හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට විරුද්ධව අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජානිපෙ කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට විරුද්ධව අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජානිපෙ කියයි (විඩියෝ)

• නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා ගැන වාර්තාවක් සකස්කල නිලධාරින්ට බලපෑම් කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විගණකාධිපති කියයි (විඩියෝ)

• යහපාලන රජය තම සේවය අත්හිටවූ හේතුව හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ජනපති කොමිසම හමුවේ හෙළිකරයි (විඩියෝ)

• ආණ්ඩුව අතුරු සම්මත ගිණුමේ සංශෝධන ඉවත් කර ගනී (විඩියෝ)

• අතුරු සම්මත ගිණුම සංශෝධනයට ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීම ගැන විවිධ අදහස් (විඩියෝ)

• එජාපය ජනතා සහන වළක්වන බවට පොහොට්ටුවෙන් චෝදනා (විඩියෝ)

• හාලිඇල සිසුන් දියේ ගිලෙද්දී ගුරුවරුන් වගකීම පැහැර හැරියේදැයි විමර්ශන (විඩියෝ)

• නීති ලිහිල් කර ජන ජීවිතය පහසු කරන්නැයි ජනපති රාජ්‍ය නිලධාරින්ට කියයි (විඩියෝ)

• නිශ්ශංක සේනාධිපති ඇතුලු විත්තිකරුවන් 8 දෙනෙකුට ඉදිරිපත් කළ සංශෝධිත අධි චෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කෙරේ

• මහේස්ත්‍රාත් නියෝගයකින් තොරව විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගැනීම වළක්වා, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

• සයින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි (විඩියෝ)

• යහපාලන ආණ්ඩුව සමඅනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය – තීරණය පාර්ලිමේන්තුවටත් දන්වයි (විඩියෝ)

• එයාර්බස් ගණුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදුකළ බවට කෝප් කමිටුවේදී හෙළිවෙයි (විඩියෝ)

• ක්‍රිකට් ආයතනයේ විකාශන ටෙන්ඩර් ගැන, පරීක්ෂණ රහස් පොලිසියට භාරදෙන්නැයි, කෝප් කමිටුවෙන් නිර්දේශ

• සමාජ මාධ්‍ය ඔස්සේ දැරියන් බිය ගන්වා, අපයෝජනය කළ පාසල් සිසුන් ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට

• මෙරට රණවිරුවන් තවමත් අවදානමක – රියර් අද්මිරාල් සරත් වීරසේකර

+++++++++++++++++++++++++++++++++++

හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට විරුද්ධව අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජානිපෙ කියයි

(20.02.2020 – 22:34 +0530 – hirunews.lk/sinhala)

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සඳහා රජයේ මුදල් කෝටි ගණනින් වැය කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට විරුද්ධව අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අවධාරණය කරනවා.

අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් අදහස් පළවුණා.

***************************************

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා ගැන වාර්තාවක් සකස්කල නිලධාරින්ට බලපෑම් කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විගණකාධිපති කියයි

(20.02.2020 – 20:53 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන වාර්තාවක් සකස්කල විගණන නිලධාරින් හට බලපෑම් කරමින් විරෝධතාවයේ නිරත පිරිස්වලට එරෙහිව නීතිපතිවරයා සමග සාකච්ඡා කර නුදුරේදීම දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විගණකාධිපතිවරයා පවසනවා.

මේ අතර විරෝධතා පවත්වමින් විගණන නිලධාරීන්ට සිදුකළ බලපෑම පිළිබදව ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය ලිපියක් මගින් කතානායක කරූ ජයසූරිය මහතා ද දැනුවත් කර තිබෙනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය වන ජයනි ප්‍රිශංගිකා මහත්මිය සිදුකල බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේම වාර්තා කළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසලට සිසුන් ඇතුලත් කර ගැනීම, අවිධිමත් ආකාරයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, නවක සිසුවියන්ගෙන් මුදල් හා ද්‍රව්‍යමය ආධාර ලබාගැනීම, ව්‍යාජ මිල කැඳවුම් ඉදිරිපත් කිරීමල වාහන අවභාවිතාවල ව්‍යාජ යතුරක් කපා විගණනයට අදාල ලිපිගොනු පාසලේ අල්මාරියකින් ඉවතට ගැනීම ඇතුළු චෝදනා රැසක් ඇයට එරෙහිව ඉදිරිපත් වී තිබෙනවා.

අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් යැයි පැවසෙන පිරිසක් Anula PPA නමින් ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර අදාල විමර්ශනය සිදුකල නිලධාරීන්ගේ නම්, ගම්, ඡායාරූප යොදා ගනිමින් ඔවුන් සිදුකල විමර්ශනය හා විමර්ශන වාර්තාව දැඩිලෙස විවේචනයට ලක්කෙරෙනු දක්නට ලැබුණා.

මේ ආකාරයට විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ස්වාධීනත්වයට බාධා කරමින් අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය සිදුකරන බලපෑම පිළිබදව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ලිපියක් මගින් කතානායක කරූ ජයසූරිය මහතා දැනුවත් කර තිබෙනවා.

ලිපිය මගින් ඔවුන් කථානායකවරයා හට පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව විසින් පනවන ලද ව්‍යවස්ථාපිත කාර්ය භාර්යක් ඉටු කරන රාජ්‍ය විගණනයට බාධා කිරීම පාර්ලිමේන්තුවට සිදුකරන අපහාසයක් බවයි.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 62 වන සංවත්සර රැස්වීමේදී ද අදහස් පළ වුණා.

***************************************

යහපාලන රජය තම සේවය අත්හිටවූ හේතුව හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ජනපති කොමිසම හමුවේ හෙළිකරයි

(20.02.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ රජයට පක්ෂපාතී අයුරින් ඇතැම් නඩු කටයුතු මෙහෙයවීමට තමන් අපොහොසත් වීම හේතුවෙන් තමන්ගේ සේවය අත්හිටවූ බව කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) කොමිසම හමුවට කැඳවුණේ පසුගිය ජනවාරි මස 24 වැනි දින ගොනුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි විමසීම සඳහායි.

එය කුමන පදනමක් මත සිදුකර ඇත්ද යන්න කොමිසම මෙහිදී ප්‍රශ්නකර සිටියා.

කොමිස හමුවේ සාක්ෂි දෙමින් තමන් යටතේ විභාග වූ නඩු කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට එල්ලවු බලපෑම් හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා අනාවරණ කළා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන අය රාජිත සේනාරත්න මහතාගේ බාලපුතුට විවාහ කරදීමේ අරමුණින් බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටිමට අදාළ නඩුවක් තමන් විභාග කළ බවත්ල එහිදී තමන් අදාළ දැරිය පිළිබඳ සොයාබලා අධිකරණයට කරුණු වාර්තා කිරිම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්ත පරිවාස නිලධාරියෙකුට උපදෙස් ලබාදුන් බවත් කොමිසම ඉදිරියේ කියා සිටියා.

අදාළ පරිවාස නිලධාරිනියට බලහත්කාරයෙන් රඳවාගෙන සිටින දැරිය පිළිබඳ කරුණු සොයා බැලිමට රාජිත සේනාරත්න ඉඩ ලබානොදී එම නිලධාරිණියට ස්ථාන මාරුවක් ලබාදුන් බව හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා සිය සාක්ෂියේදී අනාවරණ කළා.

අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබඳ තැතිගැනීමක්ද තමන්ට පැවති බව හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී කොමිසම විමසුවේ විනිසුරුවරයෙකු එලෙස බියවිය යුතුද යන්නයි.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ තමන්ට නිරන්තරයෙන් විවිධ මාධ්‍යයන් හරහා විවේචන එල්ලවූ බවයි.

මීට අමතරව, තිස්ස අත්තනායක මහතාගේ කූඨ ලේඛන පිළිබඳ සිද්ධිය, නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ සිද්ධිය, පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ නඩුව මෙන්ම නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධීන් වලට අදාළ නඩු විභාගවලදී තමන් ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් පසුගිය රජය දැඩි අප්‍රසාදයකින් පසුවූ බව සාක්ෂි ලබාදීමේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

යහපාලන සමයේ රජයට පක්ෂග්‍රාහීව නඩු කටයුතු මෙහෙයවීමට තමන් අපොහොසත් වූ නිසා අවසන් ප්‍රතිඵලය සිය සේවය අත්හිටවීම බව අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

මේ අතර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද (20) තෙවනවරටත් දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී කොමිසම විමසා සිටියේ විවිධ වකවානුවන්හිදී සාක්ෂිකරු 6 වතාවක් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයන්ගේ යම් රටාවක් තිබුණේද යන්නයි.

එහිදී හිටපු නාවික හමුදාපතිවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන් අත්අඩංගුවට ගැනීමට තැත්කිරීමේ සිද්ධීන්ට සෘජුව සම්බන්ධ බවයි.

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති සෑම අවස්ථාවකදීම ජිනීවා සමුළුව ක්‍රියාත්මකව තිබීම ඊට හේතුව බව ඔහු පෙන්වා දුන්නා.

මේ වසරේ පෙබරවාරි මාසයේ අග භාගයේ ජිනීවා සමුළුව රැස්වන බැවින් තමන්ව විවිධාකාරයේ අසත්‍ය සිද්ධීන් සඳහා ඇඳා ගැනීමේ උත්සාහයක් පවතින බව කරන්නාගොඩ මහතා කියා සිටියා.

මෙය යහපාලන රජයේ දේශද්‍රෝහි ක්‍රියාවක් බවයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ මහතා සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

ආණ්ඩුව අතුරු සම්මත ගිණුමේ සංශෝධන ඉවත් කර ගනී

(20.02.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතුරු සම්මත ගිණුමට අදාළව නව ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධන යෝජනා අද (20) ඉවත් කර ගැණුනා.

ඒ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමකින් අනතුරුවයි. සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවමින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවූ අතර එහිදී විපක්ෂය සඳහන් කර ඇත්තේ අදාළ සංශෝධන සඳහා ඔවුන්ට සහය ලබාදිය නොහැකි බවයි.

ඊට අදාළව ඔවුන් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර ඇති අතර, ඊට ආණ්ඩු පක්ෂයෙන් එකඟත්වයක් හිමිව නැහැ.

ඒ අනුව, අදාළ සංශෝධන යෝජනා ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, පසුගිය ආණ්ඩුව ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදි සම අනුග්‍රාහකත්වය දැක්වූ 30-1 සහ 40-1 යන යෝජනා දෙකෙන් ඉවත්වීමේ තීන්දුව සම්බන්ධයෙන් ද, ඔහු අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

+++++++++++++++++++++++++++++++++++

අතුරු සම්මත ගිණුම සංශෝධනයට ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීම ගැන විවිධ අදහස්

(20.02.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

2020 අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අදහස් පළකළා.

***************************************

එජාපය ජනතා සහන වළක්වන බවට පොහොට්ටුවෙන් චෝදනා

(20.02.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය, ජනතාවට සහන ලබාදීම වැළැක්වීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට තවත් වසර 10 ක කාලයකට ආණ්ඩු බලය ලබා ගත නොහැකි බවයි.

***************************************

හාලිඇල සිසුන් දියේ ගිලෙද්දී ගුරුවරුන් වගකීම පැහැර හැරියේදැයි විමර්ශන

(20.02.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බදුල්ල – හාලිඇල විද්‍යා විදුහලේ සිසුන් සිව් දෙනෙකු ගෝමරන්කඩවල ප්‍රදේශයේදී දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා ඊයේ (19) ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක නවාතැන් ගෙන තිබෙනවා.

එහිදී සිසුන් පිරිසක් විහාරස්ථානයට යාබදව පිහිටි මැදවච්චිය වැවේ නෑමට ගොස් ඇති අතර, එහිදී මෙම අනතුර සිදුවුණා.

සිද්ධියෙන් සිසුන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 3 දෙනෙකු දියේ ගිලී රෝහල් ගත කළා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ගුරුවරුන් විසින් තම රාජකාරිය මග හැර කටයුතු කර සිටියාද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

නීති ලිහිල් කර ජන ජීවිතය පහසු කරන්නැයි ජනපති රාජ්‍ය නිලධාරින්ට කියයි

(20.02.2020 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කර දිළිඳු බව තුරන් කිරීම අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරී සංගමයේ ජාතික මහා සම්මේලනය අමතමිනුයි ජනාධිතිවරයා මේ බව කියාසිටියේ.

සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණ බව ද ඔහු සඳහන් කළා.

එහි එක් පියවරක් ලෙස අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර ඇති අතර පිරිස තෝරා ගැනීමේදී සමෘද්ධි සහ කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජන ජීවිතය පහසු කිරීමේ ප්‍රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්.

තම දැනුම ඍජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළා.

කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විවිධ නීති රීති සහ තහංචි හේතුවෙන් ජනතාවට පීඩාවට පත්ව සිටින අතර එවැනි නීති ලිහිල් කරමින් ජන ජීවිතය පහසු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බවයි ඔහු කියාසිටියේ.

පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කර නොගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එම අදූරදර්ශී පාලනය හේතුවෙන් රටට මුහුණදීමට සිදුවී ඇති සියලු අභියෝග ජය ගැනීමට සූදානම් අතර සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ඒ සඳහා රජයට අවශ්‍ය කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියා.

***************************************

නිශ්ශංක සේනාධිපති ඇතුලු විත්තිකරුවන් 8 දෙනෙකුට ඉදිරිපත් කළ සංශෝධිත අධි චෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කෙරේ

(20.02.2020 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ඇවන්ගාඩ් නඩුවට අදාළව එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය නිශ්ප්‍රභ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) තීරණය කළා.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලු විත්තිකරුවන් 17 දෙනෙකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත්, ඉන් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව මීට පෙර පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, සෙසු චෝදනා සියල්ල දෝෂ සහගත සහ නීතිවිරෝධී ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බවයි ප්‍රකාශ කළේ.

පසුව, නීතිපතිවරයා විසින් සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනුකළ අතර, විත්තියේ නීතිඥවරුන් මීට පෙර විරෝධතා ගොනුකරමින් ඉල්ලා සිටියේ මෙම චෝදනා නිශ්ප්‍රභ කරන ලෙසයි.

ඒ අනුවයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ නියෝගය අද (20) නිකුත් කළේ ෴

***************************************

මහේස්ත්‍රාත් නියෝගයකින් තොරව විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගැනීම වළක්වා, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

(20.02.2020 – 12:29 +0530 – hirunews.lk/sinhala)

මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබා ගන්නා නියෝගයකින් තොරව වැඩතහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.

ඒ, තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් විනිසුරු ගිහාන් පිලපිටිය ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයකට අදාළව තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති නියෝගය බලරහිත කරන ලෙස අදාල රීට් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම් නවාස් සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද (20) කැඳවනු ලැබුවා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ වැඩබලන පොලිස්පතිවරයාට අද අධිකරණයේ පෙනි සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණ ද ඔහු පෙනී නොසිටින බවයි.

ඒ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ අධිකරණය හමුවේ පෙනී සිටින බව ද ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

විනිසුරු ගිහාන් පිලපිටිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එහිදී කරුණු දක්වමින් කියා සිටියේ නීතිපතිවරයා සහ පොලීසිය අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

කෙසේ වෙතත්, නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා එකඟත්වය පළ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ තමාට දැනුම් දුන් බවයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබා ගන්නා නියෝගයකින් තොරව විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නා ලෙසයි.

මෙම රීට් පෙත්සම මාර්තු 12 වනදා යළි කැඳවීමට නියමිතයි ෴

***************************************

සයින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

(20.02.2020 – 10:40 +0530 – hirunews.lk/sinhala)

සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභා බල ප්‍රදේශයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සායින්දමරුදු නගර සභාව නම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

මේ අතර, යහපාලන ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30-1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම, මාර්තු මස 1 වනදා සිට උපාධිධාරීන්ට පත්වීම් ලිපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් නිකුත් කිරීමේ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

***************************************

යහපාලන ආණ්ඩුව සමඅනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය – තීරණය පාර්ලිමේන්තුවටත් දන්වයි

(20.02.2020 – 10:03 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව සම අනුග්‍රහය යටතේ ජිනීවා මානව කවුන්සිලයට ඉදිරිපත් කළ 30-1 යෝජනාවෙන් ඉවත්වීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ඊයේ (19) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අදාල යෝජනාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ බවයි.

අමාත්‍ය මණ්ඩලය ගනු ලැබු මෙම තීන්දුව සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

මොහුගේ අදහස් දැක්වීමත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඊට ප්‍රතිචාර දැක්වූවා.

මේ අතර වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් අද එහි සභාපති කථානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

***************************************

එයාර්බස් ගණුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදුකළ බවට කෝප් කමිටුවේදී හෙළිවෙයි

(20.02.2020 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගණුදෙනුව, නීතිපතිවරයාගේ උපදෙස්වලින් තොරව සිදුකර ඇතැයි ඊයේ (19) පැවති කෝප් කමිටු රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ගුවන් යානා ඇනිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබානොගැනීම, විධිමත් අධ්‍යනයනයකින් හා විශ්ලේෂනයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු නොකිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා අත්පත් කරගැනීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා වූ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් සමස්ත වන්දි මුදල ලෙස ඩොලර් මිලියන 115.77 ක් ගෙවීමට සිදුවීම පිළිබඳව කෝප් කමිටුව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අද පස්වරුවේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. එම ආයතනය තුළ පසුගිය කාලයේ සිදුවූ මූල්‍ය ගණුදෙනු පිළිබඳව විමසීම සඳහා එම ආයතනයේ සභාපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් පස්වරු 2.30 ට මෙලෙස කමිටුව හමුවට කැඳවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

ක්‍රිකට් ආයතනයේ විකාශන ටෙන්ඩර් ගැන, පරීක්ෂණ රහස් පොලිසියට භාරදෙන්නැයි, කෝප් කමිටුවෙන් නිර්දේශ

(21.02.2020 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර රූපවාහිණි සහ ගුවන් විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීම පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකරන ලෙසට කෝප් කමිටුව ඊයේ (20) නිර්දේශ කළා.

ඊට අදාළ පැමිණිල්ල අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ඉදිරිපත් කරන ලෙසයි කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ.

කමිටුව හමුවට ඊයේ (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබූ අතර, අදාළ ටෙන්ඩර් පිරිනැමීමේදී අඩු ලංසුවක් තැබූ ආයතනයක් වෙත ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් රුපියල් කෝටි 310 ක් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමි වී ඇති බව අනාවරණ වුණා.

ක්‍රිකට් පුහුණු විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා වසර 30 කට අදාළ බදු මුදල වශයෙන් රුපියල් මිලියන 26.25 ක් මල්වතු පාර්ශවය වෙත ගෙවීමට එකඟ වී තිබුණත්, එය ඉක්මවා රුපියල් මිලියන 50 ක් පරිත්‍යාග ලෙස ලබාදීමට අනුමැතිය ලබාගෙන ඇති බවද එහිදී හෙලි වූ තවත් කරුණක්.

කෙසේ වෙතත්, අදාළ මුදල් මල්වතු පාර්ශවය වෙත ලබාදී නොමැති අතර, ලබාදී ඇත්තේ රුපියල් මිලියන 25 ක් පමණක් බවත්, කෝප් කමිටුව හමුවේ අනාවරණ වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ පත් කිරීමේදී අදාළ ගිවිසුම සකස් කිරීමට නීති උපදෙස් ලබාගත් ආකාරය පිළිබඳ තොරතුරුද කෝප් කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී කමිටුව නිර්දේශ කළේ ෴

***************************************

සමාජ මාධ්‍ය ඔස්සේ දැරියන් බිය ගන්වා, අපයෝජනය කළ පාසල් සිසුන් ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට

(21.02.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය හරහා දැරියන්ගේ පින්තූර ලබාගෙන එම පින්තූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කොට ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට පවසමින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම, තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අවුරුදු විස්සට අඩු තරුණයන්.

ඒ අතර පාසල් සිසුන් ද සිටින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

මෙරට රණවිරුවන් තවමත් අවදානමක – රියර් අද්මිරාල් සරත් වීරසේකර

(20.02.2020 – 23:06 +0530 – sinhala.adaderana.lk)

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම අනුග්‍රාහකත්වය දුන් 30/1 යෝජනාවේ අති ඇතැම් නිර්දේශ හේතුවෙන් තවමත් මෙරට රණවිරුවන් අවදානමක සිටින බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අදාල යෝජනාවෙන් ඉවත්වීමට වත්මන් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසීය.

දකුණු ආසියවේ කිසිම රටක් අත්සන් කරලා නෑ. පිටරටට ගියොත් අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ පනත යටතේ පිටරටින් ඉල්ලුවොත් පිටුවහල් කරන්න පුළුවන්. දරුස්මාන් වාර්තාව එළියට දැම්මහම ආරක්ෂක මණ්ඩලයේදී රුසියාව අපි සමඟ හිටියා. රුසියාව සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. සියලුම රටවල් අපි සමඟ හිටියා. මංගලගේ ද්‍රෝහී ක්‍රියාව නිසා. දැන් කිසිම රටක් අපි එක්ක කටයුතු කරන්නේ නෑ. මේකෙන් ඉවත් වුණාට පස්සේ. ඒ රටවල් නැවත සහයට පැමිණෙයි.

ප්‍රශ්නය – ඔබතුමා මෙවර ඡන්දය ඉල්ලා සිටිනවාද පාර්ලිමේන්තුවට යන්න?

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා – ඔව්, මාව පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන එක ජනතාවගේ වැඩක්. ඔබතුමාත් මට ඡන්දය දෙයි කියලා හිතනවා.

ප්‍රශ්නය – ඔබතුමාත් ඉදිරිපත් වෙන්නේ වියත් මගෙන් නේද?

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා – මම ඒ ගැන දන්නේ නෑ. මගේ නාම යෝජනා ගැන උපදෙස දුන්නේ ජනපති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *