මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළට

• මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 86 දක්වා ඉහළට

• බැංකු කාර්යය මණ්ඩලවලට දැනුම්දීමක්

• රජයෙන් ඉල්ලීමක් (විඩියෝ)

• යුධ හමුදාපතිගෙන් ඉල්ලිමක්

• කොළඹ, ගම්පහ සහ පුත්තලම සහ උතුරු පළාතට හෙට (24) දහවල් 12 ට යළි ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය 27 වනදා දක්වා – සෙසු දිස්ත්‍රික්කවලටත් අද (23) පස්වරු දෙකේ සිට 26 වනදා දක්වා දීර්ඝ කෙරේ (විඩියෝ)

• රාජ්‍ය සේවකයින්ගේ වැටුප අද ලබාදීමට පියවර

• මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්

• ඖෂධ ගැන මහාචාර්ය ජයසුමනගෙන් සජිත්ට පාඩමක්

• දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට STF ආරක්ෂාව

• හෙට (24) ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල සතොස වෙළඳසැල් උදෑසන 7 ට පෙර විවෘත වෙයි

• හෙට (24) අළුයම 4 සිට මැනිං වෙළඳපොළ විවෘත වෙයි

• වෛද්‍ය ,හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද – සෞඛ්‍ය සේවා සාමාන්‍ය පරිදි

• මෙරටින් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

+++++++++++++++++++++++++++++++++++

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළට

(23.03.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඊයේ (22) දිනයේදී කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 9 දෙනෙකු සොයාගත් බවයි.

මේ අතර කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුර පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය අද (23) උදෑසන 6 ට ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ වනවිට දැඩි තදබදයක් පවතින බව ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළා.

ඔහු කියා සිටියේ වෙළඳුන් සහ ජනතාව වැඩි පිරිසක් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර, ඔවුන් ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් තොරව හැසිරීම හේතුවෙන් මෙම තදබදය නිර්මාණය වී ඇති බවයි.

එමෙන්ම අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.කේ.එස්.එල්. රාජදාස මහතා සඳහන් කළේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර ද්‍රව්‍ය මේ වනවිට වෙළඳපොලේ පවතින බවයි.

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව චීනය සිදුකරන සටන සෙසු රටවලට බලාපොරොත්තුවක් ලබාදෙන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙඩ්රොස් ඇඩනම් මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඇතැම් විශේෂඥ පිරිස් චීනයේ සාර්ථකත්වයට වටිනාකමක් ලබාදීමට එරෙහිව විවිධ මත පළ කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගතවූ දින හතරක කාලය තුළ චීනයෙන් වාර්තාවී ඇත්තේ එක් නව ආසාදිතයෙකු පමණක් වන අතර, එය වූහාන් නගරයේ කොරෝනා වසංගතයේ ආරම්භක අවදියත් සමඟ සසඳා බැලීමේදී කැපී පෙනෙන තත්වයක් වනවා.

කෙසේ වෙතත් චීනයේ උපාය මාර්ග වෙනත් රටවලට, විශේෂයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුගමනය කළ හැකිද යන්න පිළිබඳ ඇතැම් රටවල් තවදුරටත් ප්‍රශ්න කර සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 86 දක්වා ඉහළට

(23.03.2020 – 08:00 +0530 – sinhala.adaderana.lk)

මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) උදෑසන අද දෙරණ සමග ප්‍රකාශ කළේ කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගෙන ඇති බවයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මේ වන විට දිවයින පුරා රෝහල් 18 ක ආසාදිත බවට සැක කටයුතු පුද්ගලයින් දෙසිය විසි දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සදහා නිරෝධායන මධ්යඩස්ථාන 45 ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුකර තිබේ.

ඉන් 31 දෙනෙකු විදේශිකයින් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය පැවසුවේය.

දඹදිව වන්දනාවේ ගොස් සිට පසුගිය දෙදින තුළ මෙරටට පැමිණි පුද්ගයන් 444 දෙනෙකු ද ඊට ඇතුළත්ය.

විදේශගතව සිට මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා මෙරටට පැමිණි පුද්ගලයන් 15,000 ක පමණ සංඛ්යාටවක් මේ වන විට ලියාපදිංචි වී තිබේ.

ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

බැංකු කාර්යය මණ්ඩලවලට දැනුම්දීමක්

(23.03.2020 – 08:39 +0530 – sinhala.adaderana.lk)

බැංකු කාර්යය මණ්ඩලවලට ඇඳිරි නීති අවසර පත් නොමැතිව සිය බැංකු හැඳුනුම්පත උපයෝගි කර ගනිමින් නිවෙස් බලා යාමට අවස්ථාව ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයාගේ අවසර ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘අද දෙරණ’ට ප්‍රකාශ කළේය.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ඇදිරි නීතිය ඉවත්වීමත් සමඟ ජනතාව දෛනික රැකියා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.

මේ අතර ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවලට ඒ සඳහා බාධාවකින් තොරව අවසර ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඇදිරි නීතිය බලපැවැත්වෙන තත්වය යටතේ වුවද ගොවිතැන් කටයුතු සිදුකෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යෑමට රජය පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව රජරට ඇතුළු ගොවි ජනපද වල අද (23) දිනයේ ගොවීන් සිය දෛනික කාර්යයන් වල නිරත වන ආකාරය දක්නට ලැබුණි.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන්ද සිය වගාබිම්වලදී බිම් සැකසීම ඇතුළු වගා කටයුතු වල නිරතව සිටින ආකාරය දක්නට ලැබුණි.

ඇදිරි නීතිය හේතුවෙන් වසාදමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (23) අලුයම 4 ට විවෘත කර තිබුණි.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොග වෙළෙන්දන් එළවළු එක්රැස්කිරීම සහ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය කරන ආකාරයද අද සාමාන්‍ය පරිදි සිදුවෙයි.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ වසා දැමුණු කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ඊයේ (22) නැවත ආරම්භ කෙරුණි.‍

කිරි ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීම අඛන්ඩව සිදුකරන බව මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

රජයෙන් ඉල්ලීමක්

(23.03.2020 – 08:10 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරිම සඳහා හදුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින්ම අනුගත වන ලෙස රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනිම සදහා කාර්යාල කඩ සාප්පු බස් රිය, දුම්රියපල වැනි පොදු ස්ථානවල ගැවසෙන විට එකිනෙකාට මීටරයක් තරම් දුරින් සිටීම වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හදුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශීත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු වෙයි.

ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුව ද වෛරසයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය බලධාරින් ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වෙළෙඳසැල්වලට පිවිසීමේදීත්, වෙළෙඳසැල් ඇතුළතදීත්, බස්රියෙන් දුම්රියෙන් ත්‍රිරෝද රියෙන් ගමන් කිරීමේ දී දුරස්ථභාවය ආරක්ෂා කළ යුතු වෙයි.

ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට පැමිණි විට ද එම පිළිවෙත අනුගමනය කළ යුතු බව අදාළ නිවේදනයෙන් දක්වා ඇත.

භාණ්ඩ මිලදී ගැනීමට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශී වන පිරිස අවම කරගැනීමට හැකි වනවා.

වයස්ගත පුද්ගලයින් හෝ කුඩා දරුවන් සමග වෙළෙඳසැල් වෙත ගමන් නොකළ යුතු බව සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබුණි.

මේ අතර ඉතිහාසයේ මෙවැනි අවස්ථාවල දී බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් ව්‍යවසන තත්ත්වයන් වලකාගෙන ඇති බව අමරපුර මහ නිකායේ මහනායක අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි පවසයි.

වසංගතය තුරන් කිරීම සදහා බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේය.

හිගයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදාහැර ඇති බැවින් ඇදිරි නීතිය සමය තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට ක්‍රියාකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලා සිටියි.

+++++++++++++++++++++++++++++++++++

යුධ හමුදාපතිගෙන් ඉල්ලිමක්

(23.03.2020 – 09:21 +0530 – sinhala.adaderana.lk)

මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාම පොලීසියේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලිමක් කරයි.

මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30 ක් සූදානම් කර තිබේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වැලිකන්ද මූලික රෝහලට අමතරව මුල්ලේරියාව හා හෝමාගම රෝහල් සැකකටයුතු වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාත්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙයි.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ, ගම්පහ සහ පුත්තලම සහ උතුරු පළාතට හෙට (24) දහවල් 12 ට යළි ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය 27 වනදා දක්වා – සෙසු දිස්ත්‍රික්කවලටත් අද (23) පස්වරු දෙකේ සිට 26 වනදා දක්වා දීර්ඝ කෙරේ

(23.03.2020 – 12:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම උතුරු පළාතට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට (24) උදෑසන හය (06) ට ඉවත් කර යළි දහවල් 12 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එය ලබන 27 වනදා උදෑසන හය (06) දක්වා බල පැවැත්වෙන අතර, පසුව යළි දහවල් 12 ට ඇඳිරි නීතිය පනවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සෙසු දිස්ත්‍රික්කවලට අද (23) දහවල් දෙක (02) ට යළී ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර, එය 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 6 ට ඉවත් කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

එදින (26) දහවල් 12 ට නැවත එම දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය පනවනු ඇති.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වන අතර, විදේශික සංචාරකයන් තැනින් තැනට යාමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර පවතින අතර, සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයටද ඉඩ පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෘෂිකර්ම සහ වෙළඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්ය විධිමත්ව පාලනය කළ යුතු බවද රජය දැනුම් දෙනවා.

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවකයින්ගේ වැටුප අද ලබාදීමට පියවර

(23.03.2020 – 12:48 +0530 – sinhala.adaderana.lk)

සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප අද (23) දිනයේ ලබාදීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ පැතිරයාමත් සමග රාජ්‍ය සේවයේ නියුතු පිරිස් වෙනුවෙන් සිය සේවා කටයුතු පවත්වාගෙන යාම සදහා මෙලෙස වැටුප් ලබාදීමට පියවර ගෙන ඇති බව එම ඒකකය සඳහන් කළාය.

කෙසේවෙතත් පසුගිය සිකුරාදා වන විට බොහෝ රාජ්‍ය සේවකයින් සදහා වැටුප් බැංකු ගත කිරිමට පියවර ගෙන ඇති අතර සෙසු රාජ්‍ය සේවකයින් සදහා අද (23) දිනයේ දී වැටුප් බැංකු ගත කිරිමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්

(23.03.2020 – 11:38 +0530 – sinhala.adaderana.lk)

2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අදාළ දිමනාව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මෙහීදි සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර වෙලාවක් වෙන්කර ගැනීමට ද කටයුතු කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඖෂධ ගැන මහාචාර්ය ජයසුමනගෙන් සජිත්ට පාඩමක්

(23.03.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මුහුණු පොතට මුදා හැර ඇති වීඩියෝවකින් කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිළිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන බව මහාචාර්ය ඡන්න ජයසුමන මහතා සිය මුහුණු පොත හරහා ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

එමඟින් කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිළිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජ ගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස තමන් කාරුණිකව ඉල්ලා සිටින බවයි මහාචාර්යවරයා පවසන්නේ.

ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා එම විඩියෝවෙන් යෝජනා කරන බවත්, ඔහු සඳහන් කරනවා.

හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමය බවත්, ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමය බවත් මහාචාර්ය ජයසුමන අවධාරණය කර තිබෙනවා.

පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරින් එය තේරුම් ගත හැකි බවත් , ඒ නිසා මෙය මුළු මනින් සාවද්‍ය ප්‍රකාශයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

සම්පුර්ණ ලිපිය පහතින් :

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
2020.03.22

ගරු මැතිතුමනි,

ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  1. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.
  2. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.
  3. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක් / අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.

දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයුතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිළිබඳ මහාචාර්ය

+++++++++++++++++++++++++++++++++++

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට STF ආරක්ෂාව

(23.03.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව අනාරක්ෂිත අයුරින් හැසිරීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බලා හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ රජය විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට දැනුවත් කළ ද ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකොට ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් හැසිරුණු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

හෙට (24) ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල සතොස වෙළඳසැල් උදෑසන 7 ට පෙර විවෘත වෙයි

(23.03.2020 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවල මෙන්ම උතුරු පළාතේ පිහිටි සතොස වෙළඳසැල් හෙට උදෑසන 7 ට පෙර විවෘත කරන බව සතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පැය 6 ක් වැනි කෙටි කාලයක් තුළ දී වැඩි පාරිභෝගිකයින් පිරිසකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

හෙට (24) අළුයම 4 සිට මැනිං වෙළඳපොළ විවෘත වෙයි

(23.03.2020 – 17:09 +0530 – hirunews.lk/sinhala)

හෙට (24) අළුයම 4 සිට මධ්‍යහ්න 12 දක්වා කොළඹ මැනිං වෙළඳපොළ විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (24) පෙරවරු 6 සිට 12 දක්වා ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ,හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද – සෞඛ්‍ය සේවා සාමාන්‍ය පරිදි

(23.03.2020 – 16:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ සියලු රෝහල්වල සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කාසල්විදිය කාන්තා රෝහලේ ගර්භනී මාතාවන් සදහා සිදු කරන සෞඛ්‍ය සේවාවන් සහ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් දෛනිකව Covid-19 වෛරසය පිළිබදව සිදු කරන පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදු කරන අතර, අනුරාධපුර මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ද මෙම පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කරනු ලබන බවද අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසන්නේ.

වෛද්‍ය, හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි අත්‍යාවශ්‍ය සහ සමාන්‍ය සෞඛ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී සියලු රෝහල්වල නේවාසික රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

කොරොනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා විශේෂිත ආරක්ෂිත ක්‍රමවේද රෝහල් තුල ක්‍රියාවට නංවා ඇති බවද සදහන්.

සියලු රෝහල් කාර්ය මණ්ඩල ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටින්නේ.

විශේෂයෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන පිරිස් රෝහල්වෙත පිවිසිමේ දී ඔවුන් ඇතුළත් කිරිම සදහා විශේෂිත ආරක්ෂිත ප්‍රවේශ හා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇති අතර, ඔවුන් සදහා විශේෂිත වැසිකිළි පහසුකම් දී සළසා ඇති බවද සඳහන් ෴

+++++++++++++++++++++

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 15,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
(23.03.2020 – 17:33 +0530 – sinhala.adaderana.lk)

+++++++++++++++++++++++++++++++++++

මෙරටින් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

(23.03.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණ සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුට පරීක්ෂණ කිහිපයක් සිදුකළ අතර, මේ වන විට පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් පිටව යාමට නිර්දේශ ලබාදුන් බවයි.

විශේෂ ගිලන් රථයකින් නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද දින 14 ක ස්වයං නිරෝධායන කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අද කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

ඒ බව නිළ වශයෙන් දැනුම් දෙන සහතිකය ඔවුන් වෙත ප්‍රදානය කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *