කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට

• කොරෝනා යැයි සැක කාන්තාවක් හලාවතින් අයිඩීඑච් එවයි

• සිසුන්ගේ සාධන මට්ටම හඳුනාගන්න පාසල් සාධන දර්ශකයක්

• වැල්ලවත්ත බත්තරමුල්ල මගී බෝට්ටු සේවය අද (11) සිට

• අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ඇම්කර් සමාගම නඩු මගට (විඩියෝ)

• ජනපති ගෝඨාභය, අගමැති මහින්ද ඕන මේ වැඩේ වෙනස් කරන්න – වෛද්‍ය හරිත අලුත්ගේ (විඩියෝ)

• අපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දුන්නේ නෑ; අපි අපේ ඇඳන් ඒ අයට දුන්නා – යුද හමුදාපති (විඩියෝ)

• ටීවී දෙරණ 360 උදය ගම්මන්පිල මහතා සමග (10.03.2020) (විඩියෝ)

• ජපුර සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් හයදෙනා අධිකරණයට

• අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට නීතිය දැඩි වේ

• මෙරට කොරෝනා වෛරස් ආසාධිතයාගේ පුත්‍රයා ගැන පැතිර යන කට කතා අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කියයි

• කොරෝනා බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු තවත් දෙදෙනෙකු IDH වෙත මාරු කරයි (විඩියෝ)

• on arrival වීසා පහසුකම් යළි දැනුම්දෙන තෙක් අත්හිටුවයි – අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවලින් වළකින්නැයි රජයෙන් ඉල්ලීමක් (විඩියෝ)

• ලංකාවේ කොරෝනා මර්දනයට චීනයේ පුර්ණ සහය

• ලංකාවේ කොරෝනා වෛරසය පැතිරුණොත් ත්‍රස්ත ප්‍රහාරයකටත් එහා යාවි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට

(11.03.2020 – 15:50 +0530 – lankadeepa.lk)

කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් කොරෝනා ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඔවුන් නිවසෙහිදී ම රඳවා තබාගනිමින් නිරෝධායන කාලයක් ගතකිරීමට සැලැස්වීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

මාර්ගෝපදේශකයකු වන ආසාදිත රෝගියා මේ වනවිට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

+++++++++++++++++++++

නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. – sinhala.adaderana.lk

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා යැයි සැක කාන්තාවක් හලාවතින් අයිඩීඑච් එවයි

(11.03.2020 – 14:42 +0530 – lankadeepa.lk)

හලාවත රෝහලට උණ රෝගයට ප්‍රතිකාර සදහා පැමිණි රෝගියෙකු හට කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි පවතින සැකයක් මත අද (11) දහවල් එම රෝගියා අංගොඩ උණ රෝහල වෙත මාරු කිරීමට රෝහල් බලධාරීන් වහාම කටයුතු කර ඇත.

මෙම රෝගියා හලාවත සේරුකැළේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය ඉතාලියේ සේවය කර දින කීපයකට ඉහතදී දිවයිනට පැමිණි තැනැත්තියකි.

සිද්ධියෙන් පසු රෝහල් බලධාරීන් විශේෂ අරක්ෂිත වැඩපිළිවෙළ රෝහල තුළ ක්‍රියාත්මක කරඇති අතර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේ.පී. මල්ලවාරච්චි මහතා පැවසීය ෴

***************************************

සිසුන්ගේ සාධන මට්ටම හඳුනාගන්න පාසල් සාධන දර්ශකයක්

(11.03.2020 – 17:36 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් ‘ස්ටැනයින් පරිමාණය’ (Stanine Scale) පදනම් කර ගනිමින් සකස් කරන ලද පාසල් සාධන දර්ශකය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට තීරණය කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව මඟින් ‘ස්ටැනයින් පරිමාණය’ (Stanine Scale) පදනම් කර ගනිමින් සකස් කරන ලද පාසල් සාධන දර්ශකය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු ම දෙනාට එක් එක් පාසල්වල සාධන මට්ටම දිස්ත්‍රික් මට්ටමින් හා දීප ව්‍යාප්ත මට්ටමින් විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එක් එක් වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) විභාගය, අ.පො.ස. (සා.පෙළ) විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ සාධන මට්ටම විශ්‍ලේෂණාත්මකව හඳුනා ගැනීමට මෙම සාධන දර්ශකය ඇසුරින් අවස්ථාව සැලසේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විෂයමාලා සම්පාදකයින්, පෙළ පොත් කතුවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි විද්වතුන්ට මෙම දර්ශකය උපයෝගී කර ගැනීමෙන් මෙරට විභාග පද්ධතිය තුළ එක් එක් විභාග සඳහා සිසුන් දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ගේ ඉගෙනුම් හැකියාවන් විභාග හරහා පෙන්නුම් කරන ආකාරය හඳුනා ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් මෙම පාසල් සාධන දර්ශකය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැක ෴

***************************************

වැල්ලවත්ත බත්තරමුල්ල මගී බෝට්ටු සේවය අද (11) සිට

(11.03.2020 – mawbima.lk)

කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්තේ සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ඇළ මාර්ග ඔස්සේ ධාවනය කෙරෙන බෝට්ටු සේවය හිටපු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11 දා) ඇරැඹීමට නියමිතය.

උදෑසන 6 සිට සවස 6 දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම බෝට්ටු සේවය තුළින් බත්තරමුල්ල ‘දියත උයන’ අසල සිට නාවල, කිරුළපන සහ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව දක්වා ගමන් කිරීමට ජනතාවට හැකියාව ලැබේ. ඒ සඳහා අය කෙරෙන ගාස්තුව එක් ගමන් වාරයකට රුපියල් 60.00 ක් වන්නේය.

එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අවධියේ සැලසුම් කර තිබූ පරිදි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනට අනුව විනාඩි 30 කට වරක් මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර විනාඩි 20කින් පමණ අදාළ ගමනාන්තයන් වෙත ළඟා විය හැකිය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කර ඇත්තේ මේ සඳහා පැයකට වරක් ගමන් කළ හැකි වන පරිදි බෝට්ටු 4 ක් සේවය සඳහා යොදවා ඇති බවත් ඒ සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 60 ක් බවත් ඉදිරියේදී මෙම කටයුත්ත පුළුල් කිරීමට තම සංස්ථාව සූදානමින් සිටින බවත්ය ෴

***************************************

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ඇම්කර් සමාගම නඩු මගට

(11.03.2020 – 17:53 +0530 – lankaleadnews.com ඇසුරෙන්)

ඇම්කර් (Amchor) කිරිපිටි වල ඇති අහිතකර දේ ගැන ජනතාව දැනුවත් කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගියදා සිදුකල ප්‍රකාශයට එරෙහිව නඩු පවරන බවට ඇම්කර් සමාගම තර්ජනය කරයි.

ජනතාවට වස පොවන සමාගම්වල ආධිපත්‍යට යට නොවී සත්‍ය ප්‍රකාශ කිරීම එයට හේතුවයි.

සබැදි පෙර පුවත් :
විදේශීය කිරිපිටි වලට ව්‍යාජ සහතික දුන් ප්‍රමිති ආයතනයට ඇමති විමල්ගෙන් ප්‍රමිති සහතිකයක්

+++++++++++++++++++++

ජනපති ගෝඨාභය, අගමැති මහින්ද ඕන මේ වැඩේ වෙනස් කරන්න – වෛද්‍ය හරිත අලුත්ගේ

(06.03.2020 – 20:43 +0530 – lankaleadnews.com)

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=gxFkLHBc738
වසන්තා සන්දනායක දේවිය

***************************************

අපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දුන්නේ නෑ; අපි අපේ ඇඳන් ඒ අයට දුන්නා – යුද හමුදාපති

(12.03.2020 – 09:36 +0530 – sinhala.adaderana.lk)

හමුදාව විසින් අද දවසේ ද සිදුකරනු ලබන්නේ මානුෂීය මෙහෙයුමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (11) ‘අද දෙරණ’ ඔස්සේ විකාශ වු ‘අලුත් පාර්ලිමේන්තුව’ සජිවි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාව මීට පෙරත් මානුෂීය මෙහෙයුමක් සිදු කර රටේ ජනතාව ආරක්ෂා කර ගත් බවත්, අද දවසේ කොරෝනා වෛරසය සමඟ සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායකත්වය ලබා දී සිදු කරන්නේ ද එවැනිම කාර්යක් බවත් යුදහමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මීට පෙර චීනයේ වුහාන්වල සිට පැමිණි සිසුන් මේ දිනවල ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ට වඩා වෙනස් ආකාරයෙන් හැසිරුණ බවත් පැවසු ශවේන්‍ද්‍ර සිල්වා මහතා චීනයේ සිට එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට සිදුකල මහා දැවැන්ත කර්තවය පිළිබඳ එම පිරිසට යම් අවබෝධයක් පැවති බවත් කියා සිටියේය.

පිටරට සිට එම රටවල සිටිය නොහැකි තත්ත්වයක් මත ඉතා දීර්ඝ ගමනාත්තයකින් අනතුරුව ලංකාවට පැමිණෙන පිරිසට මුහුණ දීමට සිදුවන අපහසුතාවය මත ඔවුන්ට යම් ආකාරයක වෙනස් හැඟීමක් ඇති වෙන්නට ඇතැයි ද පැවසු හමුදාපතිවරයා, ඔවුන් කෙසේ හැසිරුණත් යුද හමුදාව ඔවුන් රැක බලා ගැනීමට නොමඳව කටයුතු කරන බවත් පැවසීය.

මානුෂීය මෙහෙයුම සිදු කර ආකාරයටම මෙම මෙහෙයුමේ දීත් යුද හමුදාව ක්‍රියා කරන බවද කියා සිටි හමුදාපතිවරයා, නමුත් සමාජයේ විවිධ පුද්ගලයින් විවිධ අදහස් දක්වන බවත් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ එක් පුද්ගලයෙක් ‘බෝතලයක් කපලා මාර කිරි වීඳුරුවක් දෙන්නේ’ යනුවෙන් සමාජ මාධ්‍යවල දමා තිබු බවත්, කිසි දිනක යුද හමුදාව ‘බෝතල් කපලා කෝපි දෙන හමුදාවක් නෙමෙයි’ යනුවෙන් ද මෙහිදි අවධාරනය කර සිටියේය.

ඇඳවල් 2000 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට සිදුවු බවත් ඒ මොහොතේ යුද හමුදාව සියලු දෙනා එක්ව ඒ දේ සිදු කරනු ලැබු බවත්, තමන්ගේ ඇඳ ලබා දී බිම නිදා ගන්න යුද සෙබළුන්ට එවැනි දේ පැවසීම සුදුසු නැතැයි ද යුදහමුදාපති වරයා පැවසීය.

+++++++++++++++++++++

11-03-2020

***************************************

ටීවී දෙරණ 360 උදය ගම්මන්පිල මහතා සමග (10.03.2020)

+++++++++++++++++++++

12-03-2020

***************************************

ජපුර සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් හයදෙනා අධිකරණයට

(12.03.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර දී ටයරයක් වැදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් හය (06) දෙනෙකු අද (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (11) අත්අඩංගුවට ගත් මෙම සිසුන් අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුද වන බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එම විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ තත්ත්වය තවදුරටත් බරපතල බව රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා කියා සිටියා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් ශිෂ්‍යයින් අටදෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා ප්‍රකාශ කළා.

එම සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් විශේෂ පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන සිසුන් හයදෙනා සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි ෴

***************************************

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට නීතිය දැඩි වේ

(12.03.2020 – 12:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මුල් කරගනිමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සමාජජාලවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි ෴

***************************************

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයාගේ පුත්‍රයා ගැන පැතිර යන කට කතා අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කියයි

(12.03.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගියාගේ පුත්‍රයාට ද එම රෝගය වැළඳී ඇතැයි පැතිර යන කට කතා මුලුමණින්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

වෛරසය ආසාධනය වූ ශ්‍රී ලාංකිකයා දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහුගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට ලක්කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස පැතිරීම වැළැක්වීමට මේවන විට රජය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

කොරෝනා බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු තවත් දෙදෙනෙකු IDH වෙත මාරු කරයි

(12.03.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු තවත් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට මාරුකිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

රෝහලට ඇතුළත් කෙරුණු එක් අයෙකු ඊයේ (11) ඉතාලියේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ අයෙකු බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම අනෙක් පුද්ගලයා පසුගිය 6 වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණ සෝමාවති පුදබිමේ සංචාරය කර පසුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ අයෙකු බවද ඔහු තවදුරටත් කියා සිටියා.

එමෙන්ම දැනට කොරෝනා වැළඳුණු කොළඹ සංචාරක රියදුරාගේ දරුවාට සහ බිරිඳට එම වෛරසය ආසාදනය වී නොමැති බව අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර සංචාරය සඳහා මෙරටට පැමිණෙන චීන, ඉතාලි, ඉරාන සහ දකුණු කොරියානු ජාතිකයින්ගේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව මේ මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති චීන ජාතිකයින් සංඛ්‍යාව 1405ක්.

ඉතාලි ජාතිකයින් 427 දෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයින් 107 දෙනෙකු ගතවූ දින 11 තුළ මෙරටට පැමිණ ඇති අතර, එම කාලසීමාවේ මෙරටට පැමිණ ඇත්තේ ඉරාන ජාතිකයින් 25 දෙනෙකු පමණයි.

පසුගිය පෙබරවාරි මාසයේ චීන ජාතිකයින් 2871 දෙනෙකු, ඉතාලි ජාතිකයින් 3192 කු, දකුණු කොරියානු ජාතිකයින් 918 දෙනෙකු සහ ඉරාන ජාතිකයින් 365 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

කෙසේ නමුත් විදේශිකයන්ට දිවයිනට පැමිණි පසු වීසා පහසුකම් ලබාදීම හෙවත් ඔන් අරයිවල් වීසා ලබාදීම අද සිට අත්හිටුවීමත් සමඟ මෙම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් අඩුවනු ඇති බවයි ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියලුම පාසල් සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

එසේම එරට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමද තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද දිනය තුළ දකුණු කොරියාවේ රෝගය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 114 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට දකුණු කොරියාවේ වෛරසය ආසාදනය වූ මුළු රෝගීන් සංඛ්‍යාව 7,755ක්.

කෙසේ වෙතත් චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් අද දිනයේ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබෙනවා.

රෝගීන් අටදෙනෙකු පමණක් අද දිනයේ වාර්තාවී ඇති අතර, මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූ මුළු සංඛ්‍යාව 80,932 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

on arrival වීසා පහසුකම් යළි දැනුම්දෙන තෙක් අත්හිටුවයි – අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවලින් වළකින්නැයි රජයෙන් ඉල්ලීමක්

(11.03.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙසටයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බවයි.

මේ වන විට එවැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකු ද එම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු පුද්ගලයෙකුට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තමන්ගේ මෙන්ම තම සමීපතමයන්ගේ සහ රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා ඊට අනුගතවී කටයුතු කරන ලෙසටයි රජය අදාළ පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ.

***************************************

ලංකාවේ කොරෝනා මර්දනයට චීනයේ පුර්ණ සහය

(12.03.2020 – 13:51 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද (12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක් වූ බවයි.

කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බවද පවසන ලදි.

කොරෝනා වෛරසය ආසාදිතව හමු වූ චීන ජාතික කාන්තාවට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ප්‍රතිකාර සේවාවන් ලබාදී සුවපත් කිරිමත්, ඇයව ආදරයෙන් රැකබලා ගැනීමත් පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජය සහ ජනතාව සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

මෙවැනි ව්‍යසනයක දී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු කිරීම පිළිබදවත් විශේෂ ස්තූතියක් සෞඛ්‍ය අමාත්‍යතුමියට පුද කරන බව ද පැවැසීය.

ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාව සමග චීනය සැමදාම අත්වැල් බැදගෙන සිටින බවට චීන වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ද උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය වෛරසය මැඩපැවැත්වීමට රටක් වශයෙන් තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කරන බවත්, තමා කොරෝනා වෛරසය ආසාදිතව සුව වූ චීන ජාතික කාන්තාව සිප වැළද ගනිමින් දෙරට අතර පවතින සහයෝගීතාව වර්ධනයටත්, කිසිවිටෙකත් වෛරසය ආසාදිතයින් සමාජයෙන් කොන් නොකළ යුතු බවට ලොවට පණිවිඩයක් ලබාදීමටත් කටයුතු කළ බවද පැවැසීය.

පසුගිය තෙමසක කාලය තුල චීන රජය කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගන්නා ලද ක්‍රමෝපායන් ඇතුලත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත මෙහිදී පිළිගන්වන ලදි.

කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සුව වූ චීන ජාතික කාන්තාව රෝහලෙන් නික්ම යන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇය සිපගන්නා ඡායාරූපයක් සිහිවටනයක් ලෙස ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතාට සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, චීන රජයේ දේශපාලන අංශ ප්‍රධානී Mr. Luo Chong (ලුවෝ චොං) මහතා, වීසා අංශයේ ප්‍රධානී Wang Keqi (වං ක (අ) චී) මහතා, වාණිජ අංශයේ ප්‍රධානී Xiong Ran (ෂීයොං රන්) මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ ෴

***************************************

ලංකාවේ කොරෝනා වෛරසය පැතිරුණොත් ත්‍රස්ත ප්‍රහාරයකටත් එහා යාවි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

(11.11.2019 – webgossip.lk)

කෝවිඩ් 19 වෛරසය පදනම් කරගෙන මෙරට ජනතාවට මුඛ ආවරණ පැලඳීම තවමත් අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ​ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ​ සෞඛ්‍ය සේවකයන් සහ උණ, කැස්ස වැනි රෝග තත්ත්වයකින් පෙළෙන පුද්ගලයන් පමණක් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අද වන විට දියුණු රටවලට පවා මෙම වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති මොහොතක ශ්‍රී ලංකාව වැනි රටකට මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් ත්‍රස්තවාදී කාලවල පැවතුණා වැනි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩකඩ ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා :

“සාමාන්‍යයෙන් මෙම වෛරසය තරුණ පිරිසට වැළඳෙනවා අඩුයි. ළමයින්ට උණත් වැලඳෙනවා අඩුයි. ඒ නිසා මෙම තත්ත්වය වැඩි ලෙස බලපාන්නේ වයස අවුරුදු 40 ට වැඩි අයටයි. මේ වෙලාවේ ජනතාව කළ යුත්තේ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමයි. ඒ වගේම සෙනඟ ගැවසෙන ස්ථානවල රැඳී සිටීම නැවැත් විය යුතුයි. හැබැයි ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැහැ.

දැනට තියෙන නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව අවශ්‍යතාව අනුව නව මධ්‍යස්ථාන වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *