රටටම කුණු කේක් කවා මාට්ටු වූ ‘මදීනා ෆුඩ්ස්’ ඌරා අලුත් නමකින් එයි !

(12.02.2020 – colombotoday.com ඇසුරෙන්)

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත්දා සීල් තැබූ වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කේක්, පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කරන ‘මදීනා ෆුඩ්ස්’ ආයතනය වෙනත් නමකින් ලියාපදිංචි කර නැවත ව්‍යාපාර කටයුතු ඇරඹිමට කටයුතු කර ඇත.

එම ආයතනයට අයත් වත්තල ප්‍රදේශයේ ගබඩා ස්ථානයකින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් භාණ්ඩ ටොන් 17.5 ක් ආහාර නිෂ්පාදන සදහා කලවම් කරමින් සිටියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහොමඩ් මමුලා නම් පුද්ගලයෙකු අධ්‍යක්ෂක ධුරය දරන මෙම ආයතනයට උලමා සභාවේ හලාල් සහතිකයද නිකුත් කර තිබිණි.

+++++++++++++++++++++++++++++++++++

01-02-2020

***************************************

මහරගම පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

(12.02.2020 – colombotoday.com)

Pet CT Scanner යන්ත්‍රය මිලදී ගැනීම සඳහා M S H මොහොමඩ් නැමැත්තා විසින් පවත්වාගෙන යන කජිදා පදනම නැමති පුද්ගල සංවිධානය මහරගම ලංකා බැංකුවේ 71275069 අංක දරන ගිණුමට මුදල් රැස් කිරීමට පියවර ගෙන තිබුනත් ඒ සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් පුර්ව අනුමැතිය ලබාගෙන නොමැති බව කළමනාකරණ විගණන වාර්තාවේ සඳහන් කර ඇති බව අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියා.

කජිදා පදනම Fight Cancer Trust (guarantee) Ltd යන ලිපි ශිර්ෂ භාවිතා කරමින් තම සංවිධානය පවත්වාගෙන යන අතර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එම සංවිධානය විසින් කිසිදු මුදලක් ලබාදී තිබුණු බව තහවුරු නොවූ බවත් එවැනි තත්වයක් යටතේ මහජන මුදල් රැස්කිරීම සඳහා අනිසි අධිකාරි බලයක් එම පදනම වෙත ලැබී තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. මහජන මුදල් රැස් කිරීමට බාහිර පාර්ශවයට ලබාදී ඇති බලය වහාම අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවට විගණන වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

Pet CT Scanner යන්ත්‍රය මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ අවම ලංසුවට එය ලබා නොදී වැඩිම ලන්සුව ඉදිරිපත් කර තිබූ ලංසුකරුට කොන්ත්‍රාතුව පිරිනමා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇති බව පෙන්වා දුන් ඥානසාර හිමියෝ පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 දිනට පසුදින එනම් අප්‍රේල් 22 ක රුපියල් මිලියන 20 ක් මෙම ගිණුමට ලැබී ඇති බවත් අප්‍රේල් 23 වන දින මිලියන 2 ක් ගිණුමට ලැබී ඇති බවත් අවධාරණය කර සිටියහ.

2019-5-30 දින මහරගම අපේක්ෂා රෝහලේ ගණකාධිකාරීවරයා විසින් සෞඛ්‍ය ලේඛම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවත් එම ලිපිය මගින් Fight Cancer Trust නැමති පුද්ගල සංවිධානයක් විසින් රු.මි.1000 ක් වටිනා ටෝමෝ තෙරපි යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් මුදල් රැස් කරන බව දන්වා ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

කෝටි දෙකක් වැයකර පෙට්‌ යන්ත්‍රයක් 2017 වසරේදී මුදල් රැස්කර මිලදී ගත් බවත් එය වැරදි බව පෙන්වා දෙමින් රජයේ විගණන අංශය වෙතින් පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට නිර්දේශ කර ඇති බවත්, නව ව්‍යාපෘතිය යටතේද වැරදි සිදුවන බවත් ගණකාධිකාරීවරයා පෙන්වා දී ඇත.

මෙම සංවිධානය සුදුසු ව්‍යාපෘතියක් අනුමත කර නොමැති වීමත්, සමාජ සේවා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නොතිබීම. මෙම සංවිධානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නොතිබීම. මෙම සංවිධානය වෙතින් කිසිදු මුදලක් මේ සඳහා පරිත්‍යාග කර නොතිබීම. යන කරුණු ගණකාධිකාරීවරයා ලිපිය මගින් පෙන්වා දී ඇත.

මෙලෙස අපේක්ෂා රෝහලට යැයි පවසමින් එකතු කරන මුදල් ‘ජාතික සෞඛ්‍ය අරමුදල’ට ලබා දෙන බව ප්‍රකාශකලත් අපේක්ෂා රෝහලට කිසිම මුදලක් නොලැබෙන බවත් මෙම මුදල් එකතු කිරීම විනිවිදභාවයෙන් යුතුව සිදු නොවන බවත් ඥානසාර හිමියෝ අවධාරණය කර සිටියහ.

M S H මොහොමඩ් නැමැත්තා විසින් විකිරණ මැෂින් 1 ක් ලබාගැනීම සඳහා මුදල් රැස් කිරීම සිදුකලද දැනට එවැනි යන්ත්‍ර 3 ක් රෝහලේ තිබෙන බවත් මීළඟ සතියේදී එම මැෂින් භාවිතයට යොදාගන්නා බවත් තවත් යන්ත්‍රයක අවශ්‍යතාවය රෝහලට නොමැති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසූ බවත් ඥානසාර හිමි පැවසීය.

2014 සිට 2019 දක්වා කෙටි කාලයක් තුල මෙම පුද්ගලයා අතිවිශාල ධනස්කන්දයක් තිබෙන ධනවතෙක් වී තිබෙන බවත් රෝහලේ නම භාවිතා කරමින් සිදුකෙරෙන මුදල් රැස් කිරීම් පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකවරයා මිරිහාන සහ මහරගම පොලිසිවලට පැමිණිලි කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයාගේ නිළ කාමරය පුපුරුවා දමන බවට 2019 අප්‍රේල් මාසය මුලදී මොහොමඩ් නැමැත්තා රෝහල තුලදීම අධ්‍යක්ෂකවරයාට තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කලත් නිසි විමර්ශනයක් සිදුවී නැති බවත් ඥානසාර හිමියෝ අවධාරණය කර සිටියෝය.

***************************************

නඩු නවත්වන්න මට බලයක් නෑ – නීතිපති දප්පුල

(13.02.2020 – 09:47 +0530 – lankadeepa.lk)

රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විමර්ශන අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තැබීමට තමාට බලයක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (12) දැනුම් දුන්නේය.

අධිකරණය හමුවේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින් බවත් එය විධායක බලතලවලින් බැහැර කාර්යයක් වන බවත් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති නීතිපතිවරයා අධිකරණයක් ඉදිරියේ ඇති සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හෝ නීතිපතිවරයාට නියෝග දීමට කොමිෂන් සභාවකට බලයක් නැති බව ද වැඩිදුරටත් අවධාරණය කොට ඇත.

නීතිපතිවරයා මෙම ලිපිය යවා ඇත්තේ රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය පෙබරවාරි 3 දාතමින් යවා තිබූ ලිපියට පිළිතුරු වශයෙනි.

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වෙයි. 2020.02.03 දිනැති ඔබගේ ලිපියේ කරුණු කෙරෙහි මාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මූල සිටම නිරීක්ෂණය වන්නේ එහි සඳහන් කරුණු සාක්ෂි මගින් තහවුරු වී නැති අතර, එකී කරුණු විමර්ශනයට ද භාජන වී නැති බවය.

තවද අධිකරණය ඉදිරියේ පවතින ක්‍රියාවලියක් අත්හිටුවිය හැකි වනුයේ අධිකරණ නියෝගයකින් වන අතර එවැනි කටයුත්තක් විධායක බලතලවලින් බැහැර කාර්යයක් වනු ඇති බව ද දන්වමි.

පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය වූ) යටතේ විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් අනතුරුව උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් නිර්දේශ එකී සිද්ධිය හෝ කාරණය පවතින අධිකරණ ක්‍රියාවලියක් මගින් සලකා බලා එකී සිද්ධිය හෝ කාරණය මගින් එකී අධිකරණමය ක්‍රියාදාමයට අගතිගාමී බලපෑමක් සිදු වේ ද යන්න සලකා බැලීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දීම අදාළ සිද්ධිය හෝ කාරණය පවතින අදාළ අධිකරණමය ආයතනය සතු වගකීමක් බව වැඩිදුරටත් දන්වමි.

එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) සමග කියවිය යුතු 105 ව්‍යවස්ථාව ප්‍රකාරව, නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන ආයතනයකින් එවැනි නියෝගයක් නොමැති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කටයුතු කර පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට මා සහ මා යටතේ කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යය බාරයක් වන අතර එම කාර්යයෙන් බැහැරව කටයුත්තක් කිරීමට මා හට හෝ මාගේ නිලධාරීන්ගේ බැහැර කාර්යයක් වනු ඇත.

තවද නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන අධිකරණයක් හා ආයතනයක් ඉදිරියේ පවතින සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීම හෝ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් නීතිපති වෙත නියෝගයක් නිකුත් කිරීමට 2008 අංක 16 දරන කොමිෂන් සභා පනතින් සංශෝධිත කොමිෂන් පරික්ෂණ සභා පනත (393 අධිකාරය වූ) යටතේ කොමිෂන් සභාවට බලයක් නොපවතින බව ද මින් සඳහන් කරමි.

තවද ඔබගේ ලිපියේ 03 වන ඡේදයේ සඳහන් කරුණු මාගේ F/33/2019 සමාංක සහ 2020.01.20 වන දින ලිපියේ සඳහන් කරුණු නිවැරැදිව පිළිබිඹු කිරීමක් නොවන බව ද මින් දන්වමි.

+++++++++++++++++++++

12-02-2020

***************************************

චිත්‍රපට සංස්ථාවේ සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීමට කොමිසමක් ඉල්ලයි

(12.02.2020 – 15:55 +0530 – lankadeepa.lk)

ඉකුත් රජය සමයේදී ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිදුව ඇතැයි පැවැසෙන සේවක බඳවාගැනීම් හා මූල්‍ය ගනුදෙනු ඇතුළු විවිධ අක‍්‍රමිකතාවයන් සෙවීම සඳහා කොමිසමක් පත්කරන්නැයි එහි වෘත්තිය සමිති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

ජාතික චිත‍්‍රපට සංස්ථාව, මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක්ව තිබියදී ජනාධිපතිවරණ සමයේදී නවක සේවකයන් 35 දෙනෙකු බඳවා ගැනීම සහ එම සම්මුඛ පරීක්‍ෂණ සඳහා රුපියල් ලක්‍ෂ 34 ක මුදලක් වියදම් කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම ජාතික චිත‍්‍රපට සංස්ථාවේ විවිධ සංවර්ධන කටයුතු සඳහා ඇස්තමේන්තු ගත නොවී ගිවිසුම් රහිතව ඉදිකිරීම් කටයුතු කිරීම, ජනාධිපතිවරණ සමයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් තනතුර සදහා නීති විරෝධීව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා වර්තමානයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයායෙග් ඥාතියකු බදවා ගැනීම, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නොතකා ඊ.ඒ.පී සමාගමට විදේශීය චිත‍්‍රපට අනායනයන කිරීමේ බලපත‍්‍රය ලබාදීම ඇතුළු වංචනික ක‍්‍රියා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙසද වෘත්තීය සමිති එම ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.

කැලණිය දළුගම චිත‍්‍රාගාරයේ සංස්කරණ මැදිරිය සදහා නියම වටිනාකමට වඩ වැඩිපුර මුදල් ගෙවමින් (මිලියන 30) තාක්‍ෂණික උපකරණ මිලදී ගැනීම (උපකරණවල නියම වටිනාකම රුපියල් මිලියන 17) වේ. එමෙන්ම ඉන්දියාවේ පැවැති චිත‍්‍රපට සංරක්‍ෂණ වැඩමුළු 3ක් සදහා නුසුදුසු සේවකයන් තෝරා යැවීම සහ විදේශීය චිත‍්‍රපට ආනයන කිරීමේදී රේගු ගාස්තු නොගෙවීමෙන් රුපියල් කෝටි ගණණක මුදලක් රජයට අහිමිකිරීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා කඩිනමින් කොමිසමක් පත්කරන ලෙස වෘත්තීය සමිති එම ලිපිය මගින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ ෴

***************************************

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී රුපියල් කෝටියකට අධික හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

(13.02.2020 – 09:34 +0530 – lankadeepa.lk)

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ සැකකරුවකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 15 ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඊයේ (12) රාත්‍රී 11.15 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස බඩෝවිට දෙවැනි අදියර ප්‍රදේශය පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිසියට බාරදී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *