ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ගුවන් ගමන් තහනමක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ගුවන් ගමන් තහනමක්

• දක්ෂිණ අධිවේගයේ බස් රථයක් ගිනි ගනී (විඩියෝ)

• ඉන්ධන සඟවන හිමියන්ගේ බලපත්‍ර අහෝසියි – ඇමති අමරවීර

• කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවල 1100 ක් – කිසිදු අනවශ්‍ය බියක් එපා – ජන ජීවිතයට බලපාන තත්ත්වයකට ඉඩ නැහැ – ජනපති (විඩියෝ)

• රොෂාන් රණසිංහ කණගාටුවෙන් (විඩියෝ)

• සහරාන් සමඟ දිවුරුම් දුන් පුද්ගලයෙකු CID අත්අඩංගුවේ

• සැඟව සිටි රවී ඇතුළු 7 ක් අධිකරණයට පැමිණෙයි (විඩියෝ)

• ගෝඨා ජනපති කරවු සිංහල බෞද්ධ ජන කොටස් බෙදා වෙන් කිරිමට කුමන්ත්‍රණයක් – වෛද්‍ය ගුණදාස අමරසේකර (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ගුවන් ගමන් තහනමක්

(13.03.2020 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා සති දෙකක (02) කාලයක් බලපැවැත්වෙන පරිදි හදිසි තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

හෙට (14) සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරන්නේ ෴

***************************************

දක්ෂිණ අධිවේගයේ බස් රථයක් ගිනි ගනී

(13.03.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර දී ශ්‍රී ලංගම බස් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මාකුඹුර සිට ගාල්ල බලා ධාවනය වූ මෙම බස් රථයේ ඇති වූ ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

***************************************

ඉන්ධන සඟවන හිමියන්ගේ බලපත්‍ර අහෝසියි – ඇමති අමරවීර

(13.03.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන සඟවා හිඟයක් මවා පෑමට උත්සාහ කරන ඉන්ධන හල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවල 1100 ක් – කිසිදු අනවශ්‍ය බියක් එපා – ජන ජීවිතයට බලපාන තත්ත්වයකට ඉඩ නැහැ – ජනපති

(13.03.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සැලසුම්සහගත විධි විධාන සලසා තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

කොරෝනා අවදානම වැඩි විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ නිරෝධයන කෙරෙන අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම, ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සියළු ආයතන ශක්තිමත්ව පෙළ ගැසී ඇති බැවින් කිසිදු පුද්ගලයෙකු අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සාමාන්‍ය ජන ජීවිතයට බලපෑ හැකි කිසිදු තත්ත්වයකට රජය ඉඩ තබා නැති බැවින් කට කතාවලට හසු නොවන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, කොරෝනා තත්ත්වය පිළිබඳව යම් තොරතුරක් දැන ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 071 010 7107 යන දුරකතන අංකයට සහ 011 307 1073 යන දුරකතන අංකයට ඇමතීමෙන් එම තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, අසත්‍ය ප්‍රචාරවලින් මහජනතාව නොමග යෑම වැළැක්වීම සඳහා සහ මාධ්‍ය වෙත තහවුරු කළ තොරතුරු ලබාදීමට කොවිඩ්-19 නමින් මාධ්‍ය මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර තිබෙනවා.

මීට අමතරව තහවුරු කළ නිල තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ෆේස්බුක් සමාජජාල පිටුවට සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ( https://sinhala.dgi.gov.lk/ ) පිවිසිය හැකියි.

මේ අතර, භාණ්ඩ පෝලිම් අතහැර සාමාන්‍ය ජන ජීවිතය ගත කරන ලෙස වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ජනතාවට දැනුම් දුන්නා.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම, දියතලාව, කන්දකාඩු සහ බැටිකලෝ කැම්පස් හි පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 1150 කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබාදී ඇති බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අවශ්‍ය වුවහොත් තවත් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීමට සූදානමින් සිටින බවටද ඔහු කියා සිටියා.

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4720 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 1,28,343 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

13-03-2020

***************************************

රොෂාන් රණසිංහ කණගාටුවෙන්

(12.03.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික් නාම යෝජනා පත්‍ර අත්සන් කිරීමට ඊයේ තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුව ප්‍රදේශයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අද (12) පොළොන්නරුවේදී පැවැත්වුණා.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාගේ නම යෝජනා කළා.

කෙසේ වෙතත්, ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා තමන්ට නාම යෝජනා පත්‍ර අත්සන් කිරීමට ඊයේ (11) ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් තම කනගාටුව පළ කළා.

+++++++++++++++++++++

12-03-2020

+++++++++++++++++++++

12-03-2020

+++++++++++++++++++++

(උකුසු සිරාට පහරදෙන කලු බඩා : ප්‍රසන්න රණතුංග)

***************************************

සහරාන් සමඟ දිවුරුම් දුන් පුද්ගලයෙකු CID අත්අඩංගුවේ

(14.03.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන සහරාන් හෂීම් සමග ස්වයං ඝාතනයට දිවුරුම් දුන් පුද්ගලයින්ගෙන් එක් අයෙකු තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහු මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවත්, ඒ පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණ වුණා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ ලබාදුන් සාක්ෂි අනුවයි.

ඔහු කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ප්‍රධාන නිලධාරියායි. ප්‍රහාරයෙන් අනතුරුව උදැසන 10:45 ට පමණ කටුවපිටිය දේවස්ථානය වෙත ගිය තමන්ට ස්වයං ඝාතන බෝම්බය පුපුරුවා හැරි සැකකරුගේ හිස කොටස දේවස්ථානයේ බංකුවක් මත තිබියදී නෙත ගැටුණු බවයි ඔහු කොමිසම හමුවේ සඳහන් කළේ.

බෝම්බකරු ‘හස්තුන්’ නමැති පුද්ගලයෙකු බවට අනාවරණ කර ගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව, 2019 වසරේ අප්‍රේල් 26 වැනි දින තමන් හස්තුන් නමැත්තාගේ දෙමාපියන් පදිංචිව සිටින වාලච්චේනේ පිහිටි නිවසට ගිය බවත්, එහිදී ඔහුගේ මව, පියා සහ සොහොයුරාගේ ලබාගත් සාම්පල, ප්‍රහාරකයාගේ හිසෙහි සාම්පල හා සැසදෙන බවට සිය විමර්ශනයේදී අනාවරණ වූ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් අමරසිංහ පෙන්වා දුන්නේ 2019 වසරේ පෙබරවාරි මස 4 වන දින මොහොමඩ් මුබාරක් නමැත්තෙකු විසින් කටුවපිටිය දේවස්ථානයට නුදුරේ පිහිටි දොන් ඬේවිඩ් මාවතේ නිවසක් සිය නමින් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි.

හස්තුන් නමැති ප්‍රහාරකයා එම නිවසේ රැඳී සිට ඇති බව තමන් ආරක්ෂිත කැමරා දර්ශනවලින් අනාවරණ කරගත් බවද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණ කළා ෴

***************************************

සැඟව සිටි රවී ඇතුළු 7 ක් අධිකරණයට පැමිණෙයි

(13.03.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට අදාළව අධිකරණයෙන් වරෙන්තු ලබා දින 07 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සැඟව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු 07 දෙනෙකු අද (13) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව ඉන් පිටව ගිය බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

රවී කරුණානායකට අමතරව මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, සභාපති ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රංජන් හුළුගල්ල, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන සංගරපිල්ලේ පදුමනාපන් සහ ඉන්දික සමන් කුමාරයි.

කෙසේ වෙතත්, වරෙන්තු ලබා සිටින ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවූ සමයේ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගාර්දියෙ පුංචිහේවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු සැකකරුවන්ට අද (13) පස්වරු 4 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් වරෙන්තුව අවලංගු කර රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී කරුණානායක ඇතුළු සැකකරුවන් ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදියි.

වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, කොටුව මහේස්ත්‍රාත්වරයාට එහිදී නියෝග කළා.

තවද සැකකරුවන් ගොනු කළ පෙත්සම පිළිබද වැඩිදුර කරුණු සලකා බැලීම එළඹෙන 17 වැනිදා සිදුකරන බව අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළා.

2016 වසරේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් බිලියන 50 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පසුගිය 6 වනදායි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වන මුත්තුරාජා සුරේන්ද්‍රන් පමණයි.

රවී කරුණානායකගේ නිවස පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය දින කිහිපයේම ඔහුගේ බත්තරමුල්ල – රජමල්වත්ත පාරේ පිහිටි නිවසට ගියත්, එහි ඔහු රැඳී සිටියේ නැහැ.

අද පෙරවරුවේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 40 කට ආසන්න නිලධාරීන් කණ්ඩායමක් රවී කරුණානායගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ පෙනී සිටීම සඳහා පස්වරු 3.30 ට පමණ පැමිණි රවී කරුණානායක මාධ්‍ය මගහැර යමින් අධිකරණ සංකීර්ණයේ පිටුපස දොරටුවකින් ඇතුළුවීමට උත්සාහ කළ බවයි වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙලෙස අදහස් පළ කළා. ඔහු කියා සිටියේ තමන් සැඟව නොසිටි බවයි.

***************************************

ගෝඨා ජනපති කරවු සිංහල බෞද්ධ ජන කොටස් බෙදා වෙන් කිරිමට කුමන්ත්‍රණයක් – වෛද්‍ය ගුණදාස අමරසේකර

11-03-2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *