වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

(11.02.2020 – 16:47 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත.

පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, ඉහත සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බව ද සෞඛ්‍ය කාර්යාංශය දන්වා සිටියි.

නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන්කරන සෑමවිට ම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනික ව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව. 11:00 හා ප.ව. 03:00, 03:30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීමට ද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

එමෙන් ම, පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන් ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධ ව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේ දී ම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළුසහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම ට ද පාසල් මට්ටමින් පියවර ගත යුතුය ෴

***************************************

ගානියාගේ ජංගම දුරකථනය ගැන රස පරීක්ෂකවරයාගේ වාර්තා අනුව ප්‍රගතිය වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

(11.02.2020 – 15:31 +0530 – sinhala.adaderana.lk)

ඉකුත්දා පැහැරගෙන යාමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියගේ ජංගම දුරකථනය පිළිබදව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබා ගෙන ඉදිරි පරීක්ෂණ පවත්වා මාර්තු මස 31 වනදා එහි ප්‍රගතිය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) රහස් පොලීසියට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගෙන් ඉකුත් මස 23 වන දා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව දැනුම් දුන්නේය.

එමෙන්ම මෙම විමර්ශන වලදී නම් අනාවරණය වූ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ කර්තෘවරිය ලෙස කටයුතු කළ දරිශා බැස්ටියන්ගේ ජංගම දුරකථන විශ්ලේෂනයේදී දුරකථන අංකයක් සොයා ගත් බව සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරිය එම දුරකථන අංකය සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කරන අනූරංගි ප්‍රියංවදා සිං නමැත්තියගේ බවට කරුණු තහවුරු කර ගත් බවද පැවසුවේය.

ඉන් අනතුරුව අනුරංගි ප්‍රියංවදා නමැත්තිය ඊයේ (10) දින කැඳවා ඇයගේ ප්‍රකාශයක් සටහන් කර ගත් බවද රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ විත්තිවාචකය සම්පුර්ණයෙන්ම ඇයගේ දුරකතනය තුල පවතින තොරතුරු මත රැඳී ඇතැයි සඳහන් කළේය.

එබැවින් ඇයගේ දුරකතනය තුල පවතින ඉකුත් වසරේ මැයි මස පළමුවනදා සහ නොවැම්බර් මස 25 වනදා අතර කාල සීමාවට අදාල දත්ත සුරක්ෂිතව තබා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද නීතිඥ කුමාරප්පෙරුම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ මෙම තැනැත්තිය පැහැරගෙන යාමට ලක්වූ බව කියන කතාව ගොතන ලද්දක් බවට රහස් පොලිසිය විසින් ප්‍රකාශ කරද්දී මෙම සිද්ධිය තමා අහඹු ලෙස මුහුණ දුන් සිදුවීමක් බව සැකකාරිය දැනටමත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළේය.

එසේ නම් ඇය විසින් මේ ආකාරයෙන් සිය ජංගම දුරකථනයේ තිබෙන තොරතුරු සංරක්ෂණය කරන ලෙස ඉල්ලා සිටින්නේ ඇයිදැයි මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයා ගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ මෙම දත්ත විත්ති වාචකයක් ඉදිරිපත් කිරීම සඳහා බෙහෙවින් වැදගත් වන හෙයින් ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කිරීමට තම සේවාදායකයාව සිතූ බවයි.

කෙසේ වෙතත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය නීතිඥ කුමරප්පෙරුම මහතාට දන්වා සිටියේ මෙම ඉල්ලීම ලිඛිතව මීළඟට නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිකුත් නඩු දිනයේ රහස් පොලිසිය විසින් සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාධ්‍යවේදිනියන් සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති හා රහස් පොලිසියේ නිලධාරීන් සමඟ සිදු වූ බව කියන දුරකථන සංවාද පිළිබඳ ව කරුණු ඉදිරිපත් කළ බව සදහන් කළේය.

එම කරුණ වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය දෝෂ සහගත ආකාරයෙන් කරුණු වාර්තා කර ඇතැයි සඳහන් කළ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එදින නම් සදහන් වු සියලුම පුද්ගලයින්ට තම සේවාදායිකාව විසින් දුරකථන ඇමතුම් ලබාගෙන තිබු බවට එම මාධ්‍ය වාර්තා වලින් සාවද්‍ය තොරතුරු අනාවරණය කර තිබූ බවද චෝදනා කර සියේය.

තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීම වෙනත් කටයුත්තක් බව පෙන්වා දුන් නීතිඥ කුමරප්පෙරුම මහතා මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හරහා ඇයට සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බවත් සමාජයෙන් ඇයට ලැබෙන ආරක්ෂණය අහිමි වන තත්වයක් උද්ගතව තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කර කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අධිකරණයක් හමුවේ සිදුවන දෑ නිවැරදිව හා වගකීමෙන් වාර්තා කිරීම මාධ්‍යයේ පරම වගකීම බවයි.

අධිකරණයක් හමුවේ සිදුවන නිවැරදි තොරතුරු දැනගැනීමට මහජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් අධිකරණයද ජනමාධ්‍ය වෙතින් බලාපොරොත්තු වන්නේ නිවැරදි තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කිරීම බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසිය ද අපේක්ෂා කරන්නේ එය බවද සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මස 31 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනම මෙම සැකකාරියගේ ජංගම දුරකථනයට අදාල රජයේ රස පරීක්ෂක වාර්තාව ලබාගෙන විමර්ශන සිදුකොට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලීසියට නියෝග කළේය.

එම පැමිණිල්ල අද (11) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණය හමුවේ පෙනී සිටියේය ෴

***************************************

වැඩබලන පොලිස්පතිට නීතිපතිගෙන් ප්‍රතිචාර

(11.02.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

වැඩ තහනමකට ලක් කර සිටින ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් අද (11) දිනයේම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

නීතිපති

ඒ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඊයේ (10) යොමුකළ ලිපියට පිළිතුරු ලිපියක් යොමුකරමින්.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය නව නීති කෘත්‍යයක සැකකරුවෙකු ලෙස නම් කර, නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුනා.

ඊට ප්‍රතිචාර දක්වමින් වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න විමසා තිබුණේ එය සිදුකිරීම සදහා අධිකරණය කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (11) යොමුකළ ලිපියේ දැක්වෙන්නේ තමන් සිදුකළ නියෝගයට දින කිහිපයක් ගතවූ පසු ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත් වන බවයි ෴

***************************************

පසුගිය ආණ්ඩුවේ පව් අපිට ගෙවන්න වෙලා – පවිත්‍රා වන්නිආරච්චි

(11.02.2020 – 08:43 +0530 – sinhala.adaderana.lk)

ඖෂධ සමාගම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 40 දහසක මුදලක් ගෙවීමට ඇතැයි කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

‘දෙරණ 360’ වැඩසටහනට ඊයේ (10) එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය රජය ටෙන්ඩර් පටිපාටිවලින් තොරව කටයුතු කර ඇති බවයි.

+++++++++++++++++++++

මින්ත්තු 72

***************************************

අනතුරක් නිසා රාජගිරිය හිරවෙයි

(11.02.2020 – 06:49 +0530 – sinhala.adaderana.lk)

වැලිකඩ පොලිස් වසමේ පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාල හංදියේ, රාජගිරිය ගුවන් පාලම අසල සිදුවූ රිය අනතුරක් හේතුවෙන් අද උදෑසන ඒ අවට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණු බව වාර්තා වුණි.

අද උදෑසන 6.00 ට පමණ පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාල හංදියේ, රාජගිරිය ගුවන් පාලම අසලදී මෙම අනතුර සිදුව ඇති අති බව පොලීසිය සඳහන් කළේය.

බත්තරමුල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

***************************************

විදේශ විනිමය රටට උත්පාදනය කරන ක්‍රමවේදයක් – ඇවන්ගාඩ් සභාපති

(10.02.2020 – 22:27 +0530 – sinhala.adaderana.lk)

රැඳවූවන් සඳහා භාෂා නිපුණත්වයක් ලබා දී විදේශ විනිමය රටට උත්පාදනය කරන ක්‍රමවේදයක් ඉදිරියේදී නිර්මාණය කිරීමට සූදානම් බව ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සවයකදීයි.

සිරකරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇවන්ට් ගාර්ඩ් සමූහ ව්‍යාපාරය විසින් පසුගියදා ආරම්භ කරනු ලැබුවේය.

***************************************

හරි දේ කරද්දි සුළු දේශපාලන කණ්ඩායම් විරැද්ද වුනාට ජාතිය පාවා දීමට ඉඩ දෙන්න බෑ..- ජනාධිපති

(11.02.2020 – 15:50 +0530 – lankacnews.com)

සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.

උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් අපේ රටේ සිටිති. සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව අප සතු බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගත හැකිය. වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ඇත. ඊට සුදුසු පිරිසක් විශ්ව විද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුය. කලා උපාධි පාඨමාලා සමග තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගත හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය.

“පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එන විරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

“පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්ව විද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්ව විද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්”. ජනාධිපතිතුමා පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කම එතුමා පැහැදිළි කළේය.

විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සදහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු සහ සියලු විශ්ව විද්‍යාලවල කුලපතිවරු සහ උපකුලපතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

***************************************

පාසල් ගොඩනැගිල්ලේ අඹුසැමියන් ලෙස හැසිරෙමින් සිටි සිසු පෙම් යුවළ අතටම හසුකරගත් නියෝජ්‍ය විදුහල්පතිනියට ප්‍රහාරයක්

(11.02.2020 – gossiplankanews.com)

අනුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක ඉදිකෙරෙමින් පවතින දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටියදී එය හසුකරගත් නියෝජ්‍ය විදුහල්පතිනිය එම අවස්ථාවේ සිසුවාගේ පහරකෑමකට ලක්වී රෝහල් ගතකරන්නට සිදුවූ පුවතක් වාර්තාවේ.


ඔවුන් එසේ හැසිරෙන අයුරු එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දුටු හෙයින් ඇයගෙන් බේරීමට සිතා සිසුවා එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් සිහිසුන්ව බිම ඇදවැටී හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇයව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනිය අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර ඇය පවසා ඇත්තේ අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුවි තිබෙන බවයි.

සිද්ධිය වූ දිනයේ නිවාසාන්තර තරග පුහුණුව පැවති අතරවාරයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ අවට සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා සැකයකි පැනනැගී ඇති අතර එම ස්ථානයට ගොස් පරීක්සා කිරීමේදී ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් තමන් හොඳින් දන්නා කියන එම පාසලේම සිසුවියක හා සිසුවකු නිර්වස්ත්‍රව අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු දැක තිබෙයි. එය දුටුවනම ඇයට කෑගැසී ඇත. කෑගැසීමෙන් කලබලයට පත් සිසුවා අදාළ කාරිය අතරමග නවතා සැගවෙන්නට උත්සාහ දරා ඇත. සිසුවියද නිරුවතින් ඩෙස්පුටු අතරට මුවාවී ඇත.

පසුව විලි ලැජ්ජාවක් නැති දෙන්නෙක් මං පස්සෙ බලාගන්නමංකො යයි බැණවදිමින් නියෝජ්‍ය විදුහල්පතිනිය එතැනින් පිටව ගොස් ඇති අතර ඇය පිටව යමින් සිටි අතර ඇයට නොදැනුවත්වම අදාළ සිසුවා ඇය පසුපස ගොස් කිසියම් දෙයක් අතින් ගෙන ඇයට වැරෙන‍් බිම ඇදවැටෙන ආකාරය පහරක් එල්ලකර ඇති අතර එම පහරෙන් බිම ඇදවැටී හිස පුපුරා ගොස් තිබේ. ලේගලමින් ඇය සිහිසුන්ව වැටී තිබෙන අතර සිසුවා හා සිසුවිය එම ගොඩනැගිල්ලෙන් පලාගොස් ඇත.

නියෝජ්‍ය විදුහල්පතිනියගේ වාසනාවට ශිෂ්‍ය නායිකාවක් සුළු වේලාවකදී එම ස්ථානය අසළින් යද්දී ඇගේ කෙඳිරිලි හඩ ඇසී එතැනට පැමිණ තිබෙන අතර සිහිසුන්ව ලේ ගලමින් සිටින නියෝජ්‍ය විදුහල්පතිවරිය දුටු සිසුවිය වහාම ඒ සම්බන්ධයෙන් විදුහලේ සිටි ගුරුවරුන් හා සිසුන් පිරිසකට දන්වා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

පසුව ඇය විසින් සිදුවූ සිද්ධිය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ට දන්වා තිබෙන අතර පාළු තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලේ අඹු සැමියන් ලෙස හැසිරුණු සිසුවිය හා සිසුවා පලායෑමට එල්ලකළ ප්‍රහාරයෙන් සිහිසුන්වී බිම ඇදවැටුණ බව ඇය පවසා තිබෙනවා. අදාළ ස්ථානයේ තිබි සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමක් විද්‍යාලයේ ගුරුවරුන්ට පසුව හමුවී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ වූ සිසුවිය විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ හා සිසුවා දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බවට අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් සිසුවාගේ දෙමාපියන් හා විදුහල්පතිවරයා අතර පවතින හිතවත්කමක් නිසා විදුහල්පතිවරයා මෙම සිදුවීම සුළු දෙයක් ලෙස සලකා බැහැර කර තිබෙන අතර පරීක්ෂණයක් හෝ තවම පවත්වා නැත.

සිසුවාගේ පහරදීම නිසා නියෝජ්‍ය විදුහල්පතිනියගේ හිසෙහි බරපතළ පැළුම් තුවාලයක් ඇති බවද අනාවරණය වෙයි. බරපතළ තුවාල ලබා සිටින නි.විදුහල්පතිනියගෙන් ඒ පිළිබඳව විදුහල්පතිවරයා කිසිදු විමසීමක් පවා සිදුකර නොමැති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ගැන විරෝධතාවයක් මතුකිරීමට මවුපියෝ කටයුතු කරමින් සිටිති ෴

***************************************

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ

(11.02.2020 – 16:04 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඒ මහතා බ‍්‍රහස්පතින්දා (13) දිනයේදී වැඩ බාරගැනීමට නියමිතය.

ඔබේ සිනා ළඟ සිත නැවතුණ දා, ඔබ මා හමුවේනම්, සාගර තරංගා වැනි රසිකයන් අතර අතිශය ජනප‍්‍රියත්වයට පත් ගීත රාශියක් ගායනා කර ඇති ඒ මහතා ගීත කිහිපයක් සඳහා තනු නිර්මාණයෙන් ද දායකවී ඇති අතර ටෙලි නාට්‍ය කිහිපයක් සදහා රංගනයෙන්ද දායකවී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු සදහන් කර සිටියේ කලාවේ විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කළ දැවැන්තයන් බිහිකළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවය. එමෙන්ම ගුවන් විදුලියේ අභිමානය සුරැකෙන අකාරයෙන් තමන් කටයුතු කරන බවද ඔහු කීය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය මස 30 වැනිදා වැඩ බාරගත් රෝහණ දේව පෙරේරා මහතා මේ මස 5 වැනිදා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.

***************************************

ඉන්දියානු සාගරයේ භූ චලනයක් – ලංකාවට සුනාමි අවදානමක් නෑ

(12.02.2020 – 05:39 +0530 – sinhala.adaderana.lk)

‍උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

අද (12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ.

උතුරු ඉන්දියන් සාගරයේ, ගිනි‍කොණ ශ්‍රී ලංකා‍ වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ.

භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.4 ක් බවද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කෙසේ වෙතත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද ඔවුන් නිවේදනය කරයි.

මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ‍නිවේදනය අදාළ ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

පසු කම්පන ද?

+++++++++++++++++++++

***************************************

දැන් රටට එඩිතර නායකත්වයක් ලැබී තිබෙනවා – විමල්

(12.02.2020 – 09:31 +0530 – sinhala.adaderana.lk)

මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ එම ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හා ඒ සඳහා දැක්වූ අඩු සැලකිල්ල යැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (11) රත්නපුර මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයට අයත් ‘ගෙවුඩ සේවා පියස’ විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමිනි.

ගෙවුඩ සේවා පියස තුළ සවිකර ඇති ඉහත විදුලි උඳුන නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා :

“2019 නොවැම්බර් 16 වනදායින් පසුව මේ රටට එඩිතර නායකත්වයක් ලැබී තිබෙනවා.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් රටට විශිෂ්ට නායකත්වයක් ලබා දෙනවා. අග්‍රාමාත්‍යතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව ලෙස අප ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා.

කොරෝනා වෛරසය පසුගිය අවුරුදු හතරහමාර තුළ පැතිර ගියා නම් හිටපු පාලකයන් මොනවා නොකරයි ද? ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ගෙදරින් එළියටවත් නොබැස සිටීවි. රට පුරා කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාවි.

නමුත් අපට අද නිවැරදි නායකත්වයක් යටතේ රටක් ලෙස කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට හැකිව තිබෙනවා. චීනයේ සිටි ලාංකික සිසුන් නොබියව ගෙන්වා ගත්තා පමණක් නොවෙයි, ඔවුන්ව සාර්ථකව නිරෝධනයට ලක් කළා. වෛරසය නිසා රෝගී වූ චීන කත සුවපත් කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් නිසි වේලාවට පියවර නොගැනීම නිසා පසුගිය ආණ්ඩුව මේ රටේ අහිංසක ජීවිත 300ක් බිලි දුන් ආකාරය අමතක නැහැ.

මැණිකේ වටිනාකම ඉහළට!

වර්තමානයේ පවතින්නේ ඉදිරියේදී සිදුවිය හැකි අනතුර කල්තියා දකින, රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ යුතුයි, කියා තදින් විශ්වාස කරන, ඒ වගේම මේ රටේ දේශීය කර්මාන්ත නගාසිටුවීම තම ප්‍රතිපත්තිය බවට පත්කර ගත් ආණ්ඩුවක්.

අපි බලාපොරොත්තු වෙනවා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මේ රටේ ඉතා දියුණු තත්වයකට ගෙන එන්න. ‘ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධව කැපවී කටයුතු කරාවි’ කියන විශ්වාසය අපට තිබෙනවා.

‘සොබාදහමේ ඉහළම සැළකිලි’ලෝකයේ හොඳම මැණික්, තේ, මිනිරන්, තිබෙන්නේ අපේ රටේ නම්, අන්නාසි ඇතුළු ලෝකයේ හොඳම පළතුරු තිබෙන්නේ අපේ රටේ නම්, ලෝකයේ අනර්ඝතම කුළුබඩු තිබෙන්නේ අපේ රටේ නම්, සොබාදහම අපට තරම් වෙන කාටවත් සලකලා නැහැ නේද?

සොබාදහමට හානියක් නොකර ඒ සැළකිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට නොහැකි නම් අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් ඉටු කළ මිනිසුන් බවට පත්වන්නේ නැහැ.

මැණික් ඇතුළු අපට සොබාදහමින් ලැබී ඇති දායාදවලින් ප්‍රයෝජනය ගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීම කළ යුතුව තිබෙනවා. මැණික් කර්මාන්තය පමණක් නොවෙයි මේ රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම පසුගිය වසර හතරහමාර තුළ බරපතල ලෙස බිඳ වැටී තිබෙනවා.

ඉහත තත්වයෙන් කර්මාන්ත ක්ෂේත්‍රය ගලවා ගැනීමේ වගකීම අපට තිබෙනවා. වාලච්චේන කඩදාසි සමාගම, ලංකා පිඟන් සංස්ථාවට අයත් උළු කර්මාන්ත ශාලා යළි පණ ගැන්වෙන්නේ ඒ අඳුරු යුගයට තිත තබමින්.

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් තුළින් රටට ජීවයක් ලබා දීම අපේ වගකීමයි. ඉදිරියේදී මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රත්නපුර නගර මධ්‍යයේ දැවැන්ත මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයකට අපි යා යුතුව තිබෙනවා. මැණික් පිළිබඳව අපට තිබෙන ස්ථානය තවත් ඉහළට ඔසවා තැබීමට එය ඉවහල් වේවි.

2019 නොවැම්බර් ජනවරමෙන් අපට බලකර කියා සිටින පණිවිඩය තමයි, ‘මේ රටේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සඳහා වෙහෙස වී වැඩ කරන්න’ කියන එක. එය තේරුම්ගත් පිරිසක් ලෙස අප ඉදිරියට කටයුතු කළහොත් අපට රටක් ලෙස බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකි වේවි.”

මෙහි දී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයෙන් පුහුණුව ලැබූ සිසු සිසුවියන්ට NVQ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

***************************************

ලොරි චැසි සහිත බස් රථවලට තිත

(12.02.2020 – 08:25 +0530 – sinhala.adaderana.lk)

ලොරි චැසි සහිත බස් රථ යලි ආනයනය කිරිමට ඉඩ ලබා නොදෙන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පවසන්නේ ආරක්ෂාකාරි ගුණාත්මක බස් රථ පමණක් යලි ආනයනය කිරිමට කටයුතු කරන බවයි.

ලංකාගමනා ගමන මණ්ඩලයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය ෴

***************************************

2020 සිට විභාග අයදුම්පත් කැඳවීම Online ක්‍රමයට

(12.02.2020 – 06:12 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයදුම්පත් කැඳවීම 2020 වසරේ සිට මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීමට අවශ්‍ය මුලික කටයුතු සංවිධානය කර තිබේ.

සෑම ශිෂ්‍යයෙක් සඳහාම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිට ‘අනන්‍ය වු ශිෂ්‍ය අංකයක්’ ලබා දෙන අතර මෙම අංකය මඟින් ශිෂ්‍යාගේ විභාග ප්‍රතිඵල මෙන්ම දත්ත පද්ධතියට ඇතුළත් කරන ලද විෂය බාහිර ක්‍රියාකාරකම් යනාදි තොරතුරු ද පහසුවෙන් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තවද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහ ‘වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර’ (Non Programmable Calculators) භාවිතා කිරීමට අවසර ලබා දීමට මේ වන විට අවධානය යොමු කර තිබේ ෴

***************************************

රෙදි හෙරක් මෙල්ල කළ හැටි

(11.02.2020 – 23:24 +0530 – sinhala.adaderana.lk)

බොරලැස්ගම නගරයේ නිමිඇදුම් වෙළෙද සැලකට පැමිණි මවක සහ දියණියක රුපියල් දස දහසකට අධික රෙදිපිළි සොරකම් කරන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණා.

එමෙන්ම සොරකම හසු වූ පසු වෙළෙදසැල් හිමිකාරියට මුගුරකින් පහරදී පලායාමට තැත්කරන අයුරුත් එහි සටහන්ව තිබුණා.

https://www.youtube.com/watch?v=cL3y-VJLook#t=5

***************************************

ෂරියා නීතිය අරාබි පාසැල්වල උගන්වන බවට හෙළිදරව්වක්

(11.02.2020 – 22:20 +0530 – sinhala.adaderana.lk)

මෙරට ඇති අරාබි පාසල්වල ෂරියා නීතිය උගන්වන බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (11) අනාවරණ විය.

අද (11) එම කොමිසමට ප්‍රකාශ ලබා දුන්නේ ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ නායකයෙකු වන රෂිඩ් හජ්ජිහුල් අබ්බාර් මවුලවීවරයායි.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද (11) කැඳවා තිබුනේ ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ නායකයෙක් වන රෂිඩ් හජ්ජිහුල් අබ්බාර් නම් මවුලවීවරයායි.

ඔහු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වූ සාදික් සහ ෂාහිඩ් යන අයගේ පියා වන ඊබ්‍රාහීම් මවුලවීවරයාගේ සහෝදරයෙකු වේ.

ෂරියා නීතිය ලංකාවේ නීතියක් නොවුණත් අරාබි විදුහල්වල එම නීතිය සම්බන්ධයෙන් උගන්වන බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළ මවුලවීවරයා වැඩිදුරටත් පැවුසවේ අරාබි විදුහල්වලින් ඉගෙන ගත් මවුලවීවරුන් ඔවුන්ට අවශ්‍ය විවිධ දෑ මද්‍රසා පාසල් වල උගන්වන බවයි.

එම නිසා ඇතැමුන් මෙරටට අනුකූල දේවල් මෙන්ම අනුකූල නොවන දේවල්ද ඉගැන්විය හැකි බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම තමා නියෝජනය කරන ජමාතේ ඉස්ලාමීය සංවිධානය විසින් ලංකාව පුරා මාදම්පේ, පුත්තලම, මාවනැල්ල, කල්කුඩා සහ කින්නියා ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක මද්‍රසා පාසල් 9 ක් පමණ ස්ථාපිත කර තිබෙන බවද රෂිඩ් මවුලවීවරයා කොමිසම හමුවේ අනාවරණ කළේය.

තම සංවිධානයට ලැබෙන විදෙස් මුදල් ලබාගැනීමේදී ගිවිසුම් ගත වූයේද සහ ඒ පිළිබද මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කළේද යන්න කොමිසම මෙහිදී මවුලවිවරයාගෙන් විමසීය.

එහිදී ඔහු සඳහන් කළේ එකී ගිවිසුම් සම්බන්ධයෙන් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව කිසිවක් නොදන්නා අතර ඒ පිළිබද ඔවුන් දැනුවත් කළ යුතු බවට නීති ඇත්දැයි තමා දැන නොසිටි බවයි.

මේ අතර බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ සාදික් නැමත්තා බේරුවල දර්ගා නගරයේ ඇතිවූ කලහකාරී සිද්ධියේදී මුස්ලිම් ජනතාව තවදුරටත් ඉවසිය යුතු නැති බවත් , මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට නම් පහරදිය යුතුයැයි පවසමින් වෙනත් සංවිධානයක් ගොඩනැගු බවත් මවුලවීවරයා මෙහිදී හෙළි කළේය.

ඔහු පැවසුවේ මේ ගැන තමා බුද්ධි අංශ වලට දැනුම් දුන් බවයි.

පසුව කොමිසම විමසා සිටියේ ‘හිස්බු ඉස්ලාම් අරමුදල’ යනු කුමක්ද යන්නයි.

එය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර ඇති අරමුදලක් බව මවුලවීවරයා එහිදී පැවසීය.

සාදික් එම අරමුදල් ලබාගෙන අන්තවාදී දේශන පැවැත්වූ බව ඔබ දැන සිටියේදැයි කොමිසම නැගු ප්‍රශ්නයට ඔහු පැවසුවේ තමන් ඒ ගැන නොදන්නා බවයි.

පසුව කොමිසම විමසුවේ ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේනවා නේද යන්නයි.

ඊට පිළිතුරු දුන් මවුලවීවරයා පැවසුවේ 2010 වසරේදී සහරාන් තමා අමතා සිය සංවිධානයේ දේශනා සම්බන්ධයෙන් ඔහු සමඟ විවාදයකට එන්නැයි අභියෝග කළ බවයි.

පසුව එම දුරකථන ඇමතුමට අදාල හඬපටය රෂිඩ් මවුලවීවරයා කොමිසමට ලබාදුන්නේය.

පැය හයක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් මවුලවිවරයා අද (11) පස්වරුවේ කොමිසමෙන් පිටත්ව ගියේය.

***************************************

සජිත් හදවත තොරනකොට මහින්ද සහ ගෝඨාභය ජනතා හදවත් සොරකම්කර අවසන් – උදය ගම්මන්පිල

(11.02.2020 – 22:15 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයක් හදවත ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කළද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතා හදවත් දැනටමත් දිනාගෙන අවසන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ දෙපාර්ශ්වයක් අතර පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළ කළේය.

අද (11) පැවති මාධ්‍යහමුවකදි අදහස් දැක්වු පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේ ලකුණ හැරුණ විට වෙනත් කිසිවක් වෙනස් වී නොමැති බවයි.

මෙය ජනතාව රැවටීම සිදු කරන උත්සහයක් බවද ඒ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ පැවති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකඟ වු නොවු බැවින් ඔහු එතැනනින් පිටව ගිය බවයි.

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවේ ජනතා මුදල්වලින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගත් කෙනෙක් වන සජිත් ප්‍රේමදාස මහතා හදවත ලකුණ තොරාගෙන ඇති බවයි.

+++++++++++++++++++++

11-02-2020

***************************************

11-02-2020

+++++++++++++++++++++++++++++++++++

07-02-2020

+++++++++++++++++++++++++++++++++++

03-02-2020

+++++++++++++++++++++++++++++++++++

03-02-2020

+++++++++++++++++++++++++++++++++++

03-02-2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *