මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් දක්වා ඉහළට (විඩියෝ)

• IDH රෝහලේ කාර්ය මණ්ඩලය විශේෂ ඇගයීමකට

• කොරෝනා වෛරස ව්‍යාප්තිය පරාජයකරන්න පෙරට එන පරිත්‍යාගශීලීන් (විඩියෝ)

• ජාඇලට – වත්තලට පොලිස් ඇඳිරි නීතිය (විඩියෝ)

• අලුත් ආර්ථික පැකේජයක්

• මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට පියවර

• පක්ෂ කිහිපය නාමයෝජනා ඉවතට (විඩියෝ)

• ගෙදරදී නිරෝධායනය වන හැටි

• මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන පොහොට්ටුවේ අපේක්ෂකයන්

• කොරෝනා වෛරසයට ජපානෙන් පෙත්තක්

• බ්‍රිතාන්‍යෙය් රැඳී සිටි ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙක් දිවයිනට – සියලු දෙනා නිරෝධායනයට (විඩියෝ)

• රුපියලේ අගය තවදුරටත් පහතට

• රත්නපුරයම අනතුරට දමමින් කරක් ගැසූ මැණික් ව්‍යාපාරිකයාගේ පවුලටම කොරෝනා – තවත් පිරිසකට ඇතැයි විශ්වාසයක්

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් දක්වා ඉහළට

(19.03.2020 – 16:21 +0530 – sinhala.adaderana.lk)

අද (19) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 07 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් දක්වා ඉහල ගොස් ඇති බව අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේය.

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.

අද (19) දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුඩා ළමයෙකු ද වන බව ඔහු සදහන් කළේය.

මීට අමතරව කොරෝනා වෛරසයේ සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම්කරන පුද්ගලයින් 243 ක් දිවයිනේ රෝහල් 15 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදීසිටින බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

ඒ අතර විදේශිකයින් සිව් දෙනෙකු ද වන බව ඔවුන් පවසන්නේය.

+++++++++++++++++++++++++++++++++++

IDH රෝහලේ කාර්ය මණ්ඩලය විශේෂ ඇගයීමකට

(19.03.2020 – 23:16 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ දැනට පවතින අවශ්‍යතාවයන් සොයා බැලීම සදහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අද (19) පස්වරුවේ එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල අවශ්‍යතාවයන් පිළිබදව සොයා බලා ඒවාට පිළියම් ලබා දෙන ලදී.

දැනට රෝහල තුළ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 50 දෙනෙකු හා සැක සහිත රෝගීන් 23 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර, මෙම රෝගීන් සදහා ඖෂධ ඇතුළු සියළු පහසුකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මෙහිදී පවසන ලදී.

මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය :

“අද දින අයි.ඩී.එච් රෝහලට මම ඇතුලු නිලධාරින් පැමිණීයේ කොරෝනා වෛරසය ආසාදිතයින් සියලු දෙනාට ප්‍රතිකාර කරනු ලබන රෝහල වන්නේ මෙම රෝහල නිසා සහ එම වෛරසය ආසාදිත රෝගීන්ට දිවා රෑ වෙහෙසෙමින් රෝගී සත්කාර සේවාවන් සිදු කරන රොහලේ අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමට ලක් කිරීමටයි.

රජයක් විදිහට අපට වගකිමක් තිබෙනවා ඔවුන්ට ශක්තිය, ධෛර්ය, ප්‍රසාදය, ස්තූතිය පළ කිරීමට.

එම දිරිගැන්වීම ලබාදීමටත් රජයක්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් මේ සියලු කාර්ය මණ්ඩල වෙත අපගෙන් සිදු විය යුතු තවත් දේ තිබේ නම් ඒ පිළිබද සොයා බැලීම්‍ත් මෙහිදී අප විසින් සිදු කරනු ලැබුවා.”

මේ අතර මෙම රෝහල් පරිශ්‍රය තුළ තවත් ආසාධිත රෝගීන් 20 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබාදීමට හැකි වන පරිදි විශේෂිත වාට්ටුවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදි කරනු ලබන අතර එම කටයුතු ගුවන් හමුදාව විසින් සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අවධාරණය කරන ලදී.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලබන සේවාව විශේෂ ඇගයීමකට ලක් කරන ලදී. මෙදින අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රෝගී ප්‍රතිකාර වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ මෙවලම් කට්ටල තොගයක්ද රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරස ව්‍යාප්තිය පරාජයකරන්න පෙරට එන පරිත්‍යාගශීලීන්

(19.03.2020 – 22:40 +0530 – sinhala.adaderana.lk)

පැතිර යමින් පවතින නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පරාජය කිරීමට නම් රටක් ලෙස අප සියලු දෙනා ඊට හැකි අයුරින් දායක විය යුතුයි.

ඒ සඳහා පෙරට එන , මෙරට නවෝත්පාදකයන් සහ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු ගැනයි මේ අනාවරණය.

අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක ජනතාවට දෑත්පිරිසිදු කරගැනීම සඳහා වතුර ටැංකි සමග ජල බේසම් සවිකර තිබෙන ආකාරය දැක ගත හැකි වුණි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ජල කරාමය අතින් කරකැවීම වෙනුවට කකුලෙන් පෑගීම මගින් ක්‍රියාත්මක කළ හැකි ලෙස සකස් කර තිබීමයි.

මෙම නව උපකරණය ‘අනුරාධපුර සුලවත් පවුරේ’ ප්‍රජා සත්කාරයක් ලෙස එහි සඳහන්ය.

ජලය පැපයීම සිදු කරන්නේ අනුරාධපුර නගර සභාව හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධවයි.

මනුසත් දෙරණ සහ DSI එක්ව IDH රෝහලේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන සපත්තු, සෙරෙප්පු, වතුර බෝතල් සහ ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීම අද (19) සිදුකෙරුණි.

මේ අතර අයි.ඩී.එච් රෝහල සදහා විවිධ සෞඛ්‍ය උපකරණ අවශ්‍යව පවතින බව හා ඒවා පරිත්‍යාග කරන ලෙස දන්වමින් සමාජ ජාල ඔස්සේ පළවන ප්‍රචාර අසත්‍ය බව එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

හැටන් ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක්ව මුඛ ආවරණ මසා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේය.

‘හැටන් යන්ග් බ්‍රදර්’ ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් එක්ව කපු රෙදිවලින් මසා නිම කරන ලද මුඛ ආවරණ හැටන් බස් නැවතුම්පොලට රැගෙන විත් මගී ජනතාවට මෙන්ම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් හට බෙදා දෙනු ලැබුවේය.

මේ අතර අම්බලංගොඩ වතුගෙදර ‘මනහර ක්‍රීඩා සමාජයේ’ සාමාජිකයින්ද අද මුඛ ආවරණ නිෂ්පාදනය ආරම්භ කරනු ලැබූවේය.

ඔවුන් මෙලෙස මුඛ ආවරණ සකස් කරන්නේ බලපිටිය මූලික රෝහලේ ප්‍රයෝජනය සඳහා නොමිලේ ලබාදීම සඳහායි.

මගී ජනතාවට දෑත් පිරිසිදු කර ගැනීම සඳහා සියඹලාපේ කහගලහේවා ‘අසරණ සරණ සමාජ සේවා පදනම’ මගින් ඊයේ (18) පස්වරුවේ බියගම ප්‍රදේශයේ ස්ථාන ගණනාවක ජල බේසම් ස්ථාපිත කිරීම සිදු කළේය.

එම පදනමේ සභාපති නිමල් රෝහිත මහතාගේ මූලික වියදමින් බියගම, සියඹලාපේ, වඩුවේගම, පේරගස්හංදිය යන ප්‍රදේශවල ප්‍රධාන බස්නැවතුම්පලවල 20 ක මෙලෙස ජල බේසම් ස්ථාපිත කෙරුණි.

ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා උපයෝගී වන ඉගුරු, කොත්තමල්ලි හා සූදුරු යොදා සකස් කරන ලද ඖෂධීය දන්සැලක් අද කන්තලේ හංදියේදී පැවැත්වුණි.

‘කන්තලේ තරුණකැල’ විසින් මෙය සංවිධාන කර තිබුණි.

නීතිවිරෝධී එතනෝල් ලීටර් ලක්ෂයක් විෂබීජ නාශක ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම එතනෝල් ප්‍රමාණය යොදා ගනිමින් විෂබීජ නාශක ලීටර් එක්ලක්ෂ 20,000 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවයි.

+++++++++++++++++++++++++++++++++++

ජාඇලට – වත්තලට පොලිස් ඇඳිරි නීතිය

(19.03.2020 – 21:55 +0530 – sinhala.adaderana.lk)

අද (19) රාත්‍රී 10:00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඇඳිරි නීති කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එම බල ප්‍රදේශ හරහා ගමන් කරන පොදු මගී සේවා වාහන සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලබන බව පොලීසිය සඳන් කළේය.

මේ අතර අද (19) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 07දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් දක්වා ඉහල ගොස් ඇති බව අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේය.

අද (19) දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුඩා ළමයෙකු ද වන බව ඔහු සදහන් කළේය.

මීට අමතරව කොරෝනා වෛරසයේ සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම්කරන පුද්ගලයින් 243 ක් දිවයිනේ රෝහල් 15 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදීසිටින බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

ඒ අතර විදේශිකයින් සිව් දෙනෙකු ද වන බව ඔවුන් පවසන්නේය.

+++++++++++++++++++++++++++++++++++

අලුත් ආර්ථික පැකේජයක්

(19.03.2020 – 21:36 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පැතිරීමත් සමග මෙරට ආර්ථිකයට එල්ල වූ අභියෝගවලට මුහුණ දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආර්ථික පැකේජය සහිත කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ අතර පරිප්පු, සැමන් සහ ලොකු ළූණු මිල අඩු කිරීමට පියවර ගත්තද කිසිදු ආකාරයකින් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙයි.

පරිප්පු කිලෝග්‍රෑමයක උපරිම මිල රුපියල් 65 ක් සහ සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100 ක්, ආනයනික ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් ලෙස පසුගියදා රජය මිල නියම කළේය.

ඒ අනූව කොළඹ, ගාල්ල, වලස්මුල්ල, හලාවත ඇතුළු ප්‍රදේශ රැසක වෙළෙඳ සැල් ආශ්‍රිතව අද දිනයේත් දිගු පෝලිම් දක්නට ලැබුණි.

එක් පුද්ගලයෙකු සඳහා පරිප්පු කිලෝ ග්‍රෑමයක් හා සැමන් ටින් 2 බැඟින් සීමා කර අලෙවි කිරීමට ඇතැම් අලෙවි සැල් වලින් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය වළක්වාගැනීම සඳහා ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කර තිබියදීත් මෙම පෝලිම්වල රැඳී සිටි ජනතාව සහ වෙළෙඳ සැල් සේවකයින් බොහෝ පිරිසක් අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කරන ආකාරය දක්නට ලැබුණේ නැහැ.

‍මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ජනතාව සහ වෙළෙඳ සැල් සේවකයින් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

මේ අතර කිසිදු ආකාරයකින් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මේ අතර සැමන් සහ පරිප්පු මිල අඩු කිරීම මැතිවරණය ඉලක්ක කර සිදුකළ ක්‍රියාවක් නොවන බවත්, අදාළ මිල අඩු කිරීම අවම වශයෙන් මාස 6 ක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් අඩංගු කන්ටේනර් 90 ක් රේගුවෙන් නිදහස් කළ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

මේ අතර වසරක් දක්වා ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යෑම සඳහා ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ අතර කොරෝනා වෛරසය පැතිරීමත් සමග මෙරට ආර්ථිකයට එල්ල වූ අභියෝගවලට මුහුණ දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික පැකේජයක් හඳුන්වා දී ඇතැයිද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට පියවර

(19.03.2020 – 21:06 +0530 – sinhala.adaderana.lk)

COVID-19 වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළඳපොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගෙන තිබේ.

1949 අංක 58 දරණ මූල්‍ය නීති පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතෙහි විධිවිධානවලට අනුව මෙම පියවරයන් ගන්නා ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලයක් තුළ පහත සඳහන් පියවරයන් අනුගමනය කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත.

  1. 2020 අංක 01 දරණ බැංකු පනත යටතේ විශේෂයෙන් බැහැර කර ඇති ඒවා හැර අනෙකුත් සියලුම වර්ගයේ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි යටතේ පහසුකම් සැපයීම අත්හිටුවීම.
  2. 2020 අංක 01 දරණ බැංකු පනතෙහි දක්වා ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීම සඳහා ණයවර ලිපි යටතේ අත්තිකාරම් ගෙවීම් සහ භාර ගැනීම් අත්හිටුවීම.
  3. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීම අත්හිටුවීම.

ඊට අමතරව, විදේශ විනිමය බලයලත් වෙළෙඳුන්ට සංචාරක දීමනාවක් ලෙස විදේශ මුදල් නෝට්ටු නිකුත් කිරීමට අවසර දී ඇත්තේ උපරිම ඇමරිකානු ඩොලර් 5,000 (හෝ වෙනත් විදේශ මුදල් වලට සමාන) ක් දක්වා පමණි ෴

+++++++++++++++++++++++++++++++++++

පක්ෂ කිහිපය නාමයෝජනා ඉවතට

(19.03.2020 – 20:07 +0530 – sinhala.adaderana.lk)

අද (19) දහවල් 12:00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01:30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී තිබුණි.

එම විරෝධතා සලකා බැලීමෙන් පසු විවිධ පක්ෂවලින් ඉදිරිපත් කළ නාමයෝජනා දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතික්ෂේප වී තිබුණි.

ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂය විසින් කොළඹ, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු කණ්ඩායමට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු කණ්ඩායමට නාමයෝජනා අහිමි විය.

+++++++++++++++++++++++++++++++++++

ගෙදරදී නිරෝධායනය වන හැටි

(19.03.2020 – 20:00 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ සිටම ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

එවන් පසුබිමක එය නොතකා විනෝද චාරිකාවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසීය නිවේදනය කරයි.

අත්‍යවශ්‍යම හේතුවකට හැර නිවසින් බැහැරට නොයන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති පසුබිමක ඒ පිළිබදව කිසිදු තැකීමක් නොමැතිව, සිරිපා වන්දනාවට එක්වීමට පැමිණි විදේශීකයන් ඇතුළු ලාංකිකයන් පිරිසක් නැවත හරවා යැවීමට හැටන් පොලිසීය අද පියවර ගත්තේය.

වන්දනාවේ යාම සඳහා රථ වාහන වලින් සහ දුම්රියෙන් පැමිණෙන මගීන්ට හැටන් සිට නල්ලතන්නිය දක්වා ගම්නකිරීම අත්හිටුවීමද පියවර ගෙන තිබුණි.

එමෙන්ම කළුතර කැලිඩෝ වෙරළ තීරයට ඊයේ (18) දිනයේදීත් විශාල පිරිසක් පැමිණ සිටියේය.

එහෙත් අද (19) එම ස්ථානයට පොලිසීය ආරක්ෂාව යොදවා තිබීම නිසා මහජනතාව වෙරළ තීරයට පැමිණීමෙන් වැළකී තිබුණි.

මුළු රටේම ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන පසුබිමක ඊයේ (18) රාත්‍රී බේරුවල මස්සල ප්‍රදේශයේ පැවැත්වූ ෆේස්බුක් සාදයක් පොලිසීය විසින් වටලනු ලැබුවේය.

එහිදී කාන්තාවන් දෙදෙනකු ඇතුලු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් තමාගේත්, අනෙකාගේත් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ තැකීමක් නොමැතිව, මෙම අවස්ථාවේ විනෝදසවාරිවල නිරතවන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසීය පවසයි.

නිවසේ සිට නිරෝධායනය වීම යනු කුමක්ද?

එහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 10 ක් තිබේ.

  1. එනම් නිරෝධායනයට ලක්වන පුද්ගලයා හොඳ වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සමාජිකයන්ගෙන් වෙන්ව සිටීම
  2. පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමග ගනුදෙනු කිරීමේදී අවම මට්ටමින් මීටරයක පරතරයක් පවත්වා ගැනීම
  3. නිතරම සබන් යොදා තත්පර 20 ක් පමණ දෑත් සේදීම
  4. පිරිසිදු නොකළ දෑතින් ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ නොකිරීම
  5. නිරෝධායනයට ලක්වන පුද්ගලයා සඳහා පිගන්, කෝප්ප, ඇඳ ඇතිරිලි වෙන් කර භාවිත කිරීම සහ ඒවා සබන් යොදා නිසි ලෙස සෝදා පිරිසිදු කර ගැනීම
  6. නිවසේදීම දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම
  7. නිරෝධායනයට ලක්ව සිටින දින 14 තුළ උණ කැස්ස සහ ශ්වසන අපහසුතා වැනි රෝග ලකෂණ ඇතිවුවහොත් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කිරීම
  8. නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් වෙනම වැසිකිළි පහසුකම් සැපයීමට නොහැකි නම් පවුලේ සෙසු සාමාජිකයන් වැසිකිළිය භාවිතයට පෙර දොර අගුලු , ජල කරාම ආදිය සබන් යොදා පිරිසිදු කර ගැනීම
  9. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හැකි තරම් අමුත්තන් හමුවීමෙන් වැළකීම
  10. නිරෝධායනයට ලක්වන පුද්ගලයා භාවිත කරන මුහුණු ආවරණ , අත්වැසුම් ආදිය නිසි පරිදි ආවරණ කරන ලද බඳුන්වලට බැහැර කිරීම යන කරුණුයි.

මෙම උපදෙස් නිසි ලෙස අනුගමනය කරන්නේ නම් ඔබට ඔබවත්,අන් අයවත් නිසැකවම ආරක්ෂා කර ගත හැකිවනු ඇත ෴

+++++++++++++++++++++

***************************************

මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන පොහොට්ටුවේ අපේක්ෂකයන්

(19.03.2020 – 18:57 +0530 – truenews.lk)

මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම් මහත්වරුන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

ඊට අමතරව ජනාධිපති නීතීඥ අලී සබ්රි, මහාචාර්ය වරිත හේරත්, හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස හා හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහත්වරුන්ටද ජාතික ලැයිස්ති නියෝජනයන් හිමිව තිබේ.

සම්පූර්ණ නාමලේඛනය මෙසේය :

මහාචාර්ය ජී.ඇල්. පීරිස්
මොහොමඩ් උවයිස් මොහොමඩ් අලි සබරි
ගෙවිඳු කුමාරතුංග

මාපා මුදියන්සේලාගේ තනුජ ධම්මික රත්මලේ
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
මහාචාර්ය තිස්ස විතාරණ

පෙරුමාල් රාජදුරෙයි
යදාමිණී නරෝදම් රූපසිංහ ගුණවර්ධන
අජිත් නිවාඩ් කබ්රාල්

මංජුලා විජේකෝන් දිසානායක
මොහොමඩ් ෆලීල් මරිජාන් අස්මි
නිමල් ආර්. රණවක

ධර්මසේන කලන්සුරිය
ආචාර්ය සුරේන් රාඝවන්
තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්

මහාචාර්ය චරිත හේරත්
දොරෙයිසොමි මාතියුගරාජා
විජේසේකර ආරච්චිගේ දොන් උපුල් නිශාන්ත

වෛද්‍ය ජී. වීරසිංහ
සමරක්කොඩි ජයලත් වසතා සරෝජනී ජයලත්
විමල් ගීගනගේ

ජයන්ත වීරසිංහ
වෛද්‍ය සීතා කුමාරි අරඹෙපොල
වල්ගම හේමවලුගේ පියදාස

මහාචාර්ය රංජිත් බණ්ඩාර
ටිරාන් අලස්
මොහොමඩ් මුසම්මිල්

කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා
හපුතන්ත්‍රී ගමගේ සාගර කාරියවසම්

***************************************

කොරෝනා වෛරසයට ජපානෙන් පෙත්තක්

(19.03.2020 – 19:29 +0530 – sinhala.adaderana.lk)

ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (Avigan) නම් ඖෂධය, කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත්, ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයන්ට මෙම ඖෂධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත්, එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කළ බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම දින හතරක් වැනි කාලයක් ඇතුළත සුව අතට හැරුණු බවත් ඔහු අනාවරණය කළේය.

මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව චීනය මේ වනවිට මෙම ඖෂධය වානිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර , ඉදිරියේදී මහා පරිමාණයෙන්, මෙම අවිගන් (Avigan) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

බ්‍රිතාන්‍යෙය් රැඳී සිටි ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙක් දිවයිනට – සියලු දෙනා නිරෝධායනයට

(19.03.2020 – 19:17 +0530 – sinhala.adaderana.lk)

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට මගීන් ඇතුළත් කරගැනීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට සතියක කාලයකට අත්හිටවනු ලැබුවේය.

නමුත් දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් අද (19) අළුයම 03:40 ට පමණ නවදිල්ලි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබුවේය.

මේ අතර ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව බ්‍රිතාන්‍යෙය් රැඳී සිටි ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකු අද (19) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට ගෙන්වු අතර ඔවුන් සියලු දෙනාම නිරෝධාන කටයුතු සඳහා යොමු කෙරුණි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛසරය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවීම සඳහා, හෙට (20) දිනයේ සිට මේමස 27 වනදා දක්වා රජයේ වැඩකරන දින 06 ක කාලය, නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය අද (19) තීරණය කළා.

මෙවන් අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවි පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර මහතා විසින් මෙම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.

මෙම තීරණය රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවලට අදාළව ක්‍රියාත්මක කෙරෙන අතර මෙම කාල සීමා රජයේ නිවාඩු දින ලෙස නොසැලකෙන බවයි රජය දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය, පළාත් පාලන, ප්‍රවාහන , බැංකු, ආහාර, ජලය, විදුලිය ආදි සැපයුම් සේවා මෙන්ම පොහොර බෙදා හැරිම, වී මිලදී ගැනිම ඇතුළත්ව අත්‍යවශ්‍ය සේවා සැපයීම අඛණ්ඩව සිදු කිරිම සඳහා අදාළ බලධාරින් පියවර ගත යුතු වේ.

එමෙන්ම අදාළ ආයතන ප්‍රධානීන් විසින් හැකිතාක් දුරට තම කාර්යය මණ්ඩලය කාර්යාල තුළට කැඳවා ගැනීමෙන් තොරව විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ හා දුරකථන ආදි තාක්ෂණ ක්‍රමවේදයන් හා ලිපිගොනු ගෙන්වා ගැනිම වැනි විකල්ප ක්‍රියාමාර්ග යොදා ගනිමින් සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනිමට ඔවුන් වගබලාගත යුතු බවයි රජය පෙන්වා දෙන්නේ.

මීට අමතරව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා මෙම මස වැටුප එළඹෙන සඳුදා දින (23) ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් ලබා දි තිබේ.

***************************************

රුපියලේ අගය තවදුරටත් පහතට

(19.03.2020 – 18:09 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීමක් අද (19) දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188 යි ශත 20 ක් ලෙසයි.

කොවිඩ්-19 වෛරසයේ ආර්ථිකමය බලපෑම මෙලෙස රුපියලේ අගය පහත වැටීමට හේතුව ලෙස සැලකෙනවා ෴

***************************************

රත්නපුරයම අනතුරට දමමින් කරක් ගැසූ මැණික් ව්‍යාපාරිකයාගේ පවුලටම කොරෝනා – තවත් පිරිසකට ඇතැයි විශ්වාසයක්

(20.03.2020 – 06:47 +0530 – lankaleadnews.com)

කොවිඩ් 19 වැලඳී අයි.ඩී.එච්. රෝහලට යැවූ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ බිරියට හා 12 හැවිරිදි දියණියටත් රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග ඔවුන් දෙදෙනා ද අද (19 වැනිදා) පස්වරුවේ අයි.ඩී.එච්. රෝහලට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බව සබරගමුව පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ සෞඛය සේවා අධ්‍යක්ෂවරයා මෙසේද පැවසීය.

මෙම පුද්ගලයාගේ බිරිඳ හා දියණිය පිළිබඳව සිදු කළ පරීක්ෂණ අනුව ඔවුන් දෙදෙනාටද මෙම රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගත්තා. ඒ අනුව ඔවුන් දෙදෙනාද අද අයි.ඩී.එච්. රෝහලට යැවීමට කටයුතු කළා.

මෙම පුද්ගලයා රත්නපුරේ මැණික් ව්‍යාපාරික කටයුතු සිදු කරන අඹ ගහයට ප්‍රදේශයට හා තවත් ස්ථාන රැසකත් අවමඟුල් ගෙදරකටත් ගොස් ඇති බවට තහවුරු වී තිබීම නිසා ඔහු හා ළඟින් ඇසුරු කළ සියලුදෙනාට නිවෙස් තුළම නිරෝධායන කටයුතු සිදුකර ගන්නා ලෙසත් යම් සංකූලතාවක් දැනුනහොත් වහාම රෝහල් වෙත පැමිණෙන ලෙසත් දැනුම් දුන්නා. මෙම රෝගය තවත් කිහිප දෙනකුට හෝ වැලඳී ඇති බවට විශ්වාස කරනවා.

ඒ අනුව සියලු සෞඛ්‍ය අංශ මේ පිළිබඳව නිතර පසු විපරම් සිදු කරමින් අවධානයෙන් කටයුතු කරමින් සිටිනවා යැයි ද මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ සැක සහිත රෝගීන් 11 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින බවද වෛද්‍යවරයා පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *