සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..! – ඇමති ප්‍රසන්න රණතුංග

(05.03.2020 – 13:23 +0530 – lankacnews.com)

‘ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා’ යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි.

ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින හිටපු පළාත් සභා මන්ත්‍රි සහන් ප්‍රදීප් විතාන මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“මම කියපු කාරණා 03 ක්ම මේ වෙන කොට ඉටු වෙලා තියෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණු සන්ධානය ද මොකක්ද එක හදන කොට කිව්වා ‘අපි තරග කරන්නේ පොහොට්ටුවෙන් විතරයි’ කියලා. මෛත්‍රිපාල සිරිසේන ඒ සන්ධානයේ සම නායකකම ඉල්ලන කොට කිවුවා ‘අපිට සම නායකයෝ නෑ. අපිට ඉන්නේ එකම එක අසමසම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහතා පමණයි’ කියලා. ඒ වගේ ම මම කිවුවා ‘අපි මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඔය එක එක සන්ධාන වලින් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්’ කියලා. මම ඒ කියපු හැම දෙයක්ම අද හරිගිහින් තියෙනවා. එදා 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාට පස්සේ මම කිවුවා මහින්ද මහත්තයාව මේ රටේ නැවත අගමැති කරලා මේ රටේ නායකත්වයට ගේන්න තමයි මගේ අපේක්ෂාව කියලා. පහුගිය ආණ්ඩුව යටතේ අවස්ථා 2 ක දි මහින්ද මහත්තයා මේ රටේ අගමැති කෙරුවා. එකක් මෛත්‍රීපාල සිරිසේන දින 52 ආණ්ඩුව යටතේ මහින්ද මහත්තයව අගමැති කළා. ඊළගට ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයව නැවත අගමැති කලා. හැබැයි මේ දෙකටම මම කැමති නෑ. මොකද මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕනේ මේ රටේ මහජනතාවගේ බහුතර ඡන්ද ප්‍රතිඵලයෙන්. මේ රටේ ජනතාවගේ වැඩි ඡන්දයෙන් මහින්ද මහත්තයව රටේ අගමැතිධූරයට පත් කරන එක තමයි අපේ මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂාව වෙන්නේ. ඒ වෙනුවෙන් මේ වෙනකොටත් ජනතාව පෙළ ගැහිලා ඉවරයි.

කළ ගුණ දන්න ජනාතාව හැමදාම හිටියේ පොහොට්ටුවත් එක්කයි. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ලඟදී කියලා තිබුණා ඔහු ‘උකුස්සා වගේ දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැගන්න දක්ෂයි’ කියලා. 2015 දීත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ජඩ වැඩේ කළා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලත් ඒ අය ඒ සෙල්ලමම දාන්න උත්සාහ කරනවාදැයි අපිට සැකයක් තියෙනවා. අපි කිසිසේත් ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් තරග කරත් මෙවර මහා මැතිවරණයේ දී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා. දැන් මං මේක කිවුවාම හෙට ඉදලා මඩ ගහන්න පටන් ගනියි. හෙට පක්ෂ නායක රැස්වීමේ දී මාව ඉවර කරයි. හැබැයි මම දන්නවා කවුරු නැතත් ජනතාව මාව රකිනවා. කවුරු නැතත් ජනතාව මං වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා මගේ ස්ථාවරය කියන්න මම බය නෑ.

අපි කණ්ඩායමක් විදිහට මෙවර මහා මැතිවරණයට ගම්පහින් තරග කරන්නේ. මනාප වලට රණ්ඩු වෙන්නේ නෑ. ජනතාව ජයග්‍රහණය කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනේ. මේ තුනෙන් දෙකක බහුතර බලය ගත්තාම තමයි අපිට පුළුවන් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් අන්තවාදී සංවිධාන අපිව යට කරගන්න හදන එක වළක්වන්න. අපි අන්තවාදී සහයෝගය නැතිවයි මෙවර ආණ්ඩුව පිහිටවන්න කටයුතු කරන්නේ. අනතවාදීන් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවලා අපිට වැඩක් නෑ. මොකද අපි රටට ආදරේ නිසා. පහුගිය දවසේ අපි පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ මේ රටේ නතර වෙලා තිබුණු සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනියන්න. 2019 වෙනකම් කෙරිලා තිබිච්ච දේවල් වල මුදල් පහුගිය ආණ්ඩුව ගෙවලා තිබුණේ නෑ. ඒ හින්දා ඒ මුදල් ගෙවලා රට වැඩ කරන රටක් බවට පත් කරන්නයි අපි පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ කුහකකම එළියට ආවා. ඔවුන් පරිපූරකයට විරුද්ධ වෙලා මේ රටේ ජනතාවට මුදල් ලැබෙන එක වැළැක්වුවා. උපාධිධාරීන්ට රැකියා ලබා දීම මේ මැතිවරණය ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක් නෙමේ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පහුගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවක්. ජනාධිපතිවරණ පොරොන්දුව ඉටු කීරිම සදහායි මේ උපාධිධාරී පත්වීම් ලබා දෙන්න කටයුතු කරේ. උපාධිධාරින්ට අපි මේ දුන්නු රැකියා නැතිව පාරේ බැහැලා ඉන්න තත්ත්වයට පත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය නැවතත් උත්සාහ කරන්නේ. අපි ඒකට ඉඩ තියන්නේ නෑ.

මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහන් ප්‍රදීප් මහතා ද මෙම රැස්වීමේ දී කථා කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++

‘උකුසු සිරා’ට පොහොට්ටුවෙන් නාම යෝජනා එපා.. පොහොට්ටු ප‍්‍රබලයන් දැඩි විරෝධයේ..

(05.03.2020 – 12:00 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉල්ලීමට අවස්ථාව ලබා නොදිය යුතු බව එම පක්ෂයේ කිහිප දෙනෙකුම දැනටමත් ඉල්ලීම් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද උකුසු කතාවෙන් ඇඟවෙන්නේ නිසි මොහොත ලැබුණු කළ බලය පෙරළා දැමීමට සූදානම් බව යැයි ද ඔවුන්ගේ අදහස වී තිබේ.

රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ හිටපු ඇමතිවරුන් ප්‍රසිද්ධියේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විරෝධතාව පළ කර ඇත.

එමෙන්ම තවත්එම පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබා නොදිය යුතු බවට දැනටමත් දැනුම් දී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

“මෛත්‍රී සමග ඉදිරියට යන්න බෑ” – දයාසිරි කලකිරී පොහොට්ටුවේ නායකයන් හමුවේ

(05.02.2020 – 12:46 +0530 – truenews.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‌ෙයේ සභාපතිවරයා වන ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වත්මන් ක්‍රියාකලාපය මුල්කරගෙන එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ‌මේ දිනවල දැඩි කලකිරීමට පත්ව සිටින බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග තහවුරු කරනවා.

එම ආරංචි මාර්ග ‌පෙන්වා ‌දෙන්නේ පසුගිය දිනෙක ‌සිරිසේන මහතා ‌පොලොන්නරුවේදී කළ උකුසු කතාව සහ පක්ෂය පසෙක තබා ඔහුගේ රුව පමණක් ‌යොදාගනිමින් සියලුම ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කිරීම මේ සදහා ‌හේතු වී ඇති බවයි.

මේ පිළිබදව ඉතාම කලකිරීමෙන් යුතුව අදහස් දක්වා ඇති ජයසේකර මහතා ‌‌මෙවන් පුද්ගලයකු සමග කිසිසේත්ම ඉදිරි ‌දේශපාලන ගමනක් යා ‌නොහැකි බව ප්‍රකාශ ‌කොට ඇති බවද දැනගන්නට තිබෙනවා.

එමෙන්ම ‌පොහ‌ොට්ටුවේ ප්‍රධානීන් සමගද ජයසේකර මහතා ‌මේ පිළිබදව ඉතා කනගාටුවෙන් යුතුව අදහස් ප්‍රකාශ ‌කොට ඇති බවද වාර්තා වනවා ෴

***************************************

බැදුම්කර වංචාවට රනිල් අත්අඩංගුවට..? ඔත්තුව ලැබී වේලාසන රටින් පැනලා..?

(05.03.2020 – 09:20 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටින් බැහැ පිටව ගොස් ඇත්තේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට ලද තොරතුරු මත බව එක්සත් ජාතික පක්ෂ හිතවාදී මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ප්‍රබලයෙකුගේ ලද දැනුම්දීමක් හේතුවෙන් වික‍්‍රමසිංහ මහතා රටින් බැහැර වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

ඊයේ (04) පස්වරුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්වී ගියේ කිසිදු හේතුවක් නොදන්වමිනි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට රටින් පිටවීම තහනම් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම හෙට දින දක්වා කල්දමා තිබේ.

***************************************

විදේශීය කිරිපිටි වලට ව්‍යාජ සහතික දුන් ප්‍රමිති ආයතනයට ඇමති විමල්ගෙන් ‘ප්‍රමිති සහතිකයක්’

(05.03.2020 – 11:02 +0530 – lankaleadnews.com)

විදේශීය ආනයනික කිරිපිටි වලට ෆාම් තෙල් එකතු කරන බවට වූ චෝදනාව විභාගකොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කොට තිබියදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානී ඇතුළු පිරිසක් නවසීලන්තයට රැගෙන ගොස් සත්කාරකොට එම වාර්තාවට පටහැනි සහතිකයක් ප්‍රමිති ආයතනය විසින් කිරිපිටි සමාගම් වලට ලබාදීම පිබඳව අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි විවේචනයක් එල්ල කරයි.

මෙම සිදුවීමට අදාල සාධාරණ තීන්දුවක් ලබාගැනීම සඳහා අධිකරණය හමුවට යන බවද ඔහු අවධාරණය කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (04) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සම්පූර්ණ වීඩියෝව :

***************************************

නිපුනත්වයෙන් සන්නද්ධ පිරිසක් බිහි කළ යුතුයි – ජනපති

(05.03.2020 – 13:27 +0530 – sinhala.adaderana.lk)

රැකියා වෙළෙඳපොළට අනුකූලව වන අයුරින් පාසැල්, පුහුණූ ආයතන සහ විශ්වවිද්‍යාලවලින් බිහිවන ශ්‍රම බලකාය පුහුණු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රෙය් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රෙය් නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සංවාදයක් ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේ පැවසීය :

“සියලුම උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ අපේ රටේ තිබෙන අවාසනාවන්ත සම්ප්‍රදායක්. නමුත් වෙනත් ආයතනවල රැකියා සොයාගැනීමට නොහැකි වීම ඔවුන්ගේ වරදක් නොවේ.

එයයි අපේ රටේ තිබෙන අධයාපන ක්‍රමය. අපි රැකියා වෙළඳපොලේ අවශ්‍යතාවයට අනුව ඔවුන් පුහුණු කරන්නේ නැහැ.

නව තාක්ෂණික හැකියාවන්ගෙන් පුරවැසියන් සන්නද්ධ කිරීම කළ යුතුයි. පෙර පාසැල් සමයේ සිට අපි නිදහස් අධ්‍යාපනය ලබා දෙනවා.

හැබැයි අපි නිවැරදි අධ්‍යාපනයක් ලබාදෙන්නේ නැහැ. ලෝකයේ වෙන්‍ස් වෙන තත්වයන් සමඟ අපි අවාසනාවන්ත ලෙස වෙනස් වෙලා නැහැ.

මම සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට කතා කළා. නවීන තාක්ෂණය සමග ගනුදෙනු කරන්න නොදන්නවානම් උපාධියක් ලබාගැනීමේ තේරුම කුමක්ද ? එවිට රැකියාවක් සොයාගැනීම ඉතාම අපහසුයි.

මම කිව්වා ඔවුන්ට තොරතුරු තාක්ෂණය හඳුන්වාදෙන ලෙස. උපාධිය පමණක් නොවෙයි, ඔබ දන්න විදිහට අද වනවිට උපාධිය නෙමෙයි වැදගත්.

අමෙරිකාවේ ආයතන බොහෝමයක් උපාධිය සලකන්නේම නැහැ. ඒ ආයතනවලට වටින්නේ හැකියාවන්. ඔබට කළ හැකි දෙයයි වඩා වැදගත්.

අධයාපන ක්‍රමය වෙනස් කරන්න නම් අපි රැකියා වෙළඳපොල අවශ්‍යතාවයන්ට අනුව ඔවුන් පුහුණු කළ යුතුයි.”

***************************************

දුම්රිය රියදුරන් හෙට (06) වෘත්තීය කි‍්‍රයාමාර්ගයක

(05.03.2020 – nethnews.lk)

හෙට (06) දිනයේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසුවේ අසනීප නිවාඩු වාර්තා කර සිය සාමාජිකයන් හෙට (06) දිනයේ එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන බවයි.

දුම්රිය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් ඉලක්ක කර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප‍්‍රකාශයක් මුල් කර ගනිමින් එය කි‍්‍රයාත්මක කරන බවද දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා පැවසුවා. දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් දුම්රිය තුළ රාජකාරී සදහා යෙදවීම නිසා දුම්රිය රියදුරන්ට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමට අවස්ථාවක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් දුම්රිය ප‍්‍රමාද කිරීම් සිදුකරන බවටයි ඉකුත්දා විමල් වීරවංශ අමාත්‍යවරයා ප‍්‍රකාශයක් සිදුකර තිබුණේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

දුම්රිය වර්ජනය අත්හිටුවයි

(05.03.2020 – 22:03 +0530 – sinhala.adaderana.lk)

හෙට (06) ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබු දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇත.

අගමැතිවරයා සමඟ වෘත්තිය සමිති සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹී ඇති බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හා ජාවාරමට දුම්රිය සෘජුව සම්බන්ධ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් මාධ්‍යයේ පලවීමත් සමඟ එයට විරෝධය දක්වමින් දුම්රිය රියදුරන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සූදානම් වි තිබුණි.

කෙසේ වෙතත් අගමැති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

***************************************

සිබිල් වෙත්තසිංහ දේවිය ගෙන් ගිනස් වාර්තාවක්

(05.03.2020 – 15:28 +0530 – sinhala.adaderana.lk)

දිවයින් පුරා ළමුන් 20,000 ක් සම්බන්ධ කරගනිමින් ‘පුදුම පළිඟුව’ ළමා කෘතිය රචනා කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්වී තිබේ.

ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු ‘පුදුම පළිඟුව’ නමැති කතන්දර පොත ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද්දකි.

ඇය විසින් රචිත කතාවල අවසානය දරුවන් විසින් සම්පූර්ණ කිරීමට යොමු කිරීම මෙම කෘතියේ විශේෂත්වයයි.

දරුවන් තම පරිකල්පන ශක්තිය සහ නිර්මානශිලිත්වය යොදා ගනිමින් කතන්දර ලිවිම, සිතුවම් කිරීම සහ පද්‍ය රචනා ආදී ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් ඇය විසින් රචිත කතාන්දරයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතු විය.

ළමයින්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාවක ලබාදීම මෙම කෘතිය රචනා කිරීමේ මුලික අරමුණ වී ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *