ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ නියෝමාලි විජේනායක රිමාන්ඩ්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ නියෝමාලි විජේනායක රිමාන්ඩ් (විඩියෝ)

• ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ රිමාන්ඩ් (විඩියෝ)

• රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී සිදුවන වංචාවක් ගැන සිංහලේ සංවිධානයෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ ඇසට හසුවූ හබරණ හුරුළු පරිසර උද්‍යානයේ මුදල් වංචාව (විඩියෝ)

• මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට සභාපති නිසි අවධානය නොදීමෙන් මහරගම නගර සභා රැස්වීම උණුසුම් (විඩියෝ)

• උපාධි ලබාගන්නා විෂයන් රැකියා සදහා ගැළපෙන පරිදි වෙනස්කර ගතයුතු බව ජනපති කියයි (විඩියෝ)

• බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා එල්ලවූ ෆාමේස් සමාගම අසාදු ලේඛන ගත කෙරේ (විඩියෝ)

• සැහැල්ලු වාහන බලපත්‍ර ලබාගැනීමට අදාළ වෛද්‍ය පරීක්ෂණ කිරීමට රෝහල් 150 ක් (විඩියෝ)

• තඹලගමුවේ කන්ටේනරයකින් හමුවූ පිලිස්සුණු මළ සිරුර ඝාතනයක් – හිටපු කොටි සාමාජිකයෙකු අත්අඩංගුවට

• පාර්ශව කිහිපයක විරෝධතා නිසා අදත් ගාලුමුවදොර අවහිරයි (විඩියෝ)

• පොදුජන පෙරමුණ මිත්‍ර සන්ධානයක් ඉල්ලයි (විඩියෝ)

• කොරෝනා උවදුර හමුවේ නොබිඳුණු විශ්වාසයට චීනයෙන් ශ්‍රී ලංකාවට තුති – රට පුරා ආශිර්වාද පූජාවලටත් චීන ජාතිකයන් එක්වෙයි (විඩියෝ)

• කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට අනතුර ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා මරුට

• රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ඇරඹෙයි

• කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 16 ක් තවමත් රෝහලේ (විඩියෝ)

• පොලිස් සැරයන්වරයාගේ ඝාතනයට දෙදෙනෙකු පොලිස් භාරයට

• පසුගිය ආණ්ඩුවේ රැකියා දස ලක්ෂය අසාර්ථකයි – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු (විඩියෝ)

• බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට සහන කාලයක්

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ නියෝමාලි විජේනායක රිමාන්ඩ්

(06.02.2020 – 16:38 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය පෙබරවාරි මස 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

ඒ ඔවුන් දෙදෙනා අද (06) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2013 වසරේදී ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී ‘එයාර්බස්’ සමාගම සහ ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගියදා විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකදී කරුණු අනාවරණ විය.

එම ලිපිලේඛන අනුව වාර්තා වී තිබුණේ එයාර් බස් සමාගම විසින් මෙම ගුවන් යානා අලෙවි කිරීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට අල්ලසක් ලබාදී ඇති බවයි.

එම තොරතුරුවලට අනුව මෙම ගුවන් යානා ගනුදෙනුව සිදුකිරීමට පෙර එයාර්බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලස් මුදලක් කපිල චන්ද්‍රෙස්න මහතාගේ බිරිඳට ලබාදීමට සාකච්ඡා කර ඇති අතර ඒ සඳහාම බෘනායි හී පිහිටුවූ සමාගමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් බැර කර තිබෙන බවද හෙළි වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ඒ අනුවයි.

කෙසේවෙතත් මෙම විමර්ශනයට අදාළව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් ලේඛනයේ දැක්වුණේ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන නියෝමාලි විජේනායක නැමැත්තිය විසින් තනි අධ්‍යක්ෂ ධුරයක් දරන සිංගප්පුරූවේ ‘බිස් සොලූෂන්ස්’ නම් සමාගමකට 2013.12.27 වන දින එයාර් බස් සමාගමේ මව් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් බැර කර ඇති බවයි.

පසුව එම ගිණුමෙන් අවස්ථා 04 කදී එම මුදල් ප්‍රමාණය කපිල චන්ද්‍රෙස්න සතු ඔස්ට්‍රේලියාවේ ‘කොමන්වෙල්ත් බැංකුවේ’ ගිණුමකට බැර කර සිංගප්පූරු ගිණුම 2015.11.25 වනදා වසා දමා ඇති බවද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් ලේඛනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තා සලකා බලා නීතිපති උපදෙස් අනුව කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් සඳුදා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේය.

එහෙත් දින තුනක් ගතවනතෙක් කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි නොවූ අතර ඔවුන් දෙදෙනා අද උදෑසන 10 ට පමණ පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් විය.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ගෙන් පැය 05 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් පස්වරු 3.00 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනුණද ඔවුන් කිසිදු ගිණුම් තොරතුරක් විමර්ශන නිලධාරීන්ට ලබාදී නොමැති බවයි.

එබැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත් එයාර්බස් සමාගම සමඟ ගනුදෙනුවට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් සිංගප්පූරු ගිණුමකට බැර වී ඇති බව මේවනවිට අනාවරණ වී ඇති අතර පසුව එම මුදල ශ්‍රී ලංකාවේ ගිණුමකට සහ රටින් බැහැර තවත් ගිණුමකට බැර වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම මුදල් බැරවූ මෙරට ගිණුම්වල හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගතයුතුව ඇති බැවින් මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම සැකකරුවන් දෙදෙනා අමෙරිකානු ඩොලර් මිලියන 02 ලැබුණු ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු පවසා ඇති බවද ඔහු පෙන්වා දුන්නේ.

එහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කළේ ඉදිරිපත් වී ඇති කරුණු වලට අනුව මෙම වරද මුදල් විශුද්ධිකරණයට මෙන්ම අල්ලස් පනත යටතටද අයත් වන බව පෙනී යන බවයි.

කෙසේවෙතත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා එම අවස්ථාවේදී සඳහන් කළේ තම සේවාදායකයින් පසුගිය සැප්තැම්බර් මාසයේ සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් වූ හෙයින් ඔවුන් අධිකරණය මඟහැර කටයුතු කරනු ඇතැයි අනුමාන කිරීම අසාධාරණ වන බවයි.

එබැවින් මෙම අවස්ථාවේදී තම සේවාදායකයින් ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, සැකකරුවන්ට ඇප ලබාදුනහොත් විමර්ශනවලට බාධා විය හැකි නිසා ඔවුන් දෙපළ පෙබරවාරි 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

+++++++++++++++++++++

ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ රිමාන්ඩ්

(06.02.2020 – 16:49 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද (06) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වරෙන්තු නිකුත් කළේ පසුගිය සඳුදායි.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ ප්‍රකාශ ලබා ගැනීමේදී අදාළ සැකකාරිය, සිංගප්පූරුවේ ආරම්භ කර ඇති ප්‍රශ්න ගත ගණුදෙනුවේ මුදල් බැර වූ ගිණුම පිළිබඳව කිසිදු අවබෝධයක් හෝ සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළ බවයි.

එසේ ප්‍රකාශ කළ ද එම මුදලින් යම් කොටසක් ශ්‍රී ලංකාවේ එක් අයෙකුට හෝ දෙදෙනෙකුගේ ගිණුමකට ප්‍රේෂණය කර ඇති බවට අනාවරණ වී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ගිවිසුමට අනුව ගුවන් යානා මිලදී නොගැනීම නිසා මෙරට ගිණුමට බැර කළ මුදල මෙන්ම, වාරික වශයෙන් පොලියක් ද ප්‍රංශ සමාගමට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වමින් කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතිශය සංකීර්ණ බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම පරීක්ෂණවලට බාධාවක් විය හැකි බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරුවන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයේ ‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත’ වාර්තා කර තිබූ බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.

ගුවන් යානා 14 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලෙවි කරගැනීමේ අරමුණින් ගුවන් යානා පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරියෙකුගේ බිරිඳට අල්ලස් ලබාදීමට එකඟ කරවාගෙන ඇති බව එම වාර්තාවල දැක්වුනා.

ඒ අනුවයි පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට නියෝග කළේ.

එසේම, මෙම ගනුදෙනුවට අදාළව විමර්ශන වාර්තා පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කරන ලෙසටද නීතිපති දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබුණා.

***************************************

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී සිදුවන වංචාවක් ගැන සිංහලේ සංවිධානයෙන් හෙළිදරව්වක්

(06.02.2020 – 22:52 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සියලු කොමසාරිස්වරුන්ගේ අනුදැනුම මත මහ පරිමාණ වංචාවක් සිදුවන බවට ‘සිංහලේ සංවිධානය’ චෝදනා කරනවා.

අද (06) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡවකදී එහි නියෝජිතයින් එම වංචාව සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ ඇසට හසුවූ හබරණ හුරුළු පරිසර උද්‍යානයේ මුදල් වංචාව

(06.02.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

හබරණ හුරුළු පරිසර උද්‍යානය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දිනපතා සෆාරි ජීප් රථවලින් පැමිණෙනනවා.

එම ජීප් රථ උද්‍යානයට ඇතුළුවීමේදී රජය මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රය ලබානොදී මෙහි ස්වෙච්ඡා සේවකයන් සිදුකරන විශාල මුදල් වංචාවක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.

***************************************

මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට සභාපති නිසි අවධානය නොදීමෙන් මහරගම නගර සභා රැස්වීම උණුසුම්

(06.02.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අතරතුර අද (06) තත්ත්වයක් හට ගත්තා.

ඒ, සභාවේ මන්ත්‍රීවරුන් අදහස් පළ කරන අතරතුර සභාපතිවරයා ඊට නිසි අවධානය නොදීම හේතුවෙන්.

මහරගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද (06) නගර සභා ශ්‍රවණාගාරයේදීයි.

සභාපති ටිරාජ් ලක්රුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සභාවාරයේදී මන්ත්‍රීවරුන් යෝජනා අදහස් ඉදිරිපත් කරන අවවස්ථාවේ සභාපතිවරයා ඊට සවන් නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සමන් සේනාධීර මහතා කිහිප වරක් දැනුම් දුන්නා.

පසුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සමන් සේනාධීර මන්ත්‍රීවරයාට සහය දක්වමින් සභාපතිවරයාට එරෙහිව අදහස් පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

උපාධි ලබාගන්නා විෂයන් රැකියා සදහා ගැළපෙන පරිදි වෙනස්කර ගතයුතු බව ජනපති කියයි

(06.02.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

උපාධිධාරීන්ගේ රැකියා ගැටලු විසදීමට ඉදිරියේදී ඔවුන්ගේ උපාධිය ලබාගන්නා විෂයන් ද රැකියා සදහා ගැළපෙන පරිදි වෙනස්කර ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ වැවිලි සහ මූල්‍ය ආයතන රැසක නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

ජනාධිපතිවරයා, වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අද (06) හමුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි.

***************************************

බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා එල්ලවූ ෆාමේස් සමාගම අසාදු ලේඛන ගත කෙරේ

(06.02.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා එල්ලවූ ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තා.

අද (06) කොලඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

සැහැල්ලු වාහන බලපත්‍ර ලබාගැනීමට අදාළ වෛද්‍ය පරීක්ෂණ කිරීමට රෝහල් 150 ක්

(06.02.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

සැහැල්ලු වාහන බලපත්‍ර ලබා ගැනීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහා රෝහල් 150 ක පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (06) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මාධ්‍ය හමුවේදී මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

+++++++++++++++++++++

***************************************

තඹලගමුවේ කන්ටේනරයකින් හමුවූ පිලිස්සුණු මළ සිරුර ඝාතනයක් – හිටපු කොටි සාමාජිකයෙකු අත්අඩංගුවට

(06.02.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – තඹලගමුව – පාලම්පටාර් පාලම අසල කන්ටේනර් රථයක තිබී පසුගියදා පිලිස්සුණු පුද්ගල මළ සිරුරක් සොයා ගත් සිද්ධිය ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා.

ඒ එහි රියදුරා ඉන්දියාවට පලා යාමට මන්නාරම ප්‍රදේශයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදීයි.

මොහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු බවට ද, මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ගිනිගත් මෙම කන්ටේනර් රථය පසුගිය පළවනදා පොලීසිය විසින් සොයා ගනු ලැබුවේ ත්‍රිකුණාමලය – කන්තලේ අතර පිහිටි පාලම් පටාර් පාලම අසල නවතා තිබියදීයි.

සිදුකළ පරීක්ෂාවේදී රියරුදු අසුනට පිටුපස තිබී පිලිස්සුණු පුද්ගල මළ සිරුර සොයා ගත් අතර, එය රථයේ රියදුරාගේ බවටයි පොලීසිය පළමුව සැක කළේ.

එහෙත්, කන්ටේනර් රථය කින්නියා ප්‍රදේශයේ සිට වී රැගෙන මැදිරිගිරිය ප්‍රදේශයේ ලී මෝලක් වෙත ගොස් ඇති බවත්, රියදුරාට අමතරව, තවත් පුද්ගලයෙකු ලොරි රථයට ගොඩවන අයුරුත්, සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී පොලීසිය හඳුනා ගනු ලැබුවා.

උප්පුවේලි – මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු තඹලගමුව පොලීසියට පැමිණිලි කර තිබුණේ ඒ අතරතුරයි.

පරීක්ෂණවලදී කන්ටේනර් රථයේ පැමිණි අනෙක් පුද්ගලයා අතුරුදන්වූ පුද්ගලයාම බවට අනාවරණ වූයේ පැමිණිලිකරු විසින් රථයේ තිබී සොයා ගත් කමිසය අදාළ පුද්ගලයාගේ බවට හඳුනා ගැනීම හේතුවෙන්.

ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකළ පොලීසිය දුරකථන දත්ත මාර්ගයෙන් මන්නාරම් ප්‍රදේශයට පලාගොස් සිටි එහි රියදුරා වශයෙන් කටයුතු කළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගත්තා.

සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ අදාළ වී තොගය මැදිරිගිරියේ මෝලට ගොඩ බා නැවත පැමිණීමේදී ඔහුගේ නිවසේ අසල්වැසියෙකු වූ මියගිය පුද්ගලයා සමග තමන් වැවක ස්නානය කළ බවයි.

පසුව, ඔවුන් බීර බෝතලයක් සහ මත්පැන් බෝතලයක් මිලදී ගෙන පැමිණෙන අතරතුර පානය කළ බවත්, මියගිය පුද්ගලයා රියදුරු අසුනට පසුපස නින්දට ගිය පසු ලොරි රථය මාර්ගය අසල නවතා ඊට ගිනි තැබූ බවත් සැකකාර රියදුරා පොලීසියට පවසා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මෙම රියදුරු කිලිනොච්චිය ප්‍රදේශයේදී සිය මිතුරෙකු සමග එක්ව ඇගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවෙකු බවයි.

තමා මියගිය බව අඟවා බිරිඳ ලවා මරණ සහතිකය ඉදිරිපත් කර කාන්තා ඝාතන සිද්ධියට අදාළ නඩුවෙන් නිදහස් වීමට ඔහු මෙම පුද්ගල ඝාතනය සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා ෴

***************************************

පාර්ශව කිහිපයක විරෝධතා නිසා අදත් ගාලුමුවදොර අවහිරයි

(06.02.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පාර්ශවයන් කිහිපයක් විසින් අධිකරණ නියෝග ද කඩ කරමින් ගාලුමුවදොර මාර්ගය අවහිර කරමින් අදත් (06) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරත වුණා.

කෙසේ වෙතත්, ඔවුන් මෙලෙස උද්ඝෝෂණවල නිරත වූයේ ඒ සඳහා වෙනම ස්ථානයක් වෙන් කර තිබෙන අවස්ථාවකයි.

විවිධ ඉල්ලීම් මුල් කර ගනිමින් සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුව, රජයේ විශ්‍රාමික එකමුතුව, රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය, සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් එක්වයි මෙම විරෝධතා ක්‍රියාත්මක කළේ.

මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගය අවහිර වූ අතර, ගාලු මුවදොර මාර්ගය වසා දැමීමට ද පොලීසිය පියවර ගත්තා.

කෙසේ වෙතත්, පසුව කැරලි මර්දන ඒකකයේ නිලධාරින් පැමිණ ඔවුන් උද්ඝෝෂණයට කිරීම සඳහා වෙන් කළ ස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

පොදුජන පෙරමුණ මිත්‍ර සන්ධානයක් ඉල්ලයි

(06.02.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, ගොඩනැගිය යුත්තේ කොන්දේසිවලට යට නොවූ මිත්‍ර සන්ධානයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

***************************************

කොරෝනා උවදුර හමුවේ නොබිඳුණු විශ්වාසයට චීනයෙන් ශ්‍රී ලංකාවට තුති – රට පුරා ආශිර්වාද පූජාවලටත් චීන ජාතිකයන් එක්වෙයි

(06.02.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

මාරාන්තික වෛරසයක් පැතිර ගිය ද, චීනය සමග අඛන්ඩව මිත්‍රශීලි රටක් ලෙස කටයුතු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ පැසසුමට ලක්වුණා.

ඊයේ (05) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මුණ ගැසුණු අවස්ථාවේ ඔහු ඒ වෙනුවෙන් චීන රජයේ විශේෂ ස්තූතිය පළ කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති චීන ජාතිකයින් ඇතුළු ලොව පුරා විසිරී සිටින පුද්ගලයින්ට සෙත්පතා මේ වනවිට රටපුරා විහාරස්ථානවල විවිධ පුන්‍ය කටයුතු ආරම්භ කර තිබීම ද විශේෂත්වයක්.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් ඊයේ (05) පැවැත්වුණේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ද ඊයේ (05) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් පැවැත්වුණා.

ඊට චීන තානාපති කාර්යාලයේ නිලධාරින් සහ මෙරට සේවයේ නියුතු චීන ජාතිකයින් ද එක්ව සිටියා.

මීට අමතරව, කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ද බෝධි පූජා පිංකමක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට ද, චීන තානාපති කාර්යාලයේ නිලධාරින් එක්ව සිටියා.

ශ්‍රී ලංකා – චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය විසිනුයි එය සංවිධාන කර තිබුණේ.

එමෙන්ම, ශ්‍රී ලංකා මහා පිරිවෙන් විහාරස්ථානයේදී ද සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවති අතර එය සංවිධාන කර තිබුණේ මරදාන පොලීසියේ මැදිහත්වීමෙන්.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 16 දෙනෙකු කොළඹ අයි.ඩී.එච් රෝහල ඇතුළු තවත් රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ අයි.ඩී.එච්.රෝහලේ රෝගීන් තුන්දෙනෙකු, කරාපිටිය රෝහලෙහි දෙදෙනෙකු සහ මහනුවර රෝහලෙහි පුද්ගලයින් 4 දෙනෙකුත් ප්‍රතිකාර ලබන බවයි.

මීට අමතරව, මීගමුව, රාගම, ගම්පහ, සහ බදුල්ල , කුරුණෑගල මෙන්ම, යාපනය රෝහල්වල ද කොරෝනා වෛරසය ආසාදනය වූ බව සැකකරන රෝගීන් ප්‍රතිකාර ලබන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 565 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ රටවල් 28 කින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 28,344 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ගත වූ පැය 24 තුළ චීන ජාතිකයින් 73 දෙනෙකුට එමගින් දිවි අහිමි වී තිබෙනවා.

එසේම, චීනයේ – ෂැංඩොං ඇතුළු ප්‍රදේශ රැසක රෝහල් කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වුණු රොබෝවරුන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයින් නිරීක්ෂණයට යොදා ගෙන ඇතැයි වාර්තා වුණා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට අනතුර ඇඟවීම් කළ චීන වෛද්‍යවරයා මරුට

(07.02.2020 – 06:53 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට අනතුර ඇඟවීම් සිදුකළ චීන ජාතික වෛද්‍යවරයා මියගොස් තිබේ.

එම වෛද්‍යවරයා ද වෛරස් රෝගයට ලක් වී දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගිය දෙසැම්බර් 31 වනදා ඔහු අදාළ අනතුරු ඇඟවීම් සිදුකළ ද වැරදි ප්‍රචාර සිදුනොකරන ලෙසට පොලිසිය ඔහුට දැනුම් දී තිබු බව අදාල ද්‍යෛවරයා රෝහල්ගත සිටියදී අනාවරණය කර තිබුණි.

වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ මියගිය සංඛ්‍යාව 636 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 28,000 කට පමණ වෛසරය වැලඳී ඇති බව වාර්තා වෙයි ෴

***************************************

පෙබරවාරි 20 දක්වා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලුම්පත් භාර ගනියි

(07.02.2020 – 17:54 +0530 – sinhala.adaderana.lk)

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පෙබරවාරි 20 දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදු කරනු ලබයි.

රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය.

අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය.

පදිංචිය සහ 2020-01-01 දිනට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළයුතුය.

අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකකර) 2020-02-20 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය.

අයැදුම් පත්‍රය www.presidentsoffice.gov.lk ජනාධිපති කාර්යාලීය වෙබ් අඩවියෙන් බාගත හැකිය.

මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 243 3261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.

රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

ලිපියේ වම් පස ඉහළ කෙළවර, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන – 2020 ලෙස සඳහන් කර තිබිය යුතුයි.

නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

තෝරා ගනු ලබන අපේක්ෂකයන් අභ්‍යාසලාභීන් ලෙස වසරක පුහුණු කාලයකට යටත් වනු ඇත.

ඔවුහු ග්‍රාමීය හා වතු පාසල්, ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාල, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ගොවි පොළ, ව්‍යාප්ති සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය සුළු අපනයන භෝග කාර්යාල, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන සේවාවන්හි නියුක්ත කෙරෙති.

වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000 ක දිමනාවක් ගෙවනු ලැබේ.

දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05 ක් සේවය කිරීම අනිවාර්ය වේ.

• 21/01/2020 – President’s Circular – PS/SP/Circular/04/2020 – 2020 බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මඟින් අඩු ආදායම්ලාභීන් 100,000 ක් වෙත රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ( pdf file )

***************************************

කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 16 ක් තවමත් රෝහලේ

(06.02.2020 – 16:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 16 දෙනෙකු කොළඹ අයි.ඩී.එච් රෝහල ඇතුළු තවත් රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අයි.ඩී.එච්.රෝහලේ රෝගීන් තුන්දෙනෙකු, කරාපිටිය රෝහලෙහි දෙදෙනෙකු සහ මහනුවර රෝහලෙහි පුද්ගලයින් 4 දෙනෙකුත් ප්‍රතිකාර ලබන බවයි.

මීට අමතරව, මීගමුව, රාගම, ගම්පහ, සහ බදුල්ල , කුරුණෑගල මෙන්ම, යාපනය රෝහල්වල ද කොරෝනා වෛරසය ආසාදනය වූ බව සැකකරන රෝගීන් ප්‍රතිකාර ලබන බවයි ඔහු කියා සිටියේ.

***************************************

පොලිස් සැරයන්වරයාගේ ඝාතනයට දෙදෙනෙකු පොලිස් භාරයට

(06.02.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

වවුනතිව් – මුල්ලාමුණ ප්‍රදේශයේදී වාලච්චේන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) දහවල් මොවුන් මඩකලපුව -පුදූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන අතර, ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් බවට දැනට අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ තුවාල සහිත මළ සිරුර ඔහුට අයත් වව්නතිව් – මුල්ලාමුණ ප්‍රදේශයේ ඉඩමකට යාබද ස්ථානයක තිබියදී සොයා ගනු ලැබුවේ පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුවයි.

මොහු ලබන මාසයේ විශ්‍රාම යාමට ද නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර, මුලතිව් – මාන්කුලම් – පාලෙප්පානි ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔහු කිලිනොච්චිය – උදය නගර් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තුන්දරු පියෙකු බවයි.

කුඹුරක් සම්බන්ධයෙන් හට ගත් ගැටුමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

පසුගිය ආණ්ඩුවේ රැකියා දස ලක්ෂය අසාර්ථකයි – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

(06.02.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ආණ්ඩුවේ රැකියා දස ලක්ෂයේ ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිලිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්තී උදය ගම්මන්පිල මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර වත්මන් ආණ්ඩුව ජනතාවගේ බදු බර අඩු කර, ජනතාවට සහන දෙන ආණ්ඩුවක් බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ අද (06) ප්‍රකාශ කළා.

ඒ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියෝග කිහිපයකට අදාළව පැවති විවාදයට එක්වෙමින්.

මේ, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැක්වූ අදහස්.

මංගල සමරවීර :

“මේ රජය බදු අඩු කිරීම නිසා අහිමි කරගත් රාජ්‍ය ආදායම කොච්චරද කියන එක මේ ගරු සභාවට දැනුම් දෙන්න ඕනි. ඒ වගේම මේ අඩු කරපු බදු නිසා රජයට අහිමි වූ ආදායම නැවත ලබාගැනීමේ සැලැස්ම මොකක්ද ? දැන් ඔක්කොම කියනවා ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් නායකයෙක් කියලා. එහෙනම් දැන් එතුමා ඒක ඔප්පු කරන්න ඕනි. එතුමාගේ කතාව අහලා පෙරේදා මම කිව්වා ඒක හොඳ කතාවක්. සමහරු අහනවා ඇයි මේ හොඳ කිව්වේ කියලා. නෑ….කියපු අදහස් බොහොම හොඳයි. හැබැයි ඉතිං අපි 1948 ඉඳලම ඔය වගේ හොඳ කතා අහගෙන ඉඳලා තියෙනවා. අන්න මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් නායකයෙක් කියන්නේ, බලහත්කාරයෙන් ඒකාධිපතියෙක් වෙලා තීන්දු ගන්න එක නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ එතුමා ශක්තිමත් තීන්දු ගන්න ඕනි, නිවැරදි මාර්ගයේ යන්න ඕනි. අර සහන දෙනවා නම්, මම නම් හැබැයි ඔය තරම් සහන දෙනවාට ඇත්ත කතාව පෞද්ගලිකව මං කැමති නෑ. නමුත් දැනටම පේනවා මාස දෙකහමාරයි, රට අද අවුල් ජාලාවක් වෙලා. හැමදේම නිකම් අර බයිස්කෝප් විදියට කරන්න හදන්න එපා. දැන් අපේ ආණ්ඩුව තියෙනකොට කිව්වා අයියෝ පාරේ බැහැලා යන්න බෑ හැමදාම උද්ඝෝෂණ කියලා. කොන්ද පණ නැති ආණ්ඩුවක් කියලා කිව්වා. උද්ඝෝෂණ නවත්වන්න බැහැයි කියලා කිව්වා. දැන් ඊයේ මං බලන් හිටියා කළු ඇඳගෙන දහස් ගාණක් හිටියා. හැබැයි මං කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීයෙක් හැටියට ඒ අයිතිය පිළිගන්න ඕනි. ඒවා නවත්වන්න බෑ. ටිකක් සීමාවට වඩා වැඩියෙන් ගියොත් ඔන්න වතුර පාරක් දෙකක් ගැහුවට කමක් නෑ. මම නම් හිතන්නේ නෑ කොහේ හරි බෝඞ් එකක් ගහපු පලියට මේ ගොල්ලන් දැන් හැමදාම එතන්ට ගිහිල්ලා ඔය බෝඞ් එක පිටිපස්සේ ඉඳන් උස්සයි කියලා. අපි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන්න ඕනි. මේ ඉන්න පරණ ආමිකාරයෝ දාගෙන මේවා කරන්න බෑ. පරණ ජෙනරල්ලා දාගෙන මේක කරන්න බෑ. වියත් මග කිව්වත්, මං දන් නෑ (සිනහා) ගමේ මනුස්සයාට තියෙනවා ඊට වඩා. පොලොවේ පය ගහපු මිනිහා තමයි දන්නේ. ඔයි වියත් මග ආවයි කියලා ඔය තේරුමක් නෑ. මේ නිකම් ඔය සීනි බෝල වැඩ ඕන් නෑ. ජනාධිපතිතුමත්, මං ඒකත් කියන්න ඕනි. මං හිතන්නේ මේ දක්වා නම් එක පැත්තකින් ජනාධිපතිවරයාට ඡුන්දේ දීපු අයට හිතපු තරම් මේ ආණ්ඩුව හොඳ නෑ. දැන් ඒ ගොල්ලන් වැටිලා ඉන්නේ. මේක දැන් මේ නොනගතය වෙලාවක් වගේ තියෙන්නේ. ඉතිං දැන් මං හිතන්නේ දැන්වත් ගෝඨාභය රාජපක්ෂ ඔය ඉන්න මහා බලවේග…..මං මං ඕක කිව්වොත් අපේ අයත් තරහා වෙයි, හැබැයි ඔතන වට කරගෙන ඉන්න සංඝ බලවේග. ඇත්ත කතා කරමු. බණ්ඩාරණායකව බලයට ගෙනාපු අයම තමයි එතුමාව නැති කරේ.”

මහින්දානන්ද අළුත්ගමගේ මහතා :

“මංගල සමරවීර මහත්තයා කතා කරේ හරියට මේ ආණ්ඩුව ඉවරයි, දැන් මේ හදන්නේ පොඩි චූන් එකක් ගන්නවා මේ ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආපහු මුදල් ඇමති වෙන්න. මංගල සමරවීර මහත්තයා කතා කරනකොට විජයමුණි සොයිසා කට ඇරගෙන බලාගෙන ඉන්නවා, ආපහු වාරිමාර්ග ඇමති වෙන්න බලාගෙන. ආපහු පොඩි සතුටක් එතුමාත් ගන්නවා, මේ කතාව අහගෙන බලාගෙන ඉඳලා. මහත්තයෝ මතක තියාගන්න ඔබතුමාලාගේ ආණ්ඩුව නැති වුණේ එතුමා මුදල් ඇමති වෙච්ච හින්දා. ඔබතුමාලට මතක නෑ. තමුන්නාන්සේලා ඔක්කොම කට ඇරගෙන අත්පුඩි ගහගෙන හිනා වෙනකොට, අගමැතිතුමා කට කොනකින් පැත්තකින් හිනා වුණා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා ඒක හේතුව මොකක්ද කියලා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හිනා වුණේ නෑ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විවේචනය කරන්නේ. මේ බලවේග පිටිපස්සේ ඉන්නේ කවුද ? මේ විදේශ බලවේගවල සල්ලි මේ. මේ එන්.ජී. ඕ. කාක්කෝ. ඔබතුමාලා සොයිසා මහත්තයෝ මේ ආණ්ඩුවක් බලයට පත්වෙලා මාස දෙකයි, තමුන්නාන්සේලා මාස දෙකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම. මංගල සමරවීර ඇමතිතුමා ඔබතුමා කතා කරලා කිව්වේ මේ බදු අඩු කරපු එක පිළිබඳව ඔබතුමා කියන්න ඔබතුමා මුදල් ඇමතිවරයා වෙලා හිටපු කාලේ මට කියන්න මොන ක්ෂේත්‍රයද ඔලුව ඉස්සුවේ කියලා. ඉතිං බලන්න මංගල සමරවීර මහත්තයා කවුදෝ ලියලා දීපු කතාවක් කරලා යනවා. අඩු ගානේ අහගෙන ඉන්නේ නෑ කතාව දිහා. එන්.ජී. ඕ. කාක්කෙක් ලියලා දීපු කතාව කියලා යනවා. ඉතිං අහගෙන ඉන්න පුරුදු වෙන්නකෝ….. සුළු කර්මාන්ත, මධ්‍ය කර්මාන්ත හිමියෝ සියල්ලගෙම ව්‍යාපාර කඩන් වැටුණා, තමුන්නාන්සේලා මේ බදු ගහපු නිසා. කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් ඉවරයි. මහලොකු මුදල් ඇමතිවරයා. මහ ලොකුවට කතා කරන්නේ රජෙක් වගේ. ඔබතුමාලා බදු වැඩි කරා, බදු ගෙව්වේ කවුද ? ඒ නිසා ව්‍යාපාර කඩන් වැටුණා, මේ ඇමතිවරයා ගත්තු තීන්දුව ටි‍්‍රලියන 01 ක් බදු වැඩි කරා. මහ ලොකු මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා රෙදි ඇඳගෙනද නිර්වස්ත්‍රයෙන්ද කතා කරේ කියලා මට තේරෙන් නෑ. මංගල සමරවීර මහත්තයාගේ අඳෝනාව සාධාරණයි, ඇයි ඇමරිකාව බලාගෙන බුදිය ගන්නේ. පිටිපස්සේ ඉන්නේ කවුද ? බටහිර බලවේග. මේ මංගල සමරවීර මහත්තයා ගිහිල්ලා තමයි අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා ගෙනාවේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියන්නේ මිනිස්සු මත බදු ගහලා, රාජ්‍ය දේපල විකුණලා, හොරකම් කරලා ජීවත් වෙන ආණ්ඩුවක්. අපේ ආණ්ඩුව කියන්නේ මිනිස්සුන්ගේ බදු බර අඩු කරලා, මිනිස්සුන්ට සහන දීලා වැඩ කරන ආණ්ඩුවක්. මේක තමයි ආණ්ඩු දෙකේ වෙනස. අද මංගල සමරවීර කතා කරනවා උද්ඝෝෂණ තියන්න තැන් හදලලූ. ඒක වැරදිද ? ඊට ඉස්සෙල්ලා සන්ධානයේ මහ ලේකම් කෙනා දාන්නකෝ…..එක්කෙනෙක් කියනවා මද්දුම බණ්ඩාරලු. අනිත් කෙනා කියනවා නවීන් දිසානායකලු. එක්සත් ජාතික පක්ෂයේ අලියාගෙන් ඉල්ලන්නලු. රනිල් මහත්තයා කියනවා මගේ අලියලු. සජිත් කියනවා මගේ අලියලු. අලියත් නෑ සන්ධානෙත් නෑ. ඉස්සෙල්ලා ආර්ථිකේ ගැන කතා කරන්න කලින් තමුන්නාන්සේලාගේ පක්ෂේ හදාගන්නකෝ. මද්දුමබණ්ඩාර මහත්තයාට මහ ලේකම්කම දුන්නොත් සොයිසා මහත්තයා අපේ පැත්තේ, මුලාසනෙත් අපේ පැත්තේ. ඒක හොඳට මතක තියාගන්න.”

+++++++++++++++++++++

***************************************

බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට සහන කාලයක්

(07.02.2020 – 06:27 +0530 – sinhala.adaderana.lk)

බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීම සඳහා සහන කාල සීමාවක් ලබා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 03 වනදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ලබන 12 වන දින දක්වා සහන කාලසීමාව ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

වැඩබලන පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

බලපත්‍ර නොමැති ගිනි අවි සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයා පදිංචි පොලිස් බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානය වෙත එම ගිනි අවි භාරදිය යුතු බවෙ පොලිස් මූලස්ථානය නිවේදනය කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *