මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට (විඩියෝ)

• ගුවන් යානා පැමිණීම අත්හිටුවීම හෙට (18) මැදියම් රැයේ සිට

• කොරෝනා මර්දනයට තවත් තීරණ (විඩියෝ)

• කොරෝනා වෛරස වළක්වන්න අමෙරිකාවෙන් ලංකාවට පරිත්‍යාගයක්

• අගමැති උපදෙසින් කැළණියෙන් ඇරඹෙන රතන සූත්‍ර සජ්ඣායනය දින 3 ක් පුරා පැවැත්වෙන මාර්ග සිතියම මෙන්න

• සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ-ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල නැවත ආරම්භය අප්‍රේල් 20 වැනිදා

• මාර්තු 16 සිට අප්‍රේල් 15 දක්වා කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර වලංගු කාලය අවසන්වන දිනය ජුනි 30 දක්වා දීර්ඝ කරයි

• මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

• රුවන්පුරේ මැණික් ව්‍යාපාරකයකුටත් කොරෝනා

• පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනාට ඇප

• නිවසේ සිට නිරෝධායනයවීම යනු කුමක්ද..?

• බැංකු සහ මූල්‍ය ආයතනවල ණය අයකිරීම් මාස 6 කට නතර කරන්න ජනපති උපදෙස්

• පරිප්පු කිලෝ 1 කට රුපියල් 65 ක් සහ සැමන් ටින් 1 කට රුපියල් 100 ක උපරිම සිල්ලර මිලක්

• මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පලුදු නොකරන බවට සහතික වෙනවා – ජනපති

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

(17.03.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළගොස් ඇතිබව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ දැන් පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

දෙවනියට හමුවූ සංචාරක මගපෙන්වන්නාගේ බිරිඳ , අනෙක් පුද්ගලයා ජර්මනියේ සංචාරයේ යෙදුනු අයෙක්, එක්සත් රාජධානියේ සිට පැමිණි අයෙක් කැළණිය ප්‍රදේශයේ අයෙක්, මාරවිල ප්‍රදේශයේ අයෙක්, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි කටාර් සිට පැමිණි අවුරුදු 25 ක තරුණයෙක් ඒ අතර සිටින බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොරෝනා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට නව දුරකථන අංක 5 ක් හඳුන්වාදී තිබෙනවා.

එම දුරකථන අංක :

011 244 4480
011 244 4481

011 597 8720
011 597 8730
011 597 8734

+++++++++++++++++++++

+++++++++++++++++++++

🔴කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව▸LIVE: Special media briefing by National Operation Centre to Prevent Covid-19▸கொவிட் 19 கட்டுப்படுத்துவதற்காக அமைக்கப்பட்டுள்ள மத்திய நிலையத்தின் ஊடக சந்திப்பு

Posted by Ada Derana Sinhala on Tuesday, March 17, 2020

+++++++++++++++++++++++++++++++++++

ගුවන් යානා පැමිණීම අත්හිටුවීම හෙට (18) මැදියම් රැයේ සිට

(17.03.2020 – 17:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට (02) නතර කිරීම හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එම මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (17) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්අතේ පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බවයි.

මහ මැතිවරණය කල් දැමිය යුතු නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය පවතින බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය වර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් එවීමේ අවසාන දිනය අප්‍රේල් මස 09 වැනිදා දක්වා සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කෙරුණා.

මේ අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා සිසුන් බඳවා ගැනීම හෙට (18) සිදුකිරීමට නියමිතව තිබූ අතර, එය දින නියමයක් නොමැතිව කල් දැමූ බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කළා.

මේ අතර, දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 1200 ක් පමණ ඉදිරි දින කිහිපයේදී යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, එම කටයුතුවලට රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පහසුකම් සපයමින් සිටින බවයි නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

පසුගියදා දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කිරීමට පෙර ඉන්දියාවට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දනයට තවත් තීරණ

(17.03.2020 – 18:23 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

තීරණය හෙට (18) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද ජනාධිපතිවරයා විසින් දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමග අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබීය.

ප්‍රශ්නය ජය ගැනීමට අවශ්‍ය සියලු දේ කළයුතු වුවද රට අකර්මන්‍ය වීමට ඉඩ දිය නොහැකියැයි ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය.

නිවැරදි තීන්දු ගැනීමට තමා සූදානම් බව කී ජනධිපතිවරයා ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

සාකච්ඡාව ආරම්භ කරමින් කොරෝනා උවදුර ජය ගැනීමට රජය ගත් පියවර එකින් එක පැහැදිළි කළ ජනාධිපතිවරයා කාර්ය සාධක බලකාය ස්ථාපනය කළේ ජනවාරි 26 වැනිදා බව සඳහන් කළේය.

ඒ වන විට වෙනත් කිසිදු රටක එවැනි ආයතනයක් ආරම්භ කර තිබුණේ නැත.

චීනයේ වූහාන් නගරයේ සහ සෙසු නගරවල සිටී සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගනු ලැබූහ.

සිය රට එන අය නිරෝධායනය සඳහා ස්ථාන රැසක් විවෘත කරන ලදී.

සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ වෛරසය ව්‍යාප්තිය මර්දනය තවත් පහසු කිරීමේ අරමුණ ඇතිවය.

දැන් තවත් දින 03 ක් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු අංශවලට නිවාඩු දී ඇත.

වන්දනාව සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 300 ක් පමණ දෙනා ස්ථාන කිහිපයක රැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඔවුන් එක් තැනකට රැස් කොට යළි දිවයිනට ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීනට නියම කළේය.

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීමත් සමග වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමට ඉවහල් වන සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශගතව සිට සිය රට පැමිණ නිරෝධායනයට පාත්‍ර නොවී සැඟවී සිටින පුද්ගලයන් ගැන තොරතුරු සොයන ලෙසත් ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය.

“උද්ගතව ඇති ප්‍රශ්නය පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රයෝජනයට ගත යුතු නැත. පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ අවශ්‍යතාවයක් නොපවතී. මහ මැතිවරණය කල් දැමිය යුතු නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය තිබේ” ජනාධිපතිවරයා සඳහන් කළේය.

වෛරසයේ ව්‍යාප්තිය මුල් කොට ගෙන ජනතාව බියපත් කිරීමේ අරමුණ ඇතිව කට කථා සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද රැස්වීමේ දී අවධාරණය කරනු ලැබීය.

ආර්ථිකය සහ ජන ජීවිතය අඩාල වන අයුරින් නිවාඩු දීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සෞඛ්‍ය සහ අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරස වළක්වන්න අමෙරිකාවෙන් ලංකාවට පරිත්‍යාගයක්

(17.03.2020 – 17:30 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල තොගයක් අතුළු තවත් භාණ්ඩ කිහිපයක් ඇමරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී.ටී. ප්ලිට්ස් මහත්මිය විසින්ය.

ඇමරිකානු එක්සත් ජනපද විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතර ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් ඇත්වැසුම්, බර වැඩෙහි දී යොදාගත හැකි අත්වැසුම්, බුට් ආවරණ සහ පිරිසදුකාරක තොගයක් ඇති බව වාර්තා වෙයි.

මෙම භාණ්ඩ තොගය අද(17) ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති(විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා වෙත බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී භාර දී තිබේ.

අදාළ භාණ්ඩ තොගය ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට සහ ඔවුන් විසින් COVID-19 වෛරසය පැතීරීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමර්ගවලට සහය දෙනු ඇත.

+++++++++++++++++++++++++++++++++++

අගමැති උපදෙසින් කැළණියෙන් ඇරඹෙන රතන සූත්‍ර සජ්ඣායනය දින 3 ක් පුරා පැවැත්වෙන මාර්ග සිතියම මෙන්න

(17.03.2020 – 18:46 +0530 – hirunews.lk/sinhala)

අගමැති උපදෙසින් කැළණියෙන් ඇරඹෙන රතන සූත්‍ර සජ්ඣායනය දින 3 ක් පුරා පැවැත්වෙන මාර්ග සිතියම මෙන්න.

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලාංකික සියලු ජාතීන් ආරක්ෂා කරගැනීමේ අදිටනින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජංගම රතන සූත්‍ර සජ්ඣායනය කිරීමේ විශේෂ පිංකමක් ආරම්භ කර තිබෙනවා.

ඒ බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු ආමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්.

මෙම සුවිශේෂී වැඩපිළිවෙළ යටතේ අගනුවර කේන්ද්‍රකරගනිමින් ජංගම රතන සූත්‍ර සජ්ඣායනය සිදුකෙරෙණු ඇති.

ඒ අනුව ජංගම රතන සූත්‍ර සජ්ඣායනය අද (17) පස්වරුවේ සිට එළඹෙන 19 වනදා දකවා ක්‍රියාත්මකවනු ඇති.

අද එනම් 2020-03-17 දින මෙම ජංගම රතන සූත්‍ර සජ්ඣායනය කැලණි විහාරය අසලින් ආරම්භ වී හිඹුටවැල්ලගොඩ චිත්තභ්‍යාස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

2020-03-18 දින හිඹුටවැල්ලගොඩ චිත්තභ්‍යාස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසලින් ආරම්භවන ජංගම රතන සූත්‍ර සජ්ඣායනය කොටුව සම්බුද්ධාලෝක විහාරය වෙත පැමිණීමට නියමිතයි.

2020-03-19 දින කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලින් ඇරඹෙන ජංගම රතන සූත්‍ර සජ්ඣායනය පානදුර රන්කොත් වෙහෙර අසළින් නිමා කෙරෙනු ඇති.

ජංගම රතන සූත්‍ර සජ්ඣායනය සිදුවන මාර්ගයන් පහතින් :

+++++++++++++++++++++++++++++++++++

සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ-ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල නැවත ආරම්භය අප්‍රේල් 20 වැනිදා

(17.03.2020 – 18:50 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 20 වැනිදා දින සිට ආරම්භ කරනු ලබන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

රටෙහි පවත්නා කෝවිඩ්-19 රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

මාර්තු 16 සිට අප්‍රේල් 15 දක්වා කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර වලංගු කාලය අවසන්වන දිනය ජුනි 30 දක්වා දීර්ඝ කරයි

(17.03.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මෙම මස 16 සිට අප්‍රේල් මස 15 දක්වා ඇතුලත වලංගු කාලය අවසන්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය අවසන් වන දිනය ජුනි මස 30 දක්වා දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

(17.03.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් රෝගීන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි ෴

+++++++++++++++++++++++++++++++++++

රුවන්පුරේ මැණික් ව්‍යාපාරකයකුටත් කොරෝනා

(17.03.2020 – 18:17 +0530 – lankadeepa.lk)

රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

එම රෝගියා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට රත්නපුර මහ රෝහල මගින් කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම වෛරස ආසාදිත පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා සමඟ ගනුදෙනු කළ අයෙකු බව සෞඛ්‍ය අංශ කළ සොයා බැලීමේදී අනාවරණය වී තිබේ.

කොරෝනා වෛරසයෙන් ආරක්‍ක්‍ෂා වීමට මහජනයා විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳීසිටීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ පවසයි. එසේම යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත නම් එම පුද්ගලයන් වහාම රජයේ රෝහල කරා යොමු වී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ පවසයි.

රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස ආසාදිත යැයි තහවුරු වී නොමැති සැක සහිත රෝගීන් 14 ක් අතරින් රෝගීන් 7 කට වැඩි ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව රෝගීන්ගේ සාම්පල පරීක්‍ෂණ වාර්තා අනුව තහවුරු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනාට ඇප

(17.03.2020 – 17:22 +0530 – lankadeepa.lk)

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් සුරංග අසේල ද සිල්වා මහතා අද (17) නියෝග කළේය.

සෞඛ්‍ය නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධව ප්‍රාදේශීය සභාපති ඇතුළු මන්ත්‍රීවරු චෝදනා ලැබ සිටිති.

නඩුව අගෝස්තු 28 වැනිදා යළි කැදවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

වැලිකන්ද ප්‍රාදේශීය සේවා කාර්යාලයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් කොරෝනා ආසාදිතයින් රැඳවීමට තාවකාලික රෝහලක් ලෙස පත් කිරිම පිළිබඳව පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් එහි ගිය විටදී සභාපති ඇතුළු මන්ත්‍රීන් තිදෙනා එම නිලධාරි කණ්ඩායමේ රාජකාරියට බාධා කළැයි රෝහල් අධ්‍යක්ෂක වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව සභාපතිවරයා, උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරයාද නිතිඥයකු මාර්ගයෙන් වැලිකන්ද පොලිසියට ඉදිරිපත් කිරිමෙන් පසුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි ෴

+++++++++++++++++++++++++++++++++++

නිවසේ සිට නිරෝධායනයවීම යනු කුමක්ද..?

(17.03.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දින 14 ක කාලයක් නිවසේ සිට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබුණා.

නිවසේ සිට නිරෝධායනයවීම යනු කුමක්ද..?

‘නිවසේ සිට නිරෝධායනය’ යන සංකල්පය යටතේ සිදු කෙරෙන්නේ පෙනුමෙන් සෞඛ්‍ය සම්පන්න, එහෙත් අවදානම් සහිත තැනැත්තෙකු සෞඛ්‍ය සේවා සපයනු නොලබන ව්‍යූහයක් යටතේ වෙන් කර තැබීමයි. නිවසේ සිට නිරෝධායනයේදී අනුගමනය කළයුතු ප්‍රධාන කරුණු 10 ක් තිබෙනවා. එනම්, විදේශ ගතව සිට පැමිණි පුද්ගලයා යහපත් වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන්ව සිටීම. පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමඟ ගනුදෙනු කිරීමේදී අවම මට්ටමින් මීටරයක පරතරයක් පවත්වා ගැනීම. නිරන්තරයෙන් සබන් යොදා තත්පර 20 ක් පමණ දෑත් සේදීම. පිරිසිදු නොකළ දෑතින් ඇස්, නාසය සහ මුඛය නොඇල්ලීම. නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් වෙන් කර ලද පිඟන්, කෝප්ප, ඇඳ ඇතිරිලි පවත්වාගෙන යාම සහ එවැනි දෑ සබන් යොදා නිසි ලෙස සෝදා පිරිසිදු කර ගැනීම. නිවසේ සිටියදීම දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම යන කරුණු ප්‍රධාන වනවා.

ඊට අමතරව ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන අවස්ථාවලදී උණ තත්ත්වයක් හඳුනා ගන්නේ නම් සහ කැස්ස, ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම.

නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් භාවිත කිරීම සඳහා වෙනම වැසිකිලි පහසුකම් නොමැති අවස්ථාවලදී පවුලේ සෙසු සාමාජිකයින් වැසිකිලි භාවිතයට පෙර ජල කරාම ආදිය සබන් යොදා පිරිසිදු කර ගැනීම. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හැකි තරම් අමුත්තන් හමුවීමෙන් වැළකී සිටීම සහ අමුත්තන් හා කතා බහ කිරීමෙන් වැළකීම. නිරෝධායනයට ලක්වන තැනැත්තා භාවිත කරන මුහුණු ආවරණ, අත්වැසුම් ආදිය නිසි පරිදි බැහැර කර ආවරණය කරන ලද බඳුන්වලට බහාලීම යන කරුණු ද ස්වයං නිරෝධායනයේදී අනුගමනය කළයුතු කරුණු ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙනවා.

+++++++++++++++++++++++++++++++++++

බැංකු සහ මූල්‍ය ආයතනවල ණය අයකිරීම් මාස 6 කට නතර කරන්න ජනපති උපදෙස්

(17.03.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)

බැංකු සහ මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති ණය අයකිරීම් මාස 6 කට නතර කිරීමට ජනපති නියෝග කර තිබෙනවා ෴

+++++++++++++++++++++

පරිප්පු කිලෝ 1 කට රුපියල් 65 ක් සහ සැමන් ටින් 1 කට රුපියල් 100 ක උපරිම සිල්ලර මිලක්

Tuesday, 17 March 2020 – 21:02

අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝ 1කට උපරිම සිල්ලර මිල රුපියල් 65කට සහ සැමන් ටින් 1ක උපරිම මිල 100කට විකිණීමට ජනපති උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++

මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පලුදු නොකරන බවට සහතික වෙනවා – ජනපති

(17.03.2020 – 22:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හා වත්මන් තත්ත්වය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

= ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය =

අතිපූජනීය මහානායක ස්වාමීන්වහන්සේලා ඇතුලු ගරුතර මහාසංඝරත්නයෙන් අවසරයි. කිතුණු හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන් ද අවසරයි. මව්වරුණි පියවරුණි දූදරුවනි.

අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.

මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුනත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වනදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කලා.

ජනවාරි මස 27 වනදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර කලා. ඇය පෙබරවාරි 19 වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපලේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කල නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුල දින 14 ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොලෙන් ලංකාවට පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුනා.

වෛරසය ආසාදිත චීන කාන්තාව හඳුනාගැනිමෙන් පසු මාසයක් පමණ කාලයක් තුල අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතිරුන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුනා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුනා.

මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුනා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

මාර්තු 13 දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුනා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව ,කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්ණය සම්පුර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.

රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි.

රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි.
බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක් තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.

ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි වුනේ ඒ නිසායි.

නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි.

ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකල යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුල අනිසි බියක් ඇති නොකල යුතුයි.

අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.

අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.

රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පලුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි.

තෙරුවන් සරණයි !

ජනාධිපති ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය▸President Gotabaya Rajapaksa addresses the nation▸ஜனாதிபதியின் நாட்டு மக்களுக்கான விசேட உரை

Posted by Ada Derana Sinhala on Tuesday, March 17, 2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *