අප්‍රේල් පාසල් නිවාඩුව හෙටින් (13) ඇරඹෙයි

(12.03.2020 – 14:30 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා අප්‍රේල් මස ලබා දෙන පාසල් නිවාඩු හෙට(13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශයේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව ක්‍රියාත්මක වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, අප්‍රේල් මස 06 වන දින නිවාඩුව ආරම්භ වීමට තිබු බවයි.

ක්‍රීඩා උත්සව හා පාසල් ක්‍රීඩා තරග පැවැත් වීම සම්බන්ධයෙන් අදාල පාසල්වල විදුහල්පතිවරු විසින් තීරණ ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

+++++++++++++++++++++

***************************************

කොරෝනා වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාත් රෝගී වී රෝහල් ගත කෙරේ

(12.03.2020 – nethnews.lk)

දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa) ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද (12) දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසනවා.

ඒ හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (spa) ආයතනයක හිමිකරුවෙකු හබරණ පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

එහිදී දැනුම් දී ඇත්තේ තම ස්පා ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය 26 වැනි දින පසුගියදා හමුවූ සංචාරක මගපෙන්වන්නාට ඔහු විසින් විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කොට ඇති බවද හිමිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබෙනවා.

අදාළ සම්භාහන නිලධාරියා පදිංචිව සිටින හබරණ වෙහෙරගල ප්‍රදේශයේ නිවසට ගොස් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමා ඒවා ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධියත් සමග හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවසට සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව තිබෙන බවද මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට මේවනවිට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබෙන බවද සඳහන් ෴

***************************************

කෝවිඩ්-19 ​ව්‍යාප්තිය වැළැක්වීමට පියවර 5 ක්

(12.03.2020 – mawbima.lk)

  1. මිනිසුන් රැස්වෙන කිසිදු ස්ථානයකට නොයා සිටීම සහ නිවසට අමුත්තන් පැමිණීම සීමා කිරීම.
  2. රෝග ලක්ෂණ ඇත්නම් එක්වරම වෛද්‍යවරයකු වෙත නොයා දුරකථනය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  3. අනෙක් අයගෙන් වෙන්ව සිටින්න. නිවසේ අනෙක් අයගෙන් වෙන්ව වෙනම කාමරයක රැඳී සිටින්න. නානකාමර සහ වැසිකිළි පොදුවේ භාවිත කරන්නේ නම් අනෙක් අය භාවිත කළ පසුව භාවිත කරන්න.
  4. ඔබගේ අපද්‍රව්‍ය වෙනම බැහැර කරන්න. ඔබ විසින් භාවිත කොට බැහැර කරන අපද්‍රව්‍ය දෙවතාවක් මලුවල බහා බැහැර කරන්න.
  5. ඔබට අවශ්‍ය දෑ පිටතින් ඇණවුම් කොට ලබාගන්න. තනිව ජීවත් වන්නේ නම් නිවසින් බැහැරට නොගොස් අවශ්‍ය සියලුම දේ ඔන්ලයින්​ හෝ දුරකථන ඇමැතුම් මගින් ගෙන්වා ගන්න.

කොරෝනා වෛරසය වැලඳුණ පුද්ගලයකුගෙන් බෝවිය හැක්කේ උපරිම තවත් පුද්ගලයන් හතරකට හෝ පහකට පමණක් නිසා හැකිතාක් තනිවම සිටීම රෝග ව්‍යාප්තිය පාලනයට උපකාරී වේ.

උපදෙස් – ලෝක සෞඛ්‍ය සංවිධානය

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනයෙන් මිදීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් කරන ලද දැනුවත් කිරීම

• කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400 ක් 500 ක් පමණ වේ.

• මේ නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් හරහා වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වයි.

• වෛරසය වාතයේ නොරැඳේ.

• පොළොවට පතිත වන වෛරසය සම්ප්‍රේෂණය නොවේ.

• වෛරසය ලෝහ මතුපිටක් මත වැටුණු විට ජීව කාලය පැය 12 කි. එබැවින් සබන් යොදා අත්සේදීම ප්‍රමාණවත්ය.

• වෛරසය රෙදි මත වැටුණු විට ජීව කාලය පැය 09 කි. ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය කිරීම මගින් වෛරසය විනාශ කළ හැකිය.

• වෛරසය අත්ලේ රැඳුණ විට ජීව කාලය මිනිත්තු 10 කි. ඇල්කොහොල් මගින් විෂබීජහරණය කළ හැකිය.

• වෛරසය සෙල්සියස් අංශක 26 ත් 27 ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීවකාලය අවසන් වේ. නිතර උණු වතුර පානය කිරීම, හිරු එළියට නිරාවරණය වීම, සීතල ආහාර නොගැනීම වැදගත් වේ.

• උණුසුම් හා ලුණු වතුරේ දැමූ සුදු ලූනු මගින් විෂබීජ විනාශ වේ.

කොරෝනා වෛරසය නිසා ඇතිවන නියුමෝනියා රෝග ලක්ෂණ

• පළමුව උගුරට ආසාදනය වේ. උගුරේ වියළි ගතියක් දින 3-4 ක් පවතී.

• එවිට වෛරසය නාසික තරලයට එකතු වී හුස්ම හිරවී පෙණහලුවලට ඇතුළු වී නියුමෝනියාව ඇති කරයි. මේ සඳහා දින 5-6 කාලයක් ගතවේ.

• නියුමෝනියාව සමග අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. නාසයේ අධික තදබද ගතියක් දැනේ. ජලයේ ගිලී යන ආකාරයක් දැනේ.

• සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට නාසය බරව, දියර ගලන තත්ත්වයක් ඇත්නම් එය කොරෝනා වෛරස් නියුමෝනියාව විය නොහැකිය. එම නියුමෝනියාවෙන් වියළි කැස්සක් ඇතිවේ. නාසය තුළින් දියර නොගලයි.

***************************************

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි

(12.03.2020 – 16:25 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය වැළදී ඇති බවට තවත් පුද්ගලයෙකුට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

44 හැවිරිදි ඔහු මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය ෴

***************************************

යුද හමුදාපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

(12.03.2020 – 22:04 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට රැවටී අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට සුළුවෙලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා මේ ඉල්ලීම සිදු කළේය.

යුද හමුදාපතිවරයා පවසා සිටියේ, මේ වන විට මහ ජනතාව විසින් සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැල් වෙත ගොස් විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ කරන බව වාර්තා වන බවයි.

මෙලෙස විශාල වශයෙන් පුද්ගලයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමෙදී අදාළ සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැලවල්වල භාණ්ඩ අවසන් වන බවත් එවිට රට තුළ භණ්ඩ හිඟයක් ඇතිවන බවට සිතෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙයින් පෙනී යන්නේ රටේ මහජනතාව අනවශ්‍ය තැති ගැන්වීමට ලක්ව වී ඇති බවත් මේ පළිබඳ ජනධිපතිවරයා විසින් මහජනතාවට දැනුම් දෙන ලෙසත් තමාගෙන් ඉල්ලා සිටි බව හමුදාපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.

“රට තුළ භණ්ඩ හිඟයක් එන්න හේතුවක් නෑ. කවුරුන් හෝ කියලා තියෙනවා නිවෙස්වල නිරෝධායන කටයුත්තකට යොදවනවා කියලා. එවැනි දෙයක් හින්දා වෙන්න පුළුවන්. රජය තාම එලෙස තීරණයක් අරගෙන නෑ”

***************************************

ජනතාව කිසිදු අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නෑ – ජනපති

(12.03.2020 – 22:48 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසයට එරෙහිව මහජන සෞඛ්‍යය සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් ගනු ලබන සියලුම පියවරයන් සඳහා ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රට තුළ කොරෝනා වෛරසය ව්‍යප්තිය වැළැක්වීමට රජය සැලසුම් සහගත විධිවිධාන සලසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා අවදානම වැඩි විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ නිරෝධායනය කෙරන අතර සියලු ආසාදිතයින්ට නියමිත ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සළසා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ අතර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීමට සියලු ආයතන ශක්තිමත්ව පෙළගැසී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි ෴

***************************************

හෙරොයින් කිලෝ 75 ක් අල්ලයි

(12.03.2020 – 21:17 +0530 – hirunews.lk/sinhala)

අර්තාපල් බව පවසා පකිස්ථානයෙන් ගෙන්වන ලද කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 75 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

ඉතාලිය-දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණි 700 කට වැඩි පිරිසක් නිරෝධායනයට

(12.03.2020 – 21:12 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නා ඇසුරු කළ තවත් පුද්ගලයෙකුට කොරෝනා රෝගය වැළදී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වයස අවුරුදු 44 ක් වූ අදාළ පුද්ගලයා ද මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරමින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයන් දෙදෙනෙකු අද අයි.ඩී.එච්. රෝහලට යොමුකෙරුණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ, මෙරටදී හඳුනාගත් දෙවැනි ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බවයි.

එම පුද්ගලයා, ඊයේ (11) හඳුනාගත් කොරෝනා රෝගියා වන ජයන්ත රණසිංහ මහතා සමග නවාතැන් ගෙන සිට ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා ඉතාලි ජාතිකයින් තිදෙනෙකු සමඟ පසුගිය 3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබුණි.

52 හැවිරිදි මාර්ගෝපදේශකයා විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

කෙසේවෙතත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ පුතුට ද වෛරසය ආසාදනය වී ඇතැයි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පදනම් විරහිත ප්‍රචාරයක් හේතුවෙන් විදුහලේ සිසුන්ගේ පැමිණීම සියයට 60 දක්වා අඩුවී තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, ඇතැම් දරුවන් නියමිත වේලාවට පෙර පාසලින් රැගෙන යාමට මව්පියන් කටයුතු කළ බවයි.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකය මත පුද්ගලයින් දෙදෙනෙකු අද පෙරවරුවේ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණි.

මෙලෙස රෝහල්ගත කෙරුණේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථායේ සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු සහ පොළොන්නරුව සෝමාවතිය පුදබිමේ වන්දනාවේ නිරතව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

මෑතකදී ඉතාලියේ සිට පැමිණ සිටි ඔවුන් දෙදෙනා අද පස්වරුවේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත මාරු කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව මහ රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, සෝමාවතිය පුදබිමේදී හමුවූ රෝගියා කොළඹ, නුවරඑළිය, කතරගම සහ පොලොන්නරුව ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තහවුරු වූ බවයි.

මේ අතර කොරෝනා ආසාදනය වු බවට සැකකරන තවත් පුද්ගලයින් දෙදෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරුකර යැවූ බව හලාවත මහරෝහලේ අධ්‍යක්ෂක කපිල මල්ලවාරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස රෝහල්ගත කර තිබුණේ ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණ සිටි 27 හැවිරිදි තරුණයෙකු හා ඩුබායි සිට පැමිණි 25 හැවිරිදි තරුණියකි.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර අදාළ ආසාදිත පුද්ගලයාගේ මත්තෙගොඩ පිහිටි නිවසට යාබදව වෙසෙන ප්‍රදේශවාසීන් නොසන්සුන් වීම හේතුවෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා වෛද්‍යවරුන්ට කරුණු පැහැදිලි කර තත්ත්වය සමතයකට පත් කිරීම අද (12) සිදුවුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නව දත්තවලට අනුව මේ වනවිට කොරෝනා ආසාදනය වූ බවට සැකපිට පුද්ගලයින් 29 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

ඊට ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු හා විදේශිකයින් 08 දෙනෙකු අයත්ය.

ගුවන්තොටුපොළේදී නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම මෙලෙස කරුණු පැහැදිලි කළේය.

මේ අතර දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු සිදුවන්නේ යුධ හමුදාවේ නිරෝධායනය පිළිබඳ විශේෂඥ පුහුණුවක් සහිත කර්නල් වෛද්‍ය ශවීන් සේමගේ මහතා ඇතුළු කණ්ඩායමක් යටතේයි.

යම් අයෙකු නිරෝධායනය කටයුතුවලට සහාය ලබානොදෙන්නේ නම් නිරෝධායන ආඥා පනත අනුව ඔහුට හෝ ඇයට මාස 06 සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇත.

මේ අතර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ස්ථාපිත කළ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට විරෝධය පා මඩකලපුව හා කාත්තන්කුඩි ප්‍රදේශවල වෙළෙඳසල් වසා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබූණි.

මෙවැනි විරෝධතා ඇතිවන පසුබිමක තමන්ට අයත් හෝටලයක් නිරෝධායනය සඳහා ස්වේච්ඡාවෙන්ම ලබාදීමට හංවැල්ල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු ඉදිරිපත්ව සිටියි.

හෝටලයේ හිමිකරු එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ, හංවැල්ල ප්‍රදේශයේ කාමර 15 කින් සමන්විත මෙම හෝටලය කාලීන අවශ්‍යතාව සලකා සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන බවයි.

කොරෝනා ව්‍යාප්තිය නිසා යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම පිණිස විශේෂ දුරකතන අංකයක් විෂයභාර අමාත්‍යාංශය හඳුන්වා දී තිබේ.

මේ අතර කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශක ඒකක 184.97 කින් අද දිනයේ පහළ ගොස් තිබේ.

මෙය පෙර දිනයට සාපේක්ෂව සීයයට 3.55 ක පහළ යාමකි ෴

***************************************

සිසුන් 04 ක් වැවේ ගිලුණු හාලිඇල විදුහල්පතිට මාරුවක් – ගුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම්

(12.03.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ගෝමරන්කඩවල – මැදවච්චිය වැවේ ගිලී පසුගිය 19 වැනිදා හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කර, ගුරුවරුන් හය (06) දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාද ඒ අතර සිටින බවයි පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ප්‍රකාශ කළේ. වගකීම් පැහැර හැරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි ෴

***************************************

ජයවර්ධනපුර සරසවි සිසුන් 6 ක් රිමාන්ඩ්

(12.03.2020 – 16:31 +0530 – sinhala.adaderana.lk)

පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු ඊයේ (11) මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර අනතුරට හේතු වූ බව කියන ටයරය පෙරලූ සිසුවාද සිටින බවයි.

අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවූ පසිඳු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවකු වූ පසිඳු හිරුෂාන් සරසවි පරිශ්‍රයේදී අනතුරට ලක්වන්නේ පසුගිය මාර්තු 05 වැනිදා.

හිසට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිත අවදානමකට පත්ව සිටින පසිඳු තවමත් යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි ෴

***************************************

කුඩා රටක් සංවර්ධනය කළ හැකි මඟ හඳුනාගන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි

(12.03.2020 – 19:03 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව කුඩා රටක් වුව ද එය ඉහළ සංවර්ධිත මට්ටමක් කරා ඔසවා තබන්නේ කෙසේ දැයි පර්යේෂණ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

පර්යේෂණ ක්ෂේත්‍ර රැසකට ආයත් ආයතනවල ප්‍රධානීන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළේය.

පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමග ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.

එම අවස්ථාවට හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනය, ජාතික විද්‍යා පදනම, ආතර් සී ක්ලාක් තාක්ෂණ විද්‍යා කේන්ද්‍රය, පශු අස්වනු තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන රැසක ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සිව්වැනි වැඩසටහන මෙලෙස පැවැත්වුණි.

“අපේ දේශපාලන සංස්කෘතියේ යම් බිඳවැටීමක් දකින්නට පිළිවන්. එය නිවැරදි කිරීමේ අරමුණ ඇතිවයි ජනතාව දේශපාලනයෙන් බාහිර පුද්ගලයෙක් ජනාධිපති ධූරයට තෝරා ගත්තේ. මේ තමයි මා ජය ගත යුතු අභියෝගය.

ජනතා අපේක්ෂා ඉටුකිරීමේ දී රාජ්‍ය අංශයට පැවරී ඇත්තේ විශාල වගකීමක්. රාජ්‍ය ආයතන කාර්යක්ෂමනම්, ජනතාවට අවශ්‍ය සේවය ඉටු කරන්නේනම් අපට ප්‍රශ්න ඇතිවන්නේ නැහැ” ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ආර්ථික සමාජ ක්‍රියාදාමයේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනය පිණිස විධිමත් පර්යේෂණ කිරීම ආර්ථික දියුණුවට ප්‍රබල සාධකයක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා සමාජයේ පහළම ස්ථරයට ඉහළ ජීවන තත්ත්වයක් අත්කරදීම සිය ප්‍රධාන අපේක්ෂාව බව පැවසීය.

දිළිඳුතම පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළේ එකී අරමුණ සපුරා ගැනීමට බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *