රැස්වීමට සෙනඟ නොදුන්නැයි අම්පාරේ රාජ්‍ය බැංකු මැනේජර්ට මරණ තර්ජන

(21.11.2017 – 15:37 +0530 – sinhala.adaderana.lk)

අම්පාරේ රාජ්‍ය බැංකු ශාඛාවට අනවසරයෙන් කඩා වැදුනු පිරිසක් විසින් බැංකු පරිශ්‍රයේ කලහකාරී ලෙස හැසිරී කළමණාකාරවරයා මරා දමන බවට තර්ජනය කර ඇති පුවතක් වාර්තා වෙයි.

අදාළ බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, ඊයේ (21) පස්වරුවේ හදිසියේම බැංකු පරිශ්‍රයට කඩා වැදී එහි කළමණාකරුට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර තිබේ.

කිසිඳු විධිමත් අවසරයකින් තොරව බැංකු ශාඛාවට පැමිණි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වෘත්තීය සමිති රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය බවත්, ඒ සඳහා වහාම සේවකයින් සහභාගී කරවන ලෙසත් එහි කළමණාකාරවරයාට දන්වා ඇත.

නමුත්, නිසි අවසරයකින් තොරව රාජකාරී වේලාව තුළ රැස්වීම් පැවැත්වීම හෝ වෙනත් යම් රාජකරී නොවන කටයුත්තක් සඳහා තමන් යටතේ සිටින සේවකයින් සහභාගී කරවීම නොහැකි බවත්, ඒ සඳහා විධිමත් අවසරයක් ලබා ගෙන පැමිණ එවැනි කටයුත්තක් පවත්වන්නේ නම් තමන්ට ගැටළුවක් නොමැති බවත් කළමණාකරවරයා විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දන්වා තිබේ.

මේ අවස්ථාවේ එම පිළිතුරෙන් උරණ වූ බාහිරින් පැමිණි පිරිස ශාඛා කළමණාකරවරයා තම අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් මරා දමන බවට තර්ජනය කර ඇති අතර ඔහුගේ නිල කාමරයේ දී කළහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක සේවකයින් විසින් ශාඛාවේ ආරක්ෂිත සීනු නාද කර ඇති අතර ඒ අවස්ථාවේ පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ශාඛා කළමණාකරු විසින් පුද්ගලයින් දස දෙනෙකු ශාඛාවට බලහත්කාරයෙන් ඇතුළු වී, රාජකාරියට බාධා කරමින්, අසැභි වචනයෙන් බැණ වැද, මරණ තර්ජනය සිදු කිරීම සහ බැංකුවේ කටයුතු වලට බාධා කරමින් බැංකුවේ භාරයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අම්පාර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත ෴

********************************************

ආවා කල්ලියේ ප්‍රබලයින් දෙකක් බඩුත් එක්ක කොටු වුණ හැටි
(21.11.2017 – 15:06 +0530 – sinhala.adaderana.lk)

යාපනයේ ක්‍රියාත්මක ‘‘ආවා’’ නැමැති පාතාල කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් පේදුරුතුඩුව – නිර්වේලි ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජංගම සංචාරයකදී සිදුකළ හදිසි මාර්ග බාධක රාජකාරියදී සැක සහිත ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී නීතිවිරෝධී පිහියක් සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් සන්තකයේ තිබූ නීතිවිරෝධී පිහියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගෙන මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයින් කඩු අතැතිව සිටියදී ගත් ඡායාරූප ද සොයාගෙන ඇත.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි ආවා කල්ලියට සම්බන්ධ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන මේවන විටත් ක්‍රියාත්මක අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “ආවා” නැමති පාතාල කල්ලිය මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *