කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන (විඩියෝ)

• මැටි ආහාරයට ගත් දියණියට නව නිවසක් (විඩියෝ)

• ෂාෆිගේ නිවසේ CCTV දර්ශන මකා දමා ඇති බව අධිකරණයට දැනුම් දෙයි

• වසර 18 කට පසු ලැබුණු වාහනය

• වෛරසයේ බෙදුම් රේඛාව

• අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි නුවරට (විඩියෝ)

• රන්ජන්ගේ නිවසින් හමු වු ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවට රජයේ රස පරීක්ෂක කියයි (විඩියෝ)

• ශ්‍රි ලංකන් එයාර් බස් ගනුදෙනු සම්බන්ධ විවාදය පෙබරවාරි 20 වැනිදා කල් තබයි

• ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 3 ක් කෝප් කමිටුවට කැඳවීමේ සූදානමක්

• පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම දැඩි විනයකින් සිදුකල යුතුයි (විඩියෝ)

• මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට සිදුකළ, පාතාල තර්ජනය ගැන පරීක්ෂණයක්

• කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට

• ජාතික නිදහස් වෘත්තිකයන්ගේ සංගමයෙන් චෝදනාවක් (විඩියෝ)

• අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනපති කියයි (විඩියෝ)

• කොරෝනා – ඇමරිකානු ජීව අවියක් බව රුසියානු විද්‍යාඥයන් කියයි (විඩියෝ)

• කාන්තාර පළගැටියා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්

+++++++++++++++++++++++++++++++++++

කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන

(07.02.2020 – 19:59 +0530 – sinhala.adaderana.lk)

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක මුදලක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණි.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී.

පසුගිය ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන් මිලදී ගත් වාහන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සවිස්තරාත්මක වාර්තාවක් සමග පිළිතුරක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදා සිට පසුගිය ආණ්ඩුව කාල සීමාවේදී අමාත්‍යවරු අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් බිලියන 2.8 ක මුදලක් වැය කර ඇති බව අනාවරණය විය.

එහිදී අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් බිලියන 1.65 ක්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් මිලියන 652.85 ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට මිලදී ගත් වාහන සඳහා රුපියල් මිලියන 564.99 ක මුදලක්ද වැය කර තිබේ.

ඒ අනුව වැඩිම මුදලක් වැය කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

රජයට හිමිවිය යුතු බදු මුදල් ද ඉවත් කර ලක්ෂ 3289 ක් වටිනා වාහන 09 ක් එලෙස ගෙන්වා ඇති අතර ඊට රුපියල් ලක්ෂ 1510 ක් වටිනා වෙඩි නොවදින රථ 02 ක් සහ රුපියල් ලක්ෂ 1040 ක් වටිනා බී.එම්.ඩබ්ලිව් X5 වර්ගයේ වාහන 02 ක් ඇතුළත්.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 420 ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

එමෙන්ම සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද රුපියල් ලක්ෂ 390 ක් වැය කර ගෙන්වා ඇත්තේ ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක්.

මේ අතර රුපියල් ලක්ෂ 410 ක් වටිනා මර්සිඩීස් බෙන්ස් රථයක් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ රවී කරුණානායක මහතා විසින් ගෙන්වනු ලැබ ඇත.

කාන්තා හා ළමා කටයුතු වියළි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විජයකලා මහේෂ්වරන් ගෙන්වා ඇති ලෑන්ඩ් කෘසර් ඩීසල් වර්ගයේ ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 420 ක්.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී දිගම්බරම් මහතාද රුපියල් ලක්ෂ 420 ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

රුපියල් ලක්ෂ 420 ක් වටිනා රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස් වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබෙන්නේ අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ටොයෝටා VDJ 200 R වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 430 ක් වැය කර ගෙන්වා ඇත.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ සමයේ මහින්ද අමරවීර මහතා ගෙන්වා ඇති මර්සිඩීස් බෙන්ස් GLS 350 වර්ගයේ රථයට වැය වී ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 420 ක්.

මේ අතර අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හැරුණුකොට අනෙකුත් සියලුම අමාත්‍යවරුන් විසින්ද මෙම වටිනාකම්වලට සමාන වටිනාකම් වලින් යුත් වාහන රැසක් ගෙන්වා ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණි.

+++++++++++++++++++++

***************************************

මැටි ආහාරයට ගත් දියණියට නව නිවසක්

(07.02.2020 – 22:06 +0530 – sinhala.adaderana.lk)

කුසට අහරක් පවා නොමැතිව දිළිඳුබවෙන් පීඩා විඳින අම්පාර පදියතලාව කොලානයාය ගම්මානයේ පවුලක් පිළිබඳ ‘අද දෙරණ’ පසුගියදා වාර්තා කළේය.

කටුමැටි නිවසක ජීවත්වන මෙම පවුලේ පාසල් වියේ පසුවවන දියණිය මැටි ආහාරයට ගන්නා අයුරු ද එහිදි දක්නට ලැබුණි.

එම පුවත ප්‍රචාරය වීමෙන් අනතුරුව ඔවුන්ට නව නිවසක් ඉදිකර දීමට පරිත්‍යාගශීලීන් පිරිසක් කටයුතු කර ඇත.

***************************************

ෂාෆිගේ නිවසේ CCTV දර්ශන මකා දමා ඇති බව අධිකරණයට දැනුම් දෙයි

(07.02.2020 – 21:57 +0530 – sinhala.adaderana.lk)

මව්වරුන් වන්ධ්‍යකරණයට ලක් කළැයි චෝදනා එල්ල වී සිටින වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ නිවසේ සී.සී.ටී.වී. දර්ශන සියල්ල මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම දර්ශන ඇතුළත්ව තිබූ ඩී.වී.ආර් යන්ත්‍රය වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්ෂකට යොමු කර නැවත අදාළ දර්ශන ලබා ගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි ෴

***************************************

වසර 18 කට පසු ලැබුණු වාහනය

(07.02.2020 – 21:53 +0530 – sinhala.adaderana.lk)

වාහන සොරකම් කර ඒවායේ චැසි අංක වෙනස් කර අලෙවි කළ පිරිසක් පානදුර කොට්ඨාස බුද්ධි අංශය විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සොරකම් කළ වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අතර එහි තිබී මීට වසර 18 කට පෙර සොරකම් කරන ලද වාහනයක් එහි හිමිකරු විසින් හඳුනා ගත්තේය ෴

***************************************

වෛරසයේ බෙදුම් රේඛාව

(07.02.2020 – 21:51 +0530 – sinhala.adaderana.lk)

කොරොනා වෛරසය ආසාදනයවූ පුද්ගලයන් 636 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 50 ඉක්මවූවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මියයාමේ වේගයේ අඩුවීමක් දක්නට ලැබුණත්, වෛරසය ව්‍යාප්තවීමේ උපරිම මට්ටමට පැමිණ ඇත්දැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

චීනය ද ඇතුළුව රටවල් 25 ක පැතිර ඇති කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති අතර ආසාදිතයන් ගණන තිස් එක්දහස ඉක්මයි.

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූහාන් හි ඉදිකළ දෙවන රෝහල ද මේ වන විට රෝගීන් භාරගැනීමට සූදානම්.

පසුගිය 27 වැනිදා ඉදිකිරීම් ආරම්භ කළ එම රෝහල රෝගී ඇඳන් එක්දහස් 600 කින් සමන්විතයි.

කොරෝනා වෛරසයෙන් චීනයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නගරවලට කොටු වී ඇති අතර ඔවුන්ගේ දෛනික කටයුතුවලින් මතුවන්නේ ඉතාමත් සංවේදී පුවත්.

එමෙන්ම වීදුරු කාමරයකට සීමා කර ඇති වෛරස් ආසාදිත දරුවෙක් සම්බන්ධයෙන් වීඩියෝවක් වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති මෙම වීඩියෝවට අනුව එහි පිටත සිටින්නේ වෛද්‍යවරයා හෝ දරුවාගේ පියායි.

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කරමින් සිටින හෙදියක් සිය පෙම්වතා සමඟ වීදුරු දොරක් අභියස හාදුවක් හුවමාරු කරගත් අයුරුද වාර්තා විය.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, වයිරසය ආසාදිත වූ රෝගීන්ගෙන් 1,540 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

සුවය ලැබූ ළමුන් පස් දෙනෙකු වූහාන් හි රෝහලකින් පිටව යන ආකාරයද වාර්තා විය.

මේ අතර වෛරසය වඩාත් සීග්‍රෙයන් පැතිරි ඇති බවට බියෙන් චීනයේ විශේෂ පරිපාලන ඒකකයක් වන හොංකොං හී අහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එකතු කරගැනීම සඳහා එරට ජනතාව යුහුසුළුව කටයුතු කරන අයුරු දක්නට තිබේ.

මේ අතර නිවැසියන්ගෙන් හිස්වූ වූහාන් නගරයේ නිවෙස් තුළ සුරතල් සතුන් පනස්දහසක් පමණ සිරවී සිටින බව නගර බලධාරීන් අනාවරණ කළේය.

එම සතුන් මුදාගැනීමේ හා ඔවුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක්ද මේ වන විට ආරම්භ කර ඇත.

මේ අතර වූහාන්හි රෝහලක සේවය කරන සෞඛ්‍ය සේවිකාවක් බීබීසී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වී තිබුණි.

ඇය පවසන්නේ, බටහිර පිරිස් නිදහස් හා මානව හිමිකම් ගැන කතාකරමින් සිටින විට සිය ජනතාව කතාබහ කරමින් සිටින්නේ හෙට දිනයේ හිරු උදාවන තෙක් තමා ජීවත්ව සිටීද යන්න පිළිබඳව බවයි.

මේ අතර ජපානයේ යොකොහාමා වරායේදී නිරෝධායනයට ලක්කර තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් මගී ප්‍රවාහන නෞකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම නෞකාවෙන් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 61 ක් ෴

***************************************

අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි නුවරට

(07.02.2020 – 20:19 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් ‍තොටුපළින් එරටට ළඟා විය.

අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.

ධුරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන පළමු විදෙස් සංචාරය මෙයයි.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් ‍තොටුපළින් අද පස්වරුවේ එරටට ළඟා වූ අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට මානව හිමිකම් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය දෝර් සංජය ෂර්මා සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේය.

අද (07) සිට ලබන 11 වනදා දක්වා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරයේ නිරත සිටියි.

අග්‍රාමාත්‍යවරයා හෙට (08) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද පස්වරුවේ එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟ ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟද සාකච්ඡා පවත්වනු ඇති.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නැගෙනහිර පළාත් ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (06) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත් විය.

කල්මුණේ උතුර සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට පවතින ව්‍යුහය තුළ ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උසස් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට එහිදී පියවර ගෙන තිබේ.

එමෙන්ම දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ හැටහත් දහසක් ජනතාවගේ ජනතාවගේ පහසුව සඳහා දැනට පවතින ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව දහතුනේ සිට හතළිස් හයක් දක්වා ඉහළ දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව මාධ්‍ය අංශය නිවේදනය කළේය.

සයින්දමරදු බල ප්‍රදේශය මෙතෙක් කලක් කල්මුණේ නගර සභාව යටතේ පැවතීම හේතුවෙන් මහජනතාව මුහුණදුන් බරපතළ දුෂ්කරතා සහ බාධා ඉවත් කිරීම සඳහා නව නගර සභාවක් ලෙස පිහිටුවීමට ද මෙහිදී තීරණය වී ඇත.

පසුගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේදී නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවගේ සේවා අවශ්‍යතා මත පිහිටුවා තිබූ අම්පාර,කල්මුනේ උතුර ප්‍රාදේශීය උප කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උසස් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

එම නිර්දේශ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අගමැතිවරයා උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේය.

***************************************

රන්ජන්ගේ නිවසින් හමු වු ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවට රජයේ රස පරීක්ෂක කියයි

(07.02.2020 – 20:14 +0530 – sinhala.adaderana.lk)

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සක්‍රීය ව භාවිතා කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළේය.

අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේ ද යන්න විමර්ශනයක් කරන බවයි.

ඔහු අද දහවල් 12 ට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ගියේය.

ඒ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118 ට අදාල නීති කෘත්‍යය අද යළි කැදවූ අවස්ථාවට ඉදිරිපත් කිරීම සදහායි.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118 සම්බන්ධ රස පරික්ෂක වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බව එහි නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ, රස පරීක්ෂක වාර්තාවට අනුව, ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවටත් ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වූ බවටත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් බවයි.

ඒ අනුව අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේ ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව එම නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේය.

ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා ඇති නිසා ගිනි අවිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලෙසයි.

විත්තියේ නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන සිය සේවා දායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදා හැරීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පැවසුවේ සැකකරු දුරකථන සංවාද පටිගත කර ඇත්තේ මෙම දුරකථනය හරහා වන බැවින් විමර්ශන අවසන් වනතෙක් එය මුදාහැරීමට නොහැකි බවයි.

තම සේවාදායකයා මහජන නියෝජිතයෙකු වන බැවින් ඔහුගේ සියලු දුරකථන දත්තයන් සහ දුරකථන සම්බන්ධතා පොලිස් භාරයේ ඇති දුරකතනයේ අඩංගු සිම් කාඩ් පතෙහි අන්තර්ගත වන බැවින් එම සිම් කාඩ්පත් අංකය ට සමාන සිම් පතක් ගැනීමට අවසර දෙන ලෙස රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යළි අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ පිළිබඳව නීතිපති උපදෙස් ගෙන අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නඩුව ලබන 12 වැනිදාට යළි කැදවීමට නියෝග කළේය.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයාව අද දින පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සදහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ අතර එහිදී ඔහු කෝප් කමිටු රැස්වීමට ද සහභාගි විය.

***************************************

ශ්‍රි ලංකන් එයාර් බස් ගනුදෙනු සම්බන්ධ විවාදය පෙබරවාරි 20 වැනිදා කල් තබයි

(07.02.2020 – 17:48 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනු සම්බන්ධව මතුව ඇති කරුණු පිළිබදව සභාව කල් තැබීමේ විවාදයක් ලබන පෙබරවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට, අද (07) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබේ.

එම විවාදය එදින පස්වරු 01:30 සිට පස්වරු 07:30 දක්වා පැවැත්වෙනු ඇත.

මෙම සභාව කල්තැබීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කෙරේ.

පසුගිය රජයේ විවිධ ව්‍යාපෘති සදහා සිදුකළ යුතු ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය වියදම් පියවා ගැනීම සදහා පරිපූරක ඇස්තමේන්තුවක් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂය මෙහිදී දැනුම් දී තිබේ.

එම පරිපූරක ඇස්තමේන්තුව පිළිබද විවාදය පෙබරවාරි 20 වැනිදා පෙරවරු 09:30 සිට දහවල් 12:30 දක්වා පැවැත්වීමට නියමිතය.

යම් ලෙසකින් පරිපූරක ඇස්ත්මේන්තුව එදින ඉදිරිපත් නොවුණහොත් ලබන 20 වැනිදා දිනය පුරා ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබද විවාදය පැවැත්වෙනු ඇත.

මේ අතර ලබන පෙබරවාරි 18 හා 19 යන දිනවලදී මහ බැංකුවේ බැදුම්කර නිකුතුවන් සම්බන්ධව සිදු කර ඇති වෝහාරික විගණනයේ වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනු ඇත.

එම සභාව කල් තැබීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට සභානායක හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය තිලංග සුමතිපාල, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අජිත් පී පෙරේරා, එම්.ඒ සුමන්තිරන්, උදය ප්‍රභාත් ගම්මන්පිල, විජිත හේරත් සහ රවී කරුණානයක යන මහත්වරුද සහහාගී වූහ.

***************************************

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 3 ක් කෝප් කමිටුවට කැඳවීමේ සූදානමක්

(07.02.2020 – 17:07 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18, 19, 20 යන දින වලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එයට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන ලද නඩු තීන්දුව හා සම්බන්ධව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද සභාපතිවරයා පැවසීය.

විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීම සහ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනු අවසන් කිරීමේ ගිවිසුම් පිළිබඳ කෝප් කමිටුව විසින් සකසන ලද වාර්තා දෙකක් මීට පෙර පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබේ.

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව කෝප් කමිටුව විසින් අනාවරණය කර ගත් කරුණු ඊට අදාල ජනාධිපති කොමිස‍මේ වාර්තාවෙන් සහ වෝහාරික විගණන වාර්තාවේ කරුණු වලින් සනාථ වන බව සිය මතය බවද සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

පසුගිය කාලය තුළ කෝප් කමිටුවේ කටයුතු වලට මාධ්‍ය දැක්වූ සහයෝගයට සිය ස්තූතිය පල කළ සභාපතිවරයා ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

කෝප් කමිටුවේ සමාජිකයන්ගේ එකඟත්වය මත පසුගිය කාලවකවානුව තුළ අනුගමනය කළ සම්ප්‍රදායක් වන කොප් කමිටුවේ සාමාජිකයෙක් වන අමාත්‍යවරයෙකුට අදාල ආයතනයක් ‍කමිටුව ඉදිරියට කැඳවීමේදී අදාල විෂය භාර අමාත්‍යවරයා එම කමිටු සැසිවාරයට සම්බන්ධ නොවිමේ සම්ප්‍රදාය ඉදිරියටත් රැක ගැනීම බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කලේය.

අද (07) රැස්වූ කෝප් කමිටු රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රිදර්ශන යාපා, යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ඩී.වී. චානක, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීහු සහභාගී වූහ ෴

***************************************

පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම දැඩි විනයකින් සිදුකල යුතුයි

(08.02.2020 – 09:25 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම දැඩි විනයකින් සිදුකල යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කලේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනිම තුළින් අනාගත දරු පරපුරට රටේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගත හැකි බවයි.

***************************************

මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට සිදුකළ, පාතාල තර්ජනය ගැන පරීක්ෂණයක්

(08.02.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයාට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත අදාල පරීක්ෂණය සිදුකෙරෙන බවයි.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් නමැති සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු නොකරන ලෙස තර්ජනය කරමින් ඉන්දියාවේ සැගවී සිටින පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නමැත්තා විසින් අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් මගින් තර්ජනය කර ඇති බව ඊයේ (07) ජාතික පුවතපත් වාර්තාවල දැක්වුණා.

පාතාල ක්‍රියාකාරකම් ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කංජිපානි ඉම්රාන් හා කොස්ගොඩ තාරක නමැති සැකකරුවන් දෙදෙනා මේ වනවිට බන්ධනාගාරයේ රඳවා සිටින අතර, කොස්ගොඩ තාරක නමැත්තා එම බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සගයෙකුට පහරදී ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.

ඊට අදාළ විමර්ශනයකින් අනතුරුව කංජිපානි ඉම්රාන් හා ඊට සම්බන්ධ කොස්ගොඩ තාරක ඇතුළු 10 දෙනෙකුට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබූ බව ද සඳහන් වනවා ෴

***************************************

කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට

(08.02.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 724 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මරණ 722 ක් මාර්තා වන්නේ චීනයෙන්. වෛරසයේ කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 86 ක්.

ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 3999 ක් වාර්තා වී ඇති අතර, ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866 ක් ලෙසයි සටහන් වන්නේ.

ඉන් චීනයේ ආසාදිත සංඛ්‍යාව 34,500 කට අධිකයි.

චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 61 ක් ජපානයේ යොකොහමා නුවරට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තා වන අතර සිංගප්පූරුවෙන් ආසාදිතයන් 33 ක් වාර්තා වනවා.

ජපානයේ සහ තායිලන්තයේ ආසාදිතයන් 25 බැගින් සිටින අතර හොංකොං සහ දකුණු කොරියාවේ ආසාදියන් 24 බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ඊයේ (07) මරණයට පත්වූ කොරෝනා වෛරසය ගැන මුලින්ම අනතුරු ඇගවීමක් සිදුකළ චීන ජාතික වෛද්‍යවරයාගේ මරණය පිළිබඳ කෝපයට පත් වූ පිරිස් සමාජ ජාලා ඔස්සේ කෝපාන්විත ප්‍රතිචාර නිකුත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඊට හේතුවී ඇත්තේ අදාළ වෛද්‍යවරයා කොරෝනා වෛරසය පිළිබඳ මුල් වරට නිවේදනය කර සිටියදී ඔහු සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් සමාජයේ පැවැත්මට දැඩි ලෙස බාධා එල්ල වන බවට එරට මහජන ආරක්ෂක කාර්යාංශයට ඔහුට චෝදනා එල්ල කිරීමයි.

34 හැවිරිදි දලී වෙන්ලියැන් නැමැති එම වෛද්‍යවරයා රෝගය පිළිබදව පසුගිය දෙසැම්බර් 30 වන දා අනතුරු ඇගවීමක් කළේ සිය වෛද්‍ය සඟයන්ට පණිවුඩ යවමින්.

ඔහු කියා සිටියේ නව කොරෝනා වෛරසය 2002-2003 කාලය තුළ පැතිරුණු සාර්ස් රෝගය මෙන් වසංගතයක් විය හැකි බවයි.

චීන බලධාරීන් ව්‍යාජ කට කතා පතුරුවන බවටත් සමාජය වියවුල් කරන බවටත් ඔහුට චෝදනා කළ අතර පොලීසිය වෙත කැදවා අනතුරු ඇගවීමක් ද කර තිබෙනවා.

කෙසේ නමුත්, පසුව කෙරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමටත් මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් පටන් ගත් අතර, වෛද්‍ය ලී වෙන්ලියැන්ටද වෛරසය ආසාදනය වූයේ වූහාන් රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදියි.

මේ අතර, මාර්තු මස නිවාඩු කාල සීමාව අවසන් වනතුරු පාසල් සහ අන්තර් පාසල් හා ඇතැම් අධ්‍යාපන බාහිර කටයුතු අත්හිටුවන බවට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

පාසල් ක්‍රීඩා උත්සව, අධ්‍යාපන චාරිකා සහ කඳවුරු පැවැත්වීම ද ඒ අනුව තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම, සිංගප්පූරු වැසියන් මෙම වෛරසය හේතුවෙන් ඉතාමන් කනස්සල්ලෙන් පසුවන බවත් වෛරසය පිලිබඳ ඇතැම් තොරතුරු තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත් එරට සෞඛ්‍ය අමාත්‍ය ගන් කිම් යොං ප්‍රකාශ කර තිබෙනවා.

තත්ත්වය පාලනය කරනතුරු සිංගප්පුරු වැසියන් ආරක්ෂාකාරිව තබා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවයි ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, චීනයේ සිට තම රට වෙත පැමිණෙන සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට හොංකොං බලධාරින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ඊට අදාල ස්වෙච්ඡා හමුදාවක් යෙදවීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ අතර, දේශසීමා හරහා හොංකොං රාජ්‍යයට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු අද සිට දින 14 ක කාලයක් නිරෝධායනයකට මුහුණදීම අනිවාර්ය වන බවයි හොංකොං රජය ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, කොරෝනා වෛරසය වැළඳීම අවම කිරීමට භාවිත කරන මුඛ ආවරණ සහ වෙනත් ආරක්ෂක උපකරණවල හිඟයකට ලෝකය මුහුණදී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එම උපකරණ නිෂ්පාදනය සිදුකිරීමට පවතින බාධා කඩිනමින් විසඳීමට, එම ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරන සහ සැපයීම සිදුකරන සාමාජිකයින් සමඟ තා සඳහන් කළා.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 23 හැවිරිදි තරුණියක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනුරාධපුර – හිදෝගම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය කටුනායක ගුවන්තොටුපලේ සේවය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, හම්බන්තොට ප්‍රදේශයේ කාන්තාවක්, ඇයගේ අලුත උපන් බිලිඳා සමග උණ රෝගයක් හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇය සහ දරුවා අංගොඩ IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා ෴

***************************************

ජාතික නිදහස් වෘත්තිකයන්ගේ සංගමයෙන් චෝදනාවක්

(07.02.2020 – 22:31 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ මුහුදු වැලි පැකට් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියට අදාළව සිදුවූ බව කියන මූල්‍ය වංචා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි මේ වනතුරු විමර්ශනයට ගෙන නොමැති බවට ජාතික නිදහස් වෘත්තීකයන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ ලේකම් එම්.වී. සාලිය මහතා අද (07) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී මෙම චෝදනාව සිදුකළා.

***************************************

අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනපති කියයි

(07.02.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපාය මාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

ආදි ආනන්දියෙකු ලෙසත්, විදුහලෙන් බිහි වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උත්සවයට එක්වීම විශේෂත්වයක්.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක නිරත ඩෙංගු මර්දන සහායකයන් අතරට පැමිණියා.

විරෝධතා සඳහා වෙන් කර ඇති ස්ථානයේ සිටින පිරිස අතරට පැමිණ සුහද සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ ඔවුන්ට ද අවස්ථාව ලබා දෙන බවයි.

***************************************

කොරෝනා – ඇමරිකානු ජීව අවියක් බව රුසියානු විද්‍යාඥයන් කියයි

(07.02.2020 – 18:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ උපත සත්ත්වයන්ගෙන් සිදුවූ බවට බොහෝ පාර්ශව මත පළ කලද කොරෝනා වෛරසය ඇමරිකාව විසින් නිර්මාණය කළ ජීව අවියක් බවට රුසියානු විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.

චීනයේ ආර්ථිකය අඩපණ කිරීමේ ප්‍රබල අරමුණින් මාරාන්තික කොරෝනා වෛරසය ඇමරිකාව ගොඩනගා ඇති බවයි අදාළ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

රුසියානු විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම වෛරසය හමුවේ චීනය අඩපණ වීමෙන් පසුව වෛරසය මර්දනයට නව එන්නතක් සොයා ගැනීමෙන්, ඇමරිකාව මුදල් උපයා ගැනීමේ අරමුණක පසුවූ බවයි.

එවැනි අනාවරණයක් සිදුකර ඇත්තේ පසුගිය මාසයේ ඇමරිකානු වානිජ ලේකම්වරයා ද, උද්ගතව ඇති වාතාවරණය හමුවේ චීනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා යළි ඇමරිකාවට ලබා ගැනීමට හැකිවනු ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක් තුල වීම විශේෂත්වයක්.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් පනවා ඇති සංචාරක තහනම් හමුවේ ගුවන් ගමන් ඉල්ලුම අඩුවීම නිසා රැකියා කප්පාදු කිරීමට සහ වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා ලෙස හොංකොං ගුවන් සේවය තම සේවකයන්ට දැනුම්දී තිබෙනවා.

එසේම, කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකුට රැකියාවලින් ඉවත් වන ලෙස දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හොංකොං ගුවන් සේවය එවන් තීරණයකට එළඹ ඇත්තේ හොංකොං හි කැතේ පැසිෆික් ගුවන් සේවය 27,000 ක සේවක පිරිසක් සේවයෙන් ඉවත් කිරිමට ගත් තීරණයෙන් දින කිහිපයකට පසුවයි.

කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 28 ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර, පුද්ගලයන් 638 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් 636 ක්ම චීනයෙන් වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 31,500 ක්.

සුරතල් සතුන්ට ද මුඛ ආවරණ පළදවමින් ඔවුන් ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට චීනයේ වූහාන් හි නගර වැසියන් පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර, නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, චීනයේ – වූහාන් නගරයේ සිට පැමිණි සිසුන් 33 දෙනාද, මේ වනවිට දියතලාව හමුදා කඳවුරේ තවදුරටත් නිරෝධායන තත්ත්වයේ පසුවනවා.

එමෙන්ම, වානිජ නෞකා හරහා මෙරටට පැමිණෙන විදේශිකයන් අතර, උණ රෝග ලක්ෂණය සහිත කිසියම් පුද්ගලයෙකු සිටී නම්, ඔහුට කිසිදු ආකාරයකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂ එස්.එම්.ආනල්ඩ් මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණෙන ස්ථානයේ සවි කළ නැනෝ තාක්ෂණය මගින් වාතය පිරිසිදු කරන උපකරණය පිළිබඳව වියත්මඟ සංවිධානය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කිරීමක් කළා.

එම අවස්ථාවට අදාළ උපකරණයේ නිපැයුම්කරු මංජු ගුණවර්ධන මහතා ද එක්ව සිටියා.

එමෙන්ම, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව, ගුවන්තොටුපල අවට සහ කාර්යාල පිරිසිදු කිරීමේ පැය 3 ක ශ්‍රමදානයක් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවැත්වුණා.

ඒ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

කාන්තාර පළගැටියා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්

(07.02.2020 – 18:38 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර අප්‍රිකානු රටවල් වල මෙන්ම, පාකිස්ථානයට සහ ඉන්දියාවට බලපෑම් එල්ල කර ඇති ලෝකස්ට් හෙවත් කාන්තාර පළගැටි උවදුර ශ්‍රී ලංකාවට ද පැමිණිමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද (07) ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය විජේසිරි වීරකෝන් මහතා සඳහන් කළේ සුළං රටාවේ වෙනස්වීම මෙන්ම, පවතින දේශගුණික තත්ත්වය ඊට හේතුවිය හැකි බවයි.

මෙම සතුන්ගේ ආක්‍රමණය නිසා පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පසුගියදා එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, ඉන්දියාවේ ගුජරාට සහ රාජස්ථාන ප්‍රාන්තවලට ද මෙම පළගැටියන් මේ වනවිට ව්‍යාප්ත වී තිබෙනවා.

දළ වශයෙන් ඉන්දියාවේ හෙක්ටයාර තුන්ලක්ෂ 70,000 ක් මෙම සතුන්ගේ ආක්‍රමණයට ලක්ව ඇති හෙයින් එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව මේ වනවිට ඉතිහාසයේ දරුණුම පළිබෝධ හානියට මුහුණදීමේ අවදානමක සිටින බවයි.

මෙම පළඟැටි උවදුර විශේෂයෙන් දක්නට ලැබුණේ අප්‍රිකානු මහද්වීපය තුළයි. එමඟින් අතීතයේ පටන් අප්‍රිකාවට සාගත ඇති කළ බව බයිබලයේ සහ කුරානයේද සඳහන් වනවා.

දරිද්‍රතාවයෙන් පීඩා විඳින සෝමාලියාව, ඉතියෝපියාව, කෙන්යාව වැනි රටවල අස්වනු නෙලීමට ආසන්න අවධියේ පවතින වගා බිම්ද, මේ වනවිට මෙම සත්ත්වයින්ට ගොදුරු වී අවසන්.

දින 90 ක ජිව කාලයක් සහිත මෙම පළගැටියන් මිලියනයක් දිනකට ගන්නා ආහාර ප්‍රමාණය මිනිසුන් 35,000 කගේ දිනක ආහාර ප්‍රමාණයකට සමාන බවට අනුමාන කර තිබෙනවා.

මෙම උවදුර පාලනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15.4 ක මුදලක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මේ වනවිට වැය කර තිබෙනවා.

ඒ සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක ආධාර අපේක්ෂා කරන බවයි එම සංවිධානය නිවේදනය කළේ.

මෙම උවදුර පාලනය සඳහා ගුවන් මගින් කෘමිනාශක ඉසීම පමණක් සිදුවන අතර, ලෝක කෘෂිකර්ම සංවිධානය නව විලෝපකයෙක් හඳුන්වා දී ජීව විද්‍යාත්මක පාලනයක් සිදුකිරීමටයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ.

රංචු වශයෙන් ගැවසෙන මෙම පළගැටියන්ට දිනකට කිලෝමීටර් 150 ක් පමණ පියාසර කළ හැකි අතර, විශේෂයෙන් ඔවුන්ගේ ආක්‍රමණයට ලක් වන්නේ කොළ පැහැති පත්‍ර සහිත බෝග වගාවන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Deshapaaluwos living in mega super luxury while the citizens eat mud. The expenditure for one super luxury vehicle could have provided jobs for 200 people for one year. This is enormous scale waste of money, as these inhumans wallow on luxuries as if they were the only living beings in SLK. This is demonic behaviour, ME ME ME ME……….. no one else. They should all be eliminated, taken out in the dawn and shot, and all their assets confiscated for the benefit of the poor mud eating citizens in the country. Just look in India, where ministers and MPs still run around in home built ambassadors. But our deshapaaluwos find all sorts of excuses to be attired sith the worlds best motors just for their ego and greediness. See the line up of super luxury vehicles. That waste of space called batalanda ranil demonstrated with bullock carts once. So that is all they deserve. They are BULLOCKS, so give them some BULLOCK CARTS to be pulled by themselves. That is what they deserve, as they claim they want responsibility and authority over us mud eating citizens. OK go out and pull some bullock carts like those rickshaw-wallas in the 50s. That is what they are, and what they deserve, the way they are leading this country to rack and ruin, while countries like singapore and malaysia are reaching for the stars.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *