රවී කරුණානායක සහ හිටපු මහබැංකු අධිපති ඇතුළු සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රවී කරුණානායක සහ හිටපු මහබැංකු අධිපති ඇතුළු සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු (විඩියෝ)

• දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් (විඩියෝ)

• දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු – නීතිපතිටත් සිතාසි

• ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිස මුල්වරට රැස්වෙයි

• කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක් (විඩියෝ)

• රජයේ වියදම් සඳහා ජනපති අවසරය

• ශානි අබේසේකර ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක් (විඩියෝ)

• ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව අගමැති කියයි (විඩියෝ)

• පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනපතිගේ දැඩි අවධානය

• මහ මැතිවරණයට භික්ෂූන් වහන්සේ ඉදිරිපත්වීම ගැන විවිධ අදහස් (විඩියෝ)

• හිටපු ඇමති බදියුදීන්ට එරෙහි පැමිණිල්ල ගැන විමර්ශණ සිදුකර නැතැයි චෝදනාවක් (විඩියෝ)

• දේශපාලන හිතවතුන්ට රාජ්‍ය ආයතන තනතුරු දීමේ යුගය වෙනස් කළ බව ජනපති කියයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රවී කරුණානායක සහ හිටපු මහබැංකු අධිපති ඇතුළු සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු

(06.03.2020 – 17:51 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කළා.

ඒ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්.

+++++++++++++++++++++

රවී ඇතුළු 10 ක් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

(06.03.2020 – 17:54 +0530 – sinhala.adaderana.lk)

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

2016 මාර්තු 29 සහ එම මස 31 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදු කළ අපරාධමය වැරදිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 09 දෙනෙකුය මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

අදාළ බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවූ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 12 දෙනාට අදාළව ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණ වී ඇති බැවින් ඔවුන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව පසුගිය 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිටියේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 12 දෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබුණි.

+++++++++++++++++++++

රවී ඇතුළු 10 ක් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

(06.03.2020 – 17:54 +0530 – sinhala.adaderana.lk)

2016 මාර්තු මාසයේදී පැවති ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි දෙකකට අදාළව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද (06) වරෙන්තු නිකුත් කළේය.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

2016 මාර්තු 29 වනදා සහ මාර්තු 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසිවලදී පොදු දේපල සාපරාධි පරිහරණය, තමාට වාසිදායක වන පරිදි වෙළඳපොල හසුරුවීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට අදාළව සැකකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නේය.

එහි සැකකරුවන් ලෙස පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම,හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක,පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු 12 දෙනෙක් නම්කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය බදාදා සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ඉල්ලා සිටි අතර ඊට අදාළ නියොගය අද (06) ප්‍රකාශයට පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අද (06) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තමාට පැහැදිළි කරගැනීම් සිදුකරගැනීමට අවශ්‍ය වන බවයි.

විමර්ශනයේ 6 වන 7 වන සහ 8 වන සැකකරුවන් වන පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ 10 වන සැකකරු ලෙස නම් කර සිටින බුද්ධික සරත්චන්ද්‍ර මහතා සම්බන්ධයෙන් අනාවරණ වන කරුණු සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමට පෙර තමාට පැහැදිළි කරගැනීමක් සිදුකරගැනීමට ඇති බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසුවේ විමර්ශනයේ දෙවන සැකකාර එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක, තුන්වන සහ සිව්වන සැකකරුවන් වන අර්ජුන ඇලෝෂියස් සහ කසුන් පළිසේන යන අය සම්බන්ධයෙන් අනාවරණ වන කරුණු පිළිබඳ තමා සෑහිමකට පත්වන බවයි.

ඒ අනුව තමාට පැහැදිළි කරගැනීමට අදාළ කරුණුවලට අනුව සකස් කළ ප්‍රශ්නාවලියක් මහේස්ත්‍රාත්වරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට භාරදුන් අතර එම ප්‍රශ්නාවලියට අදාළ පැහැදිළි කීරීම් පස්වරු 2.30 ට ලිඛිතව අධිකරණයට භාරදෙන බව ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් වරෙන්තු ලබාදෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා මෙම නීතී කෘත්‍ය යළි අද පස්වරුවේ කැඳවනු ලැබුවේය.

එහිදී සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ එවකට මුදල් ඇමති රවී කරුණානායක මහතා 2016 මාර්තු 28 සහ මාර්තු 30 වන දිනවල රාජ්‍ය බැංකු තුනකට බැඳුම්කර වෙන්දේසියේදී ලංසු තැබිය යුතු ඵලදායිතා අනුපාතය සම්බන්ධයෙන් සීමා පනවා ඇති බවට කරුණු හෙළිවන බවයි.

එළෙස සීමා ඉදිරිපත් කිරීම තුලින් රවී කරුණානායක විසින් පළමු සැකකාර පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමට අයුතු ලාභයක් අත්කරදී ඇති බවත් එම අයුතු ලාභයේ කොටස් ලෙස කොළඹ ග්‍රැන්ඩ් මොනාර්ක් නමින් නිවසක් ලැබුණු බවට අධිකරණය හමුවේ පවතින කරුණු අනුව නිගමනය කළ හැකි බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් පෙන්වා දුන්නේය.

ඒ අනුව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේය.

එම සැකකරුවන් අතරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනද අයත්ය.

කෙසේවෙතත් විමර්ශනයේ 10 වන සැකකාර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත්චන්ද්‍ර නැමැත්තා අනෙකුත් සැකකරුවන් සමග සබඳතා පැවති බවට කරුණු හෙළි නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් වරෙන්තු හෝ සිතාසි නිකුත් නොකරන බවද මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නියෝගයෙන් සඳහන් කළේය.

පර්පෙචුඅල් ආයතනය නෛතික ආයතනයක් වනනිසා එම ආයතනයට අදාළව සිතාසි නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන්ය.

+++++++++++++++++++++

***************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

(06.03.2020 – 17:09 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ‍කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (06) නියෝග කළේය.

ඒ එම කොමිසම හමුවේ සලකා බැලෙන පරීක්ෂණයකට අදාළ ලේඛන කිහිපයක් අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මතයි.

මේ අතර ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම කොමිසම හමුවේ විභාග වන විමර්ශනයක ලේඛන අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනතුරු අන් කිසිඳු පාර්ශ්වයකට ලබාදීමට කොමිසමට නෛතික හැකියාවක් නොමැති බවයි.

තම අධිකරණය හමුවේ විභාග වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැති පුද්ගලයාට එරෙහි නඩුවට අදාළව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සතු ලේඛන කිහිපයක් ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් කේ. වීරසිංහ මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් එම නියෝගය නොතකා හරිමින් ලේකම්වරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා අධිකරණ ක්‍රියාමාර්ග හෑල්ලුවට ලක්කර ඇති බැවින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එසේම ඇයගේ විදෙස් ගමන් තහනම් කිරීමටද තීරණය කෙරුණි.

මෙම නියෝගය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම කියා සිටියේ කොමිෂන් සභාව පිහිටුවන අධිකාරී පත්‍රය අනුව කොමිෂන් සභාව සතු රැස්කරගත් තොරතුරු, ලේඛන සහ ඒ මත සකස් කරන අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි.

එම වාර්තාවේ තොරතුරු හෝ එහි කොටසක් කිසිඳු ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඉල්ලා සිටීමට නෛතික හැකියාවක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපති කොමිසම අදාළ වාර්තාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන තෙක් රහස්‍ය වාර්තාවක් පවත්වාගෙන යා යුතු බව කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේය.

එසේම ජනාධිපති කොමිසමට ඉදිරිපත්කළ පැමිණිල්ලේ විභාගය අවසන් වන තෙක් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබූ බව ජනාධිපති කොමිසම පවසයි.

එසේ තිබියදී ජනාධිපති කොමිසමේ කටයුතුවලට බාධා වන අයුරින් අධිකරණ කටයුතු කිරීම පිළිබඳව ලබන 11 වනදා කොමිසම හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කර තිබුණි.

+++++++++++++++++++++

දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු – නීතිපතිටත් සිතාසි

(06.03.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

නොතීසි නිකුත් කර තිබියදී අධිකරණයේ පෙනී නොසිටි දේශපාලන පළිගැනීම් සොයා බලන සොයන ජනපති කොමිසමේ ලේකම්වරිය වන පර්ල් කේ. වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (06) නියෝග කළා.

ඒ අලි ජාවාරම්කරුවෙකු වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුට එරෙහි නඩුව අද (06) විභාගයට ගත් අවස්ථාවේදීයි.

මේ අතර පැමිණිලි විභාග අවසන් වන තෙක් නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන ලෙසට කළ නියෝගය අනුව කටයුතු නොකිරීම ගැන ලබන 11 වනදා කරුණු දක්වන්නැයි දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමෙන් නීතිපතිවරයාට සිතාසි නිකුත් කර තිබෙනවා ෴

***************************************

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිස මුල්වරට රැස්වෙයි

(06.03.2020 – 22:56 +0530 – sinhala.adaderana.lk)

එදිරිසිංහ ට්‍රිස්ට් ඉන්වෙස්ට්මන් ෆිනෑන්ස් ලිමිටඩ් හෙවත් ඊ.ටී.අයි සමාගම සම්බන්ධයෙන් සිදු වුයේ යැයි පැවසෙන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අද (06) මුල්වරට රැස්වුණි.

එම අවස්ථාවට අගතියට පත් තැන්පත්කරුවන් පිරිසක්ද පැමිණ සිටියද ඊ.ටී.අයි සමාගම නියෝජනය කරමින් නීතිඥ නියෝජනයක් ජනාධිපති කොමිසම හමුවේ සිදුවී නොතිබිම විශේෂත්වයකි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන් ෆිනෑන්ස් ලිමිටඩ් හෙවත් ඊ.ටී.අයි සමාගම සම්බන්ධයෙන් සිදු වුයේ යැයි පැවසෙන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනවාරි මස 09 වන දින නිකුත් කරනු ලැබු ගැසට් නිවේදයක් තුළින් ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලැබුවේය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිෂන් සභාවේ අනෙකුත් සමාජිකයින් ලෙස විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම් ගුණසේකර මහතා පත් කර තිබේ.

ජනාධිපති කොමිෂන් සභාව අද පෙරවරුවේ මුල්වරට රුස්වු අවස්ථාවේ කරුණු පැහැදිලි කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ ඊ.ටි.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම ශ්‍රී ලංකා මහබැංකුව විසින් නියාමනය කරනු ලැබු මුල්‍ය ආයතනයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි නියාමනයක් සිදුව ඇත්දැයි සොයා බැලිය යතු බවයි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊ.ටි.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම විසින් තම වත්කම් බැහැර කිරීමේ ක්‍රියාවලියේදි බෙන් හෝල්ඩිංග්ස් නම්වු විදෙස් සමාගමකට මෙරට මාධ්‍ය ආයතනයක් විකුණා ඇති අතර එවැන්නක් සිදුවිය හැකිද යන්න මෙරට පවත්නා නීතිය යටතේ සොයා බැලිය යුතු බවයි.

එසේම ඊ.ටි.අයි ෆිනෑන්ස් ලිමිටඩ් මුල්‍ය සමාගම සතුව 2019 දෙසැම්බර් මස 31 වන දින වන විට තැන්පත්කරුවන් 23,362 නෙකුට අයත්, මුල්‍ය වගකීම් රුපියල් මිලියන 23,445 ක් පැවත ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අනාවරණය කළේය.

එසේම ඊ.ටි.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ මුදල් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් 23,362 දෙනා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මහබැංකුව විසින් ඊ.ටි.අයි සමාගමට අදාළව පත්කර ඇති නිළධාරියෙකුගෙන් පුර්ණ වාර්තාවක් කැඳවන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය.

කෙසේවෙතත් ජනාධිපති කොමිෂන් සභාව හමුවට පළමු සාක්ෂිකරු ලෙස සමාගම් රෙජීස්ටාර්වරයා මාර්තු මස 23 වනදා කැඳවන ලෙස කොමිසම අද නියෝග කළේය ෴

***************************************

කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක්

(06.03.2020 – 22:06 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම ඊට අයත්ය.

ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්තවීම නතර කිරීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.

අද (06) සියලු දිසා ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලිපියක් යොමු කළ ලේකම්වරයා ශ්‍රී ලංකාව කොරෝනා තර්ජනයෙන් නිදහස් රටක් බවට පත් කර ගැනීම සහ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා හැකි සියලු පියවර ගැනීම රජයේ අභිලාෂය බව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක්ව වෛරසය මෙරටට පැමිණීම වලක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර අනුගමනය කරමින් සිටියි.

මෙය සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා රජයේ ආයතන සහ මහජනතාව එක්ව ක්‍රියා කල යුතු ජාතික වශයෙන් වැදගත් තත්වයක් බව පෙන්වා දෙන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පාලන ක්‍රමවේදයන්ගේ උපරිම සුමට ක්‍රියාකාරීත්වය සඳහා මහජන සහයෝගය ලබාගත හැකිවන පරිදි ජන විඥානය වෙනස් කළ යුතු බව ද සියලු දිස්ත්‍රික් සහ පළාත් ලේකම්වරුන්ට දන්වා සිටී.

බොහෝ රටවල තත්වය පාලනයෙන් ඔබ්බට ගමන් කර ඇති බැවින් ශ්‍රී ලංකාව ද මේ සඳහා සුදානම් විය යුතු බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කරයි.

මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනතෙහි විධිවිධාන යටතේ ක්‍රියාකිරීමට බලය හිමි වේ.

***************************************

රජයේ වියදම් සඳහා ජනපති අවසරය

(06.03.2020 – 21:29 +0530 – sinhala.adaderana.lk)

අද (06) සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) අධිකාරි බලපත්‍රය නිකුත් කළේය.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය.

රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබේ ෴

***************************************

ශානි අබේසේකර ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක්

(06.03.2020 – 21:09 +0530 – sinhala.adaderana.lk)

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ ජංගම දුරකථනය එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් කිසිඳු අධිකරණ අවසරයකින් තොරව විදෙස් විමර්ශකයින්ට ලබාදීමට උපදෙස් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපති ලලිත ගීතාංජන මහතා අද (06) ප්‍රකාශ කළේය.

ඒ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්ය.

තුර්කියේ තහනම් ත්‍රස්ත සංවිධානයක්වන ෆෙටෝ සංවිධානයට මුදල් සැපයීම් සිදු කරන ව්‍යාපාර කටයුතුවලට රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂිම් යන දෙදෙනාම මැදිහත්විම් සිදු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීයානි ධම්මිකා සේමසිංහ මහත්මිය ඊයේ (05) ප්‍රකාශ කළේය.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින්ය.

මේ අතර අද (06) කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ, පිලිපීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි මෙන්ම විදේශ සබඳතා අමාත්‍යංශයේ දකුණු ආසියානු කලාපීය ඒකකය භාර වත්මන් අධ්‍යක්ෂ ජනරාල් අරුණි රණරාජා මහත්මියයි.

ඇයගෙන් රජයේ අධිනීතීඥවරිය පළමුව විමසා සිටියේ ආසියාන් සංවිධානයේ විශේෂ රැස්වීමක් පැවැත්වුණේ ද යන්නයි.

ඊට පිළිතුරු දුන් රණරාජා මහත්මිය, ආසියාන් සංවිධානයේ විශේෂ රැස්වීමක් 2017 වසරේ අගෝස්තු මස 04 වැනිදා පිලිපීනයේදී පැවැත්වු බව ප්‍රකාශ කළේය.

එමෙන්ම බුද්ධික පතිරණ හා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු පිරිසක් ඊට සහභාගි වූ බවත් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා හා රාජ්‍ය ඇමතිවරයා අතර සාකච්ඡාවක් එහිදී පැවැත්වූ බව ඇය එහිදී ප්‍රකාශ කළේය.

එහිදී තුර්කියේ ෆෙටෝ අන්තවාදී සංවිධානය පිළිබඳව තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානාක මහතා දැනුම්වත් කළ බවයි රණරාජා මහත්මිය මෙහිදී පැවසුවේය.

රජයේ අධිනීතීඥවරිය එහිදී විමසුවේ ෆෙටෝ සංවිධානයේ මුදල්වලින් ලංකාවේ ව්‍යාපාරික කටයුතු කිරීම ගැන හා ලංකාවට සංක්‍රමණය වූ පුද්ගලයින් ගැන තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කළේද යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් ඇය පැවසුවේ එලෙස දැනුවත් කර ඇති බවයි.

එහිදී සභාපති විනිසුරුවරයා විමසුවේ තුර්කි විදේශ කටයුතු ඇමතිවරයා ඊට අදාල ලේඛන කලින් ලබාදුන්නේද යන්න පිළිබඳවයි.

එහිදී ඇය පැවසුවේ ලේඛන කිහිපයක් ලබාදුන් බවයි.

එම ලේඛන විදේශ කටයුතු අමාත්‍යංශයට ලබාදුන්නේද යන්න පිළිබඳව රජයේ අධි නීතීඥවරිය මෙහිදී ඇයගෙන් විමසුවේය.

ඊට පිළිතුරු ලබාදෙමින් ඇය පැවසුවේ අදාල ලිපි විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කිරීමට පියවර ගත් බවත් ඒවා රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට හා විදේශ කටයුතු අමාතංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බවයි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපති ලලිත ගීතාංජන මහතා අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

ඔහු එහිදී පැවසුවේ ‘කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ දුරකථය විමර්ශන කටයුතු සඳහා කිසිඳු අධිකරණ අවසරයකින් තොරව අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ෂාන් අබේසේකර මහතා විසින් විදෙස් ආයතනයට ලබාදෙන ලෙසට උපදෙස් දුන්’ බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව අගමැති කියයි

(06.03.2020 – 20:01 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව හැකි ඉක්මනින්ම පළාත් සභා මැතිවරණය පවත්වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පුවත් පත් මාධ්‍යවේදීන් සමඟ අද (06) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙවර මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් හිමිකර ගැනීමෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පුවත්පත් ප‍්‍රවෘත්ති කතෘවරු, විශේෂාංග කතෘවරු, දේශපාලන ලිපි රචකයින් මෙන්ම කාටුන් ශිල්පීන් හමුවුණි.

මේ අතර පිළියන්දල බස් නැවතුම්පොළ හා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත කෙරුණි.

***************************************

පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනපතිගේ දැඩි අවධානය

(06.03.2020 – 18:26 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ සියලුම නාගරික හා ග්‍රාමීය පෙදෙස්වල පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

ජනහිතකාමී පරිසර පද්ධතියක් සහතික කිරීමෙන් මහජනතාවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්වය නැංවීම, නාගරික රථවාහන තදබදය අඩුකිරීම සහ රථවාහන අනතුරු ද අඩුකර ගැනීමට පිළිවෙන.

පවතින නීතිරීති උල්ලංඝණය කරමින් පරිසරය අපවිත්‍ර කරන්නන්නට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

පරිසර පවිත්‍රතාව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල පරිසර ආරක්ෂණ කොට්ඨාශ දැනුවත් කිරිමට දඋපදෙස් දී ඇත.

ජනාධිපති විශේෂ ව්‍යාපෘති හා පරිසර ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) කොළඹ කොටුව සෙමා ගොඩනැඟිල්ලේ පැවැති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.

පොලිස් පරිසර කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.

කොළඹ නගරය සංචාරක ආකර්ෂණය දිනා ගත් පිරිසිදු නගරයක් බවට පත් කර ගැනීම සාකච්ඡාවේ අරමුණු අතර විය.

ජනහිතකාමී පරිසරයක් පවත්වාගෙන යාම සදහා ඇති බාධාහඳුනාගනිමින් ඒවාට විසඳුම් ද යෝජනා කෙරිණි.

කසල බැහැර කිරීමට නියමිත ස්ථාන නොතිබීම, අවිධිමත් කසල බැහැර කිරීම, නිලධාරී හිඟය මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් එම කටයුතු සඳහා නොයෙදීම වැනි ගැටළු ඒ අතර විය.

ඇතැම් ප්‍රදේශ පිරිසිදු කිරීම සඳහා නිශ්චිත ආයතනයක් නොතිබීම ද ගැටලුවකි.

මේ කරුණු පිළිබඳව අදාල පළාත් පාලන ආයතනය දැනුවත් කිරීමට යෝජනා විය.

පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා බලයට පැමිණි වහාම පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාශය ප්‍රතිස්ථාපනය කිරීමට උපදෙස් දුන් බවයි ෴

***************************************

මහ මැතිවරණයට භික්ෂූන් වහන්සේ ඉදිරිපත්වීම ගැන විවිධ අදහස්

(06.03.2020 – 22:52 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට භික්ෂූන් වහන්සේ ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා.

***************************************

හිටපු ඇමති බදියුදීන්ට එරෙහි පැමිණිල්ල ගැන විමර්ශණ සිදුකර නැතැයි චෝදනාවක්

(06.03.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව තමන් සිදුකළ පැමිණිල්ල තවමත් විමර්ශනය කර නොමැති බවට ‘උතුරේ මුස්ලිම් ජනතාව’ නම් සංවිධානයේ ලේකම් රාසික් මොහොමඩ් කාදර් ඛාන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට චෝදනා කරනවා.

ඔහු පවසන්නේ තමන් හිටපු අමාත්‍යවරයාට විරුද්ධව පැමිණිල්ල සිදුකර අදට වසර 5 ක් ගතව ඇති බවයි.

උතුරේ මුස්ලිම් ජනතාව සංවිධානයේ ලේකම් රාසික් මොහොමඩ් කාදර් ඛාන් මහතා අද (06) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණ තමන් සිදුකළ පැමිණිල්ල පිළිබඳව විමසනු ලැබුවා.

***************************************

දේශපාලන හිතවතුන්ට රාජ්‍ය ආයතන තනතුරු දීමේ යුගය වෙනස් කළ බව ජනපති කියයි

(06.03.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පෞද්ගලික ආයතන ශක්තිමත් කර ලාභ ලබන තත්ත්වයට පත් කළ අත්දැකීම් බහුල පිරිසක් වර්තමානයේ කිසිදු වරප්‍රසාදයක් නොමැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමන් සමග එක්ව සිටින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

රාජ්‍ය ආයතන කිහිපයකට අලූතින් පත් කෙරුණු සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *