නුගේගොඩ අනුලා විද්‍යාලයේ, විදුහල්පතිනිය සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබද වාර්තාවක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නුගේගොඩ අනුලා විද්‍යාලයේ, විදුහල්පතිනිය සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබද වාර්තාවක් (විඩියෝ)

• ‘විමල්ගේ ඇමති පුටුවට ලක්‍ෂ හයයි…’ ‘3% ජ.වි.පෙ.’ හඳුන්නෙත්තියා සියතින් අමුඩය කඩගනී..

• ‘අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම’ කියා මුදල් වංචා..

• යුද හමුදාපතිට පැනවූ තහනම ගැන විදේශ අමාත්‍යාංශයට කැදවූ ඇමරිකානු තානාපතිනියට, ලක් රජයෙන් දැඩි විරෝධය – යළි සලකා බලන්නැයි දැනුම්දීමක් (විඩියෝ)

• හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම පස්වරු 2.30 දක්වා පමණයි

• නයිජීරියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික නැවියන් 7 දෙනාගෙන් රජයට ඉල්ලීමක්

• සජිත් මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි නායකයෙක් – උදය ගම්මන්පිල (විඩියෝ)

• හිටපු ජනපති මෛත්‍රීට, රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් අභියෝගයක් (විඩියෝ)

• ජනපති කොළඹ වරාය නගරය නිරීක්ෂණය කරයි (විඩියෝ)

• මහනුවර දී 18 ක් ඇල්ලූ ෆේස්බුක් සාදය

• CID නිලධාරීන් බව පවසමින් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ කල්ලියක සාමාජිකයෙක් අල්ලයි

• රෝහලට ඇතුලත් කළ මවක් භාරගැනීමට දරුවන් ඉදිරිපත් නොවීමෙන් ගැටළුවක් (විඩියෝ)

• වැරදි එන්නතක් නිසා සුවයක් වෙනුවට ලැබුනු ආබාධය (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ඇස් අන්ධ කරවන රසායනික බූතයෙක් හඳුනා ගැනේ

+++++++++++++++++++++++++++++++++++

නුගේගොඩ අනුලා විද්‍යාලයේ, විදුහල්පතිනිය සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබද වාර්තාවක්

(16.02.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පාසලට ළමුන් ඇතුලත් කරගැනීමේදී නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකරන ලද අක්‍රමිකතා රැසක් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් ගුරු සංගම් චෝදනා කරන්නේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය වන ජයනි ප්‍රිශංගිකා මහත්මිය සිදුකරන ලද අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස දෙකකට ආසන්න කාලයක් විමර්ශනයක් සිදුකර තිබෙනවා.

එම විමර්ශනයේදී හෙළිව ඇත්තේ පසුගිය වසරේ උසස් පෙළ පන්ති සඳහා ලැබුණු අයැදුම්පත් 2119 න් A සාමාර්ථ සංඛ්‍යාව පදනම් කරගනිමින් අයදුම්කරුවන් 442 ක් පමණක් චක්‍රලේඛ උල්ලංඝණය කර සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවා ඇති බවයි.

ඉන් කොටසකට අවිධිමත් ලෙස කැඳවීම් කර තිබුණේ විදුලි පණිවුඩ මගින් හා දුරකතන පණිවුඩ මගිනි.

වාණිජ අංශයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරීම සදහා අයැදුම්කල 26 දෙනෙකුගෙන් 15 දෙනෙකු පාසලට ඇතුලත් කරගෙන ඇති අතර ඊට අයැදුම්කල A සාමාර්ථ 5 ක් ලබාගත් අයැදුම්කරුවන් 11 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැදවීමක්වත් සිදුකර නැහැ.

නමුත් ඊට අඩු සුදුසුකම් ඇති ජාත්‍යාන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ සිසුවියන් 4 දෙනෙකු හෙළිදරව් නොවන පදනමකින් පාසලට ඇතුලත් කර ගැනීමට ඇය ක්‍රියාකර තිබෙනවා.

මීට අමතරව 2019 වසරේ උසස් පෙළට සිසුවියන් ඇතුලත්කරගැනිමේ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී දරුවා පාසලට ඇතුලත් කරගන්නේ නම් මාපියන් හට පාසලට ලබාදිය හැකි මුදල් හෝ ද්‍රව්‍යමය පරිත්‍යාග තොරතුරු පත්‍රිකාවේ පහළ කෙළවරේ සටහන් කරගන්නා ලෙස විදුහල්පතිනිය විසින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බව විගණන වාර්තාවේ සදහන්.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාසල වටා ඇති තාප්පයට ඉහළින් ආරක්ෂිත කම්බි වැටක් හා තහඩු ආවරණයක් යෙදීමට අවශ්‍ය බව පවසා උසස් පෙළ සදහා පාසලට ඇතුලත් කරගන්නා දරුවන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් දසලක්ෂ දහසය දහසක මුදලක් එකතුකර ඇතත් කිසිදු කුවිතාන්සියක් නිකුත් කර නැහැ.

මෙම ආරක්ෂිත කම්බි වැට හා තහඩු ආවරණය ඉදිකිරීම සදහා මිල ගණන් කැදවූ බවට පාසලේ පරිපාලන හා මුදල් නියෝජ්‍ය විදුහල්පතිනිය ඉදිරිපත් කල ලේඛණ ව්‍යාජ ඒවා බව විගණනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම විගණනය අතරතුර අපූරු සිදුවීමක්ද සිදුව තිබුණා.

විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මාස දෙකකට ආසන්න කාලයක් විමර්ශනය කළ විගණන නිලධාරීන් ඊට අදාල ලිපිගොනු රැසක් පාසලේම අල්මාරියක දමා අගුළු ලා එහි යතුරු සිය භාරයට ගෙන තිබෙනවා.

එහෙත් විදුහල්පතිනියගේ උපදෙස් මත යතුරු කපන පුද්ගලයෙකු හොර රහසේ කැඳවා අමතර යතුරක් කපා එම අල්මාරිය විවෘත කර අදාල ලිපිගොනු ඉවතට ගෙන තිබූ බව විගණන වාර්තාවේ සදහන්.

+++++++++++++++++++++

17-02-2020

***************************************

‘විමල්ගේ ඇමති පුටුවට ලක්‍ෂ හයයි…’ ‘3% ජ.වි.පෙ.’ හඳුන්නෙත්තියා සියතින් අමුඩය කඩගනී..

(16.02.2020 – 12:40 +0530 – lankacnews.com ඇසුරෙන්)

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් සිදු කර ඇති අසත්‍ය ප‍්‍රකාශක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත‍්‍රීගේ අසත්‍ය ප‍්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

මා අමාත්‍ය ධුරයට පත්වූ පසුව මාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් පළමුව නිර්මාණය කොට, දෙවනුව එම පුවත උපුටා දක්වමින් මඩ ගැසීමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව දැක ගත හැකිය. මුළුමනින්ම අසත්‍ය එම පුවත හා ප‍්‍රකාශය පළමුකොටම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරය ද කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ධුරයෙහි ද වගකීම් මා හට පැවරී ඇත. මා වෙනුවෙන් ඉහත අමාත්‍යාංශ දෙකෙහිම නිල කාර්යාල වෙන්ව තිබුණ ද වැඩ භාරගත් දිනයේ සිටම අමාත්‍ය ධුර දෙකෙහිම රාජකාරි කටයුතු මා සිදු කරන්නේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයෙහි මා හට හිමිව ඇති නිල කාර්යාලය පමණක් යොදා ගෙන ය. එම කාර්යාල පරිශ‍්‍රය තුළ මා වැඩ භාරගනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වනදා ය. ඒ වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසිඳු අයුරකින් අලුත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදුවී නොමැත.

අපට ඇත්තේ ‘පුටු හා ඈඳුන සුඛ විහරණය පිළිබඳව ප‍්‍රශ්නයක්’ නොව මේ රට ‘සෞභාග්‍යයෙන් පිරි රටක්’ බවට පත් කිරීමේ උවමනාව ය. අප මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදයක් ඇති කොට රටට ජීවයක් ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින මේ මොහොතේ ඒ කෙරෙහි රටට ආදරය කරන ජනතාව දෑස් දල්වා බලා සිටිති. ඒ පිරිස් තුළ අප කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීම මේ මඩ අවලාද නිර්මාණය කරන්නන්ගේ උවමනාව විය හැක. එහෙත් තමන් ‘ඉල්ලූ රට’ නිර්මාණය වන ආකාරය දෙස බලා සිටින ජනතාව මේ ‘කැටයම් දමා ඉදිරිපත් කරන ජවිපෙ බේගල්’ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් නොගන්නා බව අපට දැඩි සේ විශ්වාස ය.

විමල් වීරවංශ (පා.ම.),
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය

***************************************

‘අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම’ කියා මුදල් වංචා..

(16.02.2020 – 08:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ලැබී ඇත.

මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී අප සංගමයට නිරීක්ෂණය වී ඇති අතර වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා ‘අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම’ වැනි ක්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුල සිදුවන බවක් අනාවරණය වී ඇත.

මෙම මුල්‍ය වංචා මෙහෙයවන්නන් බොහෝමයක් තම බැංකු ගිණුමට හෝ වෙනත් විද්‍යුත් මුදල් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දු වූ අදාළ සේවාව ලබාදීමට කටයුතු කරනු නොලබයි.

තවද සමාජ මාධ්‍ය පිටු මගින් පරිශීලකයන්ට සපයන ‘පහසු ණය යෝජනා’ ක්‍රම හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත වක්‍රාකාරයෙන් ලබාගැනීමට කටයුතු කරන බවක්ද අප සංගමයට නිරීක්ෂණය වී ඇත.

සමාජ මාධ්‍ය අඩවි සහ අන්තර්ජාලය හරහා ඉහත සදහන් සේවා දෙකෙන් එක් සේවාවක් ලබාගැනීමට සමාජ මාධ්‍ය පරිශීලකයන් අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලබාදී කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශිකයන්ට දැනුම් දෙමු.

තවද ‘පහසු ණය යෝජනා ක්‍රම’ යටතේ ඔබ යම් ණයක් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් ඔබගේ බැංකු පරිශීලකනාම (User Name) සහ මුරපද (Password) එම ණය මුදල ලබාදීමට කටයුතු කරනා පිරිස් වෙත කුමන හෝ හේතුවකට ලබාදීමට යාමෙන් වලකින ලෙස අප සංගමය වැඩිදුරටත් දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

***************************************

යුද හමුදාපතිට පැනවූ තහනම ගැන විදේශ අමාත්‍යාංශයට කැදවූ ඇමරිකානු තානාපතිනියට, ලක් රජයෙන් දැඩි විරෝධය – යළි සලකා බලන්නැයි දැනුම්දීමක්

(16.02.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට ලක් රජය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී එලෙයිනා ටෙප්ලිට්ස්, විදෙස් සබඳතා අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (16) හමුවූ අවස්ථාවේදියි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම්දීම සඳහායි මෙලෙස ඇමරිකානු තානාපතිනියව විදෙස් සබඳතා අමාත්‍යාංශයට කැදවා තිබුණේ.

මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යුද හමුදාපතිවරයාට පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් ලක් රජයේ විරෝධය ද තානාපතිනිය වෙත පළ කර තිබෙනවා.

එහිදී ඇමරිකානු තානාපතිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ මේ පිළිබදව තමන් ඇමරිකාවට යළි කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන බවටයි.

විදේශ අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේ ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව එක්සත් ජනපද රජය විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙලෙස සංචාරක තහනමක් පනවා ඇති බවයි.

මේ අතර අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් ද යුද හමුදාපතිවරයාට පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් අද (16) අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම පස්වරු 2.30 දක්වා පමණයි

(17.02.2020 – 8:14 +0530 – hirunews.lk/sinhala)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට පස්වරු දෙකයි තිහෙන් (02:30) පසු ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව එහි භාරකරු පී.කේ.එම්.පී. ප්‍රදීප් කුමාර මහතා පවසනවා.

මීට පෙර පස්වරු හය දක්වා සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරුණා. ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ඇතුලු හෝර්ටන්තැන්න නැරඹීම සඳහා සංචාරකයන්ට කිලෝමීටර 9 ක දුරක් ගමන් කළ යුතු බවත්, ඒ සඳහා අවම වශයෙන් පැය 4 ක පමණ කාලයක් ගතවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සවස 6 න් පසු හෝර්ටන්තැන්නට ආවේනික සතුන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව ලබාදෙමින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියා ෴

***************************************

නයිජීරියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික නැවියන් 7 දෙනාගෙන් රජයට ඉල්ලීමක්

(17.02.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

නීිතිවිරෝධී ලෙස නෞකාවට තෙල් ලබාගත් බවට නයිජීරියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් තමන් හැකි ඉක්මනින් මුදා ගන්නා ලෙස ශ්‍රී ලාංකික නැවියන් 7 දෙනා ලක් රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම නැවියන් 7 දෙනා, අනෙකුත් අප්‍රිකානු කාර්ය මණ්ඩලය සමඟ නයිජීරියානු ආර්ථික සහ මූල්‍ය අපරාධ කොමිසම භාරයේයි මේ වනවිට පසුවන්නේ.

ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සඳහා එලෙස එම කොමිසම වෙත නැවියන් භාරදී ඇති බවයි නයිජීරියානු මාධ්‍ය සඳහන් කළේ.

සීබෲග් නැමති නෞකාව ශ්‍රී ලාංකික නැවියන් හත්දෙනෙකු, නයිජීරියානුවන් 46 දෙනෙකු සහ ඝානා ජාතිකයන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනුනේ පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදායි. නෞකාවේ ශ්‍රී ලාංකික කපිතාන්වරයා නයිජීරියානු නාවික හමුදාවට පවසා ඇත්තේ සිය සමාගමේ උපදෙස් මත තෙල් ලබාගැනීම සඳහා මොරොක්කෝවේ සිට එහි පැමිණි බවයි.

අදාළ තෙල් ලබා ගැනීමෙන් පසු ඝානා රාජ්‍යය කරා යාත්‍රා කරමින් සිටියදී ජාත්‍යන්තර මුහුදේදී මෙම නෞකාව නයිජීරියානු නාවික හමුදා අත්අඩංගුවට පත්වූ බවයි එහි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේ.

වලංගු අනුමැතියකින් තොරව ලබාගත් බොරතෙල් මෙට්‍රික්ටොන් 838 ක් සීබෲග් නෞකාවේ පැවති බව නයිජීරියානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

සජිත් මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි නායකයෙක් – උදය ගම්මන්පිල

(16.02.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

2025 ජනාධිපතිවරණයේදීත් පරාජයට පත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතා, රනිල් වික්‍රමසිංහ මහතා මෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි නායකයකු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (16) කොළඹ දී පැවති පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ සම්මේලනය අමතමින් ඔහු මෙ බව සදහන් කළා.

***************************************

හිටපු ජනපති මෛත්‍රීට, රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් අභියෝගයක්

(16.02.2020 – 19:05 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ජාවක් අනිද්දා පැවැත්වීමට නියමිතයි.

එහිදී මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන සන්ධානය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය දයාසිරි ජයසේකර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් කියා සිටියේ පොදු සන්ධානයකින් ඉදිරියට යන බවයි.

සියලූ දෙනා එක්ව එකට වැඩ කරන බවද එහිදි ඔහු ප්‍රකාශ කලා.

එමෙන්ම, අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ද මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අනිද්දා අග්‍රාමාත්‍යවරයා මුණ ගැසි සාකච්ජා කිරිමට කටයුතු කරන බවයි.

මේ අතර, පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ රට ගොඩනැගීමට පක්ෂය ප්‍රශ්නයක් කර නොගත යුතු බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුවේදී අද (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නිදහස් පක්ෂයට ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුවේ ජනතා මතය උරගා බැලීමට අභියෝග කරන බවයි.

***************************************

ජනපති කොළඹ වරාය නගරය නිරීක්ෂණය කරයි

(16.02.2020 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දහවල් කොළඹ වරාය නගරය නිරීක්ෂණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුනු ජාතික නීති සම්මේලනයේදී කොළඹ වරාය නගර සැලැස්ම කෙරෙහි අවධානය යොමු කෙරුණු බවයි. ශ්‍රී ලංකා සිතියම් වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස ඉදිකෙරෙනවා.

ගොඩකිරීම් සහ යටිතල පහසුකම් සඳහා චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක්. ගොඩනැගිලි සංකීර්ණය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 15 ක් වැය කෙරෙනවා.

නව භූමියට අදාළව සැකසූ නීති කෙටුම්පත් විශේෂ කමිටුවක අධ්‍යනයට යොමු කර ඇති අතර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සේවාවන් උදෙසා වූ ප්‍රථම විශේෂ ආර්ථික සේවා කලාපය මෙය වනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම ත්‍රෛපාර්ශවීය ගිවිසුමක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අතර එහි ගොඩනැගිලි ඉදිකිරීම් මේ වසරේ මැද ආරම්භ කිරීමට නියමිතයි. පළමු අදියර 2023 වසරේදී නිම කිරීමට අපේක්ෂිත වනවා.

***************************************

මහනුවර දී 18 ක් ඇල්ලූ ෆේස්බුක් සාදය

(16.02.2020 – 15:00 +0530 – hirunews.lk/sinhala)

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 200 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව 18 දෙනෙකු හැර සෙසු පිරිස මුදා හැර තිබෙනවා.

අද (16) අලුයම මෙම පිරිස සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් දැනට රදවාගෙන සිටින 18 දෙනා සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මොවුන් ළඟ තිබී හෙරොයින්, ගංජා, අයිස්, කුෂ් සහ විවිධ වර්ගයේ මත්පෙති සොයාගෙන තිබෙනවා ෴

***************************************

CID නිලධාරීන් බව පවසමින් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ කල්ලියක සාමාජිකයෙක් අල්ලයි

(16.02.2020 – 11:08 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා අලවතුගොඩ – බටුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 11 වනදා අදාළ නිවසට පුද්ගලයින් හයදෙනෙකු පැමිණ තිබුණේ ගිනි අවියක් සහ අත්විලංගු සහිතවයි.

පසුව නිවැසියන් බියගන්වා ඔහු විසින් රුපියල් 29,25,000 ක මුදල් සහ රුපියල් විසිපන්ලක්ෂ විසිදහසක් (25,20,000) වටිනා පවුම් 42 ක් බරැති රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබුණා.

පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (15) පස්වරුවේ 37 සැකකරු, වෑන් රථයක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිරාකඩුව – ජම්බුගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අද (16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

රෝහලට ඇතුලත් කළ මවක් භාරගැනීමට දරුවන් ඉදිරිපත් නොවීමෙන් ගැටළුවක්

(16.02.2020 – 07:17 +0530 – hirunews.lk/sinhala)

මතුගම වෑත්තෑව රෝහලට 1990 ගිලන් රථ සේවාව ඔස්සේ පසුගිය ජනවාරි 22 වෙනිදා ඇතුළත් කළ 53 හැවිරිදි මවක් රෝගී තත්ත්වයන් සුවය ලැබුව ද ඇය රැගෙන යාමට දරුවන් හෝ පවුලේ කිසිවෙකු නොපැමිණීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය පීඩාවට පත්ව සිටිනවා.

තම නිවුන් දියණියන් දෙදෙනාගෙන් එක් අයෙක් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අනෙක් දියණිය විදේශගතව සිටින බවයි මෙම මව ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම එකම පුත්‍රයා සසුන්ගත වී සිටින බව ද ඇය සඳහන් කර තිබෙනවා.

රෝහල් කාර්ය මණ්ඩලය මෙම මව සම්බන්ධයෙන් පොලිසිය ද දැනුවත් කර ඇති අතර මෙතෙක් කිසිදු භාරකරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන් පත්වී ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

***************************************

වැරදි එන්නතක් නිසා සුවයක් වෙනුවට ලැබුනු ආබාධය

(15.02.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

රෝගයක් සුවකරගැනීමට අප රෝහල වෙත යොමුවන්නේ මහත් විශ්වාසයෙන්.

එහෙත් එම විශ්වාසය බිඳ වැටුණු අවාසනාවන්ත පුවතක් අපට වාර්තා වුණේ රුවන්වැල්ල ප්‍රදේශයෙන්.

රුවන්වැල්ල ගෝනාරඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ඒ. ගුණරත්න මහතා පසුගිය දෙසැම්බර් මස 4 වැනිදා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් වන්නේ හතිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්.

එහෙත්, පසුවදා රෝහල් කාර්ය මණ්ඩලය ගුණරත්න මහතාට එන්නත් 4 ක් ලබාදී පැයක කාලයක් ඉක්ම යන විට ඔහුගේ දකුණු අත අප්‍රාණික වී කළු වර්ණයක් ගෙන තිබෙනවා.

පසුව ගුණරත්න මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට කරවනැල්ල මූලික රෝහල පියවර ගෙන තිබු අතර එහිදී අනාවරණ වී ඇත්තේ වැරදි එන්නතක් ඔහුට ලබා දී ඇති බවයි.

සිය බිරිඳ සමග ත්‍රී රෝද රථ රැකියාවෙන් දිවි සවි කරගත් ගුණරත්නට අද දෑතේ රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් හේතුවෙන් රෝගයකට සුවයක් වෙනුවට මෙවැන්නක් සිදුවීම කනගාටුවට කරුණක් නොවන්නේද ?

***************************************

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ඇස් අන්ධ කරවන රසායනික බූතයෙක් හඳුනා ගැනේ

(17.02.2020 – 13:59 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ බහුජාතික සමාගමක් විසින් නිශ්පාදනය කරන සබන් නිශ්පාදනවල සෝඩියම් ඇල්කයිල් සල්ෆේට් සහ සෝඩියම් ඩොඩෙසයිලි බෙන්සීන් සල්ෆේට් යන රසායන ද්‍රව්‍ය අඩංගුකර ඇති බව පෙන්වා දෙමින් කොළඹ වාණිජ්‍ය අධිකරණයට ඉදිරිපත් වූ නඩුවකට අදාල තොරතුරු ඇතුලත් ලිපියක් ‘ලංකා ලීඩ් නිව්ස්’ වෙත ලැබී ඇත.

එම ලිපියට අනුව පැමිණිලිකාර බහු ජාතික සමාගම විසින් නිශ්පාදනය කරන සබන් වර්ග කුඩා දරුවන්ගේ ශරීරයට ඉතා අහිතකර බවත් ඇස්පෙනීමේ දුර්වලතා ඇති කරන රසායනික ද්‍රව්‍ය ඇති බවටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති වාර්තාද ඊට ඇතුලත් කර ඇත.

එසේම එම පැමැණිලිකාර සමාගම ලංකාව හැර වෙනත් රටවල නිශ්පාදනය කරන සබන් සදහා එම රසායන ද්‍රව්‍ය යොදන්නේ නැති බව ද එම ලේඛන මගින් පෙන්වා දී ඇත.

“මේ පව්කාරකමට නොයෙක් ආකාරයෙන් සම්මාදම් වූ සහ සම්මාදම් වන ඉහළ සිට පහළට වූ ඕනෑම කෙනෙකුට ද මේ කණවැල අල්ලාගෙන තම පවින් එතෙර විය හැක. ඒ සදහා හිත හදාගත නොහැකිව මේ බූතයා යටතේ පඩියට වැඩ කරන විධායක නිළධාරියාගේ සිට සේල්ස් රෙප් දක්වා සියළු බූත සහායකයින්ටත් (ඔවුන්ගේ අඹු දරුවන්ටත්) හෙන ගහන්නේ නැද්ද? ඒ උපයන මුදලින් කන කෑමත් බොන බීමත් අපත්ති වන්නේ නැද්ද? කන්නාඩි දමාගෙන පාසල් යන දරුවෙකුගේ මුහුණ දෙස ඔවුන් බලන්නේ කෙසේද? එවන් දරුවෙකු ඉදිරියට හමුවූ විට මහා පව්කාරකමක් ඔවුන්ගේ හිතට නොහැගේ ද? සමහරවිට ඒ ඇස් පෙනීම දුර්වල දරුවා තමන්ගේම දරුවා විය නොහැකිද? තම පියා විසින් තම ඇස් පාදනු ඇතැයි දැඩිව විශ්වාස කරන තමන්ගේම දරුවාගේ ඇස්, වොෂින් පවුඩර් දමා විනාශ කරන්නේ තමාම බව දරුවා දැනගත් විට ඒ දරුවාගේ ශාපය කෙසේ හිස මත පතිත වනු ඇත්ද? ‘‘

***************************************

හෙට (18) පැය 12ක ජල කප්පාදුවක්

(17.02.2020 – 21:50 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) පෙරවරු 8 සිට පැය 12 ක කාලයක් අතුරුගිරිය, මිලේනියම් සිටි සහ කඩුවෙල ප්‍රදේශ කිහිපයකට, ජලය අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *