විනිවිදභාවයට දුන් උපදෙස් මත අර්ජුන් මහේන්ද්‍රන්, ක්‍රියා කරනු ඇතැයි, විශ්වාස කළ බව, අගමැති බැඳුම්කර කොමිසමේදී කියයි

(20.11.2017 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුවන කාලවකවානුවේ පැවති, බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුත් ක්‍රමයක් බවට පත්කරන ලෙස, තමන් හිටපු මහබැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ, බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටිමින්.

කෙසේ වෙතත්, එය නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදුවේයැයි තමන් අපේක්ෂා කළ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම කළ කැඳවීමකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරු 9.50 ට එහි පැමිණියා.

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිපති ජයන්ත ජයසූරිය, කොමිසමට අද ප්‍රථම වරට පැමිණි අතර, මීට පෙර මාස 9 කට අධික කාලයක් පුරා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කළේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරායි.

මෙම තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කොමිසම කියා සිටියේ ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍යවරයා කොමිසම ඉදිරියේ සිටින බැවින් කොමිසම ගත් තීරණයක් අනුව නීතිපතිවරයා කැඳවූ බවයි.

කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුව සකස් කළ ප්‍රශ්න 48 කට විස්තරාත්මක පිළිතුරු අග්‍රාමාත්‍යවරයා විසින් දිවුරුම් ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කර ඇති බව කොමිසමේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අදාළ පිළිතුරුවලට තවදුරටත් පැහැදිලි කිරීම් අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයා සාක්ෂි කූඩුවට නැංවූ කොමිසම සිය ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

සිය සේවාදායකයා බැඳුම්කර සිද්ධියේ සැකකරුවෙකු හෝ වරදකරුවෙකු නොවන බවත්, ස්වේච්ඡාවෙන් සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූ බවත්, අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා ප්‍රකාශ කළා.

කොමිසම එහිදී සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කිසිදු බල කිරීමක් නොකළ බවයි.

කොමිසම ප්‍රථමයෙන් අවධානය යොමු කළේ අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව මහබැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම පිළිබඳවයි.

එම පත් කිරීම ආන්දෝලනාත්මක වූයේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් රජයට ණය ලබාදීමට මහබැංකුවෙන් බලය ලබාදී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වීම හේතුවෙන්.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම ඥාති සබඳතාවෙන් ඇති විය හැකි ගැටළුකාරී තත්ත්වය තමන් දැන සිටි බවයි.

එම නිසා අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට පෙර අර්ජුන් ඇලෝසියස්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සමඟ කිසිඳු සබඳතාවක් තබා නොගන්නා ලෙසට වූ සහතිකයක් ලබා ගත් බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියා.

අනතුරුව කොමිසම සිය අවධානය යොමු කළේ 2015 වසරේ පෙබරවාරි 27 වන දා පැවැති ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවූ දිනයේ ඍජු ස්ථානගතවීම් නැවැත්වීමට අර්ජුන් මහේන්ද්‍රන් ගත් තීරණය පිළිබදවයි.

එම තීරණය නිසා රුපියල් බිලියන 10 ක් වූ සම්පූර්ණ මුදල මහබැංකුවට ලබා ගැනීමට සිදුවූයේ වෙන්දේසි ක්‍රමය මගින්.

අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ඍජු ස්ථානගත කිරීම් ක්‍රමය හරහා පසුගිය ආණ්ඩු සමයේ ලබාදුන් රුපියල් ට්‍රිලියන ගණනක මුදල් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි.

එම නිසා වඩාත් විනිවිදභාවයෙන් යුත් වෙන්දේසි ක්‍රමයකට යොමු වන ලෙස තමන් අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

කෙසේ වෙතත්, මෙහිදී මූල්‍ය නීති පනතට අනුව මූල්‍ය මණ්ඩලයෙන් අවසරයක් ලබානොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ප්‍රශ්න කළා.

අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ ඍජු ස්ථානගත කිරීම් ක්‍රමය නැවැත්වීමේ තීරණයට අදාළ රජයේ ප්‍රතිපත්ති මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනා දැන සිටි බවයි.

එවන් තත්ත්වයක් පැවතිය ද නිසි ක්‍රමවේදයකට අනුව අර්ජුන් මහේන්ද්‍රන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදියි.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 15 ක හදිසි මුදල් අවශ්‍යතාවක් රජයට තිබීම, ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී ප්‍රකාශ කළ මුදලට වඩා වැඩි මුදලක් ලබා ගැනීමට හේතුව ලෙස අර්ජුන් මහේන්ද්‍රන් සිය සාක්ෂියේදී ප්‍රකාශ කර තිබුණා.

එම අවශ්‍යතාවය නිවැරදි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පිළිගත්තා.

නමුත් එම අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය හරහා සාමාන්‍ය ක්‍රමවේදයෙන් මහබැංකුවට නොලැබුණේ ඇයිදැයි නීතිපතිවරයා ප්‍රශ්න කළා.

පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදුකර ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ එම ව්‍යාපෘතීන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මුදල් සොයා ගැනීමට එවක මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර ඇතුළු වෙනම කණ්ඩායමක් කටයුතු කළ බවයි.

ඒ හේතුවෙන් ප්‍රශ්නගත බැදුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 10 කට වැඩි මුදලක් රැස් කිරීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය නොදැන සිටි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අවසානයේ අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලදී අඩු පොළියට ලංසු තබන ලෙස රාජ්‍ය බැංකුවලට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක උපදෙස් ලබාදීම සම්බන්ධයෙන්.

එවන් සාකච්ඡාවක් හෝ එහි කරුණු සම්බන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට දිවුරුම් පිට ප්‍රකාශ කළා.

පසුව කොමිසම පරිශ්‍රයෙන් නික්ම යාම සඳහා පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ යහපාලන ප්‍රතිපත්ති අනුව ඉල්ලීමක් සිදුකර කොමිසම හමුවේ කරුණු දැක්වූ බවයි.

වැරදි අඩුපාඩු සිදුවුවත්, යහපාලනය ඉදිරියට ගෙන යන බව අගමැතිවරයා සඳහන් කළා.

මේ අතර, ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු අදින් අවසන් වනවා.

ඒ අනුව, එම සාක්ෂි ඔස්සේ සකස් කරන ලද වාර්තාව දෙසැම්බර් 8 වනදාට පෙර ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++





++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Rubbish, the man is a failure and saved himself because of the fall guy that did all the leg work for this crooked PM. If he is such an honest man why he was not able to face Dappula Livera. Putting the AG to do the questioning is a cop out by the commission to save the neck of this guy. I hope all of them would be defeated at the next election and the new government will sort out the traitors of this country. Why worry about tamil terrorists when we have terrorists among Sinhala rogue politicians and rogue businessmen.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *