දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවන්න උපදෙස්

(09.03.2020 – 10:36 +0530 – sinhala.adaderana.lk)

දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ලොව පුරා රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඉන්දියාවේද මේ දිනවල කොරෝනා වෛරසය පැතිර යන බවට වාර්තා වෙයි.

දඹදිව වන්දනා සඳහා සහභාගී වන්නන් සියයට 90 කට වැඩි පිරිසක් වයස්ගත පුද්ගලයින් වන බැවින් ඔවුන් එරට සංචාරය කිරීම අවදානම් සහගත බවට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

***************************************

විදෙස් සංචාර හැකි තරම් අඩු කරන්න – වෛද්‍ය අනිල් ජාසිංහ

(09.03.2020 – 16:55 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට (10) උදෑසන දකුණූ කොරියාවේ සිට පැමිණෙන ගුවන් යානයේ පිරිසෙන් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,

“අද (09) දින බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ දී මා ඇතුලු සෞඛ්‍ය ලේකම්තුමිය, ගුවන්තොටුපල සමාගමේ සභාපති තුමා, විවිධ කාර්ය මණ්ඩල සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මේ පිළිබද දීර්ඝ සාකච්ඡාවක් කරනු ලැබුවා.

මෙම කටයුත්ත පහසු දෙයක් නොවෙයි. විශාල මෙහෙයුමක් තිබෙනවා. ඒ අනුව අපි යම් යම් තීරණ වලට එළඹුනා.

මෙහිදී සිදුවන ක්‍රියාවලිය සංවිධානය කරනු ලැබුවා. පැමිණෙන මගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී, විෂබීජ හරණයකට ලක් කොට බස් රථ මගින් මඩකළපුව නිරෝධායන මධ්‍යස්ථානයටත්, කන්දකාලු නිරෝධායන මධස්ථානයටත් රැගෙන යනු ලබනවා.

පැමිණෙන දින අනුව වෙන් වෙන් වශයෙන් නිරෝධායන මධස්ථානවල රදවනු ලබනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කරනවා.

මෙම පිරිස් දින 14 ක නිරෝධනයෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට කරනු ලබනවා. මෙම පිරිස් වෙත අවශ්‍ය යම් සුළු සෞඛ්‍ය පහසුකම් එම පරිශ්‍රයෙත්, අවශ්‍ය කරන සියලු පහසුකම් රෝහල් මගින් ලබාදීම සදහාත් කටයුතු කරනු ලබනවා. මෙම වැඩපිළිවෙල සම්පූර්ණ වැඩපිළිවෙළක්.”

අද (09) දින අප විසින් තීරණය කරනු ලැබුවා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නැවැත්වීම සදහා. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත අද දින මේ දැනුම් දීම කරනු ලැබුවා.

නැවත දන්වන තුරු වන්දනා නඩ යැවීම මේ අනුව නවත්වනු ලැබුවා. මේ තීරණ ගැනීමට හේතු පාදක වන්නේ ඉන්දියාව තුල වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සිටිමත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දී ඇති පරිදි ඉන්දියාවේ මේ සුළු සංඛ්‍යාව තුල රෝගීන් සම්ප්‍රේෂණය වීමේ තත්ත්වය ඇතිවීමත් නිසා.

වන්දනා නඩ සදහා වයස 60-70 වැඩි පිරිස් වැඩි වශයෙන් සහභාගි වනවා ඔවුන් කායික වශයෙන් දුර්වලයි, විවිධ රෝග තිබෙනවා, දැනට ලෝකය තුල වන අත්දෑකීම තමයි මෙම වෛරසය වැළැදුන පිරිසෙන් සියයට 80 ක් පමණ වයස් ගත සහ විවිධ රෝගී ත්ත්වයන් තිබෙන පුද්ගලයින් වීම.”

එමෙන්ම මේ දක්වා සිදු කළ පරිදි අනෙක් රටවලින් පැමිණෙන සියලුම මගීන් දින 14 ක පසුවිපරම තවදුරටත් ක්‍රියාත්මක වනවා. අද වන විට 3900 ක් වැනි පිරිසක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණයෙන් පසුවිපරමට ලක්වෙනවා.

විදෙස් රටවල සිට පැමිණි පිරිස් වෙතින් ඉල්ලා සිටිනවා දින 14 ක කාලයක් නිවෙස් තුලම රැදී සිටන ලෙස. විවිධ උත්සව, සංචාර සදහා නොගොස් දින 14 නිවෙස් වල රැදී සිටින්න. මේ කාලය තුල විදෙස් සංචාර හැකි තරම් අඩු කරන්න.”

***************************************

හෙට (10) ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් ජල කප්පාදුවක්

(09.03.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (10) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක සහ සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කැළණිය, වත්තල, බියගම, මහර, වත්තල, දොම්පේ, ජාඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද හෙට (10) පෙරවරු 8 සිට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *