පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

(17.11.2017 – 22:43 +0530 – lankadeepa.lk)

ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ. හෙට (18 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකාදීපය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.

බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත ෴

+++++++++++++++++++++++++++++++

ගාල්ල ගිංතොට ඡායාරූප මෙන්න
(18.11.2017 – nethnews.lk)

ගාල්ල ගිංතොට දී ඊයේ (17) පස්වරුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයට අදාළ ඡායාරූප රැසක් nethnews.lk වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප අතරින් තෝරාගත් කොටසක් පහතින් දැක්වෙනවා :











+++++++++++++++++++++++++++++++

ගාල්ලේ ගැටුමෙන් 19 ක් අත්අඩංගුවට
(19.11.2017 – 00:00 +0530 – lankadeepa.lk)

ගාල්ලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව කතා පතුරවන පිරිස් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. ගාල්ල ප්‍රදේශයේ ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇති අතර, ප්‍රදේශය සාමකාමී බවද පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් දැනට 5 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඉන් දෙදෙනෙකු ගම්වැසියන් වන අතර තිදෙනෙකු පිටින් පහර දීමට පැමිණි අයවේ.

පැරැණි ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු පෙන්වමින් පිරිසක් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද රුවන් මහතා පැවසීය.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා 300 කට වැඩි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් යොදවා තිබේ ෴

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

‘මම තමයි උඹලගේ ගැලවුම්කාරයා, ඔන්න මම උඹලව පරිසම් කළා, ගල් ගැහුවා, ගෙවල් කුඩු කළා’ – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි
(18.11.2017 – webgossip.lk)

ගිංතොට සිද්ධිය ගැන රටේ ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා.

ඊයේ ඇතිවුණු මේ සිද්ධිය නිසා පොලිස් ඇදිරි නීතියත් යොදවන්න පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණා.

මේ සිද්ධිය ගැන සමහරු විවිධ කතා කියන්න පටන් ගත්තා.

කොහොම වුණත් මේ සිද්ධියට මුහුණදුන්නු ප්‍රදේශවාසියෙක්ව සම්බන්ධකරගන්න වෙබ් ගොසිප් අපිට පුළුවන් වුණා.

ඔහු අපිට කිව්ව මෙන්න මේ වගේ කතාවක් :

‘‘ඇත්තම කියන්නම් මහත්තයා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඡන්දයක් කිට්ටුවෙනකොට ඔහු කරන වැඩක් තමයි මොකක්හරි කෝලහාලයක් ඇති කරන එක. හැමපාරම සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇති කරනවා. අන්තිමට ගහගන්නවා. පස්සේ මේ මන්ත්‍රීවරයා මැදිහත් වෙලා මේක සමතයකට පත්කරනවා.

පොලිස් පොතේ ලියන්නේ නැතිව වැඩේ ෂේප් කරලා මෙයා කියනවා ඔන්න මම උඹලව පරස්සම් කළා. මම තමයි ගැලවුම්කාරයා කියලා.
වැඩ කරලා ඡන්දේ ගන්න බැරිකම නිසා මේ වගේ දේවල්වලින් තමයි ඡන්දේ දිනන්න හදන්නේ.

හැබැයි මේ පාර ඒක කරන්න් බැරි වුණා. මිනිස්සු වගේම හාමුදුරුවරු කිව්වා මේ දේවල් පොලිස් පොතේ ලියන්න ඕනේ කියලා.

මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.

පස්සේ මේක පොලිස් පොත්වල ලියලා STF එකත් ඇවිත් සමතයකට පත්කළා.

ඊයේ සිකුරාදනේ. පල්ලි ගිහින් එද්දි ආයෙත් මේක ඇවිලුනා. මොකද පොලිසිය ඉද්දි ඊයේ STF එක ගිහින් තිබුුණේ.

සිංහල මුස්ලිම් දෙගොල්ලොම ගහගන්න පටන් ගත්තා. ගෙවල් කුඩු කළා. ගල් ගැහුවා..

ඇත්තටම සිද්ධ වුණේ ඔන්න ඕකයි. මිනිස්සුන්ව අවුලවලා වාසි බලාගන ඉන්න එක මිනිහෙක් නිසා අද රටේ ජාතිවාදයක් ඇවිස්සෙන තැනට ඇවිත්.”

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

සංහිදයාවේ තරම මෙන්න.. ගිංතොට ගැටුමේ සුලමුල බොදු බල සේනාව කියයි..
(19.11.2017 – 06:25 +0530 – lankacnews.com)

ගාල්ලේ ගිංතොට ප‍්‍රදේශයේ ඇතිව වූ සිදුවීමෙන් ආන්ඩුවේ සංහිදියාවේ තරම හොදින්ම පෙනී යන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත.

පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.

ගැටුම් නිරාකරණයේ දී බොහෝ දේශපාලන නායකයින්ගේ අදූරදර්ශි පියවර හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට අනවශ්‍ය බලපෑම් කිරීම මෙවැනි තත්ව වර්ධනය විමට බලපාන බව අපට වාර්තා වී ඇත.. සංහිඳියාව ඇති කිරීමට රජයේ අපොහොසත් වීම හා ඵලදායී නොවන ප්‍රවේශයන් ද මෙහිදී අපගේ අවදානයට යොමු විය යුතුය.

ගින්තොට ප්‍රදේශයේ යතුරුපැදි අනතුරක් සිදූ වූ විට එය පැද වූ සිංහල ජාතිකයාට ප්‍රදේශයේ බහුතරයක් වූ මුස්ලිම් පිරිස සමග සිටින අන්තවාදී පිරිසක් විසින් පහර දීම නිසා ඇති වූ ගැටලුව විසදීම සිදු නොකොට එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වූ පසු මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට යම් සිංහල දේශපාලකයින් හා එම ප්‍රදේශයට අදාල නොමැති අන්තවාදී මුස්ලිම් දේශපාලකයින් විසින් ගනු ලබන උත්සහයන අප පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

පසුගියදා ගම්පොල කඨින පිංකමක පෙරහැරකට මුස්ලිම් අන්තවාදී පිරිසක් පල්ලිය ඉදිරියේදී ගල් ගැසීම නිසා සිදු වීමට ගිය අනතුර වලක්වා ගැනිමට හැකි වුවද දිගින් දිගට මෙසේ කටයුතු කිරීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බව අපගේ මතයයි.

මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය අප රටට පමණක් නොව මුලු ලෝකයටම හිරිහැරයක් වී තිබෙන මොහොතක මේ රට තුල ඉතා සුලුවශයෙන් ක්‍රියාත්මක වෙන අන්තවාදය පාලනය කිරීමට රජය, දේශපාලකයින්, විශේෂයෙන් මුස්ලිම් ආගමික නායකයින් කටයුතු නොකලහොත් රට ඉතා භයානක තත්වයකට ඇද වැටිම වැලැක්ව්ය නොහැකි බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු.

ඉදිරි වසර 10 තුල රට දියුණු කිරීම ඉලක්ක කොට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාමික ආගමික කණ්ඩායම් සමග මෙන්ම සිංහල හා දෙමල ජනවාර්ගික කණ්ඩායම් සමග මේ වන විට බොදු බල සේනා ආරම්භ කල විද්වත් සංවාද මාලාව මේ සියලු තත්ව තුල ඉදිරියට ගෙන යන බවත් තවදුරටත් ප්‍රකාශ කරන අතර සියලු දෙනාට කල්පනාකාරීව වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

– බොදු බල සේනා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *