උතුරේ අධ්‍යාපන ඇමති ජාතික කොඩිය උස්සන්න බෑ කියයි

(16.11.2017 – 16:13 +0530 – sinhala.adaderana.lk)

වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කර තිබේ.‍

වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී ඊයේ (15) පැවැත් වී තිබේ.

මෙම උත්සවයේ සංවිධාන කටයුතු අදාල විදුහල විසින් සිදුකර ඇති අතර ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා වෙත ආරාධනාකොට තිබුණි.

ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේශ්වරන් මහතා, වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු ආරාධිත අමුත්තන් ඊයේ පාසලට පැමිණි අතර තූර්යය වාදක කණ්ඩායම් විසින් පිරිස උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

අනතුරුව ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව පැමිණ ඇති අතර එහිදී ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කීප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරු ආරාධනා කළ අතර ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කිරීමෙන් අපහසුතාවටපත් සංවිධායකවරුන් පිරිස සාකච්ඡා කොට එම අවස්ථාවට පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික කොඩිය එසවීමට කටයුතු කරනු ලැබීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කර තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *