නාකි විසේ ඉහට ගහලා පාලිකාවගේ සැමියා “ධාරුන් නුස්රා” ළමා නිවාසයේ ළමුන් 18 ක් අපයෝජනය කළ හැටි

(21.11.2017 – webgossip.lk)

දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි.

ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා.

අපි මේ කියන්න යන්නේ තවත් මේ වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධියනම් බොහෝ තැන්වල වාර්තාවුණේ ඉතාමත් අඩුවෙන්.

දෙහිවල පිහිටි ළමා නිවාසයක සිටි බාලවයස්කාර දැරියන් 18 දෙනෙක් එහි සේවකයෙක් වරින්වර අපයෝජනයට ලක්වෙලා තියෙන සිද්ධියක් අපට අහන්න ලැබුණා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ දෙහිවල ධාරුන් නුස්රා නම් ළමා නිවාසයකයි.

මේ අනාත නිවාසයේ පාලිකාව වශයෙන් සේවය කරන්නේත් මේ සේවකයාගේ බිරිඳ. අදාළ දරුවන් මේ ගැන පාලිකාවට පැමිණිලි කළත් පාලිකාව ඒ සම්බන්ධයෙන් තැකීමක් කර නැහැ. ඒවගේම තමයි පොලිසියට දැනුම් දුන්නොත් මේ ළමා නිවාසය වැසීමට සිදුවන බවත් මේ දරුවන්ට තර්ජනය කරලා තියෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පසුගිය ජුලි මාසයේ 22 වනදා නිර්නාමික දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව ළමා ආරක්ෂණ අධිකාරියෙන් කොහුවල පොලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව මේ නිර්නාමික දුරකතන අංකය ඔස්සේ පොලිස් පරීක්ෂණ පවත්වා මේ ස්ථානය සොයා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 62 හැවිරිදි සාරිප්පුගේ මොහාර් නැමැති පුද්ගලයෙකුයි.

කෙසේවෙතත් දිගින් දිගටම කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මේ දැරියන් 18 දෙනාගෙන් එක් ළමයෙකු බරපතල ලෙස අපයෝජනයට ලක්වෙලා තියෙනවා කියලායි.

අදාළ සේවකයා අවුරුදු 09 ක් පමණ එම ළමා නිවාසයේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අතර පාසල්වලට මෙම දරුවන් රැගෙන ගොස් ඇත්තේ මොහුයි. එමෙන්ම ලිංගික හිංසනය වැඩිවශයෙන් වී ඇත්තේ වාහනය ඇතුලතදී බවත් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දරුවන් කිහිප දෙනෙක් අදහස් දක්වා ඇත්තේ මෙලෙසයි.

01. මේ මනුස්සයා මාව හැමදාම ඉස්කෝලෙට අරන් යනවා. ඒ අතරතුර ඔහු මට අතවර කරනවා. ඒවගේම අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කරනවා.

02. මං මේ ගැන පාලිකාවට කිව්වම ඒක වැඩිය ගණන් ගන්නෙපා කියලා කිව්වා. පැමිණිලි කරපු හැම වේලාවකම මට හොඳටම බැන්නා. ඒ වගේම මේ මනුස්සයා මාව දවසක් ගබඩා කාමරයට එක්ක ගිහින් අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කළා.

මේ දරුවන් 18 දෙනාම පවසා ඇත්තේ එම දරුවන් පාසලට රැගෙන යන අතරතුරදී මෙන්ම ඇතැම් විට ළමා නිවාසයේදීද අපයෝජනයට ලක්ව ඇති බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව කියා ඇත්තේ මෙහෙම කතාවක්. “මාගේ ස්වාමි පුරුෂයා වන මොහාර් ගැහැණු දරුවන්ට හරිම ආදරෙයි. ඒවා කරලා තියෙන්නේ හිරිහැරයක් වශයෙන් නෙවෙයි”

ඒවගේම තමයි මේ ළමා නිවාසයේ හිමිකාරිය වශයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය මරීන් රිෆායි මහත්මියයි. මේ සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙවන් කතාවක් :

‘‘වෛද්‍ය වාර්තාවන්ට අනුව කිසිදු දැරියක් අපයෝජණය වෙලා නෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒවගේම මේ ළමා නිවාසය මගෙන් ගන්න සේවකයන් පිරිසක් විසින් කරන කුමන්ත්‍රණයක් හැටියට තමයි මං මේක දකින්නේ. මේ ගැන මාස 03 ක් තිස්සේ පරීක්ෂණ සිදු කළත් කිසිදු සාක්ෂියක් මේවනතුරු ලැබිලා නැහැ. ඒවගේම තමයි මොහාර්ව ඇප මත නිදහස් වීම මගින්ව තහවුරු වනවා මෙහි කිසිම ලිංගික හිංසනයක් සිදුවෙලා නෑ කියලා. ඒවගේම තමයි මේ වෙනකොට අදාළ පාලිකාව සහ සිද්ධියට සම්බන්ධ බව කියන ඇගේ ස්වාමිපුරුෂයාද අයින් කරලා තියෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මේ ළමා නිවාසයේ සෑම තැනකම සීසීටීවී සවිකර ඇති අතර අදාළ දැරියන්ගේ කාමරවලද සීසීටීවී කැමරා සවිකර ඇති බවයි ෴

*********************************

ශිෂ්‍ය වීසා නොලැබුණොත් මාසයක් ඇතුළත දුන් මුදල් ආපසු ගෙනා යුතුයි
(20.11.2017 – biz.adaderana.lk)

ශ්‍රී ලංකාවෙන් පිටත යම් ගිණුමක් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට අවසරලත් යම් තැනැත්තකුට ශිෂ්‍ය වීසා ලබා දීම යම් රටකින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අවස්ථාවක දී හෝ ශිෂ්‍ය වීසා ලබා ගැනීමෙන් පසු අධ්‍යයන කටයුතු ආරම්භ නොකිරීමට ඒ තැනැත්තා තීරණය කරනු ලබන අවස්ථාවක දී, එක් තැනැත්තා විසින්, මෙම අවසරය යටතේ ශ්‍රී ලංකාවෙන් පිටත එකී තැනැත්තා විසින් විවෘත කරන ලද ගිණුමේ බැරට පවතින සියලු මුදල්, එකී තීරණය ගත් දිනයේ සිට එක් මාසයක් ඇතුළත ආපසු ගෙවනු ලැබිය යුතු බව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ සඳහන් වේ.

මෙහිදී සඳහන් නියෝග ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව 2017 නොවැම්බර් 17 වැනි දින අංක 2045/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *