කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් දැවැන්ත සහන රැසක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් දැවැන්ත සහන රැසක්

• හෙට (24) දිනයේ දී සුපිරි වෙළෙඳසැල් විවෘත වන වේලාවන් මෙන්න

• හෙට (24) ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල සතොස වෙළඳසැල් උදෑසන 7 ට පෙර විවෘත වෙයි

• අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමට රජ්‍ය සහ පෞද්ගලි ආයතන රැසක ක්‍රියාමාර්ග (විඩියෝ)

• ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවූ පිරිසක් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

• දිවයින පුරා රෝහල් 30 ක් සූදානමින් (විඩියෝ)

• ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාව ඔබ හැසිරිය යුතු ආකාරය (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් දැවැන්ත සහන රැසක්

(23.03.2020 – biz.adaderana.lk)

රු. ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට, ත්‍රීවීල් ලීසිං වාරික අය කිරීම මාස 06කට අත්හිටුවයි. ක්‍රෙඩිට් කාඩ් පොළී පහළට.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ අපහසුතාවයට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මෙම සියලු සහන අද (23) සිට වහාම ක්‍රියාත්මක වන බවයි.

මෙම සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

අදාළ සියලුම සහන පහතින් දැක්වේ :

1) ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000 ට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාලසීමා, රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් (Credit Card) ගෙවීම් 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.

2) ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ලීසිං ණය වාරික අය කරගැනීම මාස 06 කට අත්හිටුවීම.

3) රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම් 2020 මැයි මස 30 වන දින දක්වා අත්හිටුවා තිබේ.

4) බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

5) රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ, මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කෙරේ.

6) කොරෝනා වෛරසය මර්දනයේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කෙරේ.

7) සංචාරක, ඇගළුම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 06 ක ණය සහන කාලයක් (DEBT MORATORIUM) ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිමූල්‍ය කිරීම.

8) ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වල මුදල් ආයෝජනය කිරීමේදී, එමගින් මුදල් වෙළඳපොළ 7% ක පොළී අනුපාතය යටතේ ස්ථාවර කිරීම.

9) මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගණුදෙනු සඳහා භාවිත ණයපත් (Credit Card) සඳහා ණය පොළී අනුපාතය 15% ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අයකිරීම 50% කින් අඩුකිරීම.

10) ඇඳිරි නීතිය නැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගණුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘතව තැබීම.

11) ශ්‍රී ලංකා වරාය, රේගුව හා සෙසු නියාමන ආයතන අත්‍යාවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව අදාළ පුද්ගලයින්ට නිකුත් කළ යුතුය.

12) සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000 ක පොළී රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබාදීම.

13) ලංකා සතොස හා සමූපකාර වෙළෙඳසැල් වැට් බදු හා වෙනත් ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින් නිදහස් කිරීම.

14) අඩු ආදායම්ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා හිමිකම් සහතික පත් වහාම නිකුත් කළ යුතුය. එම පවුල්වලට වැඩිහිටියන්ට හා අඩු ආදායම්ලාභීන්ට සහල්, පරිප්පු, ලූණු ආහාර හිමිකම් සහතික පත් (Food Card) මඟින් සතිපතා ලබා දිය යුතුය.

15) COVID–19 වෛරසය පැතිර යාම වැළැක්වීමට හා අදාළ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ කටයුතුවලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇත. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක් තැන්පත් කර තිබේ. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත.

16) SAARC රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇ. ඩො. මිලියන 05 ක් වෙන්කිරීම.

මේ තීරණ වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2020-03-23

+++++++++++++++++++++++++++++++++++

හෙට (24) දිනයේ දී සුපිරි වෙළෙඳසැල් විවෘත වන වේලාවන් මෙන්න

(23.03.2020 – biz.adaderana.lk)

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00 ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.

මෙම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන් හි වෙළෙඳසැල් විවෘතව තැබෙන අතර මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලා ද මෙලෙස මහජනතාව වෙනුවෙන් විවෘත වෙනු ඇත.

ඒ අනුව ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් කිහිපයක ශාඛා හෙට, එනම් මාර්තු 24 දින විවෘත වන කාලසීමාවන් පහත පරිදි වේ.

Keells

මාර්තු 24 වන දින ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අපගේ ශාඛා 79 ක් පාරිභෝගිකයින් සඳහා උදෑසන 7 සිට දහවල් 12 දක්වා විවෘත වේ.

අනෙකුත් සියලු ශාඛාවන් වසා තබනු ඇත.

අපගේ පාරිභෝගිකයින්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

  1. ශාඛාව තුළට එක් වරකට ඇතුළුවීමට හැකියාව ඇත්තේ පාරිභෝගිකයින් 15 දෙනෙකුට පමණයි. එම නිසා කණ්ඩායම් වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමට නොපැමිණෙන ලෙසත්, එක් පවුලකට එක් පුද්ගලයෙකු සීමා කරන ලෙසත් අපි ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  2. සෑම විටම සෙසු පාරිභෝගිකයින් සහ අපගේ කාර්යමණ්ඩලය අතර අවම වශයෙන් මීටර් 1-2 ක දුරක් පවත්වා ගන්නා ලෙස අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  3. සියලුම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම භාණ්ඩයකින් එක් පාරිභෝගිකයෙකුට දිනකට මිල දී ගත හැකි උපරිම ප්‍රමාණය කිලෝ හෝ ඒකක 3කි.

මෙම තත්ත්වය හමුවේ ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිල දී ගන්නා ලෙසත්, සෙසු පාරිභෝගිකයින්ට හා අපගේ කාර්යමණ්ඩලයට අපහසුතාවයක් නොවන ලෙස කටයුතු කරනා ලෙසත් අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

පවතින තත්ත්වය හමුවේ සිදුවන ඕනෑම වෙනස්කමක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

Keells – 7.00 am – 12.00 noon
(80 of their stores will be open to customers in areas where the curfew will be lifted on 24th March. The other stores will remain closed.)
.
Cargills – 6.30 am – 12.00 noon
.
Sathosa – 7.00 am – 12.00 noon
.
Arpico – 7.00 am – 11.00 pm
(Battaramulla , Negombo, Boralasgamuwa , Piliyandala Dehiwala , Nawinna, Gampaha * Thalawathugoda, Homagama * Wattala, Hyde Park Corner , Wattala 2, Kadawatha, Wellawatte, Kottawa ,Kiribathgoda, Malabe and Yakkala outlets will be opened)
.
Spar – 8.00 am – 12 .00 noon
(Only the Thalawathugoda and Malabe stores will be open)
.
LAUGFS – 7.00 am – 12.00 noon.

+++++++++++++++++++++

හෙට (24) ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල සතොස වෙළඳසැල් උදෑසන 7 ට පෙර විවෘත වෙයි

(23.03.2020 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවල මෙන්ම උතුරු පළාතේ පිහිටි සතොස වෙළඳසැල් හෙට උදෑසන 7 ට පෙර විවෘත කරන බව සතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පැය 6 ක් වැනි කෙටි කාලයක් තුළ දී වැඩි පාරිභෝගිකයින් පිරිසකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමට රජ්‍ය සහ පෞද්ගලි ආයතන රැසක ක්‍රියාමාර්ග

(23.03.2020 – 23:27 +0530 – sinhala.adaderana.lk)

ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වලත්, ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වලත් අද (23) දිනයේදී ජනතාවට අවශ්‍ය කෙරෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ අනෙකුත් ද්‍රව්‍ය බෙදාහැරීම සදහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අද (23) උදෑසන කැප්පොටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු කරන ආකාරය දක්නට ලැබීන.

ගොවීන් එළවළු අලෙවි කිරීම සදහා ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබුණත් ඒවා මිලදී ගැනීම සඳහා පිට පළාත් තොග වෙළෙදුන්ගේ පැමිණීම අවම වීම නිසා එළවළු මිල පහත වැටී තිබුණි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත විම පාලනය කිරීම සඳහා ජනතාව වෙළෙඳසැල්වලට පැමිණීම අවම කිරීමේ අරමුණින් ගාල්ල නියාගම ප්‍රාදේශීය කොට්ඨාසයේ සතොස වෙළෙඳසැල හා නියාගම ප්‍රෙද්ශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ඔන්ලයින් ක්‍රමයට ආහාර මලු බෙදා හැරීමට අද (23) කටයුතු කළේය.

මොරටුව නගර සභාව විසින් මොරටුව නගර සභා බල සීමාවේ පදිංචි පවුල් 8500 ක් සදහා වියලි ආහාර මලු බෙදාදීම සඳහා ඇසුරුම් කිරීම මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී සිදුකෙරුණි.

කඩුවෙල මහානගර සභාව සහ හේවාගම්කෝරල විවිධ සේවා සමූපකාර සමිතිය එක්ව දියත් කරන , කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාව විසින් ඇනවුම් කරන ලද වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම ගෙන ගොස් ලබාදීමේ වැඩසටහන අද (23) ආරම්භ කෙරුණි.

මේ අතර හාල් කිලෝ 3 ක් , පරිප්පු කිලෝවක් සහ සැමන් ටින් එකක් සහිත ආහාර මල්ලක් රුපියල් 500 ක් වැනි සහන මිලකට කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ ජනතාවට ලබාදීම සදහා සිවිල් ආරක්ෂක බලකාය අද (23) එම ආහාර මලු ඇසුරුම් කිරීම සිදුකෙරුණේ වැලිසර පිහිටි මූලස්ථානයේදීයි.

නාවලපිටිය නගරයේ සිට ලොරි මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විවිධ සේවා සමූපකාර සමිති නොමැති ප්‍රදේශ වෙත ප්‍රවාහනය කර එම ජනතාව අතර බෙදාහැරීම මෙලෙස සිදුකෙරුණි.

කොළඹ කොටුව මැනිං වෙළදපොළ හෙට (24) උදෑසන 5 ට වෙළදාම් කටයුතු සදහා විවෘත කෙරෙන බව මැනිං මාර්කට් පොදු වෙළද සමිතිය පවසයි.

මේ අතර සමූපකාර තොග වෙළද සංස්ථාවේ කොළඹ පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට රජය පසුගියදා මිල පහත දැමූ පරිප්පු සහ සැමන් ටින් තොග දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පිටත් කර යැවීම සදහා සූදානම් කෙරුණු ආකාරය දක්නට ලැබුණි.

රජය ඊයේ (22) දැඩි කොන්දේසි මත ආහාර අලෙවි කිරීමට අවසර දුන් බේකරි ආහාර බෙදාහරින ජංගම වෙළෙඳුන් හෙවත් චූන් පාන් වෙළෙඳුන්ගෙන් ජනතාව බේකරී ආහාර මිලදී ගන්නා ආකාරයද අද (23) දක්නට ලැබුණි.

ඇදිරි නීතිය බලපැවැත්වෙන තත්වය යටතේ වුවද ගොවිතැන් කටයුතු සිදුකිරීමට රජය ලබාදුන් අවසරය මත අද (23) දිනයේත් මාතර තෙලිජ්ජවිල,පරදූව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ගොවිතැන් කටයුතු වල නිරත වන ආකාරය දක්නට ලැබුණි.

මේ අතර කො‍ළොන්නාව තෙල් තොග පර්යන්තයේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශ වලට තෙල් තොග ප්‍රවාහනය කෙරුණේ බවුසර් සහ දුම්රිය භාවිත කරමින්.

කොරෝනා වෛරසයට එරෙහි විෂබීජහරණයට අවශ්‍ය කෙරෙන එතනෝල් නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීමට මේ වනවිටත් ලංකා සීනි සමාගම පියවරගෙන තිබේ.

සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා මූලික කරගනිමින් අදාල නිෂ්පාදන කටයුතු සිදුකෙරෙන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය මතයි.

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවූ පිරිසක් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

(23.03.2020 – 21:19 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත්නොවී සිටින තැනැත්තන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් නිවේදනය මගින් පොලිසිය දන්වා සිටින්නේ ඔවුන් පිලිබඳ තොරතුරක් වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙසයි.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

දිවයින පුරා රෝහල් 30 ක් සූදානමින්

(23.03.2020 – 22:11 +0530 – sinhala.adaderana.lk)

ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30 ක් සූදානම් කර තිබේ.

ඒ අතරට වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු සංකීර්ණ සියලු පහසුකම් සහිතව නවීකරණය කිරීම පැය 24 ක් වැනි කෙටි කාලයකින් සිදු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

මෙම වාට්ටු සංකීර්ණයේ පුද්ගලයින් 51 දෙනෙකු නේවාසික නිරෝධායනය කිරීමේ පහසුකම් සලසා දී තිබේ.

මීට අමතරව ඉරණවිල පිහිටි ‘වොයිස් ඔෆ් අමෙරිකා’ ආයතනයට අයත් ගොඩනැගිලිද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යුධ හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදුකෙරුණි.

හෝමාගම මූලික රෝහල නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස මේ වන විටත් සංවර්ධනය කර අවසන්.

ඒ අනුව එම රෝහල විෂබීජහරණය කිරීමටද කටයුතු කළේය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාව ඔබ හැසිරිය යුතු ආකාරය

(23.03.2020 – 20:34 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාව තුළදී වෙළෙඳපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදි අනවශ්‍ය කලබලයකින් තොරව ඔබ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ‘අද දෙරණ’ නිරන්තරයෙන් දැනුවත් කළේය.

රට ගැන සිතා එම උපදෙස් නිසි පරිදි පිළිපදිමින් බුද්ධිමත්ව ක්‍රියා කරන බොහෝ පිරිසක් අද (23) දිනයේ අපට දැකගගන්නට හැකි විය.

නමුත්, ජාතික ව්‍යසනයක් පවතින මේ මොහොතේ ඉන් ආරක්ෂාවීමට සෞඛ්‍ය හා ආරක්ෂකඅංශ ලබා දුන් උපදෙස් මායිමකටත් නොගත් ඇතැම් පිරිස් ආත්මාර්ථකාමීව කටයුතු කරනු ආකාරයත් දකින්ට ලැබුණි.

මුළු දිවයිනම ආවරණය වන පරිදි පසුගිය සිකුරාදා පැනවූ ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 8 කට හැර සෙසු ප්‍රදේශ සදහා අද (23) පෙරවරු 6 ට ඉවත් කෙරුණි.

ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට වෙළෙදපොළට ගොස් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන රජය සලසා දී තිබුණි.

වෙළෙඳසැලේදී අනවශ්‍ය කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගන්නා ලෙසට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ජනතාව දැනුවත් කර තිබූ අතර ‘අද දෙරණ’ද එය නිරන්තරයෙන් ජනතාවට සිහිපත් කළේ කොරෝනා වෛසරය ව්‍යාප්තිය අවම කර ගැනීම සෑමදෙනාගේම වගකීමක් වන නිසයි.

ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල බොහෝ පිරිසක් එම උපදෙස් නිසි පරිදි අනුගමන කරමින් මීටරයක අවම දුරක් පවත්වා ගෙන, මුඛ ආවරණ පැළඳ වෙළෙඳසැල්වලට, ඉන්ධනහල්වලට සහ ATM යන්ත්‍ර වලින් අද මුදල් ලබා ගැනීමට පැමිණි අයුරු දක්නට ලැබුණි.

මේ අතර කෑගල්ල දැරණියගල සිරිසමන් විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායම් ආදි සිසුන් විසින් ප්‍රදේශයේ වෙළෙඳසැල් අසලට පැමිණෙන ජනතාවට මිටරයක පරතරය සලකුණු කර ඇති අයුරුයි මේ.

ඇතැම් සුපිරි වෙළෙඳසැල් සඳහා පැමිණි ජනතාවට මිටරයක පරතරයකින් යුතුව සිටීමට සහ භාණ්ඩ මිලදී ගැනීමේදීත් තදබදයකින් තොරව කටයුතු කිරීමට එම වෙළෙඳැසැල් කාර්ය මණ්ඩල ඉඩ සලසා දී තිබීම පැසසිය යුත්තක්.

මේ අතර තවත් පිරිස් විසින් වෙළෙඳසැල් සඳහා පැමිණෙන ජනතාවට නොමිලේ මුඛ ආවරණ ලබා දීම ප්‍රදේශ රැසකදී දක්නට ලැබුණි.

මේ අතර රජය ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාකරමින් පොදු ප්‍රවාහන සේවයේදීත් පුද්ගලයන් අතර අවම දුරක් පවත්වාගෙන අසුන් ගන්නට ජනතාව කටයුතු කළේය.

ලබාදුන් උපදෙස් නිසිපරිදි අනුගමනය කිරීමට බොහෝ පිරිසක් කටයුතු කරද්දි ඇතැමුන් එක්රැස්වී, මුඛ ආවරණ නොපැළඳ, ආර්ථකාමීව කටයුතු කරන ආකාරයත් දකින්නට ලැබුණි.

මුඛ ආවරණ නොපැළඳ සිටින ලෙසත් පුද්ගලයින් අතර භාණ්ඩ මිලදී ගැනීමේදී මීටරයක දුර පවත්වා ගන්නා ලෙසත් අනුරාධපුර පොලිසියේ නිලධාරින් සහ අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනතාව දැනුවත් කළේය.

කොතරම් සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නත් ඒවා මායිම් නොකළ අතැම් ජනතාව වෙළෙඳසැල් හා ඉන්ධනහල් සඳහා පැමිණ වගකීම් විරහිතව හැසිරුණු ආකාරයත් අද දක්නට ලැබුණි.

එමෙන්ම මුඛ ආවරණ පැළඳ බාහිරට පැමිණෙන ලෙස සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් නොතකමින් අදත් බොහෝ පිරිසක් වෙළෙඳසැල්වලට පැමිණ සිටියේය.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන ලෙස එම නිවේදනයේ සඳහන්.

හැකි සෑම අවස්ථාවකම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගන්නා ලෙසත් එහි දැක්වේ.

ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඔබ නිවසට නුදුරුම වෙළෙඳ සැලට පමණක් ගමන් කරන්නැයිද නිවසකින් එක් අයෙකු පමණක් වෙළෙඳසැලට යෑමට වග බලාගන්නැයිද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිතරම පිළිපදින ලෙසටත් වයෝවෘද්ධ පුද්ගලයින් නිවස තුළම රඳවා තබන ලෙසත් නිවේදනයේ සඳහන්.

භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳසැලේ ගත කරන කාලය තුළ පුද්ගලයින් අතර මීටරයක පරතරයක් තබාගන්නා ලෙසත් භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළෙඳසැල තුළ ගත කරන කාලය සීමා කරන ලෙසත් එහි දැක්වේ.

මෙම වෙළෙඳසැල් තුළට වැඩි පිරිසක් ඇතුළු කර නොගැනීමට වෙළෙඳසැලේ අයිතිකරු, කළමනාකරු, ආරක්ෂක අංශ වගබලා ගත යුතු වේ.

බාහිරට ගොස් නැවත නිවසට පැමිණීමේදී සිය අඩු මල්ල එළියේ තබා අත සෝදාගෙන එම භාණ්ඩ පමණක් නිවසට ගෙන මල්ල විෂබීජහරණයට අව්වේ තබන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

එසේම තමන් ඇඳ සිටි වස්ත්‍ර සෝදා තමන්ද පිරිසිදුවී නිවසට ඇතුළු වීමෙන් ඔබත් ඔබගේ පවුලේ සාමාජිකයනුත් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වාගත හැකියි.

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Absconding travellers from Italy: 3 adults and 10 kids including babies, but with 13 different surnames. Surely the kids did not come on their own, and judging from the surnames of the 3-adults here, the kids belong to other families. Most likely intelligence should be able to track their fathers and find out how the kids got here (e.g., with the mother only) and that way track where the kids are. Very difficult to identify a kid if he is in a village or a big city. Better to broadcast their photos on popular TV channels.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *