අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක (17,18,19) රජයේ විශේෂ නිවාඩුවක්

(17.03.2020 – 00:22 +0530 – hirunews.lk/sinhala)

රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා (17,18,19) එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.

බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජය ඉල්ලීමක් කරනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි

(16.03.2020 – 20:57 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරස ආසාදිත වී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ වනවිට එම ආසාදිත පුද්ගලයා අංගොඩ වසංගත රෝග රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටි‍යේය.

ඔහු අවසන් වරට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත තම ගුවන් යානය පදවා ගෙන පැමිණ ඇති බවත් , මෙම නියමුවා සමඟ කටයුතු කළ තවත් ශ්‍රීලන්කන් ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් ද මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බවද දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි ෴

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවා කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් ඇතිබවට තහවුරු වී තිබෙනවා. (hirunews.lk/sinhala)

+++++++++++++++++++++

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමක්

(17.03.2020 – biz.adaderana.lk)

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු පියාසර නිලධාරියෙකු හට කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන ප්‍රවෘත්තිවලට අමතරව, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට ගුවන් සමාගම බලාපොරොත්තු වේ.

අදාළ පළමු පියාසර නිලධාරියා සිය අවසන් දිගු මෙහෙයුම් පියාසැරිය සිංගප්පූරුව වෙත ගොස් ඇත්තේ 2020 පෙබරවාරි මස 28, වන දින වන අතර ඉන්පසුව ඔහු ක්‍රියාත්මක කළ සියලුම ගුවන් ගමන් ආපසු හරවා නැවත පැමිණීමේ ගුවන් ගමන් වේ.

අද (16) සවස ඔහුගේ වෛද්‍ය තත්ත්වය දැනගැනීමෙන් අනතුරුව පසුගිය දින 14 ක කාල සීමාව තුළ ඔහු සමඟ ගුවන් ගමන් සඳහා එක්වූ සියලුම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්, ඔවුන්ගේ කාලසටහන්වලින් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇත.

එයාර්ලයින්ස් සමූහයේ ආයතනික වෛද්‍ය නිලධාරීතුමිය රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ තත්ත්වය හොඳින් පරීක්ෂා කරමින් සිටියි.

ඔහු සති අන්තයේ (2020 මාර්තු 14,15) සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ සිට ඇති අතර ඒ පිළිබඳව එහි සිටි උපදේශකවරුන්ට සහ සෙසු කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් දී ඇත. නිසි විෂබීජ නාශක ක්‍රියාවලියක් සිදු කරන තෙක් එම ගුවන් යානා පුහුණු මධ්‍යස්ථානයේ ඇති සිමියුලේටර් අංගනයේ සියලුම පුහුණු කටයුතු නවතා දැමීමට කටයුතු යොදා ඇත.

සිය වටිනා මගීන්ට සුවපහසුව, රැකවරණය සහ ආරක්ෂාව සැපයීමේ ප්‍රමුඛතාවය සපුරාලීම සඳහා සහ සිය ශ්‍රම බලකායේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සියළුම පූර්වාරක්ෂක පියවර ගැනීමට ගුවන් සමාගම කටයුතු කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මුහුණු ආවරණවලට උපරිම සිල්ලර මිලක්

(16.03.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ රුපියල් 50 ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මාර්තු 1-15 ත් අතර ලංකාවට ආව අයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(16.03.2020 – 21:33 +0530 – sinhala.adaderana.lk)

2020 මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ කාලය තුළ ඔබ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණි අයෙක් නම්, ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙස ආරක්ෂ අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන සියලු දෙනාට එරෙහිව නිරෝධායන නිතීන් යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩිදුරටත් නිවේදනය කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

‘කොරෝනා ඇත්ත නැත්ත’ – විශේෂ වැඩසටහන (16.03.2020 – Hiru TV)

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලේ මොකද වෙන්නෙ..? කළගුණ දත් තරුණයෙක් කියපු කතාව

(16.03.2020 – nethnews.lk)

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශ විශාල කැප කිරීමක් සිදුකරමින් පවතින මොහොතක සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවමින් එම එම කටයුතු කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළ ආකාරය පසුගිය දින කිහිපය තුලම අපට අසන්නට දකින්නට ලැබුනා. එසේම එය බොහෝ දෙනෙකුගේ විවේචනයටද ලක්වුනා.

එවන් තත්වයක් තුල කළගුණ දත් තරුණයෙක් තමන්ට නිරෝධායනයේදී ලැබෙන පහසුකම් ගැන පසුගියදා ‘ෆේස්බුක් ලයිව්’ ඔස්සේ ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ ඇතුලු සියළුම රටවැසියන්ටද සිය ස්තූතිය ප්‍රකාශ කරමින්.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු මෙලෙස ප්‍රකාශ කළා :

“අපි ගුවන්තො‍ටුපොළේ සිට පැමිණෙද්දී VIP විදිහේ සැලකිල්ලක් ලබා දුන්නා. දරුවන් සිටින පවුල් වලට තනි කාමරත්, තනිකඩ පිරිමින්ට වෙනමත්, කාන්තාවන්ට වෙනමත් කාමර ලබා දුන්නා. අන්තර්ජාල පහසුකම්, අලුත්ම රූපවාහිනී, රෙදි සේදීමේ යන්ත්‍ර ලබා දුන්නා. පැකින් කැඩුවේ ඊයේ.

කෑම බීමේ කිසිම අඩුපාඩුවක් නෑ. උදේ 6 ට කිරි, හත හමාරට උදේ ආහාර, දහයට ප්ලේන්ටී හෝ කිරි තේ, දවල්ට දිවා ආහාරය, තුනට තේ, රාත්‍රී ආහාර, නිදා ගන්න කළින් කොත්තමල්ලි පානයක්. යුද හමුදාවෙන් අපිට කතා කරන්නේ ‘සර්’ කියලා. අපි ඔවුන්ට සර් කියන්න ඕන වෙලාවට ඔවුන් අපිට එහෙම ගරු කරද්දී හිතට හරිම වේදනාවක් දැනෙනවා.

ජනාධිපති තුමාට, අගමැතිතුමාට, යුද හමුදාපති තුමාට, රණවිරුවන්ට සහ අපිට මේ සඳහා බදු මුදල් දෙන ජනතාවට බොහොම පින්.

7500 කතාව සම්පූර්ණ බොරු. අපිට ඕන දත් බුරුසුව පවා නොමිලයේ දෙන්නේ. අනිත් නිරෝධායන මධ්‍යස්ථාන වල අයත් පුලුවන්නම් තමන්ට ලැබෙන සේවය ගැන කියන්න. අපිට කවුරුවත් කියල නෙමෙයි, ඒත් අපි ස්වෙච්ඡාවෙන් අපේ කාමර පිරිසිදුව තියාගන්නට සහයෝගය දෙනවා. නාන්න උණු වතුර පහසුකම් පවා අපිට ලබා දී තියෙනවා.”

එම වීඩියෝව පහතින් :

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා උවදුරෙන් බේරගන්න දිවා රෑ නොබලා දුක්විඳින අපේ හමුදා සෙබළුන්ගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලය කළඹයි

(17.03.2020 – 09:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් 06 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට දී හඳුනා ගත් මුළු කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගියා.

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම කඩිනමින් ආරම්භ කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

මේ අතර හමුදා සෙබළුන් අව්ව වැස්ස දිවා රෑ නොතකා මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී මහන්සිය නිවාගන්නා අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින් :

+++++++++++++++++++++++++++++++++++

අද (17) රාත්‍රී 8 ට ජනපති ජාතිය අමතයි

Tuesday, 17 March 2020 – 7:46

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ උද්ගතව ඇති තත්ත්වය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) රාත්‍රී 8 ට ජාතිය ඇමතීමට නියමිතයි.

අද (17) සිට දින 3 ක කාලයක් රජය විසින් විශේෂ නිවාඩු ප්‍රකාශයට පත් කළේ ද කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීමේ අරමුණෙන්.

මේ වන විට රට තුළ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් සැක සහිත පුද්ගලයින් 212 දෙනෙකු දිවයිනේ රෝහල් 16 ක ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

වෙළදපොළේ ඉන්ධන මිල අඩුවීමේ ලාභය, මෙරට කොරෝනා මර්දනයට

(17.03.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටීමෙන් හිමි වන ලාභය මෙරට කොරෝනා රෝග පාලනයට හා ජනතාවට සහන ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පසුගිය සතියේ සියයට 25 කින් පමණ පහත වැටුණු අතර, මේ වන විට තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 30 ක මට්ටමකයි.

කොරෝනා වෛරසය නිසා මේ වන විට මෙරට කොටස් වෙළදපොළ, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ඇතුළු ආදායම් මාර්ග රැසකට බලපෑම් ඇති කර අවසන්.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට මෙන්ම නිරෝධායන කටයුතු සඳහා රජයට වැය වන මුදල අතිමහත්.

එම කරුණු සැලකිල්ලට ගෙන ඉන්ධන මිල පහළ යාමේ වාසිය සමස්ත ජනතාවටම ලැබෙන පරිදි එම ලාභය මහාභාණ්ඩාගාරයට ලබාදීම සඳහා මේ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *