ජනප්‍රිය නිවේදකයෙකු, ගායකයෙකු, තබ්ලා වාදන ශිල්පියෙකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ පේෂල මනෝජ් මහතා පූර්ණිකා පීරිස් මහත්මිය සමග යුග දිවියට පිවිසෙයි

(02.02.2020 – webgossip.lk)

+++++++++++++++++++++

+++++++++++++++++++++

2016-11-23
2020-01-25

+++++++++++++++++++++

12-02-2020

+++++++++++++++++++++

පේෂල – පූර්ණිකා විවාහය

(17.02.2020 – saaravita.lk)

අලුතින් විවාහ ගිවිසගත් පේෂලටත් පූර්ණිකාටත් මුලින්ම හදසර අපේ සුබ පැතුම්..?

මුලින්ම මටයි පූර්ණිකාටයි සුබ පැතුම් එක් කරපු හදසරට ගොඩක් ස්තූතියි. ජීවිතේ හොඳයි. සතුටින් ගෙවෙනවා.

මේ ආදර කතාවට දැන් කොච්චර කාලයක් වෙනවද..?

දැන් අවුරුදු දෙකහමාරක් තුනක් විතර වෙනවා. මුලින්ම මමයි පූර්ණියි හොඳ යාළුවෝ. අපි එකම නාලිකාවක සේවය කරන්නෙ. මෙහෙම යාළුවෝ වගේ කාලය ගෙවෙද්දී නොදැනුවත්වම ඒක ආදරයක් බවට පත්වුණා.

යාළුවෙක් විදිහට හිටපු පූර්ණිකාට ආදරය කරන්න, පෙම්වතිය කර ගන්න පූර්ණිකා ගැන පේෂලගේ හිත නතර වුණු තැන කොතනද..? ඇගේ තිබුණු විශේෂත්වය මොකක්ද..?

මොන දේ කරන්නත් මිනිසුන්ට මානසික නිදහස තියෙන්න ඕනෙ. අපි කොච්චර සල්ලි හම්බ කළත්, මොන දේ කළත්, අපි කරන වැඩවලින් සතුටක්, සැනසීමක්, හිතේ නිදහසක් නැත්නම් වැඩක් නැහැනෙ. කොහොමත් මම යන විදියත් පොඩ්ඩක් වෙනස්. යාළුවෙක් ආශ්‍රය කළත්, මොන දේ කළත් මම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙක් නෙමේ. කසාද බඳිද්දීත් එහෙමයි. එතනින් ලැබෙන ලාභ ප්‍රයෝජනය මොකක්ද කියලා බලන්නෙ නැහැ. එකම ලාභ ප්‍රයෝජනයයි බලන්නෙ. ඒ තමයි මානසික නිදහස. ඒ වගේම මගේ මව්පියන් එක්ක හොඳින් ඉන්න පුළුවන් වෙන්න ඕනෙ. මගේ මව්පියන්ට ගරහන, එයාලට වතුර උගුරක් දෙද්දී ඒකට එක එක දේවල් කියන ගෑනියෙක් මට වැඩක් නැහැ.

පූර්ණිකා ගැන ඇතිවුණු ආදරය කිව්වට පස්සෙ පූර්ණිකා මොකද කිව්වෙ.. ඒකට ප්‍රතිඋත්තර ලැබෙන්න කොයි තරම් කාලයක් ගියාද..?

පූර්ණිට මගේ කැමැත්ත කිව්වට පස්සෙ එයා එකපාරම මට කැමති වුණේ නැහැ. එයාගේ ජීවිතෙත් ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ ගැන මම කතා කරලත් නැහැ. මිනිස්සු නොගැලපෙනවානම් අයින්වෙන එක තමයි හොඳ. සමහරු මට පසුගිය කාලෙදී ගොඩක් මඩ ගැහුවා. මම කාගෙවත් පවුල් ජීවිතයක් කැඩුවේ නැහැ. මට ඒක සීයට දෙසීයක්ම විශ්වාසයි. අපිට එහෙම කාගෙවත් පවුල් ජීවිතයක් කඩන්න බැහැ. හරියට ශක්තිමත් පවුල් ජීවිතයක් ගෙනියන දෙන්නෙක්ගෙ මැද්දට පැනලා කාටවත් ඒ පවුල් ජීවිතය කඩන්න බැහැ. ඒක තමයි ඇත්ත. මට එහෙම කාගෙවත් පවුල් ජීවිතයක් කඩන්න වුවමනාවක් තිබුණෙ නැහැ. ඒ ප්‍රශ්නයෙන් පස්සෙ පූර්ණිව ආශ්‍රය කරද්දී, කතා කරද්දී පූර්ණි මගේ ජීවිතයට හොඳයි කියලා මට හිතුණා. ජීවිතයට අඩුම තරමෙන් වචනයෙන් හරි උදව් කරන තමන්ගේම කෙනෙක් ඕනෙ කියලා මට හිතුණා. සමහරු හිතනවානම් මට ජනප්‍රියත්වයක් ගන්න මම පූර්ණිකාට ළං වුණා කියලා ඒක වැරදි කතාවක්. මට එහෙම වුවමනාවක් නැහැ. මට ඕන වුණේ මානසික නිදහස. විවාහවෙලා ගෙදරට එද්දී මගේ අම්මත් එක්ක ගෑනි රණ්ඩුවෙලා කියන තැනක ඉන්න මම කැමති නැහැ. සැමියාගේ මව්පියන්ට සලකන්නෙ නැති බිරියක් මට වැඩක් නැහැ. ඒ දේ පූර්ණි දන්නවා. පූර්ණි ඒ හැමදේම තේරැම් අරගෙනයි ඉන්නෙ. ඒ නිසා එයා එක්ක ජීවත්වෙන්න ලේසියි කියලා මට හිතුණා.

පේෂලට පූර්ණිකාගේ පුතා එක්ක තියෙන බැඳීම කොහොමද.. ආදිත්‍ය පේෂලට සමීපද..?

ඔව්.. මිනිසුන්ගෙ දෛවය කියන්නෙ මාරම එකක්. ආදිත්‍ය එක්ක මට තියෙන බැඳීම මාරයි. දරුවා කියලා කියන්නෙ කාගෙත් දරුවෙක්නෙ. ආදිත්‍ය මාත් එක්ක තියෙන එකතුව ගැන දන්න මිනිස්සු දන්නවා. නොදන්න අය කෝටියක් වුණත් ඒ කියන කතා මට අදාළම නැහැ. මම ඒ කතා සත පහකට ගණන් ගන්නෙ නැහැ. ඒ කවුරු නොදැන හිටියත් මම මගේ හිත දන්නවනෙ. ආදිත්‍යට මම හරි ආදරෙයි. ඒ ආදරය ගැන මට කියන්න තේරෙන්නෙ නැහැ. මොනම හෝ ක්‍රමයකින් මේ බැඳීම මීට කලින් තියෙන්න ඇති කියන විශ්වාසය මට තියෙනවා. ඒක මට වචනවලින් කියන්න තේරෙන්නෙ නැහැ. මේක සංසාරගත මුණගැසීමක් වෙන්න ඇති. සමහර වෙලාවට අපේම දරුවන් ඉඳලත් ඒ වගේ බැඳීමක් ඇතිවෙන්නෙ නැහැනෙ. සමහර දරුවන් මව්පියන් එක්ක වැඩිය කිට්ටුවක්, එකතුවක් නැහැ. සමහර මව්පියන්ට දරුවන් හිටියට ඒක මෙලෝ රහක් නැහැ. ඒත් ආදිත්‍ය එක්ක මට වෙනම බැඳීමක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නෙ නැහැ. ඒක කිව්වත් පිළිගන්නෙත් නැහැ. හැබැයි ඒක පිළිගන්න එක හරි නොපිළිගන්න එක හරි මට වැඩකුත් නැහැ. මගේ හිත මට ෂුවර්. මට ඒ ඇති. මට ලෝකෙට පේන්න කිසි දෙයක් කරන්න ඕනෙ නැහැ.

ඒ නිසාමද දෙන්නා හොර රහසේම විවාහ ගිවිස ගත්තෙ..?

නැහැ. එහෙම හොර රහසේ විවාහ වෙන්න හිතුණෙ නැහැ. මේක හදිස්සියේ ගත්ත තීරණයක්. අපේ මව්පියන්ට තමයි අපේ විවාහය ඉක්මනට ගන්න ඕනකම තිබුණෙ. ඒ නිසා අපි ඒකට දිනයක් බලද්දී සුබ දිනයකට ජනවාරි 31 වැනිදා යෙදිලා තිබුණා. එහෙම නැති වුණොත් ආයෙමත් සුබ දිනයකට සැප්තැම්බර් මාසේ තමයි දින දුන්නෙ. ඉතින් දෙපාර්ශ්වයේම කැමැත්තෙන් ඉතා සීමිත පිරිසකගේ එකතුවකින් පූර්ණිගෙත් මගෙත් විවාහ ගිවිසගැනීම ජනවාරි 31 වැනිදා යොදාගත්තා. පූර්ණිගේ පැත්තෙන් දෙරණ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාජාත් මගේ පැත්තෙන් ප්‍රවීණ නර්තන ගුරුවරයකු වන චන්දන වික්‍රමසිංහත් අත්සන් කළා.

ඔන්න ඔහොම පේෂල මේ ආදර කතාව ගැන කියද්දී පූර්ණිකාවත් ඒ කතාවට එකතු කර ගන්න අපි අමතක කළේ නැහැ. බලමුද පූර්ණිකා කියන්නෙ මොනවද කියලා.

පූර්ණිකා.. ජීවිතේ කොහොමද..?

හොඳයි. ඉස්සර වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා.

පූර්ණිකාගෙත් පේෂලගෙත් ආදර කතාව පටන් ගත්තෙ මීට අවුරුදු තුනකට විතර කලින්. එහෙම නේද..?

ඔව්.. පේෂල ඉස්සර මගේ හොඳ යාළුවෙක්. අපේ නාලිකාවේ ඉන්න අනිත් අයත් මගේ හොඳ යාළුවෝ. අපි සියලු දෙනා ඉන්නෙ සහෝදර බැඳීමකින්. මට මගේ ජීවිතේ එක එක ප්‍රශ්න එද්දී මම ඒ දේවල් සමීප යාළුවන් එක්ක කිව්වා. මේ ඒ දේවල් එක්ක ඇතිවුණු බැඳීමක් වෙන්නත් ඇති.

බොහෝ දෙනා හිතන්නෙ පේෂල හරි විනෝදකාමී, කතාවට සීමාවක් නැති චරිතයක් කියලයි. ඇත්තටම පේෂල එහෙම කෙනෙක්ද..?

පේෂල විනෝදකාමී තමයි. මම පේෂල එක්ක මගේ ජීවිතේ ප්‍රශ්න කතා කරලා තිබුණෙ නැහැ. නමුත් අනිත් යාළුවන්ගෙ මාර්ගයෙන් පේෂලට ඒ දේවල් ආරංචිවෙලා තිබුණා. එයා බොහොම අනුකම්පා සහගතව අපරාදේ මෙහෙම වෙන්නෙ කියලා යාළුවන්ටත් කියලා තිබුණා. මගේ ජීවිතේට වෙන්න ඕන නැති දේවල්මයි වෙන්නෙ කියලා එයාට හිතෙන්න ඇති. මෙහෙම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන අපි බොහෝ කාලයක් හිටියා.

මේ කාලය ඇතුළතදී පේෂල හා පූර්ණිකා ගැනත් බොහෝ කතා ඇතිවුණා..?

ඔව්.. මේ කාලය තුළ අපි දෙන්නට බොහෝ දෙනා බොහෝ කතා කිව්වා. ඒ මඩ ගැහීමත් අපි දෙන්නව ළං කරන්න පසුබිමක් වෙන්න ඇති. මිනිස්සු එක එක දේවල් කිව්වා. ඒ කාලයේ අපි යාළුවන් විදිහට කතාබහ කරන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා. පේෂල තමයි එළියට ආපු කෙනා. එළියට ආපු නැති සිදුවීම් ගණනාවක්ම තියෙනවා. ජීවිතේ අපි මිනිසුන්ව අනවශ්‍ය විදිහට සැක කරන්න, පීඩාවට පත් කරන්න යන්න හොඳ නැහැ. මට ඒ දවස්වල ‘මේ ගහන මඩවල හැටියට මේ මඟුල තමයි කර ගන්නෙ’ කියලා හිතුණු වෙලාවලුත් තිබුණා. ඒ තරමටම ඒ මඩ ගැහිල්ල හිතට වදයක් වුණා. හැබැයි මම ඒකට ඉස්සර වුණේ නැහැ. මම හැමදේම කාලයට ඉඩ දුන්නා.

පේෂල පූර්ණිකාට වගේම ඔබේ මව්පියන්ටත් කිට්ටුයි..?

ඔව්.. පේෂල අපේ පවුලටත් ගොඩක් කිට්ටුයි. මේ සම්බන්ධයට මගේ මව්පියන්ට වඩා එයාගේ මව්පියන් තමයි අකමැති වෙනවනම් අකමැති වෙන්න ඕනෙ. මම ක්ෂේත්‍රයේ හිටියට විවාහක කෙනෙක්. පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ටික කාලයකින් දෙපාර්ශ්වයේම මව්පියන් අපිව තේරුම් ගත්තා. මේ විවාහය මේ තරම් ඉක්මනට ගන්න තීරණය කළෙත් මව්පියන්ම තමයි. පසුගිය දවස්වල තිබුණු පේෂලගේ ප්‍රසංගයක් එක්ක ආයෙත් මේ කතාව එළියට ආවා. ඒ නිසා මේ විවාහය ඉක්මන් කරන්න අපි තීරණය කළා.

පේෂල ගෙනාපු ආදර යෝජනාවට පූර්ණිකා උත්තරයක් දෙන්න දෙපාරක් හිතුවද..? හිත යට පේෂල ගැන අදහසක් ඒ වෙද්දී තිබුණද..?

පේෂල එහෙම ආදර යෝජනාවක් කළෙත් නැහැ. එයා අපේ යාළුවන් එක්කනම් එයාගේ අදහස ගැන කියලා තිබුණා. ඒවා මගේ කනට ආවා. ඒ දේවල් මට යාළුවන් කියද්දී මම පිස්සුද.. මට තව හිතන්න දේවල් තියෙනවා කියලා කිව්වා. ඒ වෙනකොට පුතාව නර්සරියකටත් දාලා තිබුණෙ නැහැ. මට එයාව නර්සරියකට දාන්න, හොඳ ඉස්කෝලෙකට දාන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ වෙද්දී මගේ ගේ බාගෙට හදලයි තිබුණෙ. මට ඒ නතර වුණු වැඩ ආයෙත් කර ගන්න වුවමනා වුණා. පසුගිය අවුරුදු හතර තුළ මම මගේ මව්පියන් එක්ක එකතුවෙලා ඒ දේවල් ටික කර ගත්තා. ජීවිතයේ ඇතිවුණු ප්‍රශ්නවලට උත්තර සෙවීම මම කාලයට බාර කළා. කාලය මට හොඳම දේ දේවි කියලා මම විශ්වාස කළා. අපේ මව්පියන් එක්ක පේෂල පසුගිය අවුරුදු එකහමාර ඇතුළත හොඳ හිතවත්කමක් ඇතිකර ගත්තා. ඒකත් එක්කම එයාගේ මව්පියන්ට එයා මාව හඳුන්වා දුන්නා. ඒ අම්මලා තාත්තලාටත් මම ගැන පැහැදීමක් ආදරයක් ඇතිවුණා. මිනිසුන්ට ජීවිතේ වරදින්න පුළුවන්. මේ ලෝකෙ ඉන්න හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු වෙන්නෙ නැහැ.

පේෂලත් එක්ක පූර්ණිකාගේ පුංචි පුතා ආදිත්‍ය එකතුයිද..?

ඔව්.. ආදිත්‍ය හරිම ආදරණීය දරැවෙක්. එයා තාම පොඩියි. දැන් එයාට වසස අවුරැදු හයහමාරයි. පුතාට ආදරය කරන අයට පුතාත් ගොඩක් ආදරය කරනවා. එයා කාවවත් ප්‍රතික්ෂේප කරන දරුවෙක් නෙමේ. පේෂලටත් ආදිත්‍ය හරි ආදරෙයි. පේෂලත් ආදිත්‍යට හරිම ආදරෙයි. ඒ දෙන්නා අතරේ හොඳ බැඳීමක් තියෙනවා. ඒකත් මේ තීරණය මේ විදිහට ගන්න හේතුවක් වෙන්න ඇති. මම කවදාවත් පුතාට අසාධාරණයක් වෙන විදිහේ තීරණ ගන්නෙ නැහැ. එහෙම අසාධාරණයක් නොවන බව දැනුණු නිසා මම මේ තීරණය ගත්තා.

+++++++++++++++++++++

+

***************************************

රුපියල් කෝටි 152 කට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල (සබීතාපාය) නීති විරෝධී එකක්

(02.02.2020 – 23:00 +0530 – lankadeepa.lk)

රුපියල් කෝටි 152 කට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල නීති විරෝධී එකක්

ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1524.44 ක් වැය කර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත මිලදී ගත් පෞද්ගලික ගොඩ නැගිල්ල නීති විරෝධී ඉදිකිරීමක් බව අනාවරණය වී තිබේ.

එම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු කළ පාර්ශ්වල තීරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා එම නිර්දේශය කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලීපදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් කළ විශේෂ විගණනයකින් පසු සිය වාර්තාව ඉදිරිපත් කරමිනි.

කෘෂිකර්ම අමාත්‍යංශය සතුව බත්තරමුල්ලේ හෙක්ටයාර එකක භූමියක් තිබිය දී එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමකින් තොරව ගොඩනැගිලි කුලිය වශයෙන් මසකට රුපියල් මිලියන 21 බැගින් වර්ෂ පහක් සඳහා රුපියල් මිලියන 1260 ක් ගෙවීමට රජයේ පාර්ශ්ව එකඟ වී තිබුණු බව විගණනයේදී අනාවරණය වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු සෙත්සිරිපායේ පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබිය දී එය ප්‍රමාණවත් නොවන බවට හිටපු අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එසේ ප්‍රමාණවත් නොවීමට පැහැදිලි හා ලිඛිත හේතු ඉදිරිපත් කර නොතිබූ බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි. එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ පටිපාටි අනුගමනය කිරීමකින් තොරව මෙම පෞද්ගලික ගොඩනැගිල්ල තෝරාගෙන තිබුණු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇත.

එලෙස තෝරාගත් පෞද්ගලික ගොඩනැගිල්ල සම්මත උස සහ මහල් සංඛ්‍යාව ඉක්මවා අනුමැතියකින් තොරව ඉදි කිරීම සිදු කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව ද විගණනයේ දී අනාවරණය වී තිබේ. අනුමත මහල් සංඛ්‍යාවට වඩා මහල් තුනක් වැඩියෙන් හා අනුමත උසට වඩා අඩි 33 ක් වැඩියෙන් උසට ඉදි කර තිබූ මෙම ගොඩනැගිල්ල නීත්‍යනුකූල ඉදි කිරීමක් නොවී තිබිය දී කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා තොරාගෙන ඇති බව විගණකාධිපති වාර්තවේ සඳහන්වේ.

ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම්ගත දිනය වූ 2016 අප්‍රේල් 08 වැනි දින සිට 2017 ජුනි මාසය දක්වා කෘෂිකර්ම අමාත්‍යංශය එම ගොඩනැගිල්ලට ගෙන නොයෑම නිසා අදාල කාලයේ රුපියල් මිලියන 315 ක් අනාර්ථිකව වියදම් කර තිබුණු බවත්, මෙම කාල සීමාව සඳහා සේවා ගාස්තු ලෙස වර්ග අඩියකට රුපියල් 60 බැගින් රුපියල් මිලියන 92.7 ක අතිරේක මුදලක් ගෙවා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ තිබුණු ලීබඩු හා උපකරණ ඉහළ වටිනාකමකින් යුතු හා භාවිතයට ගත හැකි මට්ටමේ තිබුණ ද එම උපකරණ වෙනත් රජයේ ආයතනයකට බෙදා දී මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 114.6 ක් වැය කර ලීබඩු උපකරණ අලුතින් මිලදී ගැනීමට කටයුතු කර තිබුණු බව ද මෙම විගණනයේ දී නිරීක්ෂණය වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය කලින් තිබූ ගොඩනැගිල්ලෙන් ගෙන යෑමට හේතුව ලෙස පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම හා අතිරේක කාර්යාලවලට ඉඩ ලබා ගැනීම බව සඳහන් කර තිබුණ ද 2019 දෙසැම්බර් මාසයේ අවසානය දක්වාම අදාළ කටයුතු සඳහා එම ඉඩකඩ භාවිත කර නැති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

මෙම පෞද්ගලික ගොඩනැගිල්ලේ හිමිකරු විසින් ඉදිරිපත් කළ කොන්සේදිවලට එකඟ වී රජයේ ප්‍රසම්පාදන පටිපාටිවලට පටහැනිව, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නියෝග මෙන්ම විගණන විමසුම් මගින් පෙන්වා දී තිබූ කරුණු ද නොසලකමින් ගිවිසුම අත්සන් කර තිබුණු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

– තරිඳු ජයවර්ධන

***************************************

එල්ටීටීඊ සංවිධානය භාවිතා කළ ලිපි කිහිපයක් සමඟ අයෙක් අත්අඩංගුවට

(02.02.2020 – 18:04 +0530 – lankadeepa.lk)

යුද හමුදා බුද්ධි අංශ භාවිතා කරන ව්‍යාජ රබර් මුද්‍රා , එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිතා කළ ලිපි ශීර්ෂ සහිත ලිපි ද්‍රව්‍ය සහ හැඳුණුම්පත් කිහිපයක් සමඟ පුද්ගලයකු අද (02) කිලිනොච්චිය විවේකාන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකරු කිලිනොච්චිය විවේකානන්ද ප්‍රදේශයේ පදිංචි සෙල්ලතුරෙයි මෝහන් විජින්ගරන් නැමති 37 හැවිරිදි පුද්ගලයකි.

ආරක්ෂක අංශ භාවිතා කරන ව්‍යාජ රබර් මුද්‍රා සහ ලිපිලේඛන සකස් කරන පුද්ගලයකු සම්බන්ධයෙන් කිලිනොච්චිය යුද හමුදාව වෙත ලැබුණ තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරුගේ නිවසෙහි සඟවා තිබූ මෙම උපකරණ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

වවුනියාව යුද හමුදා බුද්ධි අංශය නමින් ව්‍යාජ රබර් මුද්‍රවක් , මානව හිමිකම් කාර්යාලයේ ව්‍යාජ රබර් මුද්‍රාවක් , වවුනියාව හා කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රබර් මුද්‍රා සහ කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා භාවිතා කරන ව්‍යාජ රබර් මුද්‍රාවක්ද සැකකරු සතුව තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.

එල්.ටී.ටී.ඊ සංවිධානය දැක්වෙන හා ඊළාම් සිතියම සහිත සකස්කළ හැඳුණුම්පත් හා එම සංවිධානයේ ලිපිලේඛන තොගයක් ඇතුළු ‘පෙන් ඩ්‍රයිව්’ (මතකය ගබඩා කළ හැකි උපකරණ) කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගෙන තිබේ.

පොලිසිය පැවසූයේ සැකකරු මෙම ලිපි ලේඛන සහ රබර් මුද්‍රා භාවිතා කරමින් කිසියම් අපරාධයක් සිදුකිරීමට සූදානම්වූයේද යන්න මෙතෙක් අනාවරණය නොවූ අතර මෙම මුද්‍රා භාවිතා කර විවිධ ව්‍යාජ ලිපි සකස් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්ය.

සැකකරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට නියමිත අතර කිලිනොච්චිය පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරති.

***************************************

දියතලාව යුධ හමුදා පුහුණු මද්‍යස්ථානයේ සිට – කසුන් වික්‍රමගේ (01.02.2020)

***************************************

අපේ සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලන්න සිරිසේන එන්න එපා.. ආප්ප කෑ ඉතිහාසය මුල සිට මතක් කරමින් ප‍්‍රසන්න රණතුංග කියයි..

(03.02.2020 – 16:40 +0530 – lankacnews.com)

ඉදිරි මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ කැමැත්තක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මෛත්‍රී-රනිල් හවුල මේ රට විනාශ කළ බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ‘රට විනාශ කළ පුද්ගලයින් සමග එක් ව ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්න’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නායකයන්ගේ ඉල්ලා සිටින බව ද කීවේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමනායකයෙකු ලෙස පිළිගැනීමට පොදුජන පෙරමුණ සුදානම් නොමැති බවත් තම පක්ෂයේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා අද (03) උඩුගම්පල ඒ මහතාගේ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා :

“මම දැක්කා මොකක්ද මේ පොදු පෙරමුණ ද මොකක්ද කියලා පක්ෂයක විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒ සන්ධානයේ 51% ක් අපේ පක්ෂයටත් දෙන බවත් සෙසු පක්ෂ අතරේ ඉතිරි කොටස බෙදෙන බවත් කියලා තිබුණා. මොන මොන සන්ධාන කවුරු කොහොම ගැහුවත් අපි ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන් පමණයි. පොහොට්ටුව හැර අපට වෙන විකල්ප නෑ. අනික කියලා තිබුණා ඒ සන්ධානයේ සම නායකයා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් බව. අපිට සමනායකයන් නෑ. සමනායකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිගන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආප්ප කාලා පැනලා ගිහින් අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. 2015 ජනාධිපතිවරණයෙන් දිනලා රනිල් එක්ක ජාතික ආණ්ඩුව කියලා අටමගලක් අටවාගෙන මේ රට විනාශ කළා. අපි එක්ක ශ්‍රිලනිපයේ හිටපු අයත් ඒකට ගිහින් තනතුරු වරප්‍රසාද ගත්තා. පසුගිය වසර 05 යහපාලන ආණ්ඩුව මේ රට කෑවා. ඒකට මෛත්‍රී – රනිල් හවුල් යහපාලන ආණ්ඩුවේ හිටපු හැමෝම වග කියන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් මිදෙන්න බෑ.

මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව තමයි මහ බැංකු හොරකම කළේ. පාස්කු ප්‍රහාරයටත් සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු එකට, රණවිරුවෝ හිරේ දාපු එකට, ස්වාමීන් වහන්සේලා හිරේ දාපු එකට වග කියන්න ඕනේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. එහෙව් කත් ඇදපු අය එක්ක අපි කොහොමද එකතු වෙන්නේ.

පසුගිය ආණ්ඩුව ගැන මිනිසුන්ට තියෙන්නේ ලොකු කළකිරීමක්. ඒ ආණ්ඩුවට සහය දුන් අය එකතු කර ගත්තොත් අපේ පාක්ෂිකයෝ අපි පිළිබදවත් කළ කිරීමක් ඇති කර ගනී. අනික අපි හදන ආණ්ඩුවකට මේ අය එකතු වීම අපේ ජනතාවාදී වැඩපිළිවෙල අනතුරේ හෙළිමක් වෙන්න පුලුවන් කියන එකයි අපේ පාක්ෂිකයන්ගේ මතය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට එකතු කර ගැනීම ගැන පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්තක් නෑ. අපේ පක්ෂ නායකයන් මේ තත්ත්වය හොදින් වටහාගෙන කිසියම් තීරණයක් ගනිවි.

දැන් තව මතයක් යනවා විද්වතුන් දේශපාලනයට පැමිණීම ගැන. අපි ඒකට එකඟයි. හැබැයි මේ සමහර විද්වතුන් පසුගිය රනිල්–මෛත්‍රී හවුලට කඩේ ගිය උදවිය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ දී අපිට එකතු වුණ අය. එහෙම අය පාර්ලිමේන්තුවට යැව්වොත් අපි හදන්න හදන ජනතාවාදී ආණ්ඩුව ඒ අය තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව ඉතා පරිස්සමින් තීන්දු තීරණ ගතයුතු යැයි කියන එකයි මගේ අදහස. මහින්ද–ගෝඨාභය සුසංයෝගය තමයි මේ රට ගොඩ ගත්තේ. දැන් ඒ සුසංයෝගය නැවත් රට තුළ ස්ථාපිත කරන්න අපිට ඉදිරි මහ මැතිවරණයේ දී අවස්ථාව ලැබෙනවා. එතනදී අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මහින්ද මහතා සමග වැඩ කළ හැකි, ඔහුව රකින පිරිසකුයි.

එක්සත් ජාතික පක්ෂය අද යන එන මං නැති පක්ෂයක්. රනිල්ව නායකත්වයෙන් අයින් කර ගන්න බැරි සජිත් කොහොමද ජනතාවට නායකත්වය දෙන්නේ. සජිත්ගේ පිළ කිව්වා හොදින් හරි නරකින් හරි රනිල් එලවනවා කියලා. වැඩේ කරගන්න බැරිවුණාම සජිත් පිළ කියනවා පෙරළුණ පිට හොදයි කියලා. සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මහ මැකිවරණයෙන් පස්සේ විපක්ෂ නායකකමත් අහිමිවෙනවා. ඒක ස්ථිරයි.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ වැඩ පිළිවෙල පිළිබද ව ජනතාව බලාපොරොත්තු තබාගෙනයි ඉන්නේ. පසුගිය මාස 02 තුළ අපි අලුත් රටක් නිර්මාණය කිරීමේ මුල් පියවර තැබුවා. ඉදිරි මහ මැකිවරණයෙන් පසු අපි ඒ අලුත් රට නිර්මාණය කිරීමේ කටයුත්ත වේගවත් කරනවා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීය සම්පත්, නගර සභාවේ සභාපති නීල් ජයසේකර, උප සභාපති අතුල කුමාර සේනානායක යන මහත්වරු මෙහි දී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

***************************************

අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වීමට ඉඩක් නෑ – ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා

(04.02.2020 – 10:30 +0530 – sinhala.adaderana.lk)

ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුර අදහස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය :

“ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙමිනුයි.

මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලු සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.

ශ‍්‍රී ලංකාව තුල ජීවත්වන සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිටම තහවුරු කරනවා. ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිටම ගරු කරනවා.

තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන්ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතිය තිබෙනවා. ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක‍්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධවීමේ අයිතිය අපි හැමවිටම ආරක්ෂා කරනවා.

මේ සියල්ලම කිසිවෙකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළයුතු ක්ෂේත‍්‍ර ගණනාවක් තිබෙනවා.

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි.

සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගතයුතු අතර, පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අප මතක තබා ගත යුතුයි. රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයත් මෙහිදී සුවිශේෂී වෙනවා.

නිදහසින් පසු මේ ජනරජය තුළ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කර ගනු ලැබුවේ සර්වජන ඡන්ද බලයෙන්. එසේ මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනුන වත්මන් රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සියලුදෙනාගේම නායකයා ලෙස, රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නිසි ක‍්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලු ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුල ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ.

එක් ජනකොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවයි.

ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක යහපැවැත්ම හා ප‍්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා.

රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප‍්‍රධාන ආයතනය ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතු වෙනවා.

ඒ නිසා සියලු පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුභසිද්ධියට මෙන්ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි.

මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක‍්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි. එය ක‍්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව, එය වර්ධනය කර අර්ථවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරනවා.

කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා.

මේ හරහා විවිධ අක‍්‍රමිකතා දූෂණ වලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි.

මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි යළි විමසා බැලිය යුතුයි.

වැරදි කරනා සුළුපිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරනවා විනා, බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අප නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.

ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.

ලංකාව පැරණි ඉතිහාසයක් තිබෙන රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ, සියලු ආගමිකයන්ට, සියලු ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුලදීද, ඕනෑම අයෙකුට තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරනවා.

බෞද්ධ දර්ශනය තුළ අපේ රාජ්‍ය පාලකයන්ට හැමවිටම උපදෙස් ලැබුනේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත‍්‍රයක් සඳහායි. මගේ ධුර කාලය තුළත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා.

ජනතාවට සැබෑ නිදහස ලබා දිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමෙනුයි. ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමි විය යුතුයි.

අදත් අපේ ජන සමාජය තුළ විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප‍්‍රදේශවල ඇති පහසුකම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල නැහැ. අධ්‍යාපන පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ.

සෞඛ්‍ය පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ. රැකියා අවස්ථා සෑම ප‍්‍රදේශයකටම ව්‍යාප්ත වී නැහැ. මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතු මත බල පවත්නා තත්ත්වයන් නොවේ. ඒවා රටේ පොදු ප‍්‍රශ්නයි. ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේදී අපි මුලින්ම කළයුත්තේ ජනතාවගේ ආර්ථික ගැටළු විසඳා දීමයි. අපි ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප‍්‍රමුඛතාවක් ලෙස සලකන්නේ ඒ නිසායි.

තිස් වසරක යුද්ධය මෙන්ම තවත් විවිධ හේතු නිසා අපේ රටේ සංවර්ධන කටයුතු බෙහෙවින් ප‍්‍රමාද වී තිබෙනවා. අපට තවදුරටත් කාලය අපතේ හරින්නට බැහැ. අපේ රටේ සුවිශේෂී භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත නිසියාකාරව ප‍්‍රයෝජනයට ගනිමින් ලෝක ආර්ථිකයේ නව ප‍්‍රවණතා හා අනුගතව අපේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නට අපි ක‍්‍රියා කරනවා.

කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක්. ජනතාවට නිදහසේ උපරිම ප‍්‍රයෝජන ලබාදීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක‍්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම බාර ගත යුතුයි.

ත‍්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතන ජනතාවට නිදහසක් නැහැ.

ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ත‍්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක‍්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නෑ.

රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලු සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී තිබෙනවා.

සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිටම සූදානම්.

මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.

සමාජ මාධ්‍යයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප‍්‍රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා.

ඔබේ හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. හැමවිටම රට ගැන හිතන්න. අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න.

දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිටම එය නොබියව පෙන්වා දෙන්න.

අපි නීතියේ ආධිපත්‍යයට හැමවිටම ගරු කළ යුතුයි. ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වන විටයි. නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවර ගෙන තිබෙනවා.

අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප‍්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණ දිය හැකි ක‍්‍රියාදාමයක්. ඒ තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි.

අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඵෙතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.”

+++++++++++++++++++++

▸72 වන ජාතික නිදහස් දින සැමරුම, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සජීවීව▸LIVE: 72nd Independence Day celebrations at Independence Square, Colombo

Posted by Ada Derana LIVE on Monday, February 3, 2020

+++++++++++++++++++++

අභිමානවත් 72 වන ජාතික නිදහස් දිනය – සජීවී විකාශය

Posted by Hiru News on Monday, February 3, 2020

+++++++++++++++++++++++++++++++++++

සිරකරුවන් 679 දෙනකුට ජනපති පොදු සමාව

(04.02.2020 – 12:00 +0530 – sinhala.adaderana.lk)

අදට යෙදෙන 72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 679 කට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දී තිබේ.

කෙසේවෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මිනිමැරුම්, ස්තී‍්‍ර දූෂණ, ළමා අපචාර මෙන්ම ප‍්‍රබල ගණයේ අපරාධ සදහා සිරගත කිසිදු පුද්ගලයෙකුට මෙමගින් නිදහස හිමි නොවන බවයි.

මෙලෙස නිදහස ලබා ගත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඊයේ යොමු කර තිබේ.

ඒ අනුව එම ලේඛණය ජනාධිපති කාර්යාලය වෙත යොමු කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නාමලේඛණයට අනුමැතිය ලබාදුන් පසුව අද දිනයේ මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.

සොරකම්, විශ්වාසය කඩ කිරීම් සහ බීමත්ව රිය පැදවීම් වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විදින පුද්ගලයින්ට මේ යටතේ පොදු සමාව හිමි වන අතර මිනිමැරුම්, ස්තී‍්‍ර දූෂණ, ළමා අපචාර මෙන්ම ප‍්‍රබල ගණයේ අපරාධ සදහා සිරගත කිසිදු පුද්ගලයෙකුට මෙමගින් නිදහස හිමි වන්නේ නොමැත.

මෙම වසරේ ජනවාරී 31 වනදා වන විට බන්ධානාගාරය තුළ රැදී සිටින සිරකරුවන්ට මෙලෙස සමාව හිමිවෙයි.

අදාළ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම අදාළ බන්ධනාගාර මට්ටමින් අද සිදු කෙරුණි.

***************************************

ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු වෙත දැනුම් දීමට තිබූ කාලය පෙබරවාරි 10 දක්වා දීර්ඝ කෙරේ

(30.02.2020 – biz.adaderana.lk)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා හඳුන්වා දී ඇති ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සිය බැංකු වෙත දැනුම් දීමට තිබූ කාලය 2020 පෙබරවාරි 10 දින දක්වා දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (30) දින පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ බව දැනුම් දුන්නේය.

“බැංකු පද්ධතියේ සම්පූර්ණ ණයදීම් ප්‍රමාණය රු. ට්‍රිලියන 8 ක් පමණ වෙනවා. මෙයින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ යොමුව උපරිම වශයෙන් සියයට 10-12 ත් අතර ප්‍රමාණයක්. අපගේ අතීත අත්දැකීම් අනුව මෙයින් 1/3 ක් පමණයි ඉල්ලීම් කරනු ඇත්තේ. එම නිසා මෙම අංශයේ විශාල යොමුවක් අපි දකින්නේ නැහැ.”

මෙම ණය සහන පැකේජයට අනුව අක්‍රිය මට්ටමේ පවතින ණය වෙනුවෙන් බැංකු විසින් නීතිමය පියවර ගැනීම වහාම අත්හිටුවා ඇති අතර ඔවුන් වෙත පනවා තිබූ දඩ පොලිය ද අහෝසි කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු වාණිජ බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම ණය සහන පැකේජයට ඇතුළත් වීම සඳහා රුපියල් මිලියන 300 දක්වා ණය ලබා ගෙන ඇති සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සුදුසුකම් ලබන අතර රජය විසින් දැනුම් දී ඇති පරිදි අදාළ ණය ලබා ගත් ව්‍යවසායකයන් 2020 පෙබරවාරි 10 දිනට පෙර මෙම සහන පැකේජයට හිමිකම් ලබා ගැනීම සඳහා තමන් ණය මුදල ලබා ගත් අදාළ බැංකු ශාඛාව වෙත ලිඛිතව දැනුම් දීම අනිවාර්ය වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *