චීනයේ වූහාන් නගරයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන එන යානය දිවයිනෙන් පිටත්ව යයි

(31.01.2020 – 16:29 +0530 – hirunews.lk/sinhala)

චීනයේ – වූහාන් නගරයේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය අද (31) දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ හෙට (01) දිනයේදී මෙම යානය අදාළ සිසුන් රැගෙන යළි මෙරටට ළගා වීමට නියමිත බවයි.

ඉන් අනතුරුව, එම සිසුන් නිරෝධායන කටයුතු සඳහා දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතයි.

මේ අතර, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට සම්පූර්ණ කිරීම සඳහා අද (31) සිට විශේෂ පෝරමයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මෙතෙක් කල් එම පෝරමය චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් නිකුත් කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (31) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

එසේම, චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ 36,000 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය අද (31) සොයා ගත්තා.

ඒ පිටකොටුව – බංගසාල වීදියේ ඖෂධ සැලකට ඒවා රැගෙන එන අවස්ථාවේ කළ වැටලීමකදීයි.

= ශ්‍රී ලංකන් ගුවන්යානය වූහාන් බලා පිටත්ව යාම =

+++++++++++++++++++++

+++++++++++++++++++++

දිවයිනෙන් පිටත් වු ගුවන් යානය වූහාන් වෙත ළඟා වෙයි

(31.01.2020 – 21:18 +0530 – sinhala.adaderana.lk)

චීනයේ වූහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනා රැගෙන ඒම සඳහා අද (31) සවස දිවයිනෙන් පිටත් වූ ගුවන් යානය මේ වනවිට වූහාන්හි ටියැංහි ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

කොරෝනා වෛරසය ප්‍රථමයෙන් ව්‍යාප්ත වූ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද (31) පස්වරුවේ වූහාන් බලා පිටත්ව ගියේය.

එම යානය මේ වන විට වූහාන්හි ටියැංහි ගුවන්තොටුපළට ගොඩබස්වා ඇති බව වාර්තා වෙයි.

අද (31) පස්වරු 3.55 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 1422 ගුවන් යානය මෙලෙස වූහාන් බලා පිටත්ව ගියේය.

වූහාන් නගරය අයත් හුබෙයි ප්‍රාන්තය තුළ ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු අධ්‍යාපනය ලබමින් සිටියි.

+++++++++++++++++++++

= Playback of flight UL1422 / ALK1422 =

+++++++++++++++++++++

චීනයේ වුහාන් හි රැදි සිටි සිසුන් රැගත් ගුවන්යානය පෙරවරු 07:40 ට දිවයිනට

(01.02.2020 – 06:56 +0530 – sinhala.adaderana.lk)

චීනයේ වුහාන් නගරයේ රැදී සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා එරට බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය තවත් හොරා දෙකකින් පමණ මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

එහි රැදී සිටි ශ්‍රි ලාංකික සිසුන් 33 දෙනා ද රැගෙන අදාල ගුවන් යානය අද (01) පෙරවරු 07:40 ට පමණ මත්තල ගුවන්තොටුපල වෙත පැමිණිමට නියමිත බව වාර්තා වේ.

චීනයේ වුහාන් හි රැඳී සිටි සිසුන් ශ්‍රි ලංකාවට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1422 දරණ විශේෂ ගුවන් යානයන ඊයේ (31) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

එම ගුවන් යානය ඊයේ (31) රාත්‍රී 09:20 ට පමණ වුහාන් ගුවන්තොටුපෙළ වෙත ගොඩබස්වනු ලැබුවේය.

පසුව එම ගුවන් යානය එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් දරැගෙන වූහාන් ගුවන්තොටුපොළෙන් ඊයේ (31) රාත්‍රීයේ මෙරටට බලා පිටත්ව තිබුණි.

ඒ අනුව මෙරටට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා රෝහලට ඇතුළත් කිරිමට නියමිත අතර එහි සති දෙකක පමණ කාලක් එහි රදවා තැබිමට නියමිතයි ෴

චීනයේ – වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟාවුනා. (hirunews.lk)

+++++++++++++++++++++

වූහාන් සිට මත්තලට රැගෙන ආ සිසුන් දියතලාව හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට

(01.02.2020 – 09:38 +0530 – hirunews.lk/sinhala)

චීනයේ – වූහාන් නගරයේ සිරවී සිට අද (01) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා මේ වන විට දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබනවා.

මෙම සිසුන් අද පෙරවරු 7.42 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ යානයෙන්.

පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා.

අනතුරුව ඔවුන් යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

වූහාන්හි සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට

(01.02.2020 – 12:27 +0530 – hirunews.lk/sinhala)

චීනයේ – වූහාන් නගරයේ සිරවී සිට අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

මෙම සිසුන් අද පෙරවරු 7.42 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ යානයෙන්. එහි කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විතයි.

පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරමින් එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

අනතුරුව ඔවුන් වුහාන්වල සිට හැඳ පැමිණි සියලුම ඇඳුම් ගුවන් තොටුපළේදී විනාශ කිරිමට කටයුතු කළ අතර, ඔවුන් සියලුම දෙනාට වෙනත් ඇඳුම් ලබාදී තිබෙනවා.

සිසුන් රැගෙන යාමට පැමිණි යුද හමුදා නිළධාරීන් ඇතුළු සියලුම දෙනා විශේෂ ආරක්ෂිත ඇඳුමකින් සැරසී සිටියා.

අදාළ බස් රථය ඉන් පසුවයි යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන යාමට කටයුතු කෙරුණේ.

පෙරවරු 11.30 ට පමණ සිසුන් රැගත් අදාළ බස් රථය දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන එනු ලැබුවේ යුද හමුදාවේ රසායනික න්‍යෂ්ටික ජීව විද්‍යාත්මක සහ විකිරණීශීලී ප්‍රතිචාර බලගණය විසින්.

දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන වූහාන් සිටි සිසුන් 33 දෙනාට එහි සියලුම පහසුකම් සපුරා ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

දින 14 ක කාලයක් එම සිසුන් රදවාගෙන අදාළ පූර්ව නිරෝධායන කටයුතුවල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදා හැරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක සහිතව අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසකගේ සාම්පල වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහෙත් දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව හැරුණු විට ඔවුන්ගෙන් කිසිවෙකුට මේ දක්වා වෛරසය ආසාදනය වී නොමැති බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ.

මේ අතර, බස් රථ සහ දුම්රියෙන් ගමන් ගන්නා මගී ජනතාවට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය පාලනය සහ ආසාදිතයන්ට ප්‍රතිකාර සිදුකරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 60 ක ආරක්ෂිත මෙවලම් ලබාදී ඇති බව සඳහන්.

එම ආරක්ෂිත මෙවලම් රෝහල් 12කට බෙදා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

+++++++++++++++++++++

සිය ජීවිත පවා අවදානමේ දමමින් ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන එන්න වූහාන් ගිය ශ්‍රී ලන්කන් වීරයෝ

(01.02.2020 – 15:14 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ, කොරෝනා වෛරසය වෙතටයි.

ජීවිත 258 ක් බිලිගත් කොරෝනා ලොව පුරා රටවල් 23 ක සිය ආධිපත්‍යය පතුරමින් සිටිනවා.

කොරෝනා ආසාදිත වූ පිරිස් 11,000 ත් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවන් තත්ත්වයක් තුළ ලොව බොහෝ රටවල්වලින් චීනය බලා ගිය පිරිස් නැවත ගෙන්වා ගනිමින් සිටිනවා.

එසේම ශ්‍රී ලංකාවත් මෙම රටවල් අතරට අයත් වුණා.

ශ්‍රී ලාංකීය මනුෂ්‍යත්වය ලොවටම විදහා පාමින්, ඊයේ (31) දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම මානුෂිය මෙහෙයුම දියත් කළේ අපමණක් කැපකීරිම් මධ්‍යයේයි.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ අසීමිත කැපවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්ව තිබෙනවා.

+++++++++++++++++++++

වූහාන් ගිය ගුවන් යානය පැය 3 ක පිරිසිදු කිරීමකින් පසු කටුනායකට

(01.02.2020 – 13:31 +0530 – sinhala.adaderana.lk)

චීනයේ වූහාන් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන්තොටුපලට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොලට පැමිණියේය.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරන එ එයා බස් ගුවන් යානයකි.

මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වීමෙන් පසු, ගුවන් යානය තුළට විශබීජ නාශක දියර යොදා ගනිමින් පිරිසිදු කර, ගුවන් යානය තුළ විශබීජ හරණය කිරීමෙන් අනතුරුව, මෙම ගුවන් යානය පැය 03 ක් ගුවන් තොටුපළ තුළ වසා දමා තිබුණි.

පසුව මෙම ගුවන් යානය අද දින දහවල් 12.48 ට මත්තල ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ අතර, එය පස්වරු 1.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය මර්දනය කළ හැකි ප්‍රතිකාර ගැන සොයන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

(31.01.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට හැකි බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය, විදේශ සබඳතා, සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග අද (31) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා.

පූර්ණ කැපවීමෙන් ඊට සහය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයාගේ ප්‍රසාදය පළ කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත් චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ විමසුමට ලක්වුනා.

වූහාන් නගරයේ සිට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නා ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර සංචාරක කර්මාන්තය ආරක්ෂා කරමින් වර්තමාන තත්වයට මුහුණදීමට ගත යුතු පියවර පිළිබඳව ද අවධානය යොමු කළා.

රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුලුල් කරන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛසරය ගැන අවශ්‍ය පියවර රැසක් ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිවරිය කියයි – නිසි වැඩපිළිවෙළක් නැතැයි විපක්ෂ නායකගෙන් චෝදනා

(31.01.2020 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අද (31) පස්වරුවේ සෞඛ්‍යය අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

මේ අතර රෝග ව්‍යාප්තිය වැළැක්වීමට රජය නිසි වැඩපිළිවෙළක් ගෙන නොමැති බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා.

මේ අතර, නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුල ගෙන ඇති පියවර දැනුම්දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (31) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) පස්වරුවේ මෙරට ශ්‍රී ලංකා තානාපති චෙං ෂුවාන් මහතා හමු වී තිබෙනවා.

එහිදී වින තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත්තේ චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වාසය කරන චීන ජාතිකයන්ට තම දෛනික කටයුතු සිදුකරගෙන යෑමේ ගැටළුවක් උද්ගත වී නොමැති බවද අගමැතිවරයා මෙහිදී වීන තානාපතිවරයාට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර නව කොරෝනා වෛරසය වැළදී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ වීන ජාතික කාන්තාවගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කරනවා.

ඊට අමතරව නව කොරෝනා වෛරසය වැළඳුනු බවට සැකසහිත රෝගීන් 23 දෙනෙකු මේ වන විට රෝහල් 5 ක ප්‍රතිකාර ලබනවා.

ඒ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 9 ක්, මහනුවර ශික්ෂණ රෝහලේ රොගින් 8 ක්, ගම්පහ මහ රෝහලේ රෝගීන් 3 ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් 2 ක් සහ රත්නපුර පළාත් මහ රෝහලේ එක් රෝගියෙක් වශයෙන්.

මේ අතර චීනයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30) පස්වරුවේ සහ අද (31) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔවුන්ගේ සෞඛයය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම පිරිස නිවෙස් වෙත පිටත් කර යැවීමට ගුවන්තොටුපොළ සෞඛ්‍යය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වරායන් අශ්‍රිතව සිදුවන පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් පර්ශදය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව කොරෝනා රෝගය සම්බන්ධ රසායනාගර පහසුකම් පිළිබඳව අදහස් පළ කළා.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ඉක්මන් සුව පතා සෙත් පිරිත් සජජායනයක් ඊයේ (30) රාතියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමාමාලකයේදී ආරම්භ වුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීමකට අනුව ආරම්භ වූ මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියා.

මේ අතර ඉන්දියාවේ සිට රැගෙනවිත් කොළඹ කොටුවේ වෙළඳසැල් දෙකක අලෙවියට තබා තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 24,500 ක් පාරිභෝගික අධිකාරයේ නිලධරීන් විසින් ඊයේ (30) පස්වරුවේ සහ අද (31) පෙරවරුවේ වටලා තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වැළදුණු චීන කාන්තාවගේ සිරුරෙන් විෂබීජය සම්පූර්ණයෙන්ම ඉවතට – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

(01.02.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)

IDH උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ සිරුරෙන් එම විෂබීජය සම්පූර්ණයෙන්ම තුරන්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

Tissa Jananayake – Episode 45 – Coronavirus – මාරාන්තික කොරෝනා වයිරසය

29-01-2020 (45 min.s)

***************************************

‘හිරු CIA’ කොටුකළ ව්‍යාජ රියදුරු බලපත්‍ර සාදන ජාවාරම්කරු

(31.01.2020 – 20:40 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම ප්‍රදේශයේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සාදන ජාවාරම්කරුවකු පිළිබඳ හිරු සී.අයි.ඒ. ඊයේ (30) අනාවරණ කළා.

අප කළ එම අනාවරණයෙන් අනතුරුව එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ජාවාරම්කරු කූට ලෙස පවුල් පසුබිම් වාර්තා සකසා කාන්තාවන් විදෙස් ගත කිරීමේ ක්‍රියාවලියක ද නිරත වන බව එහිදී අනාවරණය වුණා.

පුත්තලම – මුන්දලම බරණංකට්ටුව ප්‍රදේශයේ පදිංචි සිටින මෙම පුද්ගලයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයට පෙනී සිටීමකින් තොරව වංචනික ලෙස රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා මුදල් අය කර තිබුණා.

එලෙස ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සෑදීම සදහා මොහු අයකරන මුදල රුපියල් 20,000 ක්.

‘හිරු සී.අයි.ඒ.’ හරහා මේ පිළිබද අණාවරණය කිරීමත් සමග මුන්දලම පොලිසිය ඔහුගේ නිවස සොයා ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළේ අප හෙළිකළ ප්‍රවෘත්තිය ද සැකකරුට පෙන්වමින්.

පළමුව මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව පැවසු ජාවාරම්කරු පසුව තැරව්කරුවන් හරහා අදාල ජවාරම සිදුකරන බව පිළිගත්තා.

මොහුගේ නිවස සෝදිසි කිරීමේදී ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල ලිපි ශීර්ෂ සහිත හිස් කොළ, විවිධ පුද්ගලයන්ගේ උප්පැන්න සහතිකවල ජායා පිටපත්, කාන්තාවන් විදේශගත කිරීමට අදාළ පවුල් පසුබිම් වාර්තා ඇතුළු ලිපි ලේඛණ රැසක් සොයා ගැනුණා.

කලකට ඉහත මුන්දලම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ මුරකරුවෙකු ලෙස සේවය කර ඇති මොහු වැඩතහනමකට ලක්ව ඇත්තේ ද කූට ලේඛණ සැකසීමේ සිද්ධියක් මුල් කර ගෙනයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී අනාවරණය වුනේ කූට ලේඛණ සැකසීමේ සිද්ධි සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ මොහුට විරුද්ධව මේ වනවිට තවත් නඩු දෙකක් ද පවතින බවයි.

***************************************

කොළඹ සහ යාපනය අතර අද සිට යළි ගුවන් ගමන්

(01.02.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් අද (01) ආරම්භ වනවා.

රට තුල අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරීමේ අරමුණින් මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කරන බවයි කාර්මික, අපනයන ආයෝජන ප්‍රවර්ධන හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියේ ප්‍රකාශනයෙන් මෙරට අභ්‍යන්තර ගුවන් සේවා පුළුල් කරන බවට සහතික වී ඇති බවයි.

ඒ අනුව, යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කිරීමට ද රජයේ අවධානය යොමුව ඇති බව ඔහු සඳහන් කළා.

72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක් මේ සඳහා යොදවන අතර, සෑම සෙනෙසුරාදාවකම මෙන්ම, සඳුදා සහ බදාදා දිනයන්හි අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වනවා.

රත්මලාන ගුවන්තොටුපලෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ළඟා වන්නේ උදෑසන 8.30 ටයි.

නැවත උදෑසන 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිතයි.

යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය – පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර, එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

කොළඹ සිට යාපනයට ගමන් කිරීම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 7500 ක්.

ඒ අනුව, කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹට පැමිණීම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 15,000 ක්.

මීට පෙර යාපනය, කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේදී මගියෙකුගෙන් රුපියල් 33,000 ක මුදලක් අය කරගෙන තිබුණා.

2002 සිට 2004 ක්‍රියාත්මක වූ සාම ගිවිසුම් කාලයේදී යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණු අතර යුද සමයේදී ලයන් එයාර් ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධියත් සමඟ යාපනය – කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් සම්පූර්ණයෙන් නතර වුණා.

***************************************

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ පරීක්ෂණවලට දේශපාලන බලපෑම් තිබු බවට අනාවරණයක්

(31.01.2020 – 20:36 +0530 – sinhala.adaderana.lk)

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ විමර්ශන කටයුතු වලට යම් දේශපාලන බලපෑමක් එල්ල වූ බවට තමාට හැගී ගිය බව කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා අද (31) අනාවරණ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (31) පෙනී සිටියේ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතායි.

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කළ සැකකරුවන් කීදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේදැයි කොමිසම ප්‍රථමයෙන්ම ඔහුගෙන් විමසා සිටියේය.

එහිදී කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ ප්‍රදේශවාසීන් විසින් අල්ලා දුන් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන සාදික් සහ සිද්දික් සම්බන්ධයෙන් තොරතුරු දැනගත් බවයි.

කෙසේවෙතත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු මුස්ලිම් ජාතික සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ඔහු කොමිසමට පැවසුවේ.

නමුත් අසාද් සාලි මහතා පැනගිය සාදික් සහ සිද්දික් යන දෙදෙනා භාරදෙනු ඇති බවට නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා තමන්ට ප්‍රකාශ කළ බවත් ඒ අනුව ඔවුන් රැගෙන එනු එතැයි තමන් දින 2 ක් පුරා බලා සිටියත් එවැනි භාරදීමක් සිදුනොවුණු බව ඔහු ප්‍රකාශ කළේය.

ඊට පසු දිනයකදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් මේ පිළිබද පැවැති සාකච්ඡාවේදී සහකාර පොලිස් අධිකාරී ගාමිණි තෙන්නකෝන් මහතා අසාද් සාලි මහතාට දුරකථන ඇමතුමක් ලබාගත් බවද සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

එහිදී සැකකරුවන් භාරදෙන බවට වූ ප්‍රකාශයක් තමන් සිදුනොකළ බවට අසාද් සාලි මහතා ප්‍රකාශ කළ අතර එම සංවාදය ශ්‍රවණය කිරිමේදී තමා ඇතුළු පොලිස් නිලධාරින්ට වැටහුණේ සැකකරුවන් භාරදීමක් සිදුනොවන බවත් පොලිස් විමර්ශනයට අදාළ තොරතුරු අසාද් සාලි මහතා විමසීම තුලින් එම තොරතුරු බැහැරට යන බවක් තමාට වැටහුණු බව සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා කොමිසමට ප්‍රකාශ කළේය.

පසුව කොමිසම විමසා සිටියේ මෙම විමර්ශනයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලැබුනේ කවදාද යන්නයි.

ඊට පිළිතුරු දුන් කමල් පෙරේරා මහතා පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තවත් නිලධාරී කණ්ඩායමක් සමඟ 2018 දෙසැම්බර් 26 හෝ 27 වැනිදා කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණි බවයි.

එහිදී මෙම පරික්ෂණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂකවරයා නිල වශයෙන් භාර ගත්තාද යන ප්‍රශ්නය කොමිසම විමසු අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ දිවා ආහාරයෙන් පසු ශානි අබේසේකර මහතා තමා ඇමතූ බවයි.

එහිදී “කමල් ඔයාලා හොදට කරගෙන යනවා, එහෙනම් මම යනවා ,ඔබේ සහායට මගේ නිලධාරීන් කණ්ඩායමක් තියලා යනවා” ලෙස පැවසූ රහස් පොලිසීයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉන් පිටව ගිය බව කමල් පෙරේරා මහතා පැවසුවේය.

එලෙස ශානි අබේසේකර මහතා පිටව ගියේ යම් දේශපාලන බලපෑමක් මත බව ඔබට හැගුනේදැයි කොමිසම විමසූ ප්‍රශ්නයට කමල් පෙරේරා මහතා ලබාදුන්නේ එදින එවැනි දෙයක් තමාට නොසිතුනත් අද වනවිට එවැනි දේශපාලන බලපෑමක් තිබුණා යැයි තමාට හැඟෙන බවයි.

***************************************

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 258 දක්වා ඉහළට – ආසාදිතයන් 11,000 ක්

(01.02.2020 – 06:20 +0530 – hirunews.lk/sinhala)

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 258 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ වෛරසය කේන්ද්‍රගත වූ හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ 45 ක් වාර්තා වීමත් සමඟයි.

පැය 24 ක් තුළ චීනයෙන් වාර්තාවන තහවුරු කළ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1347 ක් වන අතර ඒ අනුව චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව 11,000 ඉක්ම වනවා.

මීට අමතරව ලොව පුරා රටවල් 23 කින් කොරෝනා ආසාදිතයන් 139 ක් සොයාගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් මතු වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදියි.

මිලියන 11 ක ජනගහනයක් වෙසෙන වූහාන් නගරයේ බලධාරීන් ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා නොකිරීම පිළිබදව කොමියුනිස්ට් බලධාරීන් ඊයේ (31) ඔවුන් දෝෂදර්ශනයට ලක් කළා.

එමෙන්ම සාස් වෛරසයට සමාන මෙම නව වෛරසය පැතිරීම ආරම්භ වූයේ බිලියන 1.4 ක් වූ චීන ජනතාව ලූනා නව වසරේ නිවාඩුවට ගම්බිම් බලා යාම ආරම්භ කළ මොහොතේයි.

මේ අතර, චීනය සහ හොංකොං අතර පවතින දේශසීමා වසා දමන ලෙසට එරට සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ හොංකොං නායක කැරී ලැබ් ප්‍රකාශ කර ඇත්තේ එලෙස දේශසීමා වසා දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොපවතින බවයි.

එමෙන්ම, දේශසීමා වසා දැමීම සිදුනොකරන බැවින් වැඩවර්ජන සඳහා යොමු නොවන ලෙස ද තායිලන්ත නායකයා එරට සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, මැලේසියාව විසින් මිලියන 18 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යාරක්ෂිත අත් වැසුම් තොගයක් චීනයේ වූහාන් වෙත යැවීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ වූහාන් හි සිටින කොරෝනා ආසාදිත වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහායි.

එමෙන්ම චීනයේ සිට ගමන් ගන්නා ගුවන් යානා වල ගමන් කරන මගීන්ට ලබාදෙන පුවත්පත් සහ කබා ආදිය තාවකාලිකව ලබානොදීමට ද බලධාරින් පියවර ගෙන තිබුණා ෴

***************************************

මංගලගේ වංචා පිළිබඳ සාක්ෂි ඇති බව මාගල්කන්දේ සුදත්ත හිමියන් කියයි

(31.02.2020 – 19:09 +0530 – hirunews.lk/sinhala)

මංගල සමරවීර මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයාව සිටි කාලය තුළ සිදුකර තිබෙන වංචා දුෂණ සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි පවතින බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් සුදත්ත හිමියන් මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (31) පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

කොළඹ පාසල් 15 කට ලබන සඳුදා (03) නිවාඩු

(31.01.2020 – 15:47 +0530 – hirunews.lk/sinhala)

72 වැනි ජාතික නිදහස් දිනයේ අවසන් පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ පාසල් 15 කට ලබන සඳුදා දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව, කොළඹ – ඩී.එස්. සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යශෝධරා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය මෙන්ම, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල සහ විචර්ලි ජාත්‍යන්තර පාසල්වලට මෙලෙස නිවාඩු ලබා දී ඇති බවයි.

මීට අමතරව, කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය, කොළඹ – 12 මිහිඳු මහා විද්‍යාලය, කොළඹ 10 අල් හිදායා විද්‍යාලය සහ කොළඹ 10 අශෝක විද්‍යාලයට ද මෙලෙස නිවාඩු ලබාදී තිබෙනවා.

එම දිනයේ මග හැරෙන අධ්‍යයන කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසටයි පාසල් ප්‍රධානීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ ෴

***************************************

අජිත් ප්‍රසන්න තවත් නඩුවකට රිමාන්ඩ්

(31.01.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු 3 දෙනෙකු ලබන මස 14 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා එහිදී අධිකරණයට අපහාස කිරීම සහ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

අජිත් ප්‍රසන්න මහතාට අමතරව හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකුට මීට අදාළව චෝදනා එල්ල වී තිබෙනවා.

***************************************

නිදහස් දිනය වෙනුවෙන් ජාතික ධජය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

(01.02.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි 4 වන දාට යෙදෙන 72 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (01) සිට සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස පෞද්ගලික හා රාජ්‍ය ආයතන වෙත රජය දැනුම් දී තිබෙනවා.

මීට අමතරව නිදහස් දිනයට සමගාමීව රට පුරා රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධානය කර ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙවර නිදහස් දින ජාතික උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

එහි ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාරය පෙළපාලිය සඳහා නිලධාරීන් 7267 ක් සහභාගිවීමට නියමිතයි ෴

***************************************

‘ගමට ගෙයක් – රටට හෙටක්’ ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(01.02.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

‘ගමට ගෙයක් – රටට හෙටක්’ නිවාස ව්‍යාපෘතිය අද (01) සිට ආරම්භ වනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන කුරුණෑගල – ගිරිබාව – වරාවැව ගම්මානයේදී එහි පළමු නිවාසයට මුල් ගල තැබීම සිදුවුණා.

අග්‍රාමාත්‍යවරයාගේ මාර්ගෝපදේශකත්වය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභී පවුලක් සඳහා එක් නිවසක් බැගින් ඉදිකිරීමට නියමිතයි.

දින 60 ක් තුළ අදාළ නිවස එහි හිමිකරුට පදිංචිවීමට හැකි වන පරිදි කඩිනමින් ඉදිකරන අතර ග්‍රාම නිලධාරී වසම් 14,022 ක් තුළ මෙලෙස එක් නිවාසය බැගින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

අද (01) සමාරම්භක උත්සවය ද ඉතා චාම් ආකාරයෙන් පැවති බවයි නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

***************************************

පාර කියන ලිලී අත්තම්මා පහේ පෙළ පොතට

(31.01.2020 – 22:09 +0530 – sinhala.adaderana.lk)

ලිලි අත්තම්මා අප සමාජයේ ආදර්ශවත් චරිතයක්.

වසර 40 ක් පුරා ඇය සමාජයට දුන් ආදර්ශය පෙළපොතට පවා ගෙනැවිත් ඇත.

ලිලී වයලට් නම් වූ මැය 2017 දී සම්මානයට පාත්‍ර වන්නේ, වසර 40 ක් මුළුල්ලේ සිදුකළ සමාජ මෙහෙවර වෙනුවෙන්.

කෑගල්ල පරගම්මන ගමේ ජීවත් වූ ඇය සතියේ සෑම දිනකම උදෑසන 6 ට නිවසින් පිටත් වෙයි.

ඒ, තම දියණිය පාසලට ඇරලවීම සඳහායි.

එහි පැමිණි ඇයට අනෙක් දරුවන් ද මෙලෙස පාර මාරුකිරීම සඳහා ස්වේච්ඡාවෙන්ම පියවර ගනු ලබයි.

මේ ආදර්ශවත් චරිතය අද වන විට පහ ශ්‍රේණියේ සිංහල පෙළපොතට ද ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

ඉන් අවධාරණය වන්නේ ලිලි අත්තම්මා වැනි චරිත කොතෙක් අප රටට වැදගත් ද යන්නයි.

අවුරුදු 84 ක් වයෝවෘද්ධ වුවත් මේ අත්තම්මා සිය රාජකාරිය අත්හැර නැහැ.

ඒ මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකම බවට තවදුරටත් සමාජයට පසක් කරමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *