අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාව ඇරඹෙයි

(08.02.2020 – 12:31 +0530 – sinhala.adaderana.lk)

සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේවනවිට නවදිල්ලි නුවරදී පැවැත්වෙයි.

එසේම අග්‍රාමාත්‍යවරයා අද (08) පළමුවෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මුණගැසුණි.

එම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එම ක්ෂේත්‍ර ද්වීපාර්ශ්වීයව ප්‍රවර්ධනය කිරීම පිළිබදවද අවධානය යොමු වී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (07) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේවනවිට නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමගද අග්‍රාමාත්‍යවරයා අද (08) ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවලදී දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කිරීමට නියමිත අතර වෘත්තීය පුහුණු සහ රාජ්‍ය සේවා යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා සඳහා ඉන්දීය සහය ලබා ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරෙන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.

***************************************

භාණ්ඩ 15,000 කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීමට පියවර

(08.02.2020 – 06:51 +0530 – sinhala.adaderana.lk)

රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 15,000 කට අධික සංඛ්‍යාවක මිලඅඩු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

භාණ්ඩමිල අඩු කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් මගින් ලිඛිතව ඒ සම්බන්ධයෙන් එම අධිකාරිය වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒඅනුව අදාල භාණ්ඩ වර්ගවල නම් සහ ඒවායේ මිල ගණන් සම්බන්ධයෙන් වන විශ්ලේෂණ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මේ වන විටත් සිදුකරනු ලබයි.

එම මිල අඩු කිරීම් සිදුකළ භාණ්ඩ වර්ගවල නම් සහ ඒවායේ මිල ගණන් ඉදිරියේදී පුවත්පත් දැන්වීම් මඟින් මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා ලෙස ද අදාල නිෂ්පාදන ආයතන වෙත දැනුම්දී තිබේ.

ගොඩනැගිලිද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ළදරු නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කිරීම් රජයේ බදු සහන ප්‍රතිලාභය යටතේ සිදු කිරීමට නියමිතයි.

මීටපෙර කිරිපිටි සහ සිමෙන්ති මිල අඩු කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණි.

මේ අතර පසුගිය දෙසැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීමේ වාසිය භාණ්ඩ මිල අඩුකිරීම හරහා පාරිභෝගිකයින්ට හිමිවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලිම සදහා එම අධිකාරිය සැලසුම් කර තිබේ.

එම කටයුතු සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන ඒකකයේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ ෴

***************************************

මීරිගම සිටින චීවරධාරියෙකුට එරෙහිව නීතිමය පියවරක් ගන්නැයි ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්

(08.02.2020 – 09:01 +0530 – sinhala.adaderana.lk)

මීරිගම ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිටින චීවරධාරියා පිළිබඳ රජය වහාම නීතිමය පියවරක් ගතයුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ ඒ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරිමට පියවර ගත්ත ද මෙතෙක් ඊට විසදුමක් ලබාදී නොමැති බවයි.

ඊට විරෝධය පල කරමින් පූජ්‍ය අනුරාධපුර අමතධම්ම හිමි මීරිගම බස්නැවතුම්පල ඉදිරිපිට මාරාන්තික උපවාසයක්ද ආරම්භ කර තිබේ.

උපවාසය ආරම්භ කළ ස්ථානයට පැමිණි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූහ.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

+++++++++++++++++++++

මීරිගම බස්නැවතුම්පළේ හිමිනමක් උපවාසයේ

(07.02.2020 – 15:55 +0530 – lankadeepa.lk)

ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථානයක් මීරිගම පවත්වාගෙන යන පුද්ගලයකු පිළිබඳව රජය වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේ නමක් අද (07) මීරිගම බස්නැවතුම්පළ අසළ උපවාසයක් ආරම්භ කළහ.

මෙසේ උපවාසයක යෙදෙන්නේ බිබිල යල්වෙල ආරණ්‍යවාසී පූජ්‍ය අනුරාධපුර අමථධම්ම හිමියෝය.

පුද්ගලයකු නම් දෙකකින් පෙනී සිටීම මෙන්ම නිසියාකාරව ලියාපදිංචි නොකර ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම වරදක් බැවින් මේ ගැන රජයේ අවධානය යොමුකර නීත්‍යානුකූල පියවර ගන්නාතුරු උපවාසයේ යෙදෙන බව උන්වහන්සේ සඳහන් කළහ.

පුද්ගලයන් වැරැදි තොරතුරු සමාජ ගත කිරීමෙන් බුදු දහම විනාශවෙන අතර දරු පරපුර වැරදි මාර්ගයේ යාමට ඉඩ ඇති බැවින් රජය වහා පියවර ගත යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අවස්ථාවට වැඩම කළ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙම සිදුවීම ඉතාමත් භයානක තත්ත්වයක් බව ප්‍රකාශ කළ අතර නිසි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කිරීමට ඒ අවස්ථාවේදීම පියවර ගත්හ.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන් ඇතුලු ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

***************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට පැමිණිලි 80 ක්

(08.02.2020 – 14:23 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන පළිගැනීමට ලක් වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත මේ වන විට පැමිණිලි 80 ක් ලැබී ඇත.

රාජ්‍ය ආයතන නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදා සහ පොලිසියේ නිලධාරීන් විසින් අදාල පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ජනාධිපති කොමිසම සදහා පැමිණිලි භාර ගැනීම ලබන 20 වනදායින් අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව 2015 සිට 2019 දක්වා වූ කාලය තුළ සිදූවූ බව පැවසෙන දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් වන පැමිණිලි මෙම කොමිෂන් සභාව වෙත භාරගැනෙන අතර පැමිණිලි භාර ගැනීමේ කාලය අවසන් වීමෙන් අනතුරුව ඒවා විමර්ශනය ආරම්භ කෙරෙනු ඇති ෴

***************************************

මැණික්හින්න ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් තරුණයින් සිව්දෙනෙක් මරුට

(08.02.2020 – 07:34 +0530 – sinhala.adaderana.lk)

මැණික්හින්න, මල්පාන ප්‍රදේශයේ දී අද (08) අළුයම 1.35 ට පමණ සිදු වූ රිය අනතුරකින් තරුණයින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ කොන්ක්‍රිට්ගල් ගොඩක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් තරුණයින් සිව් දෙනා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු සිව් දෙනාම මියගොස් ඇත.

මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17 ත් 19 ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකු බව සදහන්.

මැණික්හින්න පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

+++++++++++++++++++++

***************************************

‘කොරෝනා’ පීඩිතයන්ට සෙත් පතා ගංගාරාමයේ බෝධිපූජාවක්

(06.02.2020 – 15:43 +0530 – lankadeepa.lk)

කොරෝනා වයිරසයෙන් පීඩා විඳින චීනය, ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාව වෙත ආශීර්වාද කිරීමේ අරමුණින් විශේෂ බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම බෝධිපූජා පිංකම සංවිධානය කර තිබිණි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

***************************************

හොස්ටල් බාත් රූම් එකට ගිහින් නිරුවත් වීඩියෝවකින් ලයිව් එන්නැයි යාපන සරසවි නවක සිසුවියන්ට ජ්‍යෙෂ්ඨයින් කියලා

(08.02.2020 – gossiplankanews.com)

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි තාක්ෂණික පීඨයේ නවක සිසුවියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පිරීමි සිසුන් කණ්ඩායමක් නව තාක්ෂණය ඔස්සේ නිරුවත නැරඹීමේ උපායක් ලෙස නවකවදය දීමේ සිද්ධියක් වාර්තා වෙයි.

නවකවදය ලෙස විශ්වවිද්‍යාලයේ සිසුවියන්ගේ නිරුවත නැරඹීමට අවශ්‍ය බව දක්වා ඇති මෙම ජ්‍යෙෂ්ඨයින් ඊට සිසුවියන් අකමැත්ත පළ කළ අවස්ථාවේ අපි කරදර කරන් නෑ අපට පෙන්නන්න විතරයි ඕනෙ කියා දන්වා ඇති අතර එම පෙන්වීමේ ක්‍රමය ලෙස සිසුවියන් පිරිසට ඔවුනගේ නේවාසිකාගාරවල නානකාමර වෙත ගොස් වට්ස් ඇප් ඔස්සේ වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසත් ඒ ආකාරයට නිරුවත පෙන්වන ලෙසත් ඔවුන් දන්වා ඇත.

මෙම දැන්වීම සිදු කර ඇත්තේ තර්ජනාත්මක ස්වරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමිනි.නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම ලබා නොගතහොත් නැවත විශ්වවිද්‍යාලය වෙත පැමිණීමේ දී නවක වදය ලෙස වෙනත් ආකාරයේ දැඩි දඩුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

නවකවද සිද්ධියට මුහුණදුන් සිසුවියන් පිරිස විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට පැමිණිලි කිරිමෙන් අනතුරුව මේ ගැන බලධාරීන් දැනුවත්වී ඇති අතර ඒ අනුව එම බලපෑම සිදු කර තිබෙන සිසුන් සම්බන්දයෙන් මෙම පරික්ෂණය ආරම්භ කළ බව පාලනාධිකාරිය සඳහන් කළේය.

සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ කණ්ඩායමට එරෙහිව අවශ්‍ය විනය පියවර ගන්නට අදහස් කර තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත දැනුම් දී තිබේ.

(මඩුකන්ද සිතුම් චතුරංග)

***************************************

හිටපු අමාත්‍යංශ ලේකම් රනිල් ඇතුළු යහපාලන ආණ්ඩුවේ රෙදි ගලවයි.. සියල්ල හෙලි කරමින් නිකුත් කල නිවේදනය මෙන්න..

(08.02.2020 – 22:32 +0530 – lankacnews.com)

යහපාලන රජය සමයේ මැති ඇමතිවරුන් සඳහා ගෙන්වන ලද වාහන ප්‍රමාණය ගැන හෙළි වීමෙන් පසුව එකල ආණ්ඩුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ නිමල් බෝපගේ මහතා විසින් ශේෂ හෙළිදරව්වක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ වාහන ලබා වාහන ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවකට තමන් විරෝධය පළ කළ විට එකල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට තර්ජණය කළ බවයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :

‘යහපාලන’ ආණ්ඩුවේ වාහන මිල දී ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ විශේෂ හෙළිදරව්ව

රුපියල් බිලියන 2.8 ක් හෙවත් රුපියල් කෝටි 280 ක වටිනාකමින් යුත් අධිසුඛෝපභෝගී වාහන 78 ක් පසුගිය ‘යහපාලන’ ආණ්ඩුවේ කැබිනට් / රාජ්‍ය / නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් මිල දී ගෙන ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූ අතර එය මේ වන විට ඉමහත් ආන්දෝලනයකට ලක්වෙමින් තිබේ. එහෙත් එම අනාවරණයේම දිගුවක් ලෙස ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතුව තිබූ එවැනිම සුවිශේෂ කරුණක් ඒ මොහොතේ ඔවුන්ට මගහැරුණු බැවින් ඒ පිළිබඳව ඔවුන්ගේ ද සමස්ත රටවැසියන්ගේ ද අවධානයට යොමු කරවීම සඳහා මෙම විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

එනම් 2016 වසර අගභාගයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට ඉහත ආකාරයේ අධිසුඛෝපභෝගී වාහන 58 ක් පෞද්ගලික සමාගමක් මගින් මාසික කුලියට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ ගණුදෙනුවේ වටිනාකම ද රුපියල් බිලියන 2.43 ක් හෙවත් රුපියල් කෝටි 243 ක් විය. එහෙත් එම ගණුදෙනුවට අදාළ විෂයභාර අමාත්‍යංශය වූ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ආරම්භයේ සිටම මා ඊට විරුද්ධ විය. සාමාන්‍යයෙන් ප‍්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති වුවද එම ගණුදෙනුව ආරම්භයේ සිටම මට නිරීක්ෂණය වූ අතිශය දූෂිත අරමුණ හා ක‍්‍රමවේදය මා දැඩිව ප‍්‍රතික්ෂේප කළ අතර එය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනිවූ බැවින් එකී පදනම ඔස්සේ මා ඊට විරුද්ධ විය.

එහෙත් මාගේ එම විරෝධතාවය නොතකා කැබිනට් මණ්ඩලය එය අනුමත කළ අතර එම වාහන සපයන පෞද්ගලික සමාගම සමග අදාළ ගිවිසුමට අත්සන් කිරීමේ වගකීම මා වෙත පවරා තිබිණි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ තර්කය වූයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණක් ප‍්‍රතික්ෂේප කිරීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති බැවින් විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මා ඊට වහා අත්සන් තැබිය යුතු බවයි. එහෙත් ආකාර පහකින්ම එම ගණුදෙනුව නීතියට පටහැනි බව පෙන්වා දෙමින් දිගින් දිගටම මා ඊට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි තත්වයක් තුළ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් මා වෙත එල්ල වූ බරපතල පීඩනය කොතෙක් දරාගත නොහැකි වුවද මා එම ස්ථාවරය වෙනස් කළේ නැත.

අවසානයේ හිටපු අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එවකට ක‍්‍රියාත්මක වූ ‘ආර්ථික හා කළමණාකරණ කැබිනට් කමිටුව’ වෙත මා කැඳවා “Sign or Resign” යනුවෙන් හිටපු අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම මා හට තර්ජනය කරනු ලැබීය. කෙසේ වුවද එම තර්ජනයට ද මා කීකරු නොවූ අතර එවකට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ලැබුණු පුළුල් ප‍්‍රචාරය හමුවේ ‘යහපාලන’ ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වූ බැවින් හිටපු ජනාධිපතිවරයා විසින් එම ගණුදෙනුව යළි සමාලෝචනය කිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත් කොට එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබීය. එහෙත් ඒ වන විට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද, පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය ද ඒ සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටිම හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව නැගී ආ බරපතළ මහජන විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය ක‍්‍රියත්මක කිරීමට නොහැකි වූ අතර එමගින් රුපියල් කෝටි 243 ක් ඉතිරි කරගැනීමට හැකිවිය. එහෙත් ඒ සමගම මා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධ කරමින් නව අමාත්‍යංශයක් නිර්මාණය කොට හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එම නව අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කරමින් නීති විරෝධීව මාගේ තනතුර අහිමි කරනු ලැබීය. එහිදී මගේ තනතුර අහිමි වුවද රුපියල් කෝටි 243 ක් රටට ඉතිරි කරදීමට මට හැකිවිය.

මේ සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා බලයට පත් වූ සැණින් නව රජයේ ජනාධිපති ලේකම්වරයාටද එම තොරතුරු ලබා දීමට මා ක්‍රියාකළ අතර මේ කරුණ සම්බන්ධයෙන් හා පසුගිය ‘යහපාලන’ ආණ්ඩුව සමයේ රජයට වාහන මිල දී ගැනීමේ දී භාවිතා කළ ‘මෙහෙයුම් කල්බදු ක‍්‍රමය’ ආශ‍්‍රිතව සිදුකළ වාහන මිල දී ගැනීම් පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමි.

නීතිඥ නිමල් බෝපගේ
හිටපු ලේකම්
පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය

***************************************

මුලතිව් සිලාවත්තේ සුළු පිපිරීමක් – දෙදෙනෙක් අත්අඩංගුවට

(09.02.2020 – 08:15 +0530 – lankaleadnews.com)

මුලතිව්, සිලාවත්ත ආදර්ශ ගම්මාන ප්‍රදේශයේදී සිදුවු පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

ඊයේ (08) සවස මෙම පිපිරීම වාර්තා වුණි.

සැකකරු විසින් මෝටාර් උණ්ඩයක් කපමින් සිටියදී එය පිපිරීමට ලක්ව ඇති බවට මේ වන විට සැක කරයි.

පොලිසිය පැවසූවේ යකඩ භාණ්ඩ එක්රැස් කරන ස්ථානයක අදාළ පිපිරීම සිදුව ඇති අතර, අදාළ ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු වු 42 හැවිරිදි පුද්ගලයෙකු පිපිරීමෙන් තුවාල ලබා ඇති බවය.

සිදුවීම සම්බන්ධයෙන් තුවාලකරුගේ මව වන 61 හැවිරිදි කාන්තාවක් හා 37 හැවිරිදි සහෝදරයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

තුවාලකරු යකඩ භාණ්ඩ එකතු කරන මුවාවෙන් මුලතිව් ප්‍රදේශයේ පවතින පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කොට අදාළ පුපුරණ ද්‍රව්‍යවල වෙඩි බෙහෙත් ඇතුළු, අනෙකුත් පුපුරණ බෙහෙත් එක්රැස් කොට ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන තිබේ.

සැකකරු පුපුරණ ද්‍රව්‍යවලින් වෙන් කරන ලද වෙඩි බෙහෙත් ඇතුළු අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් ගබඩා කොට තිබියදී සොයාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මුලතිව් ආරක්ෂක අංශ පැවසුවේ යුධ සමයේ සැකකරු එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කොට ඇති බවට තොරතුර අනාවරණය වී ඇති බවය.

සැකකරු අදාළ පුපුරණ ද්‍රව්‍ය කුමන කටයුත්තක් වෙනුවෙන් යොදාගෙන ඇති බවද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ මෙහෙයවන බවද ආරක්ෂක අංශ පවසයි.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරු යකඩ භාණ්ඩ එක්රැස් කළ ස්ථානයේ තිබි පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් තුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවය.

***************************************

පොදු සමා කාලයේදී හමුදා සාමාජිකයන් 4299 ක් නැවත භාරවෙයි

(09.02.2020 – 08:30 +0530 – hirunews.lk/sinhala)

නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගොස් සිටි හමුදා සාමාජිකයින් 4299 ක් පොදු සමා කාලය තුළ මේ වනවිට නැවත හමුදාවට භාරවී තිබෙනවා.

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට 72 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව පසුගිය 5 වනදා සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එය මේ මස 12 වනදා දක්වා බලපැවැත්වෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව, ඊයේ (08) වනවිට ත්‍රිවිධ හමුදා නිලධාරින් දස දෙනෙකු සහ සෙසු නිලයන් 4289 දෙනෙකු නැවත භාරවී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ ෴

***************************************

ඇමති බන්දුල සයිටම් ආයතනයේ නිරීක්ෂණයක

(08.02.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

සයිටම් ආයතනය සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් පසුගිය රජය අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකළ යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සයිටම් ආයතනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූර්ණයෙන් පවරාගත් බවට පසුගිය රජය සිදුකළ ප්‍රකාශද සාවද්‍ය බවයි.

වසර 2 ක කාලයක් වසා දමා ඇති සයිටම් ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

***************************************

හැට නම ලක්ෂයේ හැරවුම තනි සිංහල ජාතික ගීය….

(09.02.2020 – divaina.com)

72 වැනි නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා වනු දැකීම මෙරට බහුතරයේ සතුටට හේතුවක් විය. එය කිසිවකුගේ හිත රිදවීමක් නොවේ. ජාතික ගීයට නිසි සාධාරණය ඉටුකිරීම පමණකි. 2016 සිට 2019 දක්වා පැවති නිදහස් උත්සව වලදී මුලින් සිංහලෙන්ද පසුව අවසාන මොහොතේ දෙමළෙන්ද ජාතික ගීය ගායනා කරන අයුරු දැකගත හැකිවිය. සංහිඳියාව දෝරේ ගලා යාම පිණිස දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කළ නමුදු එයින් දෙමළ ජනයා බලවත් ප‍්‍රහර්ෂයකට ලක්වූවාද නැද්ද යන්න අපට දැකගත විය. එයින් සතුටු වූයේ දෙමළ සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම පමණකි. විශේෂයෙන් එවන්ජලිකල් භක්තිවන්තයකු වන ඒබ‍්‍රහම් සුමන්තිරම් සතුටුවනු දැකගත හැකි විය. ඇත්තෙන්ම යහපාලන ආණ්ඩුවේ තීරක බලයක් ඔහුට පැවති බව රහසක් නොවේ. නමුත් ඒ බලපෑම් පසුගිය නොවැම්බර් 16 වැනිදායින් පසුව ඉතිහාසයට එක්විය. 2020 නිදහස් දින උත්සවයේදී සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයෙන බව දැනගත් සුමන්තිරන් ජනවාරි මාසයේ සිටම විවිධ නිවේදන නිකුත් කරමින් පරල වූ ආකාරයට කටයුතු කරන අයුරු දැකගත හැකි විය.

නමුත් 69 ලක්ෂයේ ජන වරම තුළින් ප‍්‍රකාශ වූයේ කුමක්ද? තනි සිංහල ජාතික ගීයක අවශ්‍යතාව නොවේද? සංහිඳියාව වෙනුවෙන් ජාතික ගීය බිලිදීම නිසා යහපාලනය මෙරට බහුතරයට අප‍්‍රසන්න විය. ‘නමෝ නමෝ තායේ’ ගායනා නොවීම ගැන කනස්සල්ලට පත් හිටපු ඇමැතිවරයකු වන මනෝ ගනේෂන් ප‍්‍රකාශ කරන්නේ කුමක්ද? ශ‍්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීමෙන් ශ‍්‍රී ලාංකික අනන්‍යතාව බෙදාගැනීමට දෙමළ ජනතාවට තිබූ අවස්ථාව අහිමි වී ගිය බවත් ඒ පිළිබඳ තමන් කනගාටු වන බවත්ය. ‘ජාතික ගීය දෙමළෙන් ගායනා නොකිරීමෙන් බෙදුම්වාදය ශක්තිමත් කළා’ යනුවෙන්ද දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායකයා ජාතික පුවත්පතකට ප‍්‍රකාශ කර තිබිණි. පුරා වසර තුනක් ‘නමෝ නමෝ තායේ’ ගායනා කිරීමෙන් බෙදුම්වාදය සුණුවිසුණු වූවේද? බෙදුම්වාදය විනාශ වූයේ ලෙයින් හා යකඩින් මර්දනය කිරීමෙන් පමණකි. එය 2009 දී දැකගත හැකි විය. මනෝ ගනේෂන් කියන ආකාරයට ජාතික ගීය අරාබි භාෂාවෙන් ගැයීම සුදුසුය. නැත්නම් මුස්ලිම් ජනතාවද බෙදුම්වාදයට තල්ලු?වී යා හැකිය. අදෝමැයි .. මේවා කාට කියන්නද? ‘දෙමළ භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමළ ජනතාව දැඩි වේදනාවෙන්. ඒ නිසා අප නිදහස් දින උත්සවය වර්ජනය කළා..’ යැයි පවසා තිබුණේ හිටපු විපක්ෂ නායක මෙන්ම දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාය. ‘නමෝ නමෝ තායේ’ නොගැයීම මෙරට දෙමළ ජනතාවට නිසි පිළිගැනීමක් හෝ නිසි ගරුත්වයක් ලබා නොදීමක්ම බව 87 හැවිරිදි මන්ත‍්‍රීතුමා පවසයි.

කෙසේ නමුත් උතුර සහ නැගෙනහිර පළාත්වල එල්ටීටීඊ පාලනය පැවති සමයේ ජාතික ගීය සහ එය ගායනා කිරීම තහනම් කර තිබූ අතර ජාතික ගීය කුමන භාෂාවකින් ගායනා කළත් එය ‘දකුණේ ජනතාවගේ ජාතික ගීය පමණක්ය’ යන්න කොටි සංවිධානය විසින් දැනුම්දී තිබිණි. ඒ කාලයේ කොටින්ගෙන් දේශපාලන උපදෙස් ලැබූ සම්බන්ධන් අද ‘නමෝ නමෝ තායේ’ නිහඬ වීම ගැන තැවෙයි. එහෙත් උතුරු පළාත් ජාතික දින සැමරුම වව්නියාව නගර සභා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර එහි විශේෂත්වය වූයේ මෙහිදී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමයි. ඇත්තෙන්ම හිටපු විපක්ෂ නායකයාට එම උත්සවයට සහභාගී වූවා නම් තමන්ගේ කනස්සල්ලද පහව යනු ඇත. ඇත්තෙන්ම සම්බන්ධන්ලාට කප්පම් දී සහජීවනයක් ඇති කළ නොහැකිය. ‘නමෝ නමෝ තායේ’ වසර තුනක් ගායනා වූවේද දෙමළ ජනයා වෙනුවෙන් නොව සම්බන්ධන්ලාට කප්පම් දීමක් වශයෙනි. එනිසාම මේ කප්පම්වලින් ඊනියා සංහිඳියාව ඇතිකළ නොහැකිය. සිදුවිය යුත්තේ සිංහල ජාතික ගීය ගැයීම පමණකි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවකුට කප්පම් ලබා දෙන්නෙක් නොවේ. එය සම්බන්ධන් මෙන්ම සුමන්තිරන් ද හොඳින් දනී. ‘ශ‍්‍රී ලංකා මාතා’ රැප් කෙරුණේ 2016-2019 කාලයේය. නමුත් ඒ විනාශය ලක්ෂ 69 ක් විසින් වළකනු ලබා ඇත. ඒ තීරණය කිසිවෙකුට ආපසු හැරවිය නොහැකිය.

නිදහස් දිනයේ බොරැල්ල කනත්ත වටරවුමේ තවත් එක් එන්ජීඕ නාටකයක් රඟ දැක්විණි. ඒ සඳහා කිහිපවිටක්ම ජනපති පුටුවට තරග වැදුණු එක්සත් සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය මෙන්ම කතෝලික පූජකයෙක් හා කන්‍යා සොහොයුරියක්ද තවත් කළු ඇඳගත් බෙල්බොටම් නෝනා මහත්වරු කණ්ඩායමක්ද විය. දෙමළාගේ දුක සංසිඳුවීම වෙනුවෙන් ‘නමෝ නමෝ තායේ’ ගයනු ලැබුවේ සිංහලෙන් ලියාගත් කොළ දෙස බලමිනි. ඒ ඡයාරූප සමාජ මාධ්‍ය ජාලවල අපූරු ලෙස සංසරණය වන අයුරුද දැකගත හැකිවිය. ඩොලර් කුට්ටි වෙනුවෙන් කනත්ත ඉදිරියේ ‘නමෝ නමෝ තායේ’ ගයනු ලැබුවේ දෙමළ දුක නසනු පිණිසද? හපොයි කොටි සංවිධානය විනාශ කිරීමට එරෙහි වූවෝද මොවුන්මය. මේ පිරිසගේ නිරුවත් අරමුණු ගැන රටම අවබෝධ කරගෙන ඇති සෙයකි.

රටක ජාතික ගීය යනු, එක් ජාතිකත්වයකට පමණක් උරුම වූ එකක් නොවේ. ජාතික ගීයේ අයිතිය, උරුමය එක් ජාතියකට පමණක් සීමා නොවේ. එය සමස්ත ජාතියේම ගීය විය යුතුය. ජාතික ගීයේ අයිතිය දේශයට ම විය යුතුය. එබැවින් ජාතික ගීය සමස්ත ජාතියේම, සමස්ත දේශයේම අභිමානයේ ගීතය විය යුතුය. එම නිසාම සිංහලෙන් ගැයෙන ගීය සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජාතීන්ගේ පොදු උරුමයයි. ඉන්දීය ජාතික ගීතය රචනා කොට ඇත්තේ, බෙංගාලි භාෂාවෙනි. බෙංගාලි භාෂාව වූ කලී, සංස්කෘත භාෂාවෙන් නිපන් තත්සම භාෂාවකි. එසේනම් සිංහලට විරුද්ධ විය හැක්කේ කාටද? රටට විරුද්ධ බලවේග වලට හා නිරාගමිකයින්ට පමණකි. නොවැම්බර් 16 වැනිදා ජනපතිවරණ ප‍්‍රතිඵල අනුව ලංකා දේශපාලනයේ සුසමාදර්ශී වෙනසක් ඇතිවිය. භුමි පුත‍්‍රයන්ගේ සැබෑ දේශපාලන අයිතිය සුරක්ෂිත කරනු ලැබීය. කප්පම් දේශපාලනය අහෝසි කෙරිණි. එම නිසාම හැට නම ලක්ෂයේ හැරවුමෙන් තනි සිංහල ජාතික ගීය තහවුරු විය. එය ඉදිරියටත් රැකගත යුතුය.

– චතුර පමුණුව

***************************************

ඉඩම් තොරතුරු කොල්ල කෑමට ඇටවූ ඇමරිකන් උගුල

(09.02.2020 – divaina.com)

යහපාලන රජයේ අවසන් කාල වකවානුවේ ඇමරිකාවත් සමග අත්සන් කරලීමට සිටි එම්.සී.සී. ගිවිසුමෙහි තොරතුරු පිටවීම නිසා රනිල් පමණක් නොව සජිත් පේ‍්‍ර්මදාසත් මහත් අකරතැබ්බයකට මුහුණ දුන්හ. කැබිනට්ටුවට දමා අමාත්‍යවරුන්ගේ කැමැත්ත ලබා ගත්තද ගිවිසුම අත්සන් කරලීමට විරුද්ධව නැගී ආ ජන බලවේගය මගින් ආණ්ඩුවද පෙරළීමට පත් විය. දැන් නව අග‍්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙම එම්.සී.සී. ගිවිසුම අධ්‍යනය කරලීමට කමිටුවක් පත් කර තිබේ. එය විමර්ශනය කොට වාර්තා කරලීමට මාස හතරක් ලබා දී ඇතැයි කියැවේ. මෙම ගිවිසුම සම්බන්ධව මහජනයා දරන අදහස් ද ලබා ගැනීමට මෙම කමිටුව කැමැත්තෙන් පසුවෙයි.

එම්.සී.සී. යනු ඇමරිකන් වෙළෙඳ බලාපොරොත්තු ඉටු කර ගැනීම පිණිස සංවිධානය කරනු ලැබූ රාජ්‍ය හා රාජ්‍ය නොවන දේශපාලන හා ආර්ථික ව්‍යුහයකි. ලංකාව වැනි රටක් අරභයා මෙම යෝජනාව ගෙන එනු ලබනුයේ 2015 යහපාලන රජය පත් වීමෙන් අනතුරුවයි. ලංකාවට එරෙහි යුද අපරාධ ගොනුකරමින් රට අපහසුතාවට පත් කරන ගමන් ලංකාවේ පාලකයන් බියවද්දා ගෙන තම වුවමනාවන් ඉටු කර ගැනීමට වලිකෑම නව යටත් විජිතවාදී උපාය මාර්ගයකි. මෙම යෝජනාවන් ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් වන්නේ 1998 කාල වකවානුවේ දීය. ලංකාවේ ඉඩම් ප‍්‍රතිපත්තියෙහි සහ ඒවා රෙජිස්ටර කිරීමේ ක‍්‍රියාවලයෙහි තිබෙන දුර්වලතා මගහරවා ගැනීම පිණිස නව තාක්ෂණයෙන් යුක්ත ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාදාමක් ඇති කරලීමට රජය පෙළඹවීඹ එහි දැක්වෙයි. ඒ සඳහා ඉඩම් හිමිකම් ලියාපදිංචි කරලීමේ පනතක් රජය විසින් 1998 වර්ෂයේ දී සම්මත කර ගනු ලැබිණ. එය හඳුන්වන ලද්දේ 1998 අංක 21 දරන ඉඩම් හිමිකම් ලියාපදිංචි කරලීමේ පනත නොහොත් බිම්සවිය යනුවෙනි. ඒ අනුව බළන්ගොඩ ගම්පහ කොළඹ සහ දඹුල්ල පළාත් කේන්්ද්‍ර කොට ගෙන මෙම ක‍්‍රියාවලිය ඇරඹිණ. 1903 පමණ සිට ඇරඹි ඉඩම් නිරවුල් කරලීමේ ක‍්‍රියාවලියෙහි ඉදිරි දියුණ පියවරක් ලෙසට එය හැඳින්විණ. ඉඩම් නිරවුල් කරලීමේ වැඩසටහන් සම්බන්ධව වසර 100 ක පමණ අත්දැකීම් තිබෙන රටක් වශයෙන් එහි අබල දුබලතා විමර්ශනය කරමින් නව පනතක් සම්මත කර ගතයුතු නමුත් ඇමරිකාව විසින් ගෙනා කොන්දේසියකට යටත්ව බිම්සවිය වැඩසටහන් ආරම්භ කරලීමට රජයට සිදු විය.

2015 යහපාලන රජයේ අතකරකවා තමන් වෙත හීලෑ කරගත් බැවින් ඇමරිකාවට අවශ්‍ය ඕනෑම වැඩක් සැලසුම් සහගතව කරගත හැකි වීම පසුගිය කාලයේ දක්නට ලැබුණු ප‍්‍රවණතාවයකි. හිටපු අගමැතිවරයාද එම ක‍්‍රියාවලියෙහි මෙරට ඒජන්තයෙකු ලෙස ක‍්‍රියාකළ බැවින් එය ඉතා ලෙහෙසි පහසු විය. 19 සංශෝධනය මගින් ජනපතිගේ බලය දුර්වල කොට අගමැතිට අවශ්‍ය ලෙස ඇමරිකන් න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක වන්නට පටන් ගැනිණ. 2016 දෙසැම්බර් මාසයේ දී රජයේ ඉහළ නිලධාරීන් සහ ඇමරිකාවේ ටි‍්‍රම්බල් නම් සමාගමක් සමග සම්බන්ධ කරන ලද ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්හ. එය මෙහෙයවීමට කමිටුවක්ද පත් කරනු ලැබිණ. එය හඳුන්වන ලද්දේ ඉඩම් ඔප්පු සහ ඉඩම් භුක්තිය නවීන ක‍්‍රමයට කැඩැස්ටර (කඩයිම් සලකුණු කිරීම) ගත කිරීම වශයෙනි. 2017 ජනවාරි මාසයේ දී ඇමරිකානු මෙහෙයවීම මත රොබට් හිල්ටන් නමැත්තෙකු විසින් ඉඩම් සංවර්ධන අමාත්‍යශයේ ලේකම්ව සිටි අයි. එච්. කේ. මහානාම මහතාට යැවූ ලියමනකට අනුව මෙම ටි‍්‍රම්බල් සමාගමට ඉඩම් මැනීම සඳහා අවසර ගැනීමේ ක‍්‍රියාවලියට ලංකාවේ ඇමරිකානු තානාපති අංශය බෙහෙවින්ම සහාය පළ කර තිබේ. 2017 ජනවාරි 23 වන දින ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ වරයෙකු ද එලෙස ඉඩම් ලේකම් වෙත ලිපියක් යවා ඇත. ඉඩම් අයිතිකරුවන් සහ ආයෝජකයන් අතර ඉඩම් හුවමාරුවේදී ටි‍්‍රම්බල් නැවිගේෂන් සමාගම වැදගත් කාර්යයක් ඉටු කරන ඇතැයි ද එයට රජයේ සහයෝගය ලබා ගැනීම බලාපොරොත්තුව බවද එහි දක්වා තිබේ. සැබවින්ම මෙවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් බිමි සවිය ක‍්‍රියාත්මක කරන අතරවාරයේ දීය.

මෙම ව්‍යාපෘතිය ඇමරිකාවේ අවශ්‍යතාවට අනුව සකස් කරලීමට එවකට පැවති අමාත්‍ය මණ්ඩලය ද දැඩි කැපවීමක් කර තිබේ. ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි. (17/1093/702/002 /2017/5/25 ) මෙම පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි. ඒ අනුව ඉඩම් කොටස් මිලියන 1.1 ක් මැනීමට පහසුකම් සැපයීමට උපකරණ ලබා දීමට සහ තාක්ෂණික යටිතල පහුසුකම් ඇති කරලීමට ටි‍්‍රම්බල් නැවිගේෂන් සමාගම සහ රජය අතර එකඟතාවක් ඇති වී තිබේ. එසේම මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට අවශ්‍ය වාහන ලබා දීම බස්නාහිර පළාතේ පමණක් මිලියන 2.5 ක් ඉඩම් කොටස් මැනීමට ලක් කිරීම මෙහිදී ඇතිවූ තවත් එකඟතාවන්ය. නමුත් මේ සම්බන්ධව මිනුම්දෝරු වෘත්තීය සමිතිවල කිසිම මනාපයක් සිදුව නොමැත. ඉහත කී සමාගම ලංකාවේ විවිධ පළාත් වලට ගොස් මූලික වැඩ කොටස් ආරම්භ කරලීමටද උත්සාහ ගෙන තිබේ. නමුත් එම ක‍්‍රියාවලිය ඇන හිටීමෙන් 2017/7/28 දින ටි‍්‍රම්බල් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියට අනුව වැඩ ස්ථාපිත කරලීමට නොහැකි විය. ඉන්පසු දිගින් දිගටම පැවති රජය ජනතා අප‍්‍රසාදයට පත් වීම කරන කොට මෙම ව්‍යාපෘතිය නොහොත් ඉඩම් මැනීම විදේශීය සමාගම් සතු කරලීමේ ක‍්‍රියාවලිය නැවතී තිබේ. එහෙත් එයට සමගාමීව ඉදිරිපත් කරන ලද මිලේනියම් චැලේන්ජ් කොම්පැක්ට් යෝජනාවලිය රහසේම ක‍්‍රියාත්මක වෙමින් පැවතිණ. එයට කැබිනට් අනුමැතියද හිමි විය. ලංකාව පුරාම ආර්ථික කොරිඩෝ හතරක් නිර්මාණය කොට එහි ඉඩම් විදේශීය සමාගම් සතු කරලීම එහි බලාපොරොත්තුව විය. ටි‍්‍රම්බල් සමාගමේ ඉඩම් මැනීමේ ක‍්‍රියාවලිය විමසීමේදී ද දැනගන්නට හැකි වූයේ මැනීමට ලක් කරන ඉඩම් කොටස් වල දත්ත එම සමාගම මගින් විදෙස් ආයෝජකයන්ට ලබා දීමේ අතරමැදියෙකු ලෙසට ක‍්‍රියාත්මක වීමට උත්සාහ දරන ආකාරයයි. එය රටේ ආරක්ෂාවටද බරපතළ තර්ජනයක් බව එවකට පැවති රජය තේරුම් ගෙන නොතිබිණ.

මේ රටේ ඉඩම් භුක්ති ක‍්‍රමය ඉතා සංකීර්ණය. 1840 ඉංග‍්‍රීසී ආණ්ඩුව විසින් පණවන ලද අනවසර ඉඩම් ආඥාව මගින් මේ රටේ පොදු ඉඩම් කොල්ලකෑම ආරම්භ කර තිබේ. ඉන්පසු ආඥාවන් සහ පනත් මගින් වරින් වර ඉඩම් කොල්ලකෑමට පසුබිම සකසා ඇත. විශේෂයෙන්ම 1856 විහාරගම් දේවාලගම් ආඥාවන් මගින් එය දැඩි ලෙස සිදු වී ඇත. ඉන්පසු 1903 දී ඉඩම් නිරවුල් කිරීම ආරම්භ කොට 1931 පනතකින් බලාත්මක කොට 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත ගෙන ඒමෙන් පසු ඉඩම් මැනීම කට්ටි කිරීම වෙන්දේසි කිරීම ආදී ක‍්‍රියාකාරකම් රාශියක් සිදු විය. ඉඩම් නිරවුල් කිරීමේදී පළමුව ගමක් තෝරාගෙන එය වැසීමට ලක් කරති. එහිදී ගම්වැසියන් සතුව සන්නස් තුඩපත් සීට්ටු ආදිය තිබේ දැයි පරීක්ෂා කර බලති. ඒ අනුව ඉඩම් මැනීම කරන අතර ඇතැම් විට සන්නස් හෝ තුඩපත් පිළිගැනීමට නිරවුල් කිරීමේ නීලධාරීන් අකැමැත්ත පළ කරති. එවැනි එක් උදාහරණයක් නම් දඹුල්ල විහාරගමට අයත් නොවූ කුඹුක්කඳන්වල නින්දගමයි. මෙම ගම මැනීමට ලක් කරන ලද්දේ හැටේ දශකයේදීය. ඒ වන විට 1968 අංක 30 පනතින් නින්දගම් අහෝසි කර තිබූ බැවින් මේ තුඩපත පිළිගැනීමට ලක් නොවිණ. කුඹුක්කඳන්වල තුඩපතේ විශේෂත්වය නම් එහි සීමා වෙන් කිරීමේදී වනය වැව් රක්ෂිත සිද්ධස්ථාන අතහැර ලකුණු කර තිබීමයි. ඉඩම් නිරවුල් කිරීමේදී මෙම ඓතිහාසික සම්ප‍්‍රදාය නොසලකා හැර තිබිණ. ඒ වෙනුවට රජයේ ඉඩම් දොළ පාරවල් ආදිය වෙන වෙනම ලකුණු කොට සමස්ත ගමේ පරිසර පද්ධතියෙන් වියුක්ත කොට තිබීමයි. අවසානයේ 2014 වන විට අක්කර 1848 ක් පමණ වූ මේ ඉඩම් අතරින් ගැමියාගේ කැමැත්ත මත හෝ නැතිව ඉතා අඩු මුදලකට මිලදී ගත් සමාගම් කීපයක් එක ඉඩම් එක කට්ටියක් වශයෙන් අවසාන ගැසට් නිවේදනයට ඇතුළත් කර තහවුරු කර ඇත.

මෙවැනි තත්ත්වයක් තිබියදී බිම්සවිය මගින් කරගෙන යන ක‍්‍රියාවලිය වඩාත් ප‍්‍රශ්ණකාරීය. රජයේ මිනුම්දෝරුවා නම් යම් කිසි ප‍්‍රමාණයකට ඉඩම් කට්ටිකරුවාගේ අයිතිය සහ භුක්තිය ගැන අත්දැකීම්වලින් සමන්විතය. ඔවුහු රජයේ සේවකයන් වශයෙන් ඒවාට සංවේදීය. එහෙත් ටි‍්‍රම්බල් වැනි විදේශීය සමාගමකට මේ රටේ පාරම්පරික ඉඩම් හිමියන්ගේ ප‍්‍රශ්න සලකා බලන්නට වුවමනාවක් නැත. ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ යටිතල පහසුකම් තාක්ෂණික පහසුකම් සහ මුදල් සපයා දී තමන් ගේ මව් රජය බලාපොරෙත්තු වන දූත මෙහෙවර සම්පූර්ණ කරලීමයි. එවිට සන්නස් තුඩපත් හෝ පාරම්පරික භුක්ති ක‍්‍රමයන්ට තැනදීම සිදු නොවේ. විශේෂයෙන්ම විහාරගම් දේවාලගම් සතු ඉඩම් යම් හෙයකින් මැනීමට ලක් කළහොත් විශාල ගැටුමකට මුලපිරීමක් සිදු විය හැකිය. රනිල් වික‍්‍රමසිංහ සහ මෙරට බටහිර නියෝජිතයන්ට අවශ්‍ය වන්නේ එවැන් තත්ත්වයක් උදාකර සංඝ සමාජයත් සාමාන්‍ය ජනතාවත් පහතට ඇද දැමීමයි. විශාල ජනතා ජයග‍්‍රහණයක් මගින් පැවති රජය පරාජයට පත් කර නව රජයක් බිහිකරලූවේ මෙරට ඉඩම් වල අයිතිය බහුතර සිංහල භූමිපුත‍්‍රයන් සතු බැවිනි. මෙම කාරණය පවත්නා රජයේ බලධාරීන්ගේද අවධානයට යොමු විය යුතුය. මිලේනියම් චැලේන්ජ් වැනි ගිවිසුම් ගැන විමර්ශනය කරකර සිටිනවාට වඩා ඒවා සහමුලින්ම අහෝසි කර මෙරට ඉඩම් සහ ඒවා නව තාක්ෂණික ක‍්‍රමයන්ට අනුව රෙජ්ස්ටර්ගත කරලීමේ ක‍්‍රියාවලිය රජය හරහා රජයේ දෙපාර්තමේන්තු හරහා ගොඩ දැමීම කළ යුතුය. නව ජනපතිවරයා ප‍්‍රථමයෙන්ම මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට ගොස් එය නිරීක්ෂණය කර බිම්සවිය ගැන විමසීම මෙහි ආරම්භයක් දැයි සොයා බැලිය යුතුය. ටි‍්‍රම්බල් වැනි සමාගම් වලට මේ රටේ ඉඩම් මැනීම නොදී වඩාත් කාර්යක්ෂම ක‍්‍රමයට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව ලවා එම කාර්යය සම්පූර්ණ කළ හැකි නම් එය වඩාත් සුදුසුය. නමුත් ඒ කෙසේ මැනීම සිදු කළද මේ රටේ භූමිපුත‍්‍රයන් සතු ඉඩම් අයිතිය සුරක්ෂිත විය යුතුය.

– මතුගම සෙනෙවිරුවන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *