22 වන කොරෝනා වෛරස් ආසාදිතයාත් වාර්තා වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• 22 වන කොරෝනා වෛරස් ආසාදිතයාත් වාර්තා වෙයි (විඩියෝ)

• කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුට සහ බිරිඳට නඩු – උත්සව සමයේ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක්

• සුපිරි මැණික් ව්‍යාපාරිකයෙක් කොරෝනා හැදී ගෙදර හැංගිලා.. STF දමා අල්ලයි

• කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතුරු දෙදෙනෙක් අත්අඩංගුවට (විඩියෝ)

• මේ මස පැවැත්වීමට තිබූ විභාග දින නියමයක් නොමැතිව කල් යයි – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමත් නවතී

• ජාතික කෞතුකාගාර 11 ක් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණයක්

• එංගලන්තයෙන් එන පිරිස් දියතලාව සහ වව්නියාව නිරෝධායනය මධ්‍යස්ථාන වෙත – කොරෝනා ආසාදිත බවට සැක 128 දෙනෙකු රෝහල් 17 ක

• කොරෝනා ව්‍යාප්තිය වළක්වාලීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන චක්‍රලේඛයක්

• IDH රෝහල අවට ජනතාව මුළු රටටම ආදර්ශයක් – නීතිඥ මධුර විතානගේ (විඩියෝ)

• රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක් (විඩියෝ)

• විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු ඇමතුම් වලින් 880 ක් නිරෝධායනයට

• නිවාඩුව නොතකා ඇඟලුම් ආයතනයක සේවිකාවෝ වැඩට කැඳවති

+++++++++++++++++++++++++++++++++++

22 වන කොරෝනා වෛරස් ආසාදිතයාත් වාර්තා වෙයි

(16.03.2020 – 16:53 +0530 – hirunews.lk/sinhala)

22 වන කොරෝනා වෛරස ආසාදිත රෝගියා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. කරාපිටිය රෝහලේ දැනට ප්‍රතිකාර ලබන මොහු 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මේ අතර, පවතින තත්ත්වය පිළිබඳ සලකා බලා කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානම සීමා කිරීමේ අරමුණින් හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව හෙට (17) සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළ ඉල්ලුම් පත් සාමාන්‍ය සේවාව යටතේ සුපුරුදු පරිදි යොමු කිරීමට හැකියාව පවතින බවයි.

අත්‍යාවශ්‍ය කරුණක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ බව ග්‍රාම නිලධාරීවරයා මගින් තහවුරු කර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රට තුළට පුද්ගලයින් ඇතුළු වන ගුවන් තොටුපළ හා වරායන් හි කටයුතු පියවරෙන් පියවර සීමා කිරීම හා ප්‍රධාන පිවිසුම් මාර්ගය වන කටුනායක ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට අවශ්‍ය පියවර ගැනීම ඒ අතර වනවා.

අදාළ යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිතව දැනුම් දීමට ද පියවර ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුට සහ බිරිඳට නඩු – උත්සව සමයේ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක්

(16.03.2020 – 15:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඊයේ (15) තහවුරු වූ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වන දෛනික මාධ්‍ය හමුවට අද (16) එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අවස්ථා කිහිපයකදීම රෝහල් ගත වන ලෙසට දැනුම් දී තිබූ නමුත් එය උල්ලංගණය කිරීම නිසා මෙම තීරණය ගත් බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ දිනවල ඇඳුම් මිලදී ගැනීමෙන් හැකිතාක් වළකින ලෙසයි.

ඇඳුම් මාර්ගයෙන් වෛරසය ආසාදනය වීම සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසීමෙන් වෛරසය ව්‍යාප්ත වීම ඊට හේතුව බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

එසේම හෙට (17) රජයේ නිවාඩු දිනයක් නොවන බව ද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා කියා සිටියා ෴

+++++++++++++++++++++

සුපිරි මැණික් ව්‍යාපාරිකයෙක් කොරෝනා හැදී ගෙදර හැංගිලා.. STF දමා අල්ලයි

(16.03.2020 – 15:55 +0530 – truenews.lk)

කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

ඊයේ (15) දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ.

මිට පෙර කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ ජර්මනියේ සංචාරය කළ පුද්ගලයා සමග මෙම පුද්ගලයාද එම සංචාරයට එක්ව සිට ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු පළමු පුද්ගලයා ගල්කිස්සේ ප්‍රදේශයේ සිටින සිය මිතුරන්ට ඒ ගැන දැනුම් දී තිබෙනවා.

සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු එම පුද්ගලයාද කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සිදු කොට ඇති අතර එහිදී එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ඇතිව තිබෙන බවට තහවුරු වී තිබුණා. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිට ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ.

එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට ඉමහත් වෙහෙසක් ගැනීමට සිදුවු බවත් අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ.

මෙම පුද්ගලයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බවත් කොරෝනා වෛරසය වැලදී සිටියදී ඔහු ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සිදුකරමින් ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම එම පුද්ගලයා ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොමු කොට ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට සිදුවූ බවද ප්‍රකාශ කර සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතුරු දෙදෙනෙක් අත්අඩංගුවට

(16.03.2020 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා රාගම සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ජාතික ආරක්ෂාවට හා මහජන සාමයට හානි කර තොරතුරු පරිඝණකය හරහා ප්‍රචාරය කිරීම මොවුන්ට එල්ල වී ඇති චෝදනා වනවා.

පරිඝණක අපරාධ පනත උල්ලංගණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ හැකි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මේ මස පැවැත්වීමට තිබූ විභාග දින නියමයක් නොමැතිව කල් යයි – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමත් නවතී

(16.03.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මේ මාසය තුළදී පැවැත්වීමට නියමිතව තිබූ විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි කොමාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම විභාග නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි.

එමෙන්ම විෂබීජහරණ කටයුතු හේතුවෙන් විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට ජනතාව පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එක්දින හා සාමාන්‍ය සේවා තාවකාලිකව නවතා දමා ඇති බවද එම නිවේදනයේ සඳහන්.

උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලය මේ මස 31 දක්වා දීර්ඝ කර ඇති බැවින් මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ අපේක්ෂකයින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතු බව සඳහන්.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි රියදුරු බලපත් සහ ඊට අදාළ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට මේ මස 31 දක්වා තාවකාලිකව අවලංගු කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව වේරහැර රියදුරු බලපත් නිකුත් කරන ප්‍රධාන කාර්යාලයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකට පැමිණීමෙන් වළකින ලෙසටද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර කොරෝනා වෛරසය වැළදි ඇත්දැයි තහවුරු කිරිම සදහා සිදුකරන පරීක්ෂණ සහ නිරෝධායනය ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීමට බ්‍රිතන්‍ය රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාල බලතල පොලිසියට ලබාදීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව වයස අවුරුදු 70 ට වැඩි සියලු පුද්ගලයන් මාස 4 ක කාලයක් ස්වයං නිරෝධායනයකට ලක් කිරීමටත්, නිරෝධායනය සහ පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට යුරෝ දහසක දඩයක් නියම කිරීමටත් තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ජාතික කෞතුකාගාර 11 ක් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණයක්

(16.03.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පවතින කෞතුකාගාර 11 ක් තාවකාලිකව වසා දැමීමටද බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් ජාතික අක්ෂි රෝහලට අත්‍යවශ්‍ය සේවා ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස එම රෝහලේ අධ්‍යක්‍ෂවරිය ඉල්ලීමක් කරනවා.

ජනතාව විශාල ලෙස රැස්වන අවස්ථා හැකි උපරිමයෙන් සීමා කිරීමට රජය පසුගියදා තීරණය කරනු ලැබුවා.

හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ඉතා සුදුසු බවයි රෝහල් අධ්‍යක්‍ෂවරිය කියා සිටියේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට මේ වනවිට රෝහල් ගතකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 212 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඔවුන් නිවේදනය කළේ මේ වනවිට 18 දෙනෙකුට පමණක් රෝගය වැළඳි ඇති බව තහවුරු වී ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

එංගලන්තයෙන් එන පිරිස් දියතලාව සහ වව්නියාව නිරෝධායනය මධ්‍යස්ථාන වෙත – කොරෝනා ආසාදිත බවට සැක 128 දෙනෙකු රෝහල් 17 ක

(16.03.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ සිට අද (16) දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සඳහා දියතලාව සහ වවුනියාව මධ්‍යස්ථාන වෙත යොමුකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ‘හිරු ටී.වී.’ ඔස්සේ අද (16) පෙරවරුවේ විකාශය වූ ‘කොරෝනා ඇත්ත – නැත්ත’ වැඩසටහනට එක්වෙමින්.

එමෙන්ම නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීමට දිවයින පුරා මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.

පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ එම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි ඔවුන් කියා සිටියේ.

එමෙන්ම සියලු පහසුකම්වලින් යුත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්‍රදේශවලද ස්ථාපිත කර තිබෙනවා.

එම මධ්‍යස්ථානවල වර්ගීකරණය කරන ලද පුද්ගලයන් 1723 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර විදේශිකයන් 8 දෙනෙකුද එහි සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තාවී තිබෙනවා.

ඊට අමතරව කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට 128 දෙනෙකු දිවයිනේ රෝහල් 17 ක ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සමඟ අද (16) රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ හේතුවෙන් කොළඹ ඇතුලු නගර රැසක් හුදකලා තත්ත්වයකට පත්ව ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

අද (16) දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක එකේ සිට 9 දක්වා අධිකරණවල විභාග කිරීමට නියමිත සියලු නඩු කල් දමා තිබෙනවා.

කොරෝනා වෛරසය පිළිබඳ ජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා 117 යන දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂාවීම සඳහා මුඛ ආවරණ නොමිලේ බෙදාහැරීමේ වැඩසටහනක් අද (16) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා.

මේ අතර සැළකිය යුතු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් හමුවී ඇති බැවින් එම තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සහය ලබාගෙන සිය කාර්යාල තුළ කොරෝනා මර්දන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බවයි එම අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ව්‍යාප්තිය වළක්වාලීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන චක්‍රලේඛයක්

(16.03.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

සැළකිය යුතු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් හමුවී ඇති බැවින් එම තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සහය ලබාගෙන සිය කාර්යාල තුළ කොරෝනා මර්දන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බවයි එම අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

කොරෝනා මර්දන තොරතුරු වාර්තාකරන මධ්‍යස්ථානය වෙත සහය සඳහා අදාළ කාර්යාල අයත් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් එම ඒකකයට සහය පිණිස පොලිස් නිලධාරියෙකු අනුයුක්ත කළ යුතු වනවා.

මේ අනුව ගම් මට්ටමේදි ඒ ඒ ග්‍රාම නිලධාරී වසම් භාර ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සියලුදෙනාගේ සහයෝගයෙන් ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටුව හෝ ග්‍රාමීය ඩෙංගු මර්දන කමිටුව හා එක්ව කටයුතු කළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

මේ අතර එංගලන්තයේ සිට දිවයිනට අද පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සඳහා දියතලාව සහ වවුනියාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

හිරු ටී වී ඔස්සේ මේ වනවිට විකාශය වන කොරෝනා ඇත්ත – නැත්ත සජීවී සංවාදයට එක්වෙමින් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක බවයි.

පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන, එහෙත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන්ගෙන් වෛරසය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

රටවල් කිහිපයක් එක්ව සිදුකළ අධ්‍යයනයකදී සහ ඇමරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේ උද්ගතවූ තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.

කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් හරහා කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත විය හැකි බවට මීට පෙර ප්‍රකාශ කළද නවතම අධ්‍යයනවලදී තහවුරු වී ඇත්තේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගය වැළඳී තිබිය හැකි බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

IDH රෝහල අවට ජනතාව මුළු රටටම ආදර්ශයක් – නීතිඥ මධුර විතානගේ

(16.03.2020 – 16:33 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන අයි.ඩි.එච්. රෝහල අවට ‍ප්‍රදේශවාසීන්ගේ හැසිරීම මුළු රටේම ජනතාව ආදර්ශයට ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සංවිධායක නීතිඥ මධුර විතානගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත ඊයේ (15) අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහය දක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැතැයි ද පැවසු ඒ මහතා, නිතරම සත්‍ය තොරතුරු අනුව වැඩ කරන ලෙසත් පැවසීය.

අංගොඩ රෝහල ආසන්නයේ ජනතාව ඉතා වගකීම් සහගතව හැසිරෙන බව පෙනී යන බවත් පැවසු ඒ මහතා කියා සිටියේය.

මේ අතර ‘යුතුකම සංවිධානය’ ඊයේ (15) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වු ගෙවිඳු කුමාරතුංග මහතා පවසා සිටියේ මෙවන් මොහොතක රටේ ජනාධිපතිවරයා බවට ගෝඨාභය මහතා පත්ව සිටීම භාග්‍යයක් බවයි.

පසුගිය රජය සිටින විට මෙවැනි වසංගතයක් ඇති වුයේ නම් එහි ප්‍රතිවිපාක දරුණු බවත් පැවසු ඒ මහතා රට පාලනය කිරීමට තුනෙන් දෙකක බලයක් අනවශ්‍ය බවත් පැවසීය.

නමුත් ව්‍යවස්ථා සංශෝධනය සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක්

(16.03.2020 – 14:32 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ පියවර හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳව මේ මොහොතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධ මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක්ව තිබේ.

🔴රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව▸Press Conference at Government Information Department of Sri Lanka.▸அரசாங்க தகவல் திணைக்களத்தில் விஷேட ஊடக சந்திப்பு.#AdaDeranaLive #GOVPressLive #COVID19

Posted by Ada Derana Sinhala on Monday, March 16, 2020

+++++++++++++++++++++++++++++++++++

විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු ඇමතුම් වලින් 880 ක් නිරෝධායනයට

(16.03.2020 – 16:39 +0530 – lankadeepa.lk)

කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් සම්බන්ධ දැනුම් දීමේ අරමුණි පොලිස් මූලස්ථානය ස්ථාපිත කළ විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකතන ඇමැතුම් සමඟ මේ වන විට පුද්ගලයින් 880 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (16) පැවසීය.

ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් මෙලෙස නිරෝධායන කටයුතුවලට යොමු කර ඇතැයිද අජිත් රෝහණ මහතා එහිදී කීවේය.

ප්‍රවෘත්ති අමාත්‍යංශයේදී මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

කොරෝනා වයිරසය නිරෝධායන ට සහය දැක්වීමේ අරමුණින් එම සිද්ධීන් දැනුම් දීම සදහා පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත ඊයේ (15) ස්ථාපිත කෙරිණි.

එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු 011 244 4480 / 011 244 4481 / 011 597 8730 / 011 597 8734 / 011 597 8720 යන අංක හා iahd@police.lk විද්‍යුත් තැපෑල් ඔස්සේ මහජනයාට තොරතුරු ලබා දිය හැකිය ෴

+++++++++++++++++++++++++++++++++++

නිවාඩුව නොතකා ඇඟලුම් ආයතනයක සේවිකාවෝ වැඩට කැඳවති

(16.03.2020 – 15:40 +0530 – lankadeepa.lk)

මහියංගනය නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 350 කට අධික පිරිසක් සේවය සඳහා කැඳවා තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා මාර්තු මස 16 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් චක්‍ර ලේකනයක් නිකුත් කර තිබියදී එය නොසළකා මෙම ඇඟලුම් සේවිකාවන් කැඳවා ඇත.

මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද බණ්ඩාර රත්නායක, මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද්, මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර යන මහත්වරු ඇඟලුම් කම්හලට ගොස් පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර ඔවුනට අවවාද කර තිබේ.

පසුව හැකි ඉක්මණින් එම ඇඟලුම් සේවක සේවිකාවන් නිවෙස් කරා යොමු වන ලෙස අවවාද කර තිබිණි.

එය සැළකිල්ලට ගනිමින් ඇඟලුම් ආයතනයේ කළමනාකාරිත්වය අද (16) උදැසන 10:15 ට පමණ, බස් රථ කැදවා සේවයට පැමිණ සිටි සේවක සේවිකාවන් සියල්ල නිවෙස් කරා යොමු කරවීමට කටයුතු කරනු ලැබීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *