කොරෝනා මැඩලීමේ සටනේ සිටි ‘IDH වෛද්‍යවරයෙකු’ටත් කොරෝනා වැළඳේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා මැඩලීමේ සටනේ සිටි ‘IDH වෛද්‍යවරයෙකු’ටත් කොරෝනා වැළඳේ

• කොරෝනා වසංගතයෙන් පොහොට්ටු අපේක්ෂකයා ඡන්ද ගරයි.. කොරෝනා සහන මල්ලටත් නම දා ගනී

• කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්

• “වතුර බොන්න බෑ.. හුස්ම ගන්න අමාරුයි.. අම්ම බලන්න යන්න බෑ” – කොරෝනා රෝගීන්ට හෙදකම් කරන හෙදියකගේ දුක කියවෙන සංවේදී සටහනක්

• කොරෝනා මර්ධනයට එරෙහි මහා කුමන්ත‍්‍රණයක්.. නිරෝධායනයට විරුද්ද අය දිරිගන්වයි…

• මෙරට 91 වන කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

• ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97 ක්

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මැඩලීමේ සටනේ සිටි ‘IDH වෛද්‍යවරයෙකු’ටත් කොරෝනා වැළඳේ

(23.03.2020 – 16:21 +0530 – truenews.lk)

අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරයෙකුට ද ‘කොවිඩී නයින්ටීන්’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

එම වෛද්‍යවරයා මේ වන විට අයි.ඩී.එච්. රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔහු මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබූ බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වසංගතයෙන් පොහොට්ටු අපේක්ෂකයා ඡන්ද ගරයි.. කොරෝනා සහන මල්ලටත් නම දා ගනී

(23.03.2020 – 17:02 +0530 – truenews.lk)

කොරෝනා වසංගතය තම දේශපාලන උවමනාවන් පිරිමසා ගැනීම සඳහා පොදුජන පෙරමුණේ ඇතැම් දේශපාලන නායකයන් යොදා ගනිමින් සිටින බව කනගාටුවන් වාර්තා කිරීමට සිදුව තිබෙනවා.

සමුපකාර ඔස්සේ රජය මගින් බෙදා හරින රුපියල් 500 සහ රුපියල් 1000 ක වටිනාකමකින් යුතු පාරිභෝගික භාණ්ඩ මල්ල ඔවුන් විසින් දේශපාලනීකරණය කරමින් සිටිනවා.

මේ වනවිට බත්තරමුල්ල, පැලවත්ත ආදී ප්‍රදේශ රැසක ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් නිවේදනය කරන්නේ කොරෝනා ව්‍යසනයෙන් ජනතාව ගලවා ගැනීමේ අරමුණෙන් මීළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී දේශබන්දු ජගත් කුමාර මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඔහු විසින් හෙට (24) සමුපකාර ඉදිරිපිට සහ MDH පුර වැනි ප්‍රජා ශාලාවලදී මේවා බෙදා හරින බවත් ඒ සඳහා සියල්ලන්ටම ආරාධනා කරන බවත් එමගින් නිවේදනය කරනු ලබනවා.

මෙවන් රෝගයකින් ජනතාව ගලවා ගැනීමට රටම එකතුව සටන් කරද්දී දේශපාලන අඳ බාලයන් කරන මෙවන් ක්‍රියා පිළිබඳව පක්ෂ නායකයන් අන්ධයන් සේ හැසිරීම කණගාටුවට කරුණකි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්

(23.03.2020 – 15:35 +0530 – truenews.lk)

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (23) කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්, අද (23) එම රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි වෛද්‍ය දැඩිසත්කාර ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වන පරිදි කොටසක් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී.

තවද, මෙම අළුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර රෝහලේ අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදා පුද්ගලයින් ඉතා කඩිනමින් අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඉදිරියේදීද වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී ෴

+++++++++++++++++++++++++++++++++++

“වතුර බොන්න බෑ.. හුස්ම ගන්න අමාරුයි.. අම්ම බලන්න යන්න බෑ” – කොරෝනා රෝගීන්ට හෙදකම් කරන හෙදියකගේ දුක කියවෙන සංවේදී සටහනක්

(23.03.2020 – 15:32 +0530 – truenews.lk)

කොරෝනා හේතුවෙන් වඩාත් තර්ජනයට ලක්වූ රැකියාවක් කරන පිරිසක් ලෙසින් හෙද නිලධාරිණියන් හැඳින්වීමට පුළුවන. රෝගියා පිළිබඳව නිරන්තර සොයා බැලීම ඇගේ වගකීමකි. ජීවිතය පිළිබඳව ඇති ආසාව ද අතහරිමින් මෙම පිරිස කරන කැපවීම වචනයෙන් ලිවීමට හැකියාවක් නැත.

ඔවුන් විඳින දුක කොතරම් ද යන්න වටහාගත හැකි සටහනක් දැනට පැය 5 කට පමණ පෙර ගාල්ල කරාපිටිය රෝහලේ හෙද නිලධාරිණියක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.

= “වතුර බොන්න බෑ..හුස්ම ගන්න අමාරුයි..අම්ම බලන්න යන්න බෑ” කොරෝනා රෝගීන්ට හෙදකම් කරන හෙදියකගේ දුක කියවෙන සංවේදී සටහනක් =

කොහොම වුණත් තමන්ගේ අත්දැකීමක් ගැන ගාල්ල කරාපිටිය රෝහලේ හෙද නිලධාරිණියක් සිය මුහුණුපොතේ මෙලෙස සටහන් කර තිබුණා. ඇය දීපශිකා සඳමාලි නම් වනවා.

ඒ අතර ඇය “ගෙදර යන්න බෑ.. ආසයි අම්මව බලන්න” යනුවෙන් සංවේදී කරුණු රැසක් ද සටහන් කර තිබුණා.

චීනයේ වුහාන් හි සිය සේවය නිම කළ වෛද්‍යවරු පිටව යනවිට පොලිසිය සැලියුට් ගැහුවේත් ඉතාලියට පැමිණෙන කියුබානු වෛද්‍යවරුන්ට අත්පුඩි ගැහුවේත් මෙහි කටුක බව ලෝකයා දන්නා නිසායි.

එහෙත් , වගකීම් විරහිත ලාංකිකයන් සුළු පිරිසක් නොමනා ලෙස හැසිරෙන මෙවන් අවදියක එම හෙදියගේ සටහන අප පහතින් ගෙනහැර දක්වන්නේ ‘නොමිනිසුන්ට දැන්වත් සිතන්නැයි’ පණිවිඩයක් දීම උදෙසායි.

“AAgainst covid- 19
මම මගේ හෙද ජීවිතයට ගොඩක් ආදරෙයි එදත් අදත් හෙටත් .. ඒ වගේම නර්සින් යුනිෆෝම් එකට.
හුස්ම ගන්නත් අමාරු ආරක්ෂක ඇදුමක් පැය 3,4 ක් ඇඳන් ඉන්න වෙයි කියලා කවදාවත් නොහිතුවත් අද ඒ දේ සිද්ද වෙලා ..
හරියට යුද්ධය ක් වගේ ඇදුම දා ගත්තාම කන රිදෙන තරම්,
දාඩිය ගලන්නේ ගගක් වගේ..
නාසය දැනටත් තුවාල වෙලා..
හුස්ම ගන්න අමාරුයි ..
බූට් වලට දනහිස රිදෙන තරම්,
සමහර වෙලාවට ඇදුම අස්සෙන් ඇඩුවත් කාටවත් පේන්නෑ..
ගෙදර යන්න බෑ ආසයි අම්මව බලන්න..
වතුර ටිකක් බොන්න හිතුනොත් බොන්න බෑ..
මේ තරම් දුකක් වින්දත් අදටත් මන් හෙද ජීවීතේ ට ආසයි❤️..
ඒ හින්දා මන් වගේම හැම සෞඛ්‍ය සේවකයෙක්ම විදින මේ යුද්ධය ජය ගන්න ඔයාලත් සහය වෙන්න..
මෙච්චර දුෂ්කර ඇදුම් ඇඳන් ඔයාලට ගෙදර ඉන්න වෙන්නෑනේ..
ඒ හින්දා ප්ලීස් හැමෝම ගෙදර ඉන්න…අපිට උදව් කරන්න.”

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්ධනයට එරෙහි මහා කුමන්ත‍්‍රණයක්.. නිරෝධායනයට විරුද්ද අය දිරිගන්වයි…

(23.03.2020 – 13:20 +0530 – lankacnews.com)

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනය =

නීති තර්ක වලින් ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙලා දකිමු.

කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීම වැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි. සජිත් ප්‍රේමදාස හිටපු විපක්‍ෂ නායකවරයාත්, මුහුණුපොත හරහා මේ තර්කයම ඉදිරිපත් කරමින් සිටි.

පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය පැවරේ. මේ නිසා කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත. පසුගිය පෙබරවාරි 20 වෙනිදා, යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ඇතුලු පාර්ශවය අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එයට විරුද්ධ විය.

රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අපිට මුදල් සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසාය. මේ රටේ එකම කොරෝනා ආසාධිතයෙක්වත් නැති අවස්ථාවක 2020 මාර්තු 02 වනදා, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඊට දින දහයකට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමඟම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්‍ෂය කලේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු යැයි හඩ නැගීමය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් පත්‍රයේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වන දිනයත් නියම කළ යුතු වේ. එම ප්‍රකාශය නිකුත් කළ පසුව, මොනම තත්වයක් යටතේවත් ඡන්දය පවත්වන දවස කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නැත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව යම්කිසි අනපේක්‍ෂිත හෝ හදිසි තත්වයක් නිසා ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනය කල්දමා ඇත.

මේ ආකාරයට මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන්, ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස්වන්නේ නැත. කොරෝනා වෛරස් උවඳුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එ.ජා.පයේ පාර්ශව දෙක තරඟයක නියැලී සිටින බව අපට පෙනේ. පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණ, නිරෝධායනයට යෑමට නොහැකි යැයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩ පිළිවෙලට අකුල් හෙලූ ආකාරය මුලු රටම දුටුවේය. අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය පසුගිය මාසයේ පාර්ලිමේන්තුව තුළ ගත් උත්සාහය වැරදුනු පසු, දැන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසන්ගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා මේ උත්සාහය අපි හෙළා දකිමු.

අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිව දියත් කරන මෙවන් කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

+++++++++++++++++++++++++++++++++++

මෙරට 91 වන කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

(23.03.2020 – 18:06 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (22) රාත්‍රීයේ දි කොරෝනා ආසාදිත තහවුරු කළ රෝගීන් 4 දෙනෙකු වාර්තා වු අතර අද (23) දිනයේ දී රෝගීන් 5 දෙනෙකු තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ්-19 පැතිරීම වැළැක් වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී තහවුරු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 91 ක් වාර්තා වෙයි.

මේ අතර පුද්ගලයින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18 ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ්-19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97 ක්

(23.03.2020 – 22:50 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අද (23) දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වු බව අමාත්‍යවරිය ‘අද දෙරණ’ නාලිකාවේ විකාශය වන 360 වැඩසටහන සමඟ එක්වෙමින් පැවසීය.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 18 ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අලුතින් කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුම වර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

තවත් තිදෙනෙක් කොළඹ දිස්ත්‍රිකයෙන් වර්තා වුණු අතර ප්‍රථම වරට ඊයේ (22) යාපනය දිස්ත්‍රිකයෙන්ද එක් කොරෝනා රෝගීයෙකු වාර්තා විය.

මේ අතර පළමු ‍‍කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයා අද (23) සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *