ගුරු – විදුහල්පතිවරු හෙට (26) ලෙඩ නිවාඩු

(25.02.2020 – 21:59 +0530 – lankadeepa.lk)

ගුරු – විදුහල්පති අතුරු වැටුප් චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලික කරගනිමින් ගුරු විදුහල්පති සංගම් 30 ක් හෙට (26) දීපව්‍යාප්තව ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබේ.

එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන අතරතුර හෙට (26) පෙරවරු 09:30 ට බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය අසල සිට ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනක් පැවැත්වීමටද එම වෘත්තිය සමිති සංවිධානය කර තිබේ.

ගුරු විදුහල්පති ගැටලු මුල් කරගනිමින් පසුගිය වසරේ මාර්තු 13 සහ සැප්තැම්බර් 26 , 27 යන දිනවලද ගුරු සංගම් 27 ක් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවූහ.

එම ගැටලු විසඳීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලද කමිටුවේ නිර්දේශ පරිදි වැටුප් විෂමතා ඉවත් කරන තෙක් අතුරු වැටුපක් ගෙවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු එම කමිටුවේ නිර්දේශ කිසිවක් මෙතෙක් ඉටු නොවු බවද ඒ අනුව පෙර දැනුම් දුන් පරිදී අද දිනයේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවද ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ලංකා ගුරුසේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරුසංගමය, විදුහල්පති සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, වතු ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ගුරු විමුක්ති පෙරමුණ, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, නැගෙනහිර පළාත් ද්‍රවිඩ ගුරු සංගමය ඇතුලු ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව ඇති බවද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++

***************************************

‘රජයේ පාසල්වල පළමු වාර විභාගය ලබන වසරේ (2021) සිට නෑ’

(25.02.2020 – 18:00 +0530 – lankadeepa.lk)

ලබන වසරේ (2021) සිට රජයේ පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළමු පාසල් වාරය තුළ සෑම පාසලකම නිවාසාන්තර ක‍්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප‍්‍රදර්ශන, මහා ක‍්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ විෂය සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් පැවැත්වෙන බැවින් බොහෝ සිසුන්ට පළමු වාර විභාගයට නිසි ලෙස සූදානම් වීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඇතැම් සිසුන් විභාග කටයුතු අතපසු වේයැයි බියෙන් ක‍්‍රීඩා කටයුතු, චාරිකා ආදියට සහභාගී නොවී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත්, ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් මැදිහත්ව ඔවුන් ක‍්‍රීඩා කටයුතුවලින් ඉවත් කරන අවස්ථා තිබෙන බවත් අනාවරණය වී ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් සිදුකෙරෙන පළමු පාසල් වාරය සෑම පාසලකම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ද ඉතා කාර්ය බහුල කාලවකවානුවක් බව එහි සඳහන් වේ.

මෙම සියලූ කරුණු සළකා බලා පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම වසරේ (2020) පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති හෙයින් එහි වෙනසක් සිදු නොකෙරෙන අතර, මේ වර්ෂයට (2020) අදාළ පළමු පාසල් වාර විභාග නියම කර ඇති ආකාරයෙන් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ ෴

***************************************

බැංකු කාඩ්පතකින් ලක්ෂ 28 ක් සොරාගත් අයෙක් රිමාන්ඩ්

(25.02.2020 – 22:01 +0530 – lankadeepa.lk)

කාන්තාවකගේ බැංකු කාඩ්‍පතක් වංචා සහගත ලෙස ලබාගෙන පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ විසිඅටක මුදලක් ලබාගත් සැකකරුවෙක් මාර්තු මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (25) නියෝග කළේය.

බදුල්ලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන සැකකරු බුත්තල ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය රවටා මෙම වංචාව සිදුකර ඇතැයි සඳහන් කළේය .

ඇය සතුව තිබූ ගොඩනැගිල්ලක් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට විකුණා ඇති අතර එම මුදල බැංකු ගත කිරීම සඳහා සැකකරුගේ සහය ලබාගෙන ඇති බවත් එම අවස්ථාවේ ලැබුණ බැංකු කාඩ්පත වංචා සහගත ලෙස සිය භාරයට ගෙන ඔහුගේ කාඩ් පත ඇයට දී ඇතැයි අනාවරණය වී තිබේ.

ඉන්පසු අවස්ථා කීපයකදී සැකකරු එම කාන්තාවගේ බැංකු කාඩ් පතින් රුපියල් ලක්ෂ විසි අටකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

පැමිණිලිකාරිය බැංකුවට ගොස් කාඩ්පතෙන් මුදල් ලබාගැනීමට ගිය අවස්ථාවේ මෙම වංචාව පිළිබඳ හෙළි වී තිබේ.

සැකකරු පිළිබදව නියම තොරතුරු දැනගෙන නොසිටි බැවින් පොලිසිය පැමිණිළිකාරිය ලවා තම දියණියට අසනීප වී ඇති බව පවසා සැකකරුට පැමිණෙන්නැයි දුරකතන පණිවිඩයක් ලබාදී තිබේ.

ඔහු නිවසට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වංචා සහගත ලෙස ලබාගත් මුදලින් බස්රථයක් මිලදී ගෙන තිබූ බවත් එයද පොලිස් භාරයට ගත් බවත් පොලිසිය පැවසීය ෴

***************************************

රාජිත සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි සැකකරුවන් දෙදෙනා ඇතුළු 10 ක් ටී. 56ක් සමඟ අත්අඩංගුවට

(25.02.2020 – 21:30 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ කෙහෙල්බද්දර (2020/02/07) සිදුවූ ලක්ෂ 44 ක කොල්ලයකට අදාලව, පා. ම. රාජිත සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි සැකකරුවන් දෙදෙනා ඇතුළු 10 ක්, ටී. 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

හිරු සී.අයි.ඒ. : නමත් වෙනස් කරන්නට වූ CIA මෙහෙයුම

(25.02.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

කල් ඉකුත් වු කේක් නිෂ්පාදන අමුද්‍රව්‍යවල දින වෙනස් කරමින් සිටියදී ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු මත වටලනු ලැබු වත්තල ප්‍රදේශයේ කේක් නිෂ්පාදන ආයතනයේ සීල් තැබු රු. කෝටි එකහමාරක වටිනාකමකින් යුත් අදාළ භාණ්ඩ තොගය අධිකරණ නියෝග මත අද විනාශ කළා.

ඒ කලගෙඩිහේන කසල බහාලුම් අංගනයේදී.

‘හිරු සී.අයි.ඒ.’ ඔස්සේ මේ මස පළමුවැනිදා අප හෙළිකලේ වත්තල – බන්ට් පාර ප්‍රදේශයේ පවත්වාගෙන යන සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදන ආයතනයක් පිළිබදවයි.

කේක් නිෂ්පාදන අමුද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වීමේ දින ඇතුලත් විදේශීය ලේබල් ඉවත් කර වෙනත් ලේබල් අලවා වෙළදපලට නිකුත් කිරීමට සැරසෙමින් සිටියදී මෙම ස්ථානය ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

එහිදී ටොන් 17½ ක, රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුතු කල් ඉකුත්ව තිබූ කේක් හා බේකරි අමුද්‍රව්‍යවලට මුදා තැබුනා.

මේ සිද්ධියෙන් පසු අදාළ ආයතනය සිය ව්‍යාපාරික නාමය වෙනස් කරන බව පුවත්පත් දැන්වීමක් මඟින් ප්‍රසිද්ධ කර තිබුණා.

අප ඒ පිළිබඳව එහි සාමාන්‍යාධිකාරීවරයාගෙන් විමසුවා.

මේ මස පළමුවැනිදා මුද්‍රා තැබු කල් ඉකුත් වූ භාණ්ඩ තොගය අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් ධම්මිකා බණ්ඩාර මහත්මියගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීම සඳහා රැගෙන ගියා.

එම කල් ඉකුත් වු භාණ්ඩ තොගය කලගෙඩිහේන කසල බහාලුම් අංගනයේදී භූමිතෙල් දමා වෙනත් කසල සමග මිශ්‍ර කොට මෙලෙස විනාශ කරනු ලැබුවා.

***************************************

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සත්‍යග්‍රහය තවදුරටත්

(26.02.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

සිය තැන්පතු ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය බොරැල්ලේ පිහිටි ඊ.ටී.අයි. ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඊයේ (25) ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔවුන් ගොඩනැගිල්ල ඉදිරිපිට කූඩාරමක් සවි කිරිමට ඊයේ (25) උත්සාහ ගත් අතර ඊට පොලිසිය ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

කෙසේ වෙතත්, මාර්ගය අවහිර නොවන අයුරින් කුඩාරම ඉදිකරගැනිමට පොලිසිය ඔවුන්ට අවසර ලබා දුන්නා ෴

+++++++++++++++++++++

25-02-2020

***************************************

සම අනුග්‍රහයෙන් ඉවත්වීම ගැන ශ්‍රී ලංකාව අද මානව හිමිකම් කොමිසමට දන්වයි

(26.02.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා හි පැවැත්වෙන 43 වන මානව හිමිකම් සැසි වාරයට සහභාගිවීම සඳහා එරට ගොස් සිටින විදෙස් සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) සැසි වාරය ඇමතීමට නියමිතයි.

එහිදී පසුගිය රජය සමයේ සම අනුග්‍රාහකත්වය දරනු ලැබූ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළ 30/1 සහ 34/1 දරණ යෝජනාවලින් ඉවත්වන බවට අමාත්‍යවරයා විසින් මානව හිමිකම් මණ්ඩලයට දැනුම් දීමට නියමිතයි.

එමෙන්ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචලෙට් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙට (27) කරුණු දැක්වීමට නියමිත අතර අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීමට ද නියමිතයි. ඊට අමතරව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අනිද්දා (28) ඇයව හමුවනු ඇති.

පසුගිය 24 වන දා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය ආරම්භ කළ අතර එය මාර්තු මස 20 වන දා දක්වා පැවැත්වෙනවා.

මෙම සැසි වාරයට පෙර එනම් පසුගිය 21 වන දා විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිනි එලිසබෙත් ටිචි-ෆිස්ල්බර්ගර් ජිනීවා නුවරදී හමුවී ශ්‍රී ලංකාව මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බවට දැනුම් දී ඇත ෴

***************************************

හිරු අනාවරණයෙන් පසු නුගේගොඩ අනුලා විදුහල්පතිනිය ධුරයෙන් ඉවතට

(25.02.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකල බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබදව හා අදාල විගණනය සිදුකල නිලධාරීන්ට බලපෑම් කරමින් පැවැත්වූ උද්ඝෝෂණ පිළිබදව අප දිගින් දිගටම තොරතුරු වාර්තා කළා.

ඒ අනුව ඇයව එම විදුහලේ විදුහල්පති ධූරයෙන් ඉවත් කර කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අනුලා විද්‍යාලයට පත්කර එවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකා මහත්මියට එල්ල වූ මූල්‍යමය අක්‍රමිකතා ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස 02 කට අධික කාලයක් විමර්ශනයක් සිදුකළා.

විගණනයේදී ඇය සිදුකල බවට පැවසෙන බරපතල අක්‍රමිකතා රැසක් පිළිබදව තොරතුරු හෙළිවූ අතර අප එය වාර්තා කිරීමත් සමග අප ආයතනයට හා විගණන නිලධාරීන්ට විරෝධය පලකරමින් අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් අතලොස්සක් හා ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පිරිසක් පාසල ඉදිරිපිට දින දෙකක් විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර ‘දූෂීත කුමන්ත්‍රණය පරදා අනුලා විද්‍යාලය රැකගැනීමේ විශේෂ අනුශාසක සමුළුවක්’ යන මැයෙන් ‘අනුලා විද්‍යාලය රැකගැනීමේ සංවිධානය’ අද (25) නුගේගොඩ සිරිධම්මාරාමයේදී රැස්වීමක් පැවැත්වුවා.

කෙසේ වෙතත් ජයනි ප්‍රිශංගිකා මහත්මියව නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පති ධූරයෙන් ඉවත්කර එම ධූරය සදහා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ අනෝමා දහනායක මහත්මිය පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (25) කටයුතු කළා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සදහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේදී මේ සදහා වන පත්වීමේ ලිපිය අනෝමා දහනායක මහත්මිය වෙත ලබාදී තිබෙනවා.

විගණන නිලධාරීන්ට බලපෑම් සිදුකරමින් පැවති උද්ඝෝෂණ සම්බන්ධයෙන් අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මෙලෙස අදහස් පලවුණා.

***************************************

රාජිත පත්කළ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ගැන අනාවරණයක්

(25.02.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත් කරනු ලැබූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (25) අනාවරණයක් සිදු කළා.

+++++++++++++++++++++

***************************************

ඩී.කේ.පී. දසනායකත් ජනාධිපති කොමිසමට

(25.02.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩුව දේශපාලන පළිගැනීමක් මත, ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටියදී තමන්ව මෙරටට ගෙන්වා නොගත්තේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වාගැනීමට හැකියාව තිබූ බව රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පවසනවා.

ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (25) සාක්ෂි ලබාදෙමින්.

කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමට අදාළව සිදුකරන විමර්ශනවල සැකකරුවෙක් ලෙස නම්කර ඇති රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ තමන්ට සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව සාක්ෂි විමසීමට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණා.

සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් ඔහු පැවසුවේ ලොව පුරා ඉස්ලාමීය අන්තවාදයේ නැගී ඒමත් සමඟ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳව ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාව ලොව රටවල්වලින් එක් නියෝජිතයෙකුට බැගින් අවස්ථාව ලබාදී තිබූ බවත් ශ්‍රී ලංකාවෙන් එම අවස්ථාව හිමි වූයේ තමන්ට බවයි.

කෙසේ වෙතත් මාස කිහිපයකින් පසු සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ තමන්ව යළි මෙරටට කැඳවීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළ බව ඔහු එහිදී පෙන්වා දුන්නා.

ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තමන්ව එලෙස කැඳවා තිබූ බවත් අදාළ කටඋත්තරය ලබාගැනීමෙන් පසු නැවත පාඨමාලාව හැදෑරීම සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට හැකියාව ඇති බවත් එවක හිටපු නාවික හමුදාපතිවරයා තමන්ට දැනුම් දුන් බව ඩී.කේ.පී. දසනායක මහතා කොමිසම හමුවේ පැවසුවා.

තමන්ට ලැබුණු කැඳවීමට අනුව දින 14 ක අධ්‍යයන නිවාඩුවක් මත 2015 පෙබරවාරි 16 වැනිදා තමන් යළි මෙරටට පැමිණි බව ඔහු පැවසුවා.

හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු වූ තමන්ට 2015 පෙබරවාරි 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වාට ප්‍රකාශයක් ලබාදෙන ලෙස උපදෙස් ලැබුණු බව ඩී.කේ.පී. දසනායක මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් නාවික හමුදාපතිවරයාගේ සහය නාවික නිලධාරියා ලෙස සිටි කොමදෝරු සුදර්ශන නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොයන ලෙස එදින පෙරවරුවේ තමන්ට දැනුම් දුන් බව දසනායක මහතා කොමිසම හමුවේ සඳහන් කළා.

නමුත් එදින නිශාන්ත සිල්වා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබූ බව ඔහු මෙහිදී සඳහන් කළා.

මෙය සිතාමතා අධිකරණය නොමඟ යවමින් තමන්ට විරුද්ධව ලබාගත් විදෙස් ගමන් තහනමක් බව ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඩී.කේ.පී. දසනායක මහතාගෙන් විමසුවේ යහපාලන රජයේ ප්‍රබල ඇමතිවරයෙක් තමන් විදෙස්ගතවීම සම්බන්ධයෙන් යම් කිසි සොයා බැලීමක් සිදුකර තිබුණේද යන්නයි.

සාක්ෂිකරු එහිදී සඳහන් කළේ එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා තමන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කැඳවා තිබූ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිපත්ති සහ උපායමාර්ග පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා අවස්ථාව ලැබුණු එකම පුද්ගලයා තමන් වූ අතර එය සම්පූර්ණ කිරීමට තමන්ට අවස්ථාව ලබා නොදෙමින් පසුගිය ආණ්ඩුව කටයුතු කිරීම හරහා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තමන් විශේෂ වගකීමකින් යුතුව ශ්‍රි ලංකාව තුළ කටයුතු කිරීමේ අවස්ථාව අහිමි වූ බවයි.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඩී.කේ.පී. දසනායක මහතා පැවසුවේ පෙර සඳහන් කළ චෝදනාව මත තමන්ව අත්අඩංගුවට ගත් බවත් වසර 5 ක් ගත වී තිබුණද නිශාන්ත සිල්වා කිසිදු බී වාර්තාවක් මගින් මෙම නඩුවට අදාළව තමන් සම්බන්ධ කිසිම කරුණක් අධිකරණයට වාර්තා කර නොතිබූ බවයි.

***************************************

මහ මැතිවරණය ඉලක්ක කර UNPය සෙසු පක්ෂ සමඟ එළඹ ඇති එකඟතා රටට හෙළිකලයුතුයි

(25.02.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂ සමඟ එළඹ ඇති එකඟතා රටට හෙළිදරව් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

කොළඹ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා මගී බෝට්ටු සේවාව 11 සිට

(25.02.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා මගී බෝට්ටු ප්‍රවාහන සේවාව මාර්තු මස 11 වනදා උදෑසන සුබ මොහොතින් ආරම්භ කරන බව ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් R W සොයිසා පැවසුවා.

ඉඩම් සංවර්ධන සංස්ථාවට අනුබද්ද LRDC පුද්ගලික සමාගම විසින් මෙම බෝට්ටු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරනු ඇති.

අදාළ බෝට්ටු සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා ඇති ඇල මාර්ගය ඔස්සේයි.

ඒ අනුව වැල්ලවත්තෙන් උදෑසන 6.50 සිට පෙරවරු 9.00 දක්වා බත්තරමුල්ල දියත උයන වෙත මිනිත්තු 15 කට වරක් මෙම බෝට්ටු ධාවනය කිරීමට නියමිතයි.

එසේම සෑම දිනකම පසවරු 4.00 සිට රාත්‍රී 7.00 වන තෙක් මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර එම බෝට්ටු වායු සමනය කර තිබීමද විශේෂත්වයක්.

අදාළ බෝට්ටු සේවය භාවිත කරමින් මගීන්ට මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයක් තුලදී වැල්ලවත්ත සිට බත්තරමුල්ලට ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

සහනදායි ගාස්තු අයකිරීමක් යටතේ මෙම සේවාව මගී ජනතාවට ලබාගතහැකි බවයි LRDC පුද්ගලික සමාගමේ කළමනාකාරණ අධ්‍යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරාල් H අමරවීර පැවසුවේ.

විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන් විසින් මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක් ෴

***************************************

කැළණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධති ගැළවූ මහා ශිෂ්‍ය සංගමයට වැඩවරදින ලකුණු

(26.02.2020 – 07:27 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලය තුළ ස්ථාන කිහිපයක සවිකර තිබූ සී සී ටී වී කැමරා පද්ධති ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අංශය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල මට්ටමින් සිදුකරන විමර්ශනවලින් හෙළිවන තොරතුරු අනුව සිද්ධියට සම්බන්ධ සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පෙරේදා කැළණිය විශ්වවිද්‍යාලයේ ස්ථාන කිහිපයක සවිකර තිබූ සී සී ටී වී කැමරා පද්ධති සිසුන් විසින් ගලවා පරිපාලන අංශයට භාරදී තිබුණා.

මීට මාසයකට පමණ පෙර සවිකර ඇති මෙම සී සී ටී වී කැමරා විශ්වවිද්‍යාලයේ සිසුන් ගැවසෙන ස්ථානවල සවිකර තිබීම හේතුවෙන් තමන් ඒවා ගලවා දැමූ බවයි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් කියා සිටියේ.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් ඊයේ (25) පස්වරුවේ එම විශ්වවිද්‍යාලයීය පරිපාලන කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරතවුණා.

විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කාරක ප්‍රමෝද් මල්ෂාන් කියා සිටියේ මෙම පීඨයේ ඉගෙනුම ලබන සියයට 30 සිසුන්ගේ උපාධි අහිමි කිරීමට පාලනාධිකාරිය කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල නායකත්වය දරණ සිසුන්ට විනයක් හෝ හික්මීමක් නොමැති බවයි ෴

+++++++++++++++++++++

***************************************

කොළඹ රථ වාහන තදබදය පාලනයට ගුවන් සහ නාවික හමුදා පොලීසියත් එක්වෙයි

(26.02.2020 – 08:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා ගුවන් සහ නාවික හමුදාවේ පොලීසිය යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඊයේ (25) පස්වරුවේ සිට යුද හමුදා පොලීසියට අමතරව ගුවන් සහ නාවික හමුදාවේ පොලීසිය ද මීට එක්ව සිටින බවයි.

හමුදා ප්‍රධාන කදවුරු ඉදිරිපිට සහ ඊට ආසන්න මාර්ගවල මොවුන් රාජකාරි කටයුතුවල නිරත වන බවද ඔහු සඳහන් කළා ෴

***************************************

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝගයක්

(26.02.2020 – 07:33 +0530 – sinhala.adaderana.lk)

අලි ඇතුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන පනතට අදාල ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිශන් සභාව මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත සිතාසි නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

අලි ඇතුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව විෂයභාර අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත ඉදිරිපත් කරනලද්දක් බැවින් එය බලරහිත ලියවිල්ලක් බව තිළිණ ගමගේ මහතා ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණි.

ඒඅනුව එම පනතට අදාල ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිලිණ ගමගේ මහතාගේ නීතිඥවරයා වන ධර්මතිලක ගමගේ මහතා කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සලකා බලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අදාල නියෝගය සිදු කිරීමට ජනාධිපති කොමිශන් සභාව පියවර ගෙන තිබුණි.

මේ අතර රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා සම්බන්ධයෙන් වන නාවික හමුදාව සතු ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස නාවික හමුදාපතිවරයා වෙත දැනුම් දී තිබේ.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් නාවික හමුදාපතිවරයා වෙත එම දැනුම්දීම සිදුකර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය ෴

***************************************

‘දෙරණ ටීවී – සංගීතේ’ ටෙලි සිත්තමේ තිසංක සර් සහ නිෂානි ටීචර්ගේ වීඩියෝවක් කරළියට (25-02-2020)

+++++++++++++++++++++++++++++++++++

දෙරණ ටීවී – සංගීතේ ටෙලි සිත්තමේ ‘මගෙ අහසේ අඳුර බිදින සඳවතී’ ගීතය (30-01-2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *