පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියි – කාදිනල් හිමි

(07.03.2020 – 20:46 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර නොගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද සිදුකරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

රාගම තේවත්ත දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පල කළේය.

මේ අතර මත් උවදුරු මැඩලීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ගගන්නා ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

+++++++++++++++++++++

***************************************

රවී, ඇලෝසියස් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසියෙන් විශේෂ කණ්ඩායම්

(07.03.2020 – 19:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර මේ වනවිට පැය 24 කට අධික කාලයක් ගතවී ඇතත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුව නැහැ.

2016 වසරේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) වරෙන්තු නිකුත් කළා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් අද (07) පෙරවරු 7.15 ට සැකකාර හිටපු මන්ත්‍රී රවී කරුණානායකගේ බත්තරමුල්ල – රජමල්වත්ත පාරේ පිහිටි නිවසට පැමිණි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ විශේෂ විමර්ශන කණ්ඩායමට සැකකාර හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ඇතුළු වීමට මිනිත්තු 10 ක පමණ කාලයක් රැදී සිටීමට සිදුව තිබෙනවා.

පසුව නිවසට ඇතුළු වූ විමර්ශන නිලධාරින් ඒ තුළ මිනිත්තු 20 ක පමණ කාලයක් රැදී සිට ඇති අතර, සැකකාර රවී කරුණානායකගේ නිවසින් නිලධාරින් යළි පිටව ගිය බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

එසේම, අද පස්වරු 4.30 ට පමණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් විශේෂ නිලධාරින් කණ්ඩායමක් සැකකාර හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ තිබෙනවා.

ඔවුන් ද මිනිත්තු 10 කට ආසන්න කාලයක් නිවසේ රැදී සිටීමෙන් අනතුරුව පිටව ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, සැකකාර පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ලිමිටඞ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ කොළඹ-07, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ (මල් පාරේ) පිහිටි නිවසට ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ගොස් තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ දිනයේ වරෙන්තු නිකුත් කෙරුණු සියලුම සැකකරුවන්ගේ නිවෙස් වෙත අද (07) දිනයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොමු කර ඇති බවයි.

මේ අතර, එම නඩුවේ සැකකරුවන් අතරින් 08 වන සැකකරු ලෙස නම් කර වරෙන්තු නිකුත් කෙරුණු පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ලිමිටඩ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් අද (07) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ මෝදර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

වරෙන්තු නිකුත් වී මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් අතර, ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුව සිදුවූ සමයේ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ලිමිටඩ් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ මහබැංකුවට අනුබද්ධිත ආයතනවල හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු වනවා.

***************************************

මාතර රාහුල විද්‍යාලයේ රථ පෙළපාලිය අතර තුර සිදුවූ අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි

(07.03.2020 – 16:14 +0530 – hirunews.lk/sinhala)

මාතර – රාහුල විද්‍යාලයේ අද (07) සංවිධාන කර තිබූ පාගමන සඳහා එක්වීමට යමින් සිටි වෑන් රථයක් පෙරලී සිසුන් තිදෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් ගමන් ගත් වෑන් රථය මාතර – ගොඩගමදී පෙරලී අසල තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ ඔවුන් මාතර මහරෝහලට ඇතුළත් කෙරුණු අතර, බරපතල තත්ත්වයේ පසුවන එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රෝහලට ඇතුළත් කරන විට ඔවුන් තුන්දෙනාම බීමතින් සිට ඇති බව ද රෝහල් පොලීසිය ප්‍රකාශ කළා.

වසර දෙකකට වරක් පවත්වන මෙම පාගමන සදහා යමින් සිටියදී අනතුරට ලක්වූ වෑන් රථයේ සිසුන් 06 දෙනෙකු සිට තිබෙනවා.

තුවාල ලැබූ සිසුන් අවුරුදු 17, 18 සහ 19 වන වියේ පසුවන්නන්.

අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

***************************************

හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායනයට

(07.03.2020 – 19:10 +0530 – sinhala.adaderana.lk)

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීම සඳහා හිස්බුල්ලා මහතා ස්ථාපිත කළ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමින් චීනය සහ සෞදි අරාබියේ ජෙඩා දක්වා වන ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේය.

නව කොරෝනා වෛරසය පැතිර පවතින ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14 ක අනිවාර්ය නිරෝධායනයකට යොමුකිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව කොරෝනා නිරෝදාන ක්‍රියාවලිය සඳහා එම මගීන් හිස්බුල්ලා මහතා ස්ථාපිත කළ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට නියමිතයි.

මේ වන විට රටවල් 93 කින් කෙරෝනා වෛරසය ආසාදිත රෝගීන් සොයාගෙන ඇත.

වාර්තා වී ඇති මුළු ආසාදිතයන් ගණන එක් ලක්ෂ හාරසියයකට අධික වන අතර වාර්තා වී ඇති මරණ ගණන 3400 ක්.

වෛරසය පැතිර යාම ආරම්භ වූ චීනයේ, වෛරස් අසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේවනවිට 3070 ක්.

එරටින් වාර්තාවන අසාදිතයින් සංඛ්‍යාව 80,651 ක්.

කෙසේවෙතත් චීනය තුළ වෛරස ආසාදිතයින් 55,404 දෙනකු සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම නව කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවෙන් මරණ 44 ක් සහ ජපානයෙන් මරණ 12 ක් වාර්තා වුණි.

කොරෝනා වෛරසයෙන් මැදපෙරදිග කලාපයේ බලපෑම එල්ලවී ඇත්තේ ඉරානයටයි.

ඉරානයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 124 ක්.

වෛරසයෙන් යුරෝපානු කලාපයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉතාලියටයි.

එරටින් මරණ 200 ක් සහ ආසාදිතයින් 4636 ක් වාර්තා වෙයි.

ලොව කුඩාම රාජ්‍ය වන වතිකානයෙන්ද කොරෝනා වෛරසය අසාදිතයෙකු වාර්තාවෙයි.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 මාලදිවයිනටත් පැතිරේ – ලතින් ඇමරිකාවේ ප්‍රථම මරණය ආජන්ටිනාවෙන්

(08.03.2020 – 09:12 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනෙන් තහවුරු කළ කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු ප්‍රථම වරට හමුවී තිබෙනවා.

ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ ඉතාලි ජාතික සංචාරකයෙකුගෙන් බවටයි විශ්වාස කෙරෙන්නේ.

එම ඉතාලි ජාතිකයා මේ වනවිට සිය රට බලා ගොස් ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මාලදිවයින මෙලෙස කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවීමත් සමඟ දිවයින් දෙකක් නිරෝධායනයට ලක්කිරිමට තීරණය කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම පසුගිය දින 14 තුළ ඉතාලියේ ගත කළ කිසිවෙකුට අද සිට මාලදිවයිනට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර ලතින් ඇමරිකාවේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය ආජන්ටිනාවෙන් වාර්තාවනවා.

යුරෝපයේ සිට පැමිණි 64 හැවිරිදි පුද්ගලයෙකු බුවනෝස් අයර්ස් නුවරදී මෙලෙස කොරෝනා වෛරසයෙන් මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ තුන්වන මරණයද අද සිඞ්නි නුවරින් වාර්තාවුණා. ඔහු 80 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඕස්ට්‍රේලියාවේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 කට ආසන්නයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවද 209 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බි්‍රතාන්‍යයෙන් කොරෝනා වෛරස් මරණ දෙකක්ද වාර්තාවුණා ෴

***************************************

ආසියාවේ කළු සිංහයා ලූෂන්, ලෝකයෙන්ම සිව්වැන්නා වෙමින් ලක් මවට කිරුළු පළඳවයි

(08.03.2020 – 06:47 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන IFBB ආර්නෝල්ඩ් ක්ලැසික් 2020 තරඟයේ සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලියට එක්වූ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතා සමත්ව වුණා.

ෆේස් බුක් සජීවී වීඩියෝවක් එක් කරමින් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ලූෂන් මහතා මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : බිම් බෝම්බ ඉවත්කරන මුවාවෙන් වනසන නැගෙනහිර වනාන්තර

(07.03.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

වන ජීවී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි මෙරට වගකිවයුතු රාජ්‍ය ආයතන මර නින්දේ සිටියදී බිම් බෝම්බ ඉවත් කරන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නැගෙනහිර පළාතේ ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තරය වනසා දමා තිබෙනවා.

පුරාවිද්‍යා නටඹුන් රැසක්ද විනාශ කරමින් සිදුකර ඇති එම වන සංහාරය පිළිබඳවයි අද (07) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

***************************************

කටුගස්තොටදී දරුවෙකු පැහැර ගැනීමට ගිය බංග්ලාදේශ ජාතිකයින් හතරදෙනෙකු ඇතුලු – හයක් අත්අඩංගුවට

(08.03.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 ක් පමණ වන පිරිමි දරුවෙකු පැහැරගෙන යාමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතිකයින් 04 ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) පස්වරු 03 ට පමණ අදාළ පිරිමි දරුවා මිතුරන් කිහිප දෙනෙකු සමඟ සිය නිවෙස බලා යමින් සිට ඇත්තේ උපකාරක පන්තියකට සහභාගිවීමෙන් අනතුරුවයි.

එහිදී එම ස්ථානයට අදාළ පිරිස වෑන් රථයකින් පැමිණ එම දරුවා මීටර් කිහිපයක් ඇදගෙන ගොස් වෑන් රථයට දමා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී දරුවාගේ පියා එම ස්ථානයට පැමිණ දරුවා බේරාගෙන ඇති අතර, ඉන් අනතුරුව ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කටුගස්තොට පොලිසිය අදාළ වෑන් රථය සමඟ මෙම සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 04 දෙනෙකු බංග්ලාදේශ ජාතිකයින් වන අතර, අනෙක් පුද්ගලයින් දෙදෙනා කඩවත සහ ගලගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන්.

අදාළ වෑන් රථයේ හිමිකරු නඩාටුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පැහැර ගැනීමට තැත්කළේ කුමක් අරමුණු කරගෙනද යන්න එහිදී විමර්ශනයට ලක් කෙරෙනවා ෴

***************************************

මැතිවරණ කොමිසම, මහ මැතිවරණයේ වියදම ගණන් බලයි

(08.03.2020 – 07:22 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 7000 කට ආසන්න වනු ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එමෙන්ම, එළඹෙන මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බවයි එම කොමිෂන් ප්‍රකාශ කළේ.

මැතිවරණ කටයුතු සඳහා ආරක්ෂාවට යෙදවීමට බලාපොරොත්තු වන පොලිස් නිලධාරින්ද, ඊට ඇතුළත්.

ඡන්ද මධ්‍යස්ථාන 12,000 ක් පමණ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සූදානම් කිරීමට බලාපොරොත්තු වන අතර, අවම වශයෙන් එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් දෙදෙනෙකු බැගින් යොමුකළද, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 24,000 කට අධික සංඛ්‍යාවක් යෙදවීමට අවශ්‍ය වනවා.

එම සංඛ්‍යාව ද ඇතුළත්ව පොලිස් නිලධාරින් 50,000 කට ආසන්න පිරිසක් මහ මැතිවරණය පැවැත්වෙන දින කිහිපයේ ආරක්ෂාව සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා යොදා ගැනීමට පියවර ගන්නා අතර, අවශ්‍ය වුවහොත් යුද හමුදාවේ ද සහය ලබා ගැනීමට සූදානමින් පසුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ මේ වනවිට ස්වාධීන කණ්ඩායම් 24 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ පසුගිය 04 වැනිදා සිට මෙලෙස ඇප මුදල් භාරගනු ලබන අතර, එය ලබන 16 වැනිදා දහවල් 12 ට අවසන් වන බවයි.

එමෙන්ම, මෙවර මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

එමෙන්ම, නාම යෝජනා භාර ගැනීමේ කටයුතු ද එළඹෙන 12 වැනිදා සිට 19 වැනිදා දක්වා සිදුකිරිමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කර ඇත්තේ ෴

***************************************

සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා සමාගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනාවක්

(07.03.2020 – 22:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020-2023 තරඟ විකාශන අයිතිය සඳහා මිල ගණන් කැඳවූ ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොර බව සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා සමාගම චෝදනා කරනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත ලිපි දෙකක් යොමු කරමින්.

සෝනි සමාගම සිය පළමු ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේ හිඩැස් පවතින බවත් අභිමතය සහ විනිවිද භාවයෙන් තොරව අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළව ලංසු තැබීම සිදුකර ඇති බවයි.

එසේම පෙබරවාරි මස 21 වනදා අදාල ටෙන්ඩරය විවෘත කිරීමේ අවස්ථාවට ඒ සඳහා ලංසු තැබූ තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීම සැක සහිත බවද ඔවුන් පෙන්වා දෙනවා.

අදාළ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රූපවාහිනී විකාශන අයිතිය ලබාගැනීම සඳහා ලංසු තැබූ සෝනි සමාගමට ආරාධනා පත්‍ර යොමුකර නැහැ.

ක්‍රීඩා තරඟ විකාශන වෙළෙඳපොළ තුළ සිය සමාගම දැවැන්ත ආයතනයක් බවත් ක්‍රිකට් ආයතනය අනුගමනය කරන මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ලංසු තැබීමේ ක්‍රියාවලියෙන් සිය සමාගම ඉවත් වන බවත් අදාළ ලිපියෙන් සෝනි සමාගම ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

පෙබරවාරි මස 20 වනදා යොමුකළ ලිපියට පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු නොකීරීම සම්බන්දයෙන් තමන් කණගාටුවන බවද සෝනි සමාගම සිය දෙවන ලිපිය මගින් පෙන්වා දෙනවා.

මේ අතර අදාල සිද්ධිය සම්බන්දයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කළේ විකාශන අයිතිය සම්බන්දයෙන් වන ටෙන්ඩරය නැවත කැඳවන ලෙසයි.

ඒ අනුව එම ටෙන්ඩරය විනිවිද භාවයකින් යුතුව කැඳවන්නේ නම් ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට තමන් සලකා බලන බව සෝනි සමාගම පසුගිය 26 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඉදිරිපත් කළ දෙවන ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් රුපවාහිනී විකාශන අයිතිය සඳහා ටෙන්ඩර් කැඳවූ අවස්තාවන් වලදී ක්‍රිකට් ලොක්කන් සිය මඩි තර කරගත්තේ වරක් දෙවරක් නොවෙයි.

කල දුටුකල වල ඉහ ගැනීමට සැරසෙන මෙරට ක්‍රිකට් ආයතන ප්‍රධානීන් මෙවරත් සැරසෙන්නේ කුමකටද ?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *