කොරෝනා රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

• නිරෝධායන මධ්‍යස්ථාන 22 ක් තුළ පුද්ගලයින් 3063 ක් නිරෝධායනයට

• දඹදිව සිට පැමිණි 298 ක් ඉරණමඩු නීරෝධායන මධ්‍යස්ථානයට (විඩියෝ)

• පානදුර උතුර, පරත්ත, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි ගෘහ භාණ්ඩ නිපදවන ස්ථානයක හදිසි ගින්නක්

• කිරි ගොවීන්ගේ කිරි ලබාගැනීම අඛන්ඩව සිදුකරනවා – මිල්කෝ සභාපති (විඩියෝ)

• ඉතාලියේ එක් දිනක දී කොරෝනා මරණ 800 ක් දක්වා ඉහළට

• කුසගින්නට පිළිසරණක් වු අපේ විරුවෝ

• ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 338 ක් අත්අඩංගුවට

• මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය (ඔඩියෝ)

• මැලේරියා පෙති ලක්ෂ 5 ක් වෛද්‍ය සැපයුම් අංශයට – පිළිකා ඖෂධ නිකුත් කිරීමට විශේෂ ක්‍රමවේදයක් – විදුලිබිලටත් සහනයක් දෙයි (විඩියෝ)

• සියලුම මගී ගුවන්යානා සහ මගී නෞකා දිවයිනට පැමිණීම තහනම් (විඩියෝ)

• අනුරාධපුර බන්ධනාගාර ගැටුමේදී ලිපිගොනුවලටත් හානි

• මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම්දීමක්

• රාජකාරිය දේවකාරිය කරගත් උතුම් මිනිසුන් (විඩියෝ)

• චීනයෙන් තවත් ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට තීරණයක්

• ඇඳිරිනීතියෙන් ගොවිතැනට බාධාවක් නෑ – ‘චූන්පාන්’ වෙළඳුන්ටත් අවසර (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

(22.03.2020 – 08:25 +0530 – sinhala.adaderana.lk)

COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ටී.වි.දෙරණ ඔස්සේ විකාශය වු දෙරණ අරුණ වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් හැත්තෑ හත් දෙනෙකු (77) මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

කෙසේවෙතත් ඇදිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ (21) දිනයේ සිට නැගෙනහිර කොළඹ මූලික රෝහල සම්පුර්ණයෙන්ම කොවිඩ් නයින්ටින් ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා භාවිතයට ගන්නා බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම කොරෝනා සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගන්නා අතර ද සොයිසා සහ කාසල් වීදියේ කාන්තා රෝහල්වල වෛද්‍යවරුන් සේවා මුර අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර කටයුතු සදහා යොදා ගැණෙයි.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද වෛරස් රෝගීන්ට ප්‍රතිකාර සදහා යොදාගැනීමට නියමිතයි.

මීට අමතරව වොයිස් අමෙරිකා ආයතනයට අයත් ගොඩනැඟිලි සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදුකරයි ෴

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන මධ්‍යස්ථාන 22 ක් තුළ පුද්ගලයින් 3063 ක් නිරෝධායනයට

(22.03.2020 – 08:48 +0530 – sinhala.adaderana.lk)

COVID-19 සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගන්නා අතර ද සොයිසා සහ කාසල් වීදියේ කාන්තා රෝහල්වල වෛද්‍යවරුන් සේවා මුර අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මේ අතර කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද වෛරස් රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොදාගැනීමට නියමිතයි.

මෙරට තුළ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රඳවා සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

රැදවුම් මධ්‍යස්ථාන 22 ක් තුළ පුද්ගලයින් 3063 ක පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් වන අතර විදේශිකයින් 31 දෙනෙකු ද එම පිරිස අතර වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවයින පුරා රෝහල් 30 ක් සූදානම් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සදහන් කළේය.

ඊයේ (21) දිනයේ සිට නැගෙනහිර කොළඹ මූලික රෝහල සම්පුර්ණයෙන්ම කොවිඩ් නයින්ටින් ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා භාවිතයට ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

දැඩි සත්කාර ඇදන් 36 ක් සහ සාමාන්‍ය ඇදන් 130 ක් පමණ එම රෝහලේ අන්තර්ගත වන අතර මාතෘ රෝගීන්ට සහ කුඩා ළමුන්ට ප්‍රතිකාර කිරීමට ද පහසුකම් සපයා තිබේ.

මීට අමතරව ‘වොයිස් ඔෆ් අමෙරිකා’ ආයතනයට අයත් ගොඩනැඟිලි සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදුකෙරෙනවා.

හෝමාගම මුලික රෝහල ද සැක කටයුතු වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා පමණක් වෙන් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මෙරටින් හදුනාගත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 77 දෙනාගෙන් 69 දෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිව්දෙනෙකු අනුරාධපුර මහ රෝහලේ සහ සෙසු තිදෙනා වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මෙම ආසාදිතයින් අතරින් 48 දෙනෙකුම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේය ෴

+++++++++++++++++++++++++++++++++++

දඹදිව සිට පැමිණි 298 ක් ඉරණමඩු නීරෝධායන මධ්‍යස්ථානයට

(22.03.2020 – 07:28 +0530 – sinhala.adaderana.lk)

දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 298 ක පිරිසක් ඊයේ (21) රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ඊයේ රාත්‍රී 10:40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සඳහා, විශේෂ බස් රථ 05 ක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය සහ ගමන් මලු රැගෙන යෑම සඳහා තවත් විශේෂ කන්ටේනර් රථ කීපයක් ද මගින් ඉරණමඩු නීරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (21) රාත්‍රීයේම රැගෙන ගිය බව අප වාර්තාකරු පවසයි.

+++++++++++++++++++++++++++++++++++

පානදුර උතුර, පරත්ත, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි ගෘහ භාණ්ඩ නිපදවන ස්ථානයක හදිසි ගින්නක්

(22.03.2020 – 06:43 +0530 – sinhala.adaderana.lk)

පානදුර උතුර පොලිස් වසමේ පරත්ත, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි ගෘහ භාණ්ඩ නිපදවන ස්ථානයක හදිසි ගින්නක් හට ‍ගෙන තිබේ.

මේ පිළිබඳ ඊයේ (21) දහවල් 01:10 ට පමණ ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මකවූ පානදුර උතුර පොලීසිය, මොරටුව නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

ගින්න ඇතිවීමට හේතුව අනාවරණය වී නොමැති ඇතර අදාළ ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තරක්සේරු කර නොමැත.

සිද්ධිය සම්බන්යෙන් පානදුර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

කිරි ගොවීන්ගේ කිරි ලබාගැනීම අඛන්ඩව සිදුකරනවා – මිල්කෝ සභාපති

(22.03.2020 – 10:39 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය පනවා තිබුනද කිරි ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීම අඛන්ඩව සිදුකරන බව මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

‘අද දෙරණ’ට අදහස් දක්වමින් මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර ඊයේ (21) දිනයේ ජනාධපති මාධ්‍ය අංශ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියේ එක් දිනක දී කොරෝනා මරණ 800 ක් දක්වා ඉහළට

(22.03.2020 – 08:03 +0530 – sinhala.adaderana.lk)

ලොවපුරා කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 13,050 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 306,892 කට අධිකයි.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 94,798 කි.

කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ වාර්තා වන්නේ යුරෝපානු කලාපයෙන්ය.

ඉන් ඉතාලියේ සිදු වූ මරණ ගණන, වෛරසය පැතිරීම ඇරඹී චීනයේ මරණ ගණනද ඉක්මවා ගොස් අවසන්ය.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 4,825 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ නව මරණ 800 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟයි.

මෙලෙස ඉතාලියේ මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින්නේ නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වූ රට ලෙස වාර්තා අතරටද එක්වෙමින්ය.

නව ආසාදිතයින් 6,557 ක් සමග එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 53,578 දක්වා ඉහළ ගොස් තිබුණි.

ඉරානයෙන් කොරෝනා මරණ 1,556 ක්ද , ස්පාඤ්ඤයෙන් මරණ 1,378 ක්ද , ප්‍රංශයෙන් මරණ 562 ක්ද , අමෙරිකාවෙන් මරණ 324 ක්ද , එක්සත් රාජධානියෙන් මරණ 233 ක්ද මේ වන විට වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනය තුළ පමණත් ඉතාලියේ කොරෝනා මරණ 800 කට වාර්තා වූයේ දිනක් තුළ වාර්තා වූ ඉහළම කොරෝනා මරණ ගණන සටහන් කරමින්ය.

උතුරුදිග ඉතාලියේ ලොම්බාඩි කලාපයට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මේ වනවිට දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබේ.

ඒ එරට සිදු වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් එම කලාපයෙන් වාර්තා වන පසුබිමක් තුළයි ෴

+++++++++++++++++++++++++++++++++++

කුසගින්නට පිළිසරණක් වු අපේ විරුවෝ

(21.03.2020 – 17:56 +0530 – sinhala.adaderana.lk)

නාවික හමුදාව විසින් අද (21) රාගම, වත්තල සහ කඳාන යන ප්‍රදේශයන්හි මහා මාර්ග අවට ජීවත් වන දිළිඳු මිනිසුන් සඳහා දිවා ආහාරය ලබා දී තිබේ.

කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ඊයේ‍(20) පස්වරු 6 ට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන්, තම ආහාර පාන සපයා ගැනීමට නොහැකිව අසරණව සිටි දිළිදු පුද්ගලයින් සඳහා දිවා ආහාර ලබා දීම මෙලෙස සිදු කර ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සංකල්පයක් සහ බටහිර නාවික විධානය භාර ආඥාපති සුමිත් වීරසිංහ මහතාගේ උපදෙස් මත වැලිසර නාවික සංකීරණයේ අණභාර නිලධාරී කපිතාන් පූජිත සුගතදාසගේ මඟ පෙන්වීම යටතේ මෙම සත්කාරය සිදු කර තිබේ.

මෙහිදී වත්තල හා ජා ඇල ප්‍රදේශීය බල ප්‍රදේශයන් තුළ මහා මාර්ග අවට ජීවත් වන දිළිදු මිනිසුන් සඳහා දිවා ආහාරය ලබා දීම සිදු කරන ලද අතර, මේ සඳහා වැලිසර නාවික හමුදා සංකීරණයේ සියළුම ආයතනවල නාවික පුද්ගලයින් තම සහයෝගය ලබා දීමට කටයුතු කර ඇත.

රට තුළ පවතින මෙම වාතාවරණය හමුවේ, වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙන්ම මෙවැනි සමාජ සත්කාරයන් සිදු කිරීම සඳහාද නාවික හමුදාව නිරන්තරයෙන් සූදානමින් සිටින බවද ඔවුන් පවසයි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 338 ක් අත්අඩංගුවට

(22.03.2020 – 10:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සිකුරාදා පස්වරු හයට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අද උදෑසන 9 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළා.

ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන්.

මීට අමතරව ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපනශාලා විවෘත කර තිබීම, බීමත්ව මාර්ගයේ අශෝබන ලෙස හැසිරීම සහ වෙළඳාම් කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන්ද මෙලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය

(22.03.2020 – nethnews.lk)

මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශද තීරණය කර තිබෙනවා.

ඒ, අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමග ලොව පුරා ඒ පිළිබද දැඩි අවදානයක් යොමු වීමත් සමගයි.

ඒ අනුව අදාළ ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සඳහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බවයි වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ. මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදිමද ඉකුත් 20 වැනිදා සිට ආරම්භ කෙරුණා.

ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය තවත් රටවල් කිහිපයක් කෙරෝනා ආසාදිතයින්ට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද ප‍්‍රකාශ කළා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා :

‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය, කෙරෝනා ආසාදිතයින්ට කල්පනාකාරීව සහ සීමාවන් සහිතව භාවිත කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මැලේරියා රෝගීන්ට ලබා දෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප‍්‍රතිඵල ගෙනදිය හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා. එම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන ලෙසයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ෴

+++++++++++++++++++++

මැලේරියා පෙති ලක්ෂ 5 ක් වෛද්‍ය සැපයුම් අංශයට – පිළිකා ඖෂධ නිකුත් කිරීමට විශේෂ ක්‍රමවේදයක් – විදුලිබිලටත් සහනයක් දෙයි

(22.03.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා මැලේරියා රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ක්ලෝරොක්වීන් පෙති ලක්ෂ 5 ක් අද (22) රජයේ රෝහල්වලට බෙදාහැරීම සඳහා මුදාහැරීමට නියමිතයි.

මෙම ක්ලෝරොක්වීන් ඖෂධ තොගය මෙරට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවා ඇති අතර, රත්මලානේ පිහිටි එම සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද (22) එම ඖෂධ තොගය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාරදීමට නියමිතයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉල්ලුමට සරිලන පරිදි මෙම ඖෂධය තවදුරටත් මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි.

කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් ලෙස ක්ලෝරොක්වීන් භාවිත කිරීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් කිහිපයක්ම අවධානය යොමු කරමින් සිටිනවා.

මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 77 ක්.

ඉන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් බවයි වාර්තාවන්නේ.

අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් පවතිනවා.

මේ අතර ඉතාලිය වැනි රටවල සිට පැමිණි තවත් සුළු පිරිසක් නිරෝධායනයට ලක් නොවී සැඟව සිටින බවට තොරතුරු පවතින බවයි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

තවදුරටත් තොරතුරු වසන් කරන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා කියා සිටියේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගර්භනී මව්වරුන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

මෙම වෛරසයේ ව්‍යාප්තිවය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන පිළිකා රෝගීන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේ.

ඒ අනුව රෝගියාගේ සායනික කාඩ්පත රැගෙන පැමිණීම හරහා ඔවුන්ට අවශ්‍ය ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර අද (22) උදෑසන 08:30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 192 දරණ ගුවන් යානයෙන් දඹදිව වන්දනාවේ යෙදි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 49 දෙනෙකු පැමිණ තිබෙනවා.

ඔවුන් කඩිනමින් නිරෝධාන කටයුතුවලට යොමු කිරීමටද පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට මේ මස 31 වනදා තෙක් සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ඒ අනුව එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධිකිරීමක් සිදු නොකරන ලෙස උපදෙස් ලබාදුන් බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සියලුම මගී ගුවන්යානා සහ මගී නෞකා දිවයිනට පැමිණීම තහනම්

(22.03.2020 – 12:16 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය විදෙස් රටවල සිට ශ්‍රී ලංකාව තුළට ඇතුලුවීම නතර කිරීම සඳහා සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය, සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු කවර හේතුවක් මත හෝ මෙම තීරණය රජය විසින් ලිහිල් නොකරන බවයි.

මේ අතර වෙළඳ නෞකාවල සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා.

දිවයිනට ගොඩබසින විදේශීය සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් සහ ඔවුන් සමඟ ඍජුව ගණුදෙනු කරන දේශීය නියෝජිතයින්, නාවික හමුදාව මගින් ගාල්ල – බූස්ස නාවික හමුදා කඳවුරේ ඉදි කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

දින කිහිපයක් සඳහා පැමිණෙන සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් තෝරාගත් නවාතැන්පලවල් 3 ක නාවික හමුදා ආරක්ෂාව යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද කටයුතු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

අනුරාධපුර බන්ධනාගාර ගැටුමේදී ලිපිගොනුවලටත් හානි

(22.03.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ (21) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී රැඳවියන් විසින් ලිපි ගොනු රැසකට ගිනි තබා විනාශ කර ඇති බව වාර්තාවනවා.

එමෙන්ම බන්ධනාගාර මැදිරි කිහිපයකට ද ඔවුන් හානි කර ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස රැඳවියන් බැලීමට ඥාතීන්ට අවසර නොදීමට රැඳවියන් විරෝධය පළ කිරීමත් සමඟ බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් ඇතිවුණා.

එහිදී ඇතැම් රැඳවියන් බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරීමේදී එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.

එහිදී සිදුවූ වෙඩි තැබීමේදී දෙදෙනෙකු මියගොස් තවත් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් අතර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුද සිටින බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අනුරාධපුර කොට්ඨාසය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණු බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.

බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය තවදුරටත් යොදවා ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ කිසිවෙකුත් බන්ධනාගාරයෙන් පලාගොස් නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම්දීමක්

(22.03.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය අවසන්වීමෙන් පසු ජනතාව භාණ්ඩ මිලදීගැනිම සඳහා වෙළඳසැල්වලට එක්රැස්වන බැවින් එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම්දීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,750 දෙනෙකු යොදවා ඇති බවයි.

ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී ඇති පුද්ගලයින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් වෙත පැමිණීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

කොවිඩ්-19 වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් රජය පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ධාවනය වන දුම්රිය කිහිපයකට අමතර මැදිරි එක් කිරීමට උපදෙස් ලබාදී ඇති බව බව දුම්රිය සේවා හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක ප්‍රකාශ කළා.

මේ අතර ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලසීමාව තුළදී මත්පැන් අලෙවිසැල් සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස්වරයා විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිවේදනයේ විධිවිධානවලට අනුවයි.

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහය දැක්විය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම අවධාරණය කළේ.

එසේ කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් වන පැමිණිලි 1913 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමුකළ හැකියි ෴

+++++++++++++++++++++++++++++++++++

රාජකාරිය දේවකාරිය කරගත් උතුම් මිනිසුන්

(22.03.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

රාජකාරිය දේවකාරිය කරගත් උතුම් මිනිසුන් පිරිසකගේ සංවේදී ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සේවකයන් පිරිසක් ගුවන්යානා ඇතුලත පිරිසිදු කරන ආකාරය සහ ඔවුන් විවේක ගන්නා ආකාරය එම ඡායාරූපවල දැක්වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් විෂබීජහරණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද අප වෙත ලැබී තිබෙනවා.

එහි දැක්වෙන්නේ චීන ගුවන් සේවිකාවක් විෂ බීජහරණය කරන ආකාරයයි.

***************************************

චීනයෙන් තවත් ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට තීරණයක්

(22.03.2020 – 14:15 +0530 – sinhala.adaderana.lk)

චීන සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකා රජය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට තීරණය කර තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ලබාගැනීමට අදාළව අත්සන් තැබූ ගිවිසුමට අතිරේකව එම ණය මුදල ලබාගන්නා බවයි.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1200 ක මුදලක් චීන සංවර්ධන බැංකුව මගින් ලබාගැනීමට නියමිතයි.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙක් සියලු භාණ්ඩ ආනයනය කිරීම මාස 03 කට අත්හිටුවීමට රජය පසුගියදා පියවර ගත්තේය.

මෝටර් රථ, ශීතකරණ , විදුලිපංකා ඇතුළු සුඛෝපභෝගී සියලු භාණ්ඩ ගෙන්වීම ඒ අනුව අත්හිටුවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

මූල්‍ය වෙළෙඳපලේ විනිමය සංචිත පවත්වාගෙන යාම සදහා රජය මෙම තීරණය ගෙන තිබේ ෴

***************************************

ඇඳිරිනීතියෙන් ගොවිතැනට බාධාවක් නෑ – ‘චූන්පාන්’ වෙළඳුන්ටත් අවසර

(22.03.2020 – 13:43 +0530 – sinhala.adaderana.lk)

බේකරි ආහාර බෙදාහරින ජංගම වෙළෙඳුන් හෙවත් ‘චූන් පාන්’ වෙළෙඳුන් හට නිවෙස්වලටම ගොස් ආහාර විකිණීමට රජය දැඩි කොන්දේසි මත අවසර දී තිබේ.

ඒ අනුව ආහාර සැපයීමට පෙර අදාල වෙළෙන්දා විෂබීජ නාශක දියර වලින් අතසේදීම අනිවාර්ය වන අතර එය මිලදී ගන්නා පාරිභෝගිකයාද මුදල් ගනුදෙනුවෙන් පසුව කඩිනමින් සබන් හෝ විෂබීජ නාශක දියර යොදා අත සේදිය යුතු බව රජය නිවේදනය කරයි.

කෙසේවෙතත් මෙම වැඩපිළිවෙළ දියත් වන්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ පරික්ෂාව යටතේයි.

මේ අතර ඊයේ (21) දිනයේ ජනාධපති මාධ්‍ය අංශ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇති බවයි.

මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ වී සිටින රත්නපුර නගරයේ යාචකයින්ට ආහාර ලබාදීම සඳහා රත්නපුර ප්‍රජා පොලිස් ඒකකය කටයුතු කළේය.

කතරගම පුදබිම ආශ්‍රිතව සිටින අසරණ මව්පියන් වෙනුවෙන් ආහාර ලබාදීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ප්‍රමුඛ කපුමහතුන් කටයුතු කර තිබේ.

පුදබිමේ සිටින වඳුරන් සඳහාද මෙහිදී ආහාර ලබාදීමට කටයුතු කෙරුණි.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *