පිළිකාවක්‌ වන යෝජනාවලිය වැළඳ ගනිමුද ?

(18.11.2017 – divaina.com)

කන්දක්‌ විළිලා මී පැටියෙක්‌ බිහිකර ඇත. මී පැටියා කුණු මී පැටියෙක්‌ බව තේරුම් ගෙන ඈතින් ඈතටම බැහැර කරන්නාක්‌ මෙන් බලධාරීන් දිවා රෑ තොරතෝංචියක්‌ නැතිව යෝජනාවලියක්‌ ගැන කටමැත දෙඩවූහ. පුදනකොටම කාපියකා” කීවාක්‌ මෙන් යෝජනාවලිය ඇසු දුටු ගිහි පැවිදි, ලොකු කුඩා කවුරු කවුරුත් එක හඬින්ම ප්‍රතික්‍ෂේප කරන්ට වූහ. ත්‍රෛනිකායික මහනාහිමිවරු ප්‍රධාන සංඝ සමාජයද, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රධාන විද්‍යාර්ථින්ද, ඒකාබද්ධ විපක්‍ෂය, නීතිඥ සංගමය ඇතුළු දේශප්‍රේමී විවිධ සංවිධාන ඒකමතිකවම තීරණය කළේ යෝජනාවලිය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළ යුතු බවයි.

පාලකයන් මෙන්ම ඔවුන් ඇසුරේ වැජඹෙන ඉතා සුළු පිරිසක්‌ හැරුණ විට සමස්‌තයක්‌ වශයෙන් ගත් කල රටේ සිංහල දෙමළ බේදයකින් තොරව බහුතරයක්‌ වන ජනතාව අද වන විට බලාපොරොත්තු සුන්වීමෙන් කබලෙන් ළිපට වැටුණු තත්ත්වයට පත්ව සිටිති. දිනෙන් දින බඩු මිල ඉහළ යන අතර දිගු කාලීන පෑවිල්ල නිසා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ වැලේවැල් නැති තත්ත්වයට පත්ව සිටිති. දිනකට එකවේලක ඉතා සුළු ආහාරයකින් දවස ගත කරති.

ශ්‍රී ලංකාව දේවශාප ලත් රටක්‌ බවට පත්ව ඇති බව පැහැදිලි වන්නේ මේ පුංචි රටේ එක පැත්තකට වර්ෂාව නැති වීමෙන් බීමට දිය පොදක්‌ සපයා ගත නොහැකිව පීඩා විඳිති.

ඒ අතර තවත් විශාල පිරිසක්‌ අධික වර්ෂාව නිසා කෙත්වතු සෝදාපාළු වී නාය යැම වැනි ඛේදජනක අවස්‌ථා ඇසුරින් විපතට පත්ව සිටිති. පොදු ජනතාවට ආදායම් මාර්ග නැතිවීම නිසා වෙළෙඳ ව්‍යාපාරවලට බලවත් පහරක්‌ වැදී ඇත්තේ රටට තව තවත් ගැටලු රැසක්‌ උදාකරමිනි.

මේ අතර සයිටම් ප්‍රශ්නය විසඳුමක්‌ නැති ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇත. දස අතේ ණය වී වගා කළ ගොවි ජනතාව අස්‌වැන්න කපා ගන්නා අවස්‌ථාව වන විට පිටරටවලින් එම අස්‌වනු වර්ග ආනයනය කිරීම නිසා ගත් ණය ගෙවා ගැනීමටද ක්‍රමයක්‌ නැතිව වස බී මියෑදෙන තත්ත්වයට පත්ව සිටිති. විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල, වෘත්තීය සංවිධාන රෝහල් ආදී සෑම අංශයකම අර්බුදය. විරෝධතාවන්ය. වර්ජනය.

රට හැම තැනම ප්‍රශ්න පිට ප්‍රශ්න ගොඩනැඟෙමින් තිබියදී ඒ ගැන කිසිදු තැකීමක්‌ නොකරන බලධාරීන් රට ගිනි වැද්දීමට පෙළඹී ඇති බවක්‌ පෙනේ. එනම් ව්‍යවස්‌ථාවක්‌ සඳහා වන යෝජනාවලියක්‌ හඳුන්වා දීමයි. රටටම බලපාන යෝජනාවලියක්‌ සැකසීමේදී විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය වන අයුරින් උගත් බුද්ධිමත් පිරිසක්‌ ඇසුරින් එය ඉතා ප්‍රවේශමෙන් දුරදිග බලා සැකසිය යුතු වෙයි. එහෙත් වත්මන් පාලකයන් ඉහත සඳහන් පිළිවෙත පිටුදකිමින් යුරෝපීයයන්ගේ අපේක්‍ෂාවන්ට අනුරූපීව බටහිරට ගැති ඊළාම්වාදී අන්තවාදීන් ලවා ව්‍යවස්‌ථාවක්‌ කඩිමුඩියේ තනා ඇත. එයද භාෂා අනුව එකින් එක වෙනස්‌ වූවකි. සමස්‌තයක්‌ වශයෙන් ගත්විට ශ්‍රී ලංකාව සදාකාලිකවම යුද කැරලි කෝලාහලවලින් යුක්‌ත අවාසනාවන්ත තත්ත්වයට පමුණුවන ඉතා භයානක යෝජනාවලියකි. එකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට එකින් එක කෑලි කීපයකට රට බෙදී වෙන් වී යැමට අනුබල දෙන්නකි. උඩරට ගිවිසුමෙන් පවා හිමි වූ බුදු දහමට මුල්තැන හා වරප්‍රසාද කිසිවක්‌ නැති කිරීමට කැස කවන යෝජනාවලියකි.

යෝජනාවලියේ අන්තර්ගත විශේෂ සංකල්ප 13 පදනම් කරගෙන යෝජනාවලිය මුළුමනින්ම බැහැර කළ යුත්තක්‌ බව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මෙන්ම උගත් බුද්ධිමත් දේශප්‍රේමී කාගේත් ඒකමතික පිළිගැනීම වී ඇත. යෝජනාවලියට එරෙහිවන සියල්ලන්ම සුළු පිරිසකගේ රැවටීමට ලක්‌ව නොමඟ ගොස්‌ සිටින පිරිස්‌ ලෙස හඳුන්වමින් දෝෂාරෝපණය කරති. අන්තවාදීන්, ජාතිවාදීන්, කඩා කප්පල්කාරීන් වශයෙන් හඳුන්වමින් තර්ජනය කරති. යෝජනාවලියට විපක්‍ෂව අදහස්‌ දක්‌වන මාධ්‍ය ආයතනවලට පවා තර්ජනය කරන පසුබිමක්‌ දැකිය හැක. ඒ සහජීවන ප්‍රජාතන්ත්‍රවාදයයි.

පසුගිය මැතිවරණ සමයේ ව්‍යවස්‌ථා සම්පාදනය පිණිස ජනතා වරමක්‌ ඉල්ලා සිටි බව සත්‍යයකි. එහෙත් කිසිදු පක්‍ෂයකට ඒ සඳහා බලය ලැබී නැත. පක්‍ෂ කීපයක්‌ එක්‌ව රජය පිහිටුවීමට සිදු වූයේ එබැවිනි. එබඳු පසුබිමක්‌ මත ව්‍යවස්‌ථාවක්‌ ගැන කතා කිරීමට හෝ සදාචාරාත්මක අයිතියක්‌ වත්මන් රජයට නැති බව ඉතා පැහැදිලි කරුණකි. රටේ උද්ගතව පවතින ගැටලු විසඳීමට ව්‍යවස්‌ථාවකින් අල්පමාත්‍ර වශයෙන් හෝ අනුබලයක්‌ නොලැබේ නම් ව්‍යවස්‌ථාවක්‌ කුමක්‌ සඳහාද යන්න විමතියට කරුණකි.

මඩිස්‌සලයට හෙණ ගැසූ පසු කිල්ලෝටය ගැන කුමන කතාද? යහපාලන රජය පසුගිය දෙවසර තුළ කළ කී දේ ගැන රටවැසියන්ට අමතක නැත. පාලකයන්ගේ පාරිශුද්ධත්වය, අව්‍යාජත්වය, අවංකභාවය, දේශප්‍රේමිත්වය, ජාත්‍යාභිමානය මෙන්ම බෞද්ධකම පිළිබඳව ගත වූ කාලය තුළ සිදු වූ විවිධ සිදුවීම් තුළින් ප්‍රකට කෙරේ. එබඳු බලධාරීන් යටතේ ඉදිරිපත්වන ව්‍යවස්‌ථාවකින් සම්බුද්ධ ශාසනයට රටේ ඒකීයත්වයට හා සාමූහිකත්වයට කොතරම් දුරට භයානක තත්ත්වයක්‌ උදාවන්නේද යන්න තේරුම් ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.

ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු ප්‍රධාන මහා සංඝ රත්නය ඒකමතිකවම එකම හඬක්‌ නඟමින් යෝජනාවලිය ප්‍රතික්‍ෂේප කර තිබීම සුවිශේෂී සිදුවීමක්‌ වනු ඇත. එහෙත් එම පොදු මතය නිර්දය ලෙස විවේචනය කරමින් මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට විවිධාකාරයෙන් නින්දා අපහාස, අවලාද නඟමින් කෙසේ නමුත් ව්‍යවස්‌ථාව අනුමත කරගත යුතු බව පවසන භික්‍ෂූන් දෙතුන් දෙනෙක්‌ රජයේ මාධ්‍ය ඇසුරින් මහා ඝෝෂාවක්‌ කරමින් සිටිති.

ධර්මාශෝක අධිරාජ්‍ය සමයේ සම්බුදු සසුනේ විවිධ අර්බුද දිනෙන් දිනම වර්ධනය වීම නිසා සසුනේ සුරක්‍ෂිත බව පිණිස ශාසන සංශෝධනයක්‌ පැවැත්වීය. එම අවස්‌ථාවේ ලාභ සත්කාරවලට ගිජුව සසුන්ගතව සිටි හැටදහසක්‌ තරම් දුසිල් මහණුන් සසුනෙන් නෙරපාලූහ. සසුන සුරක්‍ෂිත වූයේ ඉන් පසුවය. වත්මන් ශාසනික තත්ත්වය දෙස බැලූ විට ශාසන සංශෝධනයක අවශ්‍යතාවය එදාටත් වඩා අවශ්‍ය වන්නේ අදටය. මෙකල එබඳු ශාසන සංශෝධනයක්‌ පැවැත්වීනම් ප්‍රථමයෙන් සුදුවස්‌ත්‍ර අඳවා සසුනෙන් නෙරපා හැරීමට ලක්‌වනුයේ විවිධ ලාභ සත්කාරවලට ගිජුවී සසුන් කෙත වනසන සහ රජයේ මාධ්‍යවල කෑමොර ගසන ශ්‍රමණ වේශධාරීන්ය, මහාචාර්යවරුන්ය.

සසුනට එරෙහිව යහපාලනය යටතේ සිදු කෙරෙන ශාසන විරෝධී, දේශෙද්‍රෝහී ඕනෑම කාර්යයක්‌ අනුමත කරන පැවිදි වෙස්‌ ගත් එම ශ්‍රමණවේශධාරීන් එසේ කරනුයේ තම යුතුකම ඉටු කිරීමට බව ඉතා පැහැදිලිය. හේතුව රජයෙන් ලැබී ඇති වරදානයන්ය. කෝටි ගණන් වටිනා පොල්වතු, මහා මන්දිර, අධි සුඛෝපභෝගී වාහන, විවිධ තනතුරු, ටයිල්, යකඩ සිමෙන්ති වැනි ගෘහෝපකරණ මෙන්ම අසීමිත වූ මහා ධන සම්පත් හමුවේ එම ශ්‍රමණ වේශධාරී කීප දෙනාට සියල්ල අමතක වී ඇත. ඒ ගැන පුදුම විය යුතු නොවේ.

වසර 10, 15 තරම් කාලයක සිට රජයට බදු ගෙවමින් විහාරස්‌ථාන, දේවාල හා ඇතැම් නිවෙස්‌වල ඉතා ආදරයෙන් රැකබලාගත් හිලෑ අලි අත්අඩංගුවට ගනිමින් භික්‍ෂූන්ට මෙන්ම පාරම්පරික අලි හාම්පුතුන්ට අලිහොරු යෑයි නින්දා අපහාස කරමින් භික්‍ෂු ගරුත්වය කෙළෙසූහ. දඹුලු රජමහ විහාරය කන්දෙ විහාරය ආදී බෞද්ධ ආරාමවල පිංපෙට්‌ටිවලට සීල් තබමින් ඒවා පැහැර ගැනීමට ක්‍රියා කළේද යහ පාලන රජයයි.

රටට, සම්බුදු සසුනට, සිංහල ජනතාවට දිනෙන් දින උදාවන අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව කතා කිරීම ජාතිද්‍රෝහී, දේශෙද්‍රෝහී අන්තවාදී කඩා කප්පල්කාරී පිළිවෙත් ලෙසින් පවසමින් දේශප්‍රේමී ශාසන මාමක, ජාතිහිතෛෂී භික්‍ෂුන්ට නින්දා කළහ. අත්අඩංගුවට ගැනීමටත් බන්ධනාගාරගත කිරීමටත් නඩු දැමීමටත් පෙළඹී ක්‍රියා කළ ආකාරය තුළින් පාලකයන්ගේ ආකල්ප කවරේද යන්න පෙන්නුම් කළේය.

පෙර දවස සැදැහැති බෞද්ධ පාලකයන් සසුනේ උන්නතිය වෙනුවෙන් තනවා පූජා කළ බෞද්ධ සිද්ධස්‌ථාන 1400 ටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ මෑත යුගයේම කඩා බිඳ දමා විනාශ කර ඇත. තිබුණ තැනවත් සොයා ගත නොහැකි තත්ත්වයට පත්කර ඇත. එම ස්‌ථානවල අන්‍යාගමික මධ්‍යස්‌ථාන හෝ නිවාස තනා ගැනීමට ඉඩදී ඇත. මෙබඳු අප්‍රමාණවත් ඛේදජනක සිදුවීම්වලට මුහුණ දීමට සිදු වී ඇත්තේ බෞද්ධයන්ටය. එබඳු පසුබිමක්‌ තුළ යෝජිත ව්‍යවස්‌ථාව ඉතා භයානක කරුණු 13 යටතේ ප්‍රතික්‍ෂේප කරදැමීමට සංඝ සමාජය ඒකමතිකවම තීරණය කර ඇත්තේ පුද්ගලික කිසිදු ලාභයක්‌, හෝ වාසියක්‌ ගැන සිතා නොව රටට දැයට හා සමයට මෙන්ම යහපාලනයට සිදුවිය හැකි ඛේදවාචකය තේරුම් ගැනීම නිසා බව පාලකයන්ට දන්වා සිටිමි.

– පූජ්‍ය රොටුඹ පේමරතන හිමි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *