දහසක් බාධා මැද පාර්ලිමේතුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කල තුන්කල් දක්නා අයවැය විචාරය මෙන්න….

(16.11.2017 – 15:50 +0530 – lankacnews.com)

ගරු කථානායකතුමනි,

සිරිසේන/වික්‍ර‍මසිංහ හවුල් ආණ්ඩුව අවුරුදු තුනක පමණ කාලයක් තිස්සේ, තමන් ස්ථාපනය කරනවායයි කියූ ආර්ථිකයකයේ සිව්වැනි අයවැය, ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය ලෙස පසුගියදා ඉදිරිපත් වූනා. එම අය-වැය ආශ්‍රිතව මාගේ අදහස් යොමු කිරීමට මට අවස්ථාවක් ලබාදීම ගැන මා මුලින්ම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.

මෙවර, අයවැයේ මුදල් ඇමතිගේ ආර්ථික සමාලෝචනයක් නැහැ

සාමාන්‍යයෙන්, මුදල් ඇමතිවරයෙක් තම අයවැය කතාවෙහි සමස්ත ආර්ථිකය පිළිබදව විග්‍ර‍හයක්ද, තම රජයෙන් ජනතාවට මීට පෙර ලබා දුන් වාසීන්, සහන, දිරිගැන්වීම් සහ ජයග්‍ර‍ණ ගැන සමාලෝචනයක්ද කිරීම ස්භාවිකය. වසර 9 ක් තිස්සේ, ශ්‍රී ලංකාවේ මුදල් ඇමති වශයෙන් මා වගකීම දැරූ කාලය තුළදී, අපගේ රජය වෙනුවෙන් මා එසේ කල ආකාරය ඔබ සියලු දෙනාටම මතක ඇතැයි මා විශ්වාස කරනවා. මට පෙර මෙම තනතුරේ සේවය කල අනිකුත් මුදල් ඇමතිවරුන්ද එසේම කළා. එහෙත්, මා සිතන ආකාරයට මේ හවුල් රජය, මෙවර අය-වැයේදී එවැනි චාරිත්‍ර‍යක් අනුගමන නොකරන්නට හේතුව නම් එවැනි ජයග්‍ර‍හණ හෝ වාසීන් කිසිවක් අප ආර්ථිකයට හෝ රටවැසියන්ට ලැබී නැති නිසා, ඔවුන්ට කියන්නට යමක් නැති වීමය.

ඒ ඇයි? රැකියා දුන්නායි කියලා කියන්නද? වෙළදාම සරු කළායයි කියන්නද? අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ය වර්ධනය කලා යයි කියන්නද? ගොවීන්ට සහන දුන්නායි කියන්නද? විදේශ ආයෝජකයින් ආවායි කියන්නද? රුපියල ශක්තිමත් කළා යයි කියන්නද? අඩුම තරමින් පෙට්ට්‍ර‍ල් ටිකවත් වෙලාවට දුන්නායයි කියන්නද? එහෙම කිසිවක් කියන්නට අපොහොසත් වන විට, නිහඩව සිටිම වඩා හොඳයයි සිතනවාට, මුදල් ඇමතිට දොස් කියන්න පුලුවන්ද?

බදු දැනටමත් දෙගුණ කරලා : ඉදිරියේදි බදු තවත් ඉහලට: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටට…

ජනතාවගේ ආර්ථික හෝ වෙනත් ජයග්‍ර‍හණ ගැන කිසිවක් කියන්නට මංගල සමරවීර ඇමැතිතුමා අපොහොසත් වුවත්, මෙම හවුල් රජයේ එක් විශාල දස්කමක් ගැන නම් ඔහු මහත් ආඩම්බරයෙන් කථා කලා. එනම් රජයේ ආදායම, දළ දේශීය නිශ්පාදිතයේ ප්‍ර‍තිශතයක් වශයෙන්, 2014 දී පැවති 11.5% සිට, 2016 දී 14.2% දක්වා වැඩිකර ගැනීමට මේ හවුල් රජය සමත්වූ බවය. එම බදු මුදල, රුපියල් වලින් 41% ක වැඩිවීමක් කියාද මුදල් ඇමති මහත් උජාරුවෙන් පැවසුවා.

එපමණක් නොව, 2017 දී රජයේ ආදායම, දළ දේශීය නිශ්පාදිතයන් 15% ට කිට්ටු වන අගයකට ලඟා කරගන්නටත්, එම ඉලක්කයට ගමන් කරන විට තවත් 13% කින් රජයේ ආදායම රුපියල් වලින් වැඩි කර ගැනිමටත්, තම හවුල් රජය බලාපොරොත්තු වන බවත්, ඔහු ආඩම්බරයෙන් මතක්කර දුන්නා.

එපමණක් නොව, ආදායම් බදු, භාණ්ඩ සහ සේවා බදු, රේගු බදු, සුරා බදු, දඩ මුදල්, රාජ්‍ය ගාස්තු යනාදි සියල්ලම තව දුරටත් වැඩි කරමින්, මධ්‍යමකාලීනව රජයේ ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් 20% ක දැවැන්ත අගයකට පත් කරගන්නා බවද, මුදල් ඇමති මහත් ගාම්භීරව පැවසුවා.

මා සිතන ආකාරයට, ඔහු මෙසේ පවසන විට, අප රටේ ජනතාව පටි තදකරගෙන, බලාපොරොත්තු සුන්‍යව, එළඹෙන බදු පීඩනය දෙස මහත් චකිතයෙන් බලා සිටින්නට ඇත. එහෙත්, ඒ වෙලාවේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වොෂිංටන් නගරයේ සිට, ඔවුන් දැන් ශ්‍රී ලංකා රජය තම ආයතනයේ කීකරු ගෝලයෙක් බවට පත්කරගන්නට හැකිවීම ගැන සන්තෝෂයෙන් ජය පැන් පානයේ යෙදෙන්නට ඇතැයි මා සිතමි.

රාජ්‍ය ආදායම වැඩිකරගන්නවායයි කියන්නේ කුමක්ද?

ගරු කථානායකතුමනි, රජය මෙලෙස රජයේ ආදායම වැඩිකරගන්නවායයි යන කියමනෙන් අදහස් වන්නේ කුමක්ද? රජයේ ආදායම වැඩි වන්නේ කෙසේද? කවුද රජයට මේ මුදල් දෙන්නේ? මෙම ප්‍ර‍ශ්න වලට පිළිතුරු සහ යථාර්තය අවබෝධ කරගැනීමට රජයේ ආදායම සහ වියදම පෙන්වා දෙන අය-වැය සාරාංශය දෙස අපි සිත් යොමු කරමු.

එසේ කරද්දී, අපට පෙනෙන්නේ ජනතාවගෙන් සහ ව්‍යාපාරවලින් එකතු කෙරෙන බදු ප්‍රමාණය, 2014 සිට 2018 දක්වා, දෙගුණ වීමට නියමිත බවයි. රුපියල් බිලියන වලින්, ආදායම් බදු – 198 සිට 375 දක්වාද, භාණ්ඩ සහ සේවා බදු – 616 සිට 1239 දක්වාද, විදේශ වෙළඳාම බදු – 236 සිට 420 දක්වාද, මුළු බදු – 1050 සිට 2034 දක්වාද, වැඩි කර ඇති බව එම සාරාංශය පෙන්වා දෙනවා. එයින් පෙනී යන්නේ, අප රටේ මහජනතාව සහ ව්‍යාපාරිකයින්, 2014 දී අපේ රජයට ගෙවූ සමස්ත බදු හා සන්සන්දනය කරන විට, 2018 දී, මේ හවුල් රජයට ඒ වගේ දෙගුණයක් බදු ගෙවීමට නියමිත බවය.

ගරු කථානායකතුමනි, ජනතාව මත බදු සහ දඩ පනවමින් සියලු රාජ්‍ය සේවාවන් සදහා ගාස්තු වැඩිකරමින්, ජනතාවගේ සාක්කු වලින් මුදල් සූරාගෙන රජයේ ආදායම වැඩි කර ගැනීම, මේ හවුල දකින්නේ මහත් හපන්කමක් ලෙසය. ගරු අගමැතිතුමා සහ ඔහුගේ කීකරු සගයින් සෑම විටම රටේ ආර්ථික ප්‍ර‍ගතිය ගැන කතා කරද්දී පවසන්නේ, මේ බදු ආදායම වැඩිකර ගැනීම මහත් ජයග්‍ර‍හණයක් බවය. ඇත්තෙන්ම, මේ ජනතා සල්ලි සීමාවක් නැතිව සූරාකන හපන්කමේ කැඩපත කුමක්ද? එහි කැඩපත වන්නේ අප රටේ අහිංසක ජනතාව දහඩිය මහන්සියෙන් වැඩකොට උපයා ගන්නා මුදල් වැඩි වැඩියෙන් මේ හවුල් ආණ්ඩුව හූරා කන එක නොවේද?

වැඩිකරගත් බදු වලින් මේ හවුල් රජය මොකද්ද කළේ?

ගරු කථානායකතුමනි, මෙලෙස අසීමිත ලෙස, ජනතාවගෙන් සූරා ගන්නා මේ මුදල් වලින්, මේ නාස්තිකාර, වාංචනික හවුල් රජය කර ඇති සංවර්ධන වැඩ මොනවාද? එක විදුලි බලාගාරයක් හැදුවද? එක වරායක් වැඩි දියුණු කළාද? එක ගුවන්තොටුපොළක් අලුත්වැඩියා කලාද? එක අධිවේගි මාර්ගයක් තැනුවද? එක නව පාලමක් ඉඳිකලාද? එක නව වෙළද කළාපයක් ව්‍යාපාරිකයන්ට ලබා දුන්නාද? එක කුණු ගොඩක් අයින් කළාද? එක අලුත් රස්සාවක් බිහි කළාද? මා මේ අසන ප්‍ර‍ශ්න සියල්ලටම පිළිතුරු මේ හවුලෙන් බලාපොරොත්තු වන්නේ නෑ. එහෙත්. ඒවාට උත්තර, අප රට වැසියන් දන්නවා.

ජනතාවට යහපතක් ගෙනෙන කිසිවක් නොකලාට, ජනාධිපති සහ ඇමතීන් සිය ගණනින් නව වාහන නම් ගත්තා. යුද්ධයක් නොමැතිවත්, මත්තල ගුවන්තොටුපොළ විකිණීමට නියමිත මුදලට සමාන මුදලකට, පරණ යුධ නැවක් ගත්තා. රුපියල් බිලියන 145 ක පමණ වැඩිපුර පොලියක් රජයට ගෙවන්නට සිදුවුනත්, ශ්‍රී ලංකා ඉතිහාසයේම දැවැන්තම මගඩිය වන මහ බැංකුවේ බැදුම්කර මගඩිය කලා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අහස් යානා ඇණවුම් අත්හිටුවීම නිසා රුපියල් බිලියන 15 ක විශාල වන්දියක් ගෙව්වා. “පොර්ට් සිටි” ව්‍යාපෘතිය අත්තනෝමතික ලෙස නැවැත්වීමෙන් රුපියල් බිලියන 21 ක වන්දියක් ගෙවීමට සිදු වූ නිසා, ඒ වෙනුවට, අලුතින් ගොඩකරන ඉඩම් අක්කර 5 ක ඉඩම් කොටසක් චීන සමාගමට ලබා දුන්නා. අනුවණ ආර්ථික සහ මූල්‍ය කළමණාකාරිත්වය ඔස්සේ, ශ්‍රී ලංකා රුපියලේ දැවැන්ත අවප්‍ර‍මාණය නිසා, 2015 දී සහ 2016 දී රුපියල් බිලියන 426 ක් රටේ ණය තොගයට එකතු කර ගත්තා.

මෙවැනි මහා පරිමාණයේ දූෂණ, අක්‍ර‍මිකතා සහ නාස්ති ඔස්සේ, අද වන විට අප රටේ ආර්ථිකය දැවැන්ත අර්බුදයකට ගොදුරුවී තිබෙනවා. එයින් ගොඩවීමේ කිසිදු උපාය මාර්ගයක් මෙම අය-වැයේ හෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ වන විට පස් වතාවක් රටට ඉදිරිපත් කොට ඇති රජයේ “දැක්ම සහ සැලසුම්” හරහා හෝ ඉදිරිපත් වී නැත. ඒ නිසා, මුලු රටම අර්බුදයෙන් අර්බුදයට ගමන් කරනවා. සෑම ක්ෂේත්‍ර‍යකම සේවය කරන අප රටේ පුද්ගලයන්, වෘත්තිකයන්, ශ්‍ර‍මිකයන් අද මහ පාරේ තමන්ගේ දුක කියනවා. විසදුම් ඉල්ලනවා. උද්ඝෝෂණ කරනවා. එහෙත් ඒවට ඇහුම්කන් දෙන්න නායකයෙක් නැහැ. රටේ නායකයින් එකින් එකාට ගැටලු හුවමාරු කරගන්නවා. එකිනෙකාට දොස් කියා ගන්නවා. මට සහ පසුගිය රජයට චෝදනා එල්ල කරනවා. එහෙත්, ඒවා කිරීමෙන් ජනතාවගේ ප්‍ර‍ශ්න විසදෙන්නේ නැහැ. ඒ බව අප රටේ සියලුම ජනයා දැන් අවබෝධ කරගෙන හමාරයි.

ගරු කථානායකතුමනි, ජනතාවගේ ප්‍ර‍ශ්න විසදන්න බැරි උනාට, ප්‍ර‍ශ්න ඉදිරිපත් කරන සහ ඉල්ලීම් කරන සියලු දෙනාටම පහර දෙන්නට සහ හිරේ දාන්නට, මේ රජය අති දක්ෂයි. මේ වන විට, මේ යහපාලන රජය සෑම ජනකොටසක්ම පාහේ මහ පාරට ඇද දමලා, පහර දීලා, හිරේ දාලා තියෙනවා. ගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ දර්ශනයට අනුකූලව බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇතුලු ජන කණ්ඩායම් රාශියක්ම පොලිස් බැට්න් පොලු පාරවල්, කදුලු ගෑස් ප්‍ර‍හාර සහ අධි පීඩන ජල ප්‍ර‍හාර වලින් සංග්‍ර‍හ ලබා තියෙනවා. දහස් ගණනක් හිර බත් කාලා තියනවා. ශ්‍රීමත් එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක මැතිදුන් ස්ථාපනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයෙකු යටතේ පිහිටුවා ඇති රජයක, “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” යන පංච මහා බලවේගයට ලබා දෙන මේ සැලකීම ඇත්තෙන්ම පුදුම සහගත නොවේද?

රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීම

ගරු කථානායකතුමනි, මේ හවුල් රජය තවත් ක්‍රියාවලියකට ඉතා දක්ෂ බවද කිව යුතුය. එනම්, මේ රටේ සම්පත් කුණුකොල්ලයට විකිණීමය.

මේ රටේ තිබෙන සීමිත ඉඩම් විදේශිකයන්ට කිසිදු බාධාවකින් තොරව මිලදී ගැනීමට මේ අය-වැයෙන් අවසර ලබාදී තිබෙනවා. මෙලෙස ඕනෑම විදේශිකයන්ට ඉඩම් ගැනීමේ අයිතිය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේද ලබාදී තිබූ නිසා, ඒ රටවල තරුණ තරුණියන්ට මේ වන විට ඉඩම් ගැනීමට ඇති අවකාශය සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී තිබෙන බව වාර්තා වෙනවා. ඒ ආකාරයටම, තව ටික කලකින් අප රටේ තරුණ තරුණියන්ටත් සාධාරණ මිලකට ඉඩමක් මිලදි ගන්නට බැරි වෙනවා නියතයි.

එපමණක් නොව, අප රටේ ජනතාවට සහ මතු පරම්පරා වලට අයිති උපායමාර්ගික සම්පත් වන වරායන්, ගුවන් තොටුපොළ, සන්නිවේදන සංඛ්‍යාත, විදුලි බලාගාර, වෙරළ තීරු, අහස් අවකාශය, මහා පරිමාණයේ ඉඩම්, රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය බැංකු, කුණු කොල්ලයට විකිණීමේ ප්‍ර‍තිපත්තිය දියත් කර ඇති බව අපට පෙනෙනවා. සමහර විකිණීම් දැනටමත් හොර රහසේ කරලා ඉවරයි. අනිත් ඒවාට දැන් පිඹුරු පත් සකස් කරලා. ජනතා විරෝධතා තුට්ටුවකටවත් ගණන් නොගෙන මේ කටයුතු වල මේ රජයේ නායකයින් නිරත වෙනවා. ඒ අයගේ මෙම හිතුවක්කාර ක්‍රියාවන් කරගෙන යාමට රජයට හිතැති පොලීසියේ සමහර ලොක්කන්ද, මේ දේශපාලන නායකයන්ගේ මර්ධනකාරී කටයුතු වලට සම්බන්ධ වී, සෑම නීති විරෝධී සහයෝගයක්ම දෙනවා. ඔවුන් සියල්ලන්ගේම මෙම කටයුතු පිළිබද සටහන් අප අතැතිව තිබෙන බැවින්, මා ඒ සියලු දෙනාටම මෙහිදී කරුණාවෙන් කියා සිටින්නේ, මේ සාපරාධී ක්‍රියාමාර්ගය නවත්වන්න කියාය.

ගරු කථානායකතුමනි, අප රටේ, උපායමාර්ගික සම්පත් වල නිත්‍ය උරුමක්කාරයන් අප රටේ සමස්ත ජනතාව, ඔවුන්ගේ දරුවන් සහ එම දරුවන්ගේත් දරුවන්ය. කලින් කලට පත්වන රජයන්, එම ජාතික සම්පත් වල භාරකරුවන් පමණි. භාරකරුවන්ට, තම භාරය යටතේ ඇති සම්පත් විකිණීමට හෝ අන්සතු කිරීමට අයිතියක් නොමැත. එහෙයින්, අවුරුදු පහකට පත්වෙන රජයකට, කිසිදු ජනතා අනුමැතියක් නොමැතිව, මේ ආකාරයට ජනතා සම්පත් අන්සතු කිරීමට බලයක් නැති බව සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

මා තව දුරටත් අවධාරණය කරන්නේ ජනතාවගේ අනුමැතියක් නොමැතිව, මෙලෙස විකුණන හෝ කුණු කොල්ලයට බදු දෙන හෝ ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට සහ ස්වෛරීභාවයට බාධාකෙරෙන කිසිදු “විකිණීමක්” හෝ “වෙන්දේසියක්” හෝ “බදුදීමක්” කරන ලද්දේ නම්, අනාගත දිනයකදී, අප රටේ ජනතාව ඒවා නැවත ජනතා අයිතියට හැරවීමට කටයුතු කරනු ඇති බවය. එහෙයින්, වර්තමානයේදී එවැනි ක්‍රියාමාර්ග වලට සම්බන්ධ වන විදේශ ව්‍යාපාරද මෙම අවදානම හොදින් මතක තබා ගත යුතු යයිද, අප මතක්කර දීමට කැමතිය.

ආර්ථික සමාලෝචනයක් අපෙන්

ගරු කථානායකතුමනි, මුදල් ඇමතිවරයෙකු සාමාන්‍යයෙන් අය වැය කථාව ආරම්භ කරන්නේ ආර්ථිකය පිළිබඳව සමාලෝචනයක් කරමින් බව මා දැනටමත් කීවා. එම කටයුත්ත මේ හවුල් රජයේ මුදල් ඇමති නොකල බවද මා කීවා. සමහර විට එතුමා එසේ නොකරන්නට හේතුවද, මා පැහිදිළි කලා. ඇත්තවශයෙන්ම, අද අප රටේ ආර්ථිකය ඇද වැටී ඇති අන්ත අසරණ තත්ත්වය දෙස බලන විට එතුමා එවැනි විග්‍ර‍හයක් කිරීමට මැලිවීම පුදුමයට කරුණක් නොවේ.

එසේ වුවද, එවැනි පුලුල් සමාලෝචනයක් අය-වැය විවාදයකදී කල යුතුම නිසා, ඒ අඩුපාඩුව පිරිමැසීමට, විපක්ෂයටවත් සිදුවන්නේ ය. ඒ අනුව, පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළදී අප ආර්ථිකයේ මූලික සාර්ව ආර්ථික සාධක පිළිබඳව කෙටි විග්‍ර‍හයක් කිරීමට මා දැන් බලාපොරොත්තු වෙනවා.

අප රටේ ණය උගුල ඇති කළේ කවුද?

ගරු කථානායකතුමනි, මේ විග්‍ර‍හය මා ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ, රටේ ණයබරතාවය පිළිබදවයි. මා එසේ කරන්නට අදහස් කළේ, අගමැති රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා කථා කරන සෑම අවස්ථාවකම පුන පුනා කියන්නේ, තමන්ගේ ඉතා යහපත්, අවංක යහපාලන රජය ඉසිලිය නොහැකි තරම් ණය කන්දක් අපෙන් භාරගත්තා කියාය. එතුමා ඊට පසුව කියන්නේ, එම ණය, තම රජය මනාව කළමණාකරණය කරමින්, තිබූ දුෂ්කර තත්ත්වය යහපත් අතට හරවා ගැනීමට හැකිවූවා යැයි කියාය. මෙම කියමන් දෙකම, වොක්ස්වැගන් කථාව වගේම සත්‍යක් බව, කරුණු සහ දත්ත ආශ්‍රිතව මා අද ඔප්පු කරන්නට බලාපොරොත්තු වෙනවා.

නවීන ලෝකයේ ණය නොගන්නා කිසිම රටක්වත්, ව්‍යාපාරයක්වත්, ආයතනයක්වත්, නොමැති තරම්ය. ඒ අනුව බලන කළ, වඩාත් වැදගත් වන්නේ ලබා ගන්නා ණය ප්‍රමාණය නොව, අදාල රටෙහි හෝ ආයතනයේ ණය ගෙවීමේ හැකියාවය. පුද්ගලයෙකු ණයක් ලබා ගන්නට බැංකුවට යන විට, ඒ පුද්ගලයාගේ ආදායම් තොරතුරු පිළිබද බැංකුව විග්‍ර‍හයක් කරන්නේ ඒ නිසාය. පුද්ගලයෙකුගේ ණය ගෙවීමේ ශක්තිය මනින්නේ එම පුද්ගලයාගේ ආදායමට සාපේක්ෂ වන සේම, රටක ණය ගෙවීමේ හැකියාව මනින්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවය.

2006.01.01 දින, මම රජය භාර ගන්නා විට, රාජ්‍ය ණය ප්‍ර‍මාණය රුපියල් බිලියන 2,222 වුනි. එවිට, දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂව, ණයබරතාවය 91% ක ඉතා ඉහල අගයක් විය. 2009 අවසානය වන විට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 4161 දක්වා, රුපියල් බිලියන 1,939 කින් ඉහල ගොස් තිබිණ. එලෙස වැඩිවූ ණය ප්‍ර‍මාණයෙන් සැළකිය යුතු කොටසක් වැය වී තිබුනේ යුද්ධය සාර්ථකව නිම කිරීමටය.

ඉන් පසුව, 2009 වසානයේ සිට 2014 අවසානය දක්වා අවුරුදු පහක කාලය තුළදී රාජ්‍ය ණය රුපියල් බිලියන 3,230 කින් වැඩිවී 2014 අවසන් වන විට, රාජ්‍ය ණය රුපියල් බිලියන 7,391 බවට පත් විය. ඒ අතරම, එම මුදලට සාපේක්ෂව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බව අපි සියලු දෙනාම දන්නවා. අලුත් ගුවන් තොටුපොළ, වරායෙන්, ජල සම්පාදන ව්‍යාපෘති, අධිවේගී මාර්ග, පලාත් සහ ග්‍රාමීය පාරවල්, රෝහල්, පාසල් සහ රජයේ ගොඩනැගිලි ඒ අතර විය. යුද්ධයෙන් පසුව උතුරේ සහ නැගෙනහිර පලාත් වල කරන ලද විශාල රාජ්‍ය ආයෝජනය හරහා, දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක්ද සිදුවුනි. රට පුරා දැවැන්ත මාර්ග සංවර්ධන සදහා රුපියල් බිලියන 750 ක් පමණ වැය කොට තිබුණා. මේ ආයෝජන අප රටේ ප්‍රායෝගික ශේෂ පත්‍රයේ සහ මහජනතාවගේ ඇස් ඉදිරියේ පැහැදිලි වත්කම් ලෙස දිස් වුණා.

සමස්තයක් වශයෙන්, 2006 සිට 2014 වසර 9 ක අපගේ රජයේ පාලන කාලය තුළ, ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 5,169 කින් වැඩිවිය. එමෙන්ම, එම කාලය තුළදී, අප රටේ දළ දේශීය නිශ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට 79 දක්වා සීග්‍රලෙස වර්ධනය කර ගැනිමටද අපට හැකිවුනා. ඒ නිසා, එම රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව, 2005 අවසානයේදි තිබූ 91% සිට 2014 අවසානය වන විට 71% දක්වා සැළකිය යුතු ප්‍ර‍මාණයකින් අඩු කරගන්නට අපට හැනිවුනා. මෙයින් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සැළකිය යුතු ප්‍ර‍මාණයකින් යහපත් අතට පරිවර්තනය වූවා මිසක, රට ණය උගුලක හිරවීමක් නොවේ!

ඒ සමගම, රටේ පවතින පොලී අනුපාතයද, ක්‍ර‍මයෙන් අඩු කර ගැනීමට අප සමත්වූ නිසා, කිසිදු අපහසුතාවයකින් තොරව අප රටේ ණය කළමණාකරණය කර ගැනීමට අපට හැකි වුනා.

ගරු කථානායකතුමනි, 2015.01.01 සිට 2017.06.30 දක්වා සිරිසේන/වික්‍ර‍මසිංහ වසර 2 ½ පාලන කාලය තුළදී, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 7,391 සිට රුපියල් බිලියන 10,164 දක්වා රුපියල් බිලියන 2,773 කින් වැඩිවී ඇති බව මහ බැංකු වාර්තා හෙළි කරයි.

මෙම වැඩිවීම පිළිබදව, මුදල් ඇමතිගේ දැන්වීම් වල කියන්නට මැලි වුවත්, එසේ වන විට, වඩාත්ම භයානකම සිදුවීම වූයේ, එම කාලය තුළදී, දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව, රාජ්‍ය ණය ප්‍රමාණය 71% සිට 85% පමණ දක්වා ඉතා සීග්‍ර‍යෙන් වැඩිවීමයි. මෙම ප්‍ර‍තිශතය වැඩිවීම තුළින් සනාථ වන්නේ, ශ්‍රී ලංකාවේ ණයබරතාවය මේ වන විට, භයානක අදියරකට පත්වී, අප දැන් ඇත්ත වශයෙන්ම ණය උගුලකට හිරවී ඇති බවය. එසේ නම්, අප රට ණය උගුලක හිරකලේ සිරිසේන/වික්‍ර‍මසිංහ රජය බව දැන් සියලු දෙනාටම පැහැදිළි වනු ඇත.

ගරු කථානායකතුමනි, මෙලෙස අවුරුදු 9ක් ඔස්සේ අප රජය විසින් මනාව කළමණාකරණය කර තිබු මේ රාජ්‍ය ණය, ඉතා කෙටි කාලයකින් ආපස්සට හරවා ගන්නට මේ රජය කළ විනාශය, ඇත්තවශයෙන්ම මහත් අපරාධයකි.

මෙහිදී ඔවුන් කල මූලික වරද වූයේ, දේශපාලන වාසීන් ගැනීමට, රාජ්‍ය වියදම ඉසිලිය නොහැකි ආකාරයට විහින් ඉහල දමා ගැනීමයි.

ඊට පසු, ඔවුන් භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර සදහා ගෙවන පොලී අනුපාත සියල්ලම බැදුම්කර මගඩිය හරහා අනවශ්‍ය ලෙසද, වංක ලෙසද ඉහළ දමා ගත්තා.

මෙම ක්‍රියා දෙක හරහා, රටේ ණය කළමණාකරණයට දැවැන්ත පහරක් එල්ලවී, ක්‍ර‍මයෙන් මෙම රජය මුලු රටම ණය උගුලකට ගොදුරු කරනු අපේ ඇස් පනාපිට සිදුවුනා.

2015.01.01 සිට 2017.06.30 දක්වා, වත්මන් රජය යටතේ වැඩිවූ ණය, මෙතෙක් අප රටේ ඉතිහාසය පුරාවටම වසර දෙක හමාරක් තුළ වැඩි වූ උපරිම ණය ප්‍රමාණය වන්නේය. එම ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 2,773, අපගේ රජය 2009 අවසානයේ සිට 2014 අවසානය දක්වා, දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ, අවුරුදු 5 ට ලබා ගත් ණය ප්‍රමාණයෙන් 86%කි.

එහෙත්, අද අප රටේ සියලු දෙනා දන්නා පරිදි, මෙපමණ විශාල ණය ප්‍රමාණයක් මෙම රජය ගෙන තිබුණද, මහ ජනතාවට පෙනෙන, දැනෙන කිසිදු යටිතල පහසුකමක් ඉදිකර නැත. මහා පරිමාණයේ සංවර්ධන කටයුතු පමණක් නොව, පියවි ඇසට පෙනෙන ග්‍රාමීය මට්ටමේ හෝ සංවර්ධනයක් වුව ද පෙනෙන්නට නැත.

රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා සහ එතුමාගේ ගෝලයන් අපට චෝදනා කළේ, අපි රුපියල් බිලියන ගනනක් ණයට අරගෙන, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අඟුරැ බලාගාරය, සහ මත්තල ගුවන්තොටුපොළ ඉදිකලා යයිය. එහෙත්, අඩු තරමින් ඔහුට විශාල ගණන් වලට විකුණන්නට හෝ ඒවා අද මහ පොළවේ පෙනෙන්නට තියනවා. එහෙත්, සිරිසේන/වික්‍ර‍මසිංහ හවුල ගත් මහ විශාල ණය හරහා මහ පොලවේ පුංචි පිහිනුම් තටාකයක්වත්, පොඩි ජෙනරේටයක්වත්, අඩිපාරක්වත් හදලා තියනවද? එහෙනම්, අපට දැන් අහන්න තියෙන්නේ, මේ ණයට ගත් සල්ලි වලට මොකද වුනේ? බැදුම්කර මගඩියේ මුදල් ගිල්ලා වගේ, කවුරු හරි ඒ මුදල් ගිලගත්තද?

එහෙනම්, මෙම දූෂිත, වැඩබැරි සිරිසේන/වික්‍ර‍මසිංහ ආණුඩුවට මා සෘජුවම කියනවා: ශ්‍රී ලංකාවේ ණයබරතාවය භයානක උගුලකට ඇද දමා ඇත්තේ ඔබයි. ඔබ රජයේ සමහර නායකයින්ගේ පෞද්ගලික වාසිය සදහා, අප රටේ සමස්ත පොලී අනුපාතය වැඩි කළේ ඔබයි. රුපියලේ අගය අවප්‍ර‍මාණය කරමින් ණයබරතාවය සීග්‍ර‍ ලෙස වැඩි කළේ ඔබයි. ඔබ අනුගමනය කල ප්‍ර‍තිපත්ති හරහා අප රට ණය උගුලක හිර කළේද ඔබයි.

නව බැංකු බද්දේ යටි අරමුණ

ගරු කථානායකතුමනි, මෙම ණය උගුලෙන් ගොඩ ඒම සදහා යයි පවසමින්, අප රටේ බැංකු මත සෑම රුපියල් 10,000 කම ගණුදෙණු සදහා රුපියල් 2 ක නව බද්ධක් මුදල් ඇමති මේ අය-වැයෙන් හදුන්වා දුන්නා. අප රටේ බැංකු කේෂ්ත්‍ර‍යේ ප්‍ර‍වීනයන්ට අනුව, මෙම බද්ධ හරහා සියලුම රාජ්‍ය බැංකු දුර්වල වනු ඇතැයිද, එම දුර්වලවීම ඉස්මතු කරමින්, බැංකු පුද්ගලීකරණයට යොමු කරන්නට රජයේ යටි අදහසක් ඇති බවද සාධාරණ සැකය දැන් මතුවී ඇත.

එලෙස සැක කරන්නට මූලික හේතුව වන්නේ, මෙම නව බද්ධෙන් අපේක්ෂිත මුදල හරහා, මුදල් ඇමති පවසා ඇති අරමුණ වන ණය ආපසු ගෙවීම කිසිවිටෙක ඉෂ්ට කර ගැනීමට නොහැකි වීමය. ඒ මන්ද කිවහොත්, මේ හවුල් රජයේ පාලනය කාලයේදී දැනට රැගෙන ඇති ණය ප්‍ර‍මාණය වන රුපියල් බිලියන 2,773 පමණක් ආපසු ගෙවීමට

පවා, එම බද්දෙන් වසරකට එකතු කරන්නට බලාපොරොත්තු වන රුපියල් බිලියන 20 මුලුමනින් වෙන් කලත්, එම ණය පමණක් ගෙවීමට අවුරුදු 139 ක් ගත වෙන නිසයි!

ගරු කථානායකතුමනි, මේ විහිලු කථා වලින් මේ රජය මුලා කරන්න වෑයම් කරන්නේ කවරෙක්ද? ඔවුන්ගේ යටි අරමුණ කුමක්ද?

ආර්ථික වර්ධනය දරුණු ලෙස පිරිහිලා : ඒක පුද්ගල ආදායම එක තැනට

2010 සිට 2014 දක්වා, අපගේ රජය කාලයේදී සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වසරකට 6.8% ක් වශයෙන් අපට පවත්වාගෙන යන්නට හැකිවූ බව 2016 මහ බැංකු වාර්තාවෙන් පෙනී යනවා.

ඊට සාපේක්ෂව, පසුගිය වසර දෙකේදී, වර්ධනය වසරකට සාමාන්‍ය ලෙස 4.6% දක්වා 33% පමණ කඩා වැටිලා. තවද, පසුගිය වසරේදී වර්ධනය 4.4% ක් ලෙස වාර්තා කළද, එය ව්‍යාජ ආකාරයට ගණනය කර ඇති නිසා, 2016 දී සත්‍ය වේගය 2.2% ක් පමණ බවත් විශේෂඥයින් චෝදනා කරනවා. ගරු කථානායකතුමනි, අපි දැන් ආර්ථික වර්ධනය දෙසත් අපගේ සිත් යොමු කරමු. මේ කරුණු වලින් අපට පෙනී යන්නේ, 2015 සහ 2016 තුළදී, රටේ වර්ධන වේගය දැවැන්ත ලෙස පහල වැටී ඇති බවයි.

එමෙන්ම, 2005 දි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 ක් ලෙස වාර්තා වුනා. ඒ අතරම, ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,242 ක් වුනා. 2006 සිට 2014 දක්වා වසර 9 තුළදී, රට තුළ සිදුවූ සීග්‍ර‍ වර්ධනය නිසා, රටේ දළ දේශීය නිශ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 79 දක්වා වර්ධනය වුනා. එමෙන්ම, ඒක පුද්ගල ආදායම සාමාන්‍ය වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් 287 කින් පමණ වැඩිවී, ඇමරිකානු ඩොලර් 3,821 දක්වා ඇමරිකානු ඩොලර් 2,581 කින් වැඩිවුනා.

මෙම තත්ත්වයට හාත්පසින්ව වෙනස්ව, 2015 දී සහ 2016 දී ඒක පුද්ගල ආදායම එකතැනම පල්වෙමින්, වසරකට ඇමරිකානු ඩොලර් 7 කින් පමණක් සාමාන්‍ය ලෙස වැඩිවෙමින්, වසර 2 ක් තුළදී ඇමරිකානු ඩොලර් 14 කින් පමණක් වැඩිවුණි. ඒ අනුව,

2016 අවසානයේදී අප රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,835 ක් ලෙස සදහන් වුනා.

මෙයින් ඔප්පු වන්නේ රටේ ජනතාවගේ සාමාන්‍ය ආදායමේ කිසිදු වෙනසක් ඇති කිරීමට මෙම හවුල් රජයට නොහැකිවී ඇති බවය.

මේ ආකාරයට මේ හවුල් රජයේ අදූරදර්ශි ආර්ථික ප්‍ර‍තිපත්ති ක්‍රියාත්මක කරගෙන යෑම නිසා, අද ආයෝජකයන් බිය ගැන්විලා; ව්‍යාපාරික විශ්වාසය කඩා වැටිලා; FCID වැනි දේශපාලඥයින් විසින් හසුරුවනු ලබන පොලිස් ඒකක වල නීති විරෝධී ක්‍රියාකාරිත්වය නිසා රාජ්‍ය සේවකයින් අකර්මන්‍ය වෙලා; බැදුම්කර මගඩිය හරහා ඉතා සීග්‍ර‍ලෙස සහ අනවශ්‍ය ලෙස පොලී අනුපාතය වැඩිවෙලා; මේවා සහ තවත් විවිධ කරුණු නිසා, ඉදිරි කාලයේදිවත් වර්ධන වේගයේ වෙනසක් වනු අපට පෙනෙන්නේ නැහැ.

උද්ධමනය සහ ජීවන වියදම නැවත අහස උසට

ගරු කථානායකතුමනි, 2014 අවසානය වන විට, වසර 6 කටත් අධික කාලයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ උද්ධමනය අඛණ්ඩව තනි ඉලක්කමක පවත්වා ගැනීමට අපගේ රජය සමත් වුනා. එයින් පෙනී ගියේ, ලෝකයේ දැවැන්ත කම්පා තිබුණද, අප රජයේ සාර්ථක සාර්ව ආර්ථික පාලනය නිසා, ශ්‍රී ලංකාවේ භාණ්ඩ සහ සේවාවන් වල මිල ගණන්ද, පොලී අනුපාත ක්‍ර‍මක්‍ර‍මයෙන් අඩුවෙන ප්‍ර‍වේශයකට යොමු කර ගැනීමටද, අප රජයට හැකි වූ බවය.

ඒ අනුව, පොලි අනුපාතයන් ස්ථාවරව පවත්වා ගනිමින්, මාස තුනේ භාණ්ඩාගාර බිල්පත් සිට අවුරුදු තිහේ භාණ්ඩාගාර බැදුම්කර දක්වා, සියලු රාජ්‍ය සුරැකුම්පත් වල පොලී අනුපාතයන් තනි ඉලක්කම් අගයන්හි පැවතුනා. එමගින්, ආර්ථිකයේ වර්ධනයට විශාල රුකුලක් සහ ශක්තියක් ලැබුනු අතර, ආර්ථිකය කෙරෙහි දේශිය සහ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසයද වර්ධනය වුණා.

එහෙත්, තමන් ආර්ථික ඔස්තාර්ලා යයි කියාගත් හවුල් රජයේ පාලනය ආරම්භවූ පසු, ඔවුන් මෙම ස්ථාවර තත්ත්වය විහින්ම උඩුයටිකුරු කරගත්තා. රජය භාරගන්නා විට, ඔවුන්ට තිබූ විශාල වාසියක්වූ ලෝක වෙළදපොළේ සීග්‍ර‍ ලෙස ඉන්ධන මිල අඩුවීමෙන් ලැබුණු වාසියවත් නිසි ලෙස ප්‍ර‍යෝජනයට ගෙන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරගන්නට ඔවුන්ට නොහැකි වුනා. ඒ ගෝලීය වාසිය හරහා, 2015 දී උද්ධමනය 3.3% සිට 0.9% දක්වා ඉබේම අඩුවූවද, එම අඩුවීම නිසා සිදුවිය යුතුව තිබූ පොලී අනුපාත අඩු වීම, අවාසනාවන්ත ලෙස ඔවුන් නැති කර ගත්තා. එසේ වූයේ, 2015 පෙබරවාරි මස 27 දින මේ දූෂිත රජය විසින්ම මහ දවල් ක්‍රියාත්මක කල මෙගා බැදුම්කර මගඩිය හරහාය.

2016 වසරේදි උද්ධමනය නැවත වරක් ක්‍ර‍මයෙන් ඉහල යමින්, ජීවන වියදමේ සැළකිය යුතු පීඩනයක්ද මුලු රටටම දැනෙන්නට පටන් ගත්තා. එම උද්ධමනය වැඩිවීමේ ප්‍ර‍වණතාවය තව දුරටත් ක්‍රියාත්මක වෙමින්, 2017 දි සීග්‍ර‍ලෙස ඉහල යන ප්‍ර‍වණතාවයක් දැන් අපට පෙනෙනවා. 2017 ඔක්තෝම්බර් මාසයේදී, උද්ධමනය 8.6% ක් දක්වා වැඩි වීමෙන් පෙනී යන්නේ, තව නොබෝ දිනයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය 10% ඉක්මවා යන බවය. එසේ නම්, 2017 අවසානය වන විට, මේ හවුල් ආණ්ඩුව විසින් දියත් කරන ලද හානිකාරී ආර්ථික ප්‍ර‍තිපත්ති ඔස්සේ රටේ උද්ධමනය තුන්ගුණයකටත් වඩා වැඩි වෙමින්, ජනතාවගේ ජන ජීවිතය මත භයානක පීඩනයක් පැටවෙනු නොඅනුමානයි.

මේ වන විට, බැදුම්කර මගඩිය මුලු රටම වෙලාගෙන හමාරයි

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු විශාලතම මගඩිය පිළිබදව කථා කිරීමට මුදල් ඇමති පැකිලීමක් දැක්වුවද, ඒ බව අප කථා කළ යුතු යයි මා සිතනවා. අද වන විට, සියලු දෙනාම පිළිගෙන ඇති ආකාරයට මෙම මගඩිය නිසා, රටේ පොලී අනුපාත සියල්ලම කෘතිම ලෙසත්, වංචාකාරී ලෙසත්, දැවැන්ත ලෙසත් වැඩිවී තිබෙනවා. බැදුම්කර කොමිසමේදීත් මේ බව, විශේෂඥ ශාක්ෂි දෙන ලද බව සැමොම දන්නෙවා.

අද වන විට, එම මගඩිය නිසා රජයට සහ ජනතාවට සෘජු සහ වක්‍ර‍ලෙස සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 1,000 ක් ඉක්මවා ඇති බව මේ හවුල් රජයේම හිටපු රාජ්‍ය මුදල් ඇමති ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කොට තියනවා. එපමණක් නොව, මෙම මගඩියේ අයහපත් ප්‍ර‍තිවිපාක අද වන විට, අනිකුත් සියලු සාර්ව ආර්ථික සාධක වලටත් බලපා ඇති බවත් අපට දැන් පැහැදිළි වෙනවා.

ගරු කථානායකතුමනි, 2014 දී සමස්ත බදු හරහා මාගේ රජය ජනතාවගෙන් අය කරගත්තේ රුපියල් බිලියන 1,050 ක් පමණ බව අප දන්නවා. අපි එම මුදලින් කළ සංවර්ධන කටයුතු ගැන මා අලුතින් කියන්න අවශ්‍ය නැහැ. 2018, දී මේ හවුල් ආණ්ඩුව එම මුදලට සමාන මුදලකට අමතරව, තවත් රුපියල් බිලියන 984 ක්, එනම් දෙගුණයකින් පමණ වැඩි මුදලක් වන රුපියල් බිලියන 2,034 ක්, අප ජනතාවගෙන් අයකරගන්නට බලාපොරොත්තු වෙනවා.

එසේ නම්, ජනතාව මත දැඩි පීඩන හෙලමින් ජනතාවගෙන් ඉදිරි වසරේදී උදුරා ගන්නට බලාපොරොත්තු වන මේ නව දැවැන්ත බදු මුදලටත් වඩා වැඩි පාඩුවක්, මෙම බැදුම්කර මගඩියෙන් ශ්‍රී ලාංකිකයන්ට සහ රජයට සිදුවී ඇති බව, මේ යහපාලන රජයේ පාර්ශවකරුවන්ම දැනටමත් පිළි අරගෙන අවසානය.

රැකියා බිහිවෙනවා වෙනුවට, අප රටේ ජනතාවගේ රැකියා නැති වෙලා

ගරු කථානායකතුමනි, ඕනෑම ආර්ථිකයක වැදගත්ම ලක්ෂණයක් වන්නේ, එම ආර්ථිකයේ සේවා නියුක්තිය සහ රැකියා බිහිකිරීමේ ශක්තියයි. මහ බැංකුවේ දත්ත අනුව මෙම කරුණ සලකා බලන විට, අපට පෙනී යන්නේ, 2014 අවසානයේදි සේවා නියුක්තිය වාර්තා වී ඇත්තේ අසූ හතර ලක්ෂ විසිහතර දාහක් (8,424,000) ලෙසය. එමෙන්ම, 2016 අවසානය වන විට එම සංඛ්‍යාව හැත්තෑ නව ලක්ෂ හතලිස් අට දාහක් (7,948,000) ලෙස වාර්තා වුනා. ඒ අනුව, එම වසර 2 තුළදී, අප රටේ සේවා නියුක්තිය හාර ලක්ෂ හැත්තෑ හය දහස (476,000) කින් අඩු වී ඇති බව පැහැදිළිය. අප රටේ ආර්ථිකයේ සෙසු පසුබෑම්ද ඔස්සේ, මෙලෙස සේවා වියුක්තිය අඩුවීම, සාමාන්‍ය ජනතාව විශාල අර්බුධයකට ඇද දැමීමක් ලෙස මා දකිනවා.

යථාර්තය මෙසේ තිබියදීත්, මේ හවුල් රජයේ, එක පාර්ශවයක් නව රැකියා 400,000 ක් බිහිකළායයි පුවත්පත් පුරා දැන්වීම් පලකිරීම ඇත්තටම ලැජ්ඡාසහගතය.

රටේ බාහිර ගෙවුම් ශේෂය: ධන සිට සෘණ දක්වා

ගරු කථානායකතුමනි, රටක සාර්ව ආර්ථික සාධක වල තවත් ඉතා වැදගත් අංගයක් වන්නේ එම රටේ විදේශ ගෙවුම් ශේෂයයි. අපගේ රජය සමයේදී, මෙම සාර්ව ආර්ථික සාධකය මනාව කළමණාකරණය කරමින්, 2014 වසරේදීද, ඊට පෙර වසර වලදීද, සැළකිය යුතු ප්‍ර‍ගතියක් ලබා ගත්තා.

2014 වසරේදී, එම ශේෂය ඇමරිකානු ඩොලර් මිලියන 1,369 ක සුභවාදී අතිරික්තයක් බවට පත් කර ගැනීමට අපි සමත් වුනා. එමෙන්ම, 2014 දී සහ ඊට පෙර කාලයේදී, ඛණිජ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80 සිට 140 අතර විචල්‍ය වුවද, මෙම බාහිර වෙළද ශේෂය මනා ලෙස පාලනය කරමින්, විදේශ ගෙවුම් ශේෂය අතිරික්තයක් බවට පත් කර ගැනීමට, අපි සමත්වුනා.

එහෙත්, 2015 සහ 2016 යන වසර දෙකේදීම, මේ හවුල් රජයේ අදූරදර්ශී ප්‍ර‍තිපත්ති නිසා විදේශ ආයෝජන කඩා වැටුනා. අපනයන ආදායම පිරිහුනා. මැදපෙරදිග ප්‍රේශණ අඩුවුනා. තවද, 2015 සහ 2016 වසර වලදී තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 28 සිට 60 අතර විචල්‍ය වුවද, මේ හවුල් රජයට ජාත්‍යන්තර වෙළද පරතරය අඩු කර ගැනීමටත් බැරිවුනා. එපමණක් නොව, එම පරතරය දැවැන්ත ලෙස වැඩි කරගත්තා. ඒ නිසා, එම වසර දෙක තුළදී, ඉතා ඉහල පොලි අනුපාතයන් ගෙවා ජාත්‍යන්තර සෛරී බැදුම්කර නිකුත් කළද, විදේශ ගෙවුම් ශේෂය, ඇමරිකානු ඩොලර් බිලියන 2 ක පමණ හිගයක් වාර්තා කලා.

මෙම තත්ත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගයද සෑහෙන පීඩනයකට යටත්වූවා. ඒ අතර, අපනයනයන් තව දුරටත් වැඩි කරගන්නට විශාල උත්සාහයක් දරන්නට සිදුවූ නිසා, අප රටට දිගුකාලීනව ඉතා අවාසිදායක වන කොන්දේසි 27 කට යටත්ව, යුරෝපා සංගමය සමග GSP+ ප්‍ර‍ශ්නකාරී ගිවිසුමකට එළඹෙන්නටද රජයට සිදු වුනා.

එහි අයහපත් ප්‍ර‍තිවිපාක අප සියලු දෙනාටම නොබෝ කාලකින් විදින්නට සිදු වන අතර, ඒ පිළිබද පුලුල් කථිකාවක් ආරම්භ කිරීමට දැන් කාලය එළඹී ඇතැයිද මා සිතනවා.

එනවයි කියූ විදේශ ආයෝජකයින් කෝ ?

ගරු කථානායකතුමනි, 2006 සිට 2014 කාලය තුළදී, රටට ගලා එන සෘජු විදේශ ආයෝජනය ක්‍ර‍මයෙන් වැඩිකරගනිමින්, 2014 වන විට, එම අගය ඇමරිකානු ඩොලර් මිලියන 1,635 දක්වා ඉහල නංවා ගැනීමට අප රජය සමත් වුනා.

එහෙත්, එම ආයෝජන ඉතා සුලු යයි පවසමින්, ඊට වඩා දහගුණයකින් පමණ නව විදේශ ආයෝජන අප රටට ගෙන එනවා යයි, මේ හවුල් ආණ්ඩුවේ නායකයින් පවසනවා අපට මතකයි. ඔවුන් තව දුරටත් එදා කියා සිටියේ, ඔවුන් රජය භාරගත් විගසම විදේශ ආයෝජන ඇමරිකාවෙන්, ඉන්දියාවෙන්, යුරෝපයෙන් මෙරටට ගලා ඒම නවත්වන්නට බැරිවන බවයි. ආයෝජන විශාල ලෙස ගලා එන බව ඔවුන් පැවසුවා.

තවද, චීනය ආර්ථික ඝාතකයෙකු යයි කියමින්, චීන ආයෝජන නවත්වනවායයිද ඔවුන් කිව්වා. හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක්ද, නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය හැම විටම කඩා වැටෙන සුදු අලියෙක්ද කිව්වා. අධිවේගී මාර්ග කන්නද කියලා ඇහුවා. ඒ ආකාරයට, අප රජය කාලයේදී මෙරටට යොමුවූ සියලුම ආයෝජන වලට අපහාස කළා. එපමණක් නොව, හවුල් රජය බලයට පත්වු වහාම, චීන ජනාධිපති ශි ජින් පිං මැතිතුමා සහ මා අතින් ආරම්භ කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක “පොර්ට් සිටි” ව්‍යාපෘතිය, විවිධ චෝදනා එල්ල කරමින් නතර කලා. මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කළා. එහි තිබූ පුටු මේස ගලවා විසී කලා. අප රජය ආරම්භ කොට තිබූ ව්‍යාපෘති රාශියක් ඕනෑකමින්ම අඩපණ කලා. විවිධ දේශීය සහ විදේශිය ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයින්ට චෝදනා එල්ල කලා. ඔවුන්ට දිගින් දිගටම බැණ වැදුනා. සමහර ආයෝජකයින් FCID ට දක්කගෙන ගියා. එහිදී පැය ගණන් ඔවුන් ප්‍ර‍ශ්න කළා. පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ නම් කියා ඔවුන්ට අපහාස කලා. ඔවුන්ගේ පවුලේ අයවත් භය කලා.

මේ වගේ ක්‍රියාවලි හරහා, රටේ පවතින ආයෝජන වාතාවරණය මේ හවුල් නායකයින් දැඩි ලෙස අර්බුධයට ලක් කළා. ඒ හේතුව නිසා, රටට ගලා එමින් තිබූ සෘජු විදේශ ආයෝජන දැවැන්ත ලෙස කඩා වැටුනා.

අද, ජනාධිපතිවරයාද, අගමැතිවරයාද, ඇමතිවරුන්ද, තම දරුවන් සහ මිත්‍ර‍යින් සිය ගණන් පිරිවරාගෙන, විදේශ ආයෝජන සොයමින් ලෝකය වටේම සංචාරය කරනවා. එහෙත්, අපගේ රජය කාලයේදී ආරම්භකොට තිබූ ආයෝජන වලට අමතරව, වෙනත් කිසිදු ආයෝජනයක් තවමත් මෙරටට ගෙනෙන්නට ඔවුන් සමත්වී නැත.

ඒ අතරම, මේ හවුල් රජයේ නායකයින් කියූ බොරුත් දැන් අතේ පත්තු වෙනවා. උදාහරණයක් වශයෙන්, ජර්මනියේ වොක්ස්වැගන් සමාගම දැවැන්ත ආයෝජනයක් අප රටට ගෙනාවයි කියලා ඔවුන් දිනපතාම කිව්වා. එම වර්ගයේ මෝටර් රථ නිෂ්පාදනය කරන්නට විශාල කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ ඉදිකරනවා යයි කිව්වා. ඒ හරහා 25,000 කට රැකියා ලබා දෙනවායි කිව්වා. ඒ සදහා තරුණ තරුණියන්ගෙන් අයදුම්පත්ද ලබා ගත්තා. ඒ කියපු සියල්ලම සම්පූර්ණ අසත්‍යයක් බව අද වන විට මුලු රටටම ඔප්පු වෙලා ඉවරයි. වෙනත් දේ පිළිබදව අසත්‍ය ප්‍ර‍කාශ කළා වගේම, මේ වොක්ස්වැගන් ආයෝජනය පිළිබදවත් ප්‍ර‍කාශ කර ඇත්තේ මහත් බොරුවක් බව අප රටේ මුලාවූ තරුණ තරුණියන්ට දැන් පැහැදිළි වෙලා තියනවා. ඒ අතරම, බොරුවෙන් දිගටම ආර්ථිකයක් කළමණාකරණය කළ නොහැකි බවද අද ජනතාවට හොදටම වැටහී තියෙනවා.

විදේශ සංචිත භයානක ලෙස අඩුවෙලා

ගරු කථානායකතුමනි, ඕනෑම රටක, ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය කම්පා සහ අර්බුධ වලට මුහුණදීමේ ශක්තිය පිලිඹිබු වන්නේ, එම රටෙහි විදේශ සංචිත වල ප්‍ර‍මාණය මතය. ඒ අනුව, අප රජය, 2005 දී ශ්‍රී ලංකාවට තිබූ විදේශීය සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක්වූ අඩු අගය, ක්‍ර‍මයෙන් වර්ධනය කර ගනිමින්, 2014 අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8.2 දක්වා ඉහල නංවාලීමට සමත් වුනා. එම සංචිත ප්‍ර‍මාණය මාස 5.1 ක ආනයනයන්ට සමාන අගයක් වීමද බොහෝ දෙනාගේ විශ්වාසය දිනා ගන්නට තුඩු දුන් කරුණක් වුනා.

එහෙත්, හවුල් රජයේ ආර්ථික කළමණාකරුවන් මෙම වැදගත් සාර්ව ආර්ථික විචල්‍යය අදක්ෂ ලෙස පාලනය කළ නිසා, අප රටේ විදේශ සංචිත සීග්‍ර‍යෙන් කඩා වැටුනා. එසේ වීමෙන්, 2015 අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් දක්වාද, 2016 අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.0 දක්වාද, අප සංචිත කඩා වැටුන බව මහ බැංකු දත්ත පෙන්වා දෙනවා. තවද, 2017 වසරේදීද, රටේ විදේශ සංචිත පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7.0 ක පමණ අඩු අගයක බවත් වාර්තා වෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශක්තිය සැළකිය යුතු මට්ටමකට අඩපණ වී ඇති අතර, නුදුරු අනාගතයේදී එම අසීරු තත්ත්වයෙන් මිදෙන බවක් නොපෙනේ.

මේ සංචිත ආශ්‍රිත කථාවේ විශේෂත්වය නම්, මේ රජයේ 2020 දී විදේශ සංචිත ඉලක්කය, 2014 දී අප වාර්තා කර තිබූ සංචිත අගය වීමයි! එයින් පෙනී යන්නේ, අවුරුදු 6 කට පසු, මේ හවුල් රජයේ ඔස්තාර්ලාගේ බලාපොරොත්තුව වන්නේ අප රජය කාලයේදී තිබූ සංචිත අගය වෙතට නැවත ළගාවීමයි!

රුපියල මස්ත බාල්දුවට ලක් වෙයි

ගරු කථානායකතුමනි, 2006 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍ර‍මාණය වූයේ සාමාන්‍යයෙන් වසරකට 3.3% පමණකි. මෙම අවප්‍ර‍මාණය, 1977 දී අප රටේ ආර්ථිකය විවෘත කලායින් පසුව, ශ්‍රී ලංකා ඉතිහාසයේම වසර 9 ක කාලයකදී වාර්තා වූ අඩුම අවප්‍ර‍මාණයි. ඒ අතරම, 2014 වසරේදී, රුපියලේ අවප්‍ර‍මාණය 1% කටත් වඩා අඩු ප්‍ර‍මාණයකට සිමා වී තිබුණි. මෙයින්ද පෙනී යන්නේ 2014 අවසානය වන විට, ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක රුදී තිබූ බවය.

එහෙත්, මෙම තත්ත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් මෙම හවුල් රජය යටතේ වාර්තා වී තිබෙනවා. එනම්, 2015.01.01 සිට 2017.11.10 දක්වා වසර 3 කට වඩා අඩු කාලයකදී, රුපියලේ අගය 17% කින් පමණ දැවැන්ත ලෙස අවප්‍ර‍මාණය වීමයි. මේහේතුවෙන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයභරතාවයද සීග්‍ර‍ලෙස වැඩිවෙමින්, 2015 දී පමණක් රුපියලේ අවප්‍ර‍මාණය නිසා, රාජ්‍ය ණය රුපියල් බිලියන 286 කින්ද, 2016 දී රුපියල් බිලියන 141 කින්ද, වැඩිවී ඇතැයි මහ බැංකුව වාර්තා කොට තියනවා.

මෙම භයානක තත්ත්වය මේ ආකාරයටම පැවතුනහොත්, ශ්‍රී ලංකාව දැන් ගොදුරු වී තිබෙන දැවැන්ත ණය අර්බුදයෙන් අප රටට ගොඩ එන්නට ඉතා අපහසු වෙනවා නොඅනුමානයි. එමෙන්ම එළඹෙන විදේශ විනිමය හිගයට මුහුණ දෙන්නට ඉතා අසීරු වෙනවා. සීග්‍ර‍ ලෙස වැඩිවෙන පොලී අනුපාත පාලනය කරන්නටත් නොහැකි වෙනවා.

බාහිර කම්පා/අර්බුධ වලට මුහුණ පෑමට දැන් ශක්තියක් නැහැ: ජාත්‍යන්තර ණය ශ්‍රේණි වලින් පහලට

ගරු කථානායකතුමනි, 2014 වසරෙන් අවසන් වන අවුරුදු 9 කාලය තුළදී ශ්‍රී ලංකාව දැවැන්ත ජාත්‍යන්තර සහ දේශීය ආර්ථික අභියෝග වලට මුහුණ දුන්නා. එම කාලය තුළදී ලෝකයේ භයානකම ආහාර අර්බුධයද, ලෝකයේ උග්‍ර‍තම තෙල් අර්බුධයද, ලෝකයේ දරුණුම ආර්ථික අර්බුධයද, ලෝකයේ තියුණුම බැංකු අර්බුධයද, ලෝකයේ දැවැන්තම ණය අර්බුධදයද, වාර්තා වුනා. එම අර්බුධ ඉදිරියේ බොහෝ රටවල් විනාශ වුනා. පසුබෑමට ලක්වුනා. අප රටටත් මේ සියලු අර්බුධ වල පීඩා දැනුනා. බලපෑවා. එහෙත් ඒවාට මුහුණ දෙන්නට අපට හැකිවුනා. ඒවායේ අයහපත් විපාක අප ජනතාවට ගලා යෑම අපි වලක්වා ගත්තා. අප ඒවාට අවශ්‍ය උපායමාර්ග හදුනාගෙන, ඒවා ක්‍රියාත්මක කළා.

ඒ අතරම, දේශීය මට්ටමෙන්ද දැවැන්ත ආර්ථික අභියෝග වලට, අපි මුහුණ දුන්නා. වසර 30 ක යුද්ධයක් කරද්දීද, එය අවසන් කරද්දිද, යුද්ධය තිබු පලාත් නැවත ප්‍ර‍තිසංස්කරණය කරද්දීද, මතුවූ ප්‍ර‍ශ්න වලට අපි මුහුණදී විසදුම් ක්‍රියාත්මක කලා. ඒ කාලයේදී, අපි රටට අවශ්‍ය ජාත්‍යන්තර ණයක් ලබා ගන්නට වෑයම් කරද්දී, සමහර නායකයින් ජාත්‍යන්තර බැංකු වැටලුවා. ඒ නායකයින් බලයට ආවහොත්, එසේ ලබා ගන්නා ණය, ආපසු ගෙවන්නේ නැතැයිද පැවසුවා. අපි ඒ අභියෝග වලටත් මුහුණ දුන්නා. ඒවත් ජය ගත්තා. ඒ සමගම, අපි රට සහ ආර්ථිකය ස්ථාවර කලා.

ඒ කාලයේදී, අපට ණය ගෙවන්න බැහැ යයි කියමින් අපි හඩා වැලපුනේ නැහැ. ජාත්‍යන්තර ආයතන වල පද වලට නැටුවේ නැහැ. වෙළඳ වාසි ලබා ගන්නට රට පාවා දුන්නේ නැහැ. එහෙත් රට සංවර්ධනය කරන්නට අපේ මුලු ශක්තියම යෙදුවා. එමගින් අපි ජාත්‍යන්තර ආර්ථික කේෂ්ත්‍ර‍ වල පුලුල් විශ්වාසය දිනා ගත්තා. එසේ කරමින්, ඒ සියලුම අභියෝග මධ්‍යයේ අප රට ආර්ථිකයේ කිසිදු කම්පාවක් නොදැනෙන ලෙසද, ජනතාවට කිසිදු ගෝලීය පීඩනයක් කාන්දු නොවන ලෙසද, ජනතාවට හිමි සහනාධාර කප්පාදු නොකරමින්ද, රටේ සාර්ව ආර්ථික විචල්‍යන් රැකගනිමින්ද, අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියා. එම තත්ත්වය සනාථ කරමින්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත සමාගම් සියල්ලන්ම ශ්‍රී ලංකාව ධනාත්මක හෝ ස්ථාවර දැක්මක් සහිත, ක්‍ර‍මයෙන් ඉහල මට්ටමකට යොමු වන ණය ශ්‍රේණියක වාර්තා වර්ගීකරණය කළා.

එහෙත්, අප රටේ අවාසනාවට, මේ හවුල් රජය යටතේ, කිසිදු ගෝලීය අභියෝගයක් නොමැතිවද, ලෝක තෙල් මිල වසර 20 කින් පමණ අඩුම අගයක පැවතියද, රටේ ණය ශ්‍රේණිය තිබූ මට්ටමේවත් පවත්වා ගෙන යන්නට අසමත් වී තිබෙනවා. ඒ අනුව, මේ වන විට, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය, සියලුම ශ්‍රේණිගත කරන සමාගම් විසින් පහල හෙලා දමා තිබෙනවා. ඒ අතර, ශ්‍රී ලංකාව පිළිබදව ඔවුන් සියල්ලන්ගේම දැක්ම “සෘණ” යයිද, ඔවුන් වාර්තා කර තියෙනවා. මෙයින් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිරිහීම ජාත්‍යන්තරවද පිළිගෙන හමාර බවය.

අය-වැය පරතරය ඉහලට: රාජ්‍ය ගිණුම් පිළිගත නොහැකි යැයි විගණකාධිපතිවරයාගෙන් චෝදනා

ගරු කථානායකතුමනි, 2009 දී වසර 30 ක යුද්ධය අවසන් කළ පසු, 2010 සිට ශ්‍රී ලංකාවේ අය-වැය පරතරය ක්‍ර‍මක්‍ර‍මයෙන් අඩුකර ගැනීමට අපගේ රජය සමත්වුවා. ඒ අනුව, 2014 දී අයවැය පරතරය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍ර‍තිශතයක් වශයෙන් 5.7% ක අගයකට අඩුකර ගැනීමට අපට හැකි වුනා.

එහෙත්, 2015 දී, එම ප්‍ර‍වණතාවය ආපසු හැරුනා. රජයේ ලේඛන වලට අනුව, අයවැය පරතරය 7.4% ලෙස වාර්තා වුවද, විගණකාධිපතිගේ වාර්තාව අනුව, එම පරතරය 10.5% ක් බව ඔහු ප්‍ර‍කාශ කලා. එපමණක් නොව, අප ඉතිහාසයේ පළමු වරට, 2016 ශ්‍රී ලංකා රජයේ ගිණුම් පිළිබදව, තමාට අදහසක්වත් පළ කරන්නට නොහැකියයි විගණකාධිපතිතුමා වාර්තා කලා. මෙය අතිශයින් බරපතල චෝදනාවක් වුවත්, යහපාලනය ස්ථාපනය කරන්නේ යයි පවසා බලයට ආ මේ හවුල් රජය, ඒ පිළිබදව තවමත් කිසිවක් කියලත් නැත; කරලත් නැත.

ශ්‍රී ලංකාව: ජාත්‍යන්තර වර්ගීකරණ වලින් දැවැන්ත පසුබෑමක්

ගරු කථානායකතුමනි, තවත් ඉතා කණගාටුදායක කරුණක් මට ඉදිරිපත් කරන්නට සිදු වෙනවා. එනම්, විවිධ ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව, පසුගිය වසර 2 ½ තුළදි ශ්‍රී ලංකාවේ තත්ත්වය/මට්ටම, දැවැන්ත ලෙස කඩා වැටීමක් සිදුවී ඇති තොරතුරුයි.

විවිධ ජාත්‍යන්තර ආයතන, විවිධ කේෂ්ත්‍ර‍ හරහා රටවල් වර්ගීකරණය කරමින්, එක් එක් වසරකදී, ඒ ඒ රටවල් පවතින මට්ටම වාර්තා කරන බව අපි දන්නවා. ඒවා ආශ්‍රිතව, ශ්‍රී ලංකාව, 2014 දී පැවති සහ 2017 දී පවතින මට්ටම පිළිබදව, යම් සැලකිල්ලක් යොමු කිරීම යෝග්‍ය යයි මා සිතනවා.

එසේ කරද්දී, අපට පෙනෙන තොරතුරු මෙසේය.

නීතියේ ආධිපත්‍ය – 2014 දී ශ්‍රී ලංකාව ලෝකයේ 48 වන ස්ථානයේ පසු වුවද, මේ වන විට, 68 වැනි ස්ථානයට කඩා වැටී ඇත.

ආර්ථික නිදහස – 90 සිට 112 දක්වා පහලට:

ව්‍යාපාර කිරීමේ පහසුතාවය – 89 සිට 111 දක්වා පසුබෑමට:

ජාත්‍යන්තර තරගකාරිත්වය – 68 සිට 85 දක්වා පිරිහීමකට:

දූෂණ ප්‍ර‍ත්‍යක්ෂය – 2014 දී දූෂිත යයි කියූ අප රජය යටතේ 85 වැනි ශ්‍රේණියේ: 2017 දී යහපාලනය මෙරටට ගෙනෙන්නේ යයි මොර හඩින් කෑ ගැසූ මෙම හවුල් රජය යටතේ 95 වැනි ස්ථානයට බිඳ හෙලීමකට:

මිනිස් සංවර්ධනය අතින් පමණක්, ශ්‍රී ලංකාව 2017 දී, 2014 දී පැවති 73 වන ශ්‍රේණියේම රැදී සිටීමට සමත් වුනි.

එපමණක් නොව, ඉහත කී බොහෝ වර්ගීකරණයන්ට අනුව, දකුණු ආසියාවේ රටවල් අතරින් පවා, 2014 දී ශ්‍රී ලංකාව පළමු හෝ දෙවැනි ස්ථානයෙහි පසු වුවද, 2017 වන විට, දකුණු ආසියාවේද, ශ්‍රී ලංකාව තුන්වැනි හෝ හතරවැනි තැනට ඇද වැටී ඇත.

ශ්‍රී ලංකාව : කොයිබටද?

ගරු කතානායකතුමනි, මා මෙතෙක් කළ විග්‍රහයන් හරහා අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද වනවිට ඉතා භයානක සහ අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇති බවය.

මෙම තත්ත්වය අපට සමාන කළ හැක්කේ ඉතා දැවැන්ත කුණාටුවකට ගොදුරුවී ඇති කුඩා නැවක් කිසිදු පාලනයකින් තොරව මහ මුහුදේ නිදැල්ලේ පාවෙන හා සමාන තත්ත්වයකටය. එපමණක් නොව, මේ නැව හසුරවන්නේ වෛරයෙන් සහ ක්‍රෝධයෙන් පෙළෙන, එකිනෙකාට යටින් කුමන්ත්‍ර‍ණය කරන හිතුවක්කාර කපිතාන්වරු දෙදෙනක්ය. එසේ නම්, මෙම නැවේ ගමන් කරන මගීන්ගේ ඉරණම ගැන බලාපොරොත්තු තියා ගන්නට අතිශයින් අපහසු බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත.

ගරු කතානායකතුමනි, මා මෙතෙක් පෙන්වා දුන් අප රටේ සියලුම සාර්ව ආර්ථික සාධක පාහේ ගමන් කරන්නේ නියමිත දිසාවට නොව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවට බව ඕනෑම කෙනෙකුට දැන් පැහැදිලිය. එමෙන්ම, අද අප රට ඉතා හානිකර පුනාවර්තන හේතු-ඵල චක්‍රයකට (vicious cycle) ගොදුරු වී ඇති බවත් පෙනේ. එයින් ගැලවෙන්නට නම්, අපගේ සාර්ව ආර්ථික විචල්‍යයන් යහපත් දිසාවකට යොමු කර ගත යුතු වන්නේය.

අද මේ රටේ ආර්ථිකය පාලනය කරන කණ්ඩායමට නම් එසේ කිරීමට දැක්මක් හෝ ශක්තියක් හෝ නොමැති බව ඉතා පැහැදිලිය. ඒ අය දිනෙන් දිනම අප රටේ ආර්ථිකයද දේශපාලනික ව්‍යුහයද අගාධයටම ඇදගෙන යන බව පැහැදිලිය. වැඩි කලක් යන්නට මත්තෙන් මෙම චක්‍රයෙන් අප රට ගලවා නොගතහොත්, කිසිදාක රට ගලවාගත නොහැකි භයානක තැනකට යොමුවෙනවාද අනුමානය.

එසේනම් මේ දූෂිත සහ අදක්ෂ පාලකයන් ඉතා ඉක්මනින්ම ගෙදර යැවිය යුතුමය. එම කාර්යභාරය සතුව තිබෙන්නේ අප රටේ ජනතාවට ය. අප රටේ ජනතාව එම කාර්යභාර්ය ඉෂ්ට කිරීමට මහත් උනන්දුවකින් සිටින බවත් අපට දැන් පැහැදිලිය. අවුරුදු දෙකහමාරක කාලයක් තිස්සේ, මේ රජය පලාත් පාලන මැතිවරණය කල් දමමින් සිටියේ ඔවුන් ජනතාවගේ මතය හොඳින් තේරුම්ගෙන ඇති නිසාය. තවද, මේ රජය 2017 සැප්තැම්බර් මාසයේදී කල තවත් උප්පරවැට්ටියක් හරහා, පළාත් සභා මැතිවරණද කල් දැමීමට ගත් උත්සාහය මුලු රටම අද පිළිකුල් කරනවා. මෙවැනි උප්පරවැට්ටි හරහා ජනතාවගේ අභිලාශයන් යම් ආකාරයකට තාවකාලිකව කල් දැමීමට මේ කපටි නායකයන්ට හැකි වුවත්, එළඹෙන ජනතා බලවේගය මේ හවුල් රජයට මැඩපවත්වන්නට පුලුවන් කමක් නැත. ඒ නිසා, නොබෝ දිනකින්, මැතිවරණයක් පවත්නා කුමන දිනයක හෝ මේ ජනතා අභිලාශය ඉස්මතු වෙන බව මා මේ හවුල් රජයට මතක්කර දෙන්නට ඕනේ. එවිට ජනතාවගේ සාමුහික මතය නැවත වරක් කරලියට එනු ඇත.

එසේ වූවායින් පසුව, අප රටේ දේශපාලන ප්‍රශ්ණ වලට පමණක් නොව, රටේ ආර්ථිකය නංවාලීමට නව කණ්ඩායමකට අවස්ථාවක් උදාවනු ඇත. ඒ තාක්කල් අප රටට ආදරය කරන සියලු දෙනාම මෙම රජය ගෙදර යැවීමේ උත්සාහයට අපගේ මහඟු සහයෝගය ලබා දෙන ලෙස මා ඉල්ලමි.

එමෙන්ම, දැඩි පීඩන සහ මර්ධන ඉදිරියේදීද විශාල කැපවීමකින් අප රටට ආදරය කරන බොහෝ දෙනෙක් අපට නොමසුරුව සහයෝගය ලබා දෙන බව මා මතක් කර දෙන්නටත් ඕන. ඒ සියළු දෙනාටම මාගේ හෘදයාංගම ස්තුතිය සහ ගෞරවය පළ කරන්නටද මා කැමතියි.

අපේ රට විවිධ අභියෝග වලට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම අප රටට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ සියලු දෙවියන්ගේ පිහිට තුලින් අපට දිගින් දිගටම ඉදිරියට යන්නට හැකි වී තිබෙනවා. එම ආශිර්වාදය ඉදිරියේදීත් ලබාගෙන, අපේ මාතෘ භූමිය ඇද වැටී තිබෙන අගාධයෙන් නැවත ගොඩ ගැනීමට අප සියලු දෙනාටම ආශිර්වාදය ලැබේවා කියා ද මා ප්‍රාර්ථනා කරනවා.

ගරු කථානායකතුමනි, මා හට ලබා දුන් මේ අවස්ථාවට ඔබතුමාට මාගේ අවංක ස්තූතිය පලකරන්නටද කැමැත්තෙමි.

– හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *