මන්ත්‍රී වරප‍්‍රසාද වලට මුවාවී හොරුන්ට හැංගෙන්න දෙන්නේ නෑ – උදය ගම්මන්පිල මහතා

(21.11.2017 – 14:26 +0530 – lankadeepa.lk)

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දුරකථන තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමෙන් මන්ත‍්‍රී වරප‍්‍රසාද උල්ලංඝනය වන්නේ වරප‍්‍රසාද පනතේ කුමන වගන්තිය යටතේ දැයි පෙන්වන මෙන් සභානායකවරයාට හා ආශූ මාරසිංහ මන්ත‍්‍රීවරයාටත් තමන් අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (20) පැවසීය.

මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවී හොරකම වසා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් යෙදී සිටින බව ද ඔහු කීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය :

‘‘බැඳුම්කර බෑණාට දුරකතන ඇමතුම් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතළිස් එක්දෙනා අතරින් තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස්දෙනෙක් පිළිබඳව පමණක් කතාකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඇඬූ කඳුළින් පවසනවා. මම නම් පෞද්ගලිකව අර්ජුන් ඇලෝසියස් හඳුනන්නේ නැහැ. කතාකරලත් නැහැ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ සම්බන්ධතා පැවැත්වීම වරදක් නෙමෙයි.

ඒත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කරන සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් ඇලෝසියස් සමඟ රහසේ සම්බන්ධතා පැවැත්වීම ගැටලූවක්. තමන් අර්ජුන් ඇලෝසියස් හඳුනන බව පවසමින් කෝප් කමිටු සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට මෙම මන්ත‍්‍රීවරුන්ට හැකියාවක් තිබුණා. එසේත් නොමැතිනම් ඔහුත් සමඟ කරන කතාබහ කෝප්කමිටුව ඉදිරියේ කිරීමට මේ මන්ත‍්‍රීවරුන්ට හැකියාවක් තිබුණා.

අර්ජුන් ඇලෝසියස් රැක ගැනීමේ වංක චේතනාවෙන් ක‍්‍රියා කළ නිසා මේ මන්ත‍්‍රීවරුන් එසේ ක‍්‍රියාකළේ නැහැ. මෙතන ප‍්‍රශ්නයක් තිබෙන්නේ මේ මන්ත‍්‍රීවරුන් පස්දෙනා පිළිබඳව පමණයි. අනෙක් මන්ත‍්‍රීවරුන් ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ.

මන්ත‍්‍රීවරුන්ගේ දුරකතනවලට රහසින් ඇහුම්කන් දීම මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩවීමක් බව ආශූ මාරසිංහ මන්ත‍්‍රීතුමා කියනවා. මෙතනදී කිසිම මන්ත‍්‍රීවරයෙක්ගේ දුරකථනයකට රහසේ සවන්දී නැහැ. රහස් පොලීසිය විසින් සකස්කරපු වාර්තාවක් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවී ඇති අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම්වරුන්, රියැදුරන් හා සමීපතමයන්ගේ දුරකථනවලින් එක් එක් පුද්ගලයන්ට ගත් දුරකථන ඇමතුම්වලින් එම වාර්තාව සකස්වී තිබෙනවා.

ඒවා බොහෝම සාමාන්‍ය තොරතුරු, වට්ස්ඇප් පණිවිඩ, වයිබර් පණිවිඩ, යැවූ කෙටිපණිවිඩ ප‍්‍රමණය පිළිබඳව සොයාගන්නේ විමර්ශන සඳහා බැඳුම්කර කොමිසමට ලබාදුන් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයෙන්. ඒ නිසා දුරකථනවලට රහසේ සවන්දුන් බව පැවසීම පට්ටපල් බොරුවක්. එමෙන්ම අපරාධ පරීක්‍ෂණයකදී අධිකරණයේ අවසරය ලබාගෙන දුරකථනවලට රහසේ සවන්දීම වරදක් නෙමෙයි. හොරකම හෙළිවනවිට මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවී හොරකම වසාගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් යෙදී සිටින බවක් පෙනෙන්න තිබෙනවා. මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවී හොරුන්ට හැංගෙන්න ඉඩ දෙන්නේ නැහැ.

අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න ඇසීම කළයුත්තේ දප්පුල ද ලිවේරයි. බැඳුම්කර වංචාව සෙවීමේ රන් පදක්කම හිමිවෙන්නේ විගණකාධිපතිවරයාට නම් එහි රිදී පදක්කම පිරිනැමිය යුත්තේ අතිරේක සොලිස්ටර් ජෙනරල් දප්පුල ද ලිවේරා මහතාටයි. දප්පුලගේ වේග පන්දුවලට මුහුණ දෙන්න බැරි නිසා මිත‍්‍රශීලි පන්දු එවන නීතිපතිවරයා කොමිසමට ගෙන්වා ගන්නවා’’ යැයි පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා මෙසේ පැවසීය :

‘‘එමෙන්ම අගමැතිතුමා විසින් සිංගප්පූරු ජාතිකයෙක් වුන අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපතිකම ලබාදෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පියා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක්. මේ වංචාව සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ හඬ නැඟුවා. ඒ වෙලාවේද එක්සත් ජාතික පක්‍ෂයේ නීතීඥවරුන් තිදෙනකුගේ කමිටුවක් පත්කර බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. එමෙන්ම මීටපෙර පැවැති පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෝප්කමිටුව විසින් සකස්කළ බැඳුම්කර වාර්තාවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් අස්සන් කළේ නැහැ.

ඊට පස්සෙන්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එවිට එම වාර්තාව නිකුත් කිරීම වළක්වමින් සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ගත්තා. ඊට පස්සේ පත්වූ පාර්ලිමේන්තුවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් කෝප්කමිටුවක් පත්කළා. ඒ වාර්තාවත් ඒකමතිකව සම්මත කිරීමට එරෙහිව පාද සටහන් යෙදුවා.

එලෙස පාද සටහන් යොදපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධකම් පැවැත්වූ බව මේ වනවිට හෙළිවී තිබෙනවා. ඒ නිසා මේක එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානාත්මකව සිදු කළ කොල්ලයක් ලෙස හැඳින්වීමට හැකියාවක් තිබෙනවා’’ යැයි ඔහු පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *