ජනපති වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(10.02.2020 – 19:07 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.

එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමඟ කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය.

මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති.

රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඔවුහු කියා සිටියහ.

වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇතැයි රැඳවියෝ ජනාධිපතිවරයා ඉදිරියේ කියා සිටියහ.

මේ හේතුවෙන් තමන්ට දිර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

+++++++++++++++++++++

***************************************

වාලච්චේන කම්හල වැඩ අරඹයි.. ඔඩ්ඩුසුඩාන් යළි පිබිදෙයි..

(11.02.2020 – 08:02 +0530 – lankacnews.com)

විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට හැකිව ඇති බවත් ඒ සඳහා ඉඩකඩ නිර්මාණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් ඇතුළු යුද, නාවික හමුදා ප්‍රධානීන් හා ඒවායේ ඉංජිනේරු බලකා නිලධාරීන්ටත් ජාතියේ ප්‍රණාමය පුද කළ යුතු බවත්, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යාංශයේදි ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා :

“ගෙවී ගිය කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ රජය මේ රටේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් වැදගත් වන තීරණ ගණනාවක්ම ගනු ලැබුවා. ණය ගෙවාගත නොහැකිව සිටි මේ රටේ ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට ලබා දුන් සහන රැසක් ද ඒ අතර වෙනවා.

ඔඩ්ඩුසුඩාන් යළි පිබිදෙයි !

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විවිධ වකවානුවල වසා දමන ලද, අතහැර දමන ලද කර්මාන්ත ශාලා රැසක්, යළි ආරම්භ කිරීම සඳහා අපි මේ දිනවල අපේ පූර්ණ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපට ගෙවී ගිය සතියේ හැකි වුණා, වසා දමා තිබූ ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාව යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට. ‘රජරට සැම්සන් ටයිල් සමාගම’ සමඟ මෙහිදී හවුල් ව්‍යාපාරික සැලසුමකට යනු ලබනවා. ලංකා පිඟන් සංස්ථාව සතු කිසිවක් පෞද්ගලිකරණය නොකොට පාර්ශව දෙක එකට එකතුවී එම කර්මාන්ත ශාලාව සංවර්ධනය කිරීමයි මෙහිදී සිදුවන්නේ. එහිදී ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි. යුද්ධයේ බලපෑම තීව්‍රව තිබූ ප්‍රදේශයක් වන ඔඩ්ඩුසුඩාන්වල පිහිටි උළු කර්මාන්ත ශාලාව අපි පසුගිය දිනවල සමීපව නිරීක්‍ෂණය කරනු ලැබුවා. යුද සමයට පෙර එහි සේවයේ යෙදී සිටි පිරිස් ඉල්ලා සිටි ආකාරයටම ඔවුන්ගේ දරුවන්ට රැකියා අවස්ථා ලැබේවි. එම ප්‍රදේශයම පිබිදීමකට ලක්වේවි.

රුපියල් මිලියන 4000 ක ඉතිරියක් !

ලංකා පිඟන් සංස්ථාව සතු උළු කර්මාන්ත ශාලා 09 ක් රට පුරා පවතිනවා. නමුත් 01 ක් පමණයි විවෘතව ඇත්තේ. ඔඩ්ඩුසුඩාන් හා මහියංගනය පිහිටි කර්මාන්තශාලා 02 මාර්තුවේදී යළි විවෘත කෙරෙනවා. එසේම ඉතිරි කර්මාන්ත ශාලා 06 මේ වසර අවසන් වීමට පෙර අප විවෘත කරනවා. අපේ රටෙන් උළු සඳහා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල රුපියල් මිලියන 4000 ක්. ඒ මුදල රට තුළ ඉතිරි කර ගැනීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප පියවර ගන්නවා.

මාර්තුවේ වාලච්චේන කම්හල වැඩ අරඹයි!

ඒ වගේම විවිධ හේතු මත අතහැර දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හලේ වැඩ කටයුතු ද අප මාර්තුවේ දී යළි ඇරඹීමට සූදානම්. අක්කර 500 ක පරිශ්‍රයක පිහිටා ඇති එම කම්හල සතු යන්ත්‍රසූත්‍ර හා ගොඩනැගිලි යළි පිළිසකර කිරීමේ කටයුතු පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කොට තිබෙනවා. එම කටයුතු සඳහා කැපවී සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදා හා නාවික හමුදා ඉංජිනේරු බලකා නිලධාරීන්. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමන්ට, ආරක්‍ෂක ලේකම්තුමන් ඇතුළු අදාළ හමුදා ප්‍රධානීන්ට අපගේ ස්තූතිය පළකර සිටිනවා. අප ලංකා කඩදාසි සංස්ථාව සඳහා පත් කළ සභාපතිතුමන් සිය පෞද්ගලික මුදලින් කඩදාසි කර්මාන්තය පිළිබඳ විශේෂඥයන් පිරිසක් වාලච්චේන පරිශ්‍රයට කැඳවා ගෙනවිත් යළි නිෂ්පාදන කටයුතු ඇරඹීම පිළිබඳව දැනටමත් අධ්‍යනයක නිරත වී සිටිනවා. අපි බොහොම අඩම්බරයෙන් කියනවා, වාලච්චේන කඩදාසි කම්හලේ නිපදවූ ෆයිල් කවරයක් මාර්තුවේදී ඔබ අතට පත් කිරීමට අපි සූදානම් කියා.

කුරුන්ඩතිවු අලිමංකඩ උතුරු ලුණු ලේවාය

ඒ වාගේම අක්කර 1500 ක් පුරා පැතිර පවතින, අතහැර දමා ඇති කුරුන්ඩතිවු අලිමංකඩ උතුර ලුණු ලේවායේ කටයුතු ද අපි නුදුරේදීම අරඹනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද දැනටමත් සූදානම් කර තිබෙනවා. මෙරට ජනතාවගේ ලුණු පරිභෝජනය වෙනුවෙන් පිටරටට ඇදී එන මුදල් ද එමඟින් රට තුළ ඉතිරිකර ගැනීමට හැකි වේවි.

මිනිරන්වලට අගය එකතු කිරීමක්!

ඔබ දන්නවා ලෝකයේ හොඳම මිනිරන් ලෙස නමක් දිනා ගෙන ඇත්තේ කහටගහ පතලේ මිනිරන් බව. එම රාජ්‍ය ව්‍යවසායෙන් ලබා ගන්නා මිනිරන් අපනයන කරනු ලබන්නේ කිසිඳු අගය එකතු කිරීමකින් තොරවයි. ඊට පිළියමක් ලෙස අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී විවෘත අයදුම්පත් කැඳවනවා කහටගහ පතලෙන් ලබා ගන්නා මිනිරන්වලට අගය එකතු කළ හැකි සමාගමක් තෝරා ගැනීම සඳහා. එම තෝරා ගනු ලබන සමාගම හා ‘කහටගහ ග්‍රැෆයිටි සමාගම’ එක්ව හවුල් ව්‍යාපාරයක් අරඹා මෙරටින් අගය එකතු කළ මිනිරන් අපනයනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. එයත් අපේ නව සුබදායී බලාපොරොත්තුවක්.

පදවිය කර්මාන්තපුරයත් වැඩ අරඹයි!

ඒ වාගේම පදවිය කර්මාන්තපුරය වැඩ කටයුතු ඇරඹීම සඳහා සූදානම් කර තිබෙනවා. කර්මාන්තරුවන් සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව එහි ගොඩනැගිලි තුනක් ඉදිකර තිබෙනවා. ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ විරැකියාවට පිළියමක් ද මෙමඟින් ලැබෙනවා. එහි කර්මාන්ත ඇරඹීම සඳහා කර්මාන්තකරුවන්ට ඇරයුම් කරමින් විවෘත පුවත්පත් දැන්වීමක් ද පළ කොට අවසන්.

පළතුරුවලට ඉහළ වටිනාකමක්!

අපි කොන්දේසි දෙකක් යටතේ අපේ කර්මාන්ත පුරයක ඔරානා නමැති ඩෙන්මාර්ක් සමාගමකට පළතුරු පල්ප් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා පහසුකම් සපයා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැවෙන පළතුරු මිළදී ගැනීම හා මාස 06 ක් ඇතුළත වැඩ ඇරඹීම කියන කොන්දේසි දෙක යටතේයි, මෙම පළතුරු පල්ප් නිපදවන ඩෙන්මාර්ක් ඔරානා සමාගම වැඩ අරඹන්නේ. ඒ සමඟම පළතුරු බීම නිෂ්පාදනය සඳහා පළතුරු පල්ප් පිටරටින් ගෙන්වීම සීමා වෙනවා වගේම අපේ රටේ පළතුරුවලට ඉහළ මිලක් ලැබෙනවා.

මේ සියලු සුබදායී කටයුතු සමඟ කර්මාන්තකරුවන්ට ඇරයුම් කරනවා, නව කර්මාන්ත ඇරඹීමට, ඔබගේ කර්මාන්ත ප්‍රවර්ධනයට අමාත්‍යාංශය සමඟ එක්වී කටයුතු කරන ලෙසට. ඔබ වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට අපි සූදානම්.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්

***************************************

රිෂාඩ්ගේ ගිණුමකට රහසේම මුදල් ලැබිලා – තවත් මුදලක් FBI එකෙන් වළකයි

(11.02.2020 – 06:36 +0530 – lankaleadnews.com)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් ආණ්ඩුව සමයේ සිදු කළ මහා පරිමාණ දූෂණ වංචා රැසක් ඉදිරියේදී අනාවරණ වනු ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව කොළඹ 05 චිත්‍රා පටුමගේ පිහිටි නිවසක් ඊයේ (10) එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබේ.

එහි තිබී සතොස ආයතනය තුළ සිදුවූ ගනුදෙනුවලට අදාල ලිපි ලේඛණ තොගයක් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් ලබා ගත් අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු තොගයක් සොයාගත් බව වාර්තාවෙයි.

සතොස ආයතනයේ තිබිය යුතු ලිපි ලේඛණ මෙලෙස වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලික නිවසක තිබෙන්නේ කෙසේද යන්න සහ එලෙස සොයාගෙත් ලිපි ලේඛණ සම්බන්ධයෙන් අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් දෙකක් මගින් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

***************************************

සයිටම් තාමත් රජයට ගෙන නෑ … පසුගිය ආණ්ඩුව මගෙන් පළිගත්තා – දොස්තර නෙවිල් ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී දුක කියන්න සූදානම්

(11.02.2020 – 06:20 +0530 – lankaleadnews.com)

සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට පසුගිය කාලයේදී විශාල ප‍්‍රචාරයක් කර තිබූ නමුත් මේ වන තෙක් රජයට පවරාගෙන නැති බව මාලබේ සයිටම් ආයතනයේ හිටපු සභාපති දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

පසුගිය ආණ්ඩුව තමාගෙන් පළිගත් ආකාරය වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී පැවසීමට තමා බලාපොරොත්තු වන බවද වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය.

අගමැතිතුමා හමුවීම සඳහා තමා දිනයක් ඉල්ලා තිබෙන බව කී දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා 2015 වසරේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කි‍්‍රයා කරද්දී තමා ඔහුට සහය දුන්න බවද පසුගිය ආණ්ඩුව තමාගෙන් පළිගත් බවද සඳහන් කළේය.

දැන් තමාට කිසිදු ආදායමක් නැති බවත් සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට එම අවධියේදී විශාල ප‍්‍රචාරයක් කර තිබූ බවත් මේවන තෙක් රජයට පවරාගෙන නැති බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තමාගෙන් පළිගෙන තිබෙන බව පෙනී යන බවත්, වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී එදා තත්ත්වය සම්පූර්ණයෙන්ම එතුමාට ඉදිරිපත් කරන බවත් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය ෴

***************************************

කෝච්චියෙන් ගමන් යන්න ස්මාර්ට් ප්‍රවේශ පත්‍රයක්

(11.02.2020 – 17:39 +0530 – sinhala.adaderana.lk)

දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාල පද්ධතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

දැනට දුම්රියේ ප්‍රවේශ පත් කල්තියා වෙන් කිරීමේ දී ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් දේශීය මගීන්ටත්, විශේෂයෙන් විදේශ සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් පවතින බව පෙනී ගොස් ඇත.

ඇතැම් තැරැව්කරුවන් විසින් ආසන වෙන් කිරීමේ දී ඇතැම් දුරගමන් ප්‍රවේශ පත්‍ර පවතින මිල ගණනට වඩා කිහිප ගුණයකට වැඩි මුදලකට (රුපියල් 1200 ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000-4000 දක්වා වැනි) අලෙවි කරනු ලබයි. එමෙන්ම මේ නිසා දේශීය සංචාරකයින්ට පවා දුම්රියේ ආසන වෙන් කරවා ගැනීම ඉතාමත් දුශ්කර බව පෙනී ගොස් තිබේ.

මෙම තත්ත්වය වළක්වා ලීම සඳහාත්, දුම්රිය සේවාව මගින් ගුණාත්මක සේවාවක් මගී ජනතාවට ලබා දීමත් අරමුණු කර ගනිමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම සුහුරු ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමේ පද්ධතිය හඳුන්වා දිමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලැබී තිබෙන අතර ඉතාමත් කඩිනමින් මෙම සුහුරු ප්‍රවේශ පත්‍රය හා ආසන වෙන් කිරීමේ පද්ධතිය හඳුන්වා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයේ (10) පස්වරුවේ රත්මලාන දුම්රිය අංගනයේ කටයුතු සොයා බැලීම සඳහා සහභාගි වෙමිනි.

රත්මලාන දුම්රිය අංගනය තුළ අලුත්වැඩියා කෙරෙන දුම්රිය මැඳිරි මෙන්ම ලී වලින් ඉදි කෙරන දුම්රිය මැඳිරි පද්ධතිය ද අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය.

දුම්රිය මැඳිරි අලුත්වැඩියාව සඳහා ඉතාමත් දක්ෂ සේවක පිරිසක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිටින අතර දැනට පුද්ගලික ආයතනයක් මගින් සිදු කරන එම කටයුතු තමන් වෙත ලබා දෙන ලෙස එම සේවක පිරිස් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ.

අමාත්‍යවරයා සමග මෙම නිරීක්ෂණ කටයුතු සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගි විය ෴

***************************************

කොරෝනා ආසාදිතයින් හමුවූ ජපාන නෞකාවේ ලාංකිකයින් දෙදෙනෙක්?

(11.02.2020 – 12:23 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරස නිව්මෝනියාව ආසාදිතයින් හදුනාගැනීම හේතුවෙන් ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති “ඩයමන් ප්‍රින්සස්” නෞකාවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

පසුගිය 4 වනදා සිට යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති රටවල් 56 ක මගීන් 3700 කට අධික පිරිසක් රැගත් මෙම සුඛෝපභෝගී නෞකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හදුනාගැනීමත් සමඟ එහි සිටි සෙසු මගීන් පරීක්ෂාවට ලක් කිරීමට ජපාන බලධාරීන් තීරණය කළේය.

ඒ අනුව මේ දක්වා පරීක්ෂා කළ පුද්ගලයින් අතරින් කොරෝනා ආසාදිතයින් 135 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇති බව ජපාන බලධාරීන් සඳහන් කර තිබේ.

සෙසු මගීන් තවදුරටත් එම නෞකාවේ රැඳී සිටින බව සඳහන්ය.

නව කොරෝනා වෛරස නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට දහස ඉක්මවා තිබේ.

ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ අඩුවක් දක්නට ලැබුණ ද දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ඉහල යමින් පවතින බවයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.

පළමු වරට එක්දිනක් තුළ සියය ඉක්මවූ මරණ සංඛ්‍යාවක් ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මරණ 108 ක් සිදුව ඇති අතර ඉන් මරණ 103 ක්ම වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතෙන් වාර්තා වී ඇති බව සඳහන්ව.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1016ක් දක්වා ඉහල ගොස් තිබේ.

ආසාදිතයින් සංඛ්‍යාව 43,000 ඉක්මවා ඇති අතර ඉන් 42,638 ක්ම චීනයෙන් හදුනාගෙන ඇති බව සඳහන්ය.

ඊයේ දිනය තුළ පමණක් එරටින් හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2478 ක් වන බවයි චීන සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

කෙසේවෙතත් එම සංඛ්‍යාව ඊට පෙර දින වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 20 ක අඩු වීමක් බව ඔවුන් සදහන් කර තිබේ.

මේ අතර චීන ජනාධිපති ෂි ජින් පින්ග් කොරොනා වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කටයුතු සිදුකරන බීජිං නුවර සෞඛ්‍ය කාර්ය මණ්ඩල හමුවී තිබේ.

මුව ආවරණයක් පැළඳ සිටි චීන ජනාධිපතිවරයා එම රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ කටයුතුවලට සහය නොදැක්වූ සහ රාජකාරිය පැහැර හැරි සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීන් ඇතුළු සිය ගණනක පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය ෴

***************************************

ජනතාව ලබාදුන් තීන්දුවේ දෝංකාරයේ හඬ සිරිකොතින් ඇසෙනවා – දිනේෂ් ගුණවර්ධන

(11.02.2020 – 09:12 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් තීන්දුවේ දෝංකාරය තවමත් සිරිකොත තුළින් ඇසෙන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හංවැල්ල ප්‍රදේශයේදී ඊයේ(10) පැවති රැස්වීමක් අමතමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *