කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් වෙයි – අද (24) පස්වරු 2 ට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් වෙයි – අද (24) පස්වරු 2 ට (විඩියෝ)

• නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම පිටව යයි

• ඉතාලියේ සහයට කියුබානු වෛද්‍ය කණ්ඩායම් පැමිණේ (විඩියෝ)

• චීනයේ නව කොරෝනා වෛරස් දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

• දස දහස් ගණනකගේ ජීවිත අහිමි කළ Covid 19, ලොව පුරා මිලියන ගණනකට රැකියා ද අහිමි කරයි

• ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 2262 ක් අත්අඩංගුවට

• ලෝක කොරෝනා ආසාදිතයන් තුන්වන ලක්ෂය දින 4 කින් – බ්‍රිතාන්‍යයත් සති තුනකට වැසේ

• ගුවන් හමුදාවේ එම් 17 වර්ගයේ යානය ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කෙරේ

• අවශ්‍ය මොහොතක නගර විෂබීජහරණයට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් 5 ක් සූදානමින්

• නාවික හමුදාව යාපනයේ ආගමික ස්ථාන සහ නිවාස විෂබීජහරණය කරයි

• ඇඳිරි නීතිය රහිත කාලයේ කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිතයට

• ‘කොවිඩ්-19’ පළමු රෝගියා හමුවුනේ ඇමරිකාවේදී – චීන විදේශ අමාත්‍යංශයේ චෝදනාවට ඇමරිකාවෙන් අද වන තුරු පිළිතුරු නැහැ – ජාතික සංවිධාන කියයි (විඩියෝ)

• කොරෝනා වසංගතය ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් – වෛද්‍ය ලියොනිඩ් රොෂාල් රුසියානු වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති පූටින්ගේ උපදේශක

• හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

• මේක හමුදා රාජ්‍යයක්ද? – විජිතගේ ප්‍රශ්ණයට හමුදාපතිගෙන් සැර උත්තරයක් (විඩියෝ)

• ‘ඔබ ඇති කල හානිය මකන්න බෑ..’- කන්දකාඩුවේ විරෝධතාකරුවන් ගෙදර යන්න පෙර හමුදාවෙන් තද දේශණයක්.. (විඩියෝ)

• මාරාන්තික කොරෝනා මර්දනය කරන දේශීය හා පාරම්පරික ඖෂධ

+++++++++++++++++++++++++++++++++++

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් වෙයි – අද (24) පස්වරු 2 ට

(24.03.2020 – 08:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මෙන්ම උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල අද (24) දහවල් 12 ට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය යළි පනවනු ලබන්නේ අද (24) පස්වරු 2 ටයි. රජය ප්‍රකාශ කළේ පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා කාලය පවතින බැවින් අනවශ්‍ය ලෙස කලබලවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අද (24) උදෑසන 6 ට මෙම ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර, එම අවස්ථාවේ සිට ජනතාව සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නගර වෙත පැමිණෙමින් සිටිනවා.

බොහෝ දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් වලට අනුකූලව මීටරයක පරතරයක් සහිතව සුපිරි වෙළදසැල් ඉදිරිපිට භාණ්ඩ මිලදී ගැනීම සඳහා රැදී සිටින බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම පිටව යයි

(24.03.2020 – 10:19 +0530 – sinhala.adaderana.lk)

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම අද (24) එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව ඔවුන් මේ වන විට පිටත්වයාමේ කටයුතු ආරම්භ වී ඇතිබව වාර්තා වේ.

විදෙස් ගතව සිට මෙරටට පැමිණි 311 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව යන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණ තිබුණි.

ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද (24) දිනයේ නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව යනු ඇති.

මෙම පිරිස් මහනුවර, මාතර සහ ගාල්ල දක්වා යුධ හමුදාවේ මැදිහත්විමෙන් බස් රථ මගින් රැගෙන යාමට නියමිතව තිබේ.

ඔවුන්ට අවශ්‍ය දිවා ආහාරය සහ කුඩා දරුවන්ගේ ආහාර ද යුධ හමුදාව විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියේ සහයට කියුබානු වෛද්‍ය කණ්ඩායම් පැමිණේ

(24.03.2020 – 11:29 +0530 – hirunews.lk/sinhala)

එක්දිනක් තුළ නව කොරෝනා මරණ 131 ක් වාර්තා වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ආරක්ෂිත උපකරණ ප්‍රමාණය ඉක්මවා ගබඩා කිරීම වළක්වාලීමේ නියෝගයකට ජනපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 46,300 ඉක්මවා ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 550 කට අධිකයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් කේන්ද්‍රය වන නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 21,000 ක් පමණ වාර්තා වී තිබෙනවා.

නිව්යෝක් පුරවරයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 157 ක්.

නිව්යෝක් නගරාධිපතිවරයා අනතුරු අගවා ඇත්තේ ප්‍රමාණවත් වෛද්‍ය සැපයුම් නොලැබුණහොත් එහි කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි.

ඊයේ (23) දිනයේදී ද කොරෝනා මරණ 602 ක් ඉතාලියෙන් වාර්තා වූ අතර, වෛද්‍ය සේවා ප්‍රතිකාර කටයුතු පවත්වා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා.

ඔවුන්ට සහය වීම සඳහා තිස් වසරක් ඇමරිකානු සම්බාධක ක්‍රියාත්මක වන කොමියුනිස්ට් කියුබාවෙන් වෛද්‍ය කණ්ඩායම් ඊයේ (23) පැමිණි අතර, ඔවුන් ඉමහත් හරසරින් පිළිගෙන තිබෙනවා.

කියුබානු වෛද්‍ය කණ්ඩායම් යොදවනු ලබන්නේ ඉතාලියේ කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ ලොම්බාඩි ප්‍රදේශයටයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

චීනයේ නව කොරෝනා වෛරස් දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

(24.03.2020 – 09:02 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 78 දෙනෙකු වාර්තා වීමත් සමඟ එරට දෙවන කොවිඞ් නයින්ටීන් රැල්ලක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා.

කෙසේ නමුත්, එයින් 74 දෙනෙකුම පිටතින් වෛරසය ආසාදනය වී පැමිණි අයයි.

එමෙන්ම, සතියකට පමණ පසු වූහාන් නගරයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම විශේෂත්වයක්.

කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්.

චීනයේ මිය ගිය සංඛ්‍යාව 3277 ක් ලෙස සටහන් වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 81,000 කට අධිකයි. කෙසේ නමුත්, පසුගිය සති කිහිපය තුළ චීනයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබුණා.

ඉන් අනතුරුවයි මෙලෙස විදේශයන් හි සිට පැමිණෙන චීන ජාතිකයන්ගෙන් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

දස දහස් ගණනකගේ ජීවිත අහිමි කළ Covid 19, ලොව පුරා මිලියන ගණනකට රැකියා ද අහිමි කරයි

(24.03.2020 – 09:43 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා ජීවිත 16,572 ක් උදුරාගත් Covid 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා මිලියන ගණනක කම්කරුවන්ට රැකියා අහිමි කර ඇත්තේ දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් නිර්මාණය කරමිනුයි.

මහජන සෞඛ්‍යයට ඇති තර්ජනයට අමතරව, ආර්ථික හා සමාජීය තත්ත්වයන් අඩපණ වීම තුළ මිලියන ගණනකගේ පැවැත්ම “කොරෝනා” විසින් උදුරා ගනිමින් සිටිනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව, මෙම අර්බුදයට පිළියම් යොදන්නේ නැතිනම්, කොරෝනා ලොව පුරා මිලියන 25 කගේ රැකියා අවස්ථා අහිමි කරනු ඇති. එය විශාල ගෝලීය ආර්ථික අර්බුදයක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

චීනයේ ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් වසා දැමීම සහ ගෝලීය සැපයුම් දාමය කඩාකප්පල් වීමත් සමඟ ආරම්භ වූ ආර්ථික හා සමාජ අර්බුදය දැන් අවන්හල්, සිල්ලර වෙළෙන්දන්, ගුවන් සමාගම්, රජයේ පාසල් සහ කර්මාන්තශාලා මෙහෙයුම් වසා දැමීම නිසා ලොව පුරා මෙම අර්බුදය පැතිර යමින් තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ප්‍රකාශ කර ඇත්තේ, වෛරසයේ බලපෑම, මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලු කර හරින බවයි.

ජනතාව සහ භාණ්ඩ ගමන් කිරීම සීමා වන වටපිටාවක එසේ සිදුවීමේ ඉඩ කඩ වැඩි බව සඳහන්.

දැනටමත් ලොව පුරා නිෂ්පාදන සමාගම් වලින්, හෝටල්, ගුවන් සහ සේවා සමාගම් වලින් සේවකයින් ඉවත් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 2262 ක් අත්අඩංගුවට

(24.03.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 2262 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු වාහන 579 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ලෝක කොරෝනා ආසාදිතයන් තුන්වන ලක්ෂය දින 4 කින් – බ්‍රිතාන්‍යයත් සති තුනකට වැසේ

(24.03.2020 – 06:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වන විට තුන් ලක්ෂ 78,000 ඉක්මවා ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 16,500 කට ආසන්නයි.

ඉතාලියෙන් මරණ 6077 ක් වාර්තා වන අතර, චීනයේ මරණ 3270 ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 2311 ක් වාර්තා වනවා.

ඉතාලියේ ඊයේ දිනයේත් මරණ 601 ක් වාර්තා වූ නමුදු එම සංඛ්‍යාව තුන්වන දිනටත් අඩුවීම විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ලක්ෂයක් වීමට දින 67 ක් ගත වූ බවයි.

දෙවන ලක්ෂය දින 11 කින් වාර්තා වූ අතර, තුන් වන ලක්ෂය ඉන් දින 4 කට පසු උදා වීම ‘කොවිඩ් නයින්ටීන්’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පිළිබිඹු කරන බව ඔහු පෙන්වා දුන්නා.

කෙසේ නමුත්, මෙම ප්‍රවණතාව වෙනස් කිරීමට තවදුරටත් අවස්ථාවක් පවතිනවා.

ඒ සඳහා ලොව සියළු රටවල් ආසාදිතයන් හඳුනා ගැනීමට පුළුල් ක්‍රමවේද භාවිත කළ යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව කියා සිටියේ කොරෝනා වෛරසය පිළිබද ලෝකවාසීන් දැනුවත් කිරීම සඳහා ලෝක පාපන්දු ක්‍රීඩකයන් සමඟ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.

ඒ සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැටිනෝ ද එක්වුණා.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ පාපන්දු තරඟයක් ජය ගැනීමට නම් ආරක්ෂිත පියවර පමණක් ගැනීම ප්‍රමාණවත් නොවන බවයි.

ඒ සඳහා ප්‍රහාරාත්මක ලෙස ප්‍රතිවාදියා මෙල්ල කළ යුතු බව ඔහු කියා සිටියේ එය කොරෝනා වෛරස් මර්දන ක්‍රියාවලියට සමාන කරමින්.

විශේෂයෙන් ‘කොවිඩ් නයින්ටීන්’ ව්‍යාප්තිය මැඬලීමට නම් වෛරසයට එරෙහිව ප්‍රහාරාත්මක පියවර දියත් කළ යුතුයි.

එහිදී ආසාදිතයන් හඳුනා ගැනීම සහ හුදෙකලා කිරීම වැදගත් වන අතර, ආසාදනය වූ සියළුම පුද්ගලයන් සහ ඔවුන් හා සම්බන්ධවූවන් හඹා ගොස් නිරෝධායනය කිරීම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළා.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා ලොව පුරා නගර වසා දමද්දී, බ්‍රිතාන්‍යය ද සති තුනක නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගමැති බොරිස් ජොන්සන් ජාතිය අමතා ප්‍රකාශ කළේ සාමය පවතින යුගයක දරුණුතම ඛේදවාචකයට රට මුහුණ දෙන මොහොතේ දැඩි පියවර ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන කඩ සාප්පු සහ සේවාවන් සියල්ල වසා දැමෙන අතර, පුද්ගලයන් දෙදෙනෙකුට වඩා එක්රැස් වීම තහනම් වනවා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 335 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 6726 ක්.

කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඉන්දියාවේ අගනගරය, වාණිජ අගනුවර ඇතුළු ප්‍රාන්ත 30ක් වසා දමා තිබියදී එරටින් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්දියාවේ 8 වන කොරෝනා මරණය ද ඊයේ වාර්තා වුණා.

මියන්මාරයේ ප්‍රථම ‘කොවිඩ් නයින්ටීන්’ ආසාදිතයන් ඊයේ (23) වාර්තා වූ අතර, සිංගප්පූරුවේ ආසාදිත සංඛ්‍යාව ද ගත වූ පැය 24 තුළ 54 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 48 දෙනෙකුම පිටතින් වෛරසය රැගෙන ආ අය වන අතර, ඒ අනුව සිංග්පූරුවේ මුළු ආසාදිත සංඛ්‍යාව 509 ක්. සිංගප්පූරුවෙන් කොරෝනා මරණ දෙකක් ද වාර්තා වුණා ෴

+++++++++++++++++++++++++++++++++++

ගුවන් හමුදාවේ එම් 17 වර්ගයේ යානය ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කෙරේ

(24.03.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපළේ වෛද්‍ය මධ්‍යස්ථානය ගුවන් හමුදාව යටතට ගෙන තිබෙනවා.

ඒ එහි සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ එහි සේවය කිරීමට අනෙක් සේවකයින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඒ අනුව මේ වනවිට ගුවන් හමුදාවේ වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් එහි තාවකාලිකව සේවයට යොදවා ඇති බවයි වැඩබලන ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර, ගුවන් හමුදාව විසින් එම්.17 වර්ගයේ ගුවන් යානාවක් ඇඳන් 12 කින් සමන්විත ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කර තිබෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ අධීක්ෂණය යටතේ හයවන හෙලිකොප්ටර් බලඝනය විසින් නවීකරණය කළ මෙය කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ඕනෑම හදිසි අවස්ථාවකදී කොරෝනා ආසාදිත රෝගීන් මෙම ගුවන් ගිලන් රථයෙන් ක්ෂණිකව රෝහල් වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

ඊට විශේෂ වෛද්‍ය මණ්ඩලයක් ද අයත් බවයි වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ‘කොවිඩ් නයින්ටීන්’ ආසාදනය වීමේ අවදානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන පළ කිරීම් පිළිබදව එම ගුවන් සේවය කණස්සල්ල පළ කර සිටිනවා.

සිය මෙහෙයුම් කාර්ය මණ්ඩලය බෝවන රෝග තත්ත්වයන් යටතේ පියාසර කිරීම පිළිබදව පුහුණුවක් ලබා සිටින අතර අභියෝගාත්මක ගෝලීය අර්බුදය හමුවේ පවා අඛණ්ඩ සේවාවක් සපයන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෙන්වා දෙන්නේ ෴

+++++++++++++++++++++

අවශ්‍ය මොහොතක නගර විෂබීජහරණයට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් 5 ක් සූදානමින්

(24.03.2020 – 06:01 +0530 – lankaleadnews.com)

විෂබීජනාශක ද්‍රව්‍ය විශාල වශයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රදේශවලට ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් කිහිපයක් නවීකරණය කර ඇත.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස්වලට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉංජිනේරු අංශය විසින් මෙම හෙලිකොප්ටර් නවීකරණය කර තිබේ.

මෙලෙස නවීකරණය කෙරුණු බෙල් 212, බෙල් 412 සහ එම්.අයි-17 යානා සඳහා විෂබීජනාශක ද්‍රව්‍ය ඉසීමේ උපකරණ සවිකර ඇත.

සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ඉදිරිපත් වන අවස්ථාවක භාවිතයේ යෙදවීම සඳහා නවීකරණය කළ මෙම යානා පසුගියදා ගුවන් හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය ෴

+++++++++++++++++++++++++++++++++++

නාවික හමුදාව යාපනයේ ආගමික ස්ථාන සහ නිවාස විෂබීජහරණය කරයි

(24.03.2020 – 10:49 +0530 – hirunews.lk/sinhala)

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහනක් ඊයේ (23) වන දින ක්‍රියාත්මක කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි.

ඒ අනුව ඊයේ දින යාපනය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් කල ඉල්ලීමකට අනුව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ගේ මගපෙන්වීම යටතේ යාපනය චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජ හරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, මෙහිදී තාවඩි සහ තාවඩි උතුර යන ප්‍රදේශයන්හි කෝවිලක් සහ නිවාස කිහිපයක් ප්‍රදේශය තුල වෛරසය ව්‍යාප්තවීමේ අවධානම වැළැක්වීමේ අරමුණින් නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව විෂබීජහරණය කිරීම සිදු කරන ලදි.

තවද, ඉදිරියේදීද මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය රහිත කාලයේ කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිතයට

(24.03.2020 – 09:45 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය රහිත කාලසීමාව තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවසර දී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව නිවේදනය කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

‘කොවිඩ්-19’ පළමු රෝගියා හමුවුනේ ඇමරිකාවේදී – චීන විදේශ අමාත්‍යංශයේ චෝදනාවට ඇමරිකාවෙන් අද වන තුරු පිළිතුරු නැහැ – ජාතික සංවිධාන කියයි

(24.03.2020 – 10:59 +0530 – lankaleadnews.com)

පසුගිය සිකුරාදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගතයේ පළමු රෝගියා හමුවුණේ ඇමරිකාවෙන් බවට චීන විදේශ අමාත්‍යංශයෙන් එල්ල කරන චෝදනාවලට ඇමරිකානු රජය අද වන තුරු පිළිතුරු බැඳීමක් සිදුකොට නැති බවය.

ඇමරිකාවේ CDC යනුවෙන් හඳුන්වන ප්‍රධාන රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන රොබට් රෙඩ්ෆිල්ඩ් මහතා මාධ්‍ය වෙත කරන ප්‍රකාශයක් අනුව පළමු රෝගියා ඇමරිකාවේදී හමු වූ බව ඔප්පු වී ඇත.

චීන විදේශ අමාත්‍යංශයේ චෝදනාව අනුව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම රෝගියා හමුවීමෙන් පසුව චීනයේ වූහාන් නගරයේ පැවැත්වූ හමුදා සංදර්ශනයකට සහභාගි වූ ඇමරිකානු හමුදා සෙබළුන් විසින් රෝගය චිනයට ගෙනවිත් ඇත. ඒ අතර රුසියාවේ වෛද්‍ය සංගම් ප්‍රධානියාවන ලියොනාඩ් රොෂාල් විසින් ජෛව අවි ප්‍රහාරයක් පිළිබඳව සඳහන් කරන්නේ ‍මෙවැනි පසුබිමක් තුලය.

මූලාශ්‍ර : www.rt.com/news

වීඩියෝව පහතින් :

+++++++++++++++++++++

කොරෝනා වසංගතය ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් – වෛද්‍ය ලියොනිඩ් රොෂාල් රුසියානු වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති පූටින්ගේ උපදේශක

(24.03.2020 – 09:35 +0530 – lankaleadnews.com)

රුසියානු මාධ්‍ය අමතමින් රුසියාවේ වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති වැල්ඩිමීර් පූටින්ගේ උපදේශක වෛද්‍ය ලියොනිඩ් රොෂාල් සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ් – 19 ගෝලීය වසංගතය ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් බවය.

මෙම වසංගතය ඉදිරි මාස 03 ක කාලය තුල පාලනය කළ හැකි බව පවසන ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ ලෝකයේ සෑම රටක්ම අනාගතයේදී මෙවැනි ජෛව අවි ප්‍රහාර වලට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සහ ආපදා කළමණාකරණ පද්ධති ශක්තිමත් කරගත යුතු බවය.

R.T News

***************************************

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

(24.03.2020 – 11:18 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය ෴

***************************************

මේක හමුදා රාජ්‍යයක්ද? – විජිතගේ ප්‍රශ්ණයට හමුදාපතිගෙන් සැර උත්තරයක්

(24.03.2020 – 14:08 +0530 – lankaleadnews.com)

පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ චීනයෙන් පැමිණි චීන ජාතිකයන් කිසිදු නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති බවත්, ලංකාවේන් පිටරටට ගොස් විදේශ විනිමය සොයන අපේ රටේ ජනතාවගෙන් නිරෝධායනය සදහා රුපියල් 7500 ක මුදලක් ගෙවීමට කටයුතු කළ බවත්ය.

ඊට පසු යුධ හමුදාපතිවරයා එසේ මුදල් ලබාගැනීමට කටයුතු නොකරන බව පැවසූ බවත් ඔහු විසින් එසේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේක හමුදා රාජ්‍යයක් ද යන ප්‍රශ්නය පැන නගින බවත්ය.

පසුගිය දා හිරු සළකුණ වැඩසටහනට සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊට නිසි පිළිතුරු ලබාදුන්නේය.

+++++++++++++++++++++

හිරු ටීවී – සළකුණ – 2020-03-20

+++++++++++++++++++++++++++++++++++

‘ඔබ ඇති කල හානිය මකන්න බෑ..’- කන්දකාඩුවේ විරෝධතාකරුවන් ගෙදර යන්න පෙර හමුදාවෙන් තද දේශණයක්..

(24.03.2020 – 14:10 +0530 – lankacnews.com)

නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටි 311 ක පිරිසකට අද දිනයේ නිවෙස් බලා යාමට අවසර දෙන ලදී.

එසේ බැහැර වීමට පෙර ඉහළ හමුදා නිලධාරියෙක් විසින් එම පිරිස් අමතමින් පල කරන ලද අදහස් සමාජ ජාලවල හුවමාරු වෙයි.

ඔවුන් විසින් කරන ලද හානිය නැවත මහා මකා දැමිය නොහැකි බවත් හමුදාව ගැන ඔවුන්ගේ තිබූ ආකල්පය ගැන කනගාටු වන බව ද හමුදා නිලධාරියා සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

මාරාන්තික කොරෝනා මර්දනය කරන දේශීය හා පාරම්පරික ඖෂධ

(24.03.2020 – 09:09 +0530 – lankaleadnews.com)

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති මාරාන්තික කොරෝනා වෛරස රෝගය සඳහා මේ වන විට සෑම වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් මගින් නිසි ඖෂධයක් සොයාගැනීමේ උත්සාහයක නිරතවේ. ශ්වසන පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන මෙම රෝගය නිසා මියයන්නේ නියුමෝනියාව හා සමාන රෝග තත්ත්වයට පත්ව හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා යැයි වෛද්‍යවරු පවසති. ශරීරයේ ප‍්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් මෙම රෝගය වැළඳෙන බවටද වෛද්‍යවරු අනතුරු අගවති.

වෛද්‍යතුමනි මෙම කොරෝනා වෛරස රෝගයට දේශීය හා පාරම්පරික ඖෂධ තිබේද?

මෙම රෝගයට වෛරස් රෝගයක් කියා පැවසුවද අප දේශීය හා පාරම්පරික වෛද්‍ය ක‍්‍රමයට අනුව මෙවැනි රෝග වලට පවසන්නේ මුර උණ යැයි කියාය. පැපොල, සරම්ප, ඩෙංගු, සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී රෝග ඊට නිදසුන් ලෙස දැක්විය හැකියි.

මෙම රෝග සුවවීමට ගතවන කාලය අනුව තුන්දා උණ, හත්දා උණ ලෙසින් හඳුන්වනවා.

මෙම කොරෝනා රෝගයත් මුර උණකි. මෙහි රෝගකාරකය දින දාහතරක් ශරීරය තුළ සක‍්‍රියව පවතිනවා. එම කාලය තුළ ශරීරයේ ක‍්‍රියාකාරීව සිටින වෛරසය පෙනහළු ආක‍්‍රමණය කර එහි ඇති හුස්ම ගැනීමට උපකාරීවන ගර්ථවල සෙම තැන්පත් කරනවා.

එවිට හුස්ම ගැනීමට බාධා ඇතිවීමෙන් රෝගියා මරණයට පත්වෙනවා. මෙම තත්ත්වයට සෑම රෝගියෙක්ම පත්වන්නේ නැහැ. ශරීරයේ ප‍්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට තමයි මෙම මාරාන්තික බව ඇතිවන්නේ. ප‍්‍රතිශක්තිය කියන්නේ ශරීරයට බාහිරින් ඇතුළුවන විෂබීජවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවයි. මෙම හැකියාව විවිධ රෝග නිසා දුර්වල වෙනවා.

නිදසුනක් ලෙස දියවැඩියාව, පිළිකා වැනි රෝග නිසා ශරීරයේ ඇති ප‍්‍රතිශක්තිය දුර්වල වෙනවා.

එහෙනම් අප මුලින්ම කළයුත්තේ පුද්ගලයාගේ ශරීර ප‍්‍රතිශක්තිය වැඩිකිරීමයි.

වෛද්‍යතුමනි ශරීර ප‍්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි ප‍්‍රතිකාර මොනවාද?

ඒ සඳහා අප දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමය තුළ ඕනෑ තරම් ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගවලින් ආරක්ෂාවීම සඳහා පෙරුම්කායම් සහ වදකහ එකට මිශ‍්‍රකර අඹරා ගුලියක් අතේ හෝ බෙල්ලේ බැඳීම කළ හැකියි.

එහිදී මෙය බෙල්ලේ බැඳීම මගින් හුස්ම ගන්නාවිට ශරීරයට ඇතුළුවිය හැකි විෂබීජ ඉතා ඉක්මණින් විනාශ වෙනවා.

එසේම පෙරුම්කායම් සහ වදකහ මගින් වේලීමක් ඇති කරන නිසා පෙනහළුවල ඇතිවන අසාමාන්‍ය තෙත්බව නැති කරගත හැකියි.

දෑත් පිරිසිදු කරගැනීමේදී සබන් වලට අමතරව සුදු හඳුන් කල්කය හෝ කුඩු වෙනිවැල්ගැට මිශ‍්‍ර ජලය හෝ එළකිරි භාවිතා කළ හැකියි.

මුහුණ සේදීමේදී එළකිරි සමග සුදු හඳුන් කුඩු මිශ‍්‍ර කර භාවිතා කළ හැකියි.

වෙනිවැල්ගැට මිශ‍්‍ර කර තම්බාගත් උණු ජලය මගින් සහ ශරීරය පිරිසිදුකර ගැනීම කළ හැකියි.

තමා අවට පරිසරය විෂබීජවලින් ආරක්ෂා කරගැනීම සඳහා වදකහ සහ කොහොඹ කොළ කුඩු මිශ‍්‍ර කර පොල්කටු අගුරු වලින් දුම් ඇල්ලීම කළ හැකියි. එසේම මදුරුතලා, වදකහ සහ කොහොඹ කොළ කුඩු මිශ‍්‍ර කර පොල්කටු අඟුරු වලින් දුම් ඇල්ලීමත් හොඳයි.

කුප්පමේනියා, පෙරුම්කායම්, අගිල්, ගුගුල්, දේවදාර, මදුරුතලා, වදකහ සහ කොහොඹ තෙල් මිශ‍්‍ර කර පොල්කටු අඟුරුවලින් දුම් ඇල්ලීමත් කළ හැකියි.

ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා යකිනාරං, එළබටු දලූ, වැල් තිබ්බටුකොළ, ගොටුකොළ, පොල්පළා, මොණරකුඩුම්බිය, කරපිංචා, මුගුණුවැන්න වැනි කැඳ වර්ග පානය ගුණදායකයි.

ඊට අමතරව නිල්කටරොලු සහ පොකුරු වදමල් තම්බා පානය කළ හැකියි.

ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට කබලේ බැද පානය කළ හැකියි.

බිංකොහොඹ, සුදුලූනු, සූදුරු සහ කලාඳුරු තම්බා පානය කිරීම හෝ කොත්තමල්ලි, කටුවැල්බටු, පත්පාඩගම්, පාවට්ටා මුල්, දේවදාර සහ එළබටුමුල් එකට මිශ‍්‍රකර තම්බාපානය කළහැකියි.

කොත්තමල්ලි අමුවෙන් තම්බා දිනකිහිපයක් පානය කර පසුව කබලේ බැද පානය මගින් පෙනහළුතුළ ඇති සෙම ඉවත් කරගත හැකියි.

පාවට්ටා කොළ දුම පානය මගින් පෙනහළුවල ඇති සෙම ඉවත් කිරීම මෙන්ම එහි ක‍්‍රියාකාරීත්වය ද ශක්තිමත් වෙනවා.

මදුරුතලා සහ සුදුලූනු එකට කොටා තම්බා පානය හෝ යුෂ මීපැණි සමග මිශ‍්‍රකර දොඩම් ඇඹුලෙන් පානය මගින්ද ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩිකළ හැකියි.

මේ අනුව අපට කොරෝනා නෙමෙයි ඕනෑම ආසාදන රෝගයකින් බේරෙන්න අවශ්‍ය ඖෂධ සහ ප‍්‍රතිකාර අපගේ දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *