තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් තුන්දෙනෙකු (03) හමුවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් තුන්දෙනෙකු (03) හමුවෙයි (විඩියෝ)

• කොරෝන ගැන අනවශ්‍ය බියක් එපා – අගමැති (විඩියෝ)

• කොරෝනා බියට දේශීය ඖෂධ ගන්න පෝලිමේ (විඩියෝ)

• හිරු සී.අයි.ඒ. : කොරෝනා අතරතුර ගුවන් අපද්‍රව්‍ය කළමණාකරනය බිංදුවට වැටුනු හැටි (විඩියෝ)

• මෛත්‍රිපාල සිරිසේන මහතා ‘උකුස්සා’ නිසා අර්බුදයක – ඩිලාන් පෙරේරා (විඩියෝ)

• කොරෝනා නිසා මැතිවරණය කල් යන්නේ නෑ – මහින්ද දේශප්‍රිය (විඩියෝ)

• කොරෝනා වූහාන් ප්‍රදේශයට ගෙන ආවේ ඇමරිකානු හමුදා බවට චීනයෙන් චෝදනා (විඩියෝ)

• කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන 64 දෙනෙකු රෝහල් 17 ක – ඉන්ධන සහ ආහාර හිඟයක් නැතැයි රජය කියයි (විඩියෝ)

• යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි – හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවා විෂ බීජ හරණය කිරීමට පියවර

• රටට සෙත් පතා දෙරණින් රතන සුත්‍ර සජ්ඣායනයක්

• දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට පණිවුඩයක් (විඩියෝ)

• චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමේ

• දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට (විඩියෝ)

• කොරෝනා බවට සැක මතු වු පෝලන්ත සංචාරකයින් 4 ක් IDH රෝහලට

• බහුතර බලයක් ඉල්ලන හේතුව ඩලස් කියයි (විඩියෝ)

• නිරෝධායන කටයුතු වල යෙදූ බස් රථයක් අනතුරට

• කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට – ජනතාව විශාල වශයෙන් එක් රැස්වන උත්සවත් සති දෙකකට තහනම් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් තුන්දෙනෙකු (03) හමුවෙයි

(13.03.2020 – 19:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ආසාධිත තවත් රෝගීන් තුන් දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

එක් අයෙකු අවුරුදු 41 ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක්. ඔහු දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් පුද්ගලයා අවුරුදු 37 ක අයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් අයෙක් බව සඳහන්. ඔහු දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් රෝගියා අවුරුදු 43 ක අයෙක් වන අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ අයෙක්. ඔහු ද දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අනුව මේවන විට කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 5 ක් වනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝන ගැන අනවශ්‍ය බියක් එපා – අගමැති

(13.03.2020 – 22:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටට අවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට රජය කටයුතු යොදා ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා බියට දේශීය ඖෂධ ගන්න පෝලිමේ

(13.03.2020 – 21:38 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛසරය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තාවීමත් සමග සමාජයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතවුණා.

මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට එල්ල වී තිබෙන්නේ දැඩි බාධාකාරී තත්ත්වක්.

වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දේශීය ඖෂධ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අතර, මේ හේතුවෙන් දේශීය ඖෂධ අළෙවිසල් අසළ දක්නට ලැබුණේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් වෙළෙඳපොළේ ලොකුළූණූ හිඟයක් මවා පාමින් ආහාරයට නුසුදුසු තත්ත්වයේ චීනයෙන් ගෙන්වන ලද ලොකුළූණු පාලන මිලටත් වඩා වැඩි මිලකට අලෙවි කරන ජාවාරමක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසකට අනාවරණ කර ගැනීමට හැකිවුණා.

මේ අතර භාණ්ඩ වැඩි මිලට අළෙවි කරන්නේද යන්න පිළිබඳ සහ භාණ්ඩ තොග එක්රැස් කර තබා ගන්නා වෙළෙඳුන් පිළිබඳ සොයා ලැබීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිටකොටුව තොග වෙළෙඳ පොළේ සංචාරයක නිරත වුණා.

කෙසේ වෙතත් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා අද සිට විශේෂ වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

මේ අතර කොරෝනා වෛසරය හේතුවෙන් 3 වැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටී තිබෙනවා.

ප්‍රධාන සමාගම් රැසක් නියෝජනය කරන එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5.04 කින් පහත වැටීම නිසා කොටස් වෙළෙඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++

හිරු සී.අයි.ඒ. : කොරෝනා අතරතුර ගුවන් අපද්‍රව්‍ය කළමණාකරනය බිංදුවට වැටුනු හැටි

(13.03.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා.

එවන් තත්ත්වයක් යටතේ, ගුවන්යානාවල පැමිණෙන මගීන්ගේ කසල කලමනාකරණය මනා අධීක්ෂණයක් යටතේ සිදු කළ යුත්තක්.

ජාත්‍යන්තර ගුවන් නීති රීති අනුව ගුවන් මගීන් භාවිත කරන සියළු ඉවත ලන දෑ මෙම දහනාගාරය හරහා විනාශ කළ යුතු වනවා.

එහෙත් අප මේ පිළිබද මාස 06 කට පමණ පෙර කළ සොයාබැලීමකදී හෙළිවුයේ ගුවන් මගීන් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් බෝතල්, පත්තර, බීර කෑන් ආදිය විකිණීම සදහා තෝරා රැගෙන යන බවයි.

***************************************

මෛත්‍රිපාල සිරිසේන මහතා ‘උකුස්සා’ නිසා අර්බුදයක – ඩිලාන් පෙරේරා

(13.03.2020 – 21:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ‘උකුස්සා’ සම්බන්ධ ප්‍රකාශය කිරීම හේතුවෙන් දැඩි අර්බුදයකට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹදී අද (13) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පලකළා.

***************************************

කොරෝනා නිසා මැතිවරණය කල් යන්නේ නෑ – මහින්ද දේශප්‍රිය

(13.03.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය කල් යැවීමේ තීරණයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

මේ අතර දේශාපලනඥයින් විවිධ ස්ථානලවදී කොරෝනා වෛසරය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වූහාන් ප්‍රදේශයට ගෙන ආවේ ඇමරිකානු හමුදා බවට චීනයෙන් චෝදනා

(13.03.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් ප්‍රදේශයට ඇතුළු වූයේ ඇමරිකානු හමුදා භටයින්ගේ මාර්ගයෙන් බවට තමන් විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලීජිඈන්ග් හාඕ චෝදනා කරනවා.

ඇමරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව සත්‍ය තොරතුරු වසන්කරන බවටත් ඔහු මෙහිදී ඇමරිකාවට චෝදනා එල්ල කළා.

මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩුටෝන් හටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ලොව රටවල් 118 කින් මේ වන විට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 4981 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට වෛරසයට ගොදුරු වී ඇති පුද්ගලයින් ගණන 1,35,318 වන අතර 69,645 ක් කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී සුවය ලබා තිබෙනවා.

ගත වූ පැය 24 ක කාලය තුළ චීනයෙන් වාර්තා වූයේ නව ආසාදිතයින් 8 දෙනෙක් පමණයි.

වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ දවසේ සිට මේ දක්වා එරටින් වාර්තාවූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි.

වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයට පසුව කොවිඩ් 19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඉතාලියටයි.

ගත වූ පැය 24 තුළ නව මරණ 189 ක් ඉතාලියෙන් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ ගියා.

මැදපෙරදිග කලාපයේ වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව තිබෙන ඉරානයෙන් මේ වන විට වාර්තාවන කොරෝනා මරණ ගණන 429 ක්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන 64 දෙනෙකු රෝහල් 17 ක – ඉන්ධන සහ ආහාර හිඟයක් නැතැයි රජය කියයි

(13.03.2020 – 18:51 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 64 දෙනෙකු දිවයින පුරා වෙන් කළ රෝහල් දාහතක, ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (13) ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සමඟ සම්බන්ධතා පැවැත්වූ 13 දෙනෙකු ද ඒ අතර වන බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව කියා සිටියේ රට තුළ කිසිදු ඉන්ධන සහ ආහාර හිඟයක් නොමැති බවයි.

එමෙන්ම, රජය ලබා දෙන නිල තොරතුරු මත පමණක් කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

පැතිර යන ඇතැම් කටකතා හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් ජනතාව පෙළඹීම හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල් රැසක් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ සිටියේ.

එසේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම් ක්‍රියාත්මක අතර අද (13) ඒ පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිටකොටුව තොග වෙළඳපොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි, හොරණ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව පූර්ණ සුවය ලබා අද (13) එම රෝහලෙන් පිටව ගියා.

මේ අතර, කොරෝනා වෛරසය පාලනය වනතුරු ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය ද තීරණය කළා.

ඒ අද එම කාර්යාංශයේදී බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජිතයින් සමඟ සිදුකළ සාකච්ඡාවකදීයි.

එසේම, සියලු රජයේ විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමෙන අතර, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාල ලබන සඳුදා සිට 29 වනදා දක්වා දෙසතියක් වසා තැබෙනවා.

වෘත්තිය පුහුණු ආයතන ද සති දෙකක කාලයකට වසා දැමීමට නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය අද තීරණය කරනු ලැබුවා.

කොරෝනා වෛරසය හේතුවෙන් අද (13) සිට දිවයිනේ සියළුම පෙර පාසල් වසා තැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ද ප්‍රකාශ කළා.

පෙර පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

මේ අතර, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් 315 දෙනෙකු අද (13) නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බලධාරින් පියවර ගත්තා.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව අදත් විරෝධතාවක් පැවැත්වුණා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හරින්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව, එවැනි තොරතුරු බෙදා හැරීම සහ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසයි එම කොමිෂන් සභාව, ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් තායි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. අප්‍රේල් මාසයේ සිට සාමාන්‍ය පරිදි ගුවන් ගමන් සිදුකරන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එසේම, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින් මගීන්ට පැමිණීම ද අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි – හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවා විෂ බීජ හරණය කිරීමට පියවර

(13.03.2020 – 17:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැලැක්වීම සම්බන්ධයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවන ලෙසට ද ජනාධිපතිවරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

එමෙන්ම යුරෝපීය රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස් ආසාධිතයන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔවුන් ගමන් කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව ද අඛණ්ඩව විමර්ශණය කර ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

රට තුළ ව්‍යාප්තිය වැලැක්වීමට ජනතාව විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමටයි තීරණය වී ඇත්තේ.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ රෝග නිර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය සහිතව උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බවයි.

වෛරසය පැතිර යාම වැළැක්වීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වු බව ද ඔහු කියාසිටියා.

මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන ආකාරයෙන් බෙදාහැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරුනා.

පාලන මිලක් යටතේ ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇතැයි ද සාකච්ඡාවේදී සඳහන් වී තිබෙනවා.

මේ අතර හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවයට යොදාගන්නා බස් රථ සහ දුම්රිය විෂ බීජ හරණය කිරීමට ද තීරණය කෙරුනු අතර ඊට ආරක්ෂක අංශ සහය ලබාගැනෙනු ඇති.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ග පුලුල්ව අධ්‍යයනය කිරීමට ද උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වා ගැනීම සහ පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කර ගත යුතුව ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

රටට සෙත් පතා දෙරණින් රතන සුත්‍ර සජ්ඣායනයක්

(14.03.2020 – 08:36 +0530 – sinhala.adaderana.lk)

ලොවපුරා පැතිරයන කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් මහානුභාව සම්පන්න රතන සූත්‍ර සජ්ජායනයක් ආරම්භ කිරිමට දෙරණ මාධ්‍ය ජාලය තීරණය කර තිබේ.

සංඝයා වහන්සේ 500 නමකගේ සහභාගිත්වයෙන් (ශ්‍රී ලංකා වේලාවෙන්) (+0530) අද (14) පස්වරු 06:00 සිට හෙට (15) උදෑසන 06:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මෙම රතන සුත්‍ර පිරිත් සජ්ජායනය සිදු කිරිමට නියමිතයි.

ටී.වී දෙරණ ( http://www.derana.lk/ ) සහ එෆ්.එම් ( http://fmderana.lk/ ) දෙරණ ඔස්සේ මෙම රතන සූත්‍ර සජ්ජායනය සජීවීව විකාශය කෙරෙන අතර සැදැහැවත් ඔබට ද මෙම මහගු කාර්යය හා එක්වන ලෙස දෙරණ මාධ්‍ය ජාලය ආරාධනා කර සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++

දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට පණිවුඩයක්

(14.03.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සියලුම බැතිමතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමට විශේෂ වැඩසටහනක් හදුන්වා දී තිබෙනවා.

අදියර තුනක් යටතේ මෙම සෞඛ්‍ය ආරක්ෂක වැඩ සටහන ක්‍රියාත්මක බවයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑලේ බණ්ඩාර මහතා පැවසුවේ.

මෙම සෞඛ්‍ය ආරක්ෂක වැඩසටහන අද (14) සිට ක්‍රියාත්මකයි.

+++++++++++++++++++++++++++++++++++

චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමේ

(14.03.2020 – 11:07 +0530 – sinhala.adaderana.lk)

ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට (14) තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද (14) සිට වසා තැබෙන අතර විවෘත කෙරෙන දිනය පසුව දැනුම්දෙන බව බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය ෴

***************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

(14.03.2020 – 09:21 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම, බද්දෙගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (14) අලුයම සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු ප්‍රතිකාර සදහා හෝමාගම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පසුපසින් පැමිණි ලොරි රථය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

කොරෝනා බවට සැක මතු වු පෝලන්ත සංචාරකයින් 4 ක් IDH රෝහලට

(14.03.2020 – 10:00 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසයේ සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පෝලන්ත ජාතිකයින් සිව් (04) දෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර තිබේ.

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඔවුන් විදෙස්ගත වීම සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව මෙලෙස අයි.ඩී.එච්. රෝහල වෙත යොමු කර ඇති බව ‘අද දෙරණ’ ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය.

මෙම පෝලන්ත ජාතිකයින් සිව්දෙනා රුසියාවේ මොස්කව් නුවරබලා පිටත්ව යාමට සූදානමින් සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය ෴

***************************************

බහුතර බලයක් ඉල්ලන හේතුව ඩලස් කියයි

(14.03.2020 – 12:04 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඉල්ලීමට හේතුව, පවතින ව්‍යවස්ථාමය ගැටළු නිරාකරණය කිරීම බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

***************************************

නිරෝධායන කටයුතු වල යෙදූ බස් රථයක් අනතුරට

(14.03.2020 – 11:31 +0530 – lankadeepa.lk)

කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරෝධායන කටයුතු වෙනුවෙන් කටුනායක සිට වව්නියාව ප්‍රදේශයට ප්‍රවාහනය කර ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් අද අලුයම (14) ඒ9 මාර්ගයේ කැකිරාව හෝරාපොල මංසන්ධියේදී අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ බස් රථයේ රියදුරු පමණක් වන අතර රියදුරුට නින්දයාමෙන් බස්රථය මාරගයෙන් ඉවතට පැන එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. සිදුව ඇති අනතුරෙන් බස්රථයටත් දුරකතන රැහැන් කණුවකටත් හානි සිදුව තිබේ.

යුද හමුදාවට අයත්, අනතුරට පත් එම බස් රථය වව්නියාව පොම්පෙමඩුව ප්‍ර‍දේශයේ පිහිටි කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකුගෙන් යුත් පිරිසක් ප්‍රවාහනය කර ආපසු එමින් තිබීයදී මෙලෙස අනතුරටපත්ව ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිස් රථවාහන අංශය හා යුද හමුදාව මගින් විමර්ශණ ආරම්භ කර තිබේ. අදාල බස් රථය හා එහි රියදුරු සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදුකර ඇති බැවින් ප්‍රදේශවාසී ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි පොලිසිය කියයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට – ජනතාව විශාල වශයෙන් එක් රැස්වන උත්සවත් සති දෙකකට තහනම්

(14.03.2020 – 15:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට හත (07) දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පස්දෙනෙකු (05) ඊයේ (13) වනවිට වාර්තාවී තිබූ අතර, අද (14) අලුතින් වාර්තාවූ පුද්ගලයින් දෙදෙනා (02) ඉතාලියේ සිට පැමිණ තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි 44 හැවිරිදි අයෙකු වන අතර, මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේයි.

43 හැවිරිදි අනෙක් පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කුරුණෑගල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ ජනතාව විශාල වශයෙන් රැස්වන උත්සව හෝ එවැනි අවස්ථා සති දෙකකට තහනම් කරන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/228086035258693/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *