රිෂාඩ් බදියුදීන් කෝටි සියයක් ඉල්ලා විමල්ට එන්තරවාසියක් යවයි

(11.02.2020 – 21:14 +0530 – sinhala.adaderana.lk)

තමාට එරෙහිව එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කෝටි සියයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් ‍යැවූ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ (10) රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ දූෂණ වංචා රැසක් පිළිබදව චෝදනා කළේය.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් ආණ්ඩුව සමයේ සිදු කළ මහා පරිමාණ දූෂණ වංචා රැසක් ඉදිරියේදී අනාවරණ වනු ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව කොළඹ 05 චිත්‍රා පටුමගේ පිහිටි නිවසක් ඊයේ (10) එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබේ.

එහි තිබී සතොස ආයතනය තුළ සිදුවූ ගනුදෙනුවලට අදාල ලිපි ලේඛණ තොගයක් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් ලබා ගත් අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු තොගයක් සොයාගත් බව වාර්තාවෙයි.

සතොස ආයතනයේ තිබිය යුතු ලිපි ලේඛණ මෙලෙස වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලික නිවසක තිබෙන්නේ කෙසේද යන්න සහ එලෙස සොයාගෙත් ලිපි ලේඛණ සම්බන්ධයෙන් අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් දෙකක් මගින් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ ඉඩම්වල ඔප්පු කොපි 227 ක්, මුල් පිටපත් 08 ක් සහ ඔප්පු කොපි 22 ක් ඒ අතර තිබු බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු දෙමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ තමන්ට එල්ල කළ චෝදනා ඔප්පු කර පෙන්වන ලෙසයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණ සිදු කරන ලිපි ලේඛන සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා දන්නේ කෙසේද යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

+++++++++++++++++++++++++++++++++++

චෝදනා පදනම් විරහිතයි – රිෂාඩ්, විමර්ශනයකින් පසු දඬුවම් පැමිණවියයුතුයි – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

(11.02.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

දින පනස් දෙකේ ආණ්ඩුව සමයේ තමන්ට අයත් අමෙරිකානු ගිණුමකට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැරවී ඇති බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකරන චෝදනා පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

කෙසේ වෙතත් ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කර වහාම දඬුවම් පැමිණවියයුතු බවයි.

***************************************

යාපනය සරසවි සිසුවියන්ට නවක වදය දුන් සිසුවෙකුගේ නිවසට පහරදීමක්

(12.02.2020 – 12:35 +0530 – sinhala.adaderana.lk)

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවියන්ට නවක වදය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සිසුවෙකුට ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් පහරදී ඇත.

‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ නවක වදය ලබාදීමේ සිදුවීම වෙනුවෙන් විමර්ශනයට භාජනය වි තාවකාලිකව පන්ති තහනමකට ලක්ව සිටින යාපනය, මානිප්පායි ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු වෙත එලෙස පහරදි ඇති බවයි.

අදාළ සිසුවාගේ නිවසේ භාණ්ඩ කිහිපයකටද හානි සිදුකොට ඇති බව වාර්තා වේ.

පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ අදාළ පහරදීම සිදුකොට ඇති බව පහරකෑමට ලක්වු සිසුවාගේ ඥාතීන් පොලිසිය වෙත ප්‍රකාශ කොට තිබිණ.

පහරකෑමෙන් සිසුවා තුවාල ලබා ඇති අතර, තුවාලලත් සිසුවා යාපනය රෝහලට ඇතුළත් කොට ඇත.

අසිදුවීම සම්බන්ධයෙන් යාපනය, මානිප්පායි පොලිසියෙන් සිදුකල විමසීමකදි පොලිසිය පැවසුවේ පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

යාපනය විශ්ව විද්‍යාල කිලිනොච්චිය මණ්ඩපයේ නවක සිසුවියන් වෙත නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට සිදුකළ බලපෑමක් මත විශ්ව විද්‍යාලයේ සිසුන් අට දෙනෙකු සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වේ ෴

+++++++++++++++++++++++++++++++++++

කිලිනොච්චි මණ්ඩපයේ සිසු සිසුවියන්ට නවකවදය දීම ගැන CIDයෙන් විමර්ශනයක්

(12.02.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ සිසු සිසුවියන්ට නවකවදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මීට සතියකට පමණ පෙර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් නවක සිසුන්ට දැනුම් දී ඇත්තේ ජංගම දුරකථනයේ ඉමෝ සහ වයිබර් තාක්ෂණයෙන් තම සිරුරේ ලිංගික අවයව වීඩියෝගත කොට එවන ලෙසටයි.

පසුව එම සිසුන් මේ පිළිබදව විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත් කර ඇති අතර, ඉන් අනතුරුව විශ්වවිද්‍යාලය සහ පොලීසිය එක්ව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන ඒකකය මගින් අදාළ සිසුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නවකවදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිසුන් 8 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් පන්ති තහනමකට ද ලක් කිරීමටයි විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගෙන ඇත්තේ.

එසේම කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට විශ්වවිද්‍යාලයට පැමිණීම පෙරේදා සිට තහනම් කිරීමටද විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

මේ අතර, නවකවදය සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුවෙකුගේ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

යාපනය – මනිපායි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිවසට පහරදීමෙන් එහි තිබූ භාණ්ඩ කිහිපයකට ද හානි සිදුව ඇති බව සඳහන්.

පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ අදාළ පහරදීම සිදුකර ඇති බව පහරකෑමට ලක්වූ සිසුවාගේ ඥාතීන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියෙන් අදාළ සිසුවාට ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ යාපනය ශික්ෂණ රෝහලේයි ෴

***************************************

ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ නායකයාගෙන් තවත් හෙළිදරව්වක්

(12.02.2020 – 13:54 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය තුළින් මුස්ලිම් අන්තවාදී අඳහස් පැතිරීම පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ නායක ලෙස කටයුතු කළ රෂිද් හජ්ජුල් අක්බර් නම් මවුලවීවරයා පවසයි.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මවුලවිවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවනු ලැබුවේ රෂිද් හජ්යුල් අක්බර් නම් මවුලවීවරයායි.

ඔහු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වූ සාදික් සහ ෂාහිඩ් යන අයගේ පියා වන ඊබ්‍රාහීම් මවුලවීවරයාගේ සහෝදරයෙකු විය.

ඔහු ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ නායකයා ලෙස වසර 24 ක කාලයක් කටයුතු කර තිබුණි.

කොමිසම හමුවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය, ඔබ පළමුව අත්අඩංගුවට ගනු ලැබුවේ කවදාදැයි විමසා සිටියේය.

එහිදි මවුලවීවරයා පැවසුවේ 2019.08.25 වැනිදින කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ බවත් ත්‍රස්ත විමර්ශන ඒකකයද තමන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගත් බවයි.

තමාව අත්අඩංගුවටය ගැනීමෙන් පසුව වැලිසර නාවික කඳවුරට ගෙන ගිය බවත් එහිදි සහරාන් සමග සබඳතා පැවැත්වු තමන්ගේ ඥාතින් තිදෙනෙකුද එහි රඳවා සිටි බවඳ ඔහු ප්‍රකාශ කළේය.

එහිදි කොමිසම විසින් මවුලවීවරයාට කොපමණ දරුවන් සංඛ්‍යාවක් සිටින්නේ දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් මවුලවිවරයා පැවැසුවේ තමන්ට දරුවන් 8 දෙනෙකු සිටින බවයි.

එහිදි තුර්කියට ගිය පුතෙකු සිටිනවාද යන්න කොමිසම නැවත මවුලවිවරයාගෙන් විමසා සිටියේය.

එහිදි රජයේ අධිනීතිඥවරිය විමසා සිටියේ මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වු සාදික් තුර්කියට ගොස් තමගේ පුත්‍රයා මුණ ගැසුනාද යනුවෙන්ය.

ඊට පිළිතුරු දෙමින් මවුලවිවරයා පැවැසුවේ තමන් සාදික්ව පුත්‍රයාට මුණ ගැස්වීමට අවස්ථා කිහිපයකදි උත්සාහ කළද එය සාර්ථක නොවුනත් පසුව සාදික් විසින් තම පුත්‍රයාව තුර්කියේදි මුණ ගැසි ඇති බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සාදික් සහ ෂාහිඩ් සැගව සිටි වෙළඳසැල අයිතිකරුවන් හදුනන්නේදැයි විනිසුරු මඩුල්ල මවුලවිවරයාගේ විමසු අතර ඊට පිළිතුරු දෙමින් මවුලවිවරයා පැවැසුවේ එම වෙළඳසැල තමන්ගේ සමීප ඥාතියෙකුට අයත් බවත් ඔහු ඉතා හොඳින් දැන අඳුනන පුද්ගලයෙකු බවයි.

ඔහු සංවිධානයෙන් ඉවත් කළේ සාදික් විසින් අන්තවාදි සංවිධානයක් සැදිමට කටයුතු කළ බව නිසා බවද ඔහු පවසා සිටියේය.

කොමිසම එහිදි විමසා සිටියේ තරුණු මුස්ලිම් පිරිස් අන්තවාදයට යොමුවිම සම්බන්ධයෙන් මවුලවිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබාදෙමින් මවුලවිවරයා සඳහන් කළේ මුස්ලිමවරුන්ට එරෙහිව සිදුවීම් ඇතිවිම සහ තම සංවිධානයෙන් පළමුවරට අන්තවාදයට යොමුවුණේ සාදික් පමණක් බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් සොයාබැලීමක් සිදුනොකළේ මන්ද යන්න විමසා සිටි අතර එහිදි මවුලවිවරයා ප්‍රකාශ කළේ තමන් අවස්ථා රැසකදි සහෝදරයාගේ පුතුන් සමග කතාබහ කළ බවයි.

එමෙන්ම ඉදිරියේද් අන්තවාදි මුස්ලිම් තරුණයින් ඇතිනොවන බවට ප්‍රකාශ කළ හැකිදැයි කොමිසම මවුලවිවරයාගෙන් විමසු අතර එහිද මවුලවිවරයා ප්‍රකාශ කළේ ඇති නොවන බවට තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් සමාජ මාධ්‍ය තුළින් අන්තවාදි අදහස් හුවමාරුවිම් සිදුවන බවත් එය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

පැය 6 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදෙමින් අනතුරුව මවුලවිවරයා රාත්‍රී 07:30 ට පමණ කොමිසමෙන් පිටව ගියේය ෴

***************************************

මධ්‍යම තැපැල් හුවමාරුවේදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.02.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 75 කට ආසන්න බවයි වාර්තා වන්නේ.

ගැල්වනයිස් බටයක් තුළ සගවා මෙක්සිකෝවේ සිට මෙරටට තැපැල් මාර්ගයෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වා ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රදවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ ෴

***************************************

හිරු සී.අයි.ඒ. : ප්‍රදේශයටම විෂබීජ පතුරුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය කන්ද

(11.02.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

රෝහලක් යනු ජනතාවගේ රෝග නිවාරණ මධ්‍යස්ථානයක් මිස ජනතාවට රෝග පතුරුවන මර්මස්ථානයක් නොවිය යුතු බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ.

එහෙත් කුරුණෑගල ශික්ෂණ රෝහල මේ වනවිට අවට ප්‍රදේශයට විෂබීජ පතුරුවා හරින කේන්ද්‍රස්ථානයක් වී ඇති බව ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.

එම රෝහලේදී ශල්‍ය කර්මවලට ලක් කෙරෙන ළදරුවන් හා කාන්තාවන් නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකරන වාට්ටු අංක 28 ඉදිරිපිට දර්ශනද අපවෙත ලැබී තිබෙනවා.

එහිදී අඩි ගානක් උසට ගොඩ ගසා ඇත්තේ විවිධ ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව ඉවත් කරනා ලේ තැවරුණු ගෝස්, පුළුන් ආදී සායනික අපද්‍රව්‍ය අපට දැකගත හැකිවූවා.

සති ගණනක් පුරා මෙලෙස සායනික අපද්‍රව්‍ය ගොඩ ගැනීම නිසා ජනතාවට මේ අසළින් යෑමට නොහැකි මට්ටමට අවට ප්‍රදේශය පුරා පැතිරී ඇත්තේ දැඩි දුගදක්.

‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී අනාවරණය වුයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ස්ථාපිත සායනික අපද්‍රව්‍ය පුළුස්සන දහනාගාරයේ පවතින දෝෂයක් හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බවයි.

දිනපතා මෙම අපද්‍රව්‍ය කඳු අසල ගැවසෙන සුනඛයන් මෙහි ඇති අපවිත්‍ර ද්‍රව්‍ය රෝහල පුරා තැන තැන ගෙන ගොස් දමන අයුරු ද ‘හිරු සී.අයි.ඒ.’ කැමරා කාචයේ සටහන් වූවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ විවෘත භූමි පරිශ්‍රය මෙලෙස විෂබීජ පතුරුවන මර්මස්ථානයක් බවට පත්වන තෙක් මෙහි පරිපාලකයන් තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විමතියට කරුණක්.

මේ සායනික අපද්‍රව්‍ය ගැටලුව ඇතුගල මත පිහිටි බුදුරුවත් වැසී යනතෙක් දිග්ගැස්සෙන තුරු බලධාරීන් බලා සිටින්නේ ද..?

මෙයට වහා විසඳුමක් ලබාදෙන තෙක් ‘හිරු සී.අයි.ඒ.’ අවදියෙන්.

***************************************

හිටපු ඇමති පාඨලී ඇරැඹූ ව්‍යාපෘතියට විරෝධය පළකරමින් ධීවරයන් ඇලකන්දට එයි

(11.02.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

හැඳල සිට පමුණුගම දක්වා මුහුදූ තීරයේ ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් වත්තල, ඇලකන්ද මංසන්ධිය හරස් කරමින් අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වුණේ පසුගිය ආණ්ඩුවේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියක් හේතුවෙන් සිය ධීවර කටයුතු වලට බාධා මතුව ඇති බවට පවසමින්.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ මුහුදු වැලි සෝදා ඇසුරුම් කිරීමේ ව්‍යාපෘතියක් මුතුරාජවෙල ප්‍රදේශයේ ආරම්භ කෙරුණේ පසුගිය නොවැම්බර් මාසයේදීයි.

කෙසේවෙතත්, ජාතික නිදහස් වෘත්තීය සේවක සංගමය පසුගියදා එම කර්මාන්ත ශාලාවේ කළ නිරීක්ෂණයකදී අනාවරණය වුණේ මෙම ව්‍යාපෘතිය අසාර්ථක සහ දූෂිත එකක් බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි දික්ඕවිට මුහුදු තීරයෙන් ලබාගැනීම හේතුවෙන් සිය කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවන බව ප්‍රදේශයේ ධීවරයින් එම වකවානුවේදීද චෝදනා කළා.

මෙයට විරෝධය දක්වමින් සිය බෝට්ටු භාවිතා කරමින් අදාල වැලි කැණීම සඳහා පැමිණි නැව ආපසු හරවා යැවීමටද ධීවරයින් එක් අවස්ථාවකදී කටයුතු කළා.

***************************************

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස රෝහණ බැද්දගේ මහතා නම් කරයි

(11.02.2020 – 18:24 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා නම් කර තිබෙනවා.

මේ අතර මෙම පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අද පුවත්පත්වල ප්‍රසිද්ධ නිවේදනයක් පළකෙරුණා.

ඒ අනුව එළඹෙන 25 වන දිනට පෙර මෙම නම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට අවස්ථාව හිමිවනු ඇති.

මේ අතර මෙම නම්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ආරම්භ වී තිබෙනවා.

***************************************

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට තවත් දැනුම්දීමක්

(12.02.2020 – 16:40 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් ගැන පරීක්ෂණ හේතුවෙන් ප්‍රධාන පෙළේ නඩු කටයුතුවලට අදාළව ක්‍රියාකිරීමෙන් වැළකී සිටිය නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයා විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකළ බවයි ෴

***************************************

ශ්‍රී ලංකාවේ පරමාණු බලශක්ති බලාගාරයක් ඉදිකිරීමට රුසියාවේ අවධානය

(12.02.2020 – 16:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ පරමානු බලශක්ති බලාගාරයක් පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි පවසනවා.

රුසියන් ස්පුට්නික් සඟරාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

එහිදී රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පරිසර දූෂණයෙන් තොර බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමුකර ඇති බැවින් මෙලෙස ගල් අඟුරු සහ ගෑස්වලින් තොර පරමාණු බලශක්ති බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.

ව්‍යාපෘතිය සඳහා දැනටමත් මූලික කටයුතු සිදුකර ඇති අතර, එය කඩිනමින් ආරම්භ කිරීමට හැකි බවටද ඔහු විශ්වාසය පළ කර තිබෙනවා ෴

***************************************

කොග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක ගින්නක්

(12.02.2020 – 11:16 +0530 – hirunews.lk/sinhala)

කොග්ගල – ප්‍රදේශයේ විහාරස්ථානයක අද (12) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොග්ගල – මහජන පොළ ආසන්නයේ ශ්‍රී ගුණදක්ෂිණාරාම විහාරස්ථානයේ මෙලෙස ගින්න හටගෙන ඇති බවයි.

විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක හට ගත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

ගාල්ල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

***************************************

ධීවර රාජ්‍ය ඇමතිගේ ඉල්ලීමට – ගම්පහ දිසා වන නිලධාරිණියගෙන් දැඩි ප්‍රතිචාරයක්

(12.02.2020 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබාදිය නොහැකි බව පවසමින් රාජ්‍ය නිලධාරිණියක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට දැඩි ප්‍රතිචාර දක්වන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිණි දේවානි ජයතිලක නමැති මෙම රාජ්‍ය නිලධාරිණිය මෙලෙස කරුණු දක්වා ඇති බවයි.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙන්ම හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාද එක්ව සිටියා.

කෙසේ වෙතත් මෙම රාජ්‍ය නිලධාරීණියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

මීගමුව කලපු සංවර්ධන රැස්වීම පසුගිය 10 වනදා පවත්වා ඇති අතර එහිදී මීගමුව කලපුවේ පිහිටා ඇති දූපතක අවට ප්‍රදේශවාසීන් විසින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර ක්‍රීඩාංගනයක් සකස් කර තිබෙනවා.

මෙම දූපත සහිත ඉඩම රජයේ ඉඩමක් බැවින් ගම්පහ වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරින් විසින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එම ක්‍රිඩාංගනය ඉවත් කිරිමටයි පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත්, ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය විසින් එම දුපතට පස් ගෙනවිත් දමා ඇති අතර එම පස් තොගයද ඉවත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබුණා.

අනතුරුව ධීවර දෙපාර්තමේන්තුව විසින් අදාල පස් තොගය ඉවත් කිරීමට කටයුතු සුදානම් කර තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඊට විරෝධය දක්වා පස් ඉවත් කිරිමේ කටයුතු නතර කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන තෙක් අදාල දුපතෙන් එම පස් තොගය ඉවත් කර නොමැති බවයි ගම්පහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම, එම දූපතට යාබදව ධීවර දෙපාර්තමේන්තුව විසින් කලපු සංවර්ධන වැඩසටහනක් යලි ආරම්භ කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විඩියෝ පටයට අදාල මෙම ගැටලුව සිදුව ඇත්තේ එය සිදුකිරිමට අවශ්‍ය නිර්දේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙනුයි.

මෙම රැස්වීමේදී කරුණු දැක්වූ දිසා වන නිලධාරිණිය කියා සිටියේ කඩොලාන පද්ධතිය ඇතුලු වනාන්තර එළිපෙහෙළි කරමින් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම තුළින් ඔක්සිජන් ප්‍රතිශතයට බලපෑමක් එල්ල වන බවයි.

කෙසේ වෙතත් වන නිලධාරිණියගේ මෙම ප්‍රකාශයත් සමඟ එම අවස්ථාවට එක්ව සිටි පිරිස ඇයට විරෝධය දක්වා තිබෙනවා.

එම අවස්ථාව පහතින් :

+++++++++++++++++++++

රට ම කතා කරන ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක හිරුට කතාකරයි

(12.02.2020 – 17:44 +0530 – hirunews.lk/sinhala)

මිගමුව කලපුවේ පිහිටි අක්කර 3 කට ආසන්න කඩොලානවලින් පිරි දූපතක්, ක්‍රීඩා පිටියක් කිරීමට එරෙහිව දේවානි ජයතිලක මහත්මිය හඬ අවදිකළේ මිගමුව කලපු සංවර්ධන රැස්වීමේදීයි.

ධිවර සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා සහ රාජ්‍ය නිලධාරීන් පමණක් නොව මිගමුව ධිවර ජනතාව ද මෙම සාකච්ඡාවට සහභාගිවී තිබෙනවා.

සභාවක් මැද පරිසරය වෙනුවෙන් නොබියව හඬ නැගූ දේවානි ජයතිලක මහත්මියට, විවිධ බලපෑම්, තර්ජන සිදුවෙනු ඇතැයි බොහෝදෙනාගේ කතා බහට ලක්වෙනවා.

නමුත් ඇය අපට කිවේ, මේවන තෙක් තමාට එවැනි කිසිදු තර්ජනයක්, බැලපෑමක් සිදු වී නොමැති බවයි.

කාන්තාවක් ලෙස මෙවැනි තත්ත්වයකට මුහුණ දීම නිසා, තම පවුලේ සාමාජිකයින් බයට පත්ව සිටින්නේදැයි අප විමසුවා.

ඇය සිනාසී පැවසුවේ එවැනි තත්ත්වයක් නොමැති බවයි.

මිගමුව කලපුවේ පිහිටි තිල්ලඩිතෝට්ටම් දුපත ඉතා දිගු කාලයක සිට ක්‍රීඩා පිටියක් කිරීමට, ප්‍රදේශයේ ධිවර ජනතාව ඇතුළු ඇතැම් නිලධාරීන් බලහත්කාරයෙන් ක්‍රියාකරන බවයි වාර්තාවන්නේ.

කලපුවක පිහිටි දුපතක් ක්‍රීඩා පිටියක් කිරීම ප්‍රයෝගික දැයි අප දේවානි ජයතිලක මහත්මියගෙන් විමසනු ලැබුවා.

එවිට ඇය කිවේ එම ප්‍රශ්ණය තමා විසින්ම අදාළ ධිවර ජනතාවගෙන් විමසා ඇති බවයි.

එවිට ධිවරයින් පවසා ඇත්තේ, “අපේ දරුවන්ට හොඳට පීනන්න පුළුවන්”, ඒ නිසා දූපත ක්‍රීඩා පිටියක් කිරීම සුදුසු බවයි.

මේ වන විට අදාළ කලපුවේ කොටසක්, එහි ඇති කඩොලාන ශාක විනාශ කර පස් දමා ගොඩකර ඇති බවයි වාර්තාවන්නේ.

ගම්පහ අඩවි වන නිලධාරින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අධිකරණයෙන් නඩුවක් ද ගොනුකර තිබෙනවා

මිට අමතරව මෙම දුපත සංරක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට ද ගම්පහ අඩවි වන නිලධාරී කාර්යාලය පියවර ගනිමින් සිටිනවා.

අප සමග කතාකළ දේවානි ජයතිලක මහත්මිය අපට පැවසුවේ, වැඩිදුර තොරතුරු අවශ්‍යනම් නිත්‍යානුකුල ලෙස තමාගෙන් ඉල්ලීමක් කරන ලෙසයි.

නීතියට පිටින් කිසිවක් නොකරන බව ඇය අපටද පැවසුවා ෴

+++++++++++++++++++++

මීගමුවේ වීඩියෝවට විජිතමුණි සොයිසාත් ගෑවෙයි – ධීවර රාජ්‍ය ඇමති කරුණු කියයි

(12.02.2020 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට, රාජ්‍ය නිලධාරිණියක්, දැඩි ප්‍රතිචාර පළ කරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වීඩියෝව සම්බන්ධයෙන් අද (12) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිළි කළා.

මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිණි දේවානි ජයතිලක මහත්මිය මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයාට දැඩිව ප්‍රතිචාර දක්වා තිබුණා.

හෙක්ටයාර 1.4 ක වපසරයකින් යුතු මීගමුව – සින්නඩිතෝට්ටම් දුපත සම්බන්ධයෙන් මෙම ගැටළුකාරී තත්ත්වය මතුව තිබුණේ කළක සිටයි.

වසර කිහිපයකට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමි ප්‍රදේශයේ කඩොලාන කපා ක්‍රීඩා පිටියක් සකස් කර තිබුණා.

ඒ, මීගමුව මුන්නක්කරය – ශාන්ත නිකුලා සිංහල මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලයට ක්‍රීඩා පිටියක් නොමැතිවීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙය රජයට අයත් ඉඩමක් වීම හේතුවෙන් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් ගම්පහ වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් එය ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුණා.

ධීවර දෙපාර්තමේන්තුව විසින් මෙම දූපතට පස් තොගයක් ගෙනවිත් දමා ඇති අතර, එය ඉවත් කරගන්නා ලෙසටද අධිකරණය නියෝග කර තිබුණා.

ඒ අනුව මෙම ක්‍රීඩාපිටිය පිළිබඳ යළි කථාබහට ලක්වන්නේ පසුගිය 10 වනදා මීගමුව කළපු සංවර්ධන රැස්වීමේදියි.

එමෙන්ම, එම දූපතට යාබදව ධීවර දෙපාර්තමේන්තුව විසින් කලපු සංවර්ධන වැඩසටහනක් යලි ආරම්භ කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විඩියෝ පටයට අදාල මෙම ගැටලුව සිදුව ඇත්තේ එය සිදුකිරිමට අවශ්‍ය නිර්දේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

මෙම රැස්වීමේදී කරුණු දැක්වූ දිසා වන නිලධාරිණිය කියා සිටියේ කඩොලාන පද්ධතිය ඇතුලූ වනාන්තර එළිපෙහෙළි කරමින් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම තුළින් ඔක්සිජන් ප්‍රතිශතයට බලපෑමක් එල්ල වන බවයි.

කෙසේ වෙතත් වන නිලධාරිණියගේ මෙම ප්‍රකාශයත් සමඟ එම අවස්ථාවට එක්ව සිටි පිරිස ඇයට විරෝධය පළ කළා.

මේ අතර ප්‍රදේශයේ ළමයින් පිරිසක්ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට ක්‍රීඩා පිටියක් නොමැති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (12) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ක්‍රීඩා පිටිය සකස් කිරීමට එකඟ වී ඇත්තේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

වියත්මග පිරිසකුත් මැතිවරණයට එනවා..

(12.02.2020 – 12:00 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී :

“සෑම ක්ෂේත්‍රයකම අයට මැතිවරණයට තරඟ කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් වියත්මගට විතරක් ඒ අයිතිය නැද්ද. ඔවුන්ටද ඒ අයිතිය දිය යුතුයි. ඔවුන් වෘත්තීයවේදීන්ගේ සංවිධානයක්. ඔවුන් ජනාධිපතිවරණයේ දී අපට සහාය දැක්වූවා. ඔවුන්ගෙන් යම් පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ඉල්ලා තියෙනවා. ඔවුන්ටද යම් අවස්ථාවක් ලැබෙයි.

දිණන පිලේ තමයි තියුණු තරගයක් තියෙන්නේ. පරදින පිලෙන් කවුරුවත් ඡන්දය ඉල්ලන්න දඟලන්නේ නැහැ නේ. නව සමසමාජ පක්ෂය කොළඹ මහනගර සභාවට තරග කරද්දී අපේක්ෂකයන් 58 දෙනා හොයාගන්නටත් ලොකු සටනක් දෙන්නට වුණා යැයි වික්‍රමබාහු කරුණාරත්න මහතා සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණා. මොකද පැරදෙන්න ඉදිරිපත් වෙන තැන තරගයක් නෑ. දිණන තැන තියුණු තරගයක් තියෙනවා.

අපට ඒ ඒ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ හැකියි හොඳම පිරිස, සමාජයේ සියලුම පැතිකඩවල් නියෝජනය වන හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. මොකද දේශපාලනයේ දී වඩා වැදගත් වන්නේ ඔබට දේශපාලනය පුළුවන්ද කියන එකයි. ඒකත් වෙනම ම වෘත්තියක්. දේශපාලනයේදී ඔබට ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීමට තරම් හොඳ ඉවසීමක් තියෙන්න ඕනෑ. ජනතාවගේ ප්‍රශ්න වලට සංවේදී වන හදවතක් තියෙන්ට ඕනෑ. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු හඳුනා ගැනීමට තරම් ඔබ නිර්මාණශීලී වෙන්නට ඕනෑ. පිළිතුරු ක්‍රියාත්මක කිරීමට තරම් හොඳ කොන්දක් තියෙන්න ඕනෑ. ඒ ක්‍රියාත්මකවීම අධීක්ෂණය කිරීමට තරම් කලමනාකරන හැකියාවක් තියෙන්න ඕනෑ.

ඔන්න ඔය ලක්ෂණ ඔබ සතුව තියෙනවා නම් කෙනෙකුට දේශපාලකයෙකු වෙන්නට පුළුවන්. ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මහතා ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ඉංජිනේරුවා. නමුත් එතුමාට සීසේරියන් සැත්කමක් කරන්නට භාර දුන්නොත් ඒක කරන්නට බැහැ. ඒ වගේ ඔබ නළුවෙක් වෙන්න පුළුවන්, වියතෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, ඒ මොන කෙනෙක් වුණත් ඔබ දේශපාලනය දැනගෙන දේශපාලනඥයෙකු වෙන්නට ඕනෑ. එහෙම නොවුනොත් තමයි අර හඬ පට හුටපට වගේ දේවල් වෙලා පාර්ලිමේන්තුවද විහිළුවක් බවට පත් වෙන්නේ.”

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

***************************************

Rupavahini TV – Ayubowan Suba Dawasak – 2020-02-11
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The Undisciplined student that got beaten up for ragging new female students, I say good, serves him right. Let this be a lesson to those evil minded students in universities that behave like demons enforcing their will and dirty and cruel behaviour towards novices. I hope that the police will act positively to send this male student and his coherts to prison, as well as dealing with any of similar kind in future. Time to stop this evil habits and behaviour in our uinversities and higher education institutes.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *