එයාබස් ගනුදෙනුව පිටුපස කතාව

(11.02.2020 – 11:32 +0530 – lankadeepa.lk)

කාරණය කරළියට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන්සේවය කළ එයාර්බස් ඒ-350 ගුවන්යානා ප්‍රසම්පාදනයක් අරබයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් කුමන අයුරකින් ඉදිරි පියවර ගතයුතුව තිබේදැයි සිතාගත නොහී, මාස කිහිපයක් පුරාවට වගකිවයුත්තන් දෙපසට වැනෙමින් සිටි අවස්ථාවකය.

හදිසියේම පසුගිය සතියේ පොලිසියට නියෝගයක් නිකුත් කළ නීතිපති ජෙනරාල් දෙපාර්තමේන්තුව වංචාවක් සිදුකර ඇතැයි යන චෝදනාව මත ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වන කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලී විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ අතර, රජයේ එක්තරා අමාත්‍යවරයෙක් පැවසුවේ ඔවුන් රටේ නොමැති බවය. පසුව යුවළ ගෙවුණු බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණ භාරවිය. ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කැරුණු අතර, දෙදෙනා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම අනපේක්ෂිත සිදුවීමට මුල් වූයේ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ විධායක නිලධාරියකුගේ භාර්යාවකට බෲනායිහි ලියාපදිංචි කර තිබෙන, වෙනත් පුද්ගලයෙක් හෝ සමාගමක් වෙනුවෙන් පෙනී සිටින සමාගමක් හරහා ඩොලර් ලක්ෂ 168.4 ක් දක්වා මුදලක් පරිනමා තිබෙන එයාර්බස් සමාගම, එයාර්බස් ගුවන්යානා 10 ක් මිලයට ගන්නා ලෙසත් තවත් අමතර ගුවන්යානා 4 ක් කල්බදු පදනම යටතේ ලබාගන්නා ලෙසත් ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙත බලපෑම් කරන්නැයි ඉල්ලා තිබෙන බවට බ්‍රිතාන්‍යයේ අධිකරණයක් හමුවේ අනාවරණය වීමය. ලන්ඩනයේ විශේෂ වංචා කාර්යාලය (එස්එෆ්ඕ) එසේ පිරිනමන බව පැවසුනු ඩොලර් ලක්ෂ 168.4 ක මුදලින් ගෙවා තිබෙන්නේ ඩොලර් ලක්ෂ 20 ක මුදලක් පමණක් බව සොයාගෙන ඇතැයි අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු අනාවරණය විය. මිලදී ගැනීමට නියමිත වුණු ගුවන්යානා 10 න් 4 ක් නව ඒ 350-900 වර්ගයේ ගුවන්යානා වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ මෙම යානා සම්බන්ධයෙන්ය. ඒ අරබයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් තොරතුරු බ්‍රිතාන්‍ය අධිකරණයක් ඉදිරියේ මෙම කාරණය සම්බන්ධයෙන්ම වූ වෙනත් කරුණු කාරණා අනාවරණය වනතෙක්ම පැවතියේ සැඟවීය. අඩුම තරමින් ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ එක් අධ්‍යක්ෂවරයෙක් මීට වසර 5 කට පෙර සියල්ල නිසි අයුරින් සිදුනොවන බව අවබෝධ කරගෙන සිටියේ ය. ඔහු ගැටලුව මතු කළ ද, එය ඉදිරියට ගෙන යාමෙහි ලා අසාර්ථක විය.

මෙම සිදුවීමේ සංක්ෂිප්තයක් ගෙනහැර දැක්වුවහොත්, එය මෙවැනිය.

2013 ජූනි මස 28 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන්සේවය ප්‍රංශයේ එයාර්බස් එස්.ඒ.එස්. සමාගම සමඟ ඒ 350-900 වර්ගයේ ගුවන්යානා 4 ක් නිෂ්පාදනය කිරීම සහ එම යානා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීම ද, ඇතුළත් – ගුවන්යානා මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති කරගත්තේය. ගුවන්යානා මෙරටට ලබාදිය යුතු දිනයන් ලෙස සඳහන් වූයේ 2020 වසරේ දෙවන කාර්තුවයි. අවසාන යානය 2021 වසරේ පළමු කාර්තුව ඇතුළත ලබාදිය යුතු විය. මෙම ගුවන්යානා 4 මිලයට ගැනීම සඳහා දැරිය යුතු වූ මුළු පිරිවැය ඩොලර් 222,356,600.85 ක් විය. එය ඩොලර් බිලියන 2.2 කට වැඩි නොඑසේ නම් එවක පැවැති විනිමය අනුපාතිකයට අනුව රුපියල් බිලියන 28.2 කට වැඩි මුදලකි. 2012-2013 වකවානුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මූල්‍ය තොරතුරුවලට අනුව ශ්‍රී ලන්කන් ගුවන්සේවය උපයා ඇති බවට වාර්තා කර තිබුණේ ඩොලර් මිලියන 948 ක මුදලකි. එය මගීන් 4,140,305 ප්‍රමාණයකට ප්‍රවාහන පහසුකම් සැපයීමෙන්ය. 2015-2016 සමයේ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සමස්ත කාර්යසාධනය ඩොලර් මිලියන 1251 ක් වූ අතර, එය මගීන් 4,789,902 කට ප්‍රවාහන පහසුකම් සැපයීමෙන් උපයා ගත්තක් විය. එනම්, එයාර්බස් ඇණවුමේ වටිනාකම, ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ මෙහෙයුම් වියදමටත් වඩා ඉහළය.

පූර්ව – ප්‍රවාහනය කිරීමේ ගාස්තු ලෙස ශ්‍රී ලන්කන් ගුවන්සේවය 2016 නොවැම්බර් මාසයේ සිට ගෙවීම් සිදුකළේය. එසේ ගෙවන ලද මුදල ඩොලර් 19,214,638.45 ක් විය.මෙම මුදල ගෙවූයේ පූර්ව – ප්‍රවාහන ගාස්තුවක් ලෙස තවත් ඩොලර් ලක්ෂ 75 ක් ගෙවීමට අමතරවය. කෙසේවුවත් එම මාසයේදීම තවත් ගෙවීම් සිදුනොකිරීමට ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ ය. ඒ වනවිට ගුවන්යානා ගනුදෙනුව සිදුවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය බලයෙන් පහව තිබිණ. බලයට පැමිණ සිටියේ යහපාලන රජයයි. විවිධ හේතු ගෙනහැර දක්වමින් තවත් ගෙවීම් සිදුකැරෙන අතරම කාලය ගතවිය.

කරුණු කාරණා අනාවරණය වීමට ගත්තේ 2016 වසරේ යහපාලන රජය පැවැති රෙජීමයේ මූල්‍ය කටයුතු විමසා බැලීමට ගත්විටය. ශ්‍රී ලන්කන් ගුවන්සේවය අයත් වූ පොදු කර්මාන්ත සහ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා, එක් ගුවන්යානයක් සඳහා ආසන්න වශයෙන් මසකට ඩොලර් ලක්ෂ 14.5 ක මුදලක් ගෙවීමට සිදුවන බව කැබිනට් මණ්ඩලය හමුවේ පැවසුවේය. වසර 12 ක කාලයක් පුරාවට එම ගෙවීම් සිදුකළ යුතුව තිබෙන බව 2017 අප්‍රේල් මස 19 වැනිදා දාතමින් යුතු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඔහු කීවේය. මෙම ගනුදෙනුවේ මුළු පිරිවැය ඩොලර් ලක්ෂ 835 ක් වීමට යන බව අමාත්‍යවරයා පැවසුවේය. කල්බදු ගිවිසුම ඇතිකරගෙන තිබුණේ කල්බදු ක්‍රමයට ගුවන්යානා සැපයීමේ සමාගමක් වන අර්කැප් සමඟය. 2014 වසරේ දී, අර්කැප් සමාගම ජාත්‍යන්තර කල්බදු මූල්‍ය සමාගමේ සහතිකය ලබාගත්තේය. එම සහතිකය ලබාගැනීමට පෙර ද, ගෙවීම් සිදුකර තිබුණේ අර්කැප් සමාගමටමය.

එයාර්බස් සමාගම සමග ඇතිකරගෙන තිබුණු ගිවිසුම ගුවන් යානයේ සැකිල්ල සහ තෙරපුම් පද්ධතිය (ප්‍රොපල්ෂන් සිස්ටම්) මිලදී ගැනීම සඳහා පමණක් වීම මෙහිදී අවධානය යොමුකළ යුතු කාරණයකි. ගුවන්යානයේ වෙනත් අත්‍යාවශ්‍ය අංගෝපාංගයන්, එන්ජින් ද ඇතුලුව, මිලයට සහ සපයා ගැනීම සඳහා වෙනත් සමාගම් සමග වෙන් වෙන්ම ගිවිසුම් ඇතිකරගෙන තිබිණ. උදාහරණ – රෝල්ස් රොයිස් සමාගම සමග නිෂ්පාදන සහ සේවා ගිවිසුමක්, සෝඩියැක් සීට් ෆ්‍රාන්ස් සමාගම සමග නව ආසන මිලයට ගැනීම සඳහා ගිවිසුමක්, තේල්ස් ඒවියෝට්‍රොනික්ස් අයිඑන්සී සමාගම සමග ගුවන්යානයේ විනෝදාස්වාද උපකරණ මිලයට ගැනීම සඳහා ගිවිසුමක් සහ ගුවන් කුටිය නිර්මාණය කිරීම සඳහා ප්‍රංශයේ ලූක්ඩිසයින් සමාගම සමග ගිවිසුමක්. ඒ 350-900 ගුවන්යානා මිලයට ගැනීම අරබයා එයාර්බස් සමාගම සමග එකිනෙකට වෙනස් ගිවිසුම් 3 ක් ඇතිකරගෙන තිබිණ. මෙම එක් එක් ගිවිසුම්වලට වෙන වෙනම ගෙවීම් සිදුකළ යුතුවිය.

සන්ඩේ ටයිම්ස් හට සියැසින් දැකගැනීමට හැකිවූ මෙම ගනුදෙනුවට අදාළ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා, වෙනත් ලිපිගොනු, කැබිනට් පත්‍රිකා යනාදිය එයාර්බස් ගුවන්යානා මිලයට ගැනීමට කටයුතු කර තිබෙන ආකාරයේ ඛේදජනක ස්වභාවය මොනවට කියා පෑයේ ය. ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් විමසීමකට හෝ උපකාරයක් ලබාගැනීමට කැබිනට් අමාත්‍යවරුන්ට අවකාශ තිබී නැතිවා පමණක් නොව ගිවිසුම නීතිපතිවරයාගේ අධ්‍යයනයට හෝ යොමුකර නැත. මෙතැන දී මතුකර තිබෙන තර්කයව ඇත්තේ ශ්‍රී ලන්කන් යනු සමාගමක් බවත්, රජයේ කොටසක් නොවන බවත්ය. නමුත් එය පවත්වාගැනීමට වුවමනා වූයේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්ය. මහා භාණ්ඩාගාරය ශ්‍රී ලන්කන් වෙත පොම්ප කළ මුදල්, පතුලක් නොපෙනන ආගාධයකට දැමුවා වැන්න.

ශ්‍රී ලක්නක් ගුවන්සේවය ලාභ ලබන රාජ්‍ය කර්මාන්තයක් බවට පත්කිරීම සඳහා එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ගොඩනැගීමට 2015 ජූනි මස 24 වැනිදා කැබිනට් අමාත්‍යවරු තීරණය කළහ. ඒ අරබයා නයිරාස් සහ ස්කයිවර්ක්ස් යන සමාගම් ද්විත්වයෙන් රජය උපදේශන සේවා ලබාගත් අතර, එම සමාගම් දන්වා සිටියේ එයාර්බස් ඒ 350-900 ගුවන්යානයක් මෙහෙයුම් කටයුතුවලට එකතු කරගැනීම යනු වසරකට තවත් අමතර ඩොලර් ලක්ෂ 300 ක පිරිවැයක් දැරීමට සිදුවන්නක් බැවින් එම යානා නිර්දේශ නොකරන බවය. ඒ අනුව ගිවිසුම අවලංගු කිරීමට රජය තීරණය කළේ ය. නමුත් කබීර් හෂීම් පැවසූ ආකාරයට රජයේ එම තීරණයට එයාර්බස් සමාගම දක්වා තිබෙන ප්‍රතිචාරය මෙවැනිය.

අවලංගු කිරීම විකල්පයක් නොවේ. පටු බඳ (නැරෝ බොඩි) පන්නයේ ගුවන්යානා පමණක් ඇතුළත් කැරෙන පරිදි ඇණවුම වෙනස් කිරීමට නොහැකිය. පුලුල් බඳ (වයිඩ් බොඩි) ගුවන්යානා 4 ක්, ඇතැම් විට අමතර පටු බඳ ගුවන්යානයක් සමග ලබාදීමට හැකිය.

පූර්ව ප්‍රවාහන ගාස්තු ගෙවීමට අපොහොසත් වීම ශ්‍රී ලන්කන් සහ එයාර්බස් සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම උල්ලංඝණය කරන්නක් බවත්, එවැනි අවස්ථාවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් මුදල් ලබාගැනීමට එයාර්බස් සමාගමට හැකියාවක් තිබෙන බවත්, එම සමාගම දන්වා සිටියේ ය. ගිවිසුම සැබැවින්ම සකස්ව තිබුණේ එයාර්බස් සමාගමට වාසි සහගත වන පරිදිය.

එයාර්බස් ගනුදෙනුව අවලංගු කිරීමට රජය තීරණය කළේ මෙම අවස්ථාවේදීය. මේ අරබයා විමර්ශනයක් පැවැත්වීම පළමුවෙන්ම භාර කැරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එම විමර්ශනයෙන් අනාවරණය වන තොරතුරු සම්බන්ධයෙන් තමන්ව දැනුම්වත් කැරෙන තෙක් ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීම එයාර්බස් සමගාම ප්‍රතික්ෂේප කළේ ය. එය සියල්ල එක තැනක සිරකරවීමට සමත්විය. මේ අතරවාරයේ රජය සිටියේ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා භාවිත කළ හැකි ප්‍රභවයන් සොයමින්ය.

2015 ඔක්තෝබර් මස 27 වැනිදා පැවැති ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තාව දැකගැනීමට සන්ඩේ ටයිම්ස් හට හැකිවිය. එවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ අජිත් ඩයස් මහතාය. එම වාර්තාව මෙසේය.

ස්විට්සර්ලන්තයට සහ එක්සත් රාජධානිය වෙත එයාර්බස් සමාගම සපයා තිබෙන ගුවන්යානා මුල්කරගෙන එම සමාගමට එරෙහිව නැගී තිබෙන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යුරෝපා සංගමය විමර්ශනයක් පවත්වමින් සිටින බව අධ්‍යක්ෂ ජෝසප් එම්.එස්. බ්‍රිටෝ මහතා පැවසුවේ ය. එනිසාවෙන් එයාර්බස් සමාගමෙන් ගුවන්යානා මිලයට ගැනීම ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පැහැදිලි කැමැත්ත මත සිදුව තිබෙන්නක් නොවන බවත්, එපමණක් නොව එම ගනුදෙනුව සම්පූර්ණ වශයෙන් වානිජ්‍යමය කාරණා මත පමණක් නොව අනෙක් විවිධ මූල්‍යමය කාරණා සැලකිල්ලට ගෙන සිදුකෙරුණක් බවත් දක්වා, එසේ හෙයින් ගනුදෙනුව තහවුරු කරගැනීමේ දී යම්කිසි සාවද්‍ය කටයුත්තක් සිදුවූයේදැයි තහවුරු කරන ලෙස ඉල්ලා එම සමාගමට ලිපියක් යොමුකරන්නේ නම් එය අගය කරන බව ඔහු කීවේ ය. කල්බදු පදනම යටතේ ඒ 350 යානා ලබාගෙන තිබෙන්නේ එක් යානයක් ඩොලර් ලක්ෂ 14 ක මුදලකට බවත්, නමුත් ගිවිසුම අත්සන් තැබුණු සමයේ එම යානයක මිල වූයේ ඩොලර් ලක්ෂ 12 ක් බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

අධ්‍යක්ෂ බ්‍රිටෝ ගුවන්යානා මිලයට ගැනීම සඳහා එයාර්බස් සමාගම වෙත යොමුකිරීමට තිබූ ලිපිවල, එන්ජින් මිලයට ගැනීම සඳහා රෝල්ස් රොයිස් සමාගම වෙත යොමුකිරීමට නියමිතව තිබූ ලිපිවල, කල්බදු ක්‍රමය යටතේ ගුවන්යානා ලබාගැනීම සඳහා අර්කැප් සමාගම වෙත යොමුකිරීමට නියමිතව තිබූ ලිපිවල, කෙටුම්පත් සභාගත කළේ ය. ප්‍රධාන විධායක නිලධාරියා (ආරාධනයක් මත පැමිණ සිටි) එම ලිපි අදාළ පාර්ශ්වයන්ට යොමු කිරීමට එකඟ විය. යුරෝපා කොමිසමේ සභාපතිවරයාටත් පිටපත් කර තිබූ මෙම ලිපි එසේ යොමු කිරීම සඳහා, එම සභාපතිවරයාගේ ලිපිනය එවීමට අධ්‍යක්ෂ එන්. ද සිල්වා දේවා ආදිත්‍ය මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.

බ්‍රිටෝගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිණ. 2015 නොවැම්බර් මස 24 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී, ඔහු නැවතත් මෙම ගැටලුව මතු කළේ ය. එම රැස්වීම් වාර්තාවේ සඳහන් වන්නේ මෙවැන්නකි.

එයාර්බස් සමාගම සහ රෝල්ස් රොයිස් සමාගම වෙත ලිපි යොමු කිරීම අරබයා තමා කළ ඉල්ලීම බ්‍රිටෝ සිහිපත් කළේ ය. මේ වනවිට ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම එයාර්බස් සමාගම සමගත් රෝල්ස් රොයිස් සමාගම සමගත් ඒ 350 යානා සඳහා එන්ජිමක් ලබාගැනීම අරබයා සාකච්ඡා පවත්වමින් සිටින බව එම අවස්ථාවේ දී සඳහන් කළ සභාපතිවරයා, ශ්‍රී ලන්කන් සමාගම එම එන්ජිම නියත වශයෙන්ම ලබාගන්නා බව එම සමාගම්වලට දන්වා තිබෙන්නේයැයි පෙන්වා දුන්නේ ය. 2020 දී ලැබීමට නියමිත ඒ 330 යානයක් සම්බන්ධයෙන් ද, සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ඔහු පැවසුවේ ය. සමාගමේ ප්‍රධාන නිලධාරීන් – ප්‍රධාන විධායක නිලධාරියා, ප්‍රධාන තාක්ෂණික නිලධාරියා සහ මැණික් ගුණසේකර (සීසීඒඕ), එසේ ලිපි යොමු කිරීමෙන් දැනටමත් ගිවිසුම්වලට එළැඹ තිබෙන එම සමාගම් සමග ශ්‍රී ලන්කන් ගුවන්සේවයට පවතින සබඳතාවලට පලුදු වනු ඇතැයි මතයක සිටින බව සභාපතිවරයා කීවේ ය. මේ අරබයා මයුක රණසිංහගේ ද, (එච්ජීඑල්ඒ), අදහස් ලබාගෙන තිබිණ.

රෝල්ස් රොයිස් සමාගම සමග සහ එයාර්බස් සමාගම සමග වර්තමානයේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන හෙයින් සඳහන් කැරුණු ලිපි එම සමාගම් වෙත යොමු කිරීම සුදුසු නොවන බව ගුණසේකර මෙනෙවිය පෙන්වා දුන්නා ය. එයට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ විය.

මෙහෙයුම් කටයුතු සඳහා අලු‍තින් ගුවන්යානා එකතු කරගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වමින් සිටින විමර්ශනයන් හමුවේ බරපතළ අනාවරණයක් රැසක් සිදුව තිබෙන බව සභාපතිවරයා පැවසුවේ ය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් වාර්තාවට ඇතුළත් කැරුණු, නමුත් අදාළ පාර්ශ්වයන් වෙත නොයැවුණු, බ්‍රිටෝගේ ලිපියෙන් අනාවරණය වන කරුණු කාරණා බොහෝය.

එය මෙසේය.

ගරු මහත්වරුනි,

2016 ඔක්තෝබර් සිට 2020 දක්වා වන කාලය අතරතුර ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙත ලබාදීමට නියමිත ඒ 350-900 වර්ගයේ ගුවන්යානා 8 මිලයට ගැනීම සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරමු.

මෙම ගුවන්යානා මිලයට ගැනීමේ තීරණයට හුදෙක් වානිජ්‍යමය කාරණා මත පමණක් නොව වෙනත් මූල්‍යමය කරුණු කාරණා පදනම්ව තිබෙන බව පෙනෙන්නට ඇති හෙයින්, මෙම යානා ලබාගැනීම අප ගුවන්සේවයේ පරම වුවමනාවන් හා නොගැලපෙන බවට ලොව පිළිගත් ස්වාධීන ගුවන්සේවා උපදේශන සමාගම් ද්විත්වයක් අපව දැනුම්වත් කර තිබේ. එපමණක් නොව මෙම ගුවන්යානා සඳහා අප ගෙවා තිබෙන මුදල, එම සමයේ පැවැති වෙළඳපළ අගයට වඩා බෙහෙවින් ඉහළ බවට ද, අපව දැනුම්වත් කර තිබේ.

මෙම කාරණා සැලකිල්ලට ගෙන, ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙත මෙම යානා විකිණීම සඳහා පහසුකම් සැපයූ තෙවන පාර්ශ්වීය ඒජන්තවරයෙක් සහ හෝ උපදේශකවරයෙක් සමග ඔබ කටයුතු කළා ද, නැතහොත් ගනුදෙනු කළා ද, යන්න දැනගැනීමට අප කැමැතිය. එසේ කර තිබේ නම්, ශ්‍රී ලන්කන් ගුවන්සේවය මෙම ගුවන්යානා මිලයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි පාර්ශ්වයකට ගෙවා තිබෙන හෝ නැවත ගෙවිය යුතුවන ගාස්තු හෝ වේවා කොමිස් මුදල් හෝ වේවා වැටුප් හෝ වේවා, එම වටිනාකම ද, ඔවුන්ගේ නම, ලිපිනය සහ අදාළ සම්පූර්ණ තොරතුරු ද, අප වෙත ලබාදීමට කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. මෙසේ පහසුකම් සැපයූ පුද්ගලයින් හෝ ඒජන්තවරුන්, එසේ කටයුතු කර තිබෙන්නේ සමාගමක හෝ සීමාසහිත සමාගමක නමින් නම්, මෙම එකදු හෝ ගුවන්යානයක් විකිණීම සඳහා ඔබ එසේ සබඳතා පැවැත්වූ එවන් සමාගමක් නියෝජනය කළ සියලු‍ම පුද්ගලයින්ගේ නම් ලබාදෙන මෙන් ද, ඉල්ලා සිටිමු.

මිලයට ගැනීමේ කටයුතු සිදුව තිබෙන ආකාරය සම්බන්ධයෙන් අප කිසිවෙක් පැහැදීමකින් නොසිටින බැවින් ද, එයාර්බස් ගුවන්යානා විකිණීමේ දී සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් යුරෝපා කොමිසම අන්තර්ජාතික මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අපව දැනුම්වත් කර තිබෙන හෙයින් ද, මෙම කාරණය සම්බන්ධයෙන් පසුවිපරමක යෙදෙනු වස් මෙය යුරෝපා සංගමයේ සභාපතිවරයාට පිටපත් කිරීමට ද, අප කටයුතු කරමු.

ඔබ ලබාදෙන සහායට අප ස්තූතිවන්ත වන අතර, ඔබගේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමු.

විශ්වාසී,
සභාපතිවරයා.

මුදල් අමාත්‍යංශයේ ද, එකඟතාවය පළවූ කොන්දේසි මත සකස් කැරුණු ගනුදෙනුව අවලංගු කිරීමේ ගිවිසුම මෙසේ බව 2017 අප්‍රේල් මස 19 වැනිදා කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ ය.

● එයාර්බස් ඒ 350-900 ගුවන්යානා ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව : ඩොලර් ලක්ෂ 1540
● එයාර්බස් ඒ 350-900 ගුවන්යානා ත්‍රිත්වය සඳහා අඩු කැරුණු ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව : ඩොලර් ලක්ෂ 980
● ආරක්ෂිත තැන්පතුව (දැනටමත් ගෙවා ඇත) : ඩොලර් ලක්ෂ 75
● ශ්‍රී ලන්කන් ගුවන්සේවය සිදුකළ යුතු ගෙවීම : ඩොලර් ලක්ෂ 905

මෙම එකඟතාවය අර්කැප් සමාගම මිහින් ලංකා ගුවන්සේවය වෙත කල්බදු පදනම යටතේ ලබා දී තිබූ, පසුව ශ්‍රී ලන්කන් ගුවන්සේවය එම ගෙවීම් භාරගත්, පටු බද ගුවන්යානා දෙකක් සඳහා අදාළ විය. දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගුවන්යානා ත්‍රිත්වයේ ඇනවුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙත අවසරය ලබාදෙනු ලැබුණු අතර, ඩොලර් ලක්ෂ 750 – 850 අතර මුදලක පිරිවැයක් දරා ගැටලු‍ව අවසානයක් කළ යුතු විය. ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වූ කැබිනට් කමිටුවේ රැස්වීම් වාර්තාවක (මේ සඳහා අනුමැතිය ලබාදුන්) එසේ සඳහන් වේ.

නමුත් සන්ඩේ ටයිම්ස් ඇස ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන්සේවය සහ අන්තර්ජාතික මූල්‍ය සහ කල්බදු සමාගම අතර 2016 ඔක්තෝබර් මස 4 වැනිදා ඇතිකරගෙන තිබෙන, අවලංගු කිරීමේ සහ සංශෝධනය කිරීමේ යන මාතෘකාව දරණ ගිවිසුම ප්‍රකාරව – ‘මාස 8 ක් ඇතුළත කල්බදු ගෙවීම් සිදුකළ යුතු පාර්ශ්වය, කල්බදු පහසුකම ලබාදෙන පාර්ශ්වයට ඩොලර් 146,000 ක මුදලක් ගෙවිය යුතුය’.

ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ එවක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්තේ මහතාය. අන්තර්ජාතික මූල්‍ය සහ කල්බදු සමාගම නියෝජනය කරමින් එයට අත්සන් තබා තිබෙන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරී ෂෝන් සුලෙයිවන්ය.

එයාර්බස් සමාගම වසාගෙන සිටින අඳුරු වළා සමූහයක් හා අභිරහස්මය ගැටලු‍ ගොන්න මෙන්ම, ගිවිසුම අවලංගු කිරීම වෙනුවෙන් සැබෑවටම කොපමණ මුදලක් ගෙවා ඇති ද, යන්නත් අභිරහසකි.

එයාර්බස් ඒ 350-900 යානා සඳහා ගෙවන ලද මුදල් සියල්ල වාතලයට මුසුව ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලන්කන් ගුවන්සේවයට හෝ කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදීය.

මෙසේ සිදුව තිබෙන්නේ රෝගීන් හමුවීමට නියමිත වේලාව පසුවූ අවස්ථාවක පැමිණි ආගන්තුකයෙකුගෙන් රුපියක් 5 ක් ලබාගෙන රෝගියා හමුවීමට අවස්ථාව සලසා දුන්නේ යැයි රෝහලක සිටි මුරකරුවෙක් අත්අඩංගුවට ගැනුණු රටකය. එම මුරකරුවාව පළමු වතාවේදීම සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කැරිණ.

ශ්‍රී ලන්කන් ගුවන්සේවා පාරාදීසයේ සැරිසරා තිබෙන්නේ අතලොස්සකි. පැනය වන්නේ එම අතලොස්සක දෙනා කවුරුන් ද, යන්න අනාවරණය කරගැනීමට හැකිවනු ඇති ද, යන්නය.

පරිවර්තනය : කෝවිද ගුණසේකර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *