ග්‍රැෆීන් : කුරුතේරිස්ලාගේ මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම

(14.02.2020 – biz.adaderana.lk)

“අපි එක්සයිඩ් ලංකා සමාගම සමඟ කළ එකාබද්ධ මෙහෙයුමක් ලෙස ලෝකයේ පළමු වෙනි වතාවට ග්‍රැෆීන් යෙදූ කාර් බැටරිය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ග්‍රැෆීන් කාර් බැටරියක් තුළට යෙදවීමේ දී අතිවේගවත් ආරෝපණ සීඝ්‍රතාවයක් අපිට දකින්න ලැබුණා. සාමාන්‍ය බැටරියක් චාර්ජ් වෙන්න පැය 3 ක් යනවා නම්, මේ බැටරියක් පැයයි මිනිත්තු 15 කින් චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය බැටරියක ආයු කාලය වසර 2-3 ක් වෙනවා නම් මේ බැටරියක ආයු කාලය වසර 5-8 කට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේ සියල්ලන්ගෙන්ම බලශක්තිය ඉතුරු වෙනවා.”

සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී මංජු ගුණවර්ධන මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය. ඔහු මෙහිදී හෙළිදරව් කර සිටියේ සම්ප්‍රදායික මිනිරන් කර්මාන්තයෙන් ඔබ්බට ගොස් සුවිශාල විදේශ විනිමයක් මෙරටට ලබා ගත හැකි කර්මාන්තයක් පිළිබඳවයි.

ග්‍රැෆීන් යොදා නිෂ්පාදනය කරන ලද ලොව පළමු කාර් බැටරිය

ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය සියවස් දෙකකට අධික ඉතිහාසයකට හිමිකම් කියන්නකි. ශ්‍රී ලංකාව ධමණී මිනිරන් (vein graphite) නිපදවන ලොව එකම රට වන අතර, එය මෙරට ප්‍රධානතම ඛනිජ නිෂ්පාදනයක් වේ. පසුගිය වසර 100 කට වැඩි කාලයක් 99% කට වැඩි කාබන් සංශුද්ධතාවක් සහිත අතිශය පිරිසිදු ස්ඵටිකරූපී මිනිරන් නිපදවන ලොව එකම රට බවට ද ශ්‍රී ලංකාව සැලකේ. වර්තමානයේ දී සැලකිය යුතු ප්‍රමාණයක් නොවන මාසිකව ටොන් 300 ක පමණ නිපදවන ශ්‍රී ලාංකික මිනිරන් බෝගල, කහටගහ සහ රාගෙදර යන ප්‍රධාන පතල් තුනෙන් කණිනු ලබයි.

අතීතයේ දී මෙරට මිනිරන් කර්මාන්තය පිළිබඳ රූපමය අත්දැකීමක් ලබාගැනීමට නම් ‘කඩුල්ල’ ටෙලිනාට්‍ය ඊට කදිම අධ්‍යයනයක් වේ. ආර්ථික විද්‍යාත්මක ඇසකින් ‘කඩුල්ල’ නැරඹූවන්ගේ මතය වන්නේ එහි කථාව හුදු ටෙලි නාට්‍යයකින් ඔබ්බට ගොස් අතීතයේ මිනිරන් කර්මාන්තය හරහා නව ධනපති පංතියක් බිහිවන ආකාරය ඉතා ගවේෂණශීලි ලෙස එයින් නිරූපණය කරනු ලබන බවයි. ‘කුරුතේරිස්’ (ජැක්සන් ඇන්තනී විසින් මෙම චරිතය නිරූපණය විය.) නම් පතල් කම්කරුවා මිනිරන් කරමාන්තය තුළින් මහා ධනවතෙකු වන ආකාරය එහි කතා සංක්ෂිප්තයයි.

‘කඩුල්ල’ ටෙලිනාට්‍යයේ කුරුතේරිස් මුදලාලි සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා

යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍යයන් විසින් අවධානය යොමු නොකළ කර්මාන්ත අංශ තුනක් කේන්ද්‍ර කර ගනිමින් ලාංකීය ධනපති පන්තියේ බිහිවීම ආරම්භ විය. රබර්, මිනිරන් හා අරක්කු රේන්ද යන එම ව්‍යාපාරවලින් මිනිරන් කර්මාන්තය වෙතට මෙම ලිපියේ දී අවධානය යොමුවේ.

ශ්‍රී ලංකාවේ යටත්විජිත ධනේශ්වරයේ නැඟීම පිළිබඳ ඉතා ගැඹුරු අධ්‍යයනයක් වන, ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතියෙහි මිනිරන් කර්මාන්තය පිළිබඳව ද සවිස්තරාත්මකව විග්‍රහ කෙරෙන අතර එහි එක් තැනක මෙසේ සඳහන් වේ.

“තනිකරම පාහේ සිංහල වෙළෙඳ ධනපතීන්ට සීමා වූ එක් ආයෝජන ක්ෂේත්‍රයක් වූයේ මිනිරන් පතල් බැසීමයි. මෙය බදුකාර ලක්ෂණ ගත්, ආකෘතික විජිත ව්‍යාපාරයක ස්වභාව ලක්ෂණ සියල්ලෙන් යුකු ව්‍යාපාරයක් විය. මේ කර්මාන්තයට, පොළොවෙන් අමු ද්‍රව්‍ය හාරා ගෙන, එතරම් වටිනාකමක් එකතු නොකොට, අශුද්ධ ස්වරූපයෙන් අපනයනය කිරීම ඇතුළත් විය. එහි තාක්ෂණ ක්‍රමයට ඇතුළත් වූයේ සරල වාෂ්ප පොම්ප කිරීම එසවුම් යන්ත්‍රයි. මෙරටෙහි කරන ලද අනිත් එකම ක්‍රියාව වූයේ විවිධ ශ්‍රේණිවලට මිනිරන් තේරීමයි. එනමුදු විදේශීය සාධක මගින් අනපේක්ෂිත ලාභ ලබා දෙනු ලැබිණ. නිදසුනක් වශයෙන් යුරෝපයේ හා ඇමරිකාවේ යුදවාදයේ වර්ධනයත් සමඟ යුද්ධායුධ කර්මාන්තයට මිනිරන් සඳහා වූ ඉල්ලුම වැඩිවිය. මිනිරන් කර්මාන්තයේ සරුසාර සමය වූයේ 1869 සිට 1918 දක්වා බැව් කාසිනාදර් පෙන්වා දී ඇත. ඒ සමෘද්ධියට හේතු වූයේ, අර්ධ වශයෙන් ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රන්ස හා ජර්මන් වානේ වෙළෙඳාම ව්‍යාප්ත වීමෙන් ලද උත්තේජනයයි. වානේ සහ කම්බි තුවක්කුව, යුද නැව්වල වානේ තහඩු, විවිධ සාමකාමී හා යුද්ධමය අරමුණු සඳහා අවශ්‍ය වූ වානේ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයයි (Casinader 1974:7).”

පතල් කැණීම් හා පාෂාණ කැණීම් ක්‍රියාකාරකම් 2017 වසරේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 2.7% ක දායකත්වයක් ලබා දී ඇත. 2018 පළමු කාර්තුව සැලකූ විට පතල් කැණීම් හා පාෂාණ කැණීම් මලින් ඇමරිකානු ඩොලර් මිලියන 625 ක ආදායමක් ඇස්තමේන්තු කර ඇති අතර, එය 2017 පළමු කාර්තුවට සාපේක්ෂව 0.6% ක වර්ධනයකි.

2018 වසරේ දී වසරේ දී ශ්‍රී ලංකාවේ මිනිරන් මෙට්‍රික් ටොන් එකකට ලැබුණු මිල ඇමරිකානු ඩොලර් 2,300 කි. අතීතයේ දී මෙරට මිනිරන්වල වටිනාකම තීරණය වූ අයුරු ආචාර්ය කුමාරි ජයවර්ධන සිය කෘතියෙන් මෙසේ විස්තර කර තිබේ.

“ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද මිනිරන්වල වාර්ෂික වටිනාකම 1875 සිට 1918 දක්වා කාලයේ දී අවුරුද්දකට රුපියල් 10 ලක්ෂයේ සිට 40 ලක්ෂය දක්වා අඩුවැඩි වූ අතර යුද වකවානුවල දී ඉල්ලුම බෙහෙවින් වැඩිවිය. දකුණු අප්‍රිකාවේ බුවර් යුද්ධයේ දී (1899-1902) හා පළමු වැනි ලෝක යුද්ධයේ දී (1914–1918) එබඳු වැඩිවීම් ඇති වී රුපියල් 2 කෝටි 20 ලක්ෂයකට මිනිරන් ටොන් 33,000 ක් අපනයනය කරන ලදී. මිනිරන් මිල 1917 දී රුපියල් 831 දක්වා වැඩිවිය. මෙරට මිනිරන් අයිතිකරුවන්ට එමගින් අනපේක්ෂිත ලාභ ලැබිණ.”

කෙසේවෙතත් මිනිරන් හෙවත් ග්‍රැෆයිට් ඒ ආකාරයෙන්ම අපනයනය කරනවාට වඩා නවීන තාක්ෂණය හරහා ඒවා ග්‍රැෆීන් බවට පත්කර අපනයනයෙන්, සාමාන්‍ය මිනිරන් මෙන් 1,800 ගුණයක වටිනාකමක් ලබා ගැනීමට අද වන විට අවස්ථාව උදා වී ඇති බව ‘සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස්’ හි ප්‍රධාන විධායක නිලධාරී මංජු ගුණවර්ධන මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

“අපේ ලංකාවේ ‘ධමනි මිනිරන්’ අපනයනය කරන මිල වර්තමානයේ දී සාමාන්‍යයෙන් ඩොලර් 1.5 ත් 2 ත් අතර වෙනවා. එනම් ටොන් එකක මිල ඩොලර් 1,500 ත් 2,000 ත් 2,500 ත් හොඳම තත්ත්වයේ 3,000 ට පොඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් එය ග්‍රැෆීන් බවට පත් කළොත් 1,800 ගුණයක්, සාමාන්‍යයෙන් කිලෝ එකක් ඩොලර් 3,500 ත් 6,000 ත් අතර ප්‍රමාණයක් වෙනවා. දැන් අපි ග්‍රැෆීන් කිලෝ එකක් විකුණන්නේ ඩොලර් 3,500 ක් වගේ මුදලකට. ඩොලර් 2 කට මිනිරන් කිලෝ එකක් අරගෙන සිලෝන් ග්‍රැෆීන් ආයතනය, SLINTEC එකත් සමඟ එකතු වෙලා හදපු තාක්ෂණය භාවිතාවෙන් ඩොලර් 3,000 ක් බවට පත්කරලා තිබෙනවා. ඩොලර් 3,000 ක් යනු අද ලංකාවේ පවතින අවම අගය. අපි තමයි ලෝකේ මේ වෙලාවේ, ඩොලර් 3,000 ක් වගේ අඩුම මිලකට ග්‍රැෆීන් විකුණන්නේ. අපිට වැඩිය එක පියවරක් උඩින් ඉන්න අයගේ මුදල, ඩොලර් 6,000 ත් 9,000 ත් අතර ප්‍රමාණයක්. මේ අගය එකතු කිරීම, රටක් වශයෙන් යම්කිසි දෙයකට කරන්න පුළුවන් ඉහළම අගය එකතු කිරීමයි. 1,800 වතාවක, 2,000 වතාවක අගය එකතු කිරීමකට අපි යනවා.”

ග්‍රැෆීන් යනු විස්මිත අමුද්‍රව්‍යයකි. එය සොයා ගත් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් තිදෙනාට 2010 වසරේ දී නොබෙල් ත්‍යාගය ලැබීමත් සමඟම ග්‍රැෆයිට්වලටත්, ග්‍රැෆයිට්වලින් සාදන ග්‍රැෆීන්වලටත් අධික වටිනාකමක් ඇති බවට ලෝකයාට ඒත්තු ගැන්විණි.

ග්‍රැෆීන් යනු ෂඩාස්‍රාකාර මී වදයක ආකාරයට තනි ස්ථාරයක සැකසුනු කාබන් පරමාණු සමූහයකි. එය ලෝකයේ තුනීම අමුද්‍රව්‍යයක් වන අතර, සිත්ගන්නාසුළු ගුණාංග නිසා ජනප්‍රිය වී තිබේ. නිදසුනක් ලෙස ග්‍රැෆීන් දියමන්තිවලට වඩා ශක්තිමත් වන අතර, හොඳම වානේවලට වඩා 100 ගුණයකින් ශක්තිමත් වේ. එය ඉතා කුඩා අවකාශයක විශාල විදුලියක් සන්නයනය කරන අතර, සුපිරි වේගයක් සහිත පරිගණක සහ ට්‍රාන්සිස්ටර සංවර්ධනය සඳහා ද යොදා ගනී. මෙම සුවිශේෂී ගුණාංග හේතුවෙන් අද ලෝකයේ වඩාත්ම වටිනාකමක් සහිත ද්‍රව්‍යයක් බවට ග්‍රැෆීන් පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට් සඳහා ලෝකයේ අවධානය යොමු වූ ආකාරය මංජු ගුණවර්ධන මහතා මෙසේ පැහැදිලි කළේය.

“2010 න් පසුව තමයි කැනේඩියානු ජාතිකයින්, ඕස්ට්‍රේලියානුවන්, එංගලන්ත ජාතිකයින්, ඇමරිකානුවන් සියල්ලටම හොඳ ග්‍රැෆයිට් මූලාශ්‍රයක් සොයා ගෙන ලංකාවට එන්න මතක් වුණේ. එතකන් මේ ග්‍රැෆයිට්වලට යම්කිසි අගය එකතු කිරීමක් කරලා, ශුද්ධ පවිත්‍ර කරලා, පවුඩර් විදියට හදලා, ලිහිසි ද්‍රව්‍යවලට, නැත්නම් බ්‍රේක් පෑඩ්ස්වලට වගේ නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් වගේ දේවල්වලට භාවිතා කරමින් බෝගල වගේ ආයතන වැඩ කරමින් හිටියා. නමුත් 2010 දී නොබෙල් ත්‍යාගය ලැබුණාට පස්සේ සියල්ලන්ටම අවශ්‍ය වුණා, මොකක්ද මේ කියලා බලන්න. මේකේ තියෙන විශේෂ ගුණ දුටුවායින් පස්සේ, සියල්ලන්ටම අවශ්‍ය වුණා, මේකට ආයෝජනය කරන්න සහ ග්‍රැෆයිට්වලින් ග්‍රැෆීන් හදන ක්‍රියාවලියට අතදාන්න. අපි බැලුවොත් ඇයි මේ ග්‍රැෆීන් කියන ද්‍රව්‍යය මෙච්චර වටින්නේ කියලා, මෙකේ තියෙන යෙදවුම් ඉතාම ඉහළයි. මේ යෙදවුම්වල තියෙන විශේෂම දේ තමයි, බැටරිවලට, සෝලා, මෙඩිකල්, මිලිටරි ඉලෙක්ට්‍රොනික්ස් වගේ අධික වටිනාකමක් ඇති දේවල්වලට බහුලව පාවිච්චි වෙනවා. ඒ වගේම ප්ලාස්ටික්, අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා, ප්ලාස්ටික් එපා කියලා. ඉස්සර ප්ලාස්ටික් වලින් මිලිමීටරයකින් ගත්ත ශක්තිය, ග්‍රැෆීන් සම්බන්ධ කර ගෙන මිලිමීටර භාගයක වගේ ප්‍රමාණයකින් ගන්න පුළුවන්. එතකොට අපිට ග්‍රැෆීන් පාවිච්චි කර ප්ලාස්ටික් භාවිතයේ අඩුවක් ඇති කර ගන්න පුළුවන්. මල නොකන ආලේපන ගත්තොත්, ඒවාට ඉතාම කුඩා ප්‍රමාණයක් ග්‍රැෆීන් යෙදු විට මල කෑමට ලක්වන ද්‍රව්‍ය සඳහා සාමාන්‍ය ආලේපනයක වගේ දහදොළොස් ගුණයක ආරක්ෂාවක් ඇති වෙනවා.“

මූල්‍ය සමාගමක් වූ LOLC ආයතනය ග්‍රැෆීන් නිෂ්පාදනය සඳහා යොමු වූ ආකාරය, මංජු ගුණවර්ධන මහතා පැහැදිලි කර සිටියේ මෙයාකාරයෙනි.

“මම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙක් වශයෙන් කටයුතු කරන කාලයේ දී ලෝකයේ හොඳම ග්‍රැෆයිට් අපට තියෙද්දී, අපිට අවශ්‍ය වුණා නොබෙල් ත්‍යාගය ලැබුණු ක්‍රමවේදයටත් වඩා වෙනස් ක්‍රමවේදයකින් ග්‍රැෆීන් හදාගන්න. එහිදී 2016 දී මේ සඳහා පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කළා, 2018 දී එය අපට ලැබුණා. මේ පේටන්ට් බලපත්‍රය ලැබුණු පසු රටක් වශයෙන් හැමදාම මුහුණ දෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න සිදුවුණා. අපිට තාක්ෂණයක් තියෙනවා, අපි මේවා හදලාත් තියෙනවා, අපිට අයිතියත් තියෙනවා. දැන් ආයෝජකයෙකු සොයා ගන්න ඕනේ. රටේ ව්‍යාපාර කරන්න තිබුණු තත්ත්වය එතරම් යහපත් නොවූ නිසා මේ කාලයේ දී රජයෙන් විශාල සහයෝගයක් ලැබුණෙත් නැහැ. අපිට ආයෝජකයෙකු සොයා ගැනීම අපහසු වුණා. අපිට රිසර්ච් එකෙන් පස්සේ ප්ලාන්ට් එක හදන්න මිලියන 380 ක් විතර වුවමනා වුණා. මේසා විශාල මුදල් ආයෝජනය කරන්න ආයෝජකයින් බය වුණා. ඒකට කෙනෙක් හිටියේ නැහැ.”

තමන් මෙම අවස්ථාවේ දී LOLC සමාගමේ නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් මෙම ආයෝජනයේ ඇති අවදානම සම්බන්ධයෙන් ද පැහැදිලි කළ බවත් මංජු ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය. එවිට කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඉෂාර නානායක්කාර මහතා මෙම කර්තව්‍යයට අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියන 2 ක ආයෝජන මුදල ලබා දීමට එකඟ වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී මංජු ගුණවර්ධන මහතා (වමේ) මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්. ඡායාරූපයේ දකුණු පසින් සිටින්නේ LOLC සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, කිත්සිරි ගුණවර්ධන මහතා යි.

“ඒ අය මූල්‍ය සමාගමක්. ඔවුන් දැනගෙන හිටියේ නැහැ, ග්‍රැෆීන් සම්බන්ධ කිසිදු දෙයක්. අපට මීළඟ ගැටළුව වුණේ ග්‍රැෆීන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ග්‍රැෆයිට් ලබා ගන්නේ කොතැනින්ද කියන එක. අපි පර්යේෂණ කළ මුල් කාලයේ දී බෝගල පතලෙන් ග්‍රැෆයිට් ලබා ගත්තා. නමුත් ග්‍රැෆීන් නිෂ්පාදනය සඳහා වඩාත් සුදුසු බෝගල පතලට වඩා කහටගහ පතලේ ග්‍රැෆයිට් බවට අපට තේරුම් ගියා. අපි කහටගහ පතල සමඟ කතා කළා. එය රජයේ පතලක්. රජයේ තිබුණු පසුගාමීත්වය ඒ විදියටම ඒ කාලයේත් තිබුණා. ඒ නිසා අපිට අවදානමක් ඇතිවුණා, ඩොලර් මිලියන 2 ක ආයෝජනයකින් පසු අපගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය ග්‍රැෆයිට් ලබා ගැනීම පිළිබඳව. එම හේතුව නිසා අපි පතල් හා කැණීම් කාර්යාංශයට කතා කරලා කහටගහ වටපිටාවේ තිබෙන බිම්කොටස් කිහිපයක ග්‍රැෆයිට් තිබෙනවාද යන්න ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන අපි එක පතලක් පටන් ගත්තා. මේ සියල්ලටම මග පෑදුනේ LOLC සමාගම මේ සියල්ලටම මූල්‍ය දායකත්වය ලබා දුන් නිසා. පොළව කැණීම LOLC GeoTech නම් වෙනම සමාගමකින් සිදුවෙනවා.”

මෙම පසුබිම තුළ වර්තමානයේ දී පතල්, විද්‍යාගාර, තම ආයතනයේම විද්‍යාඥයින්, පේටන්ට් අයිතිය, කන්වර්ටින් තාක්ෂණය සහ අගය එකතු කිරීම ඇතුළු ග්‍රැෆයිට් කැණීමේ සිට අවසාන ග්‍රැෆීන් නිෂ්පාදිතය දක්වා සියලුම අවශ්‍යතා සපුරන පහසුකම් ඇති ලොව එකම ආයතනය බවට සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් පත්ව තිබේ.

LOLC සමූහය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) අතර හවුල් ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ වූ සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් (CGT), ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රැෆීන් සහ සංකීරණ විද්‍යාත්මක ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම වේ. නැනෝ තාක්ෂණ ආයතනය හා එක්ව සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් විසින් අද්විතීය, තිරසාර මිනිරන් පිරිපහදු ක්‍රියාවලියක් සකස් කර ඇති අතර, එමඟින් දේශීය මිනිරන් යොදාගෙන ග්‍රැෆීන් අඩු වියදමකින් නිපදවීමට ඔවුන් සමත් වී ඇත.

පසුගිය වසර එකහමාරක කාලය තුළ දැවැන්ත වර්ධනයක් ලැබූ සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් සාර්ථක ව්‍යාපෘතීන් රැසක නිරත විය.

• ඇසෝසිටේ බැටරි නිෂ්පාදකයන් හා එක්ව ප්‍රථම වරට ග්‍රැෆීන් අඩංගු කළ වාහන බැටරිය දියත් කිරීම සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් හි සාර්ථක ව්‍යාපෘති අතර පෙරමුණ ගනී.
• බැක්ටීරියා සහ අනෙකුත් අපවිත්‍ර ඉවත් කිරීම සඳහා ජල පිරිසිදු කිරීම සඳහා භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය
• ව්‍යූහාත්මක සවිමත් කිරීම් සහ ක්‍රියාකාරී අමුද්‍රව්‍ය වැනි ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකි පොලිමර් සංයුත
• ආලේපන, තීන්ත සහ ප්ලාස්ටික වැනි යෙදුම්වල දී ග්‍රැෆීන් ආකලන
• සහැල්ලු ශක්තිමත් මෙන්ම ආරක්ෂිත වාහන සෑදීම සඳහා යොදාගැනෙන සංයුත සහ ආලේපන සැකසීමට ග්‍රැෆීන්වල පවතින විශිෂ්ට හැකියාව හේතුවෙන් මෝටර්රථ කර්මාන්තයේ යෙදුම් යනාදිය ඒ අතර වේ.

මේ අතර කහටගහ පතල තුළින් කැණීම් කර ලබාගන්නා මිනිරන් සඳහා අගය එකතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව මේ වන විට රජය විසින් ද හඳුනාගෙන තිබේ. පසුගිය සතියේ දී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරමින් රජය මේ බව කියා සිටියේය.

“කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන අතර එමඟින් මිනිරන් කැණීම් කටයුතු සිදු කරන කහටගහ පතලෙහි මසකට මෙට්‍රික් ටොන් 65-70 අතර ප්‍රමාණයක් මිනිරන් කැණීම් සිදු කර ඒවා අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම අපනයනය කිරීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මිනිරන් සැපයුම ලෝක වෙළඳපොළේ මිනිරන් අවශ්‍යතාවයෙන් 7% ක් පමණ වේ. එම තත්ත්වය මත ජාත්‍යන්තර වෙළඳපොළෙහි බලපෑමක් ඇති කිරීමට හැකියාවක් නොමැති බැවින් කහටගහ පතල තුළින් කැණීම් කර ලබාගන්නා මිනිරන් සඳහා අගය එකතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව හඳුනාගෙන ඇත. ඒ අනුව, කැණීම් කර සපයනු ලබන මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම වෙනුවෙන් පමණක් තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් වෙතින් අභිලාෂය පළ කිරීම සඳහා ආරාධනා කැඳවීමටත්, ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් මඟින් ඉදිරිපත් වන යෝජනා ඇගයීමට ලක් කර සුදුසු ආයෝජකයෙකු තෝරා ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට හිමිව තිබේ.”

මෙහිදී LOLC සමාගම අභිලාෂ ඉදිරිපත් කරන්නේ දැයි ‘අද දෙරණ’ කළ විමසීමක දී සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී මංජු ගුණවර්ධණ මහතා දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයකි.

“මෙතැන තිබෙන ගැටළුව තමයි පුද්ගලික අංශයෙන් මෙම අභිලාෂ කැඳවන්නේ කුමන නීතිරීති මතද කියන එක. මෙය දීර්ඝ කාලීනව සාකච්ඡා කරපු මාතෘකාවක්. අගය එකතු කරන ලද ග්‍රැෆයිට් (ග්‍රැෆීන් නොවේ) ලෝකයේ භාවිතා වෙනවා ලිතියම් අයන් බැටරිවලට, එහෙමත් නැත්නම් ටෙස්ලා වගේ කාර් බැටරිවලට. බැටරියේ බර අනුව ඒවායේ ලිතියම්වලට වඩා තියෙන්නේ ග්‍රැෆයිට්. ටෙස්ලා සමාගමට බැටරි හදන්නේ පැනසොනික් ආයතනය. ඒ ගොල්ලන්ට අපි මේ මාසෙට හදන ටොන් 60-65 හොඳටම මදි. කොපමණ පිරිසිදුකම තිබුණත්, කොපමණ හොඳ නිෂ්පාදනයක් වුණත්, ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය අවශ්‍යතාවයෙන් කිට්ටුවෙන්වත් අපි යන්නේ නැහැ. ඒ නිසා ඒ අයට අපෙන් වැඩක් නැහැ. ඒ අයගේ අවම අවශ්‍යතාවය මාසයකට ටොන් 800 ක් පමණ. මේක කිසිසේත්ම අපිට මේ තියෙන පතල්වලින් කරන්න බැහැ. ඒ ප්‍රමාණයට යන්න පතල් ලංකාවේ නැහැ. ඒ අයට ලංකාවට එන්න නම් ආයෝජන සමඟ අපි ලඟ අමුද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි තිබෙන්න ඕනේ. අපිට අවශ්‍ය තරම් අමුද්‍රව්‍ය හදාගන්න නම් ඒ සඳහා කවුරුන් හෝ ආයෝජකයෙකු සිටිය යුතුයි. ඒ නිසා තමයි අපි තීරණය කළේ ඒ වගේ කරලා ලබන මුදලම ග්‍රැෆීන් ටොන් 10-15 කින් වගේ ලබා ගන්න. කහටගහ කුමන ආකාරයේ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයකට යාවිද කියන රාමුව තුළ අපිටත් තරඟ කරන්න පුළුවන්.”

වර්තමානයේ දී මෙරට ලැයිස්තුගත සමාගමක් වන බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී හි 90% කට ආසන්න කොටස් අයිතිය තිබෙන්නේ GRAPHIT KROPFMUHL GMBH (79.58%) හා ALTERNA GK LLC (10.33%) යන විදෙස් සමාගම් දෙක සතුවය. යම් ආකාරයකින් කහටගහ මිනිරන් පතලේ වැඩි හිමිකාරීත්වය විදෙස් අතකට ගියහොත්, එය මෙරට ග්‍රැෆීන් නිෂ්පාදනයට අහිතකර ආකාරයෙන් බලපෑ හැකිය. මක්නිසද යත්, එම කර්මාන්තයේ වැඩි තරඟකාරී වාසිය විදෙස් අතකට යා හැකි බැවිනි. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම වටී.

LOLC යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව 7 වැනියට විශාලතම සමාගමයි. පසුගිය කාලයේ දී LOLC සමාගම පිළිබඳ වැඩිවශයෙන් කතාබහට ලක්වූයේ එහි කාම්බෝජ මූල්‍ය හස්තය වන Prasac Microfinance අයිතිය විකුණා දැමීමේ ප්‍රවෘත්තිය තහවුරු වීමත් සමඟය. Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමකි. අදාළ ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 603 ක් වශයෙන් වාර්තා වේ. මෙම ගනුදෙනුවත් සමඟම වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයා බවට ඉෂාර නානායක්කාර මහතා පත්වනු ඇති බව සාමාජ මාධ්‍ය ජාලාවන් හී මේ වන විට කතාබවට ලක්ව ඇත.

LOLC සමාගම හවුල්කාරීත්වය දරන සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් සමාගම, ග්‍රැෆීන් නිෂ්පාදනයට යොමු වීමත් සමඟම මෙරට ග්‍රැෆයිට් කර්මාන්තය නව මානයකට යොමුව තිබේ. එය අනාගතයේ දී ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය ගෙන ඒමේ විභවතාවයකින් යුක්ත කර්මාන්තයක් බවට අද වන විට පත්වෙමින් පවතී. නිසි දැක්මකින් යුතුව කටයුතු කරන්නේ නම් බොහෝ දුරට අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගය බවට පත්වීමට ද ඊට ඉඩකඩ ඇත.

කාම්බෝජය, මියන්මාරය, පාකිස්තානය, ඉන්දුනීසියාව, සැම්බියාව, නයිජීරියාව සහ පිලිපීනය ආදී රටවල මෙහෙයුම් ආරම්භ කරමින් LOLC කලාපීය ජාතීන් වෙත සාර්ථකව පිවිස සිටී. විදෙස් වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා සමූහයේ තවත් සැලසුම් පවතින අතර දිගුකාලීන දැක්මක් හා දූරදර්ශී උපාය මාර්ග මගින් මෙහෙයවනු ලබන ආයතනික ක්ෂේත්‍රයේ ශක්තිමත් ජවසම්පන්න පෙරගමන්කරුවෙකු ලෙස LOLC හැඳින්විය හැකිය.

අතීතයේ දී මිනිරන් හරහා නව ධනපති පන්තියක් බිහිවූවා සේ අනාගතයේ දී ග්‍රැෆීන් හරහා ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුතු සමාගම් ශ්‍රී ලංකාවේ බිහිවීමට ද මේ අනුව අවස්ථාව තිබේ. එය ශ්‍රී ලංකාවේ සමාගමක්, බහුජාතික සමාගමක් බවට පත්වන පෙර මංසළකුණු පෙන්නුම් කරනු ලබයි.

“ග්‍රැෆීන්වල එක කිලෝ එකක් කියන්නේ ලීටර 200 ක වගේ ප්‍රමාණයක්. මෙය ඉතා බර අඩු සැහැල්ලු ද්‍රව්‍යයක්. මේ කර්මාන්ත ශාලාවෙන් මාසයකට ලීටර 1,600 ක් විතර නිෂ්පාදනය කරන්න පුළුවන්. ලබන අප්‍රේල් මාසයේ සිට මාසයකට කිලෝ 300 ක් ඒ කියන්නේ ටොන් 3.6 ක් අවුරුද්දකට එන කර්මාන්තශාලාවක් දැන් සෑදෙමින් පවතිනවා”, යනුවෙන් අවසාන වශයෙන් මංජු ගුණවර්ධන මහතා කියා සිටියේය.

මිනිරන් කර්මාන්තය හරහා අතීතයේ දී ‘කුරුතේරිස්’ ලා රැසක් මෙරට බිහිවිය. 1905 වසරේ දී මෙරට මිනිරන් වෙළෙඳුන්ගේ සංගමය බිහි වූ ආකාරය සම්බන්ධව ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“සියලු කුලවලට අයත් අය මිනිරන් පතල් කර්මාන්තයෙන් ධන සම්භාර රැස්කර ගත්හ. කරාව කුලයේ ප්‍රමුඛ අරක්කු රේන්දකරුවන් ගණනාවකට මිනිරන් පතල් අයත් ව තිබිණ. ඔවුනතර චාල්ස් ද සොයිසා, ජෙරොනිස් පීරිස්, ජේකබ් ද මෙල්, ජෝන් ක්ලෝවිස් ද සිල්වා, එච්. ජේ. පීරිස්, බස්තියන් පුනාන්දු, සයිමන් චන්ද්‍රෙස්කර, (ශ්‍රී චන්දුසේකර) යනාදීන් ගේ පවුල් ඇතුළත් වූහ. ගොවිගම කුලයේ මිනිරන් අයිතිකරුවන් අතර. දොන් ස්පේටර් සේනානායක, ඩී.සී.ජී. ආටිගල සහ එන්.ඩී.පී. සිල්වා ඇතුළත් වූහ. ඔවුන්ගේ ධනය වතු වැවීම හා අරක්කු රේන්ද කටයුතු සඳහා ද ආයෝජනය කොට තිබිණ. සමහර සලාගම පුද්ගලයන්ට ද එනම් ඒ.ඊ. ද සිල්වා (ජ්‍යෙෂ්ඨ), අමදෝරිස් මැන්දිස්, ආර්. ඒ. මිරැන්ඩෝ හා යූ.ඩී.එස්. ගුණසේකර යනාදීන්ට සැලකිය යුතු ප්‍රමාණයේ මිනිරන් අයිතියක් තිබිණ. මැතිව් පවුල හා ඩී.ඩී. පේද්‍රිස් ආදී වහුම්පුර කුලයේ අයට ද මිනිරන් පතල් අයත් ව තිබිණ. මේ විශාල අයිතිකරුවන් බොහෝ දෙනෙක් එක් වී තම වුවමනාවන් රැක ගැනීම සඳහා ‘මිනිරන් වෙළෙඳුන්ගේ සංගමය’ (1905) පිහිටුවා ගත්හ. මේ වූ කලි පංති හැඟීමෙන් යුතුව ක්‍රියා කළ ධනපති පංති සාමාජිකයින් ගේ බහු-කුල ක්‍රියා පිළිබඳ නිදසුනකි.

(ඡායාරූපය උපුටා ගැනීම ආචාර්ය කුමාරි ජයවර්ධන ගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි‘ කෘතියෙනි.)
ප්‍රධාන ඡායාරූපය – ‘කඩුල්ල‘ ටෙලිනාට්‍යයේ කුරුතේරිස් මුදලාලි සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා
විශේෂ ස්තුතිය – ‘සොක්කන් ලොක්කන් වූ වගයි‘ කෘතියේ කර්තෘ ආචාර්ය කුමාරි ජයවර්ධන වෙත

– සිසිර කන්නන්ගර විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *