ඇමති විමල් වීරවංශගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇමති විමල් වීරවංශගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරයි (විඩියෝ)

• මන්ත්‍රී නවීන් නිසා නුවරඑළියේ උණුසුමක් (විඩියෝ)

• විදේශ ලේකම්, මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිනිය හමුවේ – සමඅනුග්‍රාහකත්වය ඉවත් කරගැනීම ගැනත් දැනුම් දෙයි

• මහ මැතිවරණයට අලුතින් ඡන්ද 270,000 ක් – 2019 ඡන්ද හිමි නාමලේඛණය සහතික කර අවසන්

• දක්ෂිණ අධිවේගයේ මාතර – බරවකුඹුක කොටස අද (23) විවෘත වේ

• පොලිස් කොස්තාපල් ඝාතනයට අනියම් බිරිඳ සහ ඩී.මංජුගේ බිරිඳත් අත්අඩංගුවට (විඩියෝ)

• “අපේ ලොකු අම්මා ෆන් ගන්නවා… දවසක සෙට් වෙමුද.?” – කඩ­වත රාජ­පක්ෂ රාල­හා­මිගේ අව­සන් ගමන

• අස්වනු රැකගන්න කුඹුරක වුණත් පඹයෙක් හිටවන්න ඕනේ – ප්‍රසන්න රණතුංග

• යාපනය ගුවන්තොටුපල දියුණු කිරීමේ ගිවිසුමට කඩිනමින් අත්සන් තබනවා – ඇමති ප්‍රසන්න රණතුංග

• සතියකට වරක් පාස්කු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව වාර්ථාවක් ආරක්‍ෂක ලේකම්වරයාට

+++++++++++++++++++++++++++++++++++

ඇමති විමල් වීරවංශගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරයි

(22.02.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය විමල් වීරවංශගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සපිරීම නිමිත්තෙන් අද (22) කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ නෙලුම් පොකුණ රඟහලේදීයි.

විසි වසරක වීරවංශය, ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය ලෙස නම් කර තිබූ එම උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් සහභාගි වී සිටියා.

මෙහිදී විමල් වීරවංශගේ දේශපාලන දිවිය අලලා රචිත විමල් යුගකාරත්වයේ භූමිකාව මැයෙන් වූ කෘතිය මෙන්ම විමල් වීරවංශ සම්බන්ධව නිර්මාණය කෙරුණු ජංගම දුරකථන යෙදවුම ද එළිදැක්වුණා.

1988 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් සිය දේශපාලන දිවිය ඇරඹූ අමාත්‍ය විමල් වීරවංශ වසර 20 කට පසුව එම පක්ෂයෙන් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ නමැති නව පක්ෂයක් පිහිටුවා ගනු ලැබුවා.

අනතුරුව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර පක්ෂයක් වූ ජාතික නිදහස් පෙරමුණ මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ද, සාමාජිකත්වය දරනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී අදහස් දක්වමින් කියා සිටියේ විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වූවත්, තමන්ගේ යුතුකම අත්නොහළ දේශපාලන චරිතයක් බවයි.

+++++++++++++++++++++

***************************************

මන්ත්‍රී නවීන් නිසා නුවරඑළියේ උණුසුමක්

(22.02.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පවත්වාගෙන ගිය ජංගම අවන්හලක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කිරිමට යාමේදී ඊයේ (21) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම ස්ථානයට පැමිණීමත් සමගයි.

නුවරඑළිය – ග්‍රෙගරි වැව ආසන්නයේ අවුරුදු තුනක කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති එම ජංගම අවන්හලේ බදු කාලසීමාව පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී තිබෙනවා.

ඒ අනුව, අදාළ අවන්හල ඉවත් කර ගන්නා ලෙස අවස්ථා කිහිපයකදී දැනුම්දී තිබුණ ද එය ඉවත් කර නොගැනීම නිසා නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇත්තේ එය ඉවත් කිරීම සඳහායි.

එහිදී එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පසුව, එම ස්ථානයට නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය සහකාර අධ්‍යක්ෂවරයා පැමිණ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

ඉන් අනතුරුව නිලධාරින් විසින් දැනුම් දෙනු ලැබුවේ අදාළ අවන්හල පැය 48 ක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙසටයි.

***************************************

විදේශ ලේකම්, මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිනිය හමුවේ – සමඅනුග්‍රාහකත්වය ඉවත් කරගැනීම ගැනත් දැනුම් දෙයි

(23.02.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය හෙට ආරම්භ වන අතර, ඊට පෙර විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිනි එලිසබෙත් ටිචි-ෆිස්ල්බර්ගර් ජිනීවා නුවරදී හමුවී තිබෙනවා.

ඒ, මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් 30/1 දරන සහ 34/1 පූර්ව යෝජනා සම්මුති ඇතුළත්ව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට ලක් රජය ගත් තීරණය පැහැදිලි කිරීමටයි.

මේ වනවිට ජිනීවා නුවර සිටින විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රයට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අදාළ තීරණය පසුගිය බදාදා අනුමත කළ බව මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිනිය වෙත පෙරේදා දැනුම් දී තිබෙනවා.

මෙම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කෙරුණා.

විදේශ ලේකම්වරයා ඇය වෙත වැඩිදුරටත් දන්වා ඇත්තේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන අතර, සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට රජය ගත් තීරණය පිළිබඳව මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයින්ට විධිමත් ලෙස දැනුම් දෙනු ඇති බවයි.

ලබන 27 වැනිදා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව වාචිකව කරුණු දැක්වීමට නියමිතව ඇති අතර, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දක්වනු ඇති.

එමෙන්ම, අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ජිනීවා නුවරදී හමුවීමටද නියමිතයි.

විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජගත් මානව හිමිකම් මණ්ඩලය අමතන්නේ ලබන 26 වැනිදායි.

මීට පෙර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයන් හිදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සමඟ ලබන අඟහරුවාදා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යනු ඇති ෴

***************************************

මහ මැතිවරණයට අලුතින් ඡන්ද 270,000 ක් – 2019 ඡන්ද හිමි නාමලේඛණය සහතික කර අවසන්

(23.02.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

2019 ඡන්ද හිමි නාම ලේඛණය සහතික කිරීම අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාම ලේඛනය යොදා ගනු ඇති.

අදාළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව, 2018 ඡන්ද හිමි නාම ලේඛනය හා සැසඳීමේදී නව ඡන්දදායකයින් 270,000 ක් පමණ අලුතින් එක්ව ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මහමැතිවරණයකදී පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196 ක් වන අතර ජාතික ලැයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරා පත් කර ගැනෙනවා.

මහ මැතිවරණය පවත්වන දිනට යොදා ගනු ලබන ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව සහ එක් එක් දිස්ත්‍රික්කයන්හි සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව අනුව, එම දිස්ත්‍රික්කවලින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වෙනස් වනවා.

සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් 19 න් බෙදා දිස්ත්‍රික්ක මට්ටමින් එන ඡන්ද දායකයින් සංඛ්‍යාවෙන් ද බෙදීමෙන් අනතුරුවයි එක් දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරුන් කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ.

එමෙන්ම, මාර්තු පළමු වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් අප්‍රේල් 23 සිට මැයි 6 දක්වා කාලසීමාව තුළ මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ඇත්තේ වසර හතරහමාරක් ගත වීමෙන් පසුවයි.

ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ මාර්තු පළමුවන දිනයි.

කෙසේ වෙතත්, පසුගිය 20 වනදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව එය මාර්තු 3 වන දින දක්වා කල් තැබීමට කතානායකවරයා පියවර ගනු ලැබුවා ෴

***************************************

දක්ෂිණ අධිවේගයේ මාතර – බරවකුඹුක කොටස අද (23) විවෘත වේ

(23.02.2020 – 06:38 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර වන මාතර – ගොඩගම සිට බරවකුඹුක දක්වා වන කිලෝමීටර් 96 ක කොටස අද විවෘත කෙරෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කරන ආකාරය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සැහැල්ලු වාහන සඳහා හම්බන්තොට සිට කටුනායක දක්වා රුපියල් 1000 ක මුදලක් අය කරන බවයි මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

මත්තල සිට කටුනායක දක්වා සහ පෑලියගොඩ සිට හම්බන්තොට දක්වා ගාස්තුව රුපියල් 950 ක් වනවා.

එමෙන්ම, මත්තල සිට කොට්ටාව දක්වා ගාස්තුව රුපියල් 750 ක් වන අතර, හම්බන්තොට සිට කඩවත දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 900 ක්.

කඩුවෙල සිට හම්බන්තොට දක්වා සහ අතුරුගිරියේ සිට හම්බන්තොට දක්වා රුපියල් 850 ක ගාස්තුවක් අය කෙරෙන අතර, කොට්ටාව සිට හම්බන්තොට දක්වා රුපියල් 800 ක් අය කෙරෙනු ඇති.

මාතර – ගොඩගම සිට හම්බන්තොට දක්වා රුපියල් 400 ක ගාස්තුවක් පනවා ඇති අතර, ගාල්ල – පින්නදූව සිට හම්බන්තොට දක්වා රුපියල් 500 ක ගාස්තුවක් නියම කර තිබෙනවා.

එමෙන්ම, පින්නදූව සිට මත්තලට අය කෙරෙන ගාස්තුව රුපියල් 450 ක් ෴

+++++++++++++++++++++

මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් ධාවනය හෙට සිට ඇරඹේ

(23.02.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

අද (23) දින විවෘත කෙරෙන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙට (24) සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පළමු අදියර යටතේ බස් රථ 10 ක් යෙදවීමටයි සැළසුම් කර ඇත්තේ.

පළමු ගමන් වාරය හෙට පෙරවරු 8.30 ට හම්බන්තොටින් ගමන් ඇරඹීමට නියමිතයි.

මේ අතර මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ, මගීන්ගෙන් අය කරන ගාස්තු ගාස්තු ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට සිට පිටකොටුව දක්වා අධිවේගී මාර්ගයේ බස් රථයකින් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 880 ක්.

තංගල්ල සිට පිටකොටුව දක්වා රුපියල් 680 ක් අය කෙරෙනු ඇති.

හම්බන්තොට සිට මාකුඹුර (කොට්ටාව) දක්වා මගියෙකුගෙන් රුපියල් 810 ක් අය කෙරෙන අතර තංගල්ල සිට මාකුඹුර (කොට්ටාව) දක්වා රුපියල් 610 ක් අය කෙරෙනවා ෴

***************************************

පොලිස් කොස්තාපල් ඝාතනයට අනියම් බිරිඳ සහ ඩී.මංජුගේ බිරිඳත් අත්අඩංගුවට

(22.02.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කඩවත පොලිස් කොස්තාපල් ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය අද (22) අත්අඩංගුවට ගත්තා.

ඒ කොස්තාපල්වරයාගේ අනියම් බිරිඳ සහ ඇයගේ ඥාති දියණියක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ඩී.මංජු නමැත්තාගේ බිරිඳයි.

මට්ටක්කුලිය සහ වත්තල ප්‍රදේශවලදී කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, හෙට (23) දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කාන්තාවන් දෙදෙනා හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවට ද පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට හැකිවෙතැයි විශ්වාසය පළ කරන බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල – මාකඳුර – එළිවිල ප්‍රදේශයේදී ඊයේ (21) අත්අඩංගුවට ගත් 20 හැවිරිදි බන්ටි නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනා අද (22) මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබෙනවා.

එම සැකකරුවන් තිදෙනා අතර, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට විශ්වාස කෙරෙන සුද්දා නමැත්තා ද සිටිනවා.

එසේම, වැඩිදුර විමර්ශනවලදී පොලිස් භාරයට ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5 ක් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 17 වන දා මෙම පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් තිබූ අතර ඊයේ (21) ඔහුගේ මළ සිරුර පන්නල – වේරහැර – බුළුගොඩ ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී පොලීසිය සොයා ගත්තා.

ඊට අමතරව පොලිස් නිලධාරියා පැහැරගෙන කිරිබත්ගොඩ සිට රැගෙන ගිය බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය ද එම ප්‍රදේශයේ තිබී පොලීසිය ඊයේ (21) සොයා ගනු ලැබුවා.

+++++++++++++++++++++

“අපේ ලොකු අම්මා ෆන් ගන්නවා… දවසක සෙට් වෙමුද.?” – කඩ­වත රාජ­පක්ෂ රාල­හා­මිගේ අව­සන් ගමන

(23.11.2019 – webgossip.lk)

කඩවත පොලි­සි­යට අනු­යු­ක්තව පොලිස් කොස්තා­පල් රියැ­දු­රෙකු ලෙස සේවය කළ ජයන්ත රාජ­පක්ෂ නිල­ධා­රි­යාගේ පැහැ­ර­ගැ­නීම ගෙවී ගිය සතියේ අස­න්නට ලැබුණු ශෝකී­ජ­න­ක පුව­තකි. වීර­කැ­ටිය, කුඩා බිබුල ප්‍රදේ­ශයේ විසූ 37 හැවි­රිදි කොස්තා­පල් රාජ­පක්ෂ සහෝ­ද­ර­යන් සිවු­දෙ­නෙ­කු­ගෙන් යුත් පවුලේ තුන්වැ­නි­යායි. 2013 වස­රේදී රාජ­පක්ෂ පොලිස් සේව­යට එක්වූයේ විවා­හ­ක­යන් මෙන්ම වෙනත් රැකි­යා­වල නියු­තුව සිටි­ය­වුන්ට පොලිස් රියැ­දු­රන් ලෙස එක් වීමට ලැබුණු අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගනි­මිනි.

අට හැවි­රිදි සහ තුන් හැවි­රිදි පුතුන් දෙදෙ­නෙ­කුගේ පියෙකු වන කොස්තා­පල් රාජ­පක්ෂ පසු­ගිය 17 වැනිදා රාත්‍රියේ 1.20ට පමණ පැහැර ගැනිණි. ඒ, කිරි­බ­ත්ගොඩ හුනු­පි­ටිය පාරේ පිහිටි හෝට­ල­යක කාන්තා­වක සමඟ සිට මාර්ගය අස­ලට පැමි­ණීමෙන් අන­තු­රු­වය.

කොස්තා­ප­ල්ව­ර­යාගේ පැහැ­ර­ගැ­නීම වූ මොහො­තේම බස්නා­හිර උතුර පළාත් බාර නියෝජ්‍ය පොලි­ස්පති වරුණ ජය­සු­න්දර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් එහි විම­ර්ශන කට­යුතු බාර කෙරුණේ පෑලි­ය­ගොඩ කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය­ටයි. පෑලි­ය­ගොඩ කොට්ඨාස බාර පොලිස් අධි­කාරි රොෂාන් ඩයස් මහ­තාගේ උප­දෙස් මත එහි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ලින්ටන් සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩා­ය­මක් කොස්තා­පල් රාජ­පක්ෂ සෙවීමේ සූක්ෂ්ම මෙහෙ­යු­මක් ආරම්භ කෙළේය.

ඒ අනුව පසුගිය 21 වැනිදා පෙරවරුවේ කපාකොටා ඝාතනය කර තිබූ රාජපක්ෂගේ සිරුර පන්නල බුළුගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවක තිබී සොයා ගැනීමට විමර්ශන නිලධාරිහු සමත් වූහ. රාජ­ප­ක්ෂගේ පැහැ­ර­ගැ­නී­මත් සමඟ පෑලි­ය­ගොඩ අප­රාධ විම­ර්ශන ඒක­කයේ බාර­යට ගත් රාජ­පක්ෂ සමඟ සිටි පත්මිණි නමැති කාන්තාව සහ ඔවු­නට කෑම රැගෙන පැමිණි පත්මි­ණිගේ ඥාති දිය­ණි­යක වන කෝකි­ලාගේ පාපෝ­ච්චා­ර­ණය අනුව රාජ­පක්ෂ පැහැර ගැනීමේ සිද්ධිය හෙළි කර ගැනී­මට හැකි විය. එම කතා­න්ද­රය පෙළ ගැසෙන්නෙ මෙලෙ­සිනි.

පත්මිණි අවු­රුදු 47ක කාන්තා­වකි. වත්තල ප්‍රදේ­ශයේ වෙසෙන ඇය තර­මක වත්ක­මක් සතු කාන්තා­වකි. සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක්ද හිමි ඇයගේ ස්වාමියා නිලන්ත බන්ධ­නා­ගා­ර­ග­තව පසු වෙයි. ඒ, මත්ද්‍රව්‍ය ජාවා­ර­ම­ක­ටය. පත්මිණි සියලු වත්කම් උපයා ඇත්තෙ මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් බවට හෙළි වේ. ඇයට දරු­වන් දෙදෙ­නෙකි. 20 හැවි­රිදි වැඩි­ම­හල් පුත්‍රයා බන්ටි නමින් හඳු­න්වයි. පත්මි­ණිගේ නිවෙ­සේම වෙසෙන සිය නැඟ­ණි­යගේ පුත්‍රයා සුද්දාය. ඔහු 23 හැවි­රිදි අයෙකි. සුද්දා සහ බන්ටි අයිස් මත්ද්‍ර­ව්‍ය­ව­ලට තදින් ඇබ්බැහි වූ දෙදෙ­නෙකි.

මීට වසර තුන­කට පමණ පෙරදී සුද්දා රථ­වා­හන වර­ද­කට පොලි­සි­යට හසු විය. එදින සුද්දා සහ රාජ­පක්ෂ රාල­හාමි අතර මිත්‍ර­ත්ව­යක් ගොඩ­නැ­ඟිණි. නිල­ධා­රියා සමඟ ඇති කර­ගත් එම මිත්‍ර­ත්වය නිසා නඩු නිමි­ත්ත­කින් තොරව සුද්දා වරද ගොඩින් බේරා­ගෙන ඇති බව­ටද හෙළි වේ.

අන­තු­රුව රාජ­පක්ෂ රාල­හාමි වත්තල පිහිටි සුද්ද­ලාගේ නිවෙ­සට යෑමට-එමට පට­න්ග­ත්තේය. සුද්දා පන්නල වෙසෙන අයෙකු වුවත් ඒ වන විට විසූවේ වත්තල පිහිටි සිය ලොකු අම්මා වූ පත්මි­ණිගේ නිවෙ­සේයි.

සුද්දාගේ ලොකු අම්මාද විනෝ­ද­යට බර මත්පැ­න­ටද ලොල් කාන්තා­වකි. දිනක් නිවෙ­සට පැමිණි පොලිස් නිල­ධා­රියා අමතා සුද්දා පවසා ඇත්තෙ, “අපේ ලොකු අම්මා ෆන් ගන්නවා… දව­සක සෙට් වෙමුද…” කියාය.

ඒ අනුව දිනක් සුද්දා, රාජ­පක්ෂ, පත්මිණි සහ බන්ටි ඇතුළු පිරිස මත්පැන් සාද­යක් පවත්වා තිබිණි. එම සාද­යෙන් රාජ­පක්ෂ සහ පත්මිණි අතර කිසි­යම් සබ­ඳ­තා­වක් ගොඩ නැඟිණි. එලෙස දෙදෙනා අතර ගොඩ­නැ­ඟුණු සබ­ඳ­තාව මත පත්මිණි සිය මත් ජාවා­ර­මට රාජ­පක්ෂ රාල­හා­මිගේ ද සහාය ලබා­ගෙන ඇත. ඒ අනුව රාජ­පක්ෂ, පත්මි­ණිගේ මුදල් පරි­පා­ලන කට­යු­තු­ව­ල­ටද අත ගසා ඇත්තේ පවු­ලේම කෙනෙකු ආකා­ර­ය­ක­ටය.

ඒ වන විට පත්මි­ණිගේ ස්වාමියා නිලන්ත මත් ජාවා­ර­ම­කට වර­ද­කරු වී බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­යේය.

එසේ කල් ගෙවෙද්දී දිනක් බන්ටි සහ සුද්දා මත්ද්‍රව්‍ය පාන­යට අවැසි මුදල් පත්මි­ණි­ගෙන් ඉල්ලූ විට ඔවුන් දෙදෙ­නාට මුදල් ලබා දී ඇත්තේද රාජ­ප­ක්ෂගේ අනු­දැ­නුම මතයි. ඒ හේතු­වෙන් සුද්දා සහ බන්ටිට මුදල් ප්‍රශ්නද මතු විණි.

නිවෙසේ තිබූ මෝටර් රථය එතෙක් පාවිච්චි කළේ බන්ටි විසිනි. එහෙත් පසුව එම රථ­යද රාජ­පක්ෂ රාල­හා­මිගේ බාර­යට පත් විය.

ඒ අතරේ රාජ­ප­ක්ෂට අධික මිල­කින් යුත් යතු­රු­පැ­දි­යක්ද පත්මිණි මිලදී ගත්තාය. එසේ පොලිස් නිල­ධා­රියා සුර­සැප ලබද්දී බන්ටි සතුව තිබූ ත්‍රීරෝද රථයේ ලීසිං වාරි­කද නොගෙ­වීම නිසා හිඟ වාරික කිහි­ප­යක්ම එකතු වීමෙන් බන්ටි මහත් ගැට­ලු­ව­කට මුහුණ දී සිටි­යේය.

එවැනි සිදු­වීම් සමඟ සුද්දා, බන්ටි දෙදෙනා රාජ­පක්ෂ රාල­හාමි සමඟ විර­ස­ක­ය­කට මුල පිරීය.

නිවෙසේ වන සිදු­වීම් අකු­රක් නෑර බන්ටි බන්ධ­නා­ගා­රයේ පසු­වන පියාට පැව­සීය. අන­තු­රුව පියා පවසා තිබුණේ,

“යකෝ… උඹලා පිරිමි ද? ඕකව ගෙද­රට ගන්නෙ ඇයි… එළ­වලා දාපන්…”

ඒත් සමඟ බන්ටි සහ සුද්දා පොලිස් නිල­ධා­රි­යාට එරෙ­හිව නැඟි සිටි­න්නට වූහ. එසේ හැළ­හැ­ප්පිලි මැද කාලය ගත වෙද්දී පසු­ගිය 16 වැනිදා ගැටු­මක් ඇති වී තිබුණේ බන්ටි සහ සිය මව පත්මිණි අත­රයි. ඒ පත්මි­ණිට පහ­ර­දී­මට බන්ටි පැමි­ණී­මත් සම­ඟයි. 16 වැනිදා රාත්‍රියේ වූ එම ගැටුම ගැන පත්මිණි ඇමැ­තු­මක් ගෙන දන්වා සිටියේ රාජ­පක්ෂ රාල­හා­මි­ටය.

ඒ අව­ස්ථාවේ පොලිස් නිව­ස්නයේ විවේකී සුව­යෙන් කල් ගෙවූ රාජ­පක්ෂ ක්ෂණ­යෙන් ගොස් තිබුණේ පත්මිණි විසූ වත්තල නිවෙ­ස­ක­ටයි. එම නිවෙස ඩී. මංජු නමින් ප්‍රක­ටව සිටි වත්තල ප්‍රදේ­ශයේ ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වාගේ නිවෙ­සයි. 2018 වසරේ පෙබ­ර­වාරි 23 වැනිදා ඩී. මංජු පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රහා­ර­ය­කින් මර­ණ­යට පත්වී­මෙන් පසු එම නිවෙසේ වෙසෙන්නෙ ඔහුගේ බිරිය කෝකි­ලායි. ඇයට, පත්මිණි ඥාති­ක­මින් නැන්ද­ණි­යයි. පොලිස් නිල­ධා­රියා සහ පත්මිණි නිවෙසේ වූ මොහොතේ පැමිණි තිබුණේ බන්ටි සහ සුද්දායි. පත්මිණි සහ පොලිස් නිල­ධා­රියා නිවෙසේ සැඟවී සිටි­යදී පුතුන් දෙදෙනා කෑකෝ­ගසා මඳ වේලා­ව­කින් යන්නට ගොසිනි. එසැ­ණින් කෝකිලා සිය නැන්ද­ණි­යට කියා ඇත්තේ, “නැන්දෙ… දැන් මෙහෙන් යන්න නැත්නම් අරුන් ආයෙත් ඇවිත් ලොකු ප්‍රශ්න­යක් වෙන්න පුළු­වන්…” කෝකිලා එසේ කීමත් සමඟ පත්මිණි, රාජ­පක්ෂ සමඟ රාත්‍රී එකට පමණ කිරි­බ­ත්ගොඩ, හුනු­පි­ටිය මාර්ගයේ හෝට­ල­ය­කට ගොස් නතර වී තිබේ. හෝට­ල­යට ගොස් මඳ වෙලා­ව­කින් පත්මිණි ඇමැ­තු­මක් ගෙන කෝකි­ලාට කීවේ,

“දුවේ… හරිම බඩ­ගි­නියි… මේ හරියේ කෑමට දෙයක් ගන්න තැනක් නෑ… ඔයාට පුළු­වන්ද මොන­ව­හරි ගෙනත් දෙන්න…”

ඊට ප්‍රති­චාර දක්ව­මින් රොටි වැනි ආහා­ර­යක් ගෙන කෝකිලා සිය බාල සොහො­යුරා සමඟ ස්කූටි යතු­රු­පැ­දි­යක නැඟී දෙදෙනා නැවතී සිටි හෝට­ලය කරා ගොස් ඇත. ඒ අතරේ පත්මිණි, රාල­හා­මිට කියා ඇත්තෙ,

“දැන් දුව කෑම අරන් එනවා කීවා…. ඔයා හෝටලේ ළඟින්ම කෑම ගත්තොත් පුතාලා අපි ඉන්න තැන දැන­ග­නිවී… ඒක නිසා ටිකක් ඉස්ස­ර­හට ගිහින් කෑම ටික ඉල්ල­ගන්න..”

ඒ අනුව නැවතී සිටි හෝට­ලයේ සිට මීටර් සිය­යක් පමණ ඉදි­රි­යට පයින් ගමන් කර­මින් සිටි­යදී කෑම රැගෙන පැමිණි කෝකිලා හමුවී කෑම ලබා­ගත් රාජ­පක්ෂ නැව­තත් ‍හෝටල­යට ගමන් කිරී­මට සැරැ­සුණා පමණි. ක්ෂණ­ය­කින් පැමි­ණියේ ත්‍රිරෝද රථ­යකි. ඊට මාර්ගයේ ගමන් කර­මින් සිටි රාජ­ප­ක්ෂව බලෙන්ම නංවා­ගෙන යන ආකා­රය අසල සීසී­ටීවී කැම­රා­ව­කද සට­හන් වී ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී හෙළි විණි.

17 වැනිදා පාන්දර 1.20 ට පමණ එසේ පස්දෙ­නෙ­කු­ගෙන් පමණ යුත් පිරි­සක් විසින් පැහැ­ර­ගත් රාජ­පක්ෂ ගැන පරී­ක්ෂණ කළ නිල­ධා­රින්ට පොලිස් බාර­යට ගැනුණු පත්මිණි හෙළි­ද­ර­ව්වක් කළාය. දිනක් සුද්දා පවසා ඇත්තෙ, “ලොකු අම්මෙ… ඔය ‍රාලහාමි මට පාට් එකක් දැම්මොත්…. දන්න­වනේ මගේ හැටි… මං නම් කරන්නෙ පන්නල පැත්තට අරන් ගිහින් කැලේ­කට දානවා… ආයෙත් ජීවි­තේට එන්න බැරි වෙන්න…”

පොලිස් බාරයේ පසු වන පත්මිණි ඒ බව පොලි­සි­යට පැවැ­සී­මත් සමඟ රාජ­පක්ෂ පැහැ­ර­ගෙන පන්නල ප්‍රදේ­ශ­යට රැගෙන යන්නට ඇති බව සැක පළ වීමත් සමඟ පොලිස් නිල­ධා­රීහු පන්නල සුද්දාගේ නිවෙ­ස­ටද ගියහ. ඒ අනුව පසු­ගිය දින කීප­යේම පෑලි­ය­ගොඩ කොට්ඨාස අප­රාධ විම­ර්ශන නිල­ධා­රින් සහ කුලි­යා­පි­ටිය පොලිස් නිල­ධා­රීන් දිවා රෑ වෙහෙ­සුණේ රාජ­පක්ෂ ගැන හෝඩු­වා­වක් සොයා ගැනී­ම­ටයි. ඒ පන්නල කංකා­නි­ය­මුල්ල රක්ෂි­තය සහ ඒ අවට පොල් වතු පීර­මිනි. එහෙත් ඔවු­නට සොයා­ගැ­නී­මට හැකි වූයේ රාජ­පක්ෂ පැලඳ සිටි බවට සැක කළ පාව­හන් යුග­ලය සහ මිනිස් ලේ පැල්ලම් කීප­යක් පමණි. කුලි­යා­පි­ටිය පොලිස් නිල සුනඛ විකී සහ ප්ලෑෂ්ද යොදවා විම­ර්ශන සිදු කළත් කිසිදු හෝඩු­වා­වක් නොවිණි.

ඒ අතරේ පොලිස් නිලධාරින් රාජ­පක්ෂ පැහැ­ර­ගත් දින රාත්‍රියේ සුද්දා සමඟ දුර­ක­කන සංවා­ද­යක් කළ කඳානේ නාගොඩ වෙසෙන සුද්දාගේ බාප්පාගේ පුත්‍රයා පොලිස් බාර­යට ගනු­ ලැ­බීය. නිල­ධා­රින් ඔහුට කීවේ සුද්දාට ඇමැ­තු­මක් ගන්නා ලෙසයි. ඒ අනුව සුද්දා එම ඇමැ­තු­මට කීවේ,

“මගේ අතේ සල්ලි නෑ බං… දහ­යක් හෝ පහ­ළො­වක් දාපන්… මං එක­වුන්ට් නම්බර් එකක් එව­න්නම්…”

සුද්දා එවූ එම ගිණුම් අංක­යට අදාළ පදිංචි ලිපි­නය සොයා ගැනී­මට පොලි­සිය සමත් විය. ඒ රාජ­පක්ෂ ඝාත­නය කොට තිබූ පන්නල, බුළු­ගොඩ ප්‍රදේ­ශයේ නිවෙ­සකි. එම නිවෙස සුද්දාගේ මිත්‍ර­යෙකු වන සංජුගේ නිවෙ­සයි. සංජුද මත්කුඩු ජාවා­රම්හි නිරත අප­රා­ධ­කා­ර­යෙකි. 20 වැනිදා හඳු­නා­ගත් එම නිවෙ­සට 21 වැනිදා පාන්දර පහට පමණ පොලි­සිය කඩා පැන්නේය. ඒ මොහොතේ සුද්දා සහ සංජු නිවෙසේ සිටි­යහ.

දෙදෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සංජුගේ නිවෙසේ සිට මීටර් 750 ක් පමණ දුරින් පිහිටි ලඳු කැලෑ­වක තිබී කපාකොටා ඝාත­නය කළ රාජ­ප­ක්ෂගේ සිරුර සොයා ගැනී­මට හැකි විය. විම­ර්ශන සිදු­ක­රන පොලිස් නිලධාරියෙක් කීවේ, එකී ඝාත­නය පත්මි­ණි­ගේද අනු­දැ­නුම මත සිදු කළ ඝාත­න­යක් ලෙස සැක කෙරෙන බවත් ඉදිරි විම­ර්ශන අනුව සියලු තතු හෙළි කර­ගැ­නී­මට හැකි වන බවයි ෴

***************************************

අස්වනු රැකගන්න කුඹුරක වුණත් පඹයෙක් හිටවන්න ඕනේ – ප්‍රසන්න රණතුංග

(23.02.2020 – 10:25 +0530 – sinhala.adaderana.lk)

අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.

නව සන්ධානයේ සභාපතිවරයා පත් කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.

‘අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණයකර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්න’ යැයි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

දොම්පේ කෑරගල පරකඩමුල්ල ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ අදහස් පල කර තිබේ.

සන්ධානයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා පත්කිරීම පිළිබඳ විරෝධයක් තිබේදැයි මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පවසා ඇත.

“ඔව් මම විරුද්ධයි. පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ ලොකු විරෝධයක් තියෙනවා.

මම පහුගිය කාලෙම සටන් කලේ අපි පොහොට්ටු‍වෙන් ඉල්ලන්න ඕන කියලා. මොන සන්ධාන හැදුවත් සම නායකයෝ ඉන්න බෑ. අසම සම නායකයා මහින්ද විතරයි කියලයි. ඒ දෙකම හරි ගියා.

අද රටේ මතයක් හැදීලා තියෙනවා මෛත්‍රීට සන්ධානයේ සභාපතිකම දුන්නට මේ සභාපතිකම නිකං පියන් කමක් වගේ කියලා.

මේ සන්ධානයේ නායකයා මහින්ද මහත්තයා. අස්වනු රැක ගන්න කුඹුරක පඹයෙක් හිටවන්න ඕන. අපේ ඡන්ද ප්‍රමාණය රැකගන්න නම් සමහර විට පඹයෙක්ව හිටවන්නත් වෙයි මේ උනෙත් ඒක වෙන්න පුලුවන්.

කොහොම වුනත් අපිට ශ්‍රීලනිපය එක්ක ප්‍රශ්ණයක් නෑ. අපිට සන්ධාන ගහන්න පුලුවන්. හැබැයි 2015 රටම පාවා දුන්න නායකයෙක් අද සුදන වගේ මේකට එන්න හදන කොට ඒකට විරෝධයක් තියෙනවා.

මේකෙදි අපට සාධාරණ සැකයක් තියෙනවා සන්ධානයට ඇවිල්ලා ආණ්ඩුව පිහිටෙව්වාම කඩාගෙන යයිද කියලා. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.”

***************************************

යාපනය ගුවන්තොටුපල දියුණු කිරීමේ ගිවිසුමට කඩිනමින් අත්සන් තබනවා – ඇමති ප්‍රසන්න රණතුංග

(23.02.2020 – 15:03 +0530 – sinhala.adaderana.lk)

යාපනය පලාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට එකඟ වී තිබේ.

මෙම මුදලින් සැහැල්ලු ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදන, අප ජල ප්‍රවාහන පද්ධතිය හා ඝණ අපද්‍රව්‍ය අපවහන පද්ධතිය සැකසීමට අපේක්ෂිතයි.

මේ වන විට යාපනය පලාලි ගුවන් තොටුපලේ තාවකාලික ගුවන් ගමන් පාලන කුළුණක් ඉදිකර තිබේ.

ගුවන් ධාවන පථ ආලෝකකරණ පද්ධතිය ද සැකසීම සඳහා මේ වන විට ප්‍රසම්පාදන කටයුතු සිදුකෙරෙමින් පවතී.

මෙහි වාණිජ ගුවන් යානා හා ජාත්‍යන්තර මගීන් හැසිරවීමේ දී වැඩි පහසුකම් අවශ්‍ය වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පැවරෙන අතර ඉන්දියානු රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 300 ක ප්‍රදානය භාවිතා කිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට බලය පැවරේ.

යාපනය පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි ෴

***************************************

සතියකට වරක් පාස්කු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව වාර්ථාවක් ආරක්‍ෂක ලේකම්වරයාට

(23.02.2020 – 14:42 +0530 – sinhala.adaderana.lk)

250 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් කළ පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය (සී.අයි.ඩී) විසින් කරගෙන යනු ලබන විමර්ශණ වල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායට විවිධ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා එහි ප්‍රධානත්වය උසුලයි.

ඒ සම්බන්ධව වාර්ථාවක් සතියකට වරක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කල යුතු වේ.

කොළඹ, මීගමුව හා මඩකලපුව ප්‍රදේශය වල ප්‍රධාන කිතුනු දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රහාර පිළිබඳ විමර්ශණ කඩිනම් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බලකාය පිහිටවූ බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

පසුගිය පාලන සමයේ මේ සම්බන්ධ අපරාධ විමර්ශණ පලදායී ලෙස සිදු නොවුණු බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් සිදුකිරීමට අප අපොහොසත් වුවහොත් එම බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ සහ ජීවිතාන්තය දක්වා තුවාල හා වේදනාවන් සමග ජීවත්වන 500 ක් පමණ පුද්ගලයින් හට සාධාරණය ඉටු නොවන බවත් ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් සියලුම බුද්ධි අංශවල දායකත්වය ලබාගෙන ප්‍රහාරයන්ට අදාළ සත්‍ය තොරතුරු හඳුනා ගැනීම, සත්‍ය තොරතුරු රැස් කිරීම සහ නව තොරතුරු හා සාක්ෂි එක්රැස් කිරීම මගින් එම ප්‍රහාරයන්ට අදාල අන්තවාදී පිරිස් නීතිය හමුවට ගෙන එන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශණය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශණය පිළිබඳව කතෝලික ප්‍රජාව සෑහීමකට පත් නොවන බව පසුගිය සතියේ කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමා ප්‍රකාශ කර තිබිණි.

නිසි විමර්ශණයක් පිළිබඳ සහතික වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියේ මෙම විමර්ශණ සඳහා බුද්ධි අංශ වල සහාය අවශ්‍ය බැවින් නිවැරදි තොරතුරු ලබාගැනීම පිණිස මෙම නව කාර්ය සාධක බලකාය අපරාධ විමර්ශණ කොට්ඨාශය මගින් සිදුකර ගෙන යනු ලබන විමර්ශණ සඳහා තොරතුරු ලබාගැනීමේ මෙහෙවරක් වන බවයි.

“මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අපගේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ අනාගතයේදී මහජන ආරක්‍ෂාව සහ ජාතික ආරක්‍ෂාව සහතික කිරීමයි”, ඔහු වැඩිදුරටත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *