උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය

(17.11.2017 – 14:49 +0530 – lankadeepa.lk)

දකුණේ ඉදගෙන අපිට සංහිදියාව ගැන උගන්වන ඒ ගැන උස් හඩින් බෙරිහන් දෙන පාලකයන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරීම පිළිබඳව වචනයක් කථා කරන්නේ නැති බවත් මේ සම්බන්ධයෙන් වහාම රජය ප්‍රකාශයක් කළ යුතු යැයි උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ අද (17) පැවසුහ.

උතුරේ පාසලක් තුළ පාසල් සිසුන් ඉදිරිපිට දී පළාත් අධ්‍යාපන ඇමැතිවරයකු ජාතික කොඩියට අවමන් කළ සිදුවීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ උන්වහන්සේ මෙසේද පැවසිය.

‘‘මෙම ක්‍රියාව අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දී රාජ්‍ය මුදල් වලින් පඩි ලබමින්, දීමනා ලබමින්, ඉන්ධන සමඟ වාහන භාවිතා කරමින් මෙසේ හැසිරෙන්න කිසිම ජගතකුට බැහැ. පසුපසු ගිය කාලේ සිංහල බෞද්ධ කොඩියට, ජාතික කොඩියට අවමන් කිරීම් පිළිබඳව මහ හඬක් නගපු අය මේකට නිහඩ වෙලා. මේක නරක පුරවාදර්ශයක් මේ රට තවදුරටත් කොහාටද යන්නේ. දැන් සිංහල ජනතාව අවදි වෙලා ඉන්නේ. ලෝකයේ කිසිම රටක මෙවැනි දේ සිදුවන්නේ නැහැ’’ ෴

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

සිංහ කොඩිය රටේ ජාතික කොඩිය යයි පිලිගන්නේ නෑ…. ලංකාව සිංහල බෞද්ධ රටක් යයි එම කොඩියෙන් කියනවා…. – උතුරු පළාත් ඇමති….
(18.11.2017 – 10:40 +0530 – lankacnews.com)

සිංහ කොඩිය මෙරට ජාතික කොඩිය යයි පිලි නොගන්නා නිසා එය එසවීම ප‍්‍රතික්‍ෂෙප කලේ යයි උතුරු පළාත් අධ්‍යාපන ඇමති එස්. සර්වෂේවරන් මහතා පවසයි.

මෙම තීරණය දැනට වසර 67 ක පමණ කාලයක් තිස්සේ දෙමල නායකයන් විසින් කරගෙන ආ ප‍්‍රතිපත්තිමය තීරණයක් යයිද ඔහු සදහන් කරයි.

ජාතික කොඩියේ අසිපතක් අතින් ගත් සිංහයාගෙන් ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ද රටක් යයි හුවා දක්වා ඇති බවත් ඉන් අනෙක් ජාතීක් පහත් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේනිසා ජාතික කොඩිය සියළු ආගම් ජාතීන්වලට සමතැන් ලැබෙන සේ වෙනස් විය යුතු යයිද ඇමතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී ෴

+++++++++++++++++++++++++++++++

විග්නේෂ්වරන්ගේ පාඩම සහ සර්වේශ්වරන්ගේ කොඩිය – දිවයින කතුවැකිය
(18.11.2017 – divaina.com)

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය “අධෝ වාතයකට” තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.

පෙරේදා (16 දා) වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද? හරි නම් සිදුවිය යුතුව තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා විනය පරීක්‌ෂණයක්‌ සිදුකර අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඔහු ඉවත් කිරීමය. එලෙස විනය පියවර ගැනීමට ව්‍යවස්‌ථාපිත බලයක්‌ නොමැති නම් කළ යුත්තේ ආණ්‌ඩුව විසින් සකස්‌ කරගෙන යන නව ව්‍යවස්‌ථා කෙටුම්පතට එම ව්‍යවස්‌ථාපිත බලතල ඇතුළු කිරීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ නුදුරේදීම උතුරු පළාතම රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කිරීමය. පෑනෙන් කළ යුතු වැඩේ මල්ටි බැරල් වලින් කළ යුතු තැනට කටයුතු සිදු නොකර ගැනීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. ආණ්‌ඩුව එය සිහියේ තබාගැනීම රටේ අනාගතයට වඩාත් හිතකරය.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන්ගෙන් පාඩමක්‌ ඉගෙන නොගත් ආණ්‌ඩුව සර්වේශ්වරන්ගෙන්වත් පාඩමක්‌ ඉගෙනගනු ඇතැයි අපි බලා සිටිමු ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *