පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි – මහ මැතිවරණය අප්‍රේල් 25

(02.02.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයට අනුව අද (02) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා දින නියම කර ඇත්තේ අප්‍රේල් 25 වනදාට බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළා.

2015 අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පිහිටවූ 8 වන පාර්ලිමේන්තුව පළමු වරට රැස්වුණේ එම වසරේ සැප්තැම්බර් පළමුවැනිදායි.

ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ වසර හතරක් සහ මාස 6 කාලය ඊයේ (01) මධ්‍යම රාත්‍රියේදී සම්පූර්ණ වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව නිල කාලය වසර හතරහාමාර ඉක්මවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කර ඇත්තේ අප්‍රේල් මස 25 වනදාට බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මාර්තු 12 වනදා සිට 19 වනදා දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම සිදු වනු ඇති.

9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වනදා පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

+++++++++++++++++++++

Extraordinary Gazette Disso… by Nuwani Ruwinika Vitharana on Scribd

+++++++++++++++++++++++++++++++++++

මහමැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම අද (03) සිට වැඩ අරඹයි – නාම යෝජනා කැදවීම 12 වනදා සිට

(03.02.2020 – 07:22 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළා.

මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම මාර්තු මස 12 වනදා සිට 19 වනදා දක්වා සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල හා 1981 අංත 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් එලෙස 08 වන පාර්ලිමේන්තුව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරිනු ලැබුවා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින් අද (03) සිට මහමැතිවරණයට අදාළව සිය කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද අතිවිශේෂ ගැසට් සහ චක්‍රලේඛ කිහිපයක් නිකුත් කිරීමට නියමිතයි.

පිළිගත් දේශපාලන පක්ෂ, ඒවායේ ලකුණු, ඇප තැන්පත් කිරීම, දිස්ත්‍රික්කයක් සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂකයන් සංඛ්‍යාව, දිස්ත්‍රික්ක තේරීම් භාර නිලධාරීන් සහ නාම යෝජනා භාර ගන්නා ස්ථාන ආදිය එමඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති.

2015 වසරේ අගෝස්තු 17 වනදා පැවති මහ මැතිවරණයෙන් 08 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කර ගනු ලැබූ අතර ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධූර 106 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධූර 95ක්, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධූර 16 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූර 06 ක් හිමි වුණා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ඊපීඞීපි සංවිධානයට හිමි වූයේ මන්ත්‍රී ධූර 01 බැගින්.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05 ක් වන අතර වසර හතර හමාරක් ගත වූ පසුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි වනවා.

08 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේ 2015 සැප්තැම්බර් මස 01 වනදා පැවති අතර පෙරේදා (01) මධ්‍යම රාත්‍රියෙන් වසර හතර හමාරක කාලය අවසන් වුණා.

09 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වනදා පැවැත්වෙන බවයි ඊයේ (02) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර මෙවර මහ මැතිවරණය 2019 ඡන්ද නාම ලේඛනයට අනුව පැවැත්වෙන අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ 2018 ජන්ද නාම ලේඛනය හා සැසදීමේදී මෙවර නව ඡන්දදායකයන් දෙලක්ෂ 70,000 ක් පමණ අලුතින් එක්ව ඇති බවයි.

එමෙන්ම 2015 මහ මැතිවරණය පැවති 2014 ඡන්ද නාම ලේඛනය හා සැසදීමේදී මෙවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් එක් මන්ත්‍රී ධූරය බැගින් අඩු වී එම මන්ත්‍රී ධූර දෙක බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට එක්ව තිබෙනවා.

ඒ අනුව 2014 ඡන්ද නාම ලේඛනයට අනුව ගාල්ලෙන් මන්ත්‍රීවරු 10 දෙනෙකු තෝරා ගත් අතර එය මෙවර 09 දක්වා අඩු වී ඇති අතර මාතරින් තෝරා ගත් මන්ත්‍රීවරු 08 දෙනා 07 දක්වා පහළ බැස තිබෙනවා.

බදුල්ලේ පැවති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 2019 ඡන්ද නාම ලේඛනයට අනුව 09 ක් දක්වා ඉහළ යන අතර මොණරාගල මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 ක් දක්වා වැඩි වන බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

ඊට අමතරව කොළඹට මන්ත්‍රී ධුර 19 ක්, ගම්පහට 18 ක්, කළුතරට 10 ක්, මහනුවරට 12 ක්, මාතලේට 05 ක් හිමි වනු ඇති.

නුවරඑළියට මන්ත්‍රී ධුර 08 ක්, හම්බන්තොටට සහ යාපනයට 07 බැගින් මෙන්ම වන්නි දිස්ත්‍රික්කට මන්ත්‍රී ධූර 06 ක් හිමි වනවා.

මඩකලපුවට 05 ක්, දිගාමඩුල්ලට 07 ක්, ත්‍රීකුණාමලයට 04 ක්, කුරුණෑගලට 15 ක්, පුත්තලමට 08 ක්, අනුරාධපුරයට 09 ක්, සහ පොළොන්නරුවට මන්ත්‍රී ධූර 05 ක් හිමි වන බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

රත්නපුරයට මන්ත්‍රී ධූර 11 ක් සහ කෑගල්ලට 09 ක් ද වෙන් කර තිබෙනවා ෴

***************************************

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය රංජුකගෙන් යළිත් සුවිශේෂි සැත්කමක් – සැත්කම් 140 කින්වත් නොලැබූ අත්දැකීමක්

(02.02.2020 – 12:11 +0530 – truenews.lk)

වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු දකුණු වකුගඩුව බද්ධකොට පැය දෙකක කාලයක් තුළ දි සැත්කම ඉතා සාර්ථකව සිදුකර ඇති බව වාර්තා වනවා.

සැත්කමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් වකුගඩුවේ ශිරාව මැදින් පුපුරායාමට ලක්ව රුධිරය වහනය විමට පටන්ගෙන ඇති අතර බිත්ති තුනි හා දුර්වලවිම නිසා මෙම තත්වය උදාවිය හැකි බව ශල්‍ය වෛද්‍යවරයාගේ අදහසයි.

වහා ක්‍රියාත්මක වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම රෝගියාගේ රුධිරය වහනයවිම නතරකිරිමට පියවර ගනු ලැබුවා.

පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් බද්ධ කරනු ලැබු වකුගඩුව ධමනියෙන් හා ශිරාවෙන් වෙන් කිරිමට කටයුතු කර ඉන්පසු රෝගියාගේ පාදයේ ශිරාවක් ගෙන එය දෙකට පළා වකුගඩුවේ ශිරාවට බද්ධකොට නැවත වතාවක් වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් සිදුකරණු ලැබූ බව සඳහන් වනවා.

මෙවැනි තත්වයන් දක්නට ලැබිම ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ අදහසයි.

ශිරාව බද්ධ කිරිම නිසා රෝගියාගේ වකුගඩුව යළි ක්‍රියාත්මක තත්වයට පත්ව ඇති අතර ඔහුට යළි ජීවත්වීමට වාසනාව ලැබුණි.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ ඒකකය තුල මෙවැනි සැත්කැම් 140 ක් පමණ සිදුකොට ඇතත් වෛද්‍යවරයා මෙවැනි අත්දැකිමට මුහුණ දි ඇත්තේ පළමු වතාවටයි.

***************************************

කොළඹ බාලිකා විද්‍යාල දෙකකට ඇතුළුවීමට උත්සාහ කළ සිසුන් 20 දෙනෙකු පොලිස් භාරයට

(03.02.2020 – 09:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ පිහිටි බාලිකා විද්‍යාල දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පාසල් සිසුන් 20 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් පිරිසක්.

ඔවුන් අද (03) උදෑසන සිට කොළඹ නගරයේ විවිධ ස්ථානවල එක්රැස් වී බාලිකා විද්‍යාලවලට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව සඳහන් ෴

***************************************

තත්ත්වයෙන් බාල කුළුබඩු වෙළඳපොළට – අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

(03.02.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයත් සමඟ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ බාල මිරිස්, තුන පහ ඇතුළු කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොළේ අලෙවි කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහින්ද බාලසූරිය සඳහන් කළේ මාතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවලින් කෘත්‍රිම වර්ණක යොදා බඩඉරිඟු ඇට සහ බාල මිරිස් යොදා ගනිමින් මිරිස් කුඩු නිෂ්පාදනය කිරීමේ සිද්ධීන් වාර්තා වූ බවයි ෴

***************************************

ඉතාලියේ ශ්‍රී ලාංකික කාන්තාවකටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

(03.02.2020 – 08:58 +0530 – hirunews.lk/sinhala)

‘කොවිඩ් නයින්ටීන්’ හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා පිළිබඳ ඉතාලියෙන් වාර්තා වනවා.

ඉතාලියේ බ්‍රේෂියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තහවුරු කළා.

ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර පසුගිය වසර 10 ක කාලය තුළ ඉතාලියේ පදිංචිව සිටින්නේ ඇගේ සැමියා ද සමඟයි.

මෙම කාන්තාව රැක බලා ගත් ඉතාලි ජාතික කාන්තාවකට මුලින් වෛරසය ආසාදනය වී ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුවයි.

මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට ආසාදිත සංඛ්‍යාව 2036ක්.

යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇතිව තිබෙන්නේ ඉතාලියටයි.

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ නිවේදන කිහිපයක්ද නිකුත් කර තිබුනා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම යනුවෙන් නිකුත් කර තිබු නිවේදනයක සඳහන්ව තිබුනේ දැනට ඉතාලිය තුළ පැතිරීයන කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් තමා ජීවත්වන ප්‍රදේශයෙන් වෙනත් ජනාකීර්ණ ප්‍රදේශවලට ගමන් කිරීමට පෙර මේ පිළිබදව සිතා බලන ලෙසයි.

එම ස්ථානයට යාමට ඔබ අපේක්ෂා කරන කාර්ය කඩිනමින් හා අනිවාර්යයෙන් කළයුත්තක්ද?

එම ස්ථානයට නොගොස් අදාළ කරතව්‍ය සිදුකරගැනීමට තැපැල් හෝ වෙනත් විකල්ප මාර්ග පවතී ද? යනුවෙන් සිතා බලන ලෙසද එහි දැක්වුනා.

“උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉතාලිය තුල පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති හදිසි තත්වය සැලකිල්ලිට ගෙන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා පහත ක්‍රියාමාර්ග කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කොට ඒ අනුව කටයුතු කරන මෙන් කාරුණිකව දැනුම් දෙනු ලැබේ”.

යනුවෙන් නිකුත් කර තිබු නිවේදනය පහත දැක්වෙනවා :

***************************************

සමාජ මාධ්‍ය කැළඹූ කොදෙව් – ශ්‍රී ලංකා තරඟයක් අතර තුර විදෙස් යුවළකට හිරිහැර කිරීම සිද්ධිය ගැන පරීක්ෂණයක්

(03.02.2020 – 07:38 +0530 – hirunews.lk/sinhala)

කොදෙව් පිළ සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියේ එක් තරඟයක් නැරඹීමට පැමිණි විදේශීය යුවළකට බීමතින් පැමිණි පුද්ගලයෙකු හිරිහැර සිදුකරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එහි දැක්වෙන පරිදි අදාළ පුද්ගලයාගේ හිරිහැර කිරීම් හේතුවෙන් එම විදේශික යොවුන් යුවළ දැඩි අපහසුතාවකට පත්වන අතර බීමත් පුද්ගලයා ඉවත් කිරීමට නරඹන්නන් කිසිවෙකු ඉදිරිපත් නොවීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගෙන් අදාළ සිද්ධිය පිළිබදව අප විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස මේ වන විටත් අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇති බවටයි.

***************************************

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ

(03.02.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස (මාර්තු) අවසානයේදී නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද දිස්ත්‍රික් කුසලතා ස්ථාන මෙන්ම සමස්ත දිවයිනේ කුසලතා ස්ථාන ප්‍රකාශයට පත් කිරීමක් සිදුනොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.

2019 වසරේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987 කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008 ක් පෙනී සිටියා.

මේ අතර, මෙවර පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමේ කාලය ද ලබන 9 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අයදුම්පත් භාර ගැනීම ඊයේ (02) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා ෴

***************************************

දකුණු මුහුදේ මෙහෙයුමකින්, තවත් මත්කුඩු කිලෝ 380 ක්

(03.02.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව දකුණු මුහුදු තීරයට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 330 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 50 ක් සොයා ගෙන තිබෙනවා.

ගාල්ල මුහුදු තීරයේදී නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය සෙනසුරාදා සිදුකළ වැටලීමකදී ද, රුපියල් කෝටි 140 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 74 යි ග්‍රෑම් 666 ක් සහ අයිස් කිලෝ 65 යි ග්‍රෑම් 714 ක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම වැටලීමෙහි තවත් එක් අදියරක් ලෙස සිදුකළ මෙහෙයුමකදී මෙලෙස හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.

ඒ අනුව මෙම සමස්ත මෙහෙයුමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක ප්‍රමාණයක් ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

එම සමස්ත හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 600 කට ආසන්න විය හැකි බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය චන්ද්‍රිකා දුරකථන මාර්ග ඔස්සේ විදේශ රටක සිට මෙහෙය වන ලද්දක් බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

***************************************

පාසල් සිසුවියක් අපයෝජනය කළ, සිසුන් 7 දෙනා හඳුනා ගැනේ

(02.02.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව පාසල් සිසුන් 7 දෙනෙකු මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සිසුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට අද (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සිසුන් 7 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

පාසල් සිසුවිය මාස 7 ක පමණ කාලයක් පුරා අවස්ථා කිහිපයකදී මෙම සිසුන් විසින් අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

එක් සිසුවෙකු පළමු වරට සිසුවිය අපයෝජනය කර ඇති අතර, පසුව ඇගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට යොමු කරන බවට බිය ගන්වමින් සිසුවාගේ තවත් යහළුවන් 6 දෙනෙකු විසින් ද සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.

අඩංගුවට ගත් පාසල් සිසුන් 7 දෙනා කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් කිහිපයක සිසුන් බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇති සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝපටය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීම සඳහා ඇමරිකාවේ පිහිටි ෆේස්බුක් ආයතනයේ සහය ඉල්ලා සිටීමට ළමාරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.

එසේම මෙහි සිටින අපයෝජකයාගේ හඬ, සැකකරුවන්ගේ හඬ සමඟ සැසදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමටයි තීරණය වී ඇත්තේ.

අධිකරණ නියෝග මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී එය සිදුකෙරෙනු ඇති.

මේ අතර, ගත වූ මාස දෙක තුළ ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 2500 ක් පමණ ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය අද අනාවරණ කළා. දිනකට 1929 යන ළමා උපකාර සේවා දුරකථන අංකයට පැමිණිලි 40 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බවයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *