරන්නේ රුපියල් 20,000 ක මුදලකට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පැරණි රියදුරු බලපත්‍රය ලබාදෙන බවයි.

ඔහු පැවසූ ආකාරයට පසුගිය දිනෙක අප මුන්දලම – බරනංකට්ටුව ප්‍රදේශයට ළඟා වුණා.

යම් හෙයකින් මොහු දෙන රියදුරු බලපත්‍රය ආරක්ෂක අංශය විසින් පරීක්ෂාවට ලක් කළහොත් ඊට මුහුණදිය යුතු ආකාරය ද මොහු පැහැදිලි කළා.

අප කළ සොයා බැලීමේදී හෙළිවූ‍ණේ පුත්තලම – වනාතවිල්ලුව ප්‍රදේශයේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සියල්ල මොහු හරහා නිකුත් වන ඒවා බවයි.

පසුගිය කාලයේ රියඅනතුරු හේතුවෙන් මෙරට වටිනා ජීවිත රැසක් අහිමි වුණා.

එම අනතුරුවලට ද සෘජුවම බලපා ඇත්තේ නිසි රියදුරු පුහුණුවක් නොමැතිව මෙවැනි වංචනික ක්‍රියා හරහා බිහි වූ රියදුරන් ද ?

මෙම අනාවරණයෙන් පසුව හෝ මෙවැනි වංචනිකයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ වන්නේ ද ?

හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන් ?

***************************************

ඇවන්ගාඩ් අවි ගබඩා නඩුවට සංශෝධිත අධිචෝදනා

(30.01.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා නඩුවට අදාළව නීතිපතිවරයා විසින් සංශෝධිත අධි චෝදනා 882 ක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ඊට අදාළ නඩුව පෙබරවාරි මස 10 වනදා සලකා බැලීමට නියමිත බවයි ෴

***************************************

ස්වදේශික කර්මාන්තකරුවා ආරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා – විමල් වීරවංශ

(31.01.2020 – 09:42 +0530 – sinhala.adaderana.lk)

ව්‍යවසායකයින්ට දරාගත හැකි පොළී අනුපාතයක් යටතේ ණය ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරි කාලය තුළ ස්ථාපිත කරන බව කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාතර දී ඊයේ(30) පැවති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රත්පත්ති ප්‍රකාශනය අනුව, ස්වදේශික කර්මාන්තකරුවා නඟා සිටු වීමට බැඳී සිටින බවයි.

බදු ප්‍රතිපත්තිය තීරණය විය යුත්තේ ස්වදේශික ව්‍යාපාරිකයා හා ව්‍යසායකයා මත බවද පැවසු අමාත්‍යරවයා, එය ලෝක වෙළඳ සංවිධානයට අවශ්‍ය පරිදි සිදු කළ නොහැකි බවද පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණ ඉතා කාලයක් තුළ දී හඳුන්කූරු මෙරටට ගෙන්වීම නැවැත්වු බවත් පැවසු ඒ මහතා, වෙසක් කූඩුවත් පිරටින් ගෙන්වන තත්ත්වයකට රට ඇඳ වැටී තිබු බවත් කියා සිටියේය.

ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය තීරණ රැසක් ජනාධිපතිවරයා ගනු ලැබු බවත්, ලංකාවේ කර්මාන්තකරුවාට දරා ගත හැකි පොලී අනුපාතයක් මත ණය ලබා ගැනීමට අවස්ථාව ඉදිරියේ දී රජය තුළින් ඇති කරන බවත් වීරවංශ මහතා පැවසීය.

***************************************

කටුනායක ගුවන් තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට ගුවන්තොටුපොළ දක්වා නොමිලේ නව බස් සේවයක්

(31.01.2020 – 12:04 +0530 – lankadeepa.lk)

කටුනායක ගුවන් තොටුපළට විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .

මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02 ක්, දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා තිබේ .

මීට පෙර අවස්ථාව වල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්, තම ගමන් මලු රැගෙන, මෙම දුර පා ගමනින්, අව් වැසි මැද දුෂ්කර ගමනක යෙදුණු අතර, මෙසේ අපහසුතාවට පත් වී සිටි ගුවන් මගීන් ත්‍රිරෝද රථ සහ කුළී රථ රියැදුරන් විසින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත රැගෙන යෑම ද සිදු කළහ .

මේ තත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසුව, එතුමාගේ නිර්දේශ මත මෙම නව බස් රථ සේවාව ආරම්භ වී තිබේ . ඊයේ (30) සිට මෙය ක්‍රියාත්මක වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *