හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් දිගු හෙළිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් දිගු හෙළිදරව්වක් (විඩියෝ)

• දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

• පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් චෝදනාවක් (විඩියෝ)

• රන්ජන්ගේ හඬපට සම්බන්ධයෙන් උණුසුම් වු පාර්ලිමේන්තුව (විඩියෝ)

• පාර්ලිමේන්තුව විසුරුවීම (විඩියෝ)

• ශ්‍රී ලංකාව ආයෝජනයට හොඳම රට බවට පත්කිරීම තම අභිප්‍රාය බව ජනපති පවසයි

• බන්ධනාගාර රැදවියන් 5000 ක් රැකියා නියුක්තිකයින් කිරීමේ වැඩ පිළිවෙළක්

• COPA සහ COPE කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන ලෙසට හඳුන්නෙත්තිගෙන් ඉල්ලීමක්

• විදුලිබල මණ්ඩලය වසර 3 කදී සැළැස්මෙන් පිට කෝටි 5,000 ක විදුලිය අරන්

• රටට වින කරන කුලී රථ රියදුරෝ (විඩියෝ)

• මිල ලක්ෂ 30.5 යි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අලුත්ම SUV රථය KUV100 NXT මුල්ම ගමන් වාරය අරඹයි (විඩියෝ)

• රාජ්‍ය සේවයේ දින 180 සම්පුර්ණ කළ කාර්යාල සහයකයින් හා රියදුරන් ස්ථිර කෙරේ

• මහින්ද, මෛත්‍රී සාකච්ඡා මාලාවේ අලුත්ම තොරතුරු එළියට (විඩියෝ)

• ඊ.ටී.අයි. තැන්පත්කරුවන්, මහ බැංකුව සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථකයි (විඩියෝ)

• කසළ තේ කිලෝ 15,000 ක් මරදානෙන් සොයාගැනේ

+++++++++++++++++++++++++++++++++++

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් දිගු හෙළිදරව්වක්

(18.02.2020 – 22:22 +0530 – sinhala.adaderana.lk)

පසුගිය යහපාලන රජය දිගින් දිගටම තමන්ව දේශපාලනික ලෙස දඩයම් කිරීමට උත්සහ කළ බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

කොමිසම හමුවේ අද (18) සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ යුද ජයග්‍රහණයට මුල්වූ ප්‍රධාන පෙලේ හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තරය පිනවීම යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණක් බවට පත්ව තිබූ බවයි.

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය සේවකයින් මුහුණදුන් දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (18) සාක්ෂි ලබාදුන්නේ කොමිසමට පළමු පැමිණිල්ල ගොනු කර තිබූ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතායි.

වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් නීතීඥ රජික බාලසූරිය මහතා කොමිසම හමුවේ පෙනී සිටි අතර ඔහු සිය සේවාදායකයාගෙන් ප්‍රශ්න කරමින් විමසුවේ 2009 වසරේ මැයි 19 වනදා යුද්ධය අවසන් වූ කාලසීමාවේ වෙනත් විශේෂ සිදුවීමක් පිළිබඳ වාර්තා වූයේද යන්නයි.

එම කාලසීමාව අතරතුර ලුතිතන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නොහොත් නේවී සම්පත් නැමැති නිලධාරියා තරුණයින් 05 දෙනෙක් ත්‍රිකුණාමලය නාවික කඳවුරේ රඳවාගෙන සිටින බවට බටලන්ද ආරක්ෂක විද්‍යාලය බාරව සිටි කපිතාන් ජේ.ජේ රණසිංහ නැමැති නිලධාරියා තොරතුරක් ලබාදුන් බව හිටපු නාවික හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.

එම කාලය යුද්ධයේ අවසාන සමය වූ අතර ‘ප්‍රභාකරන් පැනයන්නේනම් පැනයාමට හැකියාව ඇත්තේ මුහුදෙන්’ බවට එවකට යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් පවා කර තිබූ පසුබිමක නාවික හමුදාපතිවරයා ලෙස තමා ඒ ගැන දැඩි අවධානයෙන් සිටි නමුත් මෙම සිද්ධියට අදාලව විමර්ශනයක් සිදුකරන ලෙස නාවික බුද්ධි අධ්‍යක්ෂවරයා වෙත නියෝග කළ බව කරන්නාගොඩ මහතා පැවසුවේය.

එසේවුවද ලුතිතන් කමාන්ඩර් සම්පත් මුණසිංහගේ නිල කාමරය පරික්ෂා කරන ලෙසද තමා නාවික විනය ආරක්ෂක අංශය හෙවත් නාවික පොලිසීයට නියොග කළ අතර එහි තිබී පුද්ගලයින් හතර දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් හමුවූ බව නිලධාරීන් තමා දැනුවත් කළ බවද ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සඳහන් කළේය.

එමෙන්ම එහි තිබී ගුවන් ගමන් බලපත්‍රයක්,ණයකර පත් කිහිපයක්, බැංකු පොත් හතරක් හමුවූ අතර එම බැංකු ගිණුම්වල මිලියන ගණන් තැන්පත් කර තිබීම සැකයට තුඩුදුන් කාරණයක් වූ බවද ඔහු කොමිසමට පෙන්වා දුන්නේය.‍

එය දැනුම්දීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා තමාට ලබාදුන් උපදෙස් අනුව මේ පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයට දැන්වූ බවත් හිටපු නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

එමෙන්ම තමා සම්පත් මුණසිංහ නැමැති නිලධාරියා සතියක කාලයක් සඳහා අනිවාර්ය නිවාඩු යැවීමටද කටයුතු කළ බව වසන්ත කරන්නාගොඩ මහතා පෙන්වා දුන්නේය.

එම කාලය වන විට තමා සහ එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා අතර ඝට්ටණයක් පැවති බව බොහෝ දෙනෙක් දන්නා අතර චෝදනා එල්ල වී සිටි ලුතිතන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නම් නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවූ සතිය අවසන් වීමෙන් පසුවද රාජකාරියට වාර්තා නොකර එවකට යුද හමුදාපතිවරයාගේ රැකවරණය යටතේ රැඳී සිටි බවට තමාට තොරතුරු ලැබුණු බවද කරන්නාගොඩ මහතා පැවසීය.

තමා ඒ පිළිබඳ වහාම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ නියෝග අනුව පසුව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා 2009 ජූනි 10 වනදා ලුතිතන් කමාන්ඩර් සම්පත් මුණසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව වසන්ත කරන්නාගොඩ මහතා පැවසීය.

කෙසේ වෙතත් 2009 ජූලි 18 වනදා එවකට ධීවර අමාත්‍යවරයා වූ ෆීලික්ස් පෙරේරා මහතා අතුරුදන් වී ඇති තරුණයින් කිහිපදෙනෙක් සොයාගැනීම සඳහා උපකාර කරන ලෙස තමාට ලිපියකින් දැනුම් දුන් අවස්ථාව වන විටත් තමා එම සිද්ධියට අදාළව විමර්ශන සිදුකිරීමට පියවර රැසක් ගෙන තිබූ නමුත් ඉන් මාස 02 කට පසු තමා නාවික හමුදාපතිවරයා ලෙස විශ්‍රාම ගිය බව වසන්ත කරන්නාගොඩ මහතා සඳහන් කළේය.

කරන්නාගොඩ මහතා පෙන්වා දුන්නේ 2015 වසරේ සිදුවූ ආණ්ඩු පෙරලියත් සමග යහපාලන ආණ්ඩුව තමාව මෙම සිද්ධියට සම්බන්ධ කොට අත්අඩංගුවට ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සහ කළ බවයි.

2016 සැප්තැම්බර් 30 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමා අමතා ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව පැවසූ නිසා තමා 2016 ඔක්තෝබර් මස 05 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන් බවත් හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී තමාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයා 2009 වසරේදී එවූ ලිපිය සම්බන්ධයෙන් පමණක් වුවද ඉන් දින දෙකකට පසු තමා වෙලගෙදර නම් නාවික හමුදාවේ සාක්ෂිකරුවෙකුට මරණ තර්ජන සිදුකර ඇති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තිබූ බව හිටපු නාවික හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

තමා වෙලගෙදර නම් නිලධාරියෙක් සම්බන්ධයෙන් හෝ එම නඩුවේ එවැනි සාක්ෂිකරුවෙක් සිටීදැයි සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි අතර ව්‍යාජ චෝදනා මත තමාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව තමා රජයේ ඉහල බලධාරීන්ට දැනුම් දුන් බව වසන්ත කරන්නාගොඩ මහතා පැවසිය.

තමන්ට පසු නාවික හමුදාපති තනතුරට පත්වූ රියර් අද්මිරාල් ‍ට්‍රෙවිස් සින්නයියා මහතා 2017 වර්ෂයේ මෙම නඩුවට අදාළව සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන්ද යහපාලන ආණ්ඩුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බව වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශ කළේය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙමින් තරුණයන් පැහැරගැනීමේ සිදුවීමට වසන්ත කරන්නාගොඩ මහතා වගකිවයුතු යැයි ප්‍රකාශයක් කළ බවත් එම ප්‍රකාශය සිදුකර සති 3 ක් වැනි කෙටි කාලයක් තුළ ඔහුව යහපාලන රජය විසින් නාවික හමුදාපති තනතුරට පත් කළ බවත් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.

වසන්ත කරන්නාගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම ක්‍රියාදාමය පසුපස ජීනිවා මානව හිමිකම් කොමිසමේදි රට පවාදීමට ප්‍රමුඛව ක්‍රියාකළ යහපාලන රජයේ අමාත්‍යාවරයෙකුද සිටි බවයි.

එසේම තමන් නාවික හමුදාපතිව සිටි කාලවකවානුවේ තමන්ට ඉතා සමීපව සිටි ලේකම්වරයා වන රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශයක් මත පදනම්වද යහපාලන රජය තමන් අත් අඩංගුවට ගැනීමට උත්සහ කළ අතර එම ප්‍රකාශය සිදුකිරීම වෙනුවෙන් ත්‍යාගයක් ලෙස යහපාලන රජය විසින් ඔහුට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂකධුරය පිරිනැමූ බවද හිටපු නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

වසන්ත කරන්නාගොඩ මහතා වැඩිදුරටත් පැවසුවේ එක් අවස්ථාවකදී මෙම විමර්ශනයට අදාළව සාක්ෂි ලබාදීමට ගිය නාවික හමුදා නිලධාරියෙකු ලවා තමන්ට අවැසි දේ කියවා ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඔහුට තර්ජනය කර පහරදීමට පවා උත්සහ දරා ඇති බවයි.

පසුගිය වසරේ එල්ලවූ පාස්කු ප්‍රහාරයද යහපාලන රජය විසින් ගෙනගිය මෙම රණවිරු දඩයම නිසා ලෙස බුද්ධි අංශ දුර්වල වීමේ ප්‍රථිපලයක් බවද වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති කොමිසම හමුවේ පැහැදිලි කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

(19.02.2020 – 08:13 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි භාර ගැනීමේ කාලය හෙට දිනයෙන් අවසන්වෙයි.

ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම සිදු නොකරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි 305 ක් ලැබී තිබේ.

අදාල පැමිණිලි සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ කටයුතු ජනපති කොමිසමේ ‍පොලිස් ඒකකය මගින් සිදු කෙරෙන අතර අනතුරුව සාක්ෂි විභාග කිරීමේ කටයුතු කොමිසම මගින් සිදු කරනු ඇත.

එහි සාක්ෂි විභාග කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ ෴

***************************************

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් චෝදනාවක්

(18.02.2020 – 21:58 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ඇතැම් කොමිෂන් සභා සහ කමිටු ඇතැම්විට එම සිද්ධියේ සත්‍ය වසන් කිරීම සඳහා කටයුතු කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද (18) පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමියන් මේ බව පැවසීය.

වත්මන් කොමිෂන් සභාව ජනතාවට විවෘත කර තොරතුරු දැනගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.

ඇතැම් පුද්ගලයන් මෙවැනි දේ සිදු කරන්නේ දේශපාලන වාසි ගන්නට දැයි සැකයක් මතු වන බවද උන්වහන්සේ පැවසීය.

+++++++++++++++++++++

***************************************

රන්ජන්ගේ හඬපට සම්බන්ධයෙන් උණුසුම් වු පාර්ලිමේන්තුව

(18.02.2020 – 21:40 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය අද (18) ආරම්භ විය.

විවාදය හෙට (19) දිනයේත් පැවැත්වෙන අතර රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬපට සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬපට සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා විශේෂ නිවේදනයක්ද නිකුත් කළේය.

එහිදි ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මන්ත්‍රීවරයෙකු විසින් සභාගත කරන ලේඛන කථාවට අදාළත්වයක් තිබිය යුතු බවයි.

එමෙන්ම යම් දෙයක් සභා ගත කරන පැවසුවේ නම් තම කථාව අවසන් වු වහාම එම අදාල දෙය සභා ගත කල යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

***************************************

පාර්ලිමේන්තුව විසුරුවීම

(18.02.2020 – 21:28 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව මාර්තු මස දෙවනිදා සහ මාර්තු හයවෙනිදා අතර දිනෙක ස්ථිර වශයෙන්ම විසුරුවා හරින බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා අද (18) අනාවරණ කළේය.

මේ අතර නව සන්ධානයේ සභාපති ධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිම සම්බන්ධයෙන් අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණු දෙපාර්ශ්වයම අදහස් පළ කළේය.

අද (18) පැවති මාධ්‍ය හමුවකදි ඒ සම්බන්දයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ප්‍රබලම නායකයන් සිටින සන්ධානය මෙය බවත් ජනාධිපතිවරු තිදෙනෙකුගේ නායකත්වය ලැබෙන බවත්ය.

එමෙන්ම මැතිවරණයට පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වන බවද අමාත්‍යවරයා පැවසීය.

අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබ සාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදි ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයේ සමාජිකයෙක් බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට සහය දුන්නා සේම ඉදිරියේදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ශ්‍රී ලංකාව ආයෝජනයට හොඳම රට බවට පත්කිරීම තම අභිප්‍රාය බව ජනපති පවසයි

(18.02.2020 – 21:08 +0530 – sinhala.adaderana.lk)

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළ යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමකි.

බලපත්‍ර නිකුත් කිරීමේ දී ගතවන කාලය හැකි උපරිමයෙන් අඩු කර විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාතේ ජලජීවි උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලැබී නැත. ඒ පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිතුමා ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නැයි දැනුම් දුන්නේය.

එමගින් රැකියා අවස්ථා රැසක් බිහි වේ. ප්‍රශ්න විසඳා සංහිඳියාව ඇති කිරීමට ඇති හොදම මග එය බව ද ජනාධිපතිතුමා පැවසීය.

නීති රීති සම්පාදනය කළ යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීම ද අරමුණු කර ගෙන යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහත්වරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ ෴

***************************************

බන්ධනාගාර රැදවියන් 5000 ක් රැකියා නියුක්තිකයින් කිරීමේ වැඩ පිළිවෙළක්

(18.02.2020 – 18:37 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරය එක්ව දියත් කරනු ලබන බන්ධනාගාර රැදවියන් 5000 ක් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයින් බවට පත් කර සමාජ ගත කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීම අද (18) බන්ධනාගාර මුලස්ථානයේදී සිදු විය.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ මෙම සිදු විය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබිලිව්. තෙන්නකෝන්, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් ද මෙහිදි අදහස් දැක්වීය.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය දේශිය වෛද්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි, සංචාරක රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්මහත්මීන් සහ බන්ධනාගාර රැදවියන් පිරිසක් ද එක් විය ෴

***************************************

COPA සහ COPE කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන ලෙසට හඳුන්නෙත්තිගෙන් ඉල්ලීමක්

(18.02.2020 – 18:05 +0530 – sinhala.adaderana.lk)

රජයේ ගිණුම් කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපතිවරයාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති නිලධාරින් කමිටු රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කටයුතු සලසන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද (18) කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අටවැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සැසිවාරය සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එතුමා මේබව පැවසීය.මෙම වාර්තාවේ මහජන බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, මහබැංකුව, සමාජ ආරක්ෂණ අරමුදල ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ආයතන දහයක කරුණු අන්තර්ගත වී තිබේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ කථානායකතුමාගේ මූලිකත්වයෙන් සියලු දෙනාගේ එකගත්වයෙන් කෝප් සහ කෝපා වැනි කමිටු ජනමාධ්‍යයට විවෘත කිරීම පාරලිමේන්තුව ජනතාව අතර ඇගයීමට ලක්වු ඉතා සාධනීය පියවරක් වන බවත් ඉන් නොනැවති එහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම කමිටු තුළින් අනාවරණය වන කරුණු ඔස්සේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්ය.

මෙම කමිටුවලට නීතිමය බලතල නොමැති වුවද නීති නිලධාරින්ගේ නිරීක්ෂණ මගින් මෙම කරුණු ඇසින් දුටු සාක්ෂි බවට පත්කර ගැනීමට හැකියාව ඇති බව එතුමා සදහන් කළේය. එබැවින් නීති නිළධාරින් මෙම කාරක සභා නිරීක්ෂණයට කැදවීම තුළින් නෛතික පියවර ගැනීම පහසු වන බවත් මේ පිළිබදව ජාත්‍යන්තර ආදර්ශ ලබා ගත හැකි බවත් එතුමා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

විදුලිබල මණ්ඩලය වසර 3 කදී සැළැස්මෙන් පිට කෝටි 5,000 ක විදුලිය අරන්

(19.02.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවැත්වුණා.

කල්තැබීමේ විවාදයක් ලෙස ඊට අදාළ යෝජනාව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ඉදිරිපත් කළා.

මේ අතර කෝප් කමිටුවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ඊයේ (18) ඉදිරිපත් කළා.

එහි රාජ්‍ය ආයතන 10 ක අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළ තොරතුරු ඇතුළත් වනවා.

එම වාර්තාවට අනුව 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පුද්ගලයින් 11 දෙනෙකුට රුපියල් ලක්ෂ 97 ක ණය ලබාදී ඇති අතර, ඉන් පියවීම් සිදුකර ඇත්තේ රුපියල් තුන්ලක්ෂ අසූ දෙදහස් 316 ක මුදලක් පමණයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව 2017, 2018 වර්ෂවලදී කාර්යමණ්ඩල දීමනා ලෙස රුපියල් දහසය කෝටි අනූපන් ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවද එම වාර්තාවේ සදහන්.

එමෙන්ම 2016 සිට 2019 දක්වා කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජනන සැළැස්මට පරිබාහිරව රුපියල් කෝටි 5,000 කට අධික විදුලිය මිලට ගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකුට මාස 6 ක සේවා දිගුවක් ලබාදී විශ්‍රාම යාමෙන් අනතුරුව වාහනයක්ද ලබාදී ඇති අතර, එමඟින් මහජන බැංකුවට රුපියල් එක්කෝටි 54 ලක්ෂයක පාඩුවක් සිදුව ඇති බව ද කෝප් වාර්තාවේ තවදුරටත් සදහන් ෴

***************************************

රටට වින කරන කුලී රථ රියදුරෝ

(18.02.2020 – 22:25 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කුලී රථ රියදුරන් විශාල දායකත්වයක් දක්වයි.

එහෙත් ඇතැම් කුලී රථ රියදුරන් නිසා මෙරට සංචාරක ක්ෂේත්‍රය ලොව පුරා අපකීර්තියට පත්වන තත්ත්වයක් දැන් උද්ගතවී තිබේ.

මේ අනාවරණය එවන් පිරිසක් ගැනයි.

‘ජංගම දුරකථන යෙදවුම් (ඇප්)’ හරහා ඇණවුම් කෙරෙන කුලී රථ සේවා, ලොව බොහෝ රටවල මෙන්ම අපේ රටේත් ජනප්‍රියයි.

නිශ්චිත සහ පහසු මිල ගණන් පැවතීම, රියදුරන්ට ආයතනික වගකීමක් ඇති නිසා ආරක්ෂාකාරී ගමනක් සැපයීම වැනි කරුණු නිසා එම සේවා විශ්වසනීය හා ඵලදායී වන බව නගරබද බොහෝ දෙනා පවසන්නේය.

එලෙස කොළඹ සිට වෙනත් ප්‍රදේශවලට කුලී ගමන් යන රියදුරන් බොහෝ විට යළි කොළඹට පැමිණෙන්නේ තවත් කුලී ගමනක් ලබාගනිමින්.

මෙලෙස කොළඹින් පිට නගරවලින් කුලී ගමන් ලබාගැනීමේදී එම ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු සාමාන්‍ය කුලී රථ රියදුරන් මෙම සේවා සපයන්නන්ට තර්ජනය කරන අවස්ථා රැසක් පසුගිය කාලයේ වාර්තා විය.

එවැනි සංවිධානාත්මක පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අසලදී රියදුරන්ට තර්ජනය කරන ආකාර ද පසුගිය දා දැක ගත හැකි විය.

මෙවන් සිදුවීම් මහනුවර, දඹුල්ල, මීගමුව ඇතුළු දකුණු පළාතේ ස්ථාන රැසකින්ද වාර්තා විය.

මෙහි තවත් ඛේදනීය තත්ත්වයක් නම් මෙරටදී ‘ජංගම දුරකථන ඇප්’ හරහා කුලී ගමන් සේවා ලබාගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවීමයි.

රියදුරන් තර්ජනයට ලක්වූ ඇතැම් අවස්ථාවලදී එම සේවා ලබාගෙන තිබුණේ විදෙස් සංචාරකයින්.

විදේශිකයින් මෙවන් සිද්ධිවලට නිතර මුහුණදෙන්නේ නම් ශ්‍රී ලංකාව පිළිබඳ ලොව පුරා සංචාරකයන්ට ඇතිවන ආකල්පය කෙබඳුද?

පාරිභෝගිකයාට ඉහළ සේවාවක් ලබාදී විශ්වාසය දිනාගැනීම වෙනුවට සංවිධානාත්මක ලෙස චණ්ඩිකමින් ක්‍රියා කරන මෙවන් කල්ලිවලට තවදුරටත් අවස්ථාව දිය යුතුද?

බලධාරීන්ගේ අවධානය පිණිසයි.

***************************************

මිල ලක්ෂ 30.5 යි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අලුත්ම SUV රථය KUV100 NXT මුල්ම ගමන් වාරය අරඹයි

(19.02.2020 – biz.adaderana.lk)

මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT k6+ නවතම SUV රථය පසුගිය දා වැලිපැන්න MILPL අංගනෙය් දී මුල්වරට ධාවනෙය් යොදවන ලදී.

ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කරන්නට සමත් වූ ප්‍රමුඛ පෙළේ රථයක් වන මෙය වසර 3ක වගකීම / කි.මී. 100,000 ක වගකීම මෙන්ම අයිඩියල් මෝටර්ස් දීප ව්‍යාප්ත සේවා ජාලය ද හේතුවෙන් පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව මිල දී ගත හැකි රථයක් ලෙස ද හැඳින්විය හැකිය.

මහින්ද්‍රා සමාගම සහ යිඩියල් මෝටර්හ් හවුල්කාරීත්වය ඇතිව නිර්මාණය කළ MILPL සමාගම සතු මහින්ද්‍රා වාහන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයක් ලෙස මෙය එළිදකී.

අන්තර්ජාතික සම්මතයන්ට හා වාහන නිෂ්පාදකයා විසින් අනුමිත ප්‍රමිතීන්ට අනුවම ශ්‍රී ලංකාවේ දී වාහන එකලස් කිරීමේ හැකියාව මෙහි පවතින අතර නවීන තාක්ෂණික යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් අංග සම්පූර්ණ වශයෙන් වාහන එකලස් කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු CKD වාහන කර්මාන්තශාලාව ද මෙය වේ.

නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වැලිපැන්න වාහන කර්මාන්තශාලාවේ දී එකලස් කොට නිර්මාණය කෙරුණු KUV100 NXT ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මෙම මාදිලියේ පළමු මෝටර් රථය වේ.

මෙම කර්මාන්තශාලාවෙන් වසරකට වාහන 5,000 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.

KUV100 NXT k6+ නවතම SUV රථය රු. 3,050,000/- ක හඳුන්වා දීමේ මිලකට මිල දී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට දැන් උදා වී තිබේ.

***************************************

රාජ්‍ය සේවයේ දින 180 සම්පුර්ණ කළ කාර්යාල සහයකයින් හා රියදුරන් ස්ථිර කෙරේ

(19.02.2020 – 09:34 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ දින 180 සම්පුර්ණ කළ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනමේ සිටින කාර්යාල කාර්ය සහයකයින් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා ෴

***************************************

මහින්ද, මෛත්‍රී සාකච්ඡා මාලාවේ අලුත්ම තොරතුරු එළියට

(19.02.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන්නේ පොහොට්ටුව ලකුණින් වුවද ගොඩනගන සන්ධානයේ ඕනෑම පක්ෂයකට තමන්ගේ ලකුණින් වුවද තරඟකර සන්ධානයට එක්විය හැකිබව අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ඊයේ රාත්‍රී අරලියගහ මන්ධිරයේ පවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මීට පෙර ප්‍රකාශ කර තිබුනේ ඇතැම්විට උතුරු නැගෙනහිර පළාත්වලදී ශ්‍රී.ල.නි.පයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණවන බුලත් කොළයෙන් තරඟකිරීමට සිදුවිය හැකිබවයි.

ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ආරුමුගම් තොණ්ඩමන්, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්දා යන මහත්වරු ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටියා.

මේ අතර ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවයි.

***************************************

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්, මහ බැංකුව සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථකයි

(18.02.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින්, ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සහ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු සමඟ අද සිදුකළ සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.

සිය ගැටළුවලට විසඳුම් මෙම සාකච්ඡාවේදී නොලැබුණු බවයි එම සංගමයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය කියා සිටියේ.

තම තැන්පතු මුදල් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද (18) මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භවූ විරෝධතා පා ගමනින් පැමිණි තැන්පතුකරුවන් මහ බැංකුවට ඇතුලුවීමට උත්සාහ දැරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

පසුව විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය අසළ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගොස් එහි විරෝධතාවයේ නිරතවුණා.

මේ අතර විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා සම්පූර්ණ වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

මහජනතාව අපහසුතාවට පත්වීම හේතුවෙන් එම සත්‍යග්‍රහය වහාම නතර කරන ලෙස දන්වා කොටුව පොලීසිය සත්‍යග්‍රහයේ නිරත පිරිස් වෙත අධිකරණ නියෝගයක්ද භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

කසළ තේ කිලෝ 15,000 ක් මරදානෙන් සොයාගැනේ

(18.02.2020 – 16:26 +0530 – hirunews.lk/sinhala)

මරදාන – සංඝරාජ මාවතේ ගබඩා දෙකක් තුළ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 15,000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගත්තා.

ඒ අතර තිබී විදේශ රටවලට යවනු ලබන තේ ඇසුරුම් තොගයක්ද හමුවූ බවයි වැටලීමට එක්වූ නිලධාරියෙකු සඳහන් කළේ.

මේවා සකස් කළ පුද්ගලයෙකුද එහිදී අත්අඩංගුවට පත්වූ අතර, ඔහු 53 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සහ කසළ තේ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කොටහේන පොලීසියට භාරදී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *