ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, පොහොට්ටුවෙන් මහ මැතිවරණයට- නායකයා අගමැති මහින්ද – සභාපති හිටපු ජනපති මෛත්‍රී

(17.02.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අද (17) මැතිවරණ කොමිෂන් සභාවේ නව පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරිමට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ පොහොට්ටුවයි. එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්ව සිටිනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි ලේකම්වරයායි.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබෙනවා.

නව සන්ධානයේ නියෝජ්‍ය සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලෙසත්, නියෝජ්‍ය ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ලෙසත් නම් කර ඇති අතර, එහි උප ලේකම්වරයා ලෙස පත්වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතායි.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ උප සභාපතිවරුන් තුන් දෙනෙකු නම් කර තිබෙනවා. ඒ, තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ඩිව් ගුණසේකර යන මහත්වරුයි.

එමෙන්ම, නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ලබාදුන් කාලය ද අද පස්වරු 4 න් අවසන් වුණා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් හෙට (18) පැවැත්වීමට නියමිතයි.

***************************************

පැවති ආණ්ඩුවට වඩා දැන් සහල් මිල අඩුයි.. ඒ ජනාධිපතිතුමා තොග ගබඩා වලට කඩා පැන්න නිසා.. – උදය ගම්මන්පිල

(18.02.2020 – 08:40 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය :

“හාල් මිළ ඉහළ ගිය බව තිත්ත ඇත්තක්. අස්වැන්න අඩු නම් නිසි කළට පිටරටින් ගේන්න තිබුණානෙ කියා අපට එජාපය පිට වරද පටවා බැන බැන ඉන්න තිබුණා. නමුත් අපි එහෙම කරන්නේ නැතුව හාල් මිල අඩු කරන්න කටයුතු කළා. ජනාධිපතිතුමා සෘජුව මැදිහත්වෙලා සහල්මිල අඩුකිරීමට පියවර ගත්තා. ජනාධිපතිතුමා රහසේ වෙළඳපොලට තොග ගබඩා වලට කඩා පනින්න පවා කටයුතු කළා. ඒ නිසා හාල් මිළ දැන් ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. ඒක කියන්නේ මම නොවේ.

හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනය. පෙබරවාරි 14 දා සම්බා දෙවන වර්ගයේ සාමාන්‍ය තොග මිළ කිලෝවක් රු. 93 යි. ඒකම ජනවාරි 14 දා මිළ රු. 95 යි. ඒකම දෙසැම්බර් 14 දා මිළ රු. 99 යි. එහෙම නම් හාල් මිළ මාස දෙකක් පුරා අඛණ්ඩව අඩු වෙන බව පේනවා. හැබැයි මේ ගණනට වෙළඳපොලේ ගන්න නෑ. මොකද මේ තොග මිළ මිස සිල්ලර මිළ නොවේ. නමුත් සිල්ලර මිළද මීට සමානුපාතිකව අඩුවෙලා තියෙන්නට ඕනේ. ඒ විතරක් නොවේ නොවැම්බර් 14 දා සම්බා දෙවන වර්ගයේ සාමාන්‍ය තොග මිළ කිලෝවක් රු. 94 යි. එහෙම නම් එජාප ආණ්ඩුව තිබුණු යුගයටත් වඩා දැන් හාල් මිළ අඩු වෙලා බව පේනවා.

නමුත් තව දුරටත් හාල් මිළ පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. අස්වැනු කාලයට වී මිළ දී ගෙන තොග පවත්වා ගෙන ගොස් සහල්මිල වැඩිවෙන අවස්ථාවන් හීදි ඒ තොග වෙළද පොළට නිදහස් කිරීමේ යාන්ත්‍රණයක් සැකසීමට පියවර ගනිමින් ඉන්නවා. එවිට ගොවියාට හෝ පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන සාධාරණ ස්ථාවර මිලකට සහල් මිල පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනවා.

මාධ්‍ය සංර්දශන වලට එළවළු ගෙනැවිත් එජාප මන්ත්‍රිවරුන් අද කිඹුල් කඳුළු හෙලනවා. එජාප ආණ්ඩුව කාලයේ කිව්වේ එළවළු මිළ වැඩි නම් කොස් කොල ක්‍රෝටන් කොල කන්න කියලා. ජනතාව වස කන්න කියලා විතරයි කිව්වේ නැත්තේ. එළවළු මිළ වැඩි බව ඇත්ත. ඒක සිද්ධ වුණේ 2019 ජූනි මාසයේ සිට 2020 ජනවාරි මුල දක්වා එක දිගට මාස හතක් ධාරාණිපාත වැස්සක් රට පුරාම ඇද හැලුණු නිසා. මාස හතක් එක දිගට වැස්ස අවුරුද්දක් තමන්ට මතක නැති බව අවු. 90 ක තාත්තා කෙනෙක් මා සමග කිව්වා.

මේ වැස්ස නිසා එළවළු වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒකයි එළවළු මිළ ඉහළ ගියේ. අපේ ආණ්ඩුවට තවම මාස තුනක් නෑ. පිටරටින් එළවළු ගෙන එන්න මාස තුනකට වඩා යනවා. ඒ විදේශීය එළවළු සමග ආක්‍රමණික ශාක බීජ වගේම පලිබෝධකයන් ලංකාවට එන්න පුළුවන් නිසා නිරෝධනය කළ යුතු නිසා තමයි ඒ කාලය ගත වෙන්නේ. වැස්ස නතර වුණාට පස්සේ වගා කළ එළවළු අප්‍රේල් වන විට වෙළඳපොලට එනවා. ඒ සමග එළවළු මිලේ ප්‍රශ්නය විසඳේවි.

– අරවින්ද අතුකෝරල

17-02-2020
17-02-2020

***************************************

ශවේන්ද්‍රට තහංචි දැම්මේ සුකාගේ චෝදනා මත

(18.02.2020 – 04:29 +0530 – lankaleadnews.com)

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට පැමිණීම තහනම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ පිටු 137 ක යුද අපරාධ චෝදනා මත යයි අනාරවණයවී ඇත.

මෙම තහනමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අත්සන් කර තිබේ.

සුකාගේ මෙම වාර්තාවෙන් වග විභාගයකින් තොරව සිවිල් ජනතාවට එරෙහිව හිතාමතා ප‍්‍රහාර එල්ල කිරීම, රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට ප‍්‍රහාර එල්ල කිරීම, යුද මුක්ත කලාපවලට පහරදීම්, තහනම් ආයුධ භාවිත කිරීම, කිළිනොච්චියට ප‍්‍රහාර, පුදුකුඩුඉරිප්පුවලට ප‍්‍රහාර, වලයාන්මඩයි ප‍්‍රහාර, මුල්ලිවයික්කාලේ ප‍්‍රහාර, කොටි නායකයන් මරා දැමීම යන සාවද්‍ය චෝදනා එල්ල කර ඇත.

මෙම යුද අපරාධ චෝදනාවල සාක්කිකරුවන් ලෙස දක්වා ඇත්තේ හිටපු කොටි කි‍්‍රයාකාරීන් 51 ක පිරිසකි. මොවුන්ට ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය සහ නෝර්වේ යන රටවල දේශපාලන රැකවරණ ලැබී ඇත.

ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව හිටපු මේජර් ජෙනරාල්වරයකුද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප‍්‍රකාශයක් දී තිබේ ෴

+++++++++++++++++++++

17-02-2020

***************************************

‘මයි කෝලා’ සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාදනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

(17.02.2020 – colombotoday.com)

‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදනයට යොදා ගන්නා කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය තොගයකට පාරිභෝගික සේවා අධිකාරිය විසින් සීල් තැබූ බව වාර්තා වෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකල හදිසි වැටලීමකදී කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය ‘my cola’ කර්මාන්ත ශාලාවෙන් හමුවීමෙන් පසුව මෙලෙස එම තොගයට සීල් තබා ඇති අතර එම සමාගමට මේ පිළිබඳව කරුණු දක්වන ලෙස දැන්වූ බවයි පාරිභෝගික සේවා අධිකාරි ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම මාසය මුලදී වත්තල ප්‍රදේශයේ ‘caravan fresh’ සන්නාමය ඔස්සේ පවත්වාගෙන ගිය කේක්, පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පධනය කල ‘මදිනා ෆුඩ් පුද්ගලික සමාගම’ට අයත් නිෂ්පාධනාගාරයකට ද සීල් තබන ලදි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *